Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පායන කාලෙට වික්‍ටෝරියා ජලාශයේ වතුර අඩුවෙනවා වගේ සිංහල ජනගහණෙ අඩුවෙනවා කියලා ෆේස් බුක් දේශපාලන ක්‍රියාධරයෙක් බොහෝම හැගීම්බරව කියලා තිබුණා. කවර බාධාවන් තිබුණත් කිසිදු උපත් පාලන ක්‍රමවේදයකින් තොරව ළමයි හදන්න කියලා ඔහු බොක්කෙන්ම ඉල්ලලා තිබුණා. ෆේස් බුක් එකේ අකුරු ටයිප් කරනවා ව‍ගේ ළමයි හදන්න බෑනේ. අනික ඒ මහත්තයට ජනගහනය වර්ධනය කරන්න පුළුවන් ඇම්ඩාගේ කතාවක තියෙනවා වගේ උපක්‍රම භාවිතා කළොත්.... (උපත් පාලනය කරන කෙනෙකුට බලෙන් ළමයෙක් පිළිසිදවන්න ඇම්ඩා කරපු වැඩේ දන්නෙ නැත්තං තව කෙනෙක්ගෙන් අහගන්න). කොහොමහරි මේ ළගදි ඉපදුණු පොඩි එකෙක් ගැන ටිපිකල් කතාවක් මට එකපාටරම මතක් වුණා. අතුරුදන් කරන එක, හොරකං කරන එක, මිනීමරණ එක බොහෝම ටිපිකල් දෙයක් හින්දා. මේ ඒ ටිපිකල් කතාවක් සහ තවත් පිළිවෙලක් නැති කතා.

ඔන්න දෙමාපියන්ගේ විශේෂ ඉල්ලීම පිට සිසේරියන් සැත්කමකින් නවලෝක රෝහලේ පොඩි එකෙක් උපත ලබනවා. ළමයා හම්බවෙන්න නවලෝකෙට යන්න පුළුවන් ලංකාවේ බො‍හෝම සුළු ප්‍රතිශතයක් වුණාට වෙබ් එකේ ලිපි කියවන, ෆේස් බුක් ප්‍රොෆයිල් එකක් තියෙන හැම (වෙන්න) අම්මා, තාත්තා කෙනෙක්ගෙම හීනේ ඕක. නම් නිර්මාණ සක්විති අරිසෙන් අහුබුදුට ‍අපායට එන අයට නම් තියන ජොබ් එකක් හම්බ වුණාට (අහුබුදු ගියා ඉන්ටර්වීව් එකකට දිව්‍ය ලෝකෙට හා අපායට එන අයට නම් තැබීම ගැන. එයාගේ නම් තැබීම අපායේ පනිෂ්මන්ට් එකක් හැටියට තෝරගෙන දැන් රීරි යකා, ගරා යකා, යමපල්ලෝ එක්ක එකට වැඩ) එයාගේ පරණ නම් ලිස්ට් එකෙන් නමක් ගන්න එයාගේ දුව‍ගේ අකවුන්ට් එකට සල්ලි දාන එක කළේ පොඩි එකා පිළිසිදගත්තු දවස්වලමයි.

පොඩි එකා එළියට එනකොට ඉස්සෙල්ලම ඉංග්‍රීසි වචන ඇහෙන්න සලස්සවන්න ඕන කියලා යෝජනා කරේ අම්මා. පොඩි එකාට මොන භාෂාවක් තේරෙන්නේ නැති වුණාට, උපන් වෙලාවෙම ඇහෙන ඒවා ජීවිතේම මතක තියෙනවලුනේ. ඉංග්‍රීසි දන්න එවුන්ගේ තියෙන පූස්පාට් අපේ අලුතෙන් ඉපදුණු පොඩිඑකා විදින්න ඕන නෑ කියලා තාත්තත් එකපයින් ඒකට කැමති වුණා.

පොඩි එකාගේ පිළිසිදගැනීම ෆාමසියෙන් පාලනය කරනකොට ඉපදුණු පොඩි එකාගේ මුළු ජීවිතේම සැලසුම් කරා අම්මයි තාත්තයි එකතු වෙලා. පොඩි තාක්ෂණික ගැටලුකට තිබුණේ පොඩි එකා ඉපදුණේ 2012 වීමත් දෙමාපියන්ගේ ඔළු තිබුණේ එක්දාස් නවසිය ගණන් වල වීමත් විතරයි. ඒක වුණේ මෙහෙමයි.පොඩි එකාගේ අම්මා ඉපදුණේ නවසිය අසූගණන් වල. ඒ අතීතයට ගිහිං තමන්ගේ ජීවිතේ වෙනස් වෙන්න ඕන තැන් ගැන කල්පනා කරපු අම්මා, පොඩි එකාගේ ජිවිතේ දෙදාස් විසිගණන් වලදි ගතවෙන්න ඕන හැටි කල්පනා කරා. තමන්ට නාස් ලණුව වැටුණු හැටිත්, මූණ ගැන විතරක් හිතලා සල්ලි බාගේ ගැන නොහිතල තමන් වරද්දා ගත්තු තැන් වලින් පොඩි එකා බේරගන්න ඕන කියලා තාත්තා කල්පනා කරා. තම තමන්ගේ ජීවිත වල ඉතිහාසයේ එඩිට් කරන්න ඕන තැන් ගැනත්, ඒවා වෙන විදිහකට එඩිට් කරා නම් තමන් ‍සත්ගුණවත් නවලෝක මුදලාලිට ණය වෙන තැනට වැඩ සිද්ධ නොවන්න ඉඩ තිබුණු හින්දා, එඩ්ට් කරපු තමන්ගේ ජීවිත ඇතුලේ පොඩි එකාගේ ජීවිතය දැක්කා.

පොඩිඑකා ලොකු‍ වෙලා ලොකු ඉස්කෝලෙකට දාන්න ඕන හින්දා උප්පැන්න සහතිකේට දැම්මෙ බොරු ඇඩ්‍රස් එකක්. අලුත උපන් ගමන්ම මුල්ම සුභ වැඩේ බොරුවක් කියලා ආච්චි අම්මා බර බරේ දැම්මට අම්මා කිව්වේ හොඳ අරමුණක් වෙනුවෙන් බොරුවැඩ කරාට පව් නෑ කියලා, මීට වඩා ලොකු ලොකු බොරු අපේ රටේ ප්‍රසිද්ධ හාමුදුරුවරුත් කරනවා කියලා එයා කිව්වා.

දැන් ‍අලුත උපන් පොඩි එකා දෙමව්පියන් දෙන්නගේ පරිපාලනය යටතේ දියත්වෙන ව්‍යාපෘතියක් බවට පත්වුණා. මේ ව්‍යාපෘතිගත “පොඩි ජීවිත” තමයි අද ලංකාවේ ළමුන් කියලා හදුන්වන්නෙ. කතාවේ ඉතිරි ටිකත් ව්‍යාපෘතිම තමයි. හරිම ටිපිකල්. දැන් ඒකෙන් ටිකක් එළියට ඇවිල්ලා පොඩි එවුන්ගේ ජීවිත ගැන කතා කරමු.

කුඩා ළමයෙක්ගෙන් ව්‍යාපෘතියක් බවට පත්වෙන ජීවිතේ ඊට පස්සේ විවිධාකාර ව්‍යාපෘති වලට ආදේශ වෙනවා. අලුතින් ආරම්භ වෙන පවුල් වල ඉන්න දරුවොන්ව මුලින්ම උත්සාහ කරන්නේ ඉන්ග්ලිෂ් දරුවෙක් බවට පත්කරන ව්‍යාපෘතියයි. ගෙදර ඉන්න අම්මා, තාත්තා විතරක් නෙවෙයි ආච්චි, සීයා හත්මුතු පරම්පරාවම සිංහල භාෂාව හා ඊට අනුකූල සංස්කෘතියක ජීවත් වෙන කොට මේ ළමයා විතරක් සුද්දෙක් කරන්න වෙහෙසෙනවා. ළමයට චූ කරන්න කියන්නෙත් ඉංග්‍රීසියෙන්. හැබැයි ගෙදර අම්මයි, තාත්තයි රංඩුවෙන්නේ සිංහලෙන්. ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දැම්මමනං වැඩේ ‍ගොඩ කියලා හිතලා ‍කොහේ හරි තියෙන අධ්‍යාපන කඩේකට ළමයව දානවා. රජයේ ක්‍රමවේදයෙන් විද්‍යාපීඨ වලින් හා විශ්ව විද්‍යාලවලින් වගේම, ගුරු අභ්‍යාස විද්‍යාලවලින් ගොඩනගන ගුරුවරු වෙනුවට, ඉංග්‍රීසි විතරක් ගැටගහගන්න පුළුවන්, සුදුසුකම් නොලත් ගුරුවරයෙක් යටතේ ළමා ව්‍යාපෘතිය ගොඩනැගෙනවා.

ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය කියන්නේ පහළ මධ්‍යම පාන්තික පවුල් වලට තියෙන ලොතරැයියක් වගේ එකක්. දිනුව කෙනෙක්ට වාසනාව හම්බවෙනවා ඉහළ පහසුකම් තියෙන පාසැලකට නොමිලේම යන්න. මේ තරඟකාරීත්ව විභාග ක්‍රමය අඩු පහසුකම් ලබන ලංකාවේ ඉන්න සියයට අනුවකටත් වඩා වැඩි පිරිසකට ලැබෙන වරප්‍රසාදයක් කියලයි කතා කරන්නේ. ඒත් මේ අය දන්නෙ නෑ, ළමයින්ව නොසෑහෙන්න මහන්සි කරවලා පවත්වන මේ තරග විභාගයෙන් සිද්ධවෙන්නේ ඉහළ පහසුකම් විදින්න කිහිපදෙනෙක්ව තෝරාගැනීමට කියන එක. තවත් සරලව කියනව නම් යට තට්ටුවේ ජීවිතේ අරං යන්න වලිකන පහළ මධ්‍යම පාන්තිකයින්‍ ගේ ෆැන්ටසිය නොහොත් ‍දෙවෙනි තට්ටුවේ ඉන්න ඉහළ මධ්‍යම පන්තියේ ජීවිතයට කෙළින්ම යන්න හම්‍‍බවෙන ඉනිමගක් වගේ.

ඕලෙවල් ව්‍යාපෘතිය, ඒලෙවල් ව්‍යාපෘතිය, කැම්පස් ව්‍යාපෘතිය, ජොබ් ව්‍යාපෘතිය හැගිම් දැනීම් තියෙන මනුස්සයෝ යන්ත්‍ර ගාණට දාලා. ඉඩක් ලැබුනු ගමන් සිගරට් එකක් බොන්න, ගංජා ගහන්න යන්නේ මිනිස්සු යන්ත්‍ර නොවෙන හිංදා. යන්ත්‍ර මිනිස්සුන්ට සෙක්ස් තහනම්. ඉස්කෝලෙ හිටියෙ‍ත් කොල්ලෝ විතරයි, එහෙම නැත්තං කෙල්ලෝ විතරයි. එහෙම වෙන්කරා කියලා සියුස් දෙවියා විසින් වෙන්කරලා දාපු* තමන්ගේ අනිත් කෑල්ල හොයන එක නතරවෙනවද? තහනම හින්දා වෙලා තියෙන්නේ ලිංගික ආකර්ෂණය විකෘති වෙච්ච එක. ‍ලංකාවේ බුද්ධි මට්ටමෙන් ඉහළම ශිෂ්‍ය පිරිසක් ඉන්න පිරිමි පාසැල් වල වගේම, කාන්තා පාසැල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජංගම දුරකතන වල නිල් චිත්‍රපට කොටස් හා සීඩී පට හුවමාරුවෙන් කි‍යවෙන්නේ විකෘති කරපු මනුස්ස හැගීම් එළියට එන විදිහ. කෙතරම් යාන්ත්‍රික කිරීමට උත්සාහ කළත් මේ සියළු දෙයින් ප්‍රකාශ වන්නේ ඔවුන් තවමත් මානුෂ හැගීම් දැනීම් ඇති මිනිසුන් කියන එක.

දැන් පිටින් ඉදගෙන බැලුවොත් මේ ලයිෆ්ස්ටයිල් එක අවුල්නේ. ඔන්න එතකොට කියයි “අපේ කාලේ නම් එහෙම නෑ, අපිට නං හොද ළමා කාලයක් තිබුණා”. මට ඒකට කියන්න තියෙන්නේ අසභ්‍ය වචනයක් විතරයි. එහෙම හොද ජීවිත තිබුණා කියන එවුන් තමයි දැන් උපදින පොඩි එවුන්ගේ ජීවිත කන්නේ.

මේ රටේ සීයයට සීයක් හරියට වැඩ කරන ආණ්ඩුවක් තියෙන කොට වැරදි දේවල් අයිති වෙන්නේ බටහිර කුමන්ත්‍රණ ගණයට. දැන් ලංකාවේ ළමයි විතරක් නෙවෙයි අනිත් හැම දෙයක්ම විකාරයක් කියල කිව්වොත් ඒකත් අයිති වෙන්නේ කුමන්ත්‍රණ ගණයට. ඒ කෙසේ වුණත් අපිට පේන විදිහට නම් දැන් මේ ඇත්ත ඇත්ත කියලා කරන බොරුව ඉහ වහා ගිහිං තියෙන්නේ. බොරුවට සංස්කෘතිය, සදාචාරය විතරක් නෙවෙයි ධනය සදහා වෙච්ච තරගයත් මේ සියළු විකෘති වලට බලපාලා. හැමදේම අවුල් එකේ ළමයි හදන එක විතරයක් ස්වභාවික වෙන්න ඕනද? ඔය ෆේස්බුක් එකේ සහ වර්චුවල් සමාජ අවකාශ වල සිංහල ජාතිය බෝකරන්න දඟලන අයට කියන්න තියෙන්නේ ඔයාලත් ඔය “ස්වභාවික” ජ්‍රජනනය කියන එකෙන් එළියට ගිහිං මොනාහරි විකල්පයක් හිතන්න. එතකොට දෙමළ, මුස්ලිම් හරි බර්ගර් යන ජාතිවලට වඩා වැඩි ජනගහණ වර්ධනයක් අස්වාභාවිකව හරි තියාගන්න පුළුවන් වෙයි, හරියට කබ්රාල් මහත්තය කියන ලංකාවේ ආර්ථික වර්ධන වේගය ව‍ගේ.

[* ග්‍රීක පුරාවෘත්තයන්ට අනුව මිනිසා ලොවට බිහිව ඇත්තේ ගැහැණිය හා පිරිමියා එකම ශරීරයක් හිමි අයෙක් ලෙසය. අත් පාද මෙන්ම ලිංගික අවයවද එකට පිහිටා ඇති නිසා ඔහු වඩා බලවත්ව සිට ඇත. මෙකී බලවත් බව සිදලීම සදහා සියුස් දෙවියන් විසින් ගැහැණිය හා පිරිමියා දෙකට වෙන් කර ඇත. එසේ වෙන්කළ නිසාවෙන් ගැහැණිය හා පිරිමියා විසින් නිරතුරුව තමන්ගේ ඉතිරි භාගය සොයමින් සිටී‍.]

ගෝරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails