Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


ත්‍රස්තවාදය| අත්‍යාවශ්‍ය කියවීමක් යන ලිපියෙහි දිගුවකි.

ත්‍රස්තවාදය සම්බන්ධයෙන් වූ අපගේ මූලික එ‍ලැ‍ඹුමේදී අප උත්සාහ ගත්තේ, එකී වචනය අර්ථදැක්වීමට සහ ඊට බලපාන දේශපාලන අරුත්ගැන්වීම් වෙන්කොට හදුනාගැනීමටයි. [ත්‍රස්තවාදය| අත්‍යාවශ්‍ය කියවීමක්] ඉතා පළල් දිසාවන් ගණනාවක් පුරා විහිදී යන මෙම මාතෘකාවේ මීළඟට විමසා බැලෙන්නේ, "රාජ්‍ය ත්‍රස්තවාදය" යන කොටසයි. ත්‍රස්තවාදය යන වචනය ඉතා සුලබ ලෙස භාවිතා වුවත් "රාජ්‍ය ත්‍රස්තවාදය" කියන වචනය පිළිබදව ඒ ආකාරයේ අවධානය‍ යොමු වීමක් දක්නට නැහැ. මැක්ස් වෙබර් විසින් පවසා ඇති පරිදි හිංසනයේ ඒකාධිකාරය (Monopoly of Violence) රාජ්‍ය සතු වූ නිසාවෙන්ම එය හිතුමතයේ ක්‍රියාවේ යෙදවීමට නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ඉඩහසර ලබාදෙන්නේ නැහැ.

ලෝකයේ රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් විසින් සිදුකරන සන්නද්‍ධ ක්‍රියාවන්ගේ ප්‍රමාණය මෑත කාලිනව සංඛ්‍යාත්මක වශයෙන් විශාල වුවත්, සැබැවින්ම මානවවර්ගයා හට වැඩිම විනාශයක් සිදුකර ඇත්තේ රාජ්‍යයන් මැදිහත්වීමෙන් ඇතිවූ ගැටුම් නිසාවෙන් බව ලෝක ඉතිහාසය විමසීමෙන් පෙනීයනවා. විශේෂයෙන් මානව වර්ගයාගේ ශිෂ්ඨත්වයට එරෙහි වූ එවැනි මානුෂ්‍ය සංහාරයන් අතිවිශාල ප්‍රමාණයක් මානව ඉතිහාසයේ කළු අකුරින් සටහන්ව තිබෙනවා.

ත්‍රස්තවාදය නිර්වචනය සම්බන්ධයෙන් ඇති පරස්පරතාව ලෙසින්ම "රාජ්‍ය ත්‍රස්තවාදය" සම්බන්ධ නිර්වචනය තු‍‍ළත් ඇත්තේ පරස්පරතාවයක්. මීට හේතුව නම් රාජ්‍ය සදහා හිංසනය බලාත්මක කිරීමේ නෛතික බලය පැවතීම නිසයි. බොහෝ විට "ත්‍රස්තවාදය" කියන නාමකර‍ණය යෙදවුණේ රාජ්‍ය නොවන පාර්ශවයක් අතින් හිංසනය ක්‍රියාත්මක වන්නේනම් පමණයි. ඒ අනුව ත්‍රස්තවාදී ගණනට ගැනෙන හිංසාකාරී ක්‍රියාවක් රාජ්‍ය මැදිහත්වීම මත සිදුවේ නම් එය රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් හෝ රාජ්‍යයට එල්ලවන තර්ජනයකට ප්‍රතිචාරයක් මත සිදුවන්නක් බව හෙන්රි කොමාගර් නම් ඉතිහාසඥයා විසින් සඳහන් කර තිබෙනවා.


හඩන පලස්තීන දරුවා- රෆා සරණාගත කඳවුර- ගාසා- 2002 ජනවාරි-
ඊශ්‍රායල් යුද ටැංකි සහ බුල්ඩෝසර විසින් බිමට සමතලා කරන ලද සිය නිවසේ සුන් බුන් අතර තිබී, තමාට හිමි ව තිබූ මහඟු වස්තුවක්- 'සෙල්ලම් බඩුවක්' සොයා ගන්නා දරුවෙක්. මේ සේයාරුවට යොදා තිබූ මැය වූයේ 'Home Sweet Home!' යනු යි. {AP Photo]


විවිධාකාරයේ වචන සැරසිලි වලින් අර්ථදක්වා තිබුණත් රාජ්‍යය නම් යාන්ත්‍රණය එහි වෙසෙන ජනතාවගේ පොදු අවශ්‍යතාවයන් වලට වඩා එහි පාලනය කරන කණ්ඩායම් වල උවමනාවන්ට අනුකූලව ක්‍රියාත්මක වන බව තුන්වන ලෝකයේ රටවල අවශ්‍යතරම් උදාහරණ තිබෙනවා. විශේෂයෙන්ම හමුදා පාලනයන්, විදේශ බලවත් රාජ්‍යයන්ගේ අනුග්‍රහය ලබන රූකඩ පාලකයන්, ගෝත්‍රවාදී පාලන තන්ත්‍රයන් බලය උසුලන අවස්ථාවන්හි දී මේ තත්ත්වයන් තීව්‍ර ලෙස පෙන්නුම් කෙරෙනවා. මේ නිසාම රාජ්‍ය විසින් සිදුකරන ත්‍රස්ත ක්‍රියාවන් වෙනමම අධ්‍යනය කිරීමේ අවශ්‍යතාව ඉස්මතුව තිබෙනවා.

'රාජ්‍ය ත්‍රස්තවාදය' අර්ථ දක්වන නිර්වචන

"උපක්‍රමිකව යොදාගනු ලබන හිංසාව මගින් යම් ප්‍රදේශයක වෙසෙන ජනතාව බියට පත්කිරීම මගින් යම් ආකාර‍යක දේශපාලන අරමුණක් සාක්ෂාත් කරගැනීම හෝ බලගැන්විම. ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීම රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීම හෝ රජයට අනුබද්ධ පාර්ශ්වයක් විසින් දියත් කිරීම සිදුවන අතරම එහි වින්දිතයා වනුයේ රාජ්‍යයේ ජනතාව හෝ රාජ්‍යයට අයත් වෙනත් පාර්ශවයක් හෝ විදේශ රාජ්‍යයක් හෝ කණ්ඩායමක්ය."
- බ්‍රිටැනිකා විශ්වකෝෂය

terrorism-research වෙබ් අඩවියට අනුව රාජ්‍ය ත්‍රස්තවාදය ප්‍රධාන වශයෙන් කොටස් ත්‍රිත්වයකට බෙදා හඳුනාගන්න පු‍ළුවන්. එනම්;

1. රාජ්‍ය ත්‍රස්තවාදය

එනම් රාජ්‍ය සෘජුව සම්බන්ධ වෙමින් එහි උපකර‍ණ වන රාජ්‍ය ප්‍රතිපත්ති, නීතිය පසිදලන ආයතන, පොලීසිය හා හමුදාව යොදාගනිමින් සිය ජනතාවහෝ එහි නිශ්චිත කොටසක් ඉලක්ක කරගනිමින් මුදාහැරෙන ත්‍රස්තවාදයයි. මෙමගින්අන් පාර්ශවයන් වෙත දන්වා සිටින්නේ තමන් විසින් නීතිය ක්‍රියාත්මක කරනවාවිනා අන්යමක් නොකරන බවයි. විශේෂයෙන් ජාතිවාදය, වර්ගවාදය, ආගම්වාදය, දේශපාලන දෘෂ්ඨිවාද වලට මුවාවී සිදුකරන මර්ධනයන් අයත් වන්නේ මේ ගණයටය. නීත්‍යනුකුලව බලයට පැමිණි හිට්ලර් විසින් තමන්ගේ රාජ්‍යයේ හතුරන් යැයි නාමකරණයට කොට සුපිරි ජාතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් යුදෙව් සංහාරය සිදුකිරීම ආරම්භ කළා.


ඉඩි අමින්- චිර ප්‍රකට රාජ්‍ය ත්‍රස්තවාදියා-
තම රටවල ජනතාව මර්දනය කරන සියලු ඒකාධිපතීහු මොහුට දැඩි ලෙස වෛර කරන අතර සමහරු මොහු පිළිබඳ තැනුනු චිත්‍රපටය සුදුසු කාලයන් හී දී තම රටවල ජාතික ටෙලිවිෂන මගින් විකාශය කොට තම මහ ජනතාව දැනුවත් කිරීමට තරම් ප්‍රජාතන්ත්‍රවාදී වෙති!


2. රාජ්‍ය සහභාගීත්ව ත්‍රස්තවාදය

ත්‍රස්ත උපක්‍රම භාවිතා කරමින් රාජ්‍යයන් විසින් අනෙක් පාර්ශ්ව වෙත බලපෑම් කිරීම් මේ ගණයට අයත් වෙනවා. ප්‍රසිද්ධියේ පිළිගැනීමට මැලිවුවත් රාජ්‍ය අනුග්‍රහය සෘජුව ලබමින්, එසේ වුවත් රාජ්‍ය සම්බන්ධතාව අප්‍රසිද්ධව තබාගනිමින් සිදුකරන ත්‍රස්ත ක්‍රියා මේ ගණයට අයත් වෙනවා. සීතල යුධ සමයේදී ඇමරිකාවේ සී.අයි.ඒ. සංවිධානය මෙන්ම සෝවියට් සමූහාණ්ඩුවේ කේ.ජී.බී ඔත්තු සේවය ද මෙවැනි මෙහෙයුම් බොහෝ ගණනක් සිදුකර තිබෙනවා. "ජේම්ස් බොන්ඩ්", "මිෂන් ඉම්පොසිබල්" "ද ගුඩ් ෂෙපර්ඩ්" වැනි හොලිවුඩ් චිත්‍රපට විශාල ප්‍රමාණයක් මෙකී මෙහෙයුම් ඇසුරුකොටගෙන නිපදවා ඇති බව දැකගන්න පුළුවන්. ඊශ්‍රායලය විසින් තමන්ගේ මෝසාර්ට් ඔත්තු සේවය ඔස්සේ මැදපෙරදිග රටවල් ගණනාවක මෙවැනි ත්‍රස්ත ක්‍රියා සිදුකෙරෙමින් පවතිනවා. පසුගිය දිනවලදි ඉරානය තුළ ඝාතනයට ලක්වූ න්‍යෂ්ඨික විද්‍යාඥයින්ට එරෙහි ප්‍රහාර ඊශ්‍රායලය විසින් දියත් කළ ඒවා බව ඉරානය චෝදනා කරනවා. සම්ප්‍රදායික යුධ උපක්‍රමයන්ගෙන් මිදී සම්ප්‍රදායික නොවන ත්‍රස්ත ක්‍රියා ක්‍රියාවෙහි යොදවමින් ශ්‍රී ලාංකික හමුදාවඑල්ටීටීඊ සංවිධානයට එරෙහිව මෙහෙයුම් ගණනාවක් සිදුකර ඇති බවට වන පුවත්පත් වාර්තා දක්නට ලැබෙනවා.

රාජ්‍යයට එරෙහිව නැගෙන ජන විරෝධයන් පිළිබදව සවන්දීමත් ඒවා වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා වෙනුවට ඒවා මර්දනය කිරීම සදහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම වලින් මිදී සෘජු රාජ්‍ය මැදිහත් වීම මත ත්‍රස්ත ක්‍රියා සිදුකරනු ලබනවා. රාජ්‍ය අනුග්‍රහය ලබන පාතාල කණ්ඩායම් සහ විවිධ රාජ්‍ය නොවන ආයතන මේ වෙනුවෙන් ක්‍රියාත්මක වනු ලබන්නේ රජයේ අවශ්‍යතාවය මතයි. එසේ වුවත් අවශ්‍ය විටෙක රජය හා ඇති සම්බන්ධතාවය බිඳ දැමීමට ඇති හැකියාව මේ සම්බන්ධයෙන් වන විශේෂත්වයයි. පසුගිය කාලයේ සිදුවූ මානව හිමිකම් බිඳ වැටීම්, පුද්ගල පැහැරගැනීම් සම්බන්ධයෙන් රජයේ ඇති සම්බන්ධතාවයක් ගැන කටකතා පැතිරුණත් ඒවා සෘජුව ඔප්පුකරලීම අපහසු වුණා.

3. රාජ්‍ය අනුග්‍රාහක ත්‍රස්තවාදය

ත්‍රස්ත ක්‍රියාවන් ක්‍රියාවේ යොදවන කණ්ඩායම් සදහා අවශ්‍ය ආයුධ, පුහුණුවීම්, මුල්‍යමය වැනි විවිධ සහයෝගයන් ලබාදී තමන්ට අවශ්‍ය අරමුනු වලට ත්‍රස්ත සංවිධාන මෙහෙයවීම රාජ්‍ය අනුග්‍රාහක ත්‍රස්තවාදයයි. සිය සංවිධානය පවත්වාගෙන යාමට ආරක්ෂිත ප්‍රදේශයක් හා අවශ්‍ය භෞතික පසුබිම සපයාදීම මෙහිදී තීරණාත්මකව වැදගත් වෙනවා. බොරු ලියකියවිලි, ව්‍යාජ අනන්‍යතා පත්‍ර, ව්‍යාජ ආයුධ ලියකියවිලි සකස්කරදීම වැනි කාරණාමගින් රාජ්‍යය ඔවුන් වෙත අවශ්‍ය උපකාර ලබාදෙනවා. ජාත්‍යන්තරයට පිවිසීමට මෙන්ම නීතියෙන් සැගව සිටීමට ද රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට කටයුතු කරනවා. ඉන්දියාව තුළ ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන වලට අවශ්‍ය සහයෝගය ලබාදෙනුයේ පාකිස්ථාන‍ය බවට ඉන්දියාව චෝදනා කරනවා. ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයට සිරියාව විසින් සහයෝගය ලබාදෙන බවටත් චෝදනා එල්ල වෙනවා. යාපනය ප්‍රදේශයේ සිදුවන පුද්ගල පැහැරගැනීම්, ඝාතන සිදුකරන සන්නද්ධ කණ්ඩායම් සදහා රාජ්‍ය සහයෝගය පවතින බවට චෝදනා එල්ලවෙමින් පවතින බව අප දන්නා කරුණක්.


පාකිස්ථානය- හමුදා පාලක සියා-උල්-හක්ගේ යුගය-
වරදකරුවන්ට ප්‍රසිද්ධියේ දඩුවම්.


ජ්‍රජාතන්ත්‍රවාදය, ආණ්ඩු හා ත්‍රස්තවාදය

මානව සමාජ පරිණාමයේ දියුණුතම සංස්ථාපිත ක්‍රමවේදය ලෙස අදවන විට හඳුනා ගැනෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයයි. සමාජයේ ජීවත්වන සියළුම පුරවැසියන්ගේ කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශවන (ඡන්දය මගින්), එමගින් තමන්ට කැමති පාලකයින් පත්කර ගත හැකි, එමෙන්ම තමන් අකමැති පාලකයින් ඉවත්කර දැමිය හැකි පාලන ක්‍රමයක් එමගින් යෝජනා කෙරෙනවා. බහුතර ජනතාවක් විසින් ‍තෝරාගත් පාලකයින් විසින් අදාළ දේශසීමාවේ පාලනයට උපකාරී වෙන නීතී සම්පාදනය කිරීම, විධායක බලතල මගින් වැඩකටයුතු ක්‍රියාත්මක කිරීම මෙන්ම නීතිය පසිඳලන ආයතන විසින් සමාජයේ සුභ සිද්ධිය සදහා ඉවහල් වන පරිද්දෙන් නීතිය ක්‍රියාත්මක කිරීම මෙකී ක්‍රමයේ මූලික ලක්ෂණ සේ සැලකිය හැකියි. මේ සමාජයේ ජීවත්වන සියළුම පුද්ගලයෝ ජ්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන්නන් වීමත්, එහි ක්‍රමවේදයට අවනත වී එහි සදාචාර වටිනාකම්වලට එකගව කටයුතු කිරීමත් මේ ක්‍රමය සාර්ථකව පවත්වාගෙන යාමට බොහෝ ඉවහල් වන කාරණයක්.

එවිට, "රාජ්‍ය ත්‍රස්තවාදය" ක්‍රියාත්මක කරන්නෙත් ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවතින රාජ්‍යයන් විසින්ම ද යන ගැටළුව පැන නගිනනවා. සමීප නිරීක්ෂණයක් කළහොත් පෙනෙන්නට තියෙන දෙයක් තමයි රාජ්‍ය මර්දනය දරුණුවට ක්‍රියාත්මක කරන පාලකයින් ජනතා කැමැත්තෙන් පාලන බලය හෙබවීමට සුදුකම් ලැබුවත් ඔවුන් විසින් රට පාලනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනෙකුත් රීති සම්ප්‍රදායන්ට එකගව නොවන බවයි. ඒ අකාරයේ තවත් පාලකයෝ පිරිසක් හමුදා කුමන්ත්‍රණ, රාජ්‍ය පැහැරගැනීම් වැනි ක්‍රමවේද වලින් පාලන බලය අත්පත්කරගත් අය.

රජෙක්ගේ යටතේ පාලනය වනවා වැනි තත්ත්වයකට වඩා ‍ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ පුරවැසියා, සිවිල් පුරවැසියෙකු බවට පත්වී ඔහු රටේ දේශපාලනයට සක්‍රීය දායකත්වය දක්වන්නෙක් බවට පත්වෙනවා. පුද්ගලයෙක් හැටියට කෙනෙක් විසින් තමන්ගේ ඡන්දය ලබාදෙන පුද්ගලයා පාලන බලය උපයෝගී කරගෙන සිදුකරන දෑ පිළිබදව සවිඥානික වෙන්නට සිද්ධ වෙනවා‍‍. යම් පුද්ගලයෙකු බහුතර ජනතාවකගේ කැමැත්ත ලබාගැනීම සදහා බොරු පොරොන්දු, ප්‍රතිපත්ති ප්‍රකාශ කරලා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න යනකොට ඊට හාත්පසින්ම වෙනස්ව තමන් සතු බලය දූෂිතව පාවිච්චි කරනවා නම් අදාළ පුද්ගලයාට හෝ ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාත්මක වීමට සිවිල් පුරවැසියන් ක්‍රියාත්මක වෙනවා‍‍. මේ අවස්ථා වලදි අදාළ සිවිල් විරෝධය මර්ධනය කිරීම සදහා ත්‍රස්ත උපක්‍රම භාවිතා කිරීමට සමහර පාලකයෝ ක්‍රියාත්මක වෙනවා‍.


ප්‍රජාතන්ත්‍රවාදය කෙතරම් හොඳ පාලන ක්‍රමයක් වුවත් එහි තාක්ෂණික දුර්වලතාවන් නිසාම අර්බුදයන් හටගැනීමට ඉඩ තිබෙනවා. ‍ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිගැනෙන්නේ අවසාන වශයෙන් බහුතර මතයයි. විශේෂයෙන් තනි රටක වාර්ගික හෝ ආගමික වැනි බෙදීම් සහිත සුළුතරයන් සහිත ජනයා ජීවත් වන විට ඔවුන්ගේ අවශ්‍යතාවන් "ප්‍රජාතන්ත්‍රවාදය" නැමැති සංකල්පයෙන් වසා දමා තැබීමට වංක පාලන තන්ත්‍රයන්ට හැකිවෙනවා. සියළු පුද්ගලයින් සමානාත්මව සැලකීම මුලධර්මයක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම ක්‍රියාත්මක රටවල් ගණනාවක සුළුතර ජනකණ්ඩායම් විසින් සිදුකරන අරගල දැකගන්නට ලැබෙනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, ‍සුඩානය, රුසියාව වැනි රටවල් මේ සදහා උදාහරණ. මෙවැනි අවස්ථා වලදි රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත්වන සුළුතර ජනකණ්ඩායම් වගේම ත්‍රස්ත ප්‍රහාර වලට ප්‍රතිප්‍රහාර ලෙස ත්‍රස්ත මිලිටරි ක්‍රම උපයෝගි කරගැනීමේ අවස්ථාවන් ද සුලභව දකින්නට පුළුවන්.

රාජ්‍යය කියන්නේ සියළු ජනතාවගේ බල‍යේ කේන්ද්‍රස්ථානයක්. රාජ්‍ය පාලනය සදහා ඉදිරිපත් වන ආණ්ඩු සත්‍ය වශයෙන්ම එකී සියළු ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ක්‍රියාත්මක වනවා නම් සාමූහික ශක්තිය මගින් වඩා දියුණු සමාජ සංස්කෘතියක් හිමි රටක් දක්වා ගොඩනැගෙන්නට හැකියාව ලැබෙනවා. එසේත් නොමැතිව ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයන් සහ ස්ව පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් බලය මෙහෙයවෙනවා නම් ජන උද්ඝෝෂණ හා නොසන්සුන්කම් සුලභ වනවා පමණක් නොවේ රාජ්‍ය ත්‍රස්තවාදයේ ක්‍රියාකාරීත්වය ද එළිපිට දැකගන්නට හැකිවෙනවා.

සංඛ කිරිඳිවැල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails