Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අකුරු නම් බොහෝ තිබේ. ඒ අකුරු මුද්‍රිත වී නන්විධ ලෙස පෙළගැසී සිටිනු දුටිමි. ඒත් ලක්ෂයක් අකුරු අතර අප කම්පනය කරන අකුරු ඇත්තේ කීයෙන් කීයද? එවන් අකුරු පෙළක් දුටුමතින් කිසිවක් සටහන් කළ යුතු යැයි සිතමි. පසුගිය රාවයක පළ වී තිබුණු මංජුල වෙඩිවර්ධනගේ කවියක් මේ පූර්විකාවේ නිමිත්තයි. "මධුවිත තනිකර නික්මගිය නාගරික ජනකවියෙකු වූ ඩොනා හෙවත් ඩොනල්ඩ් මාමාගේ කාව්‍යාත්මයේ රිද්මය" යනු ඒ කවියේ නමයි.

ඩොනා හෙවත් ඩොනල්ඩ් මාමා කවුදැයි අපි නොදනිමු. ඇත්තවශයෙන්ම, ඩොනල්ඩ් මාමා සැබැවින්ම ජීවත් වූ අයෙක්දැයි හෝ මංජුලගේ මනසේම ඉපදී මනසේම නික්මගිය රසවතෙක්දැයි අපි නොදනිමු. එහෙත් මේ කවියෙන් පසු අපි ඩොනල්ඩ් මාමා හඳුනන්නෙමු. මේ කවියෙන් පසු ඩොනල්ඩ් මාමා ජීවතුන් අතර සිටියේය. ඉනික්බිති නික්ම ගියේය. එය කෙතරම් ඇත්තක් වී ද යත්, ඩොනල්ඩ් මාමා ළඟින් නික්ම එන මධුවිත සුවඳ පවා අපට දැනේ. එය අපට අපුලක් නොවේ. මන්ද ඒ ඔහුගේ ජීවිතයේ සුවඳය. ඉතින් මේ අසිරිමත් නාගරිකයාගේ විස්මය කුමක්ද? ඔහු හිටිවනම කියන වාද බයිලාවේ කප් ගැසුවෙකු වීමයි. ඩොනල්ඩ් මාමා මධුවිත ඉන්ධනය කර ගනිමින් ධාවනය වූ චමත්කාර දුම්රියක් නම්, ඩොනල්ඩ් මාමාගේ රේල්පාර දිගේම ඔහු ගැන කියන්නට මංජුල එන අයුරු අපූරු ය.

බැස්ටියන් ඩොනා - හිටියම
කස්ටියක් මෙනා
ගුරු මුස්ටියත් උනා දී
සන්තුස්ටියක් වුණා

ඉල්ලූ ගමන් පද ලැබෙන
කල්ප වෘක්ෂෙ වැඳ, කවි
මල්ල ලිහමි අද, බලනු
එල්ල හැලෙන නද


අටකොණ පද මායාකාරී ලෙස පෙළගස්වන මංජුල මේ අපට කියන්නේ කවියෙන් යා හැකි දුර අවසන් නැත කියාද?

ඩොනල්ඩ් මාමාගේ නික්මයාමේ කම්පනය අපගේ හදවත තුළ අවුළුවාලන්නට, මංජුල හා "ඩොනා" අතර වාදය පූර්විකාවක් වෙයි. මිත්‍රවරුනි, එය නම් සැබෑ වාදයකි. මනුෂ්‍යත්වයේ තොටිල්ලක දෝලනය වන සොඳුරු වාදයකි. මෙතැනදී "මම" යනු මංජුලය. "ඔහු" යනු ඩොනාය.

මම :-
මස් මාළුම කැව්වෙ
හැබැයි රස්සාවට බිව්වෙ
මම දුස්රාවකි එව්වෙ, කොහෙද
ඇස්වහගෙන දිව්වෙ

ඔහු :-
ඩොනා එවන පද - දැකල
අනාගෙනද අද
අපෙ සනා පිටිය මැද - වැටුණෙ
කනා මුට්ටි බිඳ

මම :-
දාඩිය ගඳ යසයි
තිත්ත කාඩිය වුව රසයි
කවි ජාඩිය හරි උසයි නමුත්
මූඩිය හෙණ වසයි

ඔහු :-
දාස් ගණන් පද ගලන
සාස්තරය ලද
අපෙ රාස් කියනවද
පොඩි රෝස් පාන් මැද

මම :-
ගිරා මොටකු කට අරියි
සිරා කවියෙකුට
සුරා සොඬකු හට බැරිය
ගුරා කියනු මට

ඔහු :-
දාලා දෙක ඉතා රසට
මෝලා ඇඹරෙතා
අර නාලාගිරි ඇතා වගෙයි
බීලා නැති පුතා


එතැනින් පසු කවියේ කවි බස අතර මැද නවතින මංජුල කවිය තුළ ඇති දෙවැනි ගද්‍ය කොටසට මුල පුරයි. එය මෙසේය.

"ඔහුගේ මඳහසෙහි ඇත්තේ සදය උපහාසයකි. උත්ප‍්‍රාසයෙන් මා දෙස බලා ඔහු යළි ඇස් පියයි. මම වේදනාවෙන් සසැළෙමි. ඔහු වෙනුවෙන් ලිවිය යුතු දෑ බොහෝ ය. මෙම නිහඬ නාගරික ජන කවියා වණන්නට පියවි ලෝකය බාධාවකි. එහෙයින් මේ නිමේෂයේ මම, මධුවිතක් පිණිස හිත හදා ගනිමි."

එසේ සටහන් කිරීමෙන් පසු කවි අවි ගබඩාව හැර ඩොනාගෙන් ලද අටකොණ මුනිස්සම් වැලක් එළියට ගන්නා මංජුල ඒවායින් අපගේ හද මත සිදුරු පොකුරක් නිර්මාණය කරයි. ඒ සිදුරු මතින් රුධිරය පමණක් නොව කඳුළු ද දහදිය ද වැගිරෙයි. සියලු බේබද්දන්ට සමා වුව මැනවි, මිත්‍රවරුනි, ඒ හෘදය සිදුරෙන් මනුස්සකම් රැඳි ඇඟිලි තුඩගින් සව්දිය පුරා මුවග තෙත්කළ මධුවිත ද සෙමින් සෙමින් ගලා එයි. මන්ද, ඒ මධු ද රුධිරය හා වර්ණයෙන් ද ගුණයෙන් ද දැනටමත් එක්ව ඇති බැවිනි. සැබැවින්ම, ඩොනාගේ මධුවිත සුවඳ ඔහු වැනි මනුෂ්‍යයන්ගේ හෘදය රුධිරයේ සුවඳ වන්නේ එහෙයිනි. මංජුලගේ අටකොණ වෙඩි හඩ රැව්දෙන හඬ යළිත් අසන්නට ඔබ කැමතිද?

සුවර්ගෙ යන දින මොටද
සුවර් ඔබගෙ තැන - ඔය
ලිවර් එකට පණ පොවල
කවර් කරමි දෙණ

ඔබෙ කට ගෙන බුදුවෙන්ට හදපු
රට සට කපටින්ට
අර අට කොණ ගෙන එන්ට කියමු
බටකොළ වළඳන්ට

අර මැරෑටියකු වෙන්න හදපු
මට මඟ පෙන්නා
කවි කරාටි පද පුහුණු කරල
කලු පටි දුන්නා


ඩොනාගේ මනුෂ්‍යත්වය මෙන්ම අවිධිමත් නාගරික ගුරුවරයාගේ භූමිකාව තුළ ඇති ශ්‍රේෂ්ඨත්වය ද පිළිබඳව ඒ පද සාක්ෂි නොවන්නේද? එතෙකින් නොනවතින මංජුල, ඩොනල්ඩ් මාමාගේ මධු ප්‍රේමය ගැනද අසිරිමත් විවරණයක් දෙයි.

තනි අතින් කවපු පිට්ටු
වලට ලතින් පවා මට්ටු
මධු විතින් අපට කිට්ටු
කරපු ඇතුන් සදා කෙට්ටු

පොඩි කුරුල්ලකුව සොයා
කවි කරල් කවපු පියා
මධු බැරල් අපිට තියා
අපෙ ඩොනල් මාම ගියා


මේ කවි පෙළ විචාරය කරන්නට මා නොතරම්ය. මේ සටහන කිසියම් අදහසක් ලෙස සැලකුව මනාය. ඉතා දීර්ඝ විචාරයක් විශ්ලේෂණාත්මකව ලියැවිය යුතු මේ කවිය පිළිබඳ කටු සටහනක් තැබීම වරදක් නම්, මිත්‍රවරුනි සමාවන්න. මා ඒ කම්පනය ඔබත් සමග බෙදානොගෙන සිටින්නේ කෙසේදැයි මම නොදනිමි. මා සිතන අන්දමට එය මංජුල ද නොදනී. ඔහු අවසන මෙසේ ලියන්නේ එනිසා විය යුතුය.

ඔය සදාතනික මූණෙ
රැස් නිදා වැටෙනු නෑනෙ
අත් මුදාහැරෙන මානෙ
අපි බෙදා ගනිමු හීනෙ


-ජනරළ

විමල් කැටිපෙආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails