Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



1889 අප්‍රේල් 16 වන දින ලන්ඩනයේ වෝල්වෝර්ත් හි දුගී පවුලක ඉපිද අතරින් පතර පාසල් ගොස් ප්‍රාථමික පාසලෙන්ම හැලී ගිය චාලි චැප්ලින් පසුකලෙක ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ප්‍රහසන ශිල්පියා මෙන්ම අග්‍රගණ්‍ය රංගධරයෙකු සහ සිනමාවේදියෙකු බවට ද පත්විය. වයස අවඅරුදු පහේ දී සිය රෝගී මවගේ හිස්තැන පිරවීමට වේදිකාවට නැගුණු චාලි ඒ මොහොතේ ම ප්‍රේක්ෂක ප්‍රසාදය ඉහළින් ම දිනාගත්තේ ය. 1972 දී සිනමාව වෙනුවෙන් කළ අනුපමේය කැපකිරීම වෙනුවෙන් ඔස්කා සම්මානය ඔහුට හිමි වූ අතර 1975 දී සිය මව් රට වන මහා බ්‍රිතාන්‍යයෙන් නයිට් පදවියකින් ද පිදුම් ලැබීය. මේ සියල්ල අභිබවා ඔහු තවමත් ලොව අග්‍රගණ්‍ය වූ කලාකරුවන්ගේ ලැයිස්තුවෙහි ඉහළින් ම රැ‍ඳෙයි. ලොව පුරා රසික, විචාරක ආදරයට සහ ගෞරවයට නිබඳව පාත්‍ර වෙයි.

මේ, 1966 දී චාලි චැප්ලින් සමග රිචර්ඩ් මෙරිමන් කරන ලද සම්මුඛ සාකච්ඡාවකින් තෝරා ගත් කොටස් කිහිපයකි.

රිචර්ඩ් මෙරිමන් : මේ සාකච්ඡාව සම්පූර්ණයෙන් ම සිද්ධවෙන්නෙ ඔබේ වැඩ සහ ඔබේ කලා කටයුතු ගැන කතා කරන්න. මට ඕනේ ඔබ වැඩ කරන විදිහ ගැන අදහසක් දෙන්න.

චැප්ලින්: මම වැඩ කරන විදිහ ගැන කෙටියෙන්ම කියනව නම් කියන්න තියෙන්නෙ මම මගේ වැඩ ගැන සැලකිලිමත් කියල. මම කරන හැම දෙයක් ගැනම මම සැලකිලිමත්. මට මීට වඩා හොඳට වෙනත් දෙයක් කරන්න පුලුවන් වුණා නම් මම ඒක කරයි. නමුත් මට වෙන දෙයක් බෑ.

රිචර්ඩ් මෙරිමන් : ඔබට පුලුවන්ද මතක් කරගන්න ඔබ ‘පාදඩයා’ ගේ ඇඳුම නිර්මාණය කරපු මොහොත?

චැප්ලින්: ඒක වුණේ පුදුම හදිසියකින්. ඡායාරූපශිල්පියා විහිළු විදිහට මේක්- අප් එකක් දාගෙන එන්න කියද්දි මට මෙලෝ අදහසක් තිබුණෙ නෑ මොනව කරන්නද කියල. ඇඳුම් කාමරේට යන ගමන් මම කල්පනා කළා. මම හිතුවා හැමදේම බොහොම විසංවාදී ආකාරයට හදන්න ඕනෙය කියල. - ලොකු බැගී කලිසම, හිර කෝට් එක, ලොකු ඔළුව, ‍පුංචි තොප්පිය, ගොරහැඬි යි, ඒ වගේම වැදගත් පෙනුම. මම දැනගෙන හිටියෙ නෑ මූණ ට මොනව කරන්නද කියල. මොනව වුණත් ඒක දුක්බර , කල්පනාකාරී එකක් විය යුතු බව මම දැනගෙන හිටියා. මට ඕනෙ වුණා ඒකෙ තිබුණු විහිළු සහගත බව හංගන්න. ඉතිං මට ලැබුණා පොඩි උඩු රැවුළක්. රැවුළ කොහොමටවත් චරිත නිරූපණයට අදාළ වුණේ නෑ. ඒකෙන් පොඩි මෝඩ ගතියක් ඇ‍ඟෙව්වා විතර යි. ඒකෙන් මගේ ප්‍රකාශනයන් යටපත් වුණේ නෑ.

රිචර්ඩ් මෙරිමන් : ඔබේ පෙනුම දැක්කම ඔබට මොනවද මුලින්ම හිතුණෙ?

චාලි චැප්ලින්: ඒකෙන් මගෙ ඇතුළාන්තයෙ කිසි දෙයක් අමුතුවෙන් ‘දැල්වුණේ’ නෑ. කැමරාව ඉදිරියේ පෙනී හිටිනකම් කිසිම දෙයක් වුණේ නෑ. හොඳට ඇඳ පැළඳගෙන එතනට යද්දි මම හිටියෙ හොඳ ආකල්පයකින්- හොඳ මානසිකත්වයකින්. ඒ දර්ශනය (Mabel's Strange Predicament චිත්‍රපටයේ) රූගත කළේ හෝටලයක ආලින්දයක. ‘පාදඩයා’ මුලුමනින්ම උත්සහ ගන්නෙ තමනුත් අනෙක් අමුත්තන් වගේම සාමාන්‍ය අමුත්තෙක් කියල අඟවලා එතන තියෙන සැප පහසු පුටුවකට වැටිල ටිකක් සනීප ගන්න. හැමකෙනාම ඔහු දිහා තරමක සැකෙන් බැලුවත් මම ඔවුන් කරන හැමදේම බොහොම සාමාන්‍ය විදිහට කළා. ලියාපදිංචි ලේඛනය බැලුවා. සිගරට් එකක් අරන් පත්තු කරගත්තා. එතනින් ගිය පෙළපාළියක් බැලුවා. ඊළඟට පය පැකිලිලා පඩික්කමක් උඩට ඇදගෙන වැටුණා. එ තමයි පාදඩයාගේ පළවෙනි විහිළුව. එතැනින් ඒ චරිතය බිහිවුණා. ඉතිං මම හිතුවා ඒක හොඳ චරිතයක් කියල. නමුත් එයින් පසු මම රඟ පෑ හැම චරිතෙකට ම විහිළු නිපදවන්න ඒ ආකෘතිය යොදා ගැණුනෙ නෑ.


Mabel's Strange Predicament; පාදඩයා උපදී!


නමුත් මම එක දෙයක් ඉටා ගත්තා. පාදඩයාගේ ඇඳුම් කෙසේ වෙතත් ඔහුගේ අපහසුතාවයෙන් පෙළෙන දෙපා වෙනස් නො කරන්න. ඔහු කෙතරම් සජීවී මොහොතක දි වුණත් , උද්දාමයෙන් පෙළෙන මොහොතක දි වුණත් ඔහුට කොයි වෙලාවෙත් තිබුණෙ මේ වෙහෙසකර, විශාල දෙපා. මම අල්මාරිය පීරල හෙව්වෙ පරණ, ලොකු සපත්තු දෙකක්. මොකද මට තිබු‍ණෙ බොහොම අසාමාන්‍ය ලෙස කුඩා පාද. ඉතිං ඒ කුඩා දෙපයට ලොකු සපත්තු දැම්ම ම අපූරු විහිළු විලාසයක් එයි කියල මට හිතුණා. මම ස්වභාවිකවම හොඳ පෙනුම යි. ඒ වුණාට ලොකු කකුල් එක්ක හොඳ පෙනුමක් එනකොට- ඒක හරිම විහිළු යි.

රිචර්ඩ් මෙරිමන් : ඔබ හිතනවද නූතන ලෝකය තුළ ‘පාදඩයා’ ට කළ හැකි යමක් තියෙනවා කියලා?

චැප්ලින්: මම හිතන්නෙ නෑ දැන් එවැනි අයෙකුට කිසිම ඉඩක් තියෙනව කියල. මේ වෙන කොට ලෝකය ටිකක් ‘පිළිවෙළක්’ වෙලා තියෙන්නෙ. මම පේන්නෙ නෑ මොන පැත්තෙන් බැලුවත් ඒ ලෝකෙ සතුටක් තියෙනව කියල. මම දැකල තියෙනවා කොට කලිසම් අඳින කොණ්ඩෙ වවන සමහර ළමයි. මට තේරෙනව ඒගොල්ලන්ගෙන් සමහර අයට ඕනෙ පාදඩයො වෙන්න. නමුත් අර ඉස්සර තිබුණු නිහතමානීකම නෑ. එයාල දන්නෙවත් නෑ මොකක්ද නිහතමානි වෙනව කියන්නෙ කියලා. ඒ ගුණය දැන් ‘පුරාවස්තුවක්’ වෙලා. ඒක අයත් වෙන්නෙ වෙනත් යුගයකට. ඒකයි මට කලින් කළ කිසි දෙයක් දැන් කරන්න බැරි. අනෙක් හේතුව තමයි ශබ්දය. කතාකිරීම ආවට පස්සෙ මට මගේ චරිතය කොහෙත්ම කරගන්න බැරිවුණා. මම දැනගෙන හිටියෙ නෑ ඔහුට මොන වගේ කටහඬක් දෙන්නද කියල. ඉතිං ඔහුට (පාදඩයට) සිද්ධවුණා යන්න.


චැප්ලින්- සිනහවේ ද කඳුලේ ද පංගුකාරිය වූ ඌනා සමග


රිචර්ඩ් මෙරිමන් : ඔබ හිතන විදිහට පාදඩයාගේ තිබුණ ආකර්ශනීය ම දේ මොකක්ද?

චැප්ලින්: ඔහු සතු ශාන්ත නිශ්චල දුගී බව. ඕනෙම කෙනෙක් කැමතියි හොඳට අඳින්න, කැපිල පේන්න. ඒ චරිතයේ මම වඩාත් වින්ද කොටස තමයි ඒක- හැමදෙයක් ගැනම බොහොම පරෙස්සම්සහගත වගේම සංවේදීවීම. නමුත් ඔහු ආකර්ශනීයයි කියල මම කවදාවත් හිතල තිබුණෙ නෑ. පාදඩයා කියන්නෙ මා තුළ සිටි අයෙක්. මට ඔහුව ප්‍රකාශ කරන්න ඕනෙ වුණා. මම ප්‍රේක්ෂකයින්ගෙ ප්‍රතිචාරවලින් උද්‍යෝගිමත් වුණා තමයි නමුත් මම කවදාවත් ප්‍රේක්ෂකාගාරයට බද්ධ වුණේ නෑ. ප්‍රේක්ෂකයා මේ වැඩේට සම්බන්ධ වෙන්නේ නිර්මාණය අවසන් වුණාම. නිර්මාණය බිහිවෙද්දි ඔවුන් බලපාන්නෙ නෑ. මම හැම තිස්සෙම මා තුළින්ම මතුවෙන හාස්‍යජනක බලවේගයකට සම්බන්ධ වුණා. එයයි මාව මෙහෙයවූයේ මේ දේවල් කරන්න. මේ හාස්‍යය ප්‍රකාශ කරන්න.

රිචර්ඩ් මෙරිමන් : මේ විකට ජවනිකාවල පිළිවෙල ඔබ හදාගන්නෙ කොහොමද? ඒක ඉබේම එනවද? නැත්නම් යම්කිසි ක්‍රියාවලියකට සිදුවෙන දෙයක්ද?

චැප්ලින්: නෑ. එහි කිසිම ක්‍රියාවලියක් නෑ. හොඳම අදහස් ගොඩනැගෙන්නේ අවස්ථාවන් මත. හොඳ හාස්‍යජනක අවස්ථාවක් ආවම එය විසින්ම දිගින් දිගට එවැනි විවිධ අවස්ථා හදාගනිමින් විහිදෙනවා. වරක් මම හිම ක්‍රීඩා සඳහා පාවිච්චි කරන පා තල දෙකක් පැළඳගෙන හිම ක්‍රීඩා කළා (The Rink චිත්‍රපටය). ප්‍රේක්ෂකයෝ හැමෝම හිතන්නෙ බලාපොරොත්තුවෙන්නෙ මම ඊළඟ මොහොතෙ ඇදන් වැටෙයි කියල. නමුත් මම නො වැටී එක් පාදයකින් විතරක් බොහොම උජාරුවෙන් හිම ක්‍රීඩා කරනවා. ප්‍රේක්ෂකාගාරය පාදඩයෙකුගෙන් එවැන්නක් බලාපොරොත්තු වෙන්නෙ නෑ.

නමුත් අධිකතර කටුක අවස්ථාවන් නො තිබුණා නෙවෙයි. කිසිම අදහසක් ආපු නැති කිසි දෙයක් වැඩ නොකළ කලකිරුණු දවස්. මට කරන්න තිබුණ දේ තමයි අනෙක් අයව හිනස්සන්න විදිහක් හිතන එක. කාටවත් හාස්‍යජනක වෙන්න බෑ හාස්‍ය‍ය සහිත අවස්ථාවක් නැතිව. ඔබට පුළුවන් විහිළුවක් කරන්න, පය පැකිළිලා වැටෙන්න- නමුත් අත්‍යවශ්‍ය ම දේ තමයි අවස්ථාව.

රිචර්ඩ් මෙරිමන් : ඔබ දැකල තියෙනවද මිනිසුන් මෙවැනි දේවල් කරනවා? නැත්නම් මේ සියල්ල ඔබේ පරිකල්පනය තුළ බිහිවූ ඒවද?

චැප්ලින්: නෑ. අපි අපේම ලෝකයක් හදා ගත්තා. මගේ ලෝකය වුණේ කැලිෆෝනියාවේ චිත්‍රාගාරය. මම සෙට් එකේ ඉඳිද්දි මට අදහසක් ආවම එහෙම නැත්නම් යම් කතා වස්තුවක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කරන කොට- ඒ තමයි සතුටින්ම ගතවුණු නිමේෂයන්. මට සතුටක් දැනෙනවා. ඉන් පස්සෙ දේවල් සිද්ධ වෙනවා. මගේ එකම සැනසීම වුණේ ඒකයි. ඔබ දන්නවනෙ කැලිෆෝනියාවේ, විශේෂයෙන්ම හොලිවුඩ්වල හවස් වරුව කොච්චර පාලු ද කියල. නමුත් විකට ලෝකයක් නිර්මාණය කිරීම හරිම අපූරු දෙයක් වුණා. එය එදිනෙදා ජීවිතයෙන් වෙනස් වුණ වෙනත් ලෝකයක්. එහි විනෝදය තිබුණා. එතන ඉඳගෙන දවසින් භාගයක් පුහුණුවීම් කරල රූගත කරනවා. එච්චරයි.


පාදඩකමෙන් ෆාදර්කමට; චාලි, ජැකී කූගන් සමග


රිචර්ඩ් මෙරිමන් : යථාර්ථය කියන්නෙ ප්‍රහසනයේ අත්‍යවශ්‍ය අංගයක් ද?

චැප්ලින්: ඔව්. අනිවාර්යයෙන්ම. මම හිතන්නෙ ඔබට විකාර සහගත අවස්ථාවක් නිරූපණය කරන්න තිබෙනව නම් ඔබ කළ යුත්තේ ඊට සම්පූර්ණ යථාර්තවාදී බවක් ලබා දීමයි. ප්‍රේක්ෂකාගාරය මේක කල් තියාම දන්නවා. ඉතිං ඒගොල්ලො ඉන්නෙ ඒ ගැන උද්‍යෝගයෙන්. ඒක ඔවුන්ට සත්‍යයක් වෙන තරමට ම විහිලුවකුත් වෙනවා. ඒ තුළින් ඔවුන් උපරිම ප්‍රමෝදය අත්විඳිනවා.

රිචර්ඩ් මෙරිමන් : හොඳයි, තවත් කොටසක් වුණේ වධ හිංසා. එහි ගොඩක් වධ වේදනා තිබුණා.

චැප්ලින්: වධ වේදනා කියන්නේ ප්‍රහසනයේ මූලික අංගයක්. හොඳ සිහියෙන් කරනව කියල පේන දේ ඇත්තටම උමතුවක්. ඔබට හැකිනම් මේක අවශ්‍ය පමණ අනුවේදනීය විදිහට ඉදිරිපත් කරන්න, ප්‍රේක්ෂකයින් ඊට ආදරය කරනවා. ඔවුන් එය හඳුනාගන්නේ තම ජීවිතයේ හමුවන ප්‍රහසනයක් විදිහට. ඔවුන් ඊට හිනාවෙන්නෙ එයින් නොමැරී ඉන්න - නො වැළපී ඉන්න. ඒක අව්‍යාජබව කියන ගුප්ත හැඟීම එනකොට ඇතිවන ගැටලුවක්. වයසක මනුස්සයෙක් කෙසෙල් ලෙල්ලක් පෑගිලා ලිස්සලා හෙමිහිට පය පැකිළිලා වැනෙනකොට අපි හිනාවෙන්නෙ නෑ. නමුත් පුරාජේරු පෙනුමක් තියෙන හොඳට ඇඳ පැළඳගත් මහත්මයෙක් මවාගත් උදාරම් බවකින් ඒකම කළොත් අපි හිනාවෙනවා. ඕනෙම ව්‍යාකූල අවස්ථාවක් විනෝදජනකයි - විශේෂයෙන්ම අපි ඒක දිහා හාස්‍යයෙන් යුතුව බලනව නම්. ඔබට විකටයෙකුගෙන් ඕනෙම විදිහක ප්‍රකෝපකාරී හැසිරීමක් බලාපොරොත්තුවෙන්න පුලුවන්. නමුත් ඔන්න කෙනෙක් යනවා අවන්හලකට- ඔහු හිතනවා ඔහු බොහොම කඩවසම් කියල- ඒත් මෙන්න ඔහුගෙ කලිසමේ ලොකු හිලක්. ඒක දිහා හාස්‍යයෙන් බැලුවොත් හරිම විනෝදජනකයි. විශේෂයෙන් ම අභිමානය සහ මහන්තත්වය සම්බන්ධ කාරණාවලදි.

රිචර්ඩ් මෙරිමන් : ඔබ භාවාතිශයබව හෝ ගැන හණමිටි අදහස් ගැන කරදර වෙනවද?

චැප්ලින්: නෑ. අභිනයේදි ඔබ ඒ ගැන කරදර වෙන්නෙ නෑ , ඔබ එයින් වලකිනවා. මම හණමිටි අදහස්වලට බය නෑ. මුලු ජීවිතේ ම හණමිටියක් තමයි. අපි කිසිකෙනෙක් නැගිටින්නෙ නෑ කිසිම ආකාරයක ප්‍රකෘතියක් එක්ක. අපි හැමෝම තුන් වේල කමින් ආදරයේ බැ‍ඳෙමින් එයින් වෙන්වෙමින් ජීවත් වෙලා මැරිල යනවා. ආදර කතාවක් තරම් හණමිටියක් තවත් නෑ. නමුත් එය සිත්ගන්නාසුලු දෙයක් ලෙස සැලකෙන තාක්කල් මිනිස්සු ඒක දිගින් දිගට කරනවා.

රිචර්ඩ් මෙරිමන් : නිහඬ සිනමාවෙන් ශබ්දය ට පිවිසෙද්දි සැක සංකා සහ විවේචන තිබුණද?

චැප්ලින්: ඔව්- ඒක ස්වභාවිකයිනෙ. ඒකෙ ලොකු වෙනසක් තිබුණා. මුලින්ම කෙෂ්ත්‍රයට එද්දි මට තිබුණෙ අත්දැකීම් විතරයි. අධ්‍යාපනයක්, පුහුණුවක් තිබුණෙ නෑ. නමුත් මට දැණුනා මට හැකියාවක් තියෙනව කියල. මම දැනගෙන හිටියා මම ස්වභාවික නළුවෙක් කියල. කතා කරනවට වඩා අභිනය පහසු වුණා. මම කලාකාරයෙක්. ඒ නිසාම මට දැණුනා ගොඩක් කතා කිරීම ඒ බොහෝ දේවල් නැති කරයි කියල. හොඳ කටහඬකුයි හොඳ කතාවකුයි තියෙන වෙන ඕනෙම කෙනෙකුගෙයි මගෙයි වෙනසක් නැතිවෙන බව මට තේරුණා.


චැප්ලින්- සදාකාලික තාරුණ්‍යය ඇරඹෙන්නට පෙර


රිචර්ඩ් මෙරිමන් : යථාර්ථයේ තව මානයක් (ශබ්දය) එකතු වීම නිහඬ සිනමාවේ අපූර්වත්වයට බාධාකළා ද?

චැප්ලින්: මම හැමතිස්සෙම කියපු දෙයක් තමයි අභිනය කියන්නෙ හරියට කළොත් විශ්වයේම ආකර්ෂණය දිනා ගතහැකි කාව්‍යාත්මක දෙයක් කියල. කතාකරන වචන හුඟක් වෙලාවට ඕනෙම කෙනෙක්ව එක්තරා මුඛරි බවකට පිරිහෙළනව. කටහඬ කියන්නෙ ඉතාම ලස්සන දෙයක්, බොහොම විවෘත දෙයක්. නමුත් මට ඕනෙ උනේ නෑ ඒකෙන් ම‍ගේ කලාවට සීමාකම් ඇති වෙනව දකින්න. මේ ලෝකෙ බොහොම අල්පයයි ඉන්නෙ, තම චලනයන් කුරුල්ලෙක් පියාඹනව වගේ ස්වභාවිකත්වයට ඉතාම ළඟ- ගැඹුරුම තැන්වල මායාවී බවට ළඟා විය හැකි අන්දමේ කටහඬක් තියෙන, ඉතාම අල්පයයි ඉන්නෙ. ඒ ඇස් වලින් කියවෙන දෙය- කියන්න වචන නැහැ. මුහුණු මත මැවෙන මිනිසුන්ට කිසිදාක සැඟවිය නො හැකි සැබෑ හැඟීම්- මේක කරගන්න බැරිවුණොත් සදාකාලයට ම බලපායි. ඉතිං කතා කරන්න පටන් ගනිද්දි මට සිද්ධ වුණා මේ හැමදේම මතක තියා ගන්න. මගේ කතාවේ ව්‍යක්ත බව බොහෝ සෙයින් නැතුව ගියා. ඒක ආයි කවදාවත් තිබුණ වගේ වුණේ නෑ.

රිචර්ඩ් මෙරිමන් :ඔබ කැමතිම චිත්‍රපටයක් තිබෙනවද ඔබේ නිර්මාණ අතර?

චැප්ලින්: හ්ම්! මම හිතන්නෙ මම City Lights චිත්‍රපටයට ඇලුම් කළා. ඒක ශක්තිමත් ඒ වගේම හොඳට කරපු චිත්‍රපටයක්. City Lights කියන්නෙ නියම ප්‍රහසනයක්.

රිචර්ඩ් මෙරිමන් : ඔව්, ඒක ඉතාම ප්‍රබල චිත්‍රපටයක්. මම පුදුම වුණේ ශෝකාන්තය සහ සුඛාන්තය (ප්‍රහසනය) කොයි තරම් ළඟින් යනවද කියල දැකල.

චැප්ලින්: මම ඒ ගැන කවදාවත් උනන්දු වුණේ නෑ. මම හිතන්නේ ඒක ආත්මීවයව එන හැඟීමක්. මට හැමතිස්සෙම ඒක දැනිල තියෙනවා. ඒක අඩු වැඩි වශයෙන් මා තුළ තියෙන තවත් ස්වභාවයක්. සමහරවිට ඒක පරිසරය නිසා ඇතිවෙන දෙයක් වෙන්න පුලුවන්. අනෙක මම හිතන්නෙ නෑ තමන්ගෙ අනෙකා ගැන මහත් වූ දයාවක්, හැඟීමක් නැති කෙනෙකුට හාස්‍යය මවන්න පුලුවන් කියල.

රිචර්ඩ් මෙරිමන් : එතකොට ශෝකාන්ත වලින් අපි බලාපොරොත්තු වෙන්නෙ සැනසීම ද?

චැප්ලින්: නෑ. මම හිතන්නෙ ජීවිතය කියන්නෙ ඊට වඩා වැඩි දෙයක්. හේතුව ඒක නම් අපිට මීට වඩා සිය දිවි නසා ගැනීම් ගොඩක් දකින්න ලැබෙන්න ඕනෙ. මිනිස්සුන්ට ජීවිතය අතාරින්න අවශ්‍ය වෙන්න ඕනෙ. නමුත් මම හිතන්නෙ ජීවිතය කියන්නෙ බොහොම අපූරු දෙයක්. ඒක ඕනෑම තත්ත්වයකදි ඒ කියන්නෙ අන්ත දුක්ඛිතම තැනදි පවා අත් නොහළ යුතුයි. මම වඩා කැමති ජීවත් වෙන්න. වෙන මොකටවත් නෙවෙයි, මේ ජීවිතය කියන අත්දැකීම විඳින්න. මම හිතන්නෙ හාස්‍යය මිනිසුන්ගේ ප්‍රකෘති සිහිය ආරක්ෂා කරල දෙනවා. අපට ඕනෙ තරම් ශෝකාන්ත එක්ක යාත්‍රා කරන්න පුලුවන්. ශෝකයත් ජීවිතයේ කොටසක් තමයි. නමුත් ඒ වගේම අපිට යමක් ලැබිල තියෙනව ඒකෙන් ආරක්ෂා වෙන්න. මට අනුව, ශෝකය කියන්නෙ ජීවිතයේ වැදගත් දෙයක්. ඒ වගේම ඊට එරෙහි ආරක්ෂක උපක්‍රමය ලෙස ලැබිල තියෙන දේ තමයි හාස්‍යය. හාස්‍යය කියන්නෙ අඩු හෝ වැඩි වශයෙන් දයාව තුළින් උපදින විශ්වීය දෙයක්.


රිචර්ඩ් මෙරිමන් : විශිෂ්ටයෙකු ලෙස ඔබ හිතනව ද එවැන්නක් තියෙනව කියල?

චැප්ලින්: මම කවදාවත් දැනගෙන හිටියෙ නෑ විශිෂ්ටයෙකු කියන්නෙ කවුද කියල. මම හිතන විදිහට විශිෂ්ටයෙක් කියල කියන්නෙ හැකියාවෙන් යුක්ත, ඒ ගැන විශාල හැඟීමකින් යුතු, යම්කිසි ශිල්පයක් ප්‍රගුණ කළ හැකි අයෙක්. හැම කෙනෙක්ම කිසියම් ආකාරයක සුවිශේෂී හැකියාවකින් යුක්තයි. ඔහු වෙනස් දෙයක් කරනවා. නමුත් එය විශිෂ්ට ලෙස කරනවා. හුඟක් වෙලාවට වෙන්නෙ ‘සියල්ල දත්’ පුද්ගලයින්ව විශිෂ්ටයින් ලෙස වරදවා වටහා ගැනීමයි.
පරිවර්තනය - මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails