Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සිහින පලසක් මස්තකයෙහි ගත දිගා කොට සිත නන්නත්තාර කළ මම මගේ ජීවිතයේ අපූරුව විඳිනට උත්සාහ කරමි. අද දින ලත් ජයග්‍රහණය උදෙසා මා හෙළූ කඳුළු කැට දා බිදු සියල්ලක් අභියසටම ගොස් අනුස්මරණය කරනට මගේ ඒ නන්නත්තාර වූ සිතට හැකි විය. ඒ තුනක්.... ! ඉස්කෝලේ හොඳම රිසාල්ස්... ! සෙල්ලන්ද අප්පා... සැබවින්ම මේ හැබෑව සිය දහස් වරක් සිහිනයක් ලෙස නරඹා ඇති හෙයින් හැබෑවේ උද්දාමය විදගන්නට මම අපෝසත් වීමි. ඉදින් මම අනෙක් පස හැරී සිහිනයක් තුරුළු කර ගනිමි.

විශ්වවිද්‍යාලය !

වි
ශ්


ආලය

මගේ

සුපිරි සිහිනය

සියලු සිහින හැබෑ කරනා ඉටු දෙවි භවන. මම තව තවත් තදින් සිහිනයට ළංවෙමි. මේ හද්දා කැළෙන් නික්ම කොන්ක්‍රීට් වන ගැබක සැරිසරන්නට හැකියාවක් ලැබුණොත් එය නම් ඇත්තෙන්ම පෙර පිනක් ම වනු නොඅනුමානය. අහල පහල කිසිදු ඉසව්වක නොදිටි ඒ සුපිරි පන්තිය මට එහිදි මුණ ගැහෙනු ඇත. රිදී දූවිලි කලත්තමින් විදුලි වේගයෙන් ඉගිල යන සුපිරි වාහන. කළු වීදුරු වලට මුවාවී අඩි දෙක තුනක් ඉහලින් සීතම සීත වාතලය විඳිමින් රථවලින් යන එන සුන්දර පිරිමි පරාණ එහිදි කොතෙකුත් දකිත හැකිය. දෙනයනින් ඉඟිමරා දෙතොලගින් විසි කරන චටපට ඉංගරින්දසි වදනින් ආදරයේ රන් දොරටු විවර කළත් ඒ කිසිවක් හමුවේ මා ඉක්මන් නොවිය යුතුය. මන්දයත් ආවට ගියාට වාහනවල යන කොල්ලන්ගේ ඔලු ගෙඩි ඉස්ගෙඩි වන හෙයිනි. එහෙත් වලාකුළක නැගී අවුත් දිලිසෙන මිරිවැඩි සඟල ටොක් ටොක් ගා තබමින් පොඩි නොවු සළුපිළිවලින් සැරසී අඳුරු පැහැවූ උපැස් යුවළ කෙටිවන්නට කැපූ බොකුටු කෙස් වැටිය මස්තකයෙහි සතප්පවා දේදුනු පාලමෙන් එගොඩව ඉටු දෙවි භවනට වඩිනා දොස්තර පැටියෙක්? ? ? ඉන්ජිනේරු පැටියෙක්? ? ? ? එසේද නැතිනම් නීතිඥ පැටියෙක් මුණගැසුනොත් ඉක්මන් නොවිය යුත්තා සේම ආලවන්තකමකට මුලපුරනට කෝල බැලුම් හෙලන්නටත් අමතක නොකළ යුතුය. වලාකුළක ආවත් දේදුනු පාලමින් එගොඩ වූවත් කලාකාරයෙක් නම් එපාමය. කලාකරුවාගේ පරිකල්පනය පෝසත් වුවත් සාක්කුව හිස්ය. මට මගේ ලෝකය සොයා දෙන්නට ඔහුට නොහැකිය. පරිකල්පනය කන්නයැ.... අනේ දෙවියනේ......... ඔබ වහන්සේ මට කොල්ලෙකු සොයා දෙන්නේ නම් ශාස්ත්‍ර පීඨය දෙස ඇහැක් හැර නොබලත්වා. ! ! ! !

අතීතය පෝර උරයක බහා පිළිකන්නට විසි කළ මම අනාගතය පාර්සල් කර ගෙන කොළඹ ආමි. ගෙදරින් එන විට රැගෙන ඒමට මා සතුව තිඋනේ ඇදුම් කඩමාළු කීපයකුත් සිහින මල්ලකුත් පමණි. එකින් එක සිහින හැබෑ කොට සිහින මල්ල හිස් කිරීම මගේ පරම පැතුම වුවත් පළමු වසර ක්ෂය වනතුරුත් කිසිදු ජ්‍යෙෂ්ඨ උත්තමයකු මේ ෆ්‍රෙෂී දෙස ඇහැක්වත් හැර බැලුවේ නැත. ෆ්‍රෙෂී බැලූම් හෙලමින් සිටි ජ්‍යෙෂ්ඨ උත්තම දොස්තර පැටියා දින කිහිපයක සිට ආගිය අතක් නැත. අවසන්වරට දකින විට ඇඳගෙන හිටියේ ලස්සන ලා නිල් පාට ෂර්ට් එකක්. ලා දුඹුරු පාට කලිසමේ සිප්පෙක ගාව කළු පාට පෑන් ඉරකුත් තිබුණා.

විශ්වවිද්‍යාලයට අවුත් සිහින මල්ල හිස් කිරීමට අපේක්ෂාවෙන් සිටියත් සිදුවූයේ වෙනකකි. මගේ සිහින මල්ලට තවත් සිහිනයක් එක් වීමය. ඒ ඩිපාට්මන්ට් සිහිනයයි. විශේෂවේදී උපාධිය පළමු පංතියේ සාමාර්ථයක් ද සහිතව සමත් වන්නෙකුට වසර දෙකක කාලයක් ආධුනික ගුරුවරයෙකු ලෙස සේවය කළ හැකිය. එය මගේ නම්බුවට ද හොඳය. වලාකුළු පලස් නැතත් දේදුනු පාලම් ආදී භෞතික කාරණා වලට පෞරාණික උරුමයක් නැතත් එවන් සම්පත් කරා ළගා විය හැකි හැකියාවක් සහිත මගේ පෙම්වතා යැයි කියත හැකි ආදරණීය කොල්ලෙක් හමුවුණොත් බර වැඩිවන සිහින මල්ල ඔහුගේ ඔඩොක්කුවේ තබා මට නිදහස් විය හැකිය. කුරුඳුවත්තේ එඩ්ඩරලූ ස් වලට ලන්සිවත්තේ ලියුම් නොයන වග කොළඹට පයගහපු දින පටන් මට අවබෝධ වෙමින් තිබිණ. මෙඩිකල් ඉන්ජිනේරු ආදී සිහින කීපයක් ළඟ තබාගත් මම අවැදගත් සිහින ගුලිකර විසි කරමි.

සන්ධ්‍යාගේ කොකු පාටියට මම ගියේ හිත හොඳකින් නම් නොවේ. යා යුතුම නිසාය. ඒකිගේ අහවල් එකට අර කොල්ලා වහ වැටුණද මන්දා.

"උඹලා අපිට හොඳ ට්‍රීට් එකක් දුන්නා.... තෑන්ක්ස් ආ..."

"ඇතුලත් මුදලි මහත්තයට පින්සිද්ධ වෙන්න...."

"උඹලා පාටි දැම්මේ මහපොළ සල්ලි වලින්ද.... මං හිතුවා ජගත් ගානේ කියලා"

"ජගත්ගේ තාත්තා මේසන් වැඩ කරන්නේ ඇමරිකාවේ නෙමෙයි.... ලංකාවේ... ලංකාවේ...... කොල්ලා කෙල්ලෝ සෙට් කරගන්න කරගන්න ගානේ සල්ලි එවන්න පිළිකන්නේ කප්රුක පැළවෙලා නෑලු තාම..."

සන්ධ්‍යා ලැජ්ජ නැතුව හිනාවෙන හැටි. මේකි නම් අර්ධ උන්මන්තිකාවකි. අතේ පිච්චියක් නැති කොල්ලෙකුට පෙම් කිරීමේ අවම සුදුසුකමවත් නැති වග ඇයට අමතකව ගොස්ය. බොකුටු කොණ්ඩය උපැස් යුවල නීට් ඇදුම් ආදිය නැතත් උපන් දිනේකට චේන් පොටක්වත් පලන්දන්නට වත්කමක් තිබිය යුතුය. ආදරේ අප්ඩේට් කළ යුතුය. නැතිනම් එක්ස්පයර් විය හැකිය. එවිට භාවිතයට අන්තිම නරකයි. ශාස්ත්‍රවේදි උපාධිධාරියකුට පුළුවන්ද ආදරේ නඩත්තු කරන්න. ලස්සන කන්නයෑ. පිස්සු. සන්ධ්‍යාගේ සාමාන්‍ය දැනීම නං අසාමාන්‍යය.

"ඒක නෙමෙයි භාග්‍යා...... කොහොමද..... මෙඩ්ඩා, තාම ඇහුවේ නැද්ද... "

"ඇහුවා..."

බොරු කීම හා රැවටිල්ල හුදෙක් පුද්ගලයන් කරන පාපකර්මයක් නොව සමාජ ක්‍රමයෙහි ලක්ෂණයකි. බොරු කීම අරගලයේ විධික්‍රමයකි. ඒ නිසාම එය අවශ්‍යතාවන් අතර ප්‍රතිවිරෝධයෙන් හට ගනී. දේශපාලන විද්‍යා ප්‍රශ්න පත්තරය මත වැමෑරූ නිර්වචනයක් හදිස්සියේ මතකයට අවුත් මා නිදොස් කොට නිදහස් කරන ලදි. කවුද කිව්වේ. කවුරු හරි උගතෙක්. මම සැනින් පංච ශීලයෙන් මිදෙමි. ආගම කියන්නේ අබිං කියලා කිව්වේ කවුද? ? ? ලෙනින්ද? ? ? ? ?

"ඔය ඇත්තමද.... භාග්‍යා.... මට නං හිතා ගන්න බෑ..... "

සන්ධ්‍යා හීනයක් වගේ ආදරේ යහනට විසිකොට මවෙත අවුත් හිඳගනී. පරිකල්පනං සරණං ගච්ඡාමි.

"කියන්න නං ලොකු උවමනාවක් තිබුණා.... කියන්න හිතපු හැම වෙලාවකම කොහේ හරි ඉදලා අරුන් දෙන්නා රූම් එකට එනවා....."

"උඹ ඔය කියන්නේ චතුයි විශාඛයි ගැනද...... ඒ දෙන්නා උඹ ගැන මාර ෆ්‍රෙන්ෂිප් එකෙන්නේ කතා කරන්නෙ..."

"බොරු කීමයි... රැවටිල්ලයි කියන්නේ පාපකර්මයක් නෙමෙයි.... සමාජ ක්‍රමයේ ලක්ෂණයක්. බොරු කීම අරගලයේ විධික්‍රමයක් කියලා ට්‍රොට්ස්කි කිව්වේ කට කහනවටද බං...."

ට්‍රොට්ස්කි කොහෙන්ද ආවේ. කොහෙන් ආවත් හරි වෙලාවට හරි තැනට ආවා. ජිංගත ගොගො කිය කිය ඉන්න උන් ට්‍රොට්ස්කිව දන්න එකක්යැ.

"චතූලා ඇයි උඹත් එක්ක තරහා වෙන්නේ.... ? ? ?"

"වෙන මොනාටද.... අරගලය.... ඩිපාට්මන්ට් අරගලය....."

"උඹ ඉකෝන් ස්පෙෂල් , උන් දෙන්නා සිංහල ස්පෙෂල්, එතෙන කොහෙද ඩිපාට්මන්ට් අරගලයක්.."

" ඕවා තේරුම් ගන්න උඹ පැහිලා මදි බං.... ඒකට ඔය 'හීනයක් වගේ ආදරේ' කියව කියව ඉඳලා හරියන්නෑ..... හොද පරිවර්තන පොත් ටිකක් කියවපං..."

මම සෙමින් සන්ධ්‍යාගේ කන් පෙත්ත අදිමි.

"අනේ මන්දා... ඕවා.... ඉතිං ඉතිං.... මෙඩ්ඩා මොකද කියන්නේ...."

සන්ධ්‍යා අරගලයෙන් මිදුණු හැඩය. දෙයියන්ගෙම පිහිටයි.

"වෙලාවකට මට බයත් හිතෙනවා සන්ධ්‍යා.... අපේ පවුලේ හැටියට එයාලගේ පේරන්ට්ස්ලා අපේ එෆෙයාර් එකට කැමති වෙයිද කියලා...."
සුජිත්ගේ සීනි බෝල කතාවක දෙබසක්. සන්ධ්‍යාට මතක නැතුව ඇති.

"ඒ කියන්නේ එෆෙයාර් එක එච්චර දුර ගිහිල්ලද..... ආව් ආව්...... එහෙනං උඹත් දොස්තර බිරිඳක් ආ....."

මම ලැජ්ජාවෙන් ඇඹරෙමි.

"හිමිජ්ජා වගේ ඉදලා මේකි ගිහින් තියන දුර......."

සන්ධ්‍යා හුරතල් වෙමින් මගේ නැහැයෙන් ඇද බාල්දියත් රැගෙන කාමරෙන් නික්මිණ.

දොස්තර බිරිඳක් වීම හිතන තරම් පහසු කර්තව්‍යයක් නොවේ. ඒ උදෙසා පැවරුම් ඇගයීම් රාශියක් සම්පූර්ණ කළ යුතුය. සුසුම් අහුරක් අවකාශයට විසිකරමින් මම යහන මත දිග ඇදෙද්දී සිහින පොකුරක් මගේ ඔඩොක්කුවට වැටිණ. ඔඩොක්කුවට වැටි සිහින පොකුරේ නොපිපුණු කුසුමක් මගේ නිරුවත් කලවා මත මකරන්ද විසිරුවමින් ළමැදට ළඟා විය. නුහුරු හැඟුමින් සිත සේම ගත පුබුදියි. වසාලූ නෙතු පියන් අද්දර සචිත්. මෙඩිකල් එකේ අයියා. නෙත් කෙවෙනි මතින් එගොඩ වූ ඔහු, පා සලකුණු නොතියාම මගේ සිහින තුළට රිංගන්නට විය.

ඔහු.......

නි...... රු...... ව...... ති.... න්....

මම ඔහු දෑසට අවශෝෂණය කර ගනිමි. විශ්වවිද්‍යාලයේ අන්තර්ජාල දොරටු අවහිර කිරීමේ පාපකර්මය නිසාවෙන් සචිත්ගේ මුහුණු කට පැහැදිලිව දකින්නට හැකත් නිරුවත අපහැදිලිය. අනෙක් අතට සිරියක්කාගේ පොඩි කොල්ලාගේ තෙත රෙදි මාරු කිරිල්ල මට කරන්නට පැවරුණේ ඒකාට මාස හය හතක් වනතුරු පමණි. සචිත්ට දැන් විසි හතරක්. හොඳ වයස. සචිත්ගේ උත්තුංග දේහය මනසේ සිත්තම් කිරීම එනයින් භාරදූර කර්තව්‍යයක් විය. මම එකී පරිකල්පනයෙන් ඈත් වෙමි. මොහොතින් ඔහුගේ දඟකාර ඇගිලි තුඩු මා නිරුවත් කරන්නට විය. රෝස පාට දෙතොල් ගණව නොවැඩුණු රැවුල මාගේ ගත පුරා ගමන් කළේ මා විකසිත කරවමිනි. ඔහු අත වූ නොපිපුණු කුසුමේ මකරන්ද පුසුඹ මා ගත වෙලා ගනිද්දි ආදරයේ සප්ත ස්වරයම එකම ගීයකට ගොනුවෙද්දී මුවගින් පිටවුණු ඒ මිහිරිතම හඬ මා තුළම දෝංකාර දෙන්නට විය. මම ඉක්මනින් නෙතුපියන් විවර කරමි. හදවත වේගයෙන් ස්ඵන්දනය වෙමින් තිබිණ. මම ඉක්මනින් දොර දෙස බලමි. දොර වහලා. හොඳ වෙලාවට. මම යළිත් මා දෙස බලමි. ගවුම් වාටිය බොත්තමක පැටලී තිබෙනු දුටුවේ එවිටය. මම එය වහා ගලවා දමා තෙත්ව තිබූ ඇතිරිල්ල මත කොට්ටය තබමි.

ආදරය යනු උත්තරීතර මානුෂීය බැඳීමකි. එයට භෞතික සම්පත් යා කොට නිගා නොදිය යුතුය. කලාකරුවා වනාහී සංවේදී සිතැත්තෙකි. ආදරය ආදරයක් සේම වටහා ගැනීමේ හැකියාවත් එය ආදරණීය ලෙස පවත්වාගෙන යාමේ හැකියාවත් ඔවුනට ඇත. ටෙස්ට් ටියුබ් වල මළ මිනීවල ඉලක්කම් වල තර්ක වල සිර වුණු ඔලු ගෙඩි වලට ආදරය ගැන නියම හැඟීමක් නැත. ඔවුහු ආදරය දකින්නේ ස්වභාව ධර්මය විසින් වර්ගයා බෝකිරීමේ ක්‍රියාවලිය උදෙසා විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කර ගැනීමට දුන් දායාදයක් ලෙසයි. ඔවුනට අනුව ආදරය සංස්කෘතිකමය කාරණාවකි. ලිංගිකත්වය විද්‍යාත්මක කාරණාවකි. බයිලා. කාලය නොසිතූ විරූ වේගයෙන් ඉගිල යද්දී යල් පැන ගිය සිහින ගුලිකර විසි කරන්නට මට සිදුවිය.

ලසිත් රුවින්ද සේනානායක... ! ! ! !

සිංහල අධ්‍යනාංශයේ කථිකාචාර්ය ලසිත් රුවින්ද සේනානායක. මසිත අ+විද්‍යාවෙන් මුදවා ගත් ඉටු දෙවියා. සරසවියට පය ගසා තෙවසරක් පසුවුවත් මා සමඟ ඔය තරම් ආදරයෙන් සිනාසුණු තරුණයෙකු නැති තරම් ය. ඒ සිනාව, ඒ කතා කරන නෙතු සඟල, මගේ සිත ආත්මීය හැඟුමින් මුසපත් කරයි. මම සුජිත් ප්‍රසාද්ගේ නවකතා කියවනවා වැඩිද මන්දා. මල් කතා කියෙව්වාට ඒවා භාවිතයට නුසුදුසුය. වෙසෙසින්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකට අන්තිම නරකය. රෑට රෑට තනිකං දෝසයට මල් පත්තර කියෙව්වාට මින් මතු මගේ භාෂාවට ප්‍රබුද්ධ වචන පෙළක් සොයා ගත යුතුය. ලසිත් ලෙක්චරර් කෙනෙක්. ලසිත් සර්....... හීනය බර වැඩිද මන්දා. කෙසේ නමුත් මගේ මේ කේඬෑරි වී යන්නට අර අදින ජීවිතයට යළිදු පණ පොවන්නට ඔහු වැන්නෙකුගේ ඇසුර අත්‍යවශ්‍ය ය. අනේ දෙවියනේ මං වයසට යනවා.... මටත් ආදරේ කරන්න ඉඩ දෙන්න.

තෙවසරක් පුරාවට සිත සේම ගත ඉල්ලා සිටි ප්‍රේමය නොලැබු මගේ දිවියේ ඒ වේදනා සුසුම්, පරිකල්පනා ගඟුගුලැල්ලේ පාවෙද්දි කවි දෑලයන්හි නතර වූ වාර අනන්තය. දූවිලි බැදී ගිය කෞතුක පොත පත ඇද මම කවි සොයමි. සිතූ ලෙස කවි සිය ගණනින් සොයා ගැනීමට මට හැකි විය. ඉන් උත්කර්ශවත් කවි කීපයක් සොයා ගත් මම රත්න ශ්‍රීගේ හා හෑගොඩගේ කවි පොත් වලින් අහුලා ගත් වදනින් යළිදු ගෙත්තම් කරමි. සර්ට අහුවෙයිද. නෑ. රත්න ශ්‍රීටවත් අහුවෙන එකක් නෑ.

"ඇති යාන්තං ඔය වගේ වැඩක්වත් පටන් ගත්තා..... නැත්තං ඇඳට වෙලා කල්පනා කර කර ඉන්න එකනේ කරන්නේ...."
විශාඛා මගේ කවි කොළයට එබෙමින් පැවසීය.

"පුංචි කාලේ ඉඳන් කවි පොතක් කරන්න මගේ ලොකු ආසාවක් තිබුණා....."

සුසුම් පලසක් අවකාශයේ එලූ මම ඒ මත සීරුවට වදන් දිගා කරමි.

"ෂා.... මරුනේ අපිට පුළුවන් උඹට උදව් කරන්න..... නේද විශාඛා...."

චතු ද අපේ කතාවට එක් විය.

"අපි මෙයාව ලසිත් සර්ට ඉන්ට්‍රඩියුස් කරමු...... සර් හරි කැමති ඔය වගේ වැඩ වලට උදව් කරන්න..."

මම නිසල සිනාවක් පාමී. චතුත් විශාඛාත් ඒ සිනාව තුළ පැටලිණි.

"ඇයි..... ? ? ? ? ?"

"නිකං...."

බර සුසුමක් මුදා හරිමින් අවකාශයේ දෙනෙත් අතරමං කරවමි.

"ඇයි භාග්‍යා..... ප්‍රශ්නයක්ද....."

යටි තොල තදින් සපා ගනිමින් කඳුළු වලකන්නට වෑයම් කරමි. කඳුළු වේගයෙන් අවුත් නෙතු දෑලේ තිරිංග ගන්වද්දී චතූත් විශාඛත් මගේ දෙපසින් අගසව් වන්නට විය. නෙතු දෑලේ හිදගෙන උන් කදුළු වලට කොපුලතේ පෙරලෙන්නට දොරටු විවර කරමි. සෙමින් ඇවිද ගොස් කාමරයේ දොර වසා දමමි. සිව් නෙතු මා පසුපසම අවුත් මාත් සමගම හිද ගනු මට පෙනේ.

"ලසිත් සර් මගෙන් යාළු වෙන්න ඇහුවා....."

මම ඒ නේත්තරාවෝ මග හරිමින් මගේ නෙතු යුග ඈත සිතුවිල්ලක නතර කරමි.

"මොකා......... ලසිත්...... සර්...... මේ අපේ සිංහල ඩිපාට්මන්ට් එකේ ලසිත් සර්......"

චතූගේ හා විශාඛාගේ ලොවි ගෙඩි තරම් වූ ඇස් පොල් ගෙඩි වනු මට පෙනිණ.

"උඹලට මාව විශ්වාස කරන්න බැරි වෙයි කියලා හිතුන හන්දයි.... මං මේ කාරණේ උඹලට නොකියා හිටියේ...... ඒත් මට තවත් උඹලට බොරු කරන්න බෑ බං..... මට පවු පිරෙයි....."

මම දෝතින්ම මුහුණ වසාගෙන හඬමි.

"ලසිත් සර්යි.... මායි අතර තියෙන්නේ හුඟාක් දුර සම්බන්ධයක් චතු...... මං ලසිත් සර්ව අදුනන්නේ කැම්පස් එන්නත් කලින්....."

දෙකට නැමී ගවුම් වාටියෙන් නැහැය පිසදා ගනිමි. ජනේලය අද්දරට සෙමින් පා ඔසවමි. නැවතත් සිව් නෙතු මා හඹා එයි.

"උඹලට මතකද.... වසන්තයට සිනාසෙන මල් පොකුරු ඇහිදින ඔබේ ඔය නෙතු සඟළ කියන සිංදුව"

"ලසිත් සර්ගේ පළවෙනි සිංදුවනේ....... ඉතිං....."

"ඔය සිංදුව තමයි මාව මෙච්චර දුර ගෙනාවේ විශාඛා...... ගෙදර තිබුණු ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා තිබුණු මගේ ජීවිතයට වසන්තය අරන් ආවේ ඔය සිංදුව..... මං ඒ වචන වලට ආදරේ කරන්න පටන් ගත්තා.... පිස්සුවෙන් වගේ ඒ කවි හිත හොයන්න පටන් ගත්තා..... දවසක් පත්තරේ සිංදුව ගැන ආර්ටිකල් එකක් තිබුණා.... ඒකෙන් තමයි මං දැන ගත්තේ සර් මේ කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකේ ඉගෙන ගන්නවා කියලා.... කැම්පස් එකක් ගැන හීනයක් මගේ ජීවිතේ ඇතුලේ තිබුණේ.... නෑ.... ඒ අලුත් හීනේ මගේ ලෝකෙට අරන් ආවේ සර්.... මට ඒ කවි හිත ගැවසිච්ච පින් කෙතට යන්න ලොකු ආසවක් ආවා..... ගෙදර මොන මොන ප්‍රශ්න තිබුණත් මං ඉගෙන ගත්තේ අන්න ඒ ආසාව හින්දා...."

මම සුසුමක් හෙලමි. මදක් නිහඩව ජනෙල් පොලූ අතරින් පිටත බලමි. කිසිදු ප්‍රතිචාර හඬක් නැත. මම යළිදු කතා කරමි.

"පත්තරේට ලියලා ලියලා..... මං සර්ගේ එඩ්‍රස් එකත් හොයා ගත්තා..... ඒක තමයි වැරදිච්ච තැන..."

"ඇයි....."

"අපි දන්නෙම නැතුව අපි අපිට ආදරේ කරන්න පටන් ගත්තේ ඔය ලියුම් ගනුදෙනුවත් එක්ක..."

"මොකා..... උඹලා ලව් කළාද......."

"අපේ ආදරේ පටන් ගත්තේ ඇස් වලින් නෙමෙයි.... හිත් වලින්.... "

"එහෙනං මොන කෙහෙල් මලකටද ඒකා.... ජානකි මැඩම්ව කසාද බැන්දේ...."

මම නිහඬ වෙමි. චතුත් විශාඛාත් පිළිතුරු අපේක්ෂාවෙන් සිටින බවක් මට පෙනේ. මම පොත් පත් අවුස්සමින් යමක් සොයමි.
"සර් මට එවපු ලියුමක් තිබුණා.... ඔය මැඩම්ව කසාද බදින කාලේ එවපු එකක්..... මං හිතන්නේ මෙහේ ගෙනල්ලා නෑ..... මං පස්සේ පෙන්නන්නං.... "

මම තනිවම සිනාසෙමි.

"සර් ඒ විස්තරේ මට ලියලා එවලා තිබුණේ හයිකු කවියකින්..... මට තාම මතකයි ඒ වචන ටික.... ගෙදරින් කිව් හන්දා කෙල්ලත් හැඩ හන්දා... සල්ලිත් ඇති හන්දා.... මං බැන්දා....."

මම යළිදු සිනාසෙමි. චතුලට හිනාවෙන්න අමතක වෙලාවත්ද? ? ?

"එහෙනං මොන එහෙකටද ඒකා උඹට හෝප්ස් දුන්නේ......."

"ආදරේ කළා කිව්වට..... අපි අතර තිබුණේ.... අප්‍රකාශිත ආදරයක්..... ඒ ආදරේට නමක් දෙන්න අපිට අද වෙනකං බැරි වුණා... චතු....... ඒ ආදරේ සඳ එළිය වගේ අචින්‍ත්‍යයි චතු......"

"ඒ උනාට සර්ගේ වැඩ හින්දා..... මිස් තමයි අසරණ වෙන්නේ.... පව්....."

"ඒ උඹලා දන්න කතාව...... ඇත්ත ඒක නෙමෙයි.... මිස්ගේ වැඩ හන්දා සර්යි අසරණ වෙලා තියෙන්නේ......"

චතුගේත් විශාඛාගේත් ඇස්වල ප්‍රශ්නාර්ථ ලකුණු. උත්තර මං ගානේ.

"මිස්ට වෙන සම්බන්ධයක් තියෙනවා..... යාළුවෙලා ඉන්නේ උඹලා වැඳගෙන ඔලුව උඩ තියාගෙන ඉන්න පරමාදර්ශියෙක්ව.... ඒ හන්දා මගෙන් ඒ ගැන මුකුත් අහන්නෙපා..... මට දුක මගේ...... ල...."

අවසන් වදන් මුදා නොහැරම මම හඬමි. නමුත් හිස් තැන් පුරවන්නට ඉගි වැකියක් ලබා දෙන්නට අමතක නොකළෙමි. චතු මා සනසයි.

"ඉතිං දැන් ඔය ප්‍රේම පුරාණය කොහෙන්ද කෙළවර වෙන්නේ...."

"මට තේරෙන්නෑ විශාඛා...... මං සර්ට හුඟක් ආදරේ කරනවා..... සර්ත් එහෙමයි..... උඹලා දන්නවද.... මං මේ කැම්පස් එකට ආවේ සර්ව දකින්න බලාපොරොත්තුවකින් නෙමෙයි..... රැග් සීසන් එකත් ඉවර උනාට පස්සෙයි සර් මට කිව්වේ සර් මේකේ ලෙක්චරර් කෙනෙක් කියලා...... එදා මං රැයක් එළිවෙනකං ඇඩුවා විශාඛා.... දුකට නෙමෙයි.... සතුටට.... මට අදටත් සර්ට දුරින් ඉදන් ආදරේ කරන්න පුළුවන් චතු..... මට ඒ ආදරේ අයිතිකර ගන්න ඕන නෑ..... මගේ ආදරේ අධ්‍යාත්මිකයි...."

"විකාර.... උඹටනං ඇත්තටම... පිස්සු...... "

"ඒක තමයි..."

උනන්දුව විශාඛගේ. චතු අත්වැලේ.

"මහා ලොකු ලෙක්චර් උනාට හරියට පොඩි එකෙක් වගේ චතු...... දවසක් මම කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා දැකලා කෝල් කරලා මට හොඳටම බැන්නා..... පහුවෙන්දා මම කැම්පස් එකට එනකොට බලෙන්ම මාව කාර් එකේ නග්ගගෙන.... කොහේදෝ ඈතකට ගියා..... පුදුම වේගෙකින් ඩ්‍රයිව් කලේ...... මැරුණත් ලසිත් ගාවනේ කියලා මම මුකුත් කියන්න ගියේ නෑ...... පස්සේ කවුරුත් නැති පාළු තැනක වාහනේ නතර කරලා.... පුංචි එකෙක් වගේ මට තුරුළු වෙලා ඇඬුවා චතු..... සර්ට හුඟාක් දුක හිතුනලූ..... බනිද්දි බනිද්දි මං මුකුත් නොකියා හිටිය එකට..... ජානකි මැඩම්නං.... එකට දාහක් කියයි ලූ..... එත් මං මුකුත්ම නොකියා අහන් හිටියේ සර්ට තියෙන ආදරේ හන්දා කියලා සර් දන්නවා කිය කිය ඇඬුවා..... සර් හරිම සංවේදී චතු....... මට බයයි.... මං සර්ව මග ඇරියොත් එයා ජීවිතේට මොනවා හරි කර ගනී කියලා......."

"අපිට උඹ ගැන දුකයි භාගි...... මොනා කළත් උඹ කල්පනාවෙන් වැඩ කරපං..... දන්නවනේ සර් රටේ ජනප්‍රිය චරිතයක්...... අපෙන් කෙරෙන්න ඕන උදව්වක් තියෙනව නං කියපං....."

"පුංචිම පුංචි උදව්වක් ඕන..... මේ කවි ටික මං දුන්නය කියලා සර්ට දීපං..... හැබැයි... අපේ එෆෙයාර් එක උඹලා දන්න වගක් එයාට අඟවන්න එපා..... බැරි වෙලාවත් ඕක ලීක් උනොත් සර් ඩිපාට්මන්ට් එකේ ඉඳලා හමාරයි....."

උන් දෙන්නා අටපිරිකරක් අතට ගන්නා අයුරින් කවි ගොනුවත් වගකීමත් භාර ගනී. හඳට යන්න සිහිනයක් දකිමි. අභ්‍යාවකාශයෙන් හෝ නතර වෙන්නැතෑ. එහෙත් ඔහු විවාහකය. ඕනෑම විවාහ ජීවිතයක් නොසිතූ විරූ ලෙස දෙදරා යා හැකිය. වාසනාව කොයි මොහොතේ කොහෙන් මතුවේදැයි අපට පූර්ව නිගමනයක් කළ නොහැකිය. ගෙවමින් සිටින නරකාදී දිවියෙන් මා මුදවා ගත හැක්කේ ඔහුට පමණි. සිහින දැක්කාට මදි. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුය. ලසිත් සර්ට ලියුමක් ලියන්න ඕන..... ඔය වගේ ගුරුවරු ප්‍රේමයට කෑදර බව නොරහසකි.
දින කීපයකට පසු ලසිත් සර්ව මුණ ගැසීමට ගිය චතුරිත් විශාඛාකත් යළිදු නේවාසිකාගාරයට පැමිණියේ මූණ පුරා සිනහව තවරාගෙනය. ඔවුන් ගෙන ආ ආරංචිය අසනතුරු මට ඉස්පාසුවක් නොවීය. ඒත් සන්ධ්‍යා කාමරේ සිටි නිසාවෙන් අපි සියලූ දෙනා මුණිවත රැක්කෙමු. සන්ධ්‍යා කාමරයෙන් පිටවත්ම චතුරිත් විශාඛත් මගේ ඇ‍‍ඳෙන් හිඳ ගනී.

"මොකද වුණේ......."

සියක් වසක හුදකලාව මෑත් කොට ඔවුන් දෙස බලමි.

"ඇත්තමයි... භාගී.... අපිට විශ්වාස කරන්න බැරුවයි හිටියේ උඹ.... කියන්නේ ඇත්තද කියලා ඒත් සර් හැසිරිච්ච විදිහට අපිට හිතුනා උඹගේ කතාව ඇත්ත කියලා....."

මගේ මූණ ප්‍රශ්නාර්ථයක්. පපුව කම්මලක්.

"කවි ටික බැලුවා විතරයි.... සර් කිව්වා උඹව ඉක්මනට හම්බ වෙන්න ඕන කියලා.... සර් ඕන උදව්වක් කරන්නංය කියලත් කිව්වේ...."

"ඔය එන්න කියන්නේ කවි පොත ගැන කතා කරන්න නෙමෙයි මාව බලන්න....."

"අපිටත් හිතුනා...."

උන් දෙන්නා කිචි බිචි ගා සිනා සලද්දී මම ලැජ්ජාවෙන් ඇඹරෙමි.

"ඊයේ කෝල් කරනකොට රෑ එකට විතර ඇති.... කතා කර කර හිටියා වෙලාව ගියා තේරුන්නෑ..... නිදා ගන්න කොට හතරයි......"

"හානේ.......... එහෙනං ඒකයි අද සර් ඈනුම් ඇර ඇර හිටියේ..... සර්ට නිදිමතයි ද කියලා කළණ... ඇහුවම සර් කියනවා පාන්දර හතරයිලු ටියුට් හදලා ඉවර වෙනකොට...... පෙනේද........ බොරු කියන හැටි...... මරු ටියුට් හැදිල්ල...."

ස්වකීය සිඟිත්තාගේ හුරතල් වදන් වලට සිනාසෙන මවක පරිද්දෙන් මම සිනාසෙමි.

"අනේ පව් චතු...."

ඔහු කෙරේ පහළ වන සෙනෙහස සිත පුරා ඉහිරෙනු මට දැනිණි.

මගේ ආත්මය පතුල රහිත ළිඳකි. මම එහි දිය බුං ගසමි. කිමිදුම්කරුවා ලසිත්. මම ඔහුට රිසි සේ කිමිදෙන්නට ඉඩ හරිමි. කවි පොතේ දොරට වැඩුම මහත් උත්කර්ෂයෙන් අවසන් කිරීමට කිමිදුම්කරුවාගේ නොමද සහය ලැබිණි ද අනුග්‍රාහකත්වය බෙනට්ගේය. හම ගියේ බෙනට්ගේ වුවද නම ගියේ ලසත්ගේය. මම මහත් හරසරින් එකී මතයට ඉගිලෙන්නට ඉඩ හරිමි. පියාපත් චතූත් විශාඛාත් ගානේය.
බෙ- න- ට්
?
?
?

කාගේ කාගේ කිල්ලෝට වලත් හුණු ටික ටික ඇත. මගේ කිල්ලෝටෙත් හුණු ටිකක් ඇත. ටිකක්? ? ? ? බෙනට්....... නිවැරදි කළ නොහැකි වරද. අවුරුදු විසි හතරකට ආසන්න කාලයක් මගේ කවකටු පෙට්ටියෙන් නිර්මිත රේඛා මත ගලා ගිය මගේ ජීවිතය හිටි හැටියේ ලෙස්සා ගිය හැටි. කෝණ මානයක් තිබූ තැනකවත් සොයා ගත නොහැකි වූ එදින මහ වැස්සකි. නුගේගොඩ බෝ ගහ යට. සපත්තුව කැඩිච්ච හන්දා බස් එක මිස් උනා. බස් එක? ? ? ? ? ? ? ? ? අනේ මන්දා.

"යමුද.... ? ? ?"

සුදු පාට බෙන්ස් රියේ සෙමින් පහත් වුණු කළු වීදුරුවෙන් එබුණේ ගෙඹි කුමාරයෙක්.

"කොහෙද....."

"ඔයා දන්න තැනක් තියෙනවද...."

ආහ්! කාරණේ වැටහුණේ එතකොට. සින්ඩරෙල්ලට සපත්තුව විය. සැනින් හිම කරත්තෙට ගොඩ විය. කරත්තයක් කිව්වට ඒක හිම රොකට් එකක්. මුළු ලෝකයම පස්සට තල්ලූ කරගෙන රොකට්ටුව ඉදිරියට ඇදුණි. රොකට් එක නතර කළේ සුරංගනා ලෝකෙක. සේද රෙදි වලින් යන්තමින් ගත වසා ගත් සුරංගනාවියෝ සින්ඩරෙල්ලගේ ගෝනි පඩංගු දිහා ඇස් කොනින් බැලූහ. මම ගෙඹි කුමාරයාගේ සුරතේ එල්ලුනෙමි. ගෙම්බෙක් උනත් කුමාරයෙක්නේ. අපි බෝංචි වැල දිගේ ගියෙමු. ජැක් බෝංචි වැලේ නැග්ගේ නැති වෙච්ච ජීවිතේ හොයාගෙන. එතකොට සින්ඩරෙල්ලා. ? ? ? ප්‍රශ්න වැලක එති සිටි සින්ඩරෙල්ලව දෝතින් ගත් ගෙඹි කුමරු වළාකුලකට විසි කළේය. වළාකුල විසින් සින්ඩරෙල්ලාව දෙවරක් පිළිගනු ලැබිණි. ගෙඹි අඩු වලින් සින්ඩරෙල්ලගේ ගෝනි පඩංගු ගැලවී ඇඳ මුල්ලක මුළු ගැන්විණි. ලැජ්ජාව බය විසි වී ගොස් ඇඳ යට ගුලි විණි. මං හුගක් දේවල් දැන ගෙන ඉදලා. ජීවිතේ පළවෙනි වතාවට අත් දකින දෙයක් ගැන ඔච්චරක් දේවල් මං කොහොම දැන ගත්තද මන්දා. පසුදා හිමිදිරියේ මා අවදි වූයේ ගෙඹි කුමාරයාගේ හාද්දකිනි.

"ඔයා පුංචි කෙල්ලෙක් නේ.... තෑන්ක්ස්..."

පුංචි කෙල්ල ලොකු ගෑනියෙක් වී ස්තුතියත් පාර්සල් කරගෙන නේවාසිකාගාරගත විණි. පාර්සල් වුණේ ස්තූතිය විතරක්ම හන්දා බෙනට් නිරන්තරයෙන් සින්ඩරෙල්ලා සොයා ඇදුණි. සින්ඩරෙල්ලාත් එක්ක රොබින් හුඞ් හිනාවෙන කොට සින්ඩරෙල්ලගේ ජීවිතේ අවුල් ජාලයක්.
මගේ ඇඟ පුරා හීන් දාඩිය දමා තිබිණි. මම ලෙහෙසියෙන් ගැලවී යා ගත නොහැකි උගුලකට හසුව සිටිමි. බෙනට්ගේ සුරංගනා කතාව අවසන් කිරීමට කාලය එළඹ ඇත. චතුරිත් විශාඛත් කාමරයට එද්දී ලෙහමින් සිටි නූල් බෝලය පසෙකට දමා පියාපතක් වන් ජීවිතය අතට ගමි.

"ඉතිං... ඉතිං කොහොමද උඹේ ප්‍රේම පුරාණය....."

"අම්මා තාත්තට කියනවා වගේ මං උඹලට මේ ටික කියන්නේ.... ප්ලීස් කාටවත් කියන්න එපා..."

"අනේ නෑ භාගි... කියන්න...."

"අපි බැන්දා...."

"ඇත්තට...... එතකොට ජානකි මැඩම්...."

"එයාගෙන් ඩිවෝස් එක ඉල්ලලා තියෙන්නේ..... ඒ හෝන්තුව දැන් පරල වෙලා.... චූටි දූට කිරි දෙන්නෙත් නැතිලූ..... ලසිත්ට පිස්සු වගේ...."

"ඇයි දන්නෑ... සර් උඹව ඔච්චර හදිස්සියේ බැන්දේ....."

චතූගේ ස්වර පරාසයේ වෙනසක් දැනෙයි. කොහේ හරි වැරදුණාවත්ද.

"අපි රට යන්න ඉන්නේ.... ලොකු දූට පාස් පෝටුත් හැදුවා.... පොඩි එකාව ජානකි බලා ගන්නැතෑ.."

"අපි දන්න තරමින් නං සර්ට ඉන්නේ එක ළමයයි...."

මම යාන්තමින් සිනාසෙමි.

"ඔව් හරි..... චූටි දූ සර්ගේ නෙමෙයි...."

"උඹට ලැජ්ජාව කියලා නාමයක්වත් නැද්ද..... කොහොමද උඹ ඔච්චර බොරු ගොතන්නේ..... "

"බොරු? ? ? ?"

බාහිර සන්සුන්. අභ්‍යන්තරය නොසන්සුන්.

"අහන ලස්සන..... උඹට සපෝට් කරන්න ගිහින් අද අපි හොඳ කතන්දර ටිකක් අහගත්තා ලසිත් සර්ගෙන්..... මුළු ඩිපාට්මන්ට් එකම ගෙන්නලයි සර් නඩුව විභාග කළේ...."

"මං දන්නවා සර් ඇයි එහෙම දෙයක් කළේ... කියලා.... සර් වෙනුවෙන් මං ඔය දෙන්නගෙන් සමාව ඉල්ලනවා.... ප්ලීස්... සර් ගැන වැරදියට හිතන්න එපා... සර්ට වෙන එෆෙයාර් එකක් තියනවා කියලා දැන ගත්තොත් අපිට ඩිවෝස් එක ගන්න අමාරුයි චතූ...... තේරුම් ගන්න...."

"එතකොට අර මෙඩ්ඩට මොකද වෙන්නේ..... උඹ කිව්වා නේද ලබන මාසේ ඌව බඳිනවය... කියලා...."

සන්ධ්‍යා කඩා පත් වුණේ කොහෙන්දැයි මට සිතා ගැනීමටවත් නොහැකි විය. පසුගිය දින කීපය පුරා බෙනට් සමග එහෙ මෙහේ යන්නට සිදු වූ නිසාවෙන් නේවාසිකාගාරයේ රැදෙන්නට මට නොහැකි විය. එහි විපාක වශයෙන් මා නැති කළ සන්ධ්‍යාත් චතූලාත් රහස් අනාවරණය කර ගන්නට ඇත. මේ ගෑනුන්ට රහසක් රැක ගන්න බැරි හැටි. කාලකන්නි. ? ? ? ? ? ? නෝනද පොල්ලද? ? ? ? ?

"කතා කරපං...... ඇයි.... මොකද ගොළු වෙලා....."

"චතූ..... උඹලා මේකිව විශ්වාස කරනවා නං විශ්වාස කරපං..... මේ ජානකිගේ ගොට්ට..... දොරට වැඩුමෙන් පස්සේ මේකිට කොහොමත් මාත් එක්ක ලොකු ජෙලක් තිබුණා..... කමක් නෑ.... මුළු ලෝකෙම මට අපහස කරපුවාදෙන්.... මං තනිවෙලා නෑ.... මට මගේ ලසිත් ඉන්නවා.... මං දැන්මම යනවා ලසිත් ගාවට....."

මම ජංගම දුරකථනයේ බොත්තම් වෙව්ලන ඇඟිලි තුඩගින් මිරිකමි.

"දීපං ෆෝන් එක මට මං දන්නවා උඹේ ලසිත්ගේ නම්බර් එක..... "

චතු මාතින් දුරකථනය උදුරා ගනී. ක්ෂණයෙන් ඇති වූ බියෙන් මම දුරකථනය උදුරා ගන්නට ඇය වෙත පනිමි. ඇය දුරකථනය සුරතින් මුදා නොහරී. මගේ සුරතට ඇගේ ගෙල හසු වෙයි. තදින් ඇගේ ගෙල මිරිකා ගත් මම සැනින් කීප විඩක් ඇගේ හිස ඇඳ විට්ටමේ ගසමි. විශාඛාගේත් සන්ධ්‍යාගේත් මරලතෝනි හඬ මගේ කන් දෙදරවමින් නේවාසිකාගාරය ගිගුම් ගැන්වීය.

සියල්ල ගිනිගෙන දැවී අළු විය. විශාඛා රෝහල් ගත කළ පසු මම උමතු වෙසක් ගතිමි. විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා උපදේශකයාගේ උමතු උපදෙස් ලබා ගනිමින් සිව් මසකට අධික කාලයක් ඔහුගේ අත්තඩංගුවේ සිටි මම නැවත නේවාසිකාගාරයට පැමිණියේ උන්මන්තකයා දෙස හෙළනු ලබන දහසක් අනුකම්පා සහගත බැලුම් මැද්දේය.

"ඔයාට මොකද්ද එන්. ජී. ඕ එහෙකින් ලියුමක් ආවා..... "

නේවාසිකාගාර පාලිකාව ලිපියක් මා අත තබයි. රුධිර පරීක්ෂණය? ? ? ? ? ? ?

"අපිට දෙන්නත් බෑය කිව්වා.... මං ඔයාගේ ඥාතියෙක් කියලයි ගත්තේ...."

මාර ඥාතියා. මම වෙව්ලන ඇගිලි තුඩගින් ලිපිය විවර කරමි. මගේ හිසේ සිට දෙපතුල දක්වා සීතල වෙයි. මම පාලිකාව අසල පුටුවකට බරවෙමි. කෙනෙකුට වරක් දෙවරක් ජීවිතය වැරදිය හැකිය. එහෙත් මේ තරම්? ? ? ? ? ? ? මහා අසාධාරණයි. අවුරුදු ගාණක් පරිස්සමින් රැක ගත් සිහින සියල්ල මගේ දෙපාමුල කුණු වී ගඳ ගසයි.

"ඇයි නංගි...... ප්‍රශ්නයක්ද....."

"මං හිතුවා අක්කා ලියුම කඩලා බලන්න ඇතිය කියලා....."

"අපෝ...... අපි එහෙම කැත වැඩ කරන්නෑ නංගි.... ඇරත් මට ඉංගිරිසි කියව ගන්න බෑ...."

"මිනිස්සුන්ට හැමදාම වරදින්නෑ අක්කා...... මේක දෙයියෝ බුදුන් ඉන්න රටක්..... ඇත්ත කවදා හරි ජය ගන්නවා....."

"ඇයි නංගි"

"මේකේ ඉන්න එවුං..... බොරු ගොතලා ගොතලා මාව මානසික ලෙඩෙක් කළා..... ඒත් උඩ ඉන්න දෙයියෝ මගේ මූණ බැලූවා......"

"ඇයි මොකද්ද කාරණේ....."

"මට නිව්සීලන්ඩ්වල ජොබ් එකක් ලැබිලා....."

උවනි චාමිකා ගුණසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails