
ගාලු කොටුවෙන් එහා සුසුම්ලන මහ මුහුද
අසනි වැහි වලාවෙන් වැසුණා
ලුණු හුළඟ මුහුවෙච්ච වැහි බිංදු පොළොවටම වැටුණා
පරෙවි හඬ රජකෙරුව ඕලන්ද පල්ලියේ
මහ දොරක් සුළඟට ම ඇරුණා
අවසාන බංකුවේ සිටි ඇයත් වැහි පොදට තෙමුණා
කඳුළු ගුලි හිරකරන් සිටි නමුත් හදිසියේ, එකම එක ඉකියකින්
නිහඬ බව මොහොතකට බිඳුනා
සිහින් සුරතින් වැහුණු ඇගේ මුව පැකිලෙමින් සැලුනා
දවස් තුනකට කලින් ඔහු එව්ව කෙටි ලිපිය
ඇය අතින් ගිලිහෙමින් වැටුණා
තෙතබරිත පොළොව මත වැටුන එය හරි අතට හැරුණා
වැහි බිංදු හෝ කඳුළු මුහුවෙච්ච කඩදහියේ, අවසාන පේලියේ
අත් අකුරු බොඳවෙලා පෙණුනා
"විප්ලවය දිනේවා!"
අවසාන වතාවට ලොකු අකුරු ඔහු ලියල තිබුණා
භාතිෂ අකලංක සිල්වා



