Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බොහෝ අවස්‌ථාවන් හිදී මවිසින් අවධානයට ලක්‌ කරනු ලැබුවේ, වෙසෙසින්ම නව පරපුරේ සංවාදයට ලක්‌ නොවන ප්‍රතිභාන්විතයන්ගේ නිර්මාණ කෘතීන්ය. නමුදු මේ වෑයම අවධානයට ලක්‌ වුවත් බොහෝවිට සංවාදයට බඳුන් නොවන කවියෙකුගේ නවමු කෘතිය පිළිබඳව යමක්‌ සටහන් කරන්නටය. ඒ මංජුල වෙඩිවර්ධන කවියා විසින් ප්‍රකාශයට පත් කොට ඇති "ඇහැළ ඇමතුමකට ඇහැරෙමි" නම් නිර්මාණ එකතුවයි.

ඔහු සිය කවි තුලින් මතු කරන අදහස්‌ නිතරම නිහඬතාවයේ ගිල්වා මරා දමනු ලබයි. උතුරේ දේශපාලන අධිකාරියේ මෙහෙයවීමෙන් වැලි හොරුන් විසින් මරා දමනු ලැබූ "තේවා" නම් තරුණයා පිළිබඳව වන ඔහුගේ කවියට [නියඟලා කවි] දක්‌වන නිහඬ බව එය පල වූ වෙබ් අඩවිය බැලීමෙන් වටහා ගත හැක. සමහර ගොබ්බ කවි වලට, කඳු ගණන් ප්‍රතිචාර ලැබෙතත් මේවා අසා නිහඬ බවම රැකේ.

පළමුව මෙය විචාරයක්‌ නොවන බව කිය යුතුය. විචාරයක්‌ කළ යුත්තේ ආන්තික නොවන ලෙසටය. මංජුලගේ කවියට (සමහර විටෙක නොඑකඟතාවයන් සහිතව වුවත්) ආදරය කරන්නෙකු ලෙස, ඒවා විචාරයට බටහොත් එය ආන්තික විචාරයක්‌ වීම වැළැක්‌විය නොහැකිය. එබැවින් මේ ඔහුගේ නව කෘතිය පිළිබඳ යම් සටහනක්‌ පමණක්‌ බව සැළකුව මනාය.

"පල් හොරුණි
මල් නොවන මගේ කවි
ගල් වගේ දමා ගසන්නෙමි නුඹලාට..."


යනුවෙන් සිය පළමු කෘතියේ පළමු කවියෙන් තම කාව්‍ය සංසාරය ඇරඹූ ඔහු එකල සිහින දැක්‌කේ, ඔහුම කියා ඇති පරිදි විප්ලවයේ කවියා වන්නටය. ප්‍රාණ සම වූ මිතුරා ෂේන් මැකෙල්වි කවියා යුධ බිම ඇද වැටී, ඉනික්‌බිති බොහෝ සිදුවීම් වලින් පසුව....,

නිර්භයව තමන් පෙනී සිටි මතවාදයක්‌ වෙනුවෙන් විසංවාදය රුචි නොවූ සමාජයක්‌ කෙරෙන් පිටමංව පියස්‌සක්‌ රහිත හීතලක දුරු රටක හිඳ සිය හැඟූම් කවි බවට පෙරලයි. එහි නැවුම් ප්‍රකාශනය මෙකියන කවි එකතුවයි.

1997 වසරේදී ෂේන් සමග ප්‍රකාශිත නිරුත්තර සමාධිය, 2002 දී පළ වූ පිළිහුඩුවී කෘති ඔහු වෙත ප්‍රවණතාවාදී ලේබලය ගෙන ආවේය. 2007 වසරේදී ප්‍රකාශිත රුබයියාට්‌ පන්නයේ මධු සඳිනි මධු විත සහ කතාබහට ලක්‌ වූ මාතෘකාවක්‌ නැති මාතෘ භූමිය යන කෘති වලට පසුව මේ නව කෘතිය අප අත පත් වෙයි.

මහගමසේකරයන් විසින් පැවසූ, "කවිය යනු කවියාගේ ආධ්‍යාත්මය මිස අනෙකක්‌ නොවේ." යන්න නිර්ව්‍යාජ කවි කියවන සෑම විටෙකම පාහේ සිතට නැගෙන්නකි. සමහර විටෙක අප කෝප කරවන තරම් එකී නිර්ව්‍යාජ ආධ්‍යාත්ම ප්‍රකාශනය ආත්ම කේන්ද්‍රීය වුවත්, ව්‍යාජ සටන් පාඨ කවි දහසකට වඩා එවැන්නක්‌ උතුම්ය.

මේ අදහසට ආසන්න උදාහරණයක්‌ ලෙස, කිවියර රත්න ශ්‍රී විඡේසිංහයන්ගේ සන්ධ්‍යා තීර්ථය කෘතිය පෙන්වා දිය හැකිය. එහිදී ද බොහෝ කොට හමු වන්නේ ඔහු දැරූ යම් ආස්‌ථානයක්‌ නිසාවෙන්, සිය පරිවාර සම්පත්තියෙන් බැට කෑ කවියාගේ ආධ්‍යාත්මයයි.
ඇහැළ ඇමතුමකට කෘතිය තුල දී ද, පළවා හළ, තනි කරනු ලැබූ, විරහී කවියෙකුගේ ආධ්‍යාත්මය විදහාපාන කවි බොහෝ කොට මුණගැසේ. ඒවා නිරුත්සාහක කවි ලෙස හැඳින්විය හැකිය. එකී කවි අප තුල මහත් සංවේදනා ඇති කරයි. බලන්න, මේ "විසල් නගරය"...

දුමක්‌ මිස හිත නිවා සනහන
පෙමක්‌ නැත හිතගාව හිනැහෙන
දුකක්‌ බව දැනෙන විට කවියද
කෙතෙක්‌ නම් රිදෙන්නෙද හදවත

සෙත් සාන්තිය ගලන දෙනෙතක
කාන්තිය අඳුරෙහි වෙලේ
අත්ලාන්තික සයුරු පතුලට
ආන්තික කඳුළක්‌ සැලේ


එකී හුදෙකලාවට නිරාවරණිතව දිවි ගෙවන කල තම ආදරණීය බිමේ සමීපතමයින්ගේ අවසන් මොහොතට පවා එක්‌ වීමට නොහැකි වීම තුල කවිය පවා අසමත් නොවන්නේද?

පාස්‌කුවත් වියෑකී ගිය සැඳෑවක
දෑස්‌ බොඳවුණා ඔරසන් තලාවක
දෑත් පිරිසිදුයි කොන්තෙද මලානික
මාත් අඳිමි කුරුසිය හුදෙකලාවක


-තෙරේසා හෙවත් ලොකු පුංචි

ගල්කිස්‌ස සුසානේ සැතපෙන
අත්තම්ම නෙතේ වූ කඳුළක
සද්දන්ත සෙනේහේ සිසිලක
නිස්‌සද්ද මගේ ළය කළඹන


-අත්තම්මා

ආත්ම කේන්ද්‍රියත්වයක්‌ ලෙස යමෙකුට හඳුන්වා දිය හැකි වුවද එහි සරැළි නංවන්නේ පළවා හළ අයෙකුගේ සංතානයේ රිද්මයයි. එකවි මදක්‌ බැහැරට යවා තවත් වෙසෙස්‌ කවි කිහිපයකට අවධානය යොමු කරමි.

රත්න ශ්‍රී කවියාගේ කාව්‍ය භාවිතය පිළිබඳව සාහිත්‍ය සමාජය තුල පසුගිය වකවානුවේ නොයෙක්‌ කතාබහ ඇති වූ බව නොරහසකි. කවියන් විසින් ඒ පිළිබඳව තම අදහස කවි බවට පෙරළුෑ අවස්‌ථා දක්‌නට ලැබුණි. ඒ අතර පද තියුණු සැත් කොට ගෙන කපා කොටා කළ බැණ අඬගෑම් ද දක්‌නට ලැබුණි. මංජුල ද මෙය වස්‌තු විෂය කොට ගෙන කවක්‌ පබඳියි. නමුත් ඔහු ඉතා සංයමයක්‌ ඒ තුළ පිළිබිඹු කරයි. එසේ කරන්නේ මංජුලට ප්‍රතිමුඛ ලෙස රත්න ශ්‍රී ස්‌ථානගතව සිටියදීමය.

සිංහලෙන් ගී ගැයුව කිරිල්ලී
සුදු කොඩි මැදින් එද්දි ඉගිල්ලී
වෙඩි තිබ්බ කෙසරුන්ට ගසල් ලී
කිවිඳුන්ට කවි ලියමි නොසෙල්ලී

ඇස පෙළන ඔය උපැස ගලවන්න
බොඳ ඇහින් කඳුළු බිඳු දැකගන්න
තුඩ බිඳුණු පන්හිඳට පණ දෙන්න
ඔය මුහුණ යළි වරක්‌ දැක ගන්න
අත වනන්නම් සෙමෙන් ඈත සිට


-ඒ වුණාට රත්නේ ඔබ, රත්නේ ඔබ....* [රත්න ශ්‍රී ට ප්‍රේමයෙනි]

අනෙක්‌ අතට චූල සමාජයික දුක්‌ප්‍රාප්ති ගත අපේ එකියක්‌ ගැන කියෑවෙන කවකි, "පත්තර කන්තෝරුවේ ප්‍රතිග්‍රාහිකාව" කව.

කෙටි කතා දහසකට කන් දී
නවකතාවක්‌ ලියයි හැංඟී
ළං නොවන ස්‌නේහයට හැංඟී
දුර කතාකරනවද නංගී


"සුසා" වැනි කවියක්‌ තවදුරටත් හෘදයංගමව මිතුරු ඇසුරේ යෙදෙන්නෙකුගේ සිත අසුරු සැණෙකින් දවාලයි.

උඹෙ අතින් අල්ලගෙන
මගෙ හුස්‌ම බොට දෙන්න
මගේ අත්- තටු නොවෙන නිසා
කිනිහිරියෙ දුක්‌ විඳින
කවි කිරිච්චිය රැගෙන
ඇන ගනිමි හදවතට සුසා...

පත්තිරක ලියනු බැහැ මුසා
ඇත්තටම ආදරෙයි සුසා...


ඔහුගේ නියඟලා කවි නම් නිර්මාණය ඉඟිකරන යථාර්ථය කවර මතවාදයක්‌ දරන්නෙකුට වුව පිටු දැකිය නොහේ. උතුරේ සුන්දර වෙරළ තීරයක්‌ භක්‌ෂණය කරමින් සිදු වූ පාරිසරික සංහාරිත වැලි කොල්ලයකයට එරෙහිව සමාජ ජාල වෙබ් අඩවියක ආධාරයෙන් සටන් වැදුණු කේතීස්‌වරන් තේවරාජා නම් තරුණයාගේ ජීවිත වන්දිය මෙයට වස්‌තු කොට ගෙන ඇත. මෙකවිය ඔහුගේ පිළිහුඩුවී කෘතියේ සමහර කවි සිහිපත් කරවයි.

වැලි කඳුත් ගිලින නැඩ මකරුන්ට
ඉඳුමිණක්‌ හැකිද වෙන් කර හඳුනන්ට
මවුබිමත් සමග රමණය කළවුන්ට
මවු වුණත් කයක්‌ පමණකි හැමිනෙන්ට

පියඹලා පැමිණි ගිජු ලිහිනියන් කැළ
බිම හෙලා පයින් පෑගුව නමුදු මල
ඉවසලාම ඇස්‌ දෙක රතු වුණ වෙරළ
නියඟලා පිපෙනු නවතන්නද කෙළෙස

සටහන් තැබිය යුතු බොහෝ කවි ඇතත් මෙම සටහන ඉතා දීර්ඝ වනවාට නොරිසියෙන් කීපයක්‌ පමණක්‌ සඳහන් කරමි. ජනකවි ආර, යසෝදරාවත සිහිගන්වන නිර්මාණද ඒ අතරින් කිහිපයකි. නමුත් එකී අතීතකාමී රිද්මයන් ඔහු හාත්පසින් වෙනස්‌ සන්දර්භයන් තුල බහාලයි.

සාර සියක්‌ ගව් දුර කුලුණක හෙවන
වීර කෙසර ගිලිහෙන සිහිනෙන් මිදුණ
මාර සෙනඟ විමසන සඳ මඳ පවන
බීර මලක්‌ පිපුණයි පිපිරුණු ලවන

"නිස්‌කාරණේ සැතපෙනු බෑ තනි යහනේ
පස්‌ මහ බැලුම් පාවෙනවා උඩු ගුවනේ
රස්‌සාවක්‌ නුඹට විතරද හමුනොවුණේ
බැස්‌ටීලයට හෙන වැදිලද සුවාමිනේ"


-අබිනික්‌මනක ඉක්‌මන නම් වූ ගිරිස්‌මයේ හිම පතනය

මේ සියලු නිර්මාණ අතරින් සුවිශේෂම නිර්මාණයක්‌ ලෙස ඩොනා නම් නාගරික ජන කවියා පිළිබඳ කවිය දක්‌වා ලමි. එහි අකෘතිය මුලුමනින්ම බයිලා රිද්මය ගනී. සැබැවින්ම නැවුම් අත්හදා බැලීමකි. ඔහු එහි රිසි සේ හැසිරෙයි. ඒවා රස විඳිය යුත්තේ බයිලා ගායනා කරන රිද්මයට අනුව යමිනි. ව්‍යාජ පණ්‌ඩිතමානි වදන් වෙනුවට එහිදී ඔහු සරළ වදන් යොදා ගනියි. අතරින් උපුටා දක්‌වමි.

සවී ගෙනෙන පද
සිඹියි
නිවී තියෙන හද
අවී වුණත් වැඳ
වැටෙයි
කවී පොකුරු මැද

සුවර්ගෙ යන දින
මොටද
සුවර් ඔබගෙ තැන
ලිවර් එකට පණ
පොවල
කවර් කරමි දෙණ


-මධුවිත තනිකර නික්‌ම ගිය නාගරික ජන කවියෙක්‌ වූ ඩොනා හෙවත් ඩොනල්ඩ් මාමාගේ කාව්‍යාත්මයේ රිද්මය

එසේම ක්‍රිස්‌තියානි ආගමික සංකල්ප කවිය වෙත ගෙන ඒමටද හේ රුචි වෙයි. විටෙක විවේචනාර්ථයෙනි. නමුත් මෙය සිංහල කවිය වෙත බොහෝ සෙයින් ගෙන ආවේ මංජුල විසිනැයි සිතමි. එපමණක්‌ද නොවේ. ඔහු බෞද්ධ සහ ක්‍රිස්‌තියානි සංකල්ප එකට පෑහෙන ලෙස කවි තුල බහාලයි.

සුදු ඇතු සොඬය අග
නෙළුමක්‌ විය විකසිත
එහි සිලිටි පෙති මත
නොනැඟින සෙත් පිරිත

සුසුදු අත්තටු සීතය
ගබ්රියෙල් දේව දූතය
හොරණෑවෙ වූ ගීතය
ගීතිකාවට ඈතයි
නියත විවරණ


මේ එකතුවේ අනෙක්‌ වෙසෙස්‌ම නිර්මාණය "අම්මා සහ අපේ ගේ" නමි. නිරුත්සාහකය. නිර්ව්‍යාජය. එය බොහෝවුන්ගේ දිවිය පිළිබිඹු කෙරෙන කැටපතක්‌ වැන්න. උපුටනය සීමා කිරීමට වීම ගැන දුක්‌වෙමි.

බ්ලොග් ගල් වගේ පෙනෙන අර හරිය
උකස්‌ ආයෝජනේ වැල් පොලිය
වැඩ වවන ගල් බාස්‌ලගෙ කුලිය
කපරාරු කරන්නට නම් බැරිය

කතාවල පොඩි එකෙක්‌ ඉන්නවා
වැඩිය නෑ පොඩියකුත් ගන්නවා
අත්තිවාරමෙන් පද පන්නවා
කවි එහෙම ලියන්නත් දන්නවා


-අම්මා සහ අපේ ගේ

මංජුල වෙඩිවර්ධන කවියාගේ සමහර කවි පිලිබඳව මා හට යම් විවේචනයක්‌ තිබුණි. එය පශ්චාත්තාපී යුධ කවි නම් ලිපියේ මෙසේ සටහන් කළෙමි.

.....එහෙත් මේ සමහර කවි තුල ප්‍රශ්න කරනු ලබන්නේ සමස්‌ත සිංහල ප්‍රජාවයි. මේ මහත් ඛේදවාචකයට සිංහල ප්‍රජාව වගකිය යුතු ප්‍රමාණයක්‌ ඇත. එපමණක්‌ නොව දෙමළ සහ මුස්‌ලිම් ප්‍රජාවන්ද වගකිය යුතු ප්‍රමාණ තිබේ. නමුදු සකල විධ වරද වලට සිංහල ප්‍රජාවට ඇඟිල්ල දිගු වන විට මේ සියල්ලටම සැබෑ ලෙසම වග කිය යුතු ජරපත් ධනේෂ්වරය සහ පාලක රෙජිමය අනියමින් සුජාතකරණයට ලක්‌ වීම සිදු වේ.... එකී දුබලතාවයෙන් මිදුණු කෘතියත් ලෙස ඇහැළ ඇමතුමකට ඇහැරෙමි කෘතිය දකිමි.

ඇහැළ ඇමතුම කුමක්‌ විය හැකිද? ඇහැළ මාසය විශේෂ හැඟවුමක්‌ බවට පත් වන්නේ එය බටහිර මාස ක්‍රමයට පෙරළා ගත් විටය. එකී ඇමතුම ඔබටද ඇසෙනු ඇත. ඉතින් අවදි විය යුතුය.

වෙනස්‌ ඇසින් දකින්නේ එකම සිහිනය නොවේද?
ඉතින් කවියෙනි, පිල් බෙදී බැණ අඬ ගා මේ අරෝවන් කුමටද?


සඳුන් ප්‍රියංකර විතානගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails