Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හැම මාළුවෙකුගෙ ම වරල ඇතුළෙ හංග ගත්ත පුංචි කෙටේරියක් තිබුණා. චූටි ම චූටි මාළු ළඟත් මොකාක් හරි උල් ආයුධයක් තිබුණා. කොරල්පර ඇතුළෙ ගෙවල්වලින් එළියට බහිද්දි හැමෝම අමතක නො කර තම තමන්ගෙ ආයුධ අරන් ගියා. ටික දවසක් යන කොට තේරුණා මේක හරිම මහන්සි වැඩක් කියලා. මොකද පීනනවට අමතරව තවත් බරක් වරල් ඇතුළෙ හංගාගෙන ඉන්න එකෙන් සමබරතාවය බි‍ඳෙනවා. මේ නිසා ම බොහොමයක් මාළුන්ව පීනන අතරතුර ගිලෙන අවධානමකට ලක් වුණා.

ඒත් ඒක එහෙමයි කියලා කාටවත් 'ලොකු මාළුව'ගෙ අණට පිටුපාන්න බැරි වුණා. හැම සෙනසුරාද ම රැස්වීමක් කැදවලා ගම්මානෙ ම ඉන්න මාළුන්ව දැනුවත් කරන එක ලොකු මාළුවගෙ ලොකු ම වගකීම. ඒත් ලොකු මාළුවගෙ බිරියට මේ අනතුර ගැන තඹ සතේක තැකීමක් තිබ්බෙ නෑ. ඈ හිටියෙ ස්වල්ප වශයෙන් උන්මාද තත්ත්වයක. වැඩි කාලයක් සිප්පි කටු ඔටුන්න දාගෙන ඉන්න කොට මේක කාටත් වෙනවා කියලා කවුරුත් දැනන් හිටියට ඒ තත්ත්වෙට මුහුණ දුන්නු ලොකු මාළුවගෙ බිරියට ඒක දැනුනෙවත් නෑ. ඉතිං හැමෝම කරනවා වාගෙ ගම්මානෙ ඔක්කෝම ඇගේ උන්මාදය නොසලකා හැරියා.

ඈට කවුරුත් කිව්වෙ මැඩම් කියලා. ඈට නම කියලා කතා කළේ ලොකු මාළුවා විතරයි.

'සමෑන්තා.... ඩාලිං... කෝ ඔයාගෙ වරල් සාලුව? අර නිල් පාටයි තැඹිලි පාටයි එක?'

'.. ඔය අල්මාරියෙ පහළ තට්ටුවෙ ඇති ඩාලිං.. ඔයාට මොකටද අනේ ඒක? 'මට අලුත් එකක් අරන් දෙන්නද?'
ඈ හිතුවෙ ඔන්න ඔය විදිහටයි.

ඈට උවමනා වුණේ ඔපෙරා ගායිකාවක් වෙන්න. ඈ නිතරම ස්වර අභ්‍යාස කළා. ඇමරිකන් අයිඩල් පවා බැලුවා. මාළුවෙකුට උරුම සංවේදනා සියල්ලම ඈ වෙන් කළේ ගායනය වෙනුවෙන්. සමහර වෙලාවට ඈ පීනන එකත් අතපසු කළා. කෙටේරියක් වරල් ඇතුළෙ හංගගෙන නො යන නිසා ඈව දියේ ගිලුණෙ නම් නෑ. ඒත් කල් යනකොට පීනන්න අතපසු කිරීම නිසා ඇගේ දකුණු පැත්තෙ වරලක් ටිකෙන් ටික අඩපණ වුණා. මුලු කාලෙම ගායනයට වැය කරපු නිසා ඈට මේ බව දැනුනෙවත් නෑ.

එදා සෙනසුරාදා. ලොකු මාළුවා ගම්මානෙ අමතන දවස. ලොකු අට්ටාලෙ උඩට නැඟ ගත්ත ලොකු මාළුවා තමන්ගෙ වම් වරල ඇතුළෙ හංගගෙන හිටපු විසාල කෙටේරිය කාටත් පේන්නත් එක්ක බිමින් තිබ්බා. ඊළඟට දකුණු වරල ඇතුළෙ තිබුණ මැෂින් ගන් එකත් හිමිහිට පැත්තකින් තිබ්බා. මුලු ගම්මානෙ ම මාළු ලොකු හුස්මක් උඩට අරගත්තා. කට කතාවක් විතරක් වෙච්ච මැෂින් ගන් එක තව දුරටත් රහසේ කතා කරන්න ඕන මාතෘකාවක් නො වුණෙ ඊට පස්සෙ.

ඇත්තම කියනවා නම් ලොකු මාළුවට ඕන වුණේ මේ මැෂින් ගන් එක කාටත් පෙන්නගන්න. සඳලුතලේ ඉදන් මේ දිහා බලන් හිටපු සමෑන්තට මැෂින් ගන් එක දැක්කම ඉහිලුම් නැතිව ගියා.

'.. අන්නේ... ඩගී.. හොරා.. ඔයා මට කිව්වෙවත් නෑ... '

ඈ ඉක්මනටම ලොකු මාළුවට කෙටි පණිවිඩයක් යැව්වා.

*******

ලොකු මාළුවා කතාව පටන් ගත්තා.

'... අපි අවුරුදු ගාණක් තිස්සෙ කෙටේරි වරල් ඇතුළෙ හංගගෙන පීනුවා. නිල් තීන්ත විදින බූවල්ලා අපෙන් පළිගන්නවා කියපු නිසයි අපි එහෙම කළේ.'

'.. ඒත් මේ සෙල්ලම දිගටම කරගෙන යන්න බෑ. අපේ ගම්මානෙ මාළුන්ගෙ බාගෙකම වරල් ඉරිලා යන්න පටන් අරන්.
මෙහෙම ගියොත් අපිට පීනන්න වරල් අලුතින් ගන්න වෙනවා. ගන්න වෙන්නෙ නිකං රබර් වරල්. ඒවා හරියට වැඩ කරනවද කියලා තාම කියන්නත් බෑ.'

'.. ඒ නිසා මින් ඉදිරියට අපි වරල් ඇතුළෙ කෙටේරි හංගගෙන යන එක නවත්තනවා...'
මුළු මාළු ගම්මානෙම තම වරල් එකතු කරමින් අත්පොළසන් දුන්නා. ඇතැම් ගැටවරයො විසිල් ගහන්නත් වුණා. ලොකු මාළුවා යළිත් කතා කරන්න පටන් ගත්තා.

'... මින් පස්සෙ කෙටේරි වෙනුවට හැමෝටම ෂොපින් බෑග් එක ගානෙ දෙනවා. නිල් තීන්ත විදින බූවල්ලා ප්‍රහාරයක් එල්ල කළොත් කාටත් තියෙන්නෙ ඔය ෂොපින් බෑග් එකට ඒ තීන්ත ටික පුරෝ ගන්න.'

'.. බූවල්ලා ඔහොම මෝඩයෙක් වගේ නිල් තීන්ත විදලා, විදලා තීන්ත ටික ඉවර කර ගත්තට පස්සෙ අපිට පුළුවන් අපේ සතුරාව දියේ ගිල්ලලා මරලා දාන්න..'

'.. අපේ ඊළඟ සැලසුම බූවල්ලව පුලුන් පුරෝලා ගම්මානෙ ඉස්සරහා වැටේ රඳෝලා තියන එක...'

සුපුරුදු විදිහට කවුරුත් ප්‍රශ්න අහන්න ඉදිරිපත් වුණේ නෑ. ලොකු මාළුවා කිව්වොත් කියන්නෙ මෝඩ කතාවක් නිසා කවුරුත් සතුටු වුණේ නෑ ඒ විකල්පෙට.

මොකද විස විදින බූවල්ලගෙ නිල් තීන්ත එකතු කරන්න ෂොපින් බෑග්වලින් බැරි බව කවුරුත් දැනගෙන හිටියා.

මාළු ගම්මානෙන් බාගයක්වත් මේ තීරණය නිසා මැරෙන බව වැඩිහිටියො දැනගත්තා. ඒත් ලොකු මාළුවගෙ මැෂින් ගන් එක ගැන මතක් වෙන නිසා කවුරුත් ඊට විරුද්ධව කතා කළේ නෑ.

ලොකු මාළුවගෙ අතවැසියො මෝඩ හිනා පාමින් හැමෝටම ෂොපින් බෑග් බෙදා දුන්නා.

බාළ, මහලු සියල්ලම ෂොපින් බෑග් වරල් අතර හංගගෙන බොහොම තරහින් පීනන්න ගත්තා.

ඉරිදා බොහොම සාමකාමී දවසක්. පොළේ යන අය, පන්සල් යන අය, ක්‍රිකට් ගහන්න යන අය වගේම මාළු පැටවුන්ව පීනන්න පුරුදු කරන පන්තියට එක්ක යන අම්මලා, තාත්තලා බොහොම බැරෑරුම්ව එහේ මෙහේ යන්න පටන් ගත්තා. වෙනදට ඇහෙන සිනා කටහඬවල් අද නම් ඇහුනෙ නෑ. පොඩි මාළු නම් සුපුරුදු විදිහට කච, පච ගෑවා. කවුරුත් තමන්ගෙ වරල් කෙලවර බැදගෙන තිබුණු ඔරලෝසුවලින් වෙලාව බැලුව එක විතරයි කළේ.

හදිසියේම නගරෙ මැද්දට විසාල ලොරි වගයක් ආවා. ලොරිවලින් බැහැපු හැඩිදැඩි මාළු යුහුසුලුව බෆල් සීයක් විතර එළියට ගන්න වුණා. තවත් පිරිසක් ලහි, ලහියේ වයර් අදිමින් බෆල්වලට පණ දෙන්න කටයුතු කළා. ඒත් එක්කම තවත් කට්ටියක් යෝධ වේදිකාවක් ඉදිකරන්න පටන් ගත්තා. පැයක් වත් ගත වුණේ නැතිවම එතැන සුවිසාල වේදිකාවකුයි, ප්‍රේක්ෂකාගාරෙකුයි ඉදි වුණා. ත්‍රීවීල් එකකින් මාළු ගැටයෙක් නිවේදනයක් කරගෙන ගියා.

'.. ප්‍රකට ඔපෙරා ගායිකා සමෑන්තා සමඟ ආනන්දනීය රාත්‍රියක්.. අද රාත්‍රියේ ඈ සමඟ ගී ගැයීමට රිකී මාටින් මහතා සහ ශකීරා ද පැමිණෙනු ඇත.

ආසන සීමිතයි. වහා පැමිණ ඔබේ ටිකට්පත වෙන් කරවා ගන්න....'

ආයෙමත් පාරක් මුලු ගම්මානෙම මාළුන්ගෙ හුස්ම හිර වුණා. කවුරුත් විස්මයෙන් එකිනෙකා දිහා බලා ගත්තා.

'.. මේ වගේ බයානක වෙලාවක අර මළ ඉලව් ගෑනිගෙ සංගීත ප්‍රසංගයක් තියන්න? යකෝ මුන්ට අමු කැවිලද?
බූවල්ලා අපේ ගම්මානෙම නිල් තීන්තෙ ගිල්ලලා දාවි....'

වැඩිහිටියෙක් පළමු පාරට ලොකු මාළුවගෙ බිරියට විරුද්ධව කතා කළා. ගැහැනු අය තමන්ගෙ කටවල් අතින් වහගත්තෙ වචන එළියට පනීවි කියන බයට.

*******

රිකී මාටින් ආවෙ විසාල හෙලිකොප්ටරයකින්. ශකීරා ආවෙ සබ්මැරීන් එකකින්. මාළු තරුණ, තරුණියො සිංදු අහලා මළත් මොකෝ කියමින් තම තමන්ගෙ ළපටි වරල් ගායක, ගායිකා දෙපළට පෑවෙ සමරු අත්සන් ගන්න. බෑ නොකියා රිකී මාටින් තුඩ හීනි මාකර් පෑනකින් තමන්ගෙ අත්සන තරුණියන්ගෙ වරල්වල තැබුවා. තරුණයො පිස්සුවෙන් වගේ ශකීරා වටා රොක් වුණා. ඈ ටිකක් තුඩ මහත මාකර් පෑනකින් තරුණ වරල්වල සමරු සටහන් තිබ්බා. ඈ හිත ගත්ත මාළු ගැටවරයන්ගෙ වරල්වල වෝටර්පෲෆ් ලිප්ස්ටික් දෙතොලක් තබන්නත් අමතක කළේ නෑ.
ලොකු මාළුවා මාලිගාවෙ හිටියට හිත තිබ්බෙ බූවල්ලා ළඟ. මෝඩ කමට කෙටේරි ඕනා නෑ කිව්වට දවසක්, දෙකක් යද්දි වැඩේ බරපතලකම තේරුණා. බූවල්ලා එක්ක සාම සාකච්ඡාවකට යන්න තරම් ධෙර්යයක් ලොකු මාළුවට තිබුණේ නෑ. මාළු ගම්මානෙ බූවල්ලගෙන් බේර ගන්න පුලුවන්කමක් තිබ්බෙත් නෑ. ඒත් මේ වෙන්න යන මරණීය සිද්ධිය වෙන කාගෙ හරි ඇගේ ගහලා බේරෙන්න ඕනා කියලා නම් ලොකු මාළුවගෙ මෝඩ මොළේට තේරුණා.

දැන් ප්‍රශ්න දෙකයි.

සමෑන්තගෙ මළ ඉලව් සංගීත ප්‍රසංගෙ නවත්තන්නත් බෑ.

බූවල්ලගෙ නිල් තීන්ත ප්‍රහාරෙන් ගම්මානෙ බේර ගන්නත් බෑ.

ඇතුළෙත් ගැට. පිටත් ගැට.

'බුම්... බුම්...'

සංගීත ප්‍රසංගෙ පටන් ගන්නයි ලෑස්තිය. ලොකු මාළුවා තමන්ගෙ හොඳම ඇඳුම ඇදගෙන මාලිගාවෙන් පිටත් වුණා.

මිස් කෝල් 75ක්, එස්. එම්. එස් 45ක්. ලොකු මාළුවා ජංගම දුරකතනෙ දිහා බලලා ආයෙ අහක බලා ගත්තා.

'... හ්ම්.. ඔය පේන්නෙ මළ ඉලව් සංගීත සංදර්ශනේ... මාටින් ද මොකාද වෙන්නැති අර හිටං ඉන්නෙ. එතකොට කෝ අර ලස්සන කෙළි පොඩිත්ත?'

'.. ඒක නම් දන්නෑ සර්...'

'... කට වහපං මාළුවො.. මං උඹෙන් ඇහුවෙ නෑ... මම තනියම කතා කළේ..'

ලොකු මාළුවා තමන්ගෙ දකුණු වරල පරෙස්සමින් වහ ගන්න ගමන් වාහනයෙන් බැස්සා.

'... මාටින්... මාටින්... ටින්.. ටින්... මාටින්...'
මාළු ගැටිස්සියො තාලෙකට කෑ ගහන්නෙ තම වරල් දෙපැත්තට වීසි කරමින්.

'.. ශකීරා... ශකීරා.. රා.... රා... ශකීරා...'
මාළු ගැටව් ඊට නොදෙවෙනි ලස්සන තාලෙකට කෑ ගහන්න වුණා. ලොකු මාළුවා හිස කසමින් විසාල වේදිකාව යට ඔහේ හිටගෙන හිටියා.

'ඩුම්... ඩුම්... ඩුම්... ඩුම්...'
මහා ගෝසාවක් ඇති කරමින් සංගීත ප්‍රසංගෙ පටන් ගත්තා. මුලින්ම ගී ගයන්න ගත්තෙ සමෑන්තා ඩග්ලස්. ඈ තරබාරු ශරීරෙ සොලවමින් වේදිකාවට ආවා.

ගෙල වටා දමාගෙන හිටපු දුහුල සාටකය ප්‍රේක්ෂකාගාරය වීසි කළා. කවුරුත් ඒ සලුව තමන්ගෙ ඇගේ වදීවි කියලා අහකට වුණා.

'.. බුම්... බුම්... '

ඈ ගිරිය යටින් ගී ගයන්න වුණා. මාටින් හිනා වෙමින් තමන්ගෙ අයි පෑඩ් එකෙන් වෙනත් ගීතයක් අහන්න ගත්තා. ශකීරාත් මොකාක්දෝ උපකරණයක් කනේ ලා ගත්තා.

ලොකු මාළුවා වේදිකාව උඩ පුටුවක වාඩිවෙලයි හිටියෙ. වම් වරලින් එක කණක් වහගත්ත ලොකු මාළුවා එකම නමක් කියමින් කෑ ගහන්න වුණා.

'.. සමෑන්තා... සමෑන්තා... ගෑනියේ... නවත්තපං ඔය උඩු බිරිල්ල.... සමෑන්තා....'

ප්‍රේක්ෂකාගාරයේ හිටපු මාළු රසවතුන් තමන්ගෙ වරල්වලින් කන් දෙකම වහගෙන වේදිකාව දිහා බලාගෙන හිටියා.
ඈ නොනවත්නාම ගැයුවා. මාටින් මායාකාර මදහසකින් ඈ දිහා බලාගෙන හිනැහුණා.

එක පාරටම නිල් පාට තීන්ත අහසින් වැටෙන්න ගත්තා. මාළු ප්‍රේක්ෂකාගාරය නිල් තීන්තෙන් වැහිලා ගියා.

'කොලා තමයි වැඩේ. බූවල්ලා තමයි. වෙන කවුද. නිල් තීන්ත විදින්නෙ බූවල්ලා තමයි. ෂොපින් බෑග් ගේපල්ලා.......
යකුනේ ෂොපින් බෑග් ගේපල්ලා. උඹලා මොකද ඔය ඔතන හැංගෙන්නෙ?.. '

ලොකු මාළුවා පිස්සුවෙන් වගේ ගෝරනාඩු කරන්න ගත්තා. අනිත් මාළු ඔක්කොම හිස් ලූ ලූ අත දුවන්න පටන් ගත්තා.

'..බූවල්ලා විස විදිනෝ... දුවපල්ල මාළුවනේ දුවපල්ලා.. ඔය ෂොපින් බෑග් වීසි කරපල්ලා...'

තප්පර දෙක, තුනකින් සංගීත ප්‍රසංගෙ තිබ්බ තැන මාළු ශූන්‍ය ප්‍රදේශයක් වුණා. මාටින් සහ ශකීරා විතරයි වේදිකාව උඩ ඉතිරි වුණේ.
සමෑන්තා වැලහින්නක් වාගේ මාලිගාවෙ කණුවක් බදාගෙන අඩනවා. හොටු හූරමින් අඩනවා. හතර පැත්තටම අත දික් කර කර මොනවාදෝ කියනවා.

ලොකු මාළුවා යක්ෂාවේස වෙලා මාලිගාව පුරා දුවනවා. ඔහුගෙ පස්සෙන් සේවකයො දුවනවා. ඊටත් පිටිපස්සෙන් ෂොපින් බෑග් ගත්තු අතවැසියො රාශියක් දුවනවා.

ලොකු මාළුවා දිවිල්ල පැත්තකින් තියලා ප්‍රිය බිරිය ළඟට ගියේ අඩි දෙකට.

'... ගෑනියේ .. නවත්තපං ඔය ඇඩිල්ල. උඹේ මළ ඉලව් සංගීත සංදර්ශනේ නිසා තමයි බූවල්ලා අපිට විස විද්දෙ.
මේං බලාපං මගේ ඇ‍ඟෙත් කෑලි හැලෙනවා. හැම තැනම ගෙඩි දාලා. ඉවසන්න බෑ කසනවා....'

'...මොන බූවල්ලද ඩගී? විස කිව්වෙ?...'

ඈ මේ දැන් උපන්නා වාගෙ ප්‍රශ්න කරන්න පටන් ගත්තා.

'.. අපෙන් පළිගන්න එන විස විදින බූවල්ලව ඔහේ දන්නෑ කියලද කියන්නෙ?'
ලොකු මාළුවා වරල් ගස්සමින් ඇගෙන් ඇහුවා.

'.. අනික ඔයාමනෙ මුලින්ම බූවල්ලව දැක්කෙ. ඔයානෙ කිව්වෙ ඌ විස විදිනවාය, ඒ විස නිල් පාටය... අරවා... මේවා...'

'විස... ? ? ? ? '
ඈ පුදුම වූ ගමන්ය.

හිස කසමින් කල්පනාවට වැටුණු සමෑන්තාට එක් වරම ලස්සන හිනාවක් ගියේ යමක් මතක් වූ සැටියෙනි.

'.. අනේ ඩාලිං... අර මම කාලෙකට කලින් කියාපු නිල් තීන්ත විදින බූවල්ලගෙ කතාවද?'

'... ඒක මම විහිලුවටනේ කිව්වෙ. ඔයා බය වෙනවද බලන්නයි මං ඒක කිව්වෙ..'

'... සොරි අනේ... මට ඒක බොරුවක් කියලා කියන්න අමතක වුණානෙ...'

'... වෙරි සොරි ඩාලිං...'

කාංචනා අමිලානි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails