Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සම්මානලාභී වේදිකා නළුවෙකු, ටෙලි නාට්‍ය නළුවෙකු, හඬ කැවීම් ශිල්පියෙකු සහ විටෙක නාට්‍ය ගුරුවරයෙකු වූ සරත් කරුණාරත්න වේදිකාවට පිවිසෙන්නේ පාසල් වේදිකාවෙනි. පන්නිපිටිය ධර්මපාල මහා විද්‍යාලයෙන් උසස් පෙළට නාට්‍ය හදාරණ ඔහුට වෘත්තීය රංගන ශිල්පියෙකු වීමට අඩිතාලම වැටෙන්නේ ජාතික කරුණ සේවා සභාවේ නාට්‍ය පාසලෙනි. 2006 යෞවන සම්මාන උළෙලේ දී කෝච්චිය එනකං කෙටි නාට්‍යයේ රංඟනය වෙනුවෙන් හොඳම සහය නළුවාට හිමි සම්මානය දිනා ගන්නා ඔහු 2010 රාජ්‍ය නාට්‍ය උළෙලේ දී කෙටි නාට්‍ය සඳහා වන හොඳම නළුවා සම්මානය ලබා ගන්නේ බොක්ස් වේදිකා නාට්‍යය වෙනුවෙනි. කළම්බෝ කළම්බෝ නාට්‍යයේ කරන ලද ඔහුගේ රංගනය සුවිශේෂී එකකි. මේ කතාබහ 'සරා' සමගයි.

බූන්දි- දැනට කලාව ගැන තියෙන සංවාදය නූතනවාදයෙනුත් ඔබ්බට ගිහින් පශ්චාත් නූතනවාදී තැනක තියෙන්නේ. Art (කලාව) කියල ඔබ අඳුනගන්නෙ මොකක්ද?

සරා- මට මූලිකව කියන්න තියෙන්නෙ කලාව කියන එකේ තියෙන්න ඕන දෙයක් තමයි බලන හෝ අහන කෙනාට මුලින්ම ඒක දැනෙන්න ඕන කියන කාරණාව. ඇහැ නම් ඇහැ හෝ කන නම් කන අල්ලන්න ඕනෙ. මුලින්ම ඒ රසය විඳල ඊට පස්සෙ ඒ මොකක්ද මේ කියල බැලීමක් තමා ඒකෙන් වෙන්නෙ. උදාහරණයක් ලෙස වේදිකා නාට්‍යයක් ගත්තොත් පෙළ කොච්චර බැරෑරුම් වුනත් අත්‍යාවශ්‍ය වුනත් බර වුනත් වැඩක් නෑ සහෘදයා ඒකත් එක්ක ඒකාත්මික වෙන්නෙ නැත්නම්. එහෙම ප්‍රේක්ෂකයව අල්ල ගත්ත තැන ඉඳල තමයි කරන්න ඕනෙ සංවාදය හදාගන්න තියෙන්නෙ. මගේ අදහස ඒකයි. කලාවේ ලස්සන හෝ කැත තුළින් අසන්නා හෝ බලන්නා අල්ලගෙන ඉන්න ඕනෙ. ඉන් පස්සෙ තමයි අනෙක් දේවල්. එතන තමයි Art හැදෙන්නෙ කියල මම හිතන්නෙ.

අනෙක කලාව පශ්චාත් නූතන තත්ත්වයන්ගෙන් වියුක්ත කරන්න බෑ. ඕනෑම කලා කෘතියක පශ්චාත් නූතන ලක්ෂණ අඩංගු විය හැකි යි. කලාකරුවාට අසු නො වෙන පශ්චාත් නූතන තත්ත්වයන් විචාරකයට අසුවිය හැකි යි. උදාහරණයක් විදිහට කුන්දේරා සහ මාර්කේස් යන අයගෙ කෘති බැලුවොත් ඒවයේ ඇති මේ ලක්ෂණ විචාරකයින් විසින් පසුව හඳුන ගත්තා. මේ සංවාදය තුළින් මතුවෙන, ‘සියල්ල කඩා බිඳ දමා නැවත අලුතින් ගොඩ නැගීම’ කියන අදහසට මම කැමතියි. නමුත් ඒ තුළින් විතරක් කලා කෘතියක් රස විඳිම පිළිබඳ මට ගැටළුවක් තියෙනවා. සමහරවිට මම නාට්‍යයක්, ඡායාරූපයක් ඉස්සර වගේම පරණ විදිහටම රස විඳිනවා ඇති. නමුත් මොන පදනමින් කළත් කෘතිය සහෘදයා සමඟ ඒකාත්මික නො වුණොත් ඒක ගැටළුවක්.

බූන්දි- අපි නාට්‍යවල විවිධ ශෛලීන් සම්ප්‍රදායයන් සහ යුගයන් පහු කරල තියෙනවා. සරා කැමති ශෛලියක් සම්ප්‍රදායයක් තියෙනවද?

සරා- නෑ. එහෙම ශෛලියකට වැටිල නෑ. නමුත් මම ආස කරන සහ විශ්වාස කරන දෙය තමයි තියටර් එකේ තියෙන මැජික් එක ප්‍රයෝජනයට ගන්න ඕනෙ කියන එක. ඒක හසුකරගන්න හරි අමාරු දෙයක්. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මැජික් එකක්. ඒ තුළින් අපිට අලුත් තියටර් අත්දැකීමක් දෙන්න පුළුවන් නම් මම හිතනව එතන ඩ්‍රාමා තියෙනව කියල. ඒක ‍මියුසික්වලින් ද පෙළ ඇතුළින් ද මොකෙන්ද කියල කියන්න බෑ. ඕනම ඩ්‍රාමා එකක් - උදාහරණයක් හැටියට බලන් ඉන්න අමාරුයි කියල සාමාන්‍යයෙන් විශ්වාස කෙරෙන ඉබ්සන්ගේ නාට්‍යයක් වුණත් නූතන තැනකට ගෙනත් වෙන විදිහකින් ඉදිරිපත් කළ හැකි නම් මම විශ්වාස කරන ආට් එක තියෙන්නෙ එතන. කළම්බෝ වලට මම ගොඩක් කැමති වෙන්නෙ අන්න ඒ හේතුවත් එක්ක. මොකද ෆර්ඩි අයියා (ඉන්දික ෆර්ඩිනැන්ඩු) කළම්බෝවල දි (Colombo Colombo) ඒ මැජික් එක ගොඩක් පාවිච්චි කළා. අලුත් වේදිකාමය අත්දැකීමක් දෙන්න හැකිනම් ඒක තමයි වැඩේ.


Colombo Colombo


බූන්දි- Colombo Colombo (කළම්බෝ කළම්බෝ) කියන්නෙ ප්‍රේක්ෂකයාව දැඩිව ග්‍රහණය කරපු හොලවපු වෙනස් නාට්‍යයක්. කළම්බො වෙනස් වෙන්නෙ මේ මැජික් එක හසුකරගන්නව කියන එකෙන් විතර ද? වෙන හේතු තියෙනව ද?

සරා- ඔව්. ඒ කියපු දේට අමතරව ෆර්ඩි අයියගේ පිටපත ඉතාම ප්‍රබලයි සහ හැම දෙබසක් ම කාව්‍යාත්මක යි. හරියට හොඳ පොතක් කියෙව්වා වගේ. පුදුම ගලා යාමක් හා සෞන්දර්යයක් තිබුණා. ඊළඟට පියල් කාරියවසම් ගේ ගීතවල වචන. ඒවා ඇතුළෙත් අර මැජික් එක තියෙනවා. ඊළඟට තේමාව. ඒ නාට්‍යය ගත්තම කියන්න බෑ ඒකෙ තේමාව මොකක්ද කියලා. කෙනෙකුට කියන්න පුලුවන් මේක ලාංකේය කාන්තාව ගැන කතා කරනව කියලා. නෑ... තව වෙලාවකට love ගැන කියන්න පුලුවන්... නෑ. නැත්නම් දේශපාලනය ගැන ද? නෑ... නැත්නම් ලංකාවේ වයසක පිරිමින්ට වෙන දේ ද කතා කරන්නෙ? නෑ. හැබැයි ඒ සියල්ල ම නැත්තෙත් නෑ. ඒ සියල්ලමත් තියෙනවා. කොළඹ ඇතුළෙ තියෙන මේ ගූඪ සංස්කෘතියත් තියෙනවා. සියල්ලම කතා කරන එක ‘රංගයක්’. ඒ නිසයි ඒක සාර්ථක වෙන්නෙ. ඒ වගේම ෆර්ඩි කියන්නෙ ඔතනට එන්න කලින් වේදිකාව මත විවිධ පර්යේෂණ කරපු මිනිහෙක්. "නහය නැති මිනිහා" වැනි විවිධ නිර්මාණ ඔහු කළා. ඒවා මට අනුව නම් අසාර්ථකයි. නමුත් ඒ සියල්ල තුළ පර්යේෂණාත්මක ලක්ෂණ තිබුණා. ඇතැම් නාට්‍යවල ඔහු දේශීය බෙර පවා යොදා ගත්තා. මේ සියලු උත්සහයන්ගේ ප්‍රතිඵලය තමයි කළම්බෝවල සාර්ථකත්වය. මොකද ඊට පස්සෙ එයා දැනගන්නවා කලින් වුණු අඩුපාඩු. කළම්බෝ සංගීතය විවිධ සංගීත ශෛලීන් යොදා ගනිමින් සහ විටෙක අපේම වන දෙයක් වෙන්නෙ ඒ නිසා. ඒ පර්යේෂණයට මම ආසයි.

බූන්දි- කළම්බෝ සමග ඔබේ අත්දැකීම කොහොමද?

සරා- ෆර්ඩි අයියා එක්ක වැඩ කරද්දි සමහර දෙබස් ගීත වුණා සහ අපිට මුලින්ම ඒ දෙබස කියන්න හිතෙන විදිහ ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට කියල බැලුවා. ඒහෙම බලද්දි ඒක හොඳම විදිහට ජවනිකාවට ගැළපුණා. අන්න එහෙම ලොකු වැඩමුළුවක්. ඒ අර්ථයෙනුත් මම ඒකට කැමතියි. තියටර් එකේ එහෙම වැඩ කරන්න තියෙනව නම් නළුවො විදිහට අපිටත් ඒක ලොකු අත්දැකීමක්. නැත්නම් මොකක් හරි පිටපතක් අරගෙන කියවල ඒකෙ තියෙන අදහස රඟපානවනම් ඒක අපිට විශේෂ අත්දැකීමක් වෙන්නෙත් නෑ. ප්‍රේක්ෂකයට අලුත් දෙයක් යන්නෙත් නෑ. මේකෙ එහෙම නෑ. අපිත් හොයමින් යන අය, ෆර්ඩිත් හොයනවා. අනෙක් අතට සෞම්‍ය අයියත් ඒ වගේම තියටර් ගැන හොයන කෙනෙක්. ඉතිං ඒක හොඳ එකමුතුවක් වුණා.

බූන්දි- ටෙලි නාට්‍යය කරා යන ගමනේ නවාතැනක් ලෙස නොසළකා, හොඳ වේදිකා නළුවෙක් වීමට නම් සැපිරිය යුතු දේවල් හැටියට ඔබ දකින්නෙ මොනවද?

සරා- අභ්‍යාසයෙන් ලබා ගත යුතු දේවල් ගොඩක් තියෙනවා. තාක්ෂණික පැත්තෙන් ගත්තොත් හඬ පාලනය කිරීම, relax වීම, රංගනය ප්‍රසාරණය කළ යුතු සීමාවන් දැන ගැනීම. අනෙක් දේ වැඩමුළු. කොචචර නළුවෙක් වුනත් කලින් කලට වැඩමුළු ඕනෙ. පුහුණුව අවශ්‍යයි. ලොකු දරා ගැනීමේ ශක්තියකුත් ඕනෙ වෙනවා. ජීවිතයේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙමින් ඒ ප්‍රශ්න වෙදිකාවට නොගෙන චරිතය රඟපෑමේ වගකීම ඔහුට හෝ ඇයට තියෙනවා.

බූන්දි- ඔබ රඟපෑම හැර සම්බන්ධවෙන ඕනෑම නාට්‍යයක නිෂ්පාදනයක් ලෙස සාර්ථක කරගැනීමට ඔබේ දායකත්වය දෙනවා. ඔබ හොඳම නළුවා සම්මානයට පාත්‍ර කළ බොක්ස් කෙටි නාට්‍යයේ ඔබ රඟපාපු අමුතු චරිතය ගැන මොකද හිතන්නෙ?

සරා- නාට්‍යයක් කියන්නෙ සාමූහික වැඩක්. ඒ නිසාම අපි අපි කරන සාකච්ඡා ආදිය තුළින් නාට්‍යය වැඩෙනවා. ඒක හැම නාට්‍යයකම වෙනවා. මේ චරිතය මට ලැබුණෙ යෞවන සම්මාන උළෙලට ඉදිරිපත් කරන නාට්‍යවලට අවුරුදු තිස්පහට ට වැඩි අයට දාන්න බැරි නිසා. චාලක මාව ගන්න ඇත්තෙත් ඒ නිසා. ඇත්තම කියනවනම් මුලින්ම කියවද්දි මට පිටපත හිතට ඇල්ලුවෙ නෑ. ඒකෙ බරක් තියෙනව කියල දැනුනෙ නෑ. නමුත් ආයි ආයි කියවද්දි මේකෙ කියන දේට එහා දෙයක් තියෙනව යට කතාවක් තියෙනව කියල මට හිතුණා. මම නැවත චාලක එක්ක කතා කළාම ඒ වෙනස් කිරීමට චාලක එකඟ වුණා. චාලක ගෙන්ම ඒක වැඩුණා. එයා මම එක යෝජනාවක් කරද්දි එයා ඒක දහස් ගුණයකින් වැඩි දියුණු කළා. නැත්නම් මම ඒක නො කරන්නයි හිටියෙ. චරිතයක් විදිහට ගත්තම මට ආසාවත් බයක් දෙකම තිබුණා. මොකද ඉන්න වයසට අඩු හෝ වැඩි චරිතයක් රඟපාද්දි ප්‍රවේශම් වෙන්න ඕනෙ. පොඩි ළමයෙකුගෙ චරිතයක් කරන්න ලැබිල නියම විදිහට නො කළොත් ඒක විකෘති වැඩක් වෙනවා. වයසක චරිතයක් වුනත් ඒ වගේ. මම දන්නෙ නෑ මම ඒක කොයි තරම් හොඳට කළා ද කියලා. නමුත් මම පුහුණු වුණේ මගේ වයසට යාමේ සීමාව සහ තියටර් එකේ කොහොමද ඒක පාවිච්චි කරන්නෙ කියන එක. ඒකට මට මගේ පුරුදු වෙනස් කරගන්න වුණා. මම මාස හයක් කළම්බෝ පුහුණුවීම් කරලා, රඟපාලා ඒකෙන් හැදුණු පුරුදු වලට ඇබ්බැහි වෙලා හිටියෙ. අනෙක් කොටස මගේ පුද්ගලික පුරුදු. පුළුවන් තරම් relax වෙන එක තමයි මට තිබුණු ලොකුම අභියෝගය. මොකද සාමාන්‍යයෙන් වයසක චරිත කරන්න ගියාම වයස ඇඟට ගන්න ගිහින් අමාරුවෙ වැටෙනවා. අපි එහෙම ඒව දැකල තියෙනව. මම පුලුවන් තරම් සරල තැන්වලින් චරිතෙට ඇතුළු වුණා. ඒකත් එක්ක චාලකගෙන් සහ මා එක්ක රඟපාපු අනෙක් නිළියගෙන් ලැබුණු සහයෝගයත් එකතු වුණාම හැමදේම සාර්ථක වුණා. මමත් නොහිතපු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා.

බූන්දි- මේ මොහොත තුළ හොඳ වේදිකා නාට්‍ය බිහිවෙනවද?

සරා- ඔව් හොඳ නාට්‍ය කීපයක් ම හැදුණා එක දිගට. කළම්බෝ කළම්බෝ, ග්ලැඩියේටර් ප්‍රේමය, දොළහක් වැනි නාට්‍ය තුළ ගොඩක් ඉස්සරහ පිම්මක් තිබුණා. සාමාන්‍යයෙන් ගත්තොත් කලාව ඉස්සරහට යමින් තියෙනවා.

බූන්දි- වත්මන් වේදිකා නාට්‍යකරුවා ගැන ඔබේ අදහස මොකක්ද? ඔවුන් දායක වන හෝ නිර්මාණය කරන වේදිකා නාට්‍යවලින් දෙන ප්‍රබල සාමාජයීය සහ දේශපාලනික පණිවුඩ නිර්මාණකරුවාගේ සැබෑ භාවිතය තුළ දියවෙලා යනවා කියල චෝදනාවක් තියෙනවා.

සරා- අර කියන විදිහට දේශපාලනිකව විසංවාදී ව හැසිරෙන්න සිදුවීම නො වැළැක්විය හැකි දෙයක් වෙලා. අපිට වැඩ කරන්න සිදු වෙන්නෙ විවිධ වෙනස් අදහස් දරන අය එක්ක. ඒක කොන්දේසි විරහිතව කරන්න සිද්ධ වෙනවා. නළුවන්ටත් මේක පොදුයි. එහෙම නොකළොත් පැවැත්මක් නෑ. ඩබ්. ජයසිරි ‘නැගෙනහිර වෙරළින් ඇසෙන’ චිත්‍රපටයේ කතා කරන මාතෘකාවට හාත්පසින් වෙනස් චරිතයක් ‘ගාමණි’ චිත්‍රපටයේ කරනවා. තමන් විශ්වාස කරන දේශපාලනය රැගත් නිර්මාණවල පමණක් රඟපාන්න බැරි අවස්ථාවල් එන්න පුළුවන්. නමුත් මේක සාපේක්ෂයි. අධ්‍යක්ෂවරයාට ත් ඒකම වෙනවා. දක්ෂතාවය බලල නළු නිළියො ගනිද්දි තමන්ගෙ දේශපාලන ආස්ථානයට ප්‍රතිවිරුද්ධ අදහස් දරණ අය එක්ක වැඩ කරන්න වෙනවා. අභ්‍යන්තර ගැටළු තියාගෙන තමයි සමහර නාට්‍ය එළියට එන්නෙ.

බූන්දි- පවතින ක්‍රමය දැඩිව විවේචනය කරන නාට්‍යයකට ඒ අවුරුද්දෙ රාජ්‍ය නාට්‍ය උළෙලෙ දි එම නාට්‍යය විසින් විවේචිත පීඩක ක්‍රමය විසින් ම සම්මානයක් දෙනවා. සම්මානවලින් සංවාදය ඉවර කරනවා නේද?

සරා- මට හිතෙන්නෙ මෙහෙමයි. විනිශ්චය මණ්ඩලයට ඒ නාට්‍යයට ඒ සම්මානය නොදී බැරි වෙනවා. ඉතිං එයාලා ඒ සම්මානය දෙනවා. සංවාදය තියෙන්නෙ නාට්‍යකරුවා හෝ විනිශ්චය මණ්ඩලය අතේ නෙවෙයි. විචාරකයා අත. කිසියම් විචාරයක් කළත් බොහෝවිට කරන්නේ තාක්ෂණික පැත්ත ගැන විතරයි- සංවාදය වැහිල යනවා. ප්‍රේක්ෂකයාට මේ තාක්ෂණික කාරණා අදාළ නෑ. ඔවුන්ට වැදගත් වෙන්නෙ නිර්මාණයෙන් ලැබෙන කම්පනය විතරයි. ප්‍රබල විචාර දකින්න ලැබෙන්නෙ හරි අඩුවෙන්. ප්‍රේක්ෂකයා බලන්න එද්දි දන්නෙ නෑ නාට්‍යය හොඳ ද නරකද කියල. සම්මාන ලැබුණා හෝ නැතා එතනින් එහාට ගෙන යාමේ වගකීම තියෙන්නෙ විචාරකයට. නමුත් ලංකාවේ ඒක සිද්ධවෙන්නෙ හරි අඩුවෙන්.

බූන්දි- වේදිකා නාට්‍යකට කොළඹින් එහාට මිනිස්සු අතරට යන්න තියෙන ඉඩකඩ අඩුයි නේද? මුල්‍යමය හේතු හැර මේකට වෙනත් හේතු තියෙනවද?

සරා- තියෙනවා. දයානන්ද ගුණවර්ධන මහත්තයා ජයලත් මනෝරත්න මහත්තයා වැනි අය නාට්‍ය කරද්දි ඒවා ගමට ගියා. ඒවා වෙනුවෙන් හැදුණු ප්‍රේක්ෂකයින් හිටියා. ගමේ ම සංවිධාකයන් හිටියා. ඒ යුගය අපි නාට්‍ය බලන්න ගනිද්දිත් ඉවර වෙලයි තිබුණෙ. ඉන්පසු එක් යුගයක් ආවා විවිධ හේතු නිසා වේදිකා නාට්‍ය කඩන් වැටුණු. එතැනින් ගම සහ නාට්‍යකරුවා අතර සම්බන්ධය කැඩුණා. නමුත් මනෝරත්න මහත්තයට මේක වෙන්නෙ නෑ. මොකද ඔහුට හැදුණු රසික පිරිස සහ සංවිධයකයින් අතර සබඳතාව තාම තියෙනවා. ඔහුට අදටත් කමතක් හරි තියෙනවා. නමුත් අලුත් නාට්‍යකාරයෙකුට මේ සබඳතා නෑ. එතනයි රික්තකය තියෙන්නෙ. අනෙක් කාරණය තමයි ටෙලි නාට්‍යවලට පුරුදු වුණ ප්‍රේක්ෂකයා නාට්‍යවල හොයන්නෙත් පුරුදු මූණු. ඉතිං අපි නාට්‍යයක් පෙන්නන්න සංවිධායකයෙකුට කතා කරද්දි එයාල අහන්නෙ "කවුද ඉන්න ස්ටාර්ස්ලා" කියලා. ඒ ස්ටාර්ස්ලා නිර්වචනය කළොත් අඩුගාණේ සෞම්‍ය ලියනගේවත් ‘ස්ටාර්’ කෙනෙක් නෙවෙයි. ඒක සංවිධායකයගෙ වරදකුත් නෙවෙයි. ඔහුට විකුණගන්න පුළුවන් දේනෙ ඔහු හොයන්නෙ. ඔහු ඒක කරන්නෙ ඔහුගෙ පැවැත්ම වෙනුවෙන්.

බූන්දි- මේකට මිනිසුන්ගෙ සමාජයීය දේශපාලනික පරිසරය වගේම රසඥතාවත් බලපානවා නේද?

සරා- ඔව් ඇත්තටම. අපට එවැනි අත්දැකීම් තියෙනවා. 2007 හොඳම නාට්‍යය වුණ ‘හයිනා’ නාට්‍යය ගමට ගෙනිච්චම ප්‍රේක්ෂකයෝ ප්‍රතික්ෂේප කළා. ඒක ඔවුන්ට දරා ගන්න බැරි වුණා.

බූන්දි- කලා නිර්මාණවලට විශේෂයෙන්ම වේදිකා නාට්‍යවලට මිනිසා වෙනස් කළ හැකි යැයි ඔබ විශ්වාස කරනවද?

සරා- ඔව්. අනිවාර්යයෙන්ම! වේදිකා නාට්‍ය තුළ රැඳී සිටින්න මට ඒකත් එක හේතුවක්. තියටර් එකෙන් දෙන කම්පනය වැනි කම්පනයක් වෙන කිසිම කලා මාධ්‍යයකින් දෙන්න බෑ කියල මම තරයේ විශ්වාස කරනවා. ඒක මම ප්‍රේක්ෂකයෙක් හැටියටත් නාට්‍යයක් ඉවර වෙලා සහෘදයා වේදිකාව මතට ඇවිල්ලා ඍජුවම දක්වන ප්‍රතිචාරය අත්විඳින නළුවෙක් ලෙසත් අත්දකිනවා. මනුස්සයෙක් වෙනස් කරන්න පුළුවන් හොඳම කලා භාවිතය තමයි වේදිකාව. ඒකෙ තියෙන සජීවි බව, ඒ කියන්නෙ ඒ වෙලාවෙ එතනට ඇවිත් සජීවීව බලන්න පුළුවන් කියන එකම නෙවෙයි. අවට පරිසරය එක පාරට කලුවර කරලා, එක තැනකට හිර කරලා, එක පැත්තක් විතරක් එළිය කරලා, අපට එක පැත්තක් විතරක් බලන්න බල කරලා එතැනින් එහාට අරන් යන චාරිකාව කියන්නෙ සජීවීව මනුස්සයෙක්ව වෙනස් කරන්න පුළුවන් දෙයක්. ඒක ට අඩු වැඩි වශයෙන් නාට්‍යයේ සාර්ථකත්වය බලපානවා. නමුත් තර්ඩ් බෙල් එකෙන් පස්සෙ ප්‍රේක්ෂකයාට ඒ දෙන අත්දැකීම සුවිශේෂී එකක්. එක ම නාට්‍යය වුණත් දෙවරක් බලන්න බෑ. ප්‍රේක්ෂකයා ඒ මොහොතේ දක්වන ප්‍රතිචාරය එක්ක නාට්‍යය වෙනස් වෙනවා. ඒක වැරදියට ගන්න එපා. ඒකෙ තේරුම ප්‍රේක්ෂකයා හිනාවෙනකොට ඔහුව තවත් හිනස්සන්න දේවල් අපි විහිළුකාරයො වෙනවා කියන එක නෙවෙයි. ඒක වැරදියි. සමහරවිට හිනාවෙන්න විවේකය දීගෙන ඉන්න වෙනවා තප්පර දහයක් පහළොවක් ඊළඟ දෙබස කියන්න. නමුත් ඒ කාලය තුළ අපිට ඒ චරිතයෙන් මිදෙන්නත් බෑ. ඒ තුළ අපි ජීවත් වෙන්නත් ඕනේ. ඉතිං නාට්‍යය කියන්නේ ප්‍රේක්ෂකයවත් එක්කහු කරන් යන ගමනක්. ඒ දර්ශනය දවසින් දවස වෙනස් වෙන එකක්. ඒ සජීවී බව තුළ මිනිහෙක්ව වෙනස් කරන්න පුළුවන් හොඳම මෙවලමක් තමයි වේදිකා නාට්‍යය.

බූන්දි- කලාකරුවෙකුගේ කාර්යභාරය ලෙස ඔබ දකින්නේ කුමක්ද?

සරා- සැබෑ කලාකරුවා අනිවාර්යයෙන්ම මිනිසාව වෙනස් සමාජයක් කරා ගෙන යාමට සහ වෙනස් මිනිසෙක් බිහිකිරීමට කලාව කළ යුතුයි. නිර්මාණ බිහිවිය යුත්තෙත් ඒ අර්ථයෙන්. නමුත් එය කළ යුත්තේ කලාව මරල නෙවෙයි. ඒ තුළ නිරායාසයෙන්ම කලාවටමත් සේවයක් විය යුතුයි. කලාව මරල, කලාව යට කරල ඒක පරණ තැනක තියාගෙන මිනිස්සු හෝ සමාජය වෙනස් කිරීම සඳහා පමණක් නිර්මාණ කළොත් ඒක අසාර්ථකයි. තමන්ගෙ දැක්මේ ඉඳගෙන වෙනස් සමාජයක් හදන්න වෙනස් දියුණු කලාවක් යොදාගෙන වෙහෙස වෙනව නම් ඒක තමයි කලාකරුවෙකුගෙ කාර්යභාරය කියල මම හිතන්නෙ.

එක කාලයක් ලංකාවෙ Art වෙනස් වුණානෙ. සමහර කාල තිබුණ ලංකාවෙ වේදිකා නාට්‍ය කලාව ප්‍රේක්ෂකයාට ඉදිරියෙන් තිබුණා. ඒ නාට්‍ය ප්‍රේක්ෂකයාව රැ‍ගෙන ගියෙ නෑ. ඒහෙම වුණාම වෙන්නෙ උළෙලට ‘මාර’ නාට්‍යයක් කරනවා. ඉන් එහාට ප්‍රේක්ෂකයට යන්නෙ නෑ. ඔහු එතන නෑ. එහෙම කරල බෑ . ප්‍රේක්ෂකයා සමග තමයි මේ ගමන යන්න ඕනෙ. නිර්මාණකරුවා තියටර් එකේ අත්දැකීම් හෙව්වා. නමුත් ප්‍රේක්ෂකයා එක තැනක නැවතුණා.

බූන්දි- ප්‍රේක්ෂකයා එතැන නෑ කියල නිර්මාණකරුවා නිර්මාණය නො කර සිටිය යුතුද?

සරා- නැහැ. නමුත් නිර්මාණයක් පවතින්න නම් ප්‍රේක්ෂකයාත් ඇදගෙන යා යුතුයි. ප්‍රේක්ෂකයාත් වැඩෙනවා පියවරෙන් පියවර. එක තැන ඉන්නෙ නෑ. කලාකරුවන් එයාලව අරන් යා යුතුයි.

බූන්දි- අපි ටිකක් ටෙලි නාට්‍ය ගැන කතා කරමු. සරා ටෙලි නාට්‍යවල මෙගා ටෙලි නාට්‍යවලත් රඟපානවා. නමුත් වේදිකාව මත අපිව මවිත කරන ප්‍රතිභාන්විත රංඟන ශිල්පියා ටෙලි නාට්‍ය තුළ හමුවෙන්නෙ නෑ. ඒ හිඩැස හැදෙන්නෙ කොතනින්ද?

සරා- ඒක ටෙලි නාට්‍යවල වරදක්මත් කියන්න බෑ. මොකද ටෙලි නාට්‍යය කියන්නෙම සෝප් ඔපෙරා නෙ. ඒක හැදෙන්නෙ ගෘහණියන්ට උයන පිහන ගමන් බලන්න. ඉතිං ඒවයේ අපට ඉහළ මට්ටමක් බලාපොරොත්තු වෙන්න බෑ. එක කාලෙකදි ලංකාවෙ ටෙලි නාට්‍ය ලෝකෙ හැදුණු අනෙක් ටෙලි නාට්‍ය වලිනුත් එහාට යමින් වෙන කතිකාවක් හදමින් කලාත්මක බවක් නඩත්තු කරන තැනකට ආවා. ඒක නෑ කියන්න බෑ. ඒවයේ සිනමාත්මක ලක්ෂණ පවා තිබුණා. එච්චර වියදම් කළා. ඒකට මිලක් තිබුණා. මේ වෙනකොට ඒක ප්‍රාග්ධනය කියන සාධකය ත් එක්ක කඩන් වැටිලා නැවත ආපහු සාමාන්‍ය සෝප් ඔපෙරාව තමා රූපවාහිනියෙ දකින්න ලැබෙන්නෙ. අපි තවදුරටත් උසස් ගණයේ නිර්මාණ රූපවාහිනියේ දකින්න බලාපොරොත්තු වෙනව නම් ඒක හමුවෙන එකක් නෑ. කවුරුහරි සිනමා නිර්මාණයක් කරන්න තද ආසාවක් තියෙන කෙනෙක් පුහුණු වීමක් හැටියට හොඳ ටෙලි නාට්‍යයක් කළොත් ඇරෙන්න. නමුත් ඒකත් අවදානම් සහගත වැඩක්. මොකද එවැනි කලාත්මක දේවල් විකුණගන්න අමාරුයි. විකිණීම සඳහා සැපිරිය යුතු සාධක බැලුවම ඒ නිර්මාණය ප්‍රතික්ෂේප වෙනවා. අපිට ලැබෙන චරිතත් නිර්මාණත් ඒ වගේ. එයාල දන්නවා එයාලගේ ප්‍රේක්ෂකයා කවුද කියලා. ඒ අනුවයි නිර්මාණ බිහිවෙන්නෙ. ඉතිං ඒක ඇතුළෙ මම ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. නළුවෙක් ලෙස ක්ෂේත්‍රයේ රැඳී ඉන්න මම මේක කරනවා. මට වෙන වෘත්තියක් කළ හැකියි. එහෙම කළොත් මම නළුවෙක් වෙන්නෙ නෑ. එහෙම කියල ලැබෙන හැමදේම කරන්නෙත් නෑ. මගේ සරල ජීවිතේට ගැළපෙන්න ටෙලි නාට්‍යකට දෙකකට සම්බන්ධ වෙනවා. මොකද ඒකත් එක්ක මට වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න ඉඩ හැදෙන නිසා. මට කරන්න අවශ්‍ය දේ තියටර් එකේ කරන්න මම උත්සාහ ගන්නවා.


Colombo Colombo


බූන්දි- ඔබ මේ සියල්ලට අමතරව සංගීත කටයුත්තක ඉන්නව නේද?

සරා- මට සංගීතයේ ලොකු හැකියාවක් නෑ. තිලංක තමගේ සහ අපි කට්ටියක් එකතු වෙලා ‘Wanted’ කියන බෑන්ඩ් එක හදාගෙන තියෙන්නෙ. මම මට දැනෙන යම් දේවල් ලියලා තිලංකට දීලා කට්ටියත් එක්කත් කතා කරලා සංගීත සංයෝජනය කරනවා. ඒ එකක්වත් ශුද්ධ රාගධාරී හෝ හිපොප් හෝ රෙගේ වෙන්නෙ නෑ. මේ ඔක්කොම කලවම් ඒවා තමයි නිර්මාණය වෙන්නෙ. අපි මෙට්ල් දේවල් පාවිච්චි කරනවා. රෙගේත් තියෙනවා. අපට වෙන කිසිදු මාධ්‍යකින් ප්‍රකාශ කරගන්න බැරි වුණු දේ තමයි මේ කියන්නෙ. ඒක සමාජගත කරන්න පුළුවන් සීමාව ඇතුළෙ දේවල් කරනවා. මේවා මාධ්‍යවලට දෙන්න බෑ. මොකද මේවා එයාලගේ නිර්ණායකවලට එකඟ නෑ. අපි හදපු ‘කුඩුකාරයා’ ගීතය අපි රූපවාහිනී නාළිකාවකට දැම්මා. ඒක අත්හදා බැලීමක්. ඊට අමතරව අපි විශ්වාස කරන දේශපාලනය ගෑවිලාවත් තියෙන සමාජ ව්‍යාපාරයක් කතා කළොත් අපි ගිහිල්ලා මේ ගීත ඉදිරිපත් කරනවා.

බූන්දි- ඔබ තවමත් හදාරනවද?

සරා- ඔව්. නමුත් ඒකට තියෙන්නෙ සීමිත අවස්ථාවන් ටිකක්. පුළුවන් විදිහට වැඩමුළුවලට සහභාගී වෙනවා. චිත්‍රපටි බලනවා. නාට්‍ය බලනවා සහ වැඩ ඇතුළෙ හදාරනවා. වැඩමුළු වගේ දේවල් අඩුයි. සමහර නාට්‍ය නිෂ්පාදන අපි වැඩමුළු කරගන්නවා.

බූන්දි- ලංකාවේ කලාව ගැන මොකද හිතෙන්නෙ?

සරා- කලාව තවමත් නො කිළිටිව ඉතිරි වෙලා තියෙන්නෙ තියටර් එකේ විතරයි. ඒක වෙන්නෙ මුල්‍යමය සාධකයත් එක්ක මම හිතන්නෙ. හොඳ චිත්‍රපටි බිහිවෙන්නේ ඉතාම අතළොස්සයි. දැන් තියෙන්නේ ජාතික හැඟීම පුබුදුවන වීර කාව්‍ය පමණයි. සංගීතයත් එහෙමයි. වීඩියෝ අංශය යම් දුරකට හොඳයි. නමුත් ඒකත් කරන්නෙ කලාත්මක හැඟීමකින් නෙවෙයි. තනු නම් ගොඩක් ඒවා කොපි. වචන නම් ඇත්තෙම නෑ. වචන ශබ්ද කිරීමවත් ගණන් ගන්නෙ නෑ. ප්‍රවීණයෝ පවා තම කාර්යය අත්හැරලා. කවිවල නම් ප්‍රබෝධයක් දකිනවා. නාට්‍ය හෝ කවි සංවාදවල රස්තියාදු ගසමින් ඉන්න තරුණ පිරිසක් ඉන්නවා. ඒ අය හොඳ දේවල් කරන්න උත්සහ කරනවා.

බූන්දි- ඔබේ කලා දිවියේ පරිපාකය කුමක් විය යුතුද?

සරා- සරල ජීවිතයක් ගෙවමින් තියටර් එකේ වැඩක් කරමින් ජීවත් වෙන්න ඕනේ. මට දැනෙනවා ඒකෙ අපි අත නො ගහපු තැන් ගොඩක් තියෙනව කියල. ඒක ස්පර්ශ කරන්න මේ වෙලාවේ විවේකය සහ නිදහස අඩුයි. එහෙම සමාජ පරිසරයකුත් නෑ. එවැනි කලා කටයුත්තක් කිරීමට තරම් දියුණු නිදහස් සමාජයක් බිහිවේවා කියන එකයි මගේ ප්‍රාර්ථනාව.

බූන්දි වැඩ දෙපාර්තමේන්තුව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails