Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ නවතම කෘතිය වන "මානසික රෝගියාගේ පරිකල්පනය" මෙතෙක් නොවූ විරූ ආකාරයකට ලියන ලද, අර්ධ නවකතාවකි. මනෝ භ‍්‍රාන්තීන් අත්විඳින මානසික රෝගියෙකුගේ මනස තුල සිදුවන වියෝජනය සාහිත්‍යමය ආකාරයට මෙම කෘතිය හරහා කතුවරයා ඉදිරිපත් කරයි. තවමත් පල නොවූ මෙම කෘතියේ ඇත්තේ සාහිත්‍යට ලැදි සීමිත සාමාජිකයන් පිරිසක් අතර බෙදී ගිය ඉලෙක්ට්‍රොනික පිටපත් සුළු සංඛ්‍යාවක් පමණි. එම නිසා මෙම කෘතිය පිලිබඳව විවේචනයක් හෝ ගුණදොස් දැක්වීමක් ඉදිරිපත් කිරීම නොකල් වැයමක් විය හැකිය. දැනට මාතෘ භූමියෙන් පිටත ජිවත් වන කතුවරයා ලාංකික මෙන්ම නැගෙනහිර යුරෝපය, බටහිර යුරෝපය සහ උතුරු ඇමරිකානු සමාජයන් අධ්‍යනය කරන ලද පුද්ගලයෙකි. මෙම කෘතිය මගින් කතුවරයා පුද්ගලයා හා සමාජය විනිවිද දකියි. ඒ සඳහා ඔහු මෙවලම් ලෙස මනෝවිද්‍යාත්මක උවාරණ භාවිතා කොට තිබේ.

කතුවරයා සමාජය විවරණය කරන්නේ භින්නෝන්මාදයෙන් (Schizophrenia) පෙලෙන වින්සන්ට් ලංකාතිලක යන මනඃකල්පිත රෝගියෙකුගේ චරිතය හරහාය. රෝගියා මානසික වෛද්‍යවරයෙකු සමග සංවාදයේ යෙදෙමින් තමන්ගේ ජිවිත කතාව සහ ඔහුට මුණ ගැසුණු මිනිසුන් පිලිබඳ තොරතුරු කියයි. රෝගියා තමාගේ අදහස්, මත පළ කරයි. නොයෙකුත් සිද්ධීන්, කතාන්තර මගින් ලෝක ස්වභාව ගැන මානසික වෛද්‍යවරයාට කරුණු පවසයි. නමුත් අවසානයේදී මානසික වෛද්‍යවරයා ද රෝගියාගේ මනසේ වියෝජනයක් බව පාඨකයාට තේරුම් යයි.

වින්සන්ට් ලංකාතිලක යන මනඃකල්පිත රෝගියා ගැන කතුවරයා දෙන හැඳින්වීම මෙසේය.

"වින්සන්ට් ලංකාතිලකගේ ගේ චින්තනය නිරවුල් නැත. අසමවාය චින්තනය සහ කථනය ඔහු තුලින් දක්නට ලැබේ. ඇතැම් විට සිතුවිලි දෝංකාරය නිසා ඔහු සිතුවිලි වචන වලට පරිවර්තනය කරයි. එහි බොහෝ විට තර්කානුකුල බවක් නොමැති සෙයක් හැඟුනත්, මානසික රෝගීන් වඩාත් යථාර්තයට සමීප වෙති, යන කියම සනාථ කිරීමට දෝ ඔහු ඇතැම් අවස්ථා වල තර්කානුකුල විශ්ලේෂණයන් මානව සමාජය හදාරා පවසයි."

වින්සන්ට් ලංකාතිලක භින්නෝන්මාදයෙන් පෙළුන ද, ඔහු අපට වඩා යථාර්තවාදී පුද්ගලයෙකු බව කතුවරයා ව්‍යංගයෙන් පවසයි. තමන්ගේ සිතිවිලි ගැන රෝගියා වෛද්‍යවරයාට මෙසේ කියයි.

"මම සිතමි. එම නිසා මා වෙමි. යන රෙනේ දෙකාත් ගේ ප‍්‍රකාශය මා විශ්වාස නොකරමි. මා කවුද? සිතන්නේ කවරෙක්ද? මගේ මනස තුළ පුද්ගලයා සිතන්නේ කුමක්ද? මා එය නොදනිමි. මගේ කය මගේ සිත මගේ ඇඳුම මේ ආදී වශයෙන් මගේ යන ගොඩට තව එකතු වෙලා එතකොට මම කියන්නේ කවුද? මම සිතන දේ මගේ කය නොසිතන්නේ මන්ද? මට අවශ්‍යයි නින්දට නොයා සංවාදයේ යෙදෙන්න- නමුත් මගේ කය නිදිමත වී ගෙන එනවා. කය වෙහෙසට පත් වෙලා. ඒ නිසා මනසට බැහැ තව දුරටත් අවදි වී සිටින්න. කයෙන් බැහැරව මේ මනසේ පැවැත්මක් තිබෙනවද? වෛද්‍යවරයෙක් හැටියට ඔබ දන්නවා ඔක්සිජන් සැපයීම නැවතුනු විට මොලය කෙමෙන් කෙමෙන් මැරෙනවා. මගේ හිස් කබල දෙබෑ කර මස්තිෂ්කය ගලවා ග්ලුකෝස් ද්‍රාවණයේ තබන්න. එවිට මගේ සිතුවිලි වලට මොනවාද වෙන්නේ? සිතුවිලි වල පැවැත්ම තිබෙනවද? මරණින් පසු මගේ සිතිවිලි වලට මොනවාද වෙන්නේ?"

නිරෝගී මිනිසුන් සහ මානසික රෝගීන් අතර වෙනස වින්සන්ට් ලංකාතිලක දකින්නේ මෙසේය.

"මා එක්ක නානා මාදිලියේ රෝගීන් ඉන්නවා. සමහරු දරුණුයි. සමහරු බාහිර ලෝකය සමඟ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ අය ජීවත් වන්නේ තමන්ගේම ලෝකයක. ඒ ලෝකයේ කාලය යන්නේ ඉතාම හෙමින්. අර බලන්න අර ඇඳ උඩ වැතිරිලා ඉන්න ලෙඩා. දැනට ඇවිල්ලා සති තුනයි. තාම එකම වචනයක්වත් කථා කළේ නැහැ. සිවිලිම දිහා බලාගෙන මුමුණනවා. තනියම හිනා වෙනවා. මම හිතනවා ඒ මිනිහා වාසනාවන්තයෙක් කියලා. මේ රෝහලෙන් පිටත ජීවත් වෙන මිනිස්සු කොච්චර කරදර පොදි බැඳගෙන ජීවත් වෙනවාද? ජීවිතය විඳවනවා. එහෙම බලනකොට අර හාදයා තමාගේම ලෝකයක තනිවෙලා. ඒ ලෝකයේ උද්ධමනය, විරැකියාව, ත‍්‍රස්තවාදී ප‍්‍රහාර මොනවත් නැහැ. මිනිහයි, සිවිලිමයි විතරයි. ඩොක්ටලා කරන්ට් අල්ලපු හැටියෙම මිනිහා ආපසු යථා ලෝකයට එනවා. එතකොට මිනිහගෙ ඔළුවට ජීවිත ප‍්‍රශ්න දැනෙනවා. මිනිහා දැවෙනවා, නොසන්සුන් වෙනවා, හිතේ කරදර නිසා විඳවනවා. ඔහු අසතුටට පත් වෙනවා. මම හිතන්නේ වෛද්‍යවරු හොයාගන්න ඕනේ මිනිහව ඒකෙන් මුදවන හැටි නෙවෙයි, ඒ ලෝකයේ සදහටම ජීවත් කරවන්න හැකි ක‍්‍රමයක්."

පරම්පරා වෙනස නිසා සංස්කෘතික ලැග්මකට ලක් වී ඇති රෝගියා ඇමරිකාවේ පහල සමාජ ස්ථරය ගැන උදාසීන බවක් දක්වයි. ඔහු ඒ ගැන වෛද්‍යවරයාට කියන්නේ මේ අයුරිනි.

"ඩිට්‍රොයිට් වල කළු මිනිස්සු ජීවත් වෙන මුඩුක්කු මම දැක්කා. ගරා වැටුණු ගෙවල්, පීඩිත මුහුණු මට දැනුත් මැවිලා පේනවා. විශාල අපිරිසුදු පරණ කාර්, යකඩ මාල දාගෙන හවසට බාස්කට් බෝල් ගසන කළු තරුණයන්, උස හඬින් කරන බැන ගැනීම්, පොලිස් සයිරන් හඬවල් මගේ හිතේ දෝංකාර දෙන්න පටන් ගත්තා. මම දැක්කා ඩිට්‍රොයිට් වල ක‍්‍රැක් කියන ඩ‍්‍රග්ස් විකුණන මිනිස්සු. එක්ස්ටසි ගහලා නටන කොල්ලෝ කෙල්ලෝ. මට දැණුනේ ලෝකයම වල්මත් වෙලා කියලා. උන් අහන සංගීතයත් වෙනස්, වචනයෙන් වචනයට ඉංග්‍රීසි කුණුහර්ප. ලිංගික අවයව, සහවාසේ යෙදීම, මුඛ සංසර්ගය තමයි අසභ්‍ය යැයි ශිෂ්ට සමාජය සලකන පදවැල්. සංගීතය වල්මත් වෙලා. සමහර විට මම පරණ පරම්පරාවේ නිසා මට මේවා නොතේරෙනවා ඇති. අපි කොල්ලෝ කාලේ ඇහුවේ බීට්ල්ස්. බේ සිටි රෝලර්ස්, බූම් ටවුන් රැට්ස් බීච් බෝයිස්, බීජීස්. එත් දැන් නව පරම්පරාව අහන්නේ රැප් හිපොප්. මට මේවා තේරෙන්නේ නැහැ. ඒ කාලයේ මම එල්විස්ගේ සිංදු දානකොට ඩැඩී මට බනිනවා."

වින්සන්ට් ලංකාතිලකගේ රෝගයේ ආරම්භය ඇති වන්නේ අහඹු ලෙස හමු වූ කායික සබඳතාවයක් මතය. එම සබඳතාවය සඳහා ඔහුව යොමු කරවන්නේ ඔහුගේ සිතිවිලි පාලනය කරන කැසනෝවා ය.

"සෙලීන් ඩියෝන්ගේ ගීතයක් මුමුනමින් සිටි ඇය මගෙන් උදව්වක් ඉල්ලුවා. මේගන් මට කිව්වා ඇයගේ පිටේ සන් ක‍්‍රීම් ගාන්න පුලුවන්ද කියලා. මම ඔව් කිව්වා. එතකොට ඇය ටොප් එක ගලවලා මට පිටුපාලා බ්‍රෙසියර් එක ඉවත් කරලා ඇඳ උඩ මුනින් අතට වැතිරුනා. 'කී‍්‍රම් ඊස් ඔන් ද ටේබල්..' ඇය මට ඇඟිල්ලෙන් පෙන්නුවා. මම ක‍්‍රීම් බෝතලය අරගෙන මේගන් ළඟට ගියා. මගේ හිතට අමුතු හැඟීමක් දැණුනා. මේගන්ගේ රන් පාට ඇඟ, ලස්සන අත්, ඇය වීනස් දෙව්දුව වගේ. මම මේගන්ගේ රන් පැහැ හිසකේ පැත්තකට කරලා ක‍්‍රීම් අත්ලට ගත්තා. ඇයගේ ගෙල පිට උරහිස්වල ක‍්‍රීම් ආලේප කරලා හෙමිහිට මෘදුව මසාජ් කළා. මේගන් ඇස් වහගෙන ගැඹුරු හුස්මක් ගත්තා. මම විනාඩි විස්සක් විතර මේගන්ගේ පිටේ ක‍්‍රීම් ගාමින් මසාජ් කළා. ඇය මට කිව්වා 'යූ රිමයින්ඩඞ් මී මයි ෆස්ට් හස්බන්ඞ්..' කියලා ඊට පස්සේ මුනින් අතට හිටි මේගන් මගේ පැත්තට හැරුනා. මම මේගන්ගේ ඇස් මඟ අරින්න උත්සාහ කළා. නොදැනුවත්වම මගේ ඇස් ගියේ ඇගේ රන්පාට පියයුරු වලටයි. මට දැණුනා වෙනත් කෙනෙක් මගේ මනස පාලනය කරන බව."

තම අත්දැකීම් තුලින් අන්තර්ඥානය සොයා යන වින්සන්ට් ලංකාතිලක මිනිසුන්ගේ විඳවීම, පිඩා, දුගී බව සහ ධනවතුන්ගේ අධි පරිභෝජනය හොඳාකාරවම දකියි. ඔහු ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරයාට දීර්ඝ පැහැදිලි කිරීමක් කරයි.

"බුදුහාමුදුරුවෝ අත්හරින්න කිව්වා අන්ත දෙකක්. කාමසුඛල්ලිකානුයෝගය, ඒ වගේම අත්තකිලමතානුයෝගය. මම ඉන්දියාවේ බිහාර් වලදී දැක්කා මිනිස්සු දුප්පත්කමින් පීඩා විඳින හැටි. කන්න නැහැ. අඳින්න නැහැ. හොරකම් කරගෙන කන්නවත් දෙයක් නැහැ. ඇට ගැසුණු කෙට්ටු වැරහැලි ඇඳගත්ත මිනිසුන්. ඔවුන්ගේ දෙනෙත් වල අසරණකම, කුසගින්න පිරිලා. කකුල් අතපය වල හොරි, තුවාල, මැස්සෝ පිරිලා. හැමෝටම අත පානවා කන්න යමක් ඉල්ලලා. පාන් පෙත්තක් විසි කරාම එක සියක් විතර රැස් වෙනවා ඒ පාන් කෑල්ල උදුරා ගෙන කන්න. පෙරේත ලෝකය වගේ දසුනක් තමයි මම දැක්කේ. මම කාමසුඛල්ලිකානුයෝගය දැක්කා කැලිපෝනියා වල, බෙවර්ලි ස්ටී‍්‍රට් පැත්තේ. මාළිගා වගේ ගෙවල්, දිලිසෙන කාර්, ස්විමිං පූල්, ලස්සනට ඇඳ පැළඳගත්ත මනස්කාන්ත ගෑනු පිරිමි. මේ අය හැම මොහොතේම භෞතික සැප විඳිනවා, නමුත් සිත මොකක්දෝ නොසන්සුන්තාවයකින් පිරිලා. මේ පැති දෙකේම මිනිසුන් නොසන්සුන්. එක අන්තයක දුක වැඩිවෙලා. අනික් අන්තයේ සැප වැඩිවෙලා. ක‍්‍රිස්තුත්වහන්සේ දිළින්දන් භාග්‍යවන්තයන්ය කීවේ ඉන්දියාවේ මම දුටුව හිඟන්නන්ට වගේ අයට නෙවෙයි මගේ හිතේ. ක‍්‍රිස්තුත්වහන්සේ භාග්‍යවන්තයන් කිව්වේ අල්පේච්ඡ ජීවිත ගත කරන පුද්ගලයන්ට. ඒ මිනිස්සු මේ අන්ත දෙකම අතහැරලා මධ්‍යම ප‍්‍රතිපදාවේ ඉන්නේ.

මධ්‍යම ප‍්‍රතිපදාවේ ඉන්න කොට අපිට අන්තර්ඥානයට ළඟා වෙන්න පහසුයි. අන්තර්ඥානය ඩොක්ට හරියට බක්මහේ විදුලි කෙටිල්ලක් වගේ. ඒක ක්ෂණයකින් ඇතිවන ඥානයක්. උදාහරණයකට කිව්වොත් ඇපල් ගෙඩිය වැටෙනවා දැක්ක නිව්ටන්ට ඇති වෙච්ච අදහස, කෝච්චි දෙකක් සමාන්තරව ප‍්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කරනවා දුටු අයින්ස්ටයින්ට ඇති වෙච්ච හැඟීම වගේ. ක්ෂණයකින් ඇති වෙන බුද්ධි කැළඹීමක්. අන්තර්ඥානය ලබාගන්න අමාරුයි. දැනුම ගබඩා වෙලා තියෙන්න ඕන."


අපගේ ලෝකයේ පටු සිමා ගැන තරසර උදාහරණ භාවිතා කරමින් මානසික රෝගියා වෛද්‍යවරයාට කරුණු පෙන්වා දෙන්නේ මේ ආකාරයටය.

"ඩොක්ටට මම කියන දේවල් තේරෙනවද? මගේ තර්කය තේරුම් ගන්න උත්සාහ කරන්න, මම හිතන්නේ, අපි ලෝක දෙකක තනිවෙලා. ගුණදාස කපුගේ ගැන දන්න මිනිහා ජෝජ් බෙන්සන් ගැන දන්නේ නැහැ. ජෝජ් බෙන්සන් ගැන දන්න මිනිහා ගුණදාස කපුගේ ගේ උන්මාද සිතුවම් අහලා නැහැ. මේක එක වෙලාවකට අවුල් ජාලයක් වාගේ. කීර්ති පැස්කුවෙල් අහපු මිනිහා ඉයන් සදලෑන්ඩ්ගේ සිංදු අහලා නැහැ. ඒ නිසා දැනුම රස විඳීම සීමා වෙලා. එතකොට බුද්ධියට සීමා පැනවෙනවා. තමන් දකින දර්ශනය පටුයි. තමන්ගේ විශ්වාස පීරිසියක්, පිඟානක් තරම් කුඩයි. මේ ක්ෂුද්‍ර විශ්වයේ ඉඳගෙන වෛවාරන්න ප‍්‍රශ්න අහනවා. සත්‍ය සමහරක් විට අපිට තේරුම් ගන්න අමාරුයි. දුමාරයෙන් වැහිල. හරියට මුල්කිරිගල චිත‍්‍රය වගේ. සත්‍ය අන්ධකාර වෙනකොට අසත්‍යය දිස්නේ ගහනවා. අසත්‍යය තමයි සත්‍යයේ සළු පොරවගෙන ඉන්නේ."

da vinci code ග්‍රන්ථයේ මෙන් "මානසික රෝගියාගේ පරිකල්පනය" කෘතියේ ඇතැම් විශ්ලේෂණයන් කතුවරයා පවසන්නේ ව්‍යංගයෙනි. මෙම කෘතියේ කේතයන් සහ ගුප්ත සංඥා දකින්නට තිබේ. එම කේතයන් විසඳීම සඳහා පාඨකයාගේ පෙර දැණුම සහ අත්දැකීම් අත්‍යවශ්‍ය වෙයි.

"රෝගය නිසා මම වෙනස් මිනිහෙක් බවට පරිවර්තනය උණා. ඒක හරියට මාක් ඩේවිඩ් චැප්මන් කිව්වා වගේ I found my identity ,but lost my life. මගේ හිස තුල සිටි කුඩා මිනිසුන් සහ විශාල මිනිසුන් අතර යුද්දයක්. සුර අසුර යුද්දය වගේ, තල්මසුන් මෝරුන් අතර යුද්දය වගේ. දෙපක්ෂයම එකවගේ සටන් කරනවා. අවසානයේදී කුඩා මිනිසුන් සහ විශාල මිනිසුන් පරයා ජයගත්තා. කුඩා මිනිසුන් එකට එක්කාසු වී එක ශක්තිමත් කුඩා මිනිසෙක්ව සැදුවා. ඔහු රොකී මාශියානෝ වගේ ශක්තිමත්. නමුත් ඔහු හුදකලායි මර්සෝ වගේ. ඔහු තමයි මොලයේ පාලනය අතට ගන්නේ. ස්නායු ට්‍රාන්ස්මීටර මෙහෙයවීම කරන්නේ ඔහු විසින්. ඔහු ඒකාධිපතියෙක්, ඔහුගේ අණ අනුව තමයි සෑම මස්තිෂ්ක සෛලයක්ම ක්‍රියා කරන්නේ. අකිකරු සෛල විනාශ කරනවා. පැවතිය හැක්කේ කීකරු අනුගතවන සෛල වලට පමණයි. කීකරු අනුගත සෛල වලට යහමින් ඔක්සිජන් ලැබෙනවා. ඔක්සිජන් යහමින් ලැබෙන පුද්ගලාභිවාදනයේ යෙදෙනවා. පුද්ගලාභිවාදනයේ නොදෙන සෛල වලට ලැබෙන්නේ එදිනෙදා සෛලය පවත්වාගෙන යාමට අවශ්‍ය පෝෂක දියර සහ ඔක්සිජන් පමණයි. සමහර සෛල එකතුවෙලා උද්ගෝෂණ කරනවා සෑම සෛලයකටම එක හා සමාන පෝෂක තරලය සහ ලබාදෙනු කියලා. නමුත් මේ උද්ගෝෂණ අසාර්ථකයි. උද්ගෝෂක සෛල අතුරුදහන් වෙනවා, සමහර සෛල උද්ගෝෂණ අතරමග නවත්තලා කීකරු පුද්ගලාභිවාදනයේ යෙදෙන සෛල බවට පත් වෙලා තම පැවැත්ම යහපත් කරගන්නවා."

කේතයන් සහ ගුප්ත සංඥා ඇති තවත් තැනකි මේ.

"වියනාවේ මගේ ඩොක්ට මාව යොමු කරා මනෝ විශ්ලේශකයෙකු ළඟට. මම ගිය වෛද්‍ය ශනයිඩර් හමුවීමට. මාව යොමු කරා මරියා තේරේසා රැජිනගේ ගේ උඩුකයේ පින්තූරයක් බිත්තියේ ගහලා තිබුණු විශාල කාමරයකට. ඒ කාමරයේ ඕක්වලින් හදපු මේසයක් තිබුණා. ඒ මේසය ලඟ ෆ්‍රොයිඩියානු වර්ගයේ කවිච්චියක්. මම ඒ කවිච්චියේ වැතිරුනා. යටි රැවුලක් තියෙන මනෝවිශ්ලේෂකයා මගේ ඉහ අද්දර වාඩිවෙලා මට ඇහුම්කන් දෙන්න සූදානම. මම මගේ සිතේ පහළ වෙච්ච සියලූම අදහස්, හැඟීම් සංස්කරණයකින් තොරව විශ්ලේෂකයට කිව්වා. සෑම අදහසක්ම. නිව්යෝක් ටයිම්ස් පුවත් පත අධි වේගයෙන් ලේසර් මුද්‍රණ යන්ත‍්‍ර හරහා තොරතුරු පත්තර පිටුවල සටහන් කරනවා වගේ මගේ මනසේ විවිධ අදහස් සටහන් වුණා. මම ඒවා සියල්ලම බැහැරට ප‍්‍රකාශ කළා. මනෝවිශ්ලේශක හාන්ස් ශනයිඩර් මට සවන් දෙනවා. වියනාවේ ෆ්‍රොයිඩියානු ගුරුකුලයෙන් මනෝවිශ්ලේෂණය හදාරපු වියානා විශ්වවිද්‍යාලයේ එම්.ඞී. උපාධිය ලැබූ වෛද්‍ය ශනයිඩර් මගේ අදහස් දැනටමත් විශ්ලේෂණය කරනව ඇති කියලා මට හිතුනා.

ශනයිඩර් අපි වගේ ආසියාතිකයෝ එක්ක බලනකොට උස මහතයි. රවුම් කණ්නාඩි දෙකක් දාලා හිටියේ. ශනයිඩර් මගෙන් ඇහුවා මම මගේ පියාට වෛර කළාද, පියා මගේ ශිෂ්ණය ඡේදනය කරයි කියලා ළමා කාලයේ බයක් තිබ්බාද කියලා. මේක පොදු බයක් වෙන්න ඕන. තමන්ම කප්පාදු කරයි කියලා මිනිසුන්ගේ හිත්වල අනවතර බයක් තියෙනවා වෙන්න ඇති. අපි බලමු ස්ත‍්‍රී චර්මඡේදනය. සෝමාලියාවේ වාරිස් ඩයරි ලෝකයේ නොම්බර එකේ මෝස්තර නිරූපිකාවක්. වාරිස් ඇත්තටම මේ කටුක අද්දැකීම ලැබුවා. චර්ම ඡේදනයෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? පවිත‍්‍රතාව, ආත්ම පවිත‍්‍ර කරගත්තා සේ ශාරීරිකවත් නුඹ පවිත‍්‍ර විය යුතුය. ඒ සඳහා නුඹගේ පාපකාරී ඉන්ද්‍රියන් ශරීරයෙන් ඉවත් කරනු. නුඹගේ ඇස, නුඹගේ ආධ්‍යාත්මයට බාදාවක් නම් ඇස උගුල්ලනු. භගමනිය නුඹගේ ආධ්‍යාත්මය අපවිත්‍ර කරයි නම් භගමනිය කපා දමනු. අධ්‍යාත්මික මාවත පුරන් නොකරගනු.

නමුත් ඇයි අපි ශාරීරික අවයව ඉවත් කරන්නේ. ඉසඩෝරා නලඟන අහපු දේමයි කියන්න වෙන්නේ. මගේ ශරීරයේ එක් අවයවයකට සාපේක්‍ෂව අනෙක් අවයවයට අසභ්‍ය වන්නේ කෙසේද? එක ශරීර අවයවයක් නිසා අධ්‍යාත්මික මාවත පටු වන්නේ මන්ද? මට පෙනුනේ සිලිම, මනෝ විශ්ලේෂකයාගේ කටහඬ ඇහුනේ සත් සමුදුරින් එහා. ෆ්‍රොයිඩියානු කවිච්චියේ මම ගැඹුරටම කිඳාගෙන ගියා. මම නොකඩවා කතා කරනවා. මගේ කටහඬ මට ඇසෙන්නේ වෙනත් අයෙකුගේ කටහඬින්. මටසිලුටු සොෆාවේ වැතිරී සිටින මම ද්‍රව්‍යාත්මක වෙනස්කමකට ලක් වනවාද? මගේ ආධ්‍යත්මය ම තුලින් ඉවත් වෙනවාද? මගේ දෙනෙත් වැසි ගියා, කටහඬ මලානික උනා. ශනයිඩර් මාව විශ්ලේෂණය කළා. මම දන්නේ නැහැ ශනයිඩර්ගේ විශ්ලේෂණය කොච්චර දුරකට හරිද කියලා. සමහරවිට විශ්ලේශකයා විශ්ලේෂණය වන්නා අතින් විශ්ලේෂණයකට ලක් වෙන්න පුළුවන්. විශ්ලේෂණය තුළින් සත්‍ය සොයා ගන්න පුළුවන්ද? ෆ්රවුලීන් ඇනා ඕ පිලිබඳ සත්‍ය ෆ්රොයිඩ් සොයා ගත්තද? ඇනා ගේ මනස විශ්ලේෂණය උනාද ? විශ්ලේෂණය උනේ විබණ්ඩනයට ලක් කිරීමෙන්ද ?

මනස පදාර්ථයක් සේ වෙන් කල හැකිද ? අපි පදාර්ථය ගත්තොත් ඒ පාදාර්ථය කුඩා අංශු දක්වා කඩන්න පුළුවන්. අපි පරමාණුව දක්වා ඒ පදාර්ථය කැඩුවා. පරමාණු තව දුරටත් කැඩුවොත් හමුවෙනවා ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, මිසෝන අංශු. ඒවා තව දුරටත් කැඩුවොත් ලැබෙන්නේ තරංග. ඒ හරහා විද්‍යාඥයෝ ඉදිරිපත් කළා ස්ටි‍්‍රං තියරි කියල මතයක්. මේ ස්ටි‍්‍රංස් තව දුරටත් විබණ්ඩනය කළොත් ලැබෙන්නේ මොනවද? ශක්තිය. ශක්තිය තවදුරටත් විශ්ලේෂණය කලොත් අපට ලැබෙන්නේ මොනවද? මේ විදිහට අනන්තය දක්වා අපිට විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒත් මට හිතෙනවා අවසානයේදී වෘත්තයක ගමන්කරන්නා ආරම්භ කරපු ලක්‍ෂයට එනවා වගේ, අන්තිමට අපි එන්නේ එකම තැනට කියලා. මනසත් මෙසේ විබණ්ඩනය කළහොත් අවසානයෙදි වෘතයක ගමන් කළා වගේ, අපි යලි එම ස්ථානයට ලඟා වෙනවද?"


ලිංග වන්දනාව යනු කේතයකි. ආශ්වාදය යනු මොලයේ ලිම්බික කොටසේ උද්වේගයක් සමග ඇතිවන සක්‍රියතාවයකි. වින්සන්ට් ලංකාතිලක ඒ ගැන මෙසේ කියයි.

"ශරීරය හා ආත්මය අතර ඇති සබඳතාව මම දැක්කා කජුරාහෝ දේවාලයේ ගල් පිළිම අතර. කාම සූත‍්‍ර දේවාලය කියලා කියන්නේ මේ දේවාලයට. ලිංගික ඉරියව් ගල්වල කොටලා, ශරීරය, මනස හා ආත්මය බද්ධ වෙලා. රාත‍්‍රී කාලයේ මුහුද අද්දර රැල්ල නැගෙන හඬ, ක්‍ෂිතිජයට මදක් උඩින් පෙනෙන මළානික සඳ, මුහුදු හුළඟ මේවා එකතු උනාම ශරීරයට දැනෙන්නේ මොකද්ද? එම දේම කජුරාහෝ දේවාලයේදී මට දැණුනා. මම ගෝපතී ගේ අත තද කරළා අල්ල ගත්තා. ගෝපතී හින්දි උරුවට ඉංග‍්‍රීසියෙන් කෙඳිරුවා. ලතා මංගේෂ්කාර්ගේ හඬ සමඟ නෝරා ජෝන්ස් ගේ Come away with me in the night මට ඇසුනා. ගෝපතී ගේ කටහඬ මට ඇසුනේ නැහැ. හින්දි උරුවට කථා කරන ඉංග‍්‍රීසි කටහඬ පරයා නෝරා. නෝරා ජෝන්ස් ගේ මුදු කටහඬ රවි ශංකර්ගේ සිතාර් වාදනයත් එක්ක රිංගෝ ස්ටාර් ගේ සිනහව, ජෝජ් හැරිසන්ගේ ගිටාර් නාදය, ජෝන් ලෙනන් ගේ කටහඬ මේවා වගේ දෙසවන් වල ගලාගෙන ගියා. මම ගෝපතීගෙන් ඇහුවා කෝ මොහොමඞ් රාෆි කියලා. මොහොමඞ් රාෆි ගේ ලයාන්විත කටහඬ වෙනුවට ඇහුනේ මරණිය රාවයක්. අවුට්ස්විච් කඳවුරේ ගීතිකාවක් වගේ. වේදනාව, ශරීරය ග‍්‍රහණය කර ගැනීම, ගල් කැටයමක ජීවය පිරිලා. දිල්ලි වල ඔබරෝයි හෝටලයේ දී ගෝපති කජුරාහෝ දේවාලයේ පිළිමයක් වුණා. ශරීරය, කම්පනය, රිද්මය, ආවේගය, සංතෘප්ත වීම මේ විවිධ තළයන් තුළ අප ගමන් කළා. චාලි ෂින් යුද්ධය ග‍්‍රහණය කර ගත්තා වගේ. චාලි කොම්පැණිය සීසි කඩ. ටැට් ප‍්‍රහාරයේදී වාගේ ආලෝක මල් වෙඩි ඉහට උඩින් පත්තු වෙනවා."

බොහිමියානු දර්ශනයක් සොයා ගිය වින්සන්ට් ලංකාතිලක ට කානි නම් අයර්ලන්ත ජාතිකයා හමුවේ. ඔහු කානි ගැන මෙසේ පවසයි.

"කානි ක්‍රිෂ්ණා භක්ති ව්‍යාපාරයට ඇදී ගියා. කානි ඉපදුනේ අයර්ලන්තේ වෙක්ස්ෆොර්ඩ් වල. ලිවර්පූල් වල බිට්ල්ස් ප්‍රත්යානයනය ඔහුට තදින්ම දැනුනා. ඔහු මුලින්ම ගියේ හිපි ව්‍යාපාරයට. අනෙකුත් හිපි තරුණ තරුණියන් මෙන් ඔහුත් වැඩිහිටි පරම්පරාවට දෝෂාරෝපණය කළා මහා යුද්ද දෙකක් මේ කොළ ග්‍රහ ලෝකයේ සිදු වීමට ඉඩ සැලසීම ගැන. ඔවුන් වැඩිහිටි පරම්පරාව විශ්වාස කලේ නැහැ. කානි ඉන්දියාවට වාර දෙකක් ගියා. එහිදී තමයි ඔහුට ක්‍රිෂ්ණා ගැන දැනගන්නේ. ඔහු යලි වෙක්ස්ෆොර්ඩ්වලට එනකොට අධ්‍යාත්මික විපර්යාසයකට මුහුණ දීලා. කානි ක්‍රිෂ්ණා ගැන භාජන ගීත ගයනා කිරීම නිතරම කළා. ඔහු ගිටාරය ගෙන ජෝජ් හැරිසන් කියන ස්වීට් ලෝර්ඩ් ගීතය වාදනය කළා. ගීතය අවසන් වූ වහාම මොලී සහ බියන්කා කානි ගේ දෙපා සිඹිනවා, ඔහු ශුද්ධත්වයට පත් වූ මිනිසෙකු ලෙසට. ඔවුන් කානි ව වන්දනා කළා මනුෂ්‍ය දෙවියකු ලෙසට. කානි තමයි ඔවුන්ගේ අධ්‍යාත්මික ගුරු. මොලී ආවේ මිඩ්ලන්ඩ් වලින්, බියන්කා අප්‍රිකානු, ඇමරිකානු සම්භාවයකින් යුත් තරුණියක්. ඔවුන් දෙදෙනා එක වගේ කානිට ආදර බුහුමන් කළා. දෙදෙනා අතර තරගයක්, මාත්සර්ය්යයක් තිබුනේ නැහැ. ශ්‍රී ජයදේවයන්ගේ ගීත ගෝවින්දය ක්‍රිෂ්ණා වර්ණනාව ගැන සඳහන් වෙනවා. කානි ළඟ ගීත ගෝවින්දයේ පිටපතක් තිබුනා. ග්‍රීෂ්ම ඍතුවේ සඳ පැය ඇති දවස් වළ ඔහු බියන්කා සහ මොලී දෙපස තබාගෙන ගීත ගෝවින්දයේ කාව්‍ය වර්ණනාවන් කියවනවා. එය අසා සිටීමට ඉතා මිහිරියි."

හිපි සංස්කෘතියේ ශේෂයන් ද, මානසික රෝගියා ප්‍රතිග්‍රහණය කර ගනී .

"කානි තුලින් ඔවුන් දුටුවා දෙවන ආගමනය. ශුද්ධ වූ පරමාත්මය ඔවුන් සෙව්වේ කානි තුලින්. මෝක්ෂය ලැබීමට දිනපතා ඔවුන් කානි සමග එක උණා. ඔවුන් ආත්ම ගවේෂණය කලේ මනෝභ්‍රමික ඖෂධ මගින්. දුමාරය හෝ නහර ගත කරන සමාසය හරහා ඔවුන් ද්‍රව්‍යාත්මක ශරීරය අත් හැරලා, දිව්‍යමය ශරීරය එක්ක නභෝගත අවකාශයේ සැරිසරනවා. එවිට ඉන්ද්‍රිය චාලක සංවේදනයන් ඌන වෙනවා. ශරිරය පිලිබඳ සංවේදනය ඇත්තේම නැහැ. වේදනාවක් දැනෙන්නෙම නැහැ. ශරීර පුළුන් රොදක් සේ සැහැල්ලුයි. ඔවුන් එකට කිව්වේ ආත්ම විශුද්ධිය කියලා. ඔවුන් කාලය සහ අවකාශය අතර පාවී යනවා. තිදෙනාම එකම අධ්‍යාත්මික අවකාශයක සැරිසරනවා බාහිර ලෝකයේ අගාරික ආශවයන් නොතකා. ඔවුන් තිදෙනා ආශක්තව සිටිනවා තමන්ගේ ලෝකය තුල."

මරණය ගැන ඇතිවන උකටලී හැඟීම්, කතුවරයා විවිධ සාහිත්‍යමය චරිත හරහා පාඨකයාට ඉදිරිපත් කරයි.

"කානි අද ජිවතුන් අතර නැහැ. ඔහුගේ මරණය මා තුල ඇති කලේ ශුන්‍ය හැඟීම්. මරණය මේ සියලු දෑ ගේම අවසානය නේද? මට මතක් වෙනවා බණ්ඩරී නැන්දාගේ මරණය. ඇගේ මරණයට පුංචි රාළ මාමා දැක්වූ ප‍්‍රතිචාරය. ගොවීන්ගේ වේදනාව, ධනේෂ්වර රාජ්‍ය තන්ත‍්‍රය, පරිපාලකයන් හා ඔවුන්ගේ ඊනියා නීති රීති. ගොවීන්ව සැමදා පීඩනයේ වියගසට බැඳ තබන දේශපාලක සහ ඔවුන්ගෙන් යැපෙන සහචර පලිබෝධකයන්. මේ මජර පර්යාය පවත්වාගෙන යාමට උපකාර වෙන සහ ඊට ආවඩන ගුජුප්සාජනක භික්ෂු පැලැන්තිය අතර පවතින පරස්පර විරෝධි එකමුතුව. මේ පරස්පර විරෝධි එකමුතුව අපේ ජීවිත වටාත් වෙලිලා තියෙනවා. අපි ඔක්කෝම වප් මඟුලට ගෙන ආ සර්ව පිත්තල ප‍්‍රදර්ශන භාණ්ඩ. අපිට ජයරත්නලා, පුංචි රාළළා, ගුණීලා, අංගෝ නැන්දලා මේ හැමෝම සර්ව පිත්තල කඩතුරාවෙන් පේන්නේ නැහැ. ඒ ගොල්ලෝ හැබෑ ලෝකෙම දියවෙලා ගිහිල්ලා. ඔවුන්ගේ භෞතික සහ අධ්‍යාත්මික ලෝක ක්ෂීණ වී ගොසින්."

දහසකුත් දුක් විඳින ලංකික ගොවියා සහ උතුරු ඇමරිකානු ගොවියා ගැන සංසන්දනයකි මේ.

"සවුත් ඩැකෝඩා වල සූරියකාන්ත මල් පිපුණු ගොවිපළ හා ඩෙනිම් කලිසමෙන් සැරසුණු ගොවියා වප් මඟුලේ ගොවියාට වඩා කොච්චර වෙනස්ද? ඔහුගේ ශරීරය පුෂ්ටිමත්. මන්දපෝෂණය අහලකවත් නැහැ. ෆෝඞ් ට‍්‍රැක්ටර් එකකට නැගලා අක්කර විශාල ගණනකින් යුක්ත ගොවිපළ හානවා. ගොවියා, ගෙවිලිය, ගොවිපළ, ඩැල්මේෂන් බල්ලා. අපි හතු හැඩයට හදලා තිබ්බ ලී ආසන වල වාඩිවෙලා හැවිනා එක්ක ස්පාඤ්ඤ වයින් බෝතලයක් බිව්වා. ශීතත් උෂ්ණත් නැති සනීප හුළඟ. සූරියකාන්ත මල්. කිලෝ මීටර් දෙකක් විතර දිග ලී කණුවලින් තැනූ වැට. පිකප් රථය. මම ඩේව් දිහා බැළුවා. තෘප්තිමත් ගොවියෙක්. මට වප් මඟුල මතක් වුණා. පුංචිරාළ මාමගේ හකු ඇට පැදුණු මුහුණ. කෙරන් අපිට ඉතාලි ක‍්‍රමයට හදාපු මාළු පිඟානක් ගෙනාවා.

කෙරන් ගේ රන් පැහැති කොණ්ඩය. මට බණ්ඩරී නැන්දාගේ අව්වට කරවෙච්ච මුහුණ මතක් වුණා. අපි ගිනිමැලය වටේ එකතුවෙලා සින්දු කිව්වා. ඩේව් ගිටාර් එක වයමින් ඩොන් විලියම්ස්ගේ සින්දුවක් කිව්වා. කෙරන් තාලය ඇල්ලුවා. මම ඔවුන්ට ජෝන් ඩෙන්වර්ගේ ඇනීස් සෝං ගීතය තිළිණ කළා. විදේශීය උරුවකින් කියන ඇනීස් සෝං ඔවුන්ව කුල්මත් කරන්න ඇති. මට පාළුවක් දැණුනා. මට ගුණරත්බණ්ඩයියා මතක් වුණා. මට මහා පාළුවක් දැනුනා. මගේ අධ්‍යාත්මය හඬා වැටෙනවා. මම ගිනි මැලය ළඟින් ඉවත් වෙලා පාර දිගේ තනියෙන් ඇවිදගෙන ගියා. ඩේව් ගේ ඩැල්මේෂන් මගේ පස්සේ ගාටනවා. මගේ උඩ සාක්කුවේ රෝට්ස්මන් පැකට් එකක් තිබ්බා. මම එකක් පත්තුකර ගත්තේ කාන්සි ගතිය නිසයි. මම ඔහේ ඇවිදගෙන ගියා. ඒ පාළු ගතියට මම කවදත් ආසයි. සතුටට වඩා දුක සිතේ පැලපදියන් වෙනවා. පැල් කවියක එන දුක්මුසු රාවය, අමරදේවගේ හඬින් ගයන මහගම සේකරගේ 'මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි.... එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවී......' යන හඬ මට ඈතින් ඇසුණා."


දුක යනු සතුටට වඩා මිනිස් සිත ග්‍රහණය කර ගන්නා හැඟීමකි. කතුවරයා පාඨකයාව දුක්මුසු කාන්සිය දනවන ඉස්සව්වකට ගෙන යයි.

"මගේ හිතට දුක ගලාගෙන එනවා. ඩොක්ටට මතකද දෙවෙන්දොරා සහ නොරිකො? දෙවෙන්දොරාට නොරිකො පළමුවෙන් හමුවන්නේ අවන්හලක දී නේද? මතකද ඒ අවන්හල? නොරිකො ඒ අවන්හලේ සේවිකාවක්. මතකද ඔවුන් දෙදෙනා කබුකි බලන්න ගිය දවස? ඒ ආදරයට මොකද උනේ? ඇයි, දෙවෙන්දොරා නොරිකො අතහැරලා තෝකියෝ වලින් කියෝතෝ නගරයට ගියේ? දෙවෙන්දොරා සං, නොරිකො ගෙන් සමුගන්නා අවස්ථාව මගේ මතකයට ආවා. මේ සිදුවීම් මට චිත්‍රපටයක් වගේ මැවී පේනවා. මට අමතක කරන්න බැහැ මේ සිදුවීම්. කියෝතෝ නගරයේදී දෙවෙන්දොරා ගණිකාවක් සමග එක් වීම මතකයි නේද? කායික තෘප්තිය මගින් ප්‍රේමය යටපත් කිරීම. එය කල හැකි දෙයක්ද? අවසානය ළඟ වෙලා. මළවුන්ගේ අවුරුදු දා දෙවොන්දරා සං සියදිවි නසා ගත්තේ ඇයි කියලා මට තේරුම්ගන්න බැරි උණා. නොරිකො, දෙවෙන්දොරාව පවුලේ සුසාන භුමියේ මිහිදන් කරනවා. පොලව යටට ගියේ දෙවෙන්දොරා ද? නැතහොත් මමද? නොරිකො, දෙවෙන්දොරා සං ගෙ මතක සමඟ ගෙවන ජීවිතය ගැන මගේ හිතට දැනෙන්නේ දුකක්, කම්පනයක්, පාළුවක්. හරියට ගරා වැටුන ගෙයක දොර හෙලවෙනකොට නැගෙන මුසල හඬ වගේ. අහස අඳුරුයි. එක තරු කැටයක්වත් අහසේ නැහැ. මුළු පරිසරයම මලානික වෙලා. මහපොළව ඉකිබිඳිනවා. හමන සුළඟ ඒ ශෝකී රාවය සෑම දිශාවකටම ගෙන යනවා. මිය ගිය පෙම්වතා ගැන මතකය, අතීතයක් පමණයි ඉතිරිව ඇත්තේ. හරියට ඔලිවර් ගොල්ඩ්ස්මිත්ගේ දුක්මුසු කවියක වගේ.

දහසක් ලෙඩුන් මිය ගිය මේ ඇඳ මත මම වැතිරී හිටියා. මගේ ශරීරය කෙට්ටු වෙලා. ඇටකටු ගොඩක් වගෙයි. දුෂ්කර කි‍්‍රයාවේ යෙදුණු සිදුහත් කුමාරයාගේ නැත්තම් බෙල්සන් කඳවුරේ යුදෙව්වෙකුගේ වාගේ. කරාතියෙව්ගේ අවංක හිත, ලෙවින්ගේ වෙහෙසට පත් නොවන දෑත්, මොනාලිසාගේ දෑස්, මික් ජගර්ගේ දෙතොල්, ට‍්‍රැවොල්ටාගේ කොණ්ඩය, මේ සියල්ලේම සංකලනය මගේ දෑස් ඉදිරියේ මැවුණා. මොහොතකදී මහා ධාරානිපාත වර්ෂාවක් එක්ක විදුලි කෙටුවා. දෑස් නිලංකාර වුණා. අඳුරු අහසේ කඩතොළු ආකාරයේ ඉරි වරින් වර මතුවුණා. මහා වර්ෂාව එක්ක විශාල සුනාමියක්. ජල කඳ පොල්ගස් තුන හතරක් උසයි. මහා තාප්පයක් නැත්තම් ප‍්‍රාකාරයක් වාගේ. ගෙවල් දොරවල් යටකරගෙන ජල කඳ ගලාගෙන ගියා. පොළවේ ගලාගෙන ගිය මුහුදු ජලය යළිත් මුහුද කරා ඇදී ගියා. අහස එළිය වුණා. වර්ෂාව නැවතුණා. සියල්ල සන්සුන්. යළිත් වරක් සූරියකාන්ත මල් පිපුණ ගොවිපළ මගේ දෑස් ඉදිරියේ. මම දැක්කා පිණි මුවෙක්. මට දුකක් හිතුනා, ඩේව් ඌව වින්චෙස්ටර් රයිෆල් එකෙන් බිම දායිද කියලා. ඩේව් තුල දඩයකරයෙකුත් ඉන්නවා.

ඩේව් රයිෆලයෙන් ඉලක්කය ගත්තා. මම දුටුවේ ඩේව් නොවේ මයිකල් ව්රොන්ස්කි. ඔහු පැමිණියේ වියට්නාමයේ සිටයි. ඔහු තුල පුර්ණ පෞරුෂ වෙනස්වීමක්. වියට්නාමයට යාමට පෙර ඔහුට මුවා එක වෙඩි පහරින් බිම දාන්න පුළුවන්. ව්රොන්ස්කි මුවාට ඉලක්කය ගන්නවා, ලා තණපත් කමින් සිටි මුවා හිස ඔසවා ව්රොන්ස්කි දෙස බැලුවා. ව්රෝන්ස්කිගේ දබර ඇඟිල්ල අක්‍රිය වෙලා වගේ. කොකා තද උනේ නැහැ. මුවා යලිත් තණ කනවා. නැවත වරක් ව්රොන්ස්කි මුවාට රයිෆලය එල්ල කළා. එහෙත් වෙඩිල්ල පිට උන්නේ නැහැ. මුවා සහ දඩයක්කරුවා එකිනෙකා දෙස බලාගෙන සිටිනවා. ටික වෙලාවකින් මුවා කැලය ඇතුලට නොපෙනී ගියා."


මුවා සහ දඩයක්කරුවා යනු මානසික රෝගියාගේ මනසේ මැවෙන චිත්ත සංකේතයන් සමුහයක් පමණි. වින්සන්ට් ලංකාතිලක දකින භ්‍රාන්තීන් අතර මනමේ කුමරිය ද සිටයි.

"මම දැක්කා මනමේ කුමරිය. ඇය හරියට ප්‍රින්සස් ලියා වගේ. ඔව්, Leia Amidala Skywalker කුමරිය වගේ. මගේ ඇස් මට බොරු කලේ නැහැ. ඇය කිව්වා 'නැත අන් සරණා ඔබ හැර මෙමටා- වනයේ විසුමා වෙන්නේ සැමදා, වග වලසුන්ගේ උවදුරු වලකා, රකිනුය ඔබ මා, රකිනුය ඔබ මා' . මනමේ කුමරා ලේ පෙරාගෙන ඇද වැටිලා. හරියට හි පහර කාගෙන ඇද වැටුන පැරිස් කුමාරයා වගේ. ඔහුගේ උදරයෙන් ලේ ගලනවා. හුස්ම ගන්නේ අමාරුවෙන්. මට පසුබිමෙන් ඇසුනා බොන් ජෝවිගේ කටහඬ. ඔහු කිව්වා This Romeo is bleeding, but you can't see his blood මුළු ගීතයම වාදනය උණා. රඟහල තවමත් අඩ අඳුරේ. මම දකින්නේ මනමේ කුමරු, මනමේ කුමරිය සහ වැදි රජා විතරයි. ජෝන් බොන් ජෝවිගේ Romeo Is Bleeding මට නොකඩවා ඇසුනා. ඇත්තටම මනමේ නාට්‍ය යේ මනමේ කුමරා මැරෙන අවස්ථාවට ඒ ගීතය වාදනය උනා නම් කියල මට හිතුනා. කොපමණ අලංකාර ඔපෙරාවක් වෙයිද? ඩොක්ටර් සරත්චන්ද්‍ර ඒක ඇසුවා නම් අනිවාර්යෙන්ම එකඟ වෙනවා, එම මනමේ කුමරා මැරෙන අවස්ථාවට බොන් ජෝවිගේ ගීතය වාදනය කිරීමට. ඒ ගීතය නොඇසූ දෙසවන් කුමටද? සවන් දෙන්න....

ගීතය කෙමෙන් කෙමෙන් අවසන් වෙනවා. මනමේ කුමරා මිය ගොසින්. යලිත් නිහඬතාවය සහ අඩඅඳුර. මනමේ කුමරිය කියනවා 'මනමේ රජු ඔබ - ගෙල සිඳ ලන්ටා කඩුව ඉල්ලු සඳ - ඔහු වලකන්ටා කළ තැත දුටුවද- ඔබ ගලවන්ටා සිතුණේ කඩුව ඔබ - අතටම දෙන්ටා' ඔපෙරාව අවසානයක් නැතිව ඇදෙනවා. හරියට ඒකාකාරී ජිවිතයක් වගේ."


ස්ටලින්වාදයට හසු වූ යුක්රයිනයේ Holodomor දුර්භික්ෂය හිට්ලර්ගේ ආගමනය ගැන කේතයන් මගින් හෙළි කරන්නේ මෙසේය.

"සඳ බැස ගියා. ඉර පෑයුවා. ලොවි ගස නොපෙනී ගියා. මම සිටියේ විශාල තිරිඟු කුඹුරක. මගේ නාභියටත් වඩා උස්ව ගිය සරුවට වැවුණු රන් පැහැති තිරිඟු ක්ෂිතිජය දැක්කා පැතිරෙනවා. රන්වන් කරල් බිමට බර වෙලා. කිසිම මිනිස් ප්‍රාණියෙකු මම දැක්කේ නැහැ. මම නියර දිගේ ඇවිදගෙන ගියා. තිරිඟු කපන යෝධ කොම්බයින් යන්ත්‍රයක යකඩ රෝද මගේ කන අසලින් ගියා. රෝදයක් මම වගේ දෙගුණයක් උසයි. ඒ වගේ විශාල කොම්බයින් යන්ත්‍රයක් මම උපන්තේකට දැකලා නැහැ. කපන තිරිඟු එක ඇටයක්වත් බිම නොහලා විශාල බටයකට පොම්ප වෙනවා. බටයේ අග්ගිස්ස පෙන්නේ නැහැ ඒක බටහිර දක්වා දිගටම විහිදිලා. සෑම තිරිඟු ඇටයක්ම බටයට ඇදිලා යනවා. හරියට දඟර සුළි සුළඟට අසු වූ වැලි ඇට වගේ. යන්ත්‍රය තිරිඟු කපමින් ඉදිරියට යනවා. එක ඇටයක් බිමට වැටෙන්නේ නැහැ.

නියර ළඟ එක දිගට ගෙවල් පේලියක්. මම ගෙවල් ලඟට ගියා. මට ඇසුනා මිනිසුන් හුස්ම ගන්න හඬ. ඔවුන් හුස්ම ගත්තේ අමාරුවෙන්. ගෙවල් වල මිනිසුන් හාමතින් අඩපණ වී තැනින් තැන වැටිලා ඉන්නවා. ඔවුන්ට කථා කරගන්නවත් පණක් නැහැ. ඇටසැකිලි වගේ. හිස කබල ඇතුලට ගිලා බැස්ස ඇස්, ඉල ඇට පෙනෙන පපු කුහර පෙන්නුම් කලේ සුමාන දෙකකින්වත් යමක් බඩට නොවැටුණු මිනිසුන්. හාමතයට ලක් වූ කුඩා ළමුන් සමහරු මිය ගිහිල්ලා. ඔවුන් වියලුනු දර ඉපල් වගේ, නිසලව බිම වැතිරිලා ඉන්නවා. මෙතරම් සරුවට වැඩුණු විශාල තිරිඟු කුඹුරක අද්දර සිටින මිනිසුන් හාමතේ මිය යාම මට තේරුම් ගන්න බැරි උණා. හරියට දේව සාපයක් වගේ මෙහෙම විනාසයක් උනේ කොහොමද?.......

......මම ක්ෂිතිජය පැත්තට ඇවිදගෙන ගියා. මට ඇසුනා අනාගත වක්තෘ නොස්ට්‍රඩාමුස් ගේ හඬ දෝංකාර ස්වරයෙන්. මැදිවියේ පුරුෂයෙක් ඩැනියුබ් ගංගාව තරණය කරගෙන මෙගොඩට එනවා. ඔහු ඇඳගෙන සිටියේ අළුපාට දිග කබායක්. ඔහුගේ වම් අතේ රතු පැහැති පටියක්. එහි සුදු පැහැති රවුම් පසුබිමක ආදී ආර්යන්ගේ සංකේතය වූ ස්වස්තිකය. නමුත් මේ ස්වස්තිකය දක්ෂිනාවෘතව ඇද වෙලා. එහි සිව් කොන් මම දුටුවේ දුම් බට වගේ. ඒ බට වලින් කළු පැහැති දුමාරයක් පිට උණා. යුදෙව්වන්, අහිකුන්ටිකයන් ඇතුළු අනෙකුත් ජන වර්ග ශ්‍රේෂ්ට ජර්මානු ආර්යන් ගේ ලේ ධාතුවට එකතු වීමට පෙර ඔවුන්ව ධුලි අළු බවට පත් කරනවා. ඔවුන්ගේ ශරීර පුළුස්සන විට මතුවන දුමාරයෙන් අවට පරිසරය පිරී ගිහිල්ලා. හුස්ම ගැනිමටත් අපහසුයි. උගුරේ කාරමක් බැඳිලා වගේ. මළකුණු පිළිස්සෙන ගඳ පැතිරෙනවා. රන්වන් හිසකේ ඇති උස මහතට වැඩුණු නිරෝගී එස් එස් භටයන් ඒ දුමාරය ඉතා ආශාවෙන් ආග්‍රහණය කරනවා. ඔවුන්ගේ නිල් පැහැති ඇස් වල සතුට අභිමානය පිරිලා. ඔවුන් එකවරම මහා හඬින් කියනවා 'Meine Ehre Heisst Treue' මගේ උදාරභාවය පක්ෂපාතිකමයි.

ඔවුන් රණ ගී හඬට අභිමානවත් ලෙස පා තබමින් නැගෙනහිර බලා යනවා. ඔවුන් ගේ බුට්ස් පොලවේ වදින විට දුහුවිල්ල ඇවිස්සෙනවා. පොලව කම්පනය වනවා. ඒ එක්කම අහස දෙදරාගෙන ගගන යානා සියක් දහසක් නැගෙනහිර ඉසව්වට පියාසර කළා. මම අහස දෙස බැලුවා. මම දැක්කේ ගුවන් යානා නොවේ සොහොන් කොත් ආකෘතියට තැනු සුදු පැහැති කුරුස. මුළු අහසම සුදු පැහැති කුරුස වලින් පිරිලා, හරියට අහසේ මැවුණු සුසාන භුමියක් වගේ. හිරු අවරට ගිහිල්ලා. ආකාසය මළානික පාටයි. සොල්දාදුවන්ගේ පා හඬ, ගුවන් යානා වල දෙදරුම්කන එන්ජින් හඬ සියල්ලම ක්‍රමක් ක්‍රමයෙන් මැකී යනවා. මම ඉදිරියටම ගමන් කළා. යලිත් රාත්‍රිය එළඹුනා."


වර්තමාන ශ්‍රී ලංකික සමාජයේ ඇති අධ්‍යාත්මික රික්තකය හුරා කන යතිවරුන් ගැන මානසික රෝගියා මෙසේ කියයි.

"මා තුල ක්ලේශයන් පිරිලා, මට ක්ලේශයන්ගෙන් මිදෙන්නට අවශ්‍ය යි. මම අධ්‍යාත්මික පරමාදර්ශය සොයාගෙන ගියා. සේනාසනෙන් සේනාසනයට, අසපුවෙන් අසපුවට, මට මුණගැසුනා තමන් සෝවාන්, සකෘදාගාමී මාර්ග එලයන්ට පත් වූ බව දිවුරා කියූ පුද්ගලයන්. මම ඔවුන්ගේ දෙපා අසල දොහොත් මුදුනින් වැඳ වැටුනා. නමුත් කෙටි කාලයකින් මම තේරුම් ගත්තා ඔවුන් තුල, මා තුල ඇති ක්ලේශයන්ම තිබෙන බව. ඔවුන් තුල දස සංයෝජන වල මුල්ම තුන වන සක්කාය දිට්ඨි, විචිකිච්චා සහ සිලබ්බතපරාමාස ප්‍රහීන වෙලා තිබ්බේ නැහැ. ඔවුන් ඒ සංයෝජනයන් ප්‍රහීන කිරීමට පිළිපන්නේ නැති පුද්ගලයන්. ඒ නිසා ඔවුනුත් මම වගේම පෘථග්ජන පුද්ගලයන්. මට වැටහුණු සත්‍ය මම ඔවුන්ට කියලා දුන්නා, ඔවුන් ඉන්න මුළාව ගැන පැහැදිලි කරා. නමුත් ගලා එන ධනය, යසස, කිර්තිය නිසා ඔවුන්ගේ ඇස් ගිනිකණ වැටිලා. ඔවුන් සිටියේ සත්‍යට බොහෝ ඈතින්. ඒ නිසා මම ඔවුන්ව හැරපියා මගේ ගමන ගියා.

සත්‍ය සොයාගෙන යන ගමනේ දී, මට මුණ ගැසුනා නාරායන භද්‍ර භික්ෂුව. එම භික්ෂුව මට ප්‍රකාශ කළා තමන් අනාගාමී වූ උත්තමයෙක් බව. කාම රාග, පඨිඝ ආදීන්ගෙන් වෙන් වූ උතුමෙකු ලෙසටයි එතුමන් පෙනී සිටියේ. මට මහත් ධර්ම තුෂ්ටියක් සිතට ආවා. මා සොයමින් සිත් අධ්යාත්මික පරමාදර්ශය නාරායන භද්‍ර භික්ෂුව තුලින් හමු වීම ගැන. කාමච්ඡන්ද, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡාව යන නීවරණයන්ගෙන් මිදුණු උත්තම පුරුෂයෙක්. මම නාරායන භද්‍ර භික්ෂුව ගේ පාද නමස්කාර කළා. මම එතුමාගේ භක්තිමත් අනුගාමිකයෙක් උණා. නාරායන භද්‍ර භික්ෂුව අපට කීවා, සියලු අසාවන් අත් හරින්න කියලා. විමුක්තිය ලැබීමට අපගේ ධනය, ඉඩකඩම් අත් හැර යුතුයි කියලා. විවාහක අනුගාමිකයන්ට ලිංගික සම්බන්ධතා පවා නුසුදුසු බව දේශනා කරා. අපගේ ධනය පොදු යහපත උදෙසා නාරායන පදනමට පරිත්‍යාග කරන්න කිව්වා. සමහරු තමන්ගේ ඉඩකඩම්, ගෙවල් දොරවල් පවා ඒ පදනමට ලිව්වා.

කාලයක් යනකොට මට හැඟීමක් ආවා නාරායන භද්‍ර භික්ෂුව තමන් විසින්ම මුලාවකට පත් වී බුදු දහමේ හරය විකෘති කොට, බුද්ධ දේශනාවක් ලෙසට තමන්ගේ අදහස් සියුම් ව ප්‍රකාශ කරනවාදෝ යි කියා. එය පාපකාරී සිතුවිල්ලක්. මම එම සිතුවිල්ල සිතෙන් ඉවත් කරගන්නට උත්සහ කළා. නමුත් එතුමාගේ බණ අසන අසන වාරයක් පාසා මට හැඟෙනවා, මේ බුදු බණ නොවේ නාරායන භද්‍ර සංකල්පයන් කියලා. කෙටි කාලයක් යනකොට මට තේරුනා නාරායන භද්‍ර භික්ෂුව ධනව්‍යාපාර වලට ලොල් වෙලා කියලා. එතුමා ලියපු ග්‍රන්ථයක් ගැන ප්‍රචාරයට විශාල ඩිජිටල් බැනර් සඳහා මට මුදල් දෙන්න කිව්වා. මම බැංකු පොතේ තිබු මුදල් වගයක් දුන්නා. පසුව මම දැක්කා හන්දියක් හන්දියක් ගානේ එතුමාගේ මුහුණ සහිත ඩිජිටල් බැනර්. මට හිතුනා මෙතරම් විතරාගී පුද්ගලයෙක් ඇයි මමත්වය හුවා දක්වන්නේ කියලා."


සමාජ ක්‍රියාධරයන් මුලාවේ වැටීම ගැන වින්සන්ට් ලංකාතිලක චරිතය හරහා කතුවරයා මෙසේ කරුණු දක්වයි.

මගේ ගමන යනකොට මම දුටුවා මංමුලා වූ මිනිසුන්. සමහරු හිතා මතා මංමුලා වෙලා. සමහරු තමන්ගේ පැවැත්මට මංමුලා වෙලා. සමහරු තමන් මුලාවේ කියලා දන්නෙත් නැහැ. හරියට සිංහල ජාතිකවාදයට විරුද්ධ වෙලා සිංහල ජාතිකවාදය විවේචනය කරමින් යන සමාජ ක්‍රියාකාරිකයා තමන් නොදැනුවත්වම දෙමළ ජාතිකවාදයට යට වෙනවා වගේ. ඔවුන් සිතනවා, ඔවුන් විශාල දුරක් ගමන් කළා කියලා. නමුත් ඒක, වාන් දොරකින් පිට වෙලා තවත් දොරකින් යලි සොරොව්වට ඇතුල් වෙලා. ඔවුන් දියසුලියක් වගේ එක තැන කැරකෙනවා. එක ජාතිවාදයකින් මිදෙන කොට තවත් ජාතිවාදයක අනුයෝතයන් වෙලා.

වින්සන්ට් ලංකාතිලක මුලාවන් දකින්නේ මෙසේ ය.

"මම දිගටම ගමන් කළා. මිනිසුන් වැටෙන මුලාවන් දකිමින් මම ඉදිරියටම ගියා. මම කනාන් දේශය පසු කරගෙන ගොස් අරූපලන්තයට පැමිණියා. මිනිසුන් එහි මහා මාර්ගවලත් පොත් කියවනවා. කියවීමට උපන් ජාතියක්. ඔවුන්ට නාට්‍ය සහ චිත‍්‍රපට කලාවකුත් තිබුනා. නමුත් මට කෙටි කාලයකින් තේරුනා මිනිසුන්ගේ රසාස්වාදය ඒකාකාරිව කෘතිමව ගොඩනගලා තියන බව. පොත් පළ කලේ ලේඛකයෝ සීමිත ප‍්‍රමාණයක්. ඔවුන් ජිවත් උනේ මහා ධනකුවේරයන් ලෙසට. අරූපලන්තයේ සිරගෙවල් පිරි තිබුනේ අපරාධකරුවන්ගෙන් නෙවෙයි- වාරණ නීතිය දාපු ලේඛකයන් , නාට්‍යකරුවන් සහ චිත‍්‍රපට අධ්‍යක්ෂකවරුන්ගෙන්. මම එහි ගත කල කාලයේදී, එක් චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයෙක් එල්ලා මරා දැමීමට නියමිතව සිටියා. ඔහුගේ අභියාචනය විභාග වෙමිනුයි පැවතියේ. අරූපලන්තයේ ලේඛකයන් ලියන සියලුම අත් පිටපත් එම රට පාලනය කරන ඒකාධිපතියා අනුමත කල මණ්ඩලයකට යවනවා. ඒ මණ්ඩලය විසින් අත් පිටපත් වල නුසුදුසු කොටස් කපා දමා පළ කිරීමට සුදුසු කොටස් පමණයි ප‍්‍රකාශකයන් වෙත යවන්නේ. නාට්‍ය, චිත‍්‍රපට සඳහාද මෙම නීතිය බලපානවා.

සමහර ලේඛකයන් වාරණ නීති කමින් අත් පිටපත් ගල් අච්චුවේ ලා මුද්‍රණය කොට රහසින් පාඨකයන් අතර බෙදා හරිනවා. මෙවැනි වාරණ සාහිත්‍ය ඔවුන් අතර ජනප්‍රියයි. ඒවා රහසින් තමයි කියවන්නේ. ඒකාධිපතියා ගේ වරුණ ගැන සඳහන් වන පොත් පත් පමණක් කියවලා වෙහෙසට පත්ව සිටින අරූපලන්තයේ වැසියෝ, ගල් අච්චුවේ ලා මුද්‍රණය කරන, තම සමාජයේ සිදු වන අසාධාරණයන්, පාලක පන්තිය විසින් කරන අකටයුතුකම් , පීඩිතයන්ගේ ජීවිත ගැන දැනගන්නේ මෙම රහස් සාහිත්‍ය කියවලා. ඒ ඔස්සේ කෙටිකතා, නවකතා, කවි නිර්මාණය වෙනවා. මේ සියලු දේම තහනම් සාහිත්‍ය ගොන්නට වැටෙනවා. සමහර නාට්‍යකරුවන් සමාජ අසාධාරණයන් තේමා කොටගෙන රහස් නාට්‍ය අධ්‍යක්ෂණය කොට ඒවා සමහර ගොඩනැගිලි වල, පතුල්මාල වල, තෝරාගත් සීමිත ප්‍රේක්ෂකයන් පිරිසකට පෙන්වනවා. වාරණ සාහිත්‍යය ගැන සොයා බැලීමට රජය විසින් පත් කරන ලද, සාහිත්‍ය පොලිස්කරුවන් මෙවැනි පිරිස් සමග ගැවසිලා වාරණ සාහිත්‍ය වපුරන්නන්ව සිරභාරයට ගන්නවා.

එක මහළු ලේඛකයෙක් සිටියා, ජිවිතන්තයට සිර ගෙදරට යවපු. ඔහු සිර ගෙදර බිත්ති වල අඟුරු කැට අරගෙන කෙටි කතා, කවි ලිව්වා. ඔහු මෙහෙම කරන කොට පාලකයන් ඔහුට පහර දීලා, අතේ ඇඟිලි කඩලා දැමුවා ලිවීමට නොහැකි වන ලෙසට. ඉන්පසුව මෙම මහළු ලේඛකයා අනෙකුත් සිරකරුවන්ට ඇසෙන්නට ඔහුගේ නිර්මාණ කියන්න ගත්තා. සහෝදර සිරකරුවන් ඒවා අහගෙන ඉඳලා, ඒවා කටපාඩම් කර ගෙන, එලියට ගිහින් මිනිසුන්ට කියනවා. මේ වගේ ඔහුගේ තහනම් කරපු කෘති, වේගයෙන් අරූපලන්තයේ ජනතාව අතර පැතිර ගියා. ජනතාව අතරින්ම උද්ගෝෂණ ආවා මහළු ලේඛකයාව නිදහස් කරනු කියලා. උද්ගෝෂණ එන්න එන්න වැඩි වෙනකොට පාලකයන් මේ මහළු ලේඛකයාගේ කෑමට රහසින් වස දැම්මා. ඉන් රෝගාතුර වූ ඔහු මිය ගියා. ඔහු දැන් අරූපලන්තයේ නිල නොලත් මහා ලේඛකයා. රාජ්‍ය අනුග්‍රහය ලැබූ මහා ලේඛකයන් සිටිය ද, ඔවුන් කිසිවෙකු මහජන පිළිකුලට මිසක්, මහජන බුහුමනට පාත්‍ර වෙලා නැහැ. ජනතාව බොල් පිළිම වන්දි භට්ටයන් මායිම් නොකර අර මහළු ලේඛකයාගේ ගෙවී ගිය පරණ මිරිවැඩි සඟල වන්දනා කරනවා. වන්දි භට්ටයන් පාලකයන්ගේ ගුණ ගී ගායනා කල ද, මිනිසුන් නැසූ කන් ඇතිව සිටිනවා. පාලකයන්ගේ පුද්ගල වන්දනාව ඔවුන් තුල ඇති කරන්නේ පිළිකුලක්. මට සිතුනා මේ පාලකයෝ සියලුම දෙනා ඉන්නේ තමන් විසින් ගොඩ නගාගත් මුලාවක නේද කියලා. පිරමිඩයක ආකාරයෙන් මේ මුලාව පහළට ගලා ගෙන එනවා. තර්කානුකුල බුද්ධිය ඇති අතලොස්සක් හැර අනෙකුත් පාලිතයන් සියල්ල වගේ මේ මුලාව හිස් මුදුනේ තබා ගෙන."


ඉබිසා නගරයට යන විසන්ට් ලංකාතිලක නම් මානසික රෝගියා එය පුජනිය නගරයක් ලෙස දකියි.

"ඉබිසා නගරය ඔබට අමතක කල හැකිද? සංගීතය සහ රිද්මය පිරි මධ්‍යධරණි උණුසුම් සුළඟ රැගත් ඉබිසා නගරයේ දැකුම්කළු රැයක්. මනස්කාන්ත වෙරළ, වේග රිද්ම ගීතයට නටන මිනිසුන් හා කාන්තාවන්. ජීවිතය දුකක් කීවේ කවරෙක්ද? ඉබිසා නගරයේ මම දැක්කේ උතුරා යන සතුට. ඉබිසා නගරයට මුලින්ම ආවේ කොරියානු සහ වියට්නාම යුද වලට සහභාගී වීම ප්‍රතික්ෂේප කල ඇමරිකානු තරුණයන්. කරුණාකර ඔවුන්ව යුද විරෝධී මානවාදීන් කියා උත්කර්ෂයට නග්ගන්න එපා. ඒ වගේම රට වෙනුවෙන් යුද කිරීම ප්‍රතික්ෂේප කල දේශ ද්‍රෝහියන් කියා හෙලා දකින්නත් එපා. ඔවුන් වීරයන් හෝ ද්‍රෝහියන් නොවේ. ඔවුන් ජීවිතය තෝරාගත් මිනිසුන්. මේ පෘතුවි ගෝලයේ පිහිටා ඇති එක් තෝරාගත් භූමියක් වෙනුවෙන් යුද වැදී මියයාමට, දේශපාලන සංකල්පයක් වෙනුවෙන් මිනී මැරීමට, උණ්ඩයට ළය පෑමට ඔවුන්ට අවශ්‍ය උනේ නැහැ. ඔවුන්ට උවමනා කලේ ජීවිතය විඳින්න. ඉතින් ඉබිසා නගරය ඔවුන්ට ක්ෂේම භූමියක් උණා. ඔවුන් සංගීතය හා ජිවන රිද්මය සොයාගෙන ගියා. පුපුරා යන අර්ටිලරි හඬ, කීන් නාදයෙන් මරණයේ පණිවිඩය රැගෙන එන උණ්ඩ වල හඬ, මිනිස් ශරීර යකඩ කෑලි වලින් හිල් වී යන විට නැගෙන විලාපය, ශරීර වේදනාව නිසා නඟන හඬ, සතුරාට සාප කරන ක්‍රෝධ ස්වරය, හුස්ම හිරවන මිට උගුරින් නැගෙන බොල් හඬ, සියලු දෙනා මිය ගිය පසු යුද බිමේ ඇතිවන නිහඬතාවය , මේවා කිසිම දෙයක් ඔවුනට අවශ්‍ය කෙරුනේ නැහැ. ඔවුන්ට අවශ්‍ය කලේ, උදෑසන හිරුරැස් වල උණුසුම ලබන්න. දහවලට උණුසුම් සුළං හමන විට මුහුදු රළ අතර කිමිදෙන්න. හවසට ඉර සක්වලගල යටින් බැස යනවා බලන්න. ඔවුන්ට නම්බු නාම, විරු පදක්කම්, ආචාර වෙඩිමුර අවශ්‍ය කලේ නැහැ. ඔවුන් උණුසුම් හැඟීම් තිබු මිනිසුන් පිරිසක්. ප්‍රීතිමත් නගරයක් නිර්මාණය කළා. උදේ සිට රාත්‍රිය දක්වා ජීවිතය විඳිය හැකි නගරයක් ඔවුන් සැදුවා. යුද අගල්, බංකර, කඳවුරු, කටුකම්බි , බිම් බෝම්බ, උණ්ඩ, නැති ලෝකයක් නිර්මාණය කල හැකි බවට මේ අව්‍යාජ මිනිසුන් පෙන්නා දුන්නා. යුද්දය දේශනා කරන පුජකයන්, දේශප්‍රේමය ගැන දෙසුම් පවත්වමින් තම බලය තහවුරු කර ගන්නා දේශපාලකයන්, ආයුධ විකුණා ප්‍රකෝටිපතියන් වූ වෙළෙන්දන්, සටනින් මියගිය සොල්දාදුවගේ මළකඳ පවා විකුණගෙන කන ගිජුලිහිණියන් මේ ඉබිසා නගරයට පා තැබුවේ නැහැ. ඒ නිසා ඉබිසා නගරය පුජනිය නගරයක්."

ඉබිසා නගරයට පසු ඔහු තවත් නගරයකට පැමිණේ. මේ එම නගරයේ විස්තර සටහනයි.

"ඉබිසා නගරය පසුකොට මම ගියේ තවත් නගරයකටයි. මේ නගරය චන්ද්‍ර නගරය. මිනිසුන් ස්වභාවික සම්පත් අසීමිතව විකුණගෙන කනවා. ඔවුන් ඒ නිසා සුපිරි ධනවත්. නමුත් තවම සමාජයික අතින් ඉන්නේ ගෝත්‍රික යුගයේ. ඔවුන්ගේ නගරය ඉතා අලංකාරයි. නිවාස මාලිගා වගේ. නගරයේ මැද තිබුණා උයනක්. ඒ උයන හරිම මනස්කාන්තයි. නදුන් උයන පරදන සිරිය. මට ඇසුනා ගෝසාවක්. මිනිසුන් කණ්ඩායමක් රූමත් ගැහැනියක් කුදලාගෙන එනවා. ඇයව උයන මධ්‍යයේ කිරිගරුඬ ඇතිරූ ගෝලාකාර පොලව මතට තල්ලු කලා. ඇය කිරිගරුඬ පොලවේ ඇද වැටුනා. අයි මේ පිරිමි සේනාවක් එක තනි ගැහැනියකට හිරිහැර කරන්නේ. මම ළඟ සිටි මිනිසාගෙන් ඇසුවා. ඔහු කිව්වා, ඇය පව්කාරියක්. ඇය පිරිමියෙකු සමග අනාචාරයේ හැසිරිලා කියලා.

ඒ අසරණ ගැහැණියව, අඩ කවයක ආකාරයට පිරිමින් වට කර ගත්තා. ඒ එක්කම තව මිනිසෙක් කුඩා අත් කරත්තයක පටවාගෙන දොඹ ගෙඩි ප්‍රමාණයේ ගල් තොගයක් ගෙනාවා. ඒ ගල් බෑවේ මිනිස් අඩ කවය ළඟ. වටවී හිටිය මිනිසුන් ගල් අහුරු අහුරු අත් වලට ගත්තා. ඔවුන් ගල් ගැනීමට පොර කෑවේ පොඩි ළමයි සිනි බෝල වලට පොර කනවා වගේ. මම අර මිනිසාගෙන් ඇසුවා දැන් මොකද වෙන්නේ කියලා. ඔහු කිව්වා ඇයට දඬුවමක් ලෙසට අනාචාරයේ යෙදුනු මේ පව්කාරියට ගල් ගසා මරා දැමීමට යනවා කියලා. මම එහිදී ඔහුගෙන් ඇහුවා, ඇයි ගැහැණියට විතරක් ගල් ගහන්නේ ? ඇය සමග අනාචාරයේ යෙදුනු පුරුෂයා, ඔහුත් පව්කාරයෙක්, ඇයි ඔහුවත් මෙතෙන්ට කුදලාගෙන ඇවිල්ලා දඬුවම් නොකරන්නේ කියලා. එතකොට අර මිනිසා මා දෙස බැලුවේ දවා හළු කරන ක්‍රෝධයෙන්. මම නිහඬ උනා.

ලෝගුවක් පොරවාගෙන සිටි එක් මහලු පුරුෂයෙක් ඇයට විරුද්ධව ඇති චෝදනා එකින් එක කිව්වා. ඉන් පසු ඔහු තම අත තිබූ ගල ඉස්සුවා ඇයට ගැසීමට. මට බලාගෙන සිටීමට හැකියාවක් තිබුනේ නැහැ. මම අසරණ ගැහැණිය ඉදිරියට පැන්නා. සහෝදරවරුනි ඕක මොහොතකට නවත්වලා මම කියන එක අහන්න, මම උස් හඬින් කිව්වා. ඔවුන් සියලුදෙනා එකපාරටම ගැස්සිලා මා දෙස බැලුවා. දැන් සියලුදෙනාගේම ඇස් මා දෙසට යොමු වෙලා. මම ඔවුනට කිව්වා, "සහෝදරවරුනි, මෙතන පව් නොකරපු කෙනෙක් ඉන්නවනම් පළමු ගල ගසන්න" කියලා. සෙනග එකිනෙක සමග කොඳුරනවා. එක් මිනිසෙක් මා ලඟට ඇවිල්ලා මාව පසෙකට තල්ලු කළා, බොරුවට ක්‍රිස්තුස් වෙන්නේ නැතුව අහකට පළ කියලා. ලෝගුව පොරවාගෙන සිටි මහලු පුරුෂයා කිව්වා, මම කිසිම දවසක ගැහැණියකගේ පහස සොයා ගෙන ගිහිල්ලා නැහැ ඒ නිසා මම පව්කාරයෙක් නෙවෙයි කියලා, තඩි ගලක් අරගෙන අර ගැහැණියට ගැහැව්වා. ඒක වැදුනේ ඇයගේ නළලට. ඒ සමගම, අනෙක් මිනිසුන් ඇයට ගල් ගසන්න පටන් ගත්තා. ගැහැණිය වේදනාවෙන් මොර දෙනවා. ඇයගේ සිරුරට වැදෙන ගල් වල හඬ මට ඇසෙනවා. ඒක හරිම බොල් හඬක්.

මටත් තිරිසන් ආසාවක් ඇති උනා ඇයට ගල් ගැසීමට. මටත් චන්ද්‍ර නගරයේ පුරුෂයෙකු වෙන්න අවශ්‍ය උනා. මමත් ගලක් අහුලාගෙන සෙනග අතරින් රිංගලා ඉලක්කය අරගෙන, අර ගැහැනියගේ ඔළුවට ගැහුවා. ඒක වැදුනේ ඇයගේ වම් කම්මුලේ. එතනින් ලේ ආවා. මට ඇයට ගල් ගසන්න පුදුමාකාර ආසාවක් ඇතිඋනා. මම ගල් වලින් මගේ සාක්කු පුරවාගෙන, සෙනග තල්ලු කරගෙන ඉදිරියට ගිහිල්ලා අර වැටිලා ඉන්න ගැහැණියට ගැහුවා. ගල් ඇයගේ ශරීරයේ වැදෙන්න වැදෙන්න මට දැනුනේ පරපීඩාකාමී ආශාවක්. මේ මිනිසුන් සියලුමදෙනට ඒ ආශාව දැනෙන බව මට තේරුනා. ගැහැනියගේ අඳෝනාව, වේදනාවෙන් කෑ ගසන හඬ, අපගේ හැඟීම් උද්දීපනය කළා. අපි තරගයට ගල් ගැසුවා. බොහෝ වෙලාවක් ගල් ගැසුවා. අපේ කමිස දහදියෙන් පෙඟෙන තුරු ගල් ගැසුවා. ගැහැණිය මැරිලා, ඒත් අපි ගල් ගැසුවා. ඇයගේ ශරීර මස් තැළිලා, ඒත් අපි ගල් ගැසීම නැවැත්තුවේ නැහැ. ඇයගේ මළකුණ හප වන තුරු අපි ගල් ගැසුවා. අවසානයේ අඳුර වැටිලා ඉල්ලක්කය ගැනීමට ඇයගේ මළකඳ පෙන්නේ නැහැ. නමුත් අපි ඉල්ලක්කය අනුමාන කරගෙන ගැහුවා. සඳ පෑයුවා, අපි සඳ එලිය ආධාරයෙන් හප ගිය මිනිස් කුනුපයට ගල් ගැහුවා. ගල් ඉවර වෙනකොට අර හපය ලඟට ගිහින් ලේ තැවරුණු ගල් අරගෙන ආවා. අවසානයේදී, එතන තිබුනේ විසිරි ගිය මස් කෑලි තොගයක් විතරයි. මිනිසෙකු තවත් මිනිසෙකු විනිශ්චය කිරීම, ඔහුට හෝ ඇයට දඬුවම් දීම කොතරම් සුමිහිරි දෙයක්ද. එහි ප්‍රීතිය නියමාකාරයෙන් භුක්ති වින්ඳේ අද. මට විශාල ප්‍රීතියක් දැනුනා. උඩ පනින්න, ගී ගයන්න, නටන්න මගේ සිත උද්දාමයෙන් පිරිලා. චන්ද්‍ර නගරය කොතරම් අනගි නගරයක්ද? ගැහැනුන්ට ගල් ගසා මරා දමන, වරදකරුවන්ගේ අතපය කපන, ප්‍රසිද්ධියේ මිනිසුන්ට කස පහර දෙන අපේක්ෂාවේ නගරය.

චන්ද්‍ර නගරයේ ජීවිතය ඉතා සරලයි. එක්කෝ තහනම් නැත්නම් අනිවාර්යයයි. ඉන් අතර මැද විකල්පය නැහැ. සෑම දේම තීරණය කලේ පැරණි ශුද්ධ ලියවිලි වල තියන නීති අනුව. ශුද්ධ ලියවිල්ලක තිබුනා නම් මිනිසා ආහාර ගත යුත්තේ මුඛයෙන් නොව නාසයෙන් කියලා, අනිවාර්යෙන්ම මිනිසුන් එය පිලි පැදිය යුතුයි. කිසිවෙකුට ශුද්ධ ලියවිල්ලේ තථ්‍යතාව ප්‍රශ්න කරන්න තහනම්. එයට විරුද්ධ අදහස් දැරූවන්, මිථ්‍යා දෘෂ්ටිකයන්. ඔවුන් ගෙල කපා මරා දැමිය යුතුයි. මා තුල සිටි පරපීඩකයාට රිසි සේ තෘප්තිය ලබා දුන් චන්ද්‍ර නගරය. මම නුඹට සුභ පතනවා. මගේ ගමන මා යා යුතුයි, ඒ නිසා මම අමාරුවෙන් චන්ද්‍ර නගරයට සමු දුන්නා."


නිකිටා මිකාලොව් ගේ Burnt by the Sun චිත්‍රපටය සිහිපත් කරවන රතු විප්ලවය මගින් විප්ලවයේ ක්‍රියාධරයන් විනාශ කිරීම ගැන මානසික රෝගියාගේ තම වෛද්‍යවරයාට පවසන්නේ මෙසේය.

"මම කඳුවැටිය තරණය කළා. මම දුටුවා ඈතින් පායා ඇති හිරු. මිනිසුන් පිරිසක් කඳු පාමුල, රැස්වීමක් වගේ. ඔවුන් රතු පැහැති කොඩි අරගෙන ඈතින් පෙනෙන හිරු දෙසට යනවා. ඔවුන් හිරු ගේ රක්ත වර්ණ පැහැයට වශී වෙලා. ඔවුන් ගෙනයන ධජ, හිරුගේ පැහැය. යන ගමන් ඔවුන් සටන් පාඨ කියනවා. උද්යෝගය පිරිලා. මම ඈත සිට බලාගෙන හිටියා. ඔවුන් දිගටම ගමන් කලේ සුර්යා දෙසට. මුළු අහසම රතු පාටයි. අහසේ රතු පැහැය තව තවත් වැඩි උනා. දැන් මුළු අහසම ලේ රතු පාටයි. හිරුගේ රශ්මිය එන්න එන්නම වැඩි වෙනවා. එත් මිනිසුන් පිරිස හිරු දෙසටම යනවා. මම කඳු වළල්ලට මුවා වෙලා ඔවුන් දෙස බලා සිටියා. තද හිරුගේ රශ්මිය වැදිලා ඔවුන් පිලිස්සී ගියා. එහෙත් ඔවුන් ගමන නතර කරන්නේ නැහැ ඉදිරියටම යනවා. ක්‍රමක් ක්‍රමයෙන් ඉදිරියෙන් යන මිනිසුන් දැවී අළු වී ගියා. ඔවුන්ව පරයා ගෙන දෙවන පෙළ යනවා. ඔවුනුත් දැවෙනවා. මෙසේ සියලුම දෙනා රක්ත වර්ණ සුර්යා විසින් දවා හළු කරනු ලැබුවා. ඒක භයානක දර්ශනයක් ඩොක්ටර්, නමුත්, මිනිසුන් ඔවුන් ප්‍රේම කල හිරු නිසාම විනාශ උනා. විනාශය පැවත්මේම එක් අංගයක් වෙන්න ඇති....."

"මානසික රෝගියා ගේ පරිකල්පනය" කෘතිය සිංහල සාහිත්‍යයේ මෙතෙක් පළ නොවූ අන්දමේ කෘතියකි. එය අර්ධ නවකතාවක්, විස්තර ප්‍රකාශයක්, ඓතිහාසික විශ්ලේෂණයක් යනා දී ප්‍රවර්ග රැසකට අයත් වන නිර්මාණයකි. මෙය සිංහල පාඨකයාට අමුතුම අත්දැකීමක් ගෙන දෙන කෘතියක් වනු ඇත.

ඒ. එස්. වික්‍රමසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails