Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රාත්තිරිය කට්ට කරුවලත් කුදලගෙන හැමදාම වගේ මට තනි රකින්ට පිලට ආවා. කතා කොරලා අහක් කොරන්න බැරි දුක් කන්දක් හුස්ම වලට පෙරලිලා කරුවලේ ඉහිරෙනවා. රාත්තිරිය හූ මිටිවත් නොතියාම ඒ දුක අහුලගෙන පාන්දරින් යන්ට යනවා. මං තනිවෙනවා. උදේ දහවලට එක්කාසු වන හිත් වේදනාවල බර වැඩි වෙන්නේ රාත්තිරියට. රාත්තිරියට හූල්ලලා හූල්ලලා මගේ පපුකැනැත්ත දැන් හොදටෝම රිදුම් දෙනවා. මේ හීල්ලූම් නවත්තන්ට මං කල්ගත්තා හොදටෝම වැඩී. පැල වට කරගෙන තණ කොළ වල් පඳුරු ඉහ උස්සලා. මටෙයි කියලා අන්තිම හුස්ම ඩිංගිත්ත යවන්ට තියන පැල්කොටේ කොයි මොහොතේ හරි ඉහට කඩා වැටෙන්ට ඉස්සොර පිලියලක් කොරන්ට ඕනෑ. හැමදොහොකම එහෙම හිතලා හිත හයිකොරගත්තත් ඉලපතක් අතට ගන්ට හිත් නොදෙන තරමට හිත ඉහිරිලා. උදේ දහවලේ වෙර වීරිය අරන් එක්කාසු කොර ගන්න හිත ඉහිරෙන්නේ රාත්තිරියට.

සාක්‍ය මහත්තයා පුකට පයින් ගහලා ගෙයින් දොට්ටදාපු දවසේ ඉතිරි වෙච්ච කඳුලක් වට්ට ගන්න බැරිව තාමත් මයේ ඇස්වාටියේ නළියනවා. පපුකැනැත්තට සාගරයක් වගේ හැමදොහොකම එක්කාසු වන වේදනාව කදුළු කැටවලින් අහවර කොරන්ට ඇහැක්ද. ඇහිපිල්ලමේ වාඩි ගත්තු සාක්‍ය මහත්තයව වට්ටලා දාන්න ඒ කදුළු වලට බැරුවා. පොල් ගහක් පීදෙනවා වගේ අපේ මහත්තයා උස්මහත් උනේ මයේ ඇස් ඉදිරි පිට. මේ මයේ සුළැගිල්ලේ එල්ලිලා තමයි අපේ මහත්තයා පොලොවේ පය ගැහුවෙත්. එදා හිටං විස්සවිද්‍යාලෙට ගොඩ වෙනකම්ම යන එන ගමනේ බිමනේ මං උන්දැගේ පස්සෙමයි. මතක ඇති කාලෙක මයේ අතින් අපේ මහත්තයට වරදක් වෙලා නෑ. එහෙව් මාව එකෝම එක වැරැද්දකින් වහ කදුරු ගානට වැටුණා නෙව. රීරි යකෙක් ගහලා උණ සන්නිපාතේ හැදිලා මයෙ අප්පොච්චා මියැදෙනකොට මං හිටියේ පොල් ගෙඩියක් කඩා ගන්න ගහක් බඩගාන්ට පුළුවන් වයසක උනත් අම්මා අප්ප නැති මට පොල් ගස් බඩ ගාන්ට ඉඩ නොතියා සාක්‍ය මහත්තයලගේ අප්පච්චි මාව එකහු කොරගෙන ආවා කොළඹ වලව්වට. මයේ අප්පේ මට අද වගේ මතකයි. මුළු වලව්වෙම අපේ සාක්‍ය මහත්තයගේ කිරි සුවඳ ඉහිරිලා. එදා හිටං සාක්‍ය මහත්තයා මාව දොට්ට දානකම් ම මං නෙවෙයි සාක්‍ය මහත්තයගෙන් මගේ ඇස් ගෙඩි දෙක අහක් කොර ගත්තේ. නෝනා හාමුයි හාමු මහත්තයයි ගිය වාහනේ පෙරළිලා එතනමයි කියලා ආරංචිය වලව්වට එනකොට මං හිටියේ මං කැරොලයින්ව කරකාර ගන්නට හිතාන ඉන්න වග ලොකු මහත්තයට කියලා ගමේ යන්ට බලාන. අම්මා අප්පා නැති දරුවෙක්ව තනි කොරලා ගමේ ගොහිං මඟුල් කන්ට මට හිත් දුන්නෑ. මං මඟුලයි ගමයි දෙකම අමතක කොරලා දැම්මා. එහෙව් සියදොරිස්ව අපේ සාක්‍ය මහත්තයට එපා උනා නෙව.

බකමූණෙක් පොල් අත්තක ලැගලා කෑදෙනවා මූසලකමට. පුවක්ගෙඩිය අතට ගත්තේ මූසලකම එලවන්ට. රාත්තිරිය එල්ල ගත්තු හඳ පළුව පොල් අත්තේ වාඩි වෙලා. මට අපේ මහත්තයා මතක් උනා. පොල් අත්තට වහං වෙන හඳ පළුවට අපේ මහත්තයා කිව්වේ සම්පදායිකද මක්කාද හඳපළුවක්ය කියලා. අපේ මහත්තයාට කවි ලියන්ට ඇහැකි. ඒ කවි ගොයං කවි නෙළුං කවි වාගේ හතර පදේ නො ගැලපුණාට එව්වා පත්තර කඩදහිවලත් වැටිලා තියනවා. දොහක් අපේ මහත්තය කවියක් ලියලා බාල්දියකට වැටුණු හඳක් ගැන. මට හිනා. හිත අස්සෙන් හිනා උනාට මොකද මක්කවත් දෙඩුවෙ නෑ මහත්තයගේ හිත රිදෙන්ට. කරබාන අහං උන්නා. දැන් මක්කා කොරනවා ඇත්ද. නාට්‍ය උණේ නම් එදා රාත්තිරියෙන් අහවර වෙන්ඩැති. ඒත් දේසපාලනේ නම් තවමත් ඉහමුදුනේ ඇත්තේ. ඒකට මක්කා වෙනවද. සාක්‍ය මහත්තයා වගේ ඇත්තෝ නැතිව වෙන කවුරු දේසපාලනේ කොරන්නද. ඕං ආයෙත් පපුකැනැත්ත රිදුම් දෙනවා. කෙල ඩිංගිත්තක් ගිලදාන්ඩ බැරි තරමට උගුරු දණ්ඩ හිර වෙලා. කේන්තියයි වේදනාවයි පාළුවයි තනිකමයි සේරෝම බුලත් වංගෙඩියට දාලා අත ඉක්මන් කොරලා සද්දේ වට්ටලා කොටන්ඩ ගත්තා. වංගෙඩිය මගේ පපුකැනැත්ත. කොටන්ඩ කොටන්ඩ රිදුම් දෙන්නෙ මයේ හිත. කාංසිය මකාගන්ඩ අතට ගත්තු බුලත් වංගෙඩිය අහක් කොරලා ඇස් ගෙඩි දෙක පැන්නා ආකහේට. හිත් අක්කොරේම සින්න කොරගෙන සාක්‍ය මහත්තයා බින්න බැහැලා. මහත්තයත් මාත් දෙතැනකට වෙලා දැන් අවුරුද්දකටත් වැඩි. ඒ ගෙඋනු හැම දොහකම මයෙ ඇස් ගෙඩි දෙක හැම උදැනැක්කෙම දුවනවා පාර දිහාට. වෙලාවකට සාක්‍ය මහත්තයා උදැල්ලක් කරතියාන පාර දිහායින් ගේ පැත්ත බල බල යනවා. තවත් වෙලවකට පොල් කඩනවා පොල් කඩනවා කිය කිය යනවා. තව වෙලාවකට පුස් බයිසිකොලේ නැගිලා මං නො දැක්ක ගානට ටිලි බිලිං ගගා යනවා. මයෙ හිත කියනව අපේ මහත්තයා දැන් ඒවි. දැන් ඒවි කියලා. එක අතකට එහෙම හිටියෑං අමාරුවෙන් හරි දවස අහවර කොර ගන්න ඇහැක් උනා. සාක්‍ය මහත්තයට ඒ දවස් වල මම කිව්වේ මහේ සාක්‍ය කියලා. ඒ වෙලාවට මත්තයා හක හක ගාලා හිනාවෙනවා. ඇත්තමයි හීන්දෑරි උනාට උන්දැට තිඋනේ මහේ සාක්‍ය ලීලාවක්. කට වටේට වවපු රැවුල උන්දැගේ මූණට අමුතු පෙනුමක් එක්කහු කොලා. මං ඒ පෙනුමට ආසා කොලේ සාක්‍ය මහත්තයගේ කාමරේ තිඋනු ලෙනින් මහත්තයගේ මුහුණුවරම ඒ රැවුලෙන් සාක්‍ය මහත්තයගේ මූණට වැටිලා තිඋන හින්දා. ලෙනින් මහත්තයා කාගේ කවුද සාක්‍ය මහත්තයා කොහොම ඒ උන්දැව අඳුරනවද කියලා මන්දන්නෑ. මං ඇහුවෙත් නෑ. මං දන්න කාළේ ඉදලා ඔය රූපේ ගෙයි මුල්ලේ තිඋනට දූලි පිහලා ඔය තරම් උඩකින් ඔය රූපේ තිබ්බේ සාක්‍ය මහත්තයා. එහෙව් ගෞරවයක් කොරන්ට නෑකමක් නැති වෙන්ට විදිහක් නැහැ නෙව. එහෙම නැතුව බුදු පිළිමයක් දෙයියංගේ රූපයක් අහලකවත් නැති ගෙදර ඒ උන්දැට ඔච්චර ඉහළින් ඉන්න ඇහැක්යැ. මහත්තයා ගාව තියෙන පොත් වලින් බාගෙන් බාගයක් ඒ උන්දැගේ කියලා දොහක් මහත්තයා කාටදෝ සහෝදර මහත්තයෙක්ට කියනව මං අහගෙන. මං හිතන්නේ ලෙනින් මහත්තයා අන්තිම කාලේ මේ බංගලාවේ හිටියා වෙන්නත් ඇති. සාක්‍ය මහත්තයට මේ පොත් කන්දරාව ඒ උන්දැගෙන් පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙන්නැති. අනේ දෙයියනේ මේ පරම්පරා උරුමය තව කලක් ඉදිරියට ගෙනියන්ට අපේ මහත්තයටත් දරුපැටියෙක් හිටියා නං. දරු පැටියෙක් ගැන හිතුනමයි මතක් උනේ. සාක්‍ය මහත්තයා ආලවන්තකම් පාපු කෙල්ලක් හිටියා. මහත්තයට වැඩිය බෝම වයසින් ලාබාලලූ. ඒත් අපේ මහත්තයත් ඒ වෙන කොට උන් හිටිගමන් පොඩි කොලු පැටියෙක් වෙන්ට පටන් අරගෙනයි තිඋනේ. රෑට රෑට මාත් එක්ක කතා කරපු දේසපාලනේ නො තේරුනාට ඒ ප්‍රේම කතානං මට යස අපූරුවට තේරුණා. ඒ වෙලාවට අපේ මහත්තයගේ මූණට හඳක් වඩිනවා. දවසක් අපේ මහත්තයට මං කිව්වා ඒ දැරිවිත් එක්කත් දේසපාලනේ ම දොඩන්න ගොහින් වැඬේ දෙල් කොර ගන්න එපා කියලා. අපේ මහත්තයා එතකොට හක හක ගාලා හිනා උනා. අපේ මහත්තයා ගාව පිරිලා ඉතිරිලා යන කරුණාැවක් තිඋනේ. මහත්තයාගාව ඉතරක් නෙමෙයි. මහත්තයා ආස්සරේ කොරන සහෝදර මහත්තුරු නෝනලා ගාවත් බෝම කරුණාවක් තිඋනේ. ඒ කවුරුත් මට කට පුරා අයියේ කියලා කතා කොළේ. අනේ මට වඩා බෝම උගත් ඇත්තෝ. ඡන්දේ කාලේට පෝස්ටර් කඩදහි අලවන්ඩ පාප්ප හදලා දෙන්නේ මම. ඒ කාලේ තමයි කාලේ. අපේ මහත්තයගේ සහෝදර සහෝදරියන්ගේ කිවුම් කෙරුම් වලින් ගෙයි පාලූව වැලි ඇටේට කුඩු පට්ටම් වෙනවා. ඉහ නිකට පැහිලා නැති වුණාට ඒ දරුවෝ දොඩන සමහරක් දේවල් ඇත්තය කියලත් හිතෙනවා. මේ රටේ ඉන්නේ කාළකන්නි දේසපාලන හැතිකරේ පන්නලා මේ දරුවෝ ටිකට රට කොරගෙන යන්න දුන්නනං අහවරයිනේ කියලා මං දවසක් කීර කොලූටත් කිව්වා. ඌ මට කියාපි අනේ සියදෝරිසෝ උඹයි මායි දන්න උලව්වක් නැතය අපි හම්බකොලොත් අපිට කතැහැකිය එච්චරයි කියලා. අනේ මන්දා. අපේ මහත්තයගේ දේසපාලන නාට්ටියක අර බඩගෝස්තරවාදියා කියලා බැන්නේ කීර කොලූ වගේ එඋවන්නටද මන්දා. ඇයි හත්දෙයියනේ කතා කලොත් ඇත්තං බඩ. නාට්ටි කියනකොටයි මතක් උනේ. අපේ මහත්තයත් හොද නාට්ටිකාරයෙක්. ඔය දේසපාලන වේදිකාවල අපේ මහත්තයා කතා නොකලට අපේ මහත්තයගේ දේසපාලන නාට්ටි වේදිකාවල පෙන්නුවා. මයේ අප්පේ ඒ නාට්ටි බලන්න එන සෙනග කන්දරාව. නාට්ටි පෙන්නන කාලෙට මේ සියදොරිසාට ඉතිං ඉස්පාසුවක් නෑ. එහාට දුවනවා. මෙහාට දුවනවා. තේ වක් කොරනවා. කන්න උයනවා. නිදි මරනවා. මයෙ අප්පේ මොන තරම් වැඩ රාජකාරි තොගයක්ද. ඔය දේසපාලන නාට්ටියක රගන්න දවසක් අපූරු කෙලිපොඩිත්තක් ආවා. රත්තරනින් පින්තාරූ කොලා වාගේ. හැබෑම ලස්සනක්. හැබැයි කට නාරින කල්. මයෙ හිතේ අපේ සාක්‍ය මහත්තයත් වසී වුණේ ඒ ලස්සනට වෙන්ටෑ. උන්හිටි ගමන් අපේ මහත්තයටත් ආලවන්තකමක් පහල වුණේ මොකැ කියලා මයෙ හිත අහපු පුරස්නෙට උත්තරේ හම්බවුණේ ලස්සන නෝනා ගෙට ගොඩ වුණදායි. මහත්තයගේ ආස්සරේ හිටපු අනෙක් දැරිවියන්ට වඩා නිළි නෝනා ටිකක් වෙනස්. ටිකක් නෙවෙයි බෝම වෙනස්. නිළි නෝනා වැඩිපුර කතා බහ කොලේ අපේ සාක්‍ය මහත්තයත් එක්ක ඉතරයි. මොකද්දෝ මහන්තත්ත කමක් පේන්ට තිඋනා. ඒ උනාට අපේ සාක්‍ය මහත්තයට ඒ දවස් වල නිළිනෝනට වැඩිය කෙනෙක් නෑ. හරි හැටි රඟන්නත් බැරිය කියලා මහත්තයම කිය කිය හදාගන්න පුළුවන්ය කියලත් කියනවා. මට තේරුනේ මෙච්චරයි. අපේ මහත්තයට දේසපාලනේ තේරුණාට ගෑණු මායං තේරෙන්නේ නෑ. අනෙක් අතට දැන් අවුරුදු තිස් ගානකටත් කිට්ටු වෙච්චි අපේ මහත්තයට හා හා පුරා කියලා ආදර කරුණාවක් පහල උනාම ඊට වැඩිය දෙයක් කොයින්ද. ආදරේ අන්දයිලූ නෙව. මට ඔය කෙහෙල්මල් කතාව උගැන්නුවේ මං කරකාර ගන්ට උන්නු කැරොලැයින්. ඒකි දැන් කරදඬු උස් මහත් වෙච්චි ඉලන්දාරියෙක්ගේ අම්මණ්ඩියෙක්. මං ඒවි කිය කියා ඒකිට උනත් ගෙදරට නාකිවෙතෑකියැ. ඒ කාලෙම මම ඒකිව කැන්දං ආවනං හැම උදැනැක්කෙම ගෙපැල ගාවින් යන එන ගමනේ කට පුරා හිනා විසික්කා කොරන කැරලැයින්ගේ කොලූ අප්පොච්චා කියන්නේ මට. ඒකට මක්කා වෙනවද. මේ ඉන්නේ රත්තරං කඳක් වගේ අපූරු දරුවෙක්. අනේ ඉතිං සාක්‍ය මහත්තයා මට අප්පොච්චි නොකිව්වට මං උන්දැගේ අප්පොච්චි ගානයි. අනේ දෙයියනේ එහෙව් මාව එකෝම එක වරදකින් දොට්ට දැම්මා නෙව. අර ඉස්ගෙඩි නෝනා කඩාපාත්තුනේ නැත්තං අන්තිම හුස්ම ඩිංගිත්තත් සාක්‍ය මහත්තයගේ හෙවනෙම යවන්ට තිඋනා. යස අපූරු කෙලිපොඩිත්තෝ යන එන ගෙදර අපේ මහත්තයටත් අර ඉස්ගෙඩි නෝනවම ඕන උනානේ. හිත ගිය තැන මාළිගාව කියනවනේ. මහත්තයගෙ කැමැත්තක් කොර ගන්ට කියලා මාත් කරබාගෙන උන්නා.

නාට්ටි පුහුණු කොලේ අපේ බංගලාවේ බැල්කොනියේ. නාට්ටිකාරයින්ට ආවතේවකං කොලෙත් මම. නාට්ටිය පෙන්නන දොහොට නාට්ටිය අහවර උනාම තිර රෙද්ද ඈත් කොරන කොට ආයිබෝං කියන්ට මාත් යනවා. මේ පාරත් මට ආයිබෝං කියන්ට ලැබෙන හන්දා මමත් නාට්ටියේ ඇත්තෝ වාගේ කුස්සියට වෙලා ආයිබෝං කියන්ට පුහුණු උනා. ඒ උනාට ඒකත් හරි හැටි පුහුණු වෙන්ට ඉස්පාසුවක් කොයින්ද. අර ඉස්ගෙඩි නෝනගේ ආවතේවකං බෝම වැඩී. සියදොරිස් අරක ගෙනෙං සියදොරිස් මේක ගෙනෙං කොයිවෙලාවෙත් සියදොරිස් සියදොරිස්. කන බොන කෑම ජාතිත් බෝම වෙනස්. තියන දෙයක් කාලා හැදිච්ච කෙනෙක් නෙවෙයි වාගේ. අපේ මහත්තයා මොනතරම් වංසක්කාරයෙක් උනත් ලුණුයි බතුයි දුන්නත් කයි. ඒකට මේ ඉසකුඩිච්චිය. අනේ මන්දා. අපේ මහත්තයත් ඉතිං නෝනා එනදොහොට ඉස්තරම් කෑම තමයි හදන්ට කියන්නේ. මං නොදන්න විච්චූරණ අලගෙඩියට ලූණු ගෙඩියට හැඩතියන්නේ අපේ මහත්තයා. නෝනට නෙවෙයි හ්ම් කියලා වචනයක්වත් කියන්නේ. ආදරේට වෙන්ටෑ. ඒ උනාට අර ඉසකුඩිච්චිය නෙව ඒකෙන් උඩ ගියේ. වෙලාවකට නාට්ටිය කෙරෙන්නෙත් උන්දැට ඕන විදිහට. අපේ සාක්‍ය මහත්තයත් ඉස්ගෙඩි නෝනට ඕන හැටියට නටන්න පටන් අරන්. ඉස්ගෙඩි නෝනත් දැං ඉන්නේ ආකහේ. අනෙක් සහෝදර නෝන මහත්තුරුත් අපේ මහතතයට නොපෙනෙන්න අර ඉසකුඩිච්චියට හිනා වෙනවා. අපෙ මහත්තයත් දැන් නිකම්ම විහිලුකාරයෙක් ගානයි.

ඉස්සකුඩිච්චි නෝනා බෝම තරුණ උනාට නාට්ටියේ රැඟුවේ වයසක උන්දැ කෙනෙකුට. ඒ උන්දැගේ ස්වාමි පුරුසයා යුද්ධෙට ගොහිං මැරිලලු. නෑ නෑ යුද්ධේ කිව්වට යුද්ධෙමත් නෙවෙයි ඒ වගේ වෙන එකක්. විප්ලවේ. විප්ලවෙත් යුද්ධෙ වගේම රට වෙනුවෙන් කොරන හටනක්ලු. හැබැයි යුද්ධ කොරන ඇත්තෝ යුද්ධ කොරන්නේ පඩියට උනාට විප්ලව කොරන ඇත්තෝ විප්ලව කොරන්නේ පඩියට නෙමෙයිලු. රටට ඇත්තටම ආදරෙන් ලු. ඕක මට පහදලා දෙන්න ගොහිං හෙම්බත් වෙච්ච අපේ සාක්‍ය මහත්තයා බැරිම තැන කියපු උත්තරේ තමයි ඕක. ඒ පහද ගැනිල්ල හරියටම හරි නැතිය කියලා මහත්තයා කිව්වට මයෙ තරමට ඔය මදෑ. ඉතිං මේ උන්දෑට ඒ කිව්වේ අම්මට, තරුණ පුතෙක් ඉන්නවා. මේ උන්දෑ තමංගේ මිනිහා විප්ලවේට ගොහිං මළාය කියලා මේ කොල්ලව විප්ලවේට යවන්නෑ නෙව. ඔය අල්ල පනල්ලේ මේ ගෙට ගොඩ වෙනවා මේ උන්දැගේ මලයන්ඩි, අන්න මිනිහා. මේ මිනිහා හීන් නූලෙන් අක්කණ්ඩිගේ හිත වෙනස් කොරලා කොල්ලව විප්ලවේට ගෙනියන්ටයි මානබලන්නේ. කොහෙද.. මේ අම්මණ්ඩිව නම්මගන්න ඒක ලේසිනෑ. මලයණ්ඩිත් ඊට දෙවෙනි නෑ. අක්කණ්ඩිගේ හිත වෙනස් කොරන ගමන් කොලුවව කුලප්පු කොරනවා. අන්තිමට අක්කණ්ඩිගේ හිත වෙනස් කිරිල්ල කෙසේ වෙතත් කොලුවගේ කුලප්පුව උත්සන්න වෙනවා. කොලුවා විප්ලවේට යන්ට තාත්තණ්ඩිගේ තුවක්කුව ඉල්ලනවා. මුළු ගේම පීරලා අර කොල්ලා තුවක්කු හොයා ගන්නවා. ඒ තුවක්කුව ඔතලා තියෙන්නේ කොඩියකින්. මේ අම්මණ්ඩි පැනපු ගමන් අර කොඩිය ඉරාපි. ඔන්න ඔය වෙලාවේ අර මාමණ්ඩි පැනලා අක්කා කියලා බලන්නැතුව ගහපි කම්මුලට පාරක්. තරු විසි වෙන්න. හා මං කියන්නේ තමංගේ රටේ කොඩියක් අර විදිහට කීතු කීතූ කොරන කොට මොකාටද බලාන ඉන්ට ඇහැක් වෙන්නේ. මම නං ගන්නේ කොස්ස. ඒ උනාට අපේ නිළි නෝනා කියාපි කම්මුලට ගහන කොටස අයින් කොරන්න කියලා. මට යකා ඇවිස්සුනේ ඔය වෙලාවේ. මයෙ යකා ඇවිස්සුනාට මක්කා කොරන්නද අපේ සාක්‍ය මහත්තයගේ යකා සිල් ගත්තු කොට. සාක්‍ය මහත්තයා අත දරුවෙක්ට වගේ පහදනවා. පහදනවා. අර ඉසකුඩිච්චිය නෙවෙයි කනකට ගන්නේ. අනේ අම්මපා මට කුණු හරුප මතක් උනා. මං ඉතිං නොදන්න කමටත් එක්ක නළු මහත්තයෙක්ගෙන් ඇහුවා නිළි නෝනට මක්කා වෙලාද කියලා. ඒ මහත්තයා කියන විදිහට නං මෙතන තියෙන්නේ පංති ප‍්‍රශ්නයක්. මමත් තේරුනා වගේ හිටියට ඇත්තම කාරණේ ඒක අහලා ඔළුව කුරිංඤං වෙච්චි එක. ඒ නිසාම ඔය අපේ මහත්තයගේ සහෝදර සහෝදරියෝ කතා කොරන තැංවලට මම කණ එල්ලලා තිබ්බා. එතකොටනේ මට තේරුණේ. අපේ ඉස්සකුඩිච්චචියගේ අප්පොච්චා ආණ්ඩුවේ සභාපති මහත්තයෙක් ලු. අපේ නාට්ටියේ අර අම්මණඩිගේ මලයණ්ඩිට රගන මහත්තයා අර සභාපති මහත්තයගේ සුළු සේවකයෙක්ලු. සුළු සේවකයෙක්ගෙන් ගුටි කන එක අර හෝන්තුවට මදිකමක්ලු. රෙද්ද. ඕකට අපේ ගමේ එව්වෝ නං කිව්වේ පංති ප‍්‍රශ්නේ කියලා නෙමෙයි මහන්තත්තකම කියලා. අනේ අපේ මහත්තයට නං මේ ඉසකුඩිච්චිය පෑහෙන්නෑ. මේ දීගේ නොකෙරෙන තරමට හොදයි. දෙයියන්ට බුදුන්ට කියන්ට රූපයක්වත් හොයාගන්ට නැති හන්දා මං ලෙනින් මහත්තයා ගාව දණින් වැටිලා කිව්වා ඉන්න තැනක ඉදන් අනේ අපේ මහත්තයව මේ හෝන්තුවෙන් බේරලා දෙන්ටය කියලා. කොහොමෙං කොහොම හරි අර හෝන්තුවගේ කියුම් බහට නාට්ටියත් වෙනස් කොලා නෙව. නාට්‍යයේ අනෙක් ඇත්තංගෙත් හිත් හොදටෝම රිදිලයි උන්නේ අපේ සාක්‍ය මහත්තයට වෙලා තියන වින්නැහියට. ඒත් ඉතිං මක්කා කොරන්නද.

නාට්ටිය පෙන්නන දොහත් ආවා. වෙනදට නාට්ටි පෙන්නන දොහොට අපේ මහත්තයගේ මූණත් තහඩුවට වඩින සඳ දෙයියො එදා නං රැවුල් ගහකවත් එල්ලිලා ඉන්නවා මං දැක්කේ නෑ. මූණ සුදු මැලිවෙලා. හිතේ හැටියකට නාට්ටිය කොරගන්න බැරුව වෙන්ටෑ. ආදරයක් කොරපු වින්නැහියක්. අපේ මහ්තයගේ ඇඳුමේ පැළඳුමේ හිට වෙනස් කොරපු නිළි හෝන්තුව අර අපූරුවට ලෝකයකට ආදරේ කරුණාව පිරිලා ඉතිරිලා ගිය හිතත් වෙනස් කොලා නෙව. තුක් නොදකිං උලව් ආදරේ. ආදරේ මේ තරම් ලොකු උලව්වක් කියලා මං දැනං උන්නේ නෑ. නාට්ටිය පෙන්නන්ට අන්තිම සීනුව වදින කල්ම තිර රෙද්දට වහං වෙලා මයෙ ඇස්ගෙඩි එහෙ මෙහේ දිව්වේ අපේ මහත්තයගේ වෙනස් වීමත් එක්ක. නාට්ටියත් පටන් ගත්තා. අපේ නිළි නෝනා සසබසගාලා වචන විසික්කා කොරනවා. ඇස්ගෙඩි දෙක නිළි නෝනා ගාව ඉන්දෝලා සරීර කූඩුව හැංගුවේ තිර රෙද්ද අස්සේ. අම්මණ්ඩි කොරන කියන දේත් එක්ක වහං වෙලා නළිය නළිය මං ළඟ උන්නු හිත හෙමින් හෙමින් උන්දැ ළඟට ගෑටුවා. දෙයිහාදුරුවනේ අම්මණ්ඩිගේ කතාවට පපු කැනැත්ත දෙදෙරනවා. ඇස් ගෙඩි දෙක පුපුරු ගහනවා. මම කොච්චර කීවත් මයේ අම්මා නෙවෙයි කනකට ගන්නේ. හරිම හිතුවක්කාරයි. මයෙ අප්පත් විප්ලවේට ගොහිං දිවිපිදු කොට මට ඇහැක්ද ගෙට රිංගලා කෙලිපොඩිත්තක් වාගේ වහං වෙන්ට. කොහේදැ අපේ අප්පොච්චිගේ තුවක්කු. අඩුම තරමින් මයෙ අම්මට අපේ මාමණ්ඩි කියන දෙයක්වත් අහන්ට බැරි හැටි. අනෙක් අතට මාමය කියන්නේ සුළු පටු මිනිහෙක්ද. අපේ ලෙනින් මහත්තයා? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? සාක්‍ය මහත්තයගේ කාමරේ උඩින්ම තියන පින්තුරේ ඉන්න උත්තමයා. ලෙනින් මහත්තයයි මායි එක ජරමරේට ගෙයි පෙරලලා තුවක්කු හොයන්ට පටන් ගත්තා. අතේ බ්ලේඩ් තලයක්වත් නැතිව විප්ලවයක් කොරන්ට ඇහැක්ද. තාත්තගේ හංගපු පෙට්ටියක තුවක්කු. දෙයියනේ සීලංකා කොඩියේ හැමතැනම ලේ. අප්පොච්චිගේ ලේ. අපේ ලේ. මයෙ අම්මා මයෙ අතින් උදුරලා ගත්තා අර කොඩිය. මගේ ඇස් ගෙඩි දෙක ඉදිරිපිට අර කොඩිය කෑලි කෑලි වලට ඉරාපි. නහරයක් නහරයක් ගානේ ගලා ආපු කේන්තියක තරම. අතට අහුවුනේ කොස්ස. මම උන්දැට...... වේස බැල්ලි මං තෝව ඉතුරු කරන්නෑ. කාළකන්නි මලෙයිලව්ව. තොගේ මිනිහගේ වලටත් හෙන ගහනවා මේ කරපු අපරාදෙට. පඩත්තර බැල්ලි............. ? ? ? ? ? ? ? ? ? මහා ගෝසාවක් ඇහෙන්ට උනා. මම වටපිට බැලූවා. දෙයිහාදුරුවනේ දැන් ඩිංගිත්තකට කළියෙන් තිර රෙද්දට වහං වෙලා උන්නු මම නිළි නෝනා ගාව, මහ සෙනග කන්දරාවක් ඇස් ඉස්සොරහ. කෝ දැං ඩිංගිත්තකට ඉස්සොර මෙතන උන්නු ලෙනින් මහත්තයා. උන්දෑ අහලකවත් නෑ. මයෙ කකුල් සට සට ගාලා ගැහෙනවා. අපේ සාක්‍ය මහත්තයා දුවගෙන ඇවිත් මයේ කම්මුලට ගහපි. මාව විසික්කා වෙලා ගොහිං වැටුණේ නිළි නෝනගේ දෙපාමුල. මම දනිපනි ගාලා නැගිට්ටා. කාරලා කෙලබෙට්ටක් ගැහුවා අර බැල්ලිගේ මූණට. රටක් රාජ්‍යක් වටින මයේ මහත්තයගේ ඔලුගෙඩිය සූරගෙන කෑවාට. අපිවගේ ඇත්තංගේ පිහිටට උන්නු මිනිහෙක්ව අන්ද කොලාට. තුක් නොදකිං වේස ආදරේ. එදාවගේම අදත් ඔය බැල්ලිව මතක් වෙන මතක් වෙන ගානේ කටේ කෙල හි‍ඳෙන කල් ඕකිට හෙණ ගහපං කියලයි කියන්නේ. විප්ලවයක් කොරන්ට දැං අපේ අතපය වලංගු නැතුවා. කොරන්ට ඉන්න එවුනුත් මේවගේ වේසාවියන්ට යට වෙනවා බලාන ඉන්ට බෑ. අන්තිම හුස්ම ඩිංගිත්ත අහවර වෙන්ට කලියෙං මං මයේ මහත්තයව බේර ගන්ට ඕනි. රාත්තිරිය මයේ තනියට පාන්දර කැන්දලා යන්ට ගොහින්. ඉර එළිය පැලේ හිල් අසෙන් මගේ දෙපාමුලට කඩා වැටිලා. මෙතුවක් කල් පිරිමිකමට කියලා නතර කොරගත්ත කදුළු කැට වලට වැටෙන්ඩ ඉඩදීලා මං ඔහේ බලාන උන්නා. සරොං වාටියට කදුළු අලෝලා මං පිලෙන් නැගිට්ටේ විප්ලවයක් කොරන්ට. උන්නත් එකයි මලත් එකයි. මං යනවා කොළඹ. කොළඹ ගොහිං මයෙ මහත්තයව අර වේස බැල්ලිගෙන් බේර ගන්නවා. සත්තයි. ඒකිව කරකාරේට අරන් තිඋනොත්? ? ? ? ? ඕන උලව්වක්. මං ආයිත් කොළඹ යන්ටය කියල හිතාන අන්තිම වතාවට මයෙ පැල දිහා හැරිලා බැලූවා. විප්ලවේට යන්ට හදනවා වගේ දහිරියක් මයෙ හිතට ආවා. විස්වාස කරන්ට මයේ අම්මා.... මගේ ඇස් ගෙඩිදෙක ඉහිලුම් නැතුව කඩුල්ලේ ඇලවුණා. සාක්‍ය මහත්තයා කඩුල්ල ගාව. පරණ විදිහටම. නිළිනෝනගේ කිවුම් බහට කපාපු රැවුල ආයිත් කට වටේට යස අපූරුවට. මයෙ ඇස් වාටියේ නළිය නළිය තියුණු කදුළු කැටේ කුදලගෙන කදුළු ගංගාවක් දෝරේ ගැලූවා. මයෙ සාක්‍ය මහත්තයා මාව බදාගත්තා. උන්දැගේ ඇස්ගෙඩි වලත් කදුළු. මයේ නැතිවුණු පුතන්ඩියව මට ආයිත් ගෙනත් දුන්නට ලෙනින් මහත්තයට බුදුබවත්වෙන්ට ඕනේ. ලෙනින් මහත්තයට වෙච්ච බාරේ ඔප්පු කරන්ට ඕං දැං මට හයිය හත්තිය තියන පුතෙක් ඉන්නවා.

උවනි චාමිකා ගුණසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails