Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වචන භාවිතයෙන් තොර සංඥා මගින් අර්ථය ප‍්‍රකාශ කරන සාහිත්යික පඨිත විශේෂය නූතනවාදී සාහිත්‍යය වශයෙන් සැලකේ. 1910-1930 දශක තුළ එංගලන්තය, අමරිකාව, ජර්මනිය, ප‍්‍රංශය වැනි රටවල සිදු වූ ශීඝ‍්‍ර කාර්මික සංවර්ධනයත් සමග කලාකරුවන් නව ආකාරයෙහි විෂයය පරාසයක් ඔස්සේ නිර්මාණකරණයෙහි නියුක්ත විය. මෙහි සාරාර්ථය වශයෙන් අළුත් යථාර්ථයක් ඔස්සේ ඔවුන් ගනුදෙනු කරන්නට වූ අතර පැවැති සාහිත්‍ය ෂානරවල භාෂා රටාව ද වෙනස් කරන්නට විය.

නව වචන හා ආකෘති ගොඩනඟමින්, වෘතාන්ත ව්‍යාකරණය පවා සුවිශේෂී ආකාරයෙන් භාවිත කරමින්, නිර්මාණකරණයෙහි යෙදෙන්නට නූතනවාදීහූ සමත් වූහ. එහිදී සත්‍යාභාසය හා ප‍්‍රබන්ධ තථ්‍ය සමරූපී වෙනවා ද යන ගැටලුවට මුහුණ පාන්නට ඔවුන්ට සිදු විය. එය එසේ නොවිය හැකි, එහෙත් යථාර්ථයෙහි ඒකරූපීභාවයක් නූතනවාදී සාහිත්‍යය රචනා තුළින් මවන්නට සමත් විය. එහෙත් සැබෑ ලෙසම සාහිත්‍ය ෂානර සහ බාහි්‍ය ඇත්ත පෙනෙන අයුරින් සමාන, විශ්වසනීය අයුරින් වැඩි දෙනා ඇත්ත බව පිළිගන්නා පොදු මතය අතර ඒකරූපී එකඟතාවක් නොතිබිය යුතු බවට නූතනවාදී මතය විය. නූතනවාදී පරිකල්පන ධාරවෙහි සියුම් ඵලයක් වශයෙන් අධියථාර්ථවාදය විශ්වසනීයත්වය යන පොදු මතය නව ආකෘතියක් තුළින් බිඳ දමන්නේද මෙනිසාය.

නූතනවාදී සාහිත්‍යයෙහි පුරෝගාමී චින්තකයන් ලෙස ටී.එස්. එලියට්, ජේම්ස් ජොයිස්, එස්රා පවුන්ඩ්, වර්ජිනියා වුල්ෆ්, වොලස් ස්ටීවන්ස්, ගර්ඩ් රූට්ස්ටයින්, මාර්ෂල් පෲස්ට්, ආන්ද්‍රේ ජීත්, ෆ‍්‍රාන්ස් කෆ්කා වැනි අය දැක්විය හැකිය. මොවුන්ගේ නව නිර්මාණ සාම්ප‍්‍රදායික, ගතානුගතික චින්තනය හා නිර්මාණ ඉරා දමමින් සමාජය විවරණය කරයි. බාහිය තථ්‍ය තුළ අපට පෙනෙන්නේ මොනවාද යන කාරණයට වඩා අප යමක් දකිනාකාරය කෙරෙහි වැදගත් අවධානයක් යොමු කරයි. වාස්තවිකත්වය ප‍්‍රතික්ෂේප කරන සියලු දේ දන්නා සර්වවේදී කථකයා නිර්මාණයෙන් ඈත් කරයි. "කොලෙජ්කරණය" යන ව්‍යුහාත්මක සන්දර්භය ස්වකීය නිර්මාණ විෂයට ඔබ්බවා ගන්නා නූතනවාදීහූ බිඳුණු, විසුරුණු, කැඩුණු ආකෘතියක් භාවිතයට ගනිති.

කාර්මික ධනවාදයෙහි හුදු පලය වශයෙන් වර්ධනය වෙන්නට පටන්ගත් නූතනවාදී කලාව බටහිර බුද්ධිවාදී ක්ෂේත‍්‍රය තුළ අධිසුබවාදී සංස්කෘතියක් හා සභ්‍යත්වයක් නිර්මාණය කරන්නට විය. නූතන සමාජය යන්න පවා වටහාගෙන තිබුනේ මෙවැනි අධිසුබවාදී තත්ත්වයක් යටතේය. මෙකී සන්දර්භය තුළ අපගේ පරිකල්පන මීමංසාවට ලෝකය හසුවෙන ආකාරයත් එම ලෝකය තුළ මිනිසා ගැටලු අභිමුවදී ක‍්‍රියාකරන ආකාරයත් ඒවාට පිළියම් සොයන ආකාරයත් පිළිබඳව පරිපූර්ණ විඥානයක් නූතනවාදී මූලික ආදර්ශනයෙන් පැනෙන බව ඇතමුන් තුළ අවිඥානික පිළිගැනීමක් ද විය. වරක් ජෝර්ජ් ලූකාෂ් ප‍්‍රකාශ කර හිටියේ නූතනවාදී සාහිත්‍ය ධනේශ්වරයින්ට පමණක් සේවය කරන මාධ්‍යයක් බවයි. එහෙත් ලයනල් ටි‍්‍රලිං වැනි න්‍යායකයින් නූතනවාදී සාහිත්‍ය නූතනය හා සම්ප‍්‍රදාය අතර ගැටීමක් ඇතිකොට නූතන මිනිස් චින්තනය සාරදර්ශීයව පිහිටුවීමට උපකාරී වන බවට අදහස් පළ කරන්නට විය.

කෙසේ වුවද වැඩිමනක් අවස්ථා තුළදී ආකෘතියට ඉහළින් අන්තර්ගතය තබන නූතනවාදී සාහිත්‍යය ෂානර සම්භාව්‍ය සාහිත්‍යට නොදෙවෙනි සාහිත්යික අන්තර්ගතයකින් ද පෝෂණය වෙයි. මෙකී අන්තර්ගතය තුළ මිනිසා පිළිබඳව නව පූර්වාදර්ශන් හා පරමාදර්ශන් මවන්නට නූතනවාදීහූ සමත් වූහ. එහි මිනිස් ජීවිතය විවරණය වූයේ හුදෙකලාව විසීමට ආසක්ත වන කංසාබර දිවියක් ගත කිරීමට කැමැති සත්ත්වයකු ලෙසිනි. මිනිස් ක‍්‍රියා හා ඓතිහාසික ක‍්‍රියා අතර ඇති අනෝන්‍ය සම්බන්ධතා අවබෝධ කර ගැනීමට නූතනවාදීන් අසමත් වන්නේ එනිසා බව ඇතැම් විචාරකයින් පවසන්නේද මෙනිසාය.

එන්ගලන්තය, ප‍්‍රංශය, ජර්මනිය වැනි ඉහළ ධනවාදී රටවල නූතනවාදය ආරම්භ වීම නිසා එකී සාහිත්‍ය ෂානර තුළද එම රටවල සමාජ ආකෘතික ව්‍යුහය ඓන්ද්‍රීයව බැඳී පවතී. ධාරණාවාදය, අනාගතවාදය, ප‍්‍රකාශනවාදය, පශ්චාත් ධාරණාවාදය, ඩඩාවාදය, ඝනිකවාදය පොප් කලාව, නවසම්භාව්‍යවාදය, ලුහුකලාව, ස්වයංක‍්‍රීය ලේඛනය ආදී විචාරණ සමග මුහුව එය විකාශය වන ආකාරයක් පෙනේ. එහෙත් මෙහිදීද ජෝර්ජ් ලූකාෂ් ප‍්‍රකාශ කර සිටියේ ස්වාභාවිකවාදය, ග‍්‍රාම්‍ය ස්දවාදය, වියුක්ත මනෝ රටානකූල ප‍්‍රකාශනවාදය වැනි නූතනවාදී දෘෂ්ටිවාද පමණක් නූතනවාදී සාහිත්‍යය ෂානර තුළින් ව්‍යාප්ත වන බවයි.

මිනිස් ආත්මීයතාව යථාර්ථවාදයෙන් ඔබ්බට ගිය අධිතාත්විකවාදී ස්වරූපයක් ගන්නා බවට නූතනවාදී චින්තනය විය. එනිසා නූතනවාදීන් නිරන්තරයෙන් උත්සුක වූයේ පවතින ක‍්‍රමය නව ආකාරයෙන් ඉදිරිපත් කරන්නට හෝ සපුරාම එය ඈත් කොට නව නිර්මාණ බිහිකිරීමටත්ය. ප‍්‍රතිනර්මාණ විධිය දෙසට නව ආකෘතියක් ඈඳා ගනිමින් යුගයට අදාළ සංවේදීත්වයක් තුළින් ඔවුන් විසින් එය පඨිතකරණයට නතු කරගන්නා ලදි. එනිසා නූතනවාදී සාහිත්‍යය දිග ආඛ්‍යායිකාවලින් වියුක්ත සංක්ෂිප්ත, සංකීර්ණ නිර්මාණ බිහි කළ අයුරක් පෙනේ. අධිසත්තාවදය තුළින් මෙකී ලක්ෂණ පැනෙයි.

නගරය කර්මාන්තය හා තාක්ෂණය, නිදහස්කාමී ස්ත‍්‍රිය හා සෞන්දර්යකාමී තරුණයා, සුවිශාල මහජන වෙළඳ පොළ, ඉබාගාතයා වැනි සංකල්ප ස්වකීය වස්තු විෂයෙහි න්‍යෂ්ඨිය වශයෙන් භාවිත කරගන්නට ඔවුහූ සමත් වූහ. එසේම විඥානය, සංජානනය, හැඟීම, අර්ථය හා පුද්ගලයා, භාෂණය, විඥානාධාරා රීතිය, ප‍්‍රවාහීකරණය, අසමානකරණය රිද්මය, අනිරාකරණය වැනි ක‍්‍රම මගින් තමන් පසුකරමින් හිටි ඓතිහාසක තලයෙහි සංකීර්ණත්වය අවබෝධ කරගනිමින් අනාගතය හා එහි සමාජ ආකෘතිය තුළ විය හැකි පරමාදර්ශයන් රූපකමය රීතී මගින් විවරණය කරන්නට විය. ඒ සඳහා අනුගමනය කළ මූලික ධාරණාවන් කිහිපයකි.

බාහි්‍ය තථ්‍ය ප‍්‍රබන්ධයෙහිදී දිගු ආඛා්‍යායිකාවක් ලෙස විවරණය නොකරයි. ඒ වෙනුවට අවශ්‍ය අන්තර්දෘෂ්ටිය පමණක් සපයයි. සම්ප‍්‍රදායට එරෙහිව කැරළි ගැසුවද පාඨක ෂානර සම්බන්ධාතව ආරක්ෂා කරගනියි. එනිසා ලේඛක, පාඨක සම්බන්ධතාවටද වැදගත් තැනැක් හිමිය. පාඨකයාගේ පරිකල්පනය අවුළුවාලන ආකාරයේ බහු සංවාද හා නිරූපණ ඉදිරිපත් කරනවා විනා, හුදෙක් විස්තර වර්ණනාවලට පමණක් යොමු වන්නේ නැත. විවරණය කරන නව ලෝකය හා සංවාද නිසා පාඨකයා දාර්ශනිකයකු බවට පත් වේ. එසේම කයෙහි කාරකත්වයට වඩා මනසෙහි කාරකත්වය දෙස වඩා වැදගත්කමක් ආරෝපණය කරයි.

සියලු ප‍්‍රකාශනයන්ගේ න්‍යෂ්ඨිය භාෂාව යැයි පැවති මතය වෙනස් කොට භාෂාව යනු කිසිවක් ප‍්‍රකාශ නොකරන ගොළු, යමක් ප‍්‍රකාශ කරන්නට ප‍්‍රයත්න දරන සංකල්පයක් වශයෙන් බහ්වර්ථයට ලක්කරයි. එනිසාම සුවිශේෂී ආකෘතියකින් භාෂාව සකසා ගනියි. ලිඛිත භාෂාවේ ව්‍යාකරණානුකූල ආධිපත්‍ය බිඳ මෙම නව ආකෘතිය සකසා ගන්නට විය. එදිනෙදා ජීවිතයෙහි අප සමීපයේ ඇති වස්තූන් සාහිත්‍යයට ඇතුළත් කරගැනීමේ මාධ්‍යයක් වශයෙන් අප භාෂාව සැලකුවද නූතනවාදීන්ට අනුව පවත්නා තත්ත්වයන්, වස්තූන් ග‍්‍රහණය කර ගැනීමට මෙන්ම අපගේ චිත්තවේගයන් හා සිතුවිලිවලට බාධාකාරී සාධකය භාෂාව බව අප නොසිතීමම ගැටලුවකි.


ෆ‍්‍රාන්ස් කෆ්කා


මෙම නූතනවාදී ප‍්‍රවණතාවෙහි පරිකල්පන විෂය ධාරවක් වශයෙන් අධියථාර්ථවාදය සාහිත්යික සංස්කෘතියට ප‍්‍රවිෂ්ට වෙයි. නූතනවාදය අධියථාර්ථවාදී සාහිත්යික සංකල්ප විවරණය කරනවාටත් වඩා අධියථාර්ථවාදී සාහිත්‍යය පරිකල්පනයෙන් විවරණය වන මූලික සංකල්පවල න්‍යෂ්ඨිය වශයෙන් පිහිටයි. මෙයින් පැනෙන වස්තු විෂයන් හා සියලු ලක්ෂණයන් අධියථාර්ථවාදයෙන් පැනෙයි. එනිසාම නූතනවාදය සමග පැනෙන අධිසත්තාවාදය හඳුනාගත යුතු සංකල්පයකි.

සත්තාව ඉක්ම වූ යන අර්ථය ලබාදෙන්නා වූ අධියථාර්ථවාදය, අධිසත්තාවාදය, ස්වාප්නිකවාදය, අධිතාත්විකවාදය යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනු ලබයි. ෆ්‍රොයිඩ්වාදයේ එන්නා වූ ස්වප්නකරණය පිළිබඳව වූ විග‍්‍රහය මෙම රීතියේ වර්ධනයට උපස්තම්භක වූ ආකාරයක් පෙනේ. අධියථාර්වාදයේ මූලික න්‍යායික පදනම වූයේද එයයි. ෆ්‍රොයිඩියානු ප‍්‍රවාදයේ මූලික සාරය වූයේ ස්වප්නයක දී දෘශ්‍ය වන්නා වූ අයථා, විකාරරූපී ආශාවන් උපවිඥානය මඟින් සපුරා දෙන බවයි. අධියථාර්ථවාදයද නින්දේදී පෙනෙන්නා වූ සිහිනයක් මෙන් අද්භූතකාරී, අශ්චාර්යාත්මක ලොවක් නිර්මාණය කරයි.

අධියථාර්ථවාදී සාහිත්යික පඨිත බිහිවීමට පූර්ව අවධියන්හි දී සම්භාව්‍යවාදය, නවසම්භාව්‍යවාදය, රෝමාන්තිකවාදය, සාන්දෘෂ්ටිකවාදය හා යථාර්ථවාදය යන සංකල්පයන් සාහිත්යික සංස්කෘතිය තුළ ව්‍යාප්තව පැවතුණි. ගී‍්‍රක යුගයෙහි ඇරඹී සම්භාව්‍යවාදය තුළ මුඛ්‍යතම කාරණය වූයේ ගී‍්‍රක නාට්‍ය හා සම්බන්ධ වෙමින් අනුකරණ සිද්ධාන්තය ගොඩනැගීමයි. ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සොක‍්‍රටීස් වැනි ගී‍්‍රක දාර්ශනිකයන්ගේ අභිප‍්‍රාය වූයේ කලාව යන්න හුදු අනුකරණ සිද්ධාන්තයක් බවයි. ග‍්‍රීක නාට්‍ය හා සම්බන්ධිත සම්භාව්‍ය සම්ප‍්‍රදායේ මූලික අභිප‍්‍රාය වූයේ කලාව මානව පැවැත්ම හා සම්බන්ධතා අනුකරණය කරන සංකල්පයක් බවට තහවුරු කිරීමය.

ප‍්‍රංශ මහා විප්ලවයෙන් පසුව ගී‍්‍රක යුගයේ පැවති සම්භාව්‍යවාදය වෙනත් මාවතක් ඔස්සේ ගමන් කරයි. වර්ඩ්ස්වත්, ෂෙලී, හස්ලීඩ්, කොලර්ජි වැනි සාහිත්යික පඨිත නිර්මාපකයින් නව්‍ය රීතියක් කෙරෙහි අවධානය යොමු කළ අතර ‘රෝමාන්තිකවාදය’ හෙවත් ‘අරුමැසිවාදය’ බිහිවන්නේ මෙහි ප‍්‍රතිපලයක් වශයෙනි. කලාව යනු හුදෙක් මානව පැවැත්ම අනුකරණය සංකල්පයක් පමණක් නොවන බවත් සෑම කලාකරුවකුම නව්‍ය ආදර්ශයක් සමාජයට ලබා දෙන බවත් මෙම දාර්ශනික ප‍්‍රවේශයෙහි අරමුණ විය. ආදරය, සෞන්දර්ය, ත‍්‍රාසය, වීරත්වය අතිශයෝක්තියට නඟමින් වර්ණිත රෝමාන්තිකවාදී සාහිත්‍ය පඨිත තුළ චරිත හොඳ සහ නරක වශයෙන් නම් කර තිබීමත් චරිත නිරූපණයේ පැවැති දුර්වලතා මෙන්ම හේතුඵල සබඳතාවෙන් වියුක්ත නිර්මාණ දක්නට ලැබීමත් එහි පැවැත්මට බාධකයක් විය. සමාජයෙහි පවත්නා වූ මිනිස් ප‍්‍රපංචයන්හී තථ්‍ය යථාර්ථය ඉස්මතු කරනු වෙනුවට අද්භූතවාදී ආලංකාරික කතන්දර දිගහැර පේ‍්‍රක්‍ෂකයා අභිමුඛව තබා ඔවුන් අද්භූත රසයෙන් ප‍්‍රමුදිත කිරීම රෝමාන්තිකවාදයේ මූලික අභිප‍්‍ර‍්‍රාය විය. මෙම ගතානුගතික සංකල්පය එනම්, ‘කලාව කලාව සඳහාමය’ යන හුදු ආටෝපයට පිළිතුරක් වශයෙන් කලාව පවතින්නේ මනුෂ්‍යයා සඳහාය යන සංකල්පය ඉදිරිපත් කරමින් යථාර්ථවාදය සාහිත්‍යය සංස්කෘතියට ප‍්‍රවිෂ්ට වෙයි.

යථාර්ථවාදයේ නැගී ඒමත් සමඟ සමාජ විවරණය, අධ්‍යයනය නව්‍ය ආකෘතික රටාවක් ඔස්සේ සිදු වූ අතර ස්වාභාවිකවාදයේ මෙන්ම අපගේ පංචේන්ද්‍රයන්ට ග‍්‍රහණය වන්නා වූ බාහිර සත්තාවට වඩා කිසියම් සැඟ වී ගිය ගූඪ සත්‍යයක්, තථ්‍ය යථාර්ථයක් විවරණය වීමක් සිදුවිය. මෙලෙස විකාසය වූ යථාර්ථවාදී සාහිත්යික නර්මාණ තුළ සංවිහිතව ඇත්තේ සැබෑ ලෝකයේ කාබන් පිටපත් ලෙස පැනෙන අවස්ථා හා සිද්ධි නිරූපණ නොව කලාත්මකත්වය හා සත්‍යනුරූපීභාවය පදනම් කරගත් සංකල්පයන්ය.

මෙසේ යථාර්ථවාදී සාහිත්‍යය රීතිය සමාජ රාමුව තුළ කි‍්‍රයාත්මක වන විට කාර්මික ධනවාදයේ ශිඝ‍්‍ර සංවර්ධනයත් සමග නූතනවාදයේ හිස ඔසවන අතර මෙහි ප‍්‍රතිපලයක් වශයෙන් අධිසත්තාවාදය බිහි වෙයි. නූතනවාදී සාහිත්යික නිර්මාපකයින් යථාර්ථවාදී ප‍්‍රබන්ධ කතාවල පැනෙන ආචර ධාර්මික නිත්‍යතාවට ප‍්‍රතිරෝධය පාමින් කැරලි ගසන්නට විය. අධියථාර්ථවාදීන්ගේ මූලිකතම තර්කය වූයේ සමාජ ප‍්‍රපංචයන් හා මනුෂ්‍ය සත්ත්වයාගේ කි‍්‍රයා පටිපාටිය විවරණය කරනු වස් යථාර්ථවාදය ප‍්‍රමාණවත් නොවන බවත්ය. එසේම යථාර්ථවාදීන් තාර්කික යයි සම්මත රාමුවක සිට මිනිස් ප‍්‍රපංචයන් නිරූපණය කළද ලෝක ධර්මතාවට අනුකූල ලෙස මෙන්ම විශ්වසනීය අයුරින් බාහිර අභ්‍යන්තරික මිනිස් ඝට්ටනයත් සමාජ සත්තාවක් නිරූපණය නොකරන බවත් එසේ කරන්නේ නම් එය හුදෙක් ව්‍යාජත්ත්වය පදනම් කරගෙන කරනා දෙයක් බවත් අධියථාර්ථවාදීහු පැවසූහ. එසේම යථාර්ථවාදී සාහිත්යික රීතියෙහි සංකේත භාවිතය වැනි තත්ත්ව දක්නට ලැබෙන නිසා විශ්වසනීයත්වය හා චරිත නිරූපණය අතර රික්තයක් ඇති වීමට හේතුවක් බවට සබුද්ධික තර්කණයට හසු විය. එම නිසා ගුන්තර් ග‍්‍රාස්, සල්මන් රුෂ්ඩි, ඉතාලෝ කැල්විනෝ, හෝසේ සරමාගෝ, ගේ‍්‍රබියල් ගර්සියා මාර්කේස්, ෆ‍්‍රාන්ස් කෆ්කා, ඉසබෙල් අය්යන්දේ වැනි අධියථාර්ථවාදී ප‍්‍රබන්ධ කතා නිර්මාපකයන්ගේ නිර්මාණ ආශි‍්‍රතව අධිසත්තාවාදය ප‍්‍රචලිත වන්නට වූ සැටියක් පෙනේ.

අධියථාර්ථවාදය වර්ධනය කෙරෙහි ජෝන් බ්‍රෝයිඩ් නම් සමාජවිද්‍යාඥයාගේ ක‍්‍රමවිධ හා මතවාද රාශියක්ද උපයුක්ත විය. ඔහු විසින් සම්පාදනය කරන ලද සිමියුලේෂන්ස්, සිමියුලේක‍්‍රා ඇන්ඩ් සිමියුලේෂන් වැනි ග‍්‍රන්ථයන් මගින් අධියථාර්ථවාදී රීතිය වර්ධනය වන්නට සුවිශේෂී බලපෑමක් ඇති විය. ‘අනුකෘතිය’ නම් සංකල්පයද ඔහු විසින් හඳුන්වා දෙනු ලබීමද අධිතාත්විකවාදයේ වර්ධනයට හේතු පාදක විණි. මෙම වචනයෙහි මූලික අර්ථය නම් මුල් වස්තුවට වඩා එහි අනුකරණය වර්තමාන යුගයෙහි වඩා වැදගත් සංකල්පයක් වශයෙන් ඉස්මතු වීමය. මීට අමතරව ඔහු ඉදිරිපත් කළ ආදී නවීනත්වය, නවීනත්වය, පශ්චාත් නව්‍යත්වය යන සංකල්ප ත‍්‍රයද අධියථාර්ථවාදී පරිකල්පන ධාරාවේ උන්නතිය කෙරෙහි බලපාන්නට විය. ‘බ්‍රොයිඩ්ගේ’ මෙකී අදහස් මුල්කාලීනව සමාජ හා මානවවිද්‍යාත්මක වපසරියන්හි උන්නතියට ඉවහල් වුවද පශ්චාත් කාලීනව සාහිත්යික විෂය ක්‍ෂේත‍්‍රයේ අභිවෘද්ධියටද ඉමහත් පිටුවහලක් විය.

අධියථාර්ථවාදී සාහිත්‍ය නිර්මාපකයන් ස්වකීය නිර්මාණය හැඩගස්වා ගනු වස් මෙන්ම නිර්මාණය තුළින් බහුවිධ අර්ථයන් ලබාදෙනු වස් වෛශේෂික භාෂා උපක‍්‍රමයක් හා ප‍්‍රයෝග භාවිතයට ගනියි. කාලය හා අවකාශය අතර පවතින අසම්මත තත්ත්වයත් චරිත නිරූපණයේ දී චරිතයන් තුළ පවත්නා අනන්‍යතා ලක්‍ෂණ හඳුනා ගැනීමේ අපහසුවත් බාහිර සත්තාව සමඟ චරිත කි‍්‍රයාත්මක වීමේදී අභව්‍ය, අද්භූත සාමාන්‍ය විශ්ව සාධාරණ මට්ටමෙන් ඔබ්බට ගිය සිදුවීම් කි‍්‍රයාත්මක වීම යනාදී පිළිගත නොහැකි කාරණා රාශියක් සිදුවීම දැකගත හැකිය. ගාර්සියා මාර්කේස්, ග‍්‍රාස්, සරමාගෝ, අය්යන්දේ සහ රුෂ්ඩිගේ නවකතාවල මෙවැනි සංකලපයන් ඉස්මතු වීම පමණක් නොව යථාර්ථවාදයෙහි දෛනික හා ලෞකික හේතුපල තාර්කිකත්වය ඉක්මවා යාම පමණක් නොව යථාර්ථය යන්නෙහි පවා නව මානයක් ඉදිරිපත් කරයි.


නූතනවාදී සාහිත්‍යයෙහි පුරෝගාමීන්


අධිසත්තාවාදී ප‍්‍රබන්ධ රචනාවක මහල්ලෙකු, තරුණයෙකු බවට පත්විය හැකිය. එසේම ස්ත‍්‍රියක පුරුෂයකු බවට පත්වීම, සිව්පාවුන් පියාඹීම, මත්ස්‍යයන් ඇවිදීම, අර්ධ සත්ත්ව මනුෂ්‍යයන් බිහිවීම, භූතාත්ම මනුෂ්‍ය ලෝකයාට ප‍්‍රවිෂ්ට වීම, දේව බලයන් කි‍්‍රයාත්මක වීම වැනි සත්තාව ඉක්මවා ගිය අධිසත්තාමය කි‍්‍රයාදාමයන් සිදුවිය හැකිය. කාලය හා අවකාශය අතර පවතින අසම්මත බව පමණක් නොව මනෝ බද්ධය හා විෂය බද්ධය අතර පවතින සබඳතාවද බිඳ වැටෙන ආකාරයක් පෙනේ. සුසාධිත මානව කලාවෙහි සංරචනය නම් මූලධර්මය වෙනුවට විසංරචනය මෙහිදී පැනෙයි. මිථ්‍යා කතා, උපමා කතා, සුරංගනා කතා, දෘෂ්ටාන්ත, ආගමික සාහිත්‍ය වැනි කතා යථාර්ථවාදී ප‍්‍රබන්ධ කතාව තුළ භාවිතයට නොගත්තේ සාධ්‍ය තර්කයෙන් තොරවූ නිසාය. එහෙත් මෙවැනි පුරාණෝක්තිමය කතා, මායා කතා, සුරංගනා කතා අධිසත්තාවදී සාහිත්යික පඨිතයන් තුළ අන්තර්ගත විය. එහෙත් උපමා කතා, ආගමික සාහිත්‍ය, දෘෂ්ටාන්ත තුළ දක්නට ඇති සංකල්ප එලෙසින්ම අධිසත්තාවාදයෙහි සමුපලක්ෂිත වනවා යැයි කීම සුදුසු නැත. එහි අංග ලක්ෂණ උපයුක්ත කරගනිමින් අධිමායාවී ස්වරූපයෙන් දෘෂ්ටිවාද භින්නභාවයට පත් කිරීම මෙහි දක්නට ලැබෙයි. පුද්ගල මනෝ විශ්ලේෂණාත්මක තීව‍්‍රතාව වැඩි නිසා ජන කතාවක් අධිසත්තාවාදයට සමීප නොවන අතර දුර්ස්වප්නකාරී මානසිකත්වයක් ජනනය කරන නිසා සුරංගනා කතාද අධිසත්තාවාදී ප‍්‍රබන්ධයක්ම වන්නේ නැත. මෙම සියලූ කතාවල එකිනෙක ගළපා මුල, මැද හා අග වශයෙන් පවතින ආඛ්‍යාන ස්වරූපය අධිතාත්විකවාදී සාහිත්යික නිර්මාණ මගින් ස්පර්ශ කරන නියුරෝසීය, හින්නෝන්මදී අත්දැකීම් හා පෑහිමක් නොකර ගන්නා ආකාරයක් පෙනේ.

කෙසේ හෝ වේවා යට කී අංගයන්ගෙන් සමූපලක්ෂිත වූ අධියථාර්ථවාදය නම් වූ රාමුව තුළට බහුවිධ වෙෂියීක කාරණා අයත් වන අතර ආශ්චර්යාත්මක යථාර්ථවාදය, පුරාණෝක්ති යථාර්වාදය, භවසත්තා යථාර්ථවාදය, ෆැන්ටසිමය කතාව යනාදී අධිසත්තාවාදී රීතීන් නූතනත්වයත් සමඟ පෘථුල වූ වපසරියක් තුළ ව්‍යාප්ත වෙයි. යටකී අධිසත්තාවාදී සාහිත්යික රීතීන් නූතනවාදයත් සමග බාහුල්‍යයෙන් සුභාවිත වන නිසා නවකතා පඨිතයන් තුළ අධියථාර්ථවාදී රීතියට අනුව යමින් නිර්මාණ බිහිවෙයි. නූතන නවකතාව යථාර්ථවාදී රීතිය සංක‍්‍රාම්‍යතාවකට පත් කරමින් අධිසත්තාවාදී රීතිය අනුගමනය කරන නූතනවාදී ශාබ්දිකයක් බව කිව හැක්කේද මෙනිසාය.

එල්. ඒ. සුනිල් වික‍්‍රමසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails