Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ශ්‍රී ලාංකේය සිංහල සරල ගීත සංස්කෘතිය විපර්යාසයකට ලක්කිරීමට 70 දශකයේදී මෙරට ව්‍යාප්ත වූ කැසට්පටයට හැකි විය. එනමුත් මෙම කෙටි වියමන කැසට්පටය පිළිබඳව නොව, එම විපර්යාසය සොයායන ගමනේදී අපට හමුවන සොඳුරු මිනිසෙකු පිළිබඳවයි. 70 දශකයේදී සිංහල ගීතයෙන් මෙරට ශ්‍රාවකයා හට ආමන්ත්‍රණය කළ ඔහු අප අතරට ආවේ පණ්ඩිතයකු හෝ විශාරදයකු ලෙසින් නොව, ජිප්සීස් සුනිල් ලෙසිනි.


කැසට්පටය මෙරට ව්‍යාප්තවීමට පෙර සුනිල් පෙරේරා සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණවී සිටියද බොහෝ පිරිස් ඔහුව දැන හැඳින ගත්තේ 'සොමිය' කැසට්පටයේ එන 'කුරුමිට්ටෝ' ගීතයෙනි. මෙම කැසට්පටය සඳහා ගුවන් විදුලියෙන් වෙළඳෙ ප්‍රචාරයක් නෙලැබින. එවකට ගුවන් විදුලි සංස්ථාවේ සිටි බලධාරීන් 'සොමිය' යන වචනය අසික්කිත වචනයක් ලෙස සැලකීම එයට හේතුවයි. එසේ වුවද ජනතාව බොහෝ සෙයින් 'සොමිය' ට ආකර්ෂණය විය. 'සොමිය' යනු සෞම්‍යයයි. 'සොමිය' සෞම්‍යය ලෙස නොදැනී එයට එරෙහිවූවන් සිටියද, එහි එන කුරුමිට්ටෝ ගීතය ලොකු කුඩා සැමට සෞම්‍යයක් ගෙන දුනි. එම ගීතය සිංහල සරල ගීතයට වෙනස් වූ තාක්ෂණයක් මුසුකළ අපූර්ව අවස්ථාවක්දවේ. අපූර්වත්වය ප්‍රියකළ රසිකයින්ගේ ප්‍රතිචාර හේතුවෙන් ඇතැමුන්ට සෞම්‍ය නොවූ 'සොමිය' ජනප්‍රිය වීම වැළැක්වීමට කිසිවෙකුට නොහැකි විය.

"මේ ලෝකෙ ලස්සන වෙන්නේ විවිධත්වය නිසා. හැමදේම එකවගේනම් වැඩක් නෑ. මිනිස්සු හොයන්නෙ වෙනස් දෙයක්" ඒ සුනිල් පෙරේරාගේ හඬයි.


ඔහුට අවශ්‍ය වූයේ සිංහල ගීත රසවිඳින්නන් හට විවිධත්වයක් ලබා දීමයි. ඔහු කිසි විටෙක කිසිදු සංගීත ශෛලියක් හෝ ගායන විලාසයක් අවතක්සේරුවට ලක්කළේ නැත. එය සාම්ප්‍රදායික ගුරුකුලවාදී මතවල එල්බගෙන උත්තර භාරතීය ශාස්ත්‍රීය සංගීතය පමණක් රසවිඳින සහ එම සංගීතයට පමණක් ගරුකරන ප්‍රවීණයන්ට ද ආදර්ශයකි. උත්තර භාරතීය ශාස්ත්‍රීය සංගීතය යනු 'සංගීතය' නම් ප්‍රධාන කුලකයෙහි එක් උප කුලකයක් පමණක් බව අපි දනිමු. එබැවින් අපට එම සංගීත ශෛලිය පමණක් සුවිශේෂීකොට දැක්විය නොහැකිය. තමන් උගත් සංගීත ශෛලිය විශිෂ්ටතම සංගීතය යැයි පවසන ඇතැම් ප්‍රවීණයින්ට වඩා, ලොව පවතින අනෙක් සංගීත ශෛලීන්ට ගරු කරන සහ තමා නොදන්නා දේ නොදන්නා බව පවසන සුනිල් පෙරේරා නිහතමානී කලාකරුවෙකි.

එදා ජනප්‍රිය සංස්කෘතිය තුළ ගී ගැයූ ගායකයා 'බජව්කාරයා' ලෙසින් අවප්‍රමාණ කෙරිණ. බජව්කාරයින් ලෙස නම් දරා සිටි සංගීත විෂයයෙහි හැකියාව ඇති පිරිස්, ගායන ශිල්පී ශිල්පිනීන් ලෙස හෝ කලාකරුවන් ලෙස හුවා දක්වන අද දවසේදී බොහෝ දෙනෙකුට අතීතය අමතකව ගොස් ඇත. 70 දශකයට පෙර පිටුපස දොරින් ඇතුලු වූ 'බජව්කාරයා' වර්තමානය වනවිට ප්‍රේක්ෂකාගාරයේ ඔල්වරසන් මැද අභිමානයෙන් යුතුව ඉදිරිපසින් වේදිකාවට පිවිසෙයි. සංගීත ක්ෂේත්‍රයේ නියැලෙන මිනිසුන්ගේ හැඩය වෙනස් කිරීමට, ඔවුනට වටිනාකමක් ලබා දීමට 'ජිප්සීස්' ගත් උත්සාහය මල් ඵල දරා ඇති අයුරු දැක සුනිල් පෙරේරා නිහඬව සතුටුවනු ඇත.

ප්‍රවීණයැයි සම්මත කලාකරුවන්ගේ ගොන්නට කිසිඳු දිනක නිර්දේශ නොවූ මොහු, 'ප්‍රවීණ'යෙකු යැයි හුවා දැක්වීමට මම උත්සාහ නොකරමි. ඒ, ප්‍රවීණ යන විශේෂණයට වඩා සුනිල් පෙරේරා නම් මිනිසාට වටිනාකමක් ඇතැයි මම විශ්වාස කරන බැවිනි. සිංහල ගීතයට පුරා හතළිස් වසරක දායකත්වයක් සැපයූ ඔහු අදටත් සොමිකාරයෙකි. වෙනත් අයුරකින් කිවහොත් සෞම්‍යවූ මිනිසෙකි.

විනූෂා විජේවික්‍රම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails