Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කොච්චර වුණත් කතා කරන්න හිතුණම කතා කරන්නම වෙනව. ඩාන්ස්කෝ එකේ අඩඅඳුරු මුල්ලක වාඩිවෙලා ගල් කාලක් ඕඩර් කළා. රාජා හැරෙන තැපෑලෙන් බඩු ගෙනාව, සෝඩා එකකුත් එක්ක. ආයෙ කියන්න දෙයක් නෑ, ඌ බයිට් එක දාන්න කියල ඇති. අපි දන්න කාලෙ ඉඳන් රාජ ඩාන්ස්කෝ එකේ වැඩ. මට ඌව පේන්නෙම එළාර රජ්ජුරුවො වාගේ. මට ඒ ඇයි කියන්න තේරෙන්නෑ. ජීවිතේ එහෙම දේවල් සිද්ධ වෙනවා. දේවල් හිතෙනවා, දේවල් දැනෙනවා, ඒත් ඇයි කියන්න තේරෙන්නෑ. නදීක ගුරුගේගෙ රත්නවල්ලිය බලලා එල්ෆීන්ස්ටන් එකෙන් එළියට බැහැපු වෙලේ දැනුන අන්ධභූත තත්වය සමනය වෙන්න පටන් ගත්තේ රත්මලානට ඇවිල්ලා පොඩි අඩියක් ගහන්න පටන්ගත්තට පස්සේ. එනකොට අම්බානක රෑ වෙලා. ඩාන්ස්කෝ එක වහලා. පස්සෙ දොරෙන් බෝතලෙත් අරන් මතු උනේ රාජා. ඌ මට එළාර රජ්ජුරුවො වගේ මුලින් ම පේන්න ගත්තෙ ඒ වෙලාවෙ. රත්නවල්ලි ලියල තිබුණෙ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන. ඒක දැවැන්ත රිසර්ච් එකක් ඇතුළෙ ලියවිච්ච පිටපතක්. එහෙව් දේශපාලන කියවීමක හිටිය නදීක අන්තිමට අබාටත් කරගහල අන්තිමට නතර වුණේ ගාමණීටත් කර ගහලා.

ආයෙත් රත්නවල්ලි මතක් උණේ දවාලෙ පිටු පෙරල පෙරල හිටපු සිළුමිණ පත්තරේ තිබුණු සංවාදයක් දැකලා. සංවාදයේ මාතෘකාව "මං කලා ගන්ධබ්බයෙක් නෙවෙයි." එහෙම කියන්නේ ජයන්ත චන්ද්‍රසිරි.

ජයන්තගෙ ගැමුණු ප්‍රොජෙක්ට් එක

සංවාදය මෙහෙයවලා තිබ්බේ නුවන් නයනජිත් කුමාර. ඒ.ඩී. රංජිත් කුමාරගෙයි, දමයන්ති ජයසූරියගෙයි පුතා. ඉස්සර කොල්ල හිටියෙ මේ අල්ලපු වැටේ. දහම් මාවතේ මුල්ම ගෙදර.

මේක ඇත්තටම සංවාදයක් නෙවෙයි. කවුරුත් නැති පිට්ටනියක දෙන්න එක්ක ගහන ක්‍රිකට් මැච් එකක් වගෙයි. නුවන් බෝලෙ දානවා. ජයන්ත හයේ ඒවා ගහනවා. පන්දු යවන්නයි පිතිකරුවයි එකම කණ්ඩායමට ක්‍රීඩාකරන ක්‍රිකට් මැච් එකක් බලලා තියෙනව ද? ඔන්න එහෙනම් සිළුමිණ කියවන්න. සංවාදයෙ මුල් ප්‍රශ්න ටික යන්නෙ මහරජ ගැමුණු ව්‍යාපෘතියට පසුබිම හදන්න. මුළු සංවාදයෙ ප්‍රශ්න නොහොත් නුවන් නයනජිත් දාන ඇඩ් 13ක් තියෙනවා. 6 වැනි ප්‍රශ්නෙ ඉඳන් පටන් ගන්නෙ දෙන්න කලින් කතාකරගත්ත විදිහට ඇරඹෙන ගැමුණු ව්‍යාපෘතිය. නුවන් නයනජිත් බබා මෙහෙම අහනවා.

ඓතිහාසික චිත්‍රපට තැනීමේ ප්‍රවණතාවක් තිබෙන අවස්ථාවක ඔබගේ "මහරජ ගැමුණු" චිත්‍රපටය තැනීමේ කටයුතු හිටි හැටියේ නතර වුණේ ඇයි?

නමුත් හැමෝම දන්නවා ජයන්තත් එක්ක එක පතේ කලා එකට බේසමේ අත හෝද ගත්ත අනුගාමිකයෙක් ජයන්තගෙ ගැමුණුව පාවා දුන්නා කියලා. නමුත් නුවන් බබා ඒක දන්නෑ. ඔන්න බලන්න දෙවැනි ප්‍රශ්නෙදි බබා මාට්ටු.


ඔබ මින් පෙරත් ඉතිහාසය විකෘති නොකළ නිර්මාණකරුවකු ලෙස නම් දරා සිටිද්දිත් මෙය ඔබට ම වුණේ ඇයි?

මේ ජයන්තත් එක්ක කම්පෙයාර් කරන්නෙ කාවද ? ජැකාව, ජැක්සන් ඇන්තනිව. ජැක්සන් අබා තුළින් ඉතිහාසය විකෘති කර ඇති නමුත් ඔහුට මනමේ කතාව ත් විකෘති කිරීමට රුපියල්කෝටි ගණන් හම්බවෙද්දි, ඉතිහාසය විකෘති නොකරන ජයන්තට ගැමුණු කරන්න ලැබෙන්න තිබුණ කෝටි ගාණට ජැකා කෙළවපු හැටි තමයි මේ ප්‍රශ්න කිරිල්ල ඇතුළෙ සැඟවිලා තියෙන්නෙ. ඔබටම වුණෙ ඇයි කියල අහනකොට අරූට නොවී කියන කෑල්ලත් හිමීට ඇහෙන්නෙ ගන්නවා. සිළුමිණ පත්තරේ මහා කලා සංවාදකරු ඊළඟට අහන ප්‍රශ්නය සහ උත්තරේ දැන් අපි ඩෝප් සීන් එකේම පොඩ්ඩක් කියවමු.

ගැමුණු රජුගේ චරිතය මින් පෙර කිසිවකු නිවැරදිව කියවූයේ නැහැ. අනෙක වරින්වර මේ ශ්‍රේෂ්ඨ, ධාර්මික නරපතියාගේ චරිතය විකෘති කිරීම්වලට ලක් වුණා.

"පැහැදිලිවම. අපේ ඓතිහාසික මිනිසා ගැමුණු චරිතයේ සිටිනවා. ඔහු තරම් විකෘති කිරීම්වලට ලක්වූ රජෙක් ලංකාවේ නැහැ. ඔහු උග්‍ර ජාතිවාදියෙක් හා යුද්ධවාදියෙක් ලෙස හැඳින්වීම පළමු විකෘතියයි. මේවා පට්ටපල් බොරු බව මා මේ චිත්‍රපටයෙන් ඔප්පු කරනවා. මට මේ සඳහා ඓතිහාසික සාක්ෂි තිබෙනවා. ඒ සමඟ මගේ උපකල්පනත් තිබෙනවා.

නමුත් ඒවා අසත්‍ය, ව්‍යාජය නොවේ. ලෝකයේ බිහි වූ සෑම ශිෂ්ටාචාරයක්ම පසුපස සංස්කෘතික මිනිසෙක් හිටියා. ඒ මිනිසා විවිධ රටවල නොයෙක් ආකාරයෙන් හඳුනා ගැනීමට පුළුවන්. අපේ ශිෂ්ටාචාරයේ මිනිසා හඳුනා ගත හැකි රූපය තමයි ගැමුණු. බෝසතාණන් වහන්සේ සුමේධ තාපස අවධියේ සසරෙන් එතෙර වෙන්න හැකියාව තිබියදී බුදු බව පතලා සසර දිගු කර ගත්තේ ලෝක සත්වයාට තිබූ අසීමිත කරුණාව නිසා."


ඔන්න එතකොට නුවන් දාන ෆුල්ටොස් පන්දුව.

ආනන්ද හාමුදුරුවොත් ධර්මය සුරක්ෂිත කරන තෙක් තමාගේ විමුක්තිය පමා කළා?

දැන් තේරෙනවා නේද මේ දෙන්න එකතු වෙලා ගහන ගැමුණු මැච් එක. නුවන් නයනජිත් කුමාර කියන කලාත්මක පසුබිමක් කියෙන පත්තරකාරයා, තමන් මෙතෙක් උපයාගෙන තියෙන, සීරියස් වගේ එළියට පේන ප්‍රතිරූපය හෙවත් සමාජ ප්‍රාග්ධනය බුද්ධ දර්ශනයත් එක්කම ඉතාම දැනුවත්ව ජයන්තගෙ ප්‍රොජෙක්ට් එකට ආයෝජනය කරන්නෙ මෙන්න මෙහෙමයි. ඇත්ත ඉතිහාසය නම් ජයන්තට සල්ලි ලැබෙන්න අනුමත වෙලයි තිබුණෙ. ඒ කියන්නෙ ජයන්ත හිටියෙ විමුක්තිය ලැබෙන්න ඔන්න මෙන්න වගේ. ජුදාස් මිත්‍රය තමයි විමුක්තිය පමා කළේ.
ඔහොම යන ප්‍රශ්නාවලිය අවසන් කරන්න කලින් නුවන් මෙහෙම කියනවා.

"ගුජරාටි ප්‍රාන්තයේ ගොවියන්ගෙන් මුදල් එකතු කරලා ඉන්දියාවේ ශ්‍යාම් බෙනගාල් එදා Manthan චිත්‍රපටය තැනුවා. "ගැමුණු" තිරයට ගෙනෙන්න මහජන ව්‍යාපෘතියක් දියත් කළොත් ඔබට මේ රටේ බුද්ධිමත් ජනතාව උපකාර කරාවි."

දැන් ඔන්න වැඩේ අවශ්‍ය කූඨප්‍රාප්තික අදියරට ඇවිත් තියෙන්නෙ. බඩගින්නෙ ඉන්න මිනිස්සුන්ට ගැමුණු පෙන්නලා ගේම දෙන්න තමයි මේ සැට් වෙන්නෙ. එදා චන්ද්‍රිකා බලයෙ ඉන්නකොට එයාගෙ ගරා වැටෙන ප්‍රතිරූපෙට මුක්කු ගහන ප්‍රොජෙක්ට් එක, තරුණයන්ට වෙන්වෙලා තිබුණු මුදලින් රුපියල් කෝටියකුත් පන්නල එස්. බී. දිසානයකයි, සුනිල් ජයන්ත නවරත්නයි එකතුවෙලා බාරදුන්නෙ මේ ජයන්තටම තමයි. ජයන්ත රැජන කියල ටෙලියක් වගේ එකක් පෙන්නුවෙ ඒ ප්‍රොජෙක්ට් එක තමයි. රැජන නමින් මහජන තාවගෙ ඹුදල් වක්‍රාකාරව පික් පොකට් ගහපු ජයන්ත තව පාරක් එහෙම කරගන්න ගත්තු උත්සාහයට ජුදාස් කෙළපු හින්දා ඒ පාර එන්න හදන්නෙ අහිංසක මිනිස්සුන්ට කෙළින්ම පික් පොකට් ගහන්න. මේ බලන්න සංවාදය අවසන් කරමින් ජයන්ත කියන කතාව.


"ඔව්. මුලින්ම මා මෙය ලීවේ චිත්‍රපටය සඳහා තිර පිටපතක් වශයෙන්. නමුත් චිත්‍රපටය තැනීම මඳක් පමා වූ නිසා ඒ ඇසුරෙන් නවකතාවක් ලියා එළිදැක්වූවා. මා 'සමනල සංධ්වනි' කරන්නේ ගැමුණු චිත්‍රපටය නොකෙරෙන නිසා නොවෙයි. එය මහජන ව්‍යාපෘතියකින් ඉදිරියේ අනිවාර්යයෙන්ම තිරයට එනවා. මොන බාධක පැමිණියත් සැබෑ දුටුගැමුණු හෝ මගේ නිර්මාණය යටපත් කරන්න බැහැ."

ඉතිං අපිට බොන්න හිතෙන එක අහන්නත් දෙයක්ද?


වටමඬලේ නිරෝධ

අශෝක හඳගම හෙවත් අපේ හඳයගෙ අලුත්ම සමාජ කියවීම වන ඉනියවන් බලපු වෙලේ ඉඳන් මොකද්ද මන්ද පපුවෙ හිරවෙලා වගේ. බස් එකෙන් බහින්නත් අමතක වුණා. ඔලුව උස්සලා බලද්දි සොයිසාරාමෙ බුදු පිළිමෙ පහුඋණා. ගොළුමඩමෙන් බහින්න හිටපු මං බැහැල ගත්තෙ අඟුළාන හන්දියෙන්. සී. වී. ගුණරත්න ඝාතනය වෙච්ච රණවිරු සැමරුම් බෝමබය පිපිරිච්ච වෙලාවෙ හොඳටම බය වෙච්ච හින්දම අම්බානෙක ගුටිකාපු අඟුලාන හන්දියෙ සයිවර් කඩේ තේ දාපු දෙමළ කොල්ලව කොටියෙක් කරලා දිවයින පත්තරේ මුල් පිටුවෙ දාලා තිබුණ හැටි මතකෙට ආවෙ පාර මාරු වෙනකොට. ඇත්තටම ඊට පස්සෙ ඌට මොකක් වෙන්න ඇද්ද? ඉනියවන් සහ තේ දාපු කොල්ලා අ තර සම්බන්දයක් නෑ. ඒක මට නිකමට වගේ මතක් උණ දෙයක්.

ඉනියවන් ගැන ලියන්න පටන් ගන්නෙ කොතනින්ද කියල හිත හිත ඉන්නකොට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයට 93ක් ලැබුවා. ආවඩා ආයිබෝ වේවා. දිවයින පත්තරේ වටමඬල සාහිත්‍ය අතිරේකෙට නිරෝධ කියල ලියන මනුස්සයත් ඉනියවන් බලලා තිබුණ විතරක් නෙමෙයි ලෙස්ටර්ගෙ උපන්දිනේට ඔහුට ලැබුණ හොඳම තෑග්ග ඉනියවන් කියල ලියන්නත් නිර්භය වෙලා තිබුණ. බොහෝ විට මේ දිවයින පත්තරේ සාහිත්‍ය ගැන ලියන නිරෝධ ජන අරගල කණ්ඩායමට ඥාතීත්වයක් කියෙනවා කියල අනුමාන කරන්න පුළුවන්. ඒ නම උණත් පෙනුමට හරි බරයි වගේ. මං එහෙම කියන්නෙ කරුණු කිහිපයක්ම හින්දා. ඔහුගේ අභිනව ඉනියවන් ලියවිල්ල තුළ ඔහු මේ පෙරටුගාමී ලක්ෂණ පෙන්නලා අන්තිම පසුගාමී විදිහට ඒ ලියවිල්ල ඉවර කරලා තියෙනවා. නිරෝධ මෙන්න මෙහෙම ලියනවා.

"1962 දී හෙන්රි චන‍ද්‍රවංශගේ 'සමුදයම්' දෙමළ චිත්‍රපටය නිෂ්පාදනය කර වසර 50 ක් පිරෙන තැන හඳගමගේ 'ඉනියවන්' දෙමළ චිත්‍රපටය නිෂ්පාදනය වීම ද සිංහල සිනමා ඉතිහාසයේ කඩඉමක් බවට පත්වෙයි. සුවිශේෂී ම කාරණය නම් ඉනියවන්, සිංහල උප සිරැසි සහිතව නරඹන්නට සිදු වුව ද රූපයේ ප්‍රබල බව විසින් ප්‍රේක්ෂකාගාරය ට භාෂාව අමතක කරවීම බව ය නිරෝධට හැඟෙන්නේ. පශ්චාත් යුද සමය තුළ නිමැවුණු විශිෂ්ටතම කෘතියක් ලෙස 'ඉනියවන්' හැඳින්වීම ට නිරෝධ ලෝභ වන්නේ නැත. පූර්ව යුද සමයේදී ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ 'ඉරමැදියම' චිත්‍රපටයෙන් අනතුරුව මෙරට ජාතික ප්‍රශ්නය තේමා කොටගත් ප්‍රශස්ත ම කෘතියක් ලෙස ද 'ඉනියවන්' නොබිය ව නම් කළ හැක. දශක තුනක් තිස්සේ ධනවාදයේ සෙවණැල්ලක් හෝ නොවැටුණු උතුර - නැගෙනහිර ජන ජීවිතය සංක්‍රාන්ති සමය ට මුහුණ දෙන අයුරු චිත්‍රපටයේ සමස්ථාර්ථය බවට පත්වෙයි. අකුරකුදු අහක දැමිය නොහැකි සීමිත දෙබස් පෙළකින් පශ්චාත් යුද සමයේ ශ්‍රී ලාංකික දෙමළ ජන ජීවිතයේ යථාර්ථය මානවීය ගුණයෙන් යුතුව සාකච්ඡාවට බඳුන් කිරීම ට හඳගම දරන උත්සාහය ප්‍රශස්ත ය. දෙමළ ජනතාවට අවශ්‍ය ව ඇත්තේ '13 ප්ලස්' ද 'ජීවිතය ප්ලස්' ද යන්න සිතා බලන්නට දකුණේ දේශපාලනයට රතුඑළි දල්වන චිත්‍රපටයක් ලෙස නිරෝධ 'ඉනියවන්' දකී."

සවිඥානවකව නම් නොව ඔහුගේ අවිඥානය තුළින් මතුවන මෙරට ජාතික ප්‍රශ්නය, දශක තුනක් තිස්සේ ධනවාදයේ සෙවණැල්ලක් හෝ නොවැටුණු උතුර - නැගෙනහිර ජන ජීවිතය ආදී දේශපාලන කියවීම් කිසිසේත්ම දිවයින පත්තරේ ලියන්නකුට තරම් වන්නේ නෑ. ඇත්තෙන්ම ආනන්දජනකයි. එහෙව් පෙරටුගාමී සමාජවාදී කලා විග්‍රහයකට අවතීර්ණ වෙන නිරෝධට හිටි ගමන් උදුල් ප්‍රේමරත්න වැහෙනවා. ඔන්න බලන්න.


"ඉනියවන් ඒ සමාජ කතිකාව ගොඩනඟන්නට අවශ්‍ය වේදිකාව තනා දෙයි. එහෙයින් මෙය සමාජගත වියයුතු චිත්‍රපටයකි. ආරක්‍ෂා කරගත යුතු චිත්‍රපටයකි. දශක තුනක්‌ තිස්‌සේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදයෙනුත්, අධිපති දේශපාලන තකතීරුකම්වලිනුත් පීඩා විඳි මේ රටේ සමස්‌ත ශ්‍රී ලාංකික ජනතාව මේ චිත්‍රපටය වෙනුවෙන් පෙනී සිටිය යුතු ය, යුද්ධය අවසන් වුවත් දේශපාලන අධිකාරියට මේ රටේ ජනතාවට ජීවත් වීමේ අයිතිය ලබා දෙන්නට වුවමනාවක්‌ නැති බව පෙනෙන්නට තිබේ. උතුර - නැඟෙනහිර ප්‍රදේශවල යළි ත්‍රස්‌තවාදී නැගිටීම්ල ඇති වන බවට තොරතුරු වාර්තා වීමෙන් ඒ බව සුපැහැදිලි වෙයි. එහෙයින් පශ්චාත් යුද සමය තුළ සිදු වූ අඩුපාඩුකම්ල අතපසුවීම්වලට විසඳුම් ලබා දෙන සමාජ කතිකාවතක්‌ මේ රටට අවශ්‍ය ය. දේශපාලන සමාජය විසින් රටට ලබා නොදෙන ඒ කතිකාවට කලාකරුවන් හෝ මැදිහත් විය යුතු ය."

හඳගමව දේශපාලනිකව කියවීමට පෙර, කියවීමට තව පොත් ඇති බව මං ඔහුට මතක් කරන එක වරදක්ද?


මනුස්සකමට දෙමළ සම්මානයක්.


ලොතරැයි සයිකල් කරුවාට ගාලුපාරේ කිසිම හෝන් හඬක් ඇහෙන්නෑ. පොර ඒ ඔක්කොම සද්ද වලට සෙකන්ඩ් නොවෙන්න එෆ්.එම්. කටක් ඇරගෙන. මං හිටියෙ ප්‍රේමයියගෙ උාටා එකේ වාඩිවෙලා දිවයින පත්තරේ බල බල. ලොතරැයි මෑන්ස් ගොළු මඬම හන්දිය පහුකරනකොට ගොනා කෝවිලට ඇහෙනවා. ඉඳහිට, වාසනාව උරගා බලන කෙනෙක් අත දැම්මොත් මිසක් මිනිහා තමන්ගෙ රිද්මය කඩා ගන්නෑ. ඔන්න ප්‍රවෘත්ති ඉවර වුණා. ආයිත් සින්දු.

කොළොම් තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම් තොටට ගොඩ බැස්සේ
අමන කමයි ඒ වෙනුවට.....


ප්‍රදීපා ධර්මදාසගෙ කටහඬ. තමන්ගෙ ස්වාමියා ගැන උණත් බය නැතුව ඇත්ත කියන්න පුළුවන් ජාතියෙ ගායිකාවක් තමයි ප්‍රදීපා කියන්නෙ. නමුත් මේ සින්දුව සැමියා ගැන එහෙම නෙවෙයි. ඩලස් අලහප්පෙරුම කියන්නෙ එදා ජනතා සාහිත්‍ය උළෙලෙදි විහාරමහ දේවි එළිමහන් රංගපීඨෙ දණ ගහල පොළොව ඉඹල මනුෂ්‍යත්වයේ දේශයක් ගොඩනලන්න ශපථ කරපු උත්තම මනුෂ්‍යයෙක්. ප්‍රදීපා වගේ ඇත්ත රැඩිකල් ලස්සන කෙල්ලක් ඩලස් එක්ක ඇත්ත ජීවිතේ කුසපබා රඟපාන්න ගත්තෙ ඒ ඇත්ත චේතනාවෙන්. ඔවුන් මේ කැත දේශපාලනේ එපා වෙලා ඇමරිකාවට යන්න ගියේ යුක්ති ගරුක දේශපානයක් නැති හින්දා වෙන්න ඕනෙ. නමුත් ආයෙත් ආවෙ? තාමත් මනුස්සකම තියනවයි කියල පෙන්නන්න හදන ඩලස් කියන්නෙ ආණ්ඩුවෙ ඇමති කෙනෙක්. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ භාණ්ඩාගාරික. මෙන්න මේ අතරෙ ප්‍රදීපට දෙමළ සම්මානයක් ලැබෙනවා. කොළොන්දු කියන දෙමළ සඟරාව තමයි මේ සම්මානය ඇයට දෙන්නෙ. මෙන්න ඒක පත්තරේ දාලා තියෙන හැටි.

"වැල්ලවත්ත දමිළ සංගම් ශාලාවේදී පසුගියදා පැවති මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකික කාන්තාවන් 09 දෙනකු වෙනුවෙන් සම්මාන ප්‍රදානය කළ අතර ප්‍රදීපා ධර්මදාස මහත්මිය මෙම සම්මානයට පාත්‍ර වූ එකම සිංහල කාන්තාව වූවාය."


මේ නිව්ස් එකත් එක්ක පින්තූරයක් දාලා තියෙනවා ප්‍රදීපා සම්මාන ගන්න පින්තූරයක්. කවුද දන්නවද ඒ සම්මානෙ දෙන්නෙ. කිළිනොච්චි දිස්ත්‍රික් ශ්‍රීලනිප සංවිධායිකා ගීතාංජලී නගුලේෂ්වරන්.

ප්‍රදීපා අපි කොහෙන්ද හිනාවෙන්න ඕනෙ?

චන්දරේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails