Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"අහා!
සුන්දර ද කොතරම්

ශෙල් වෙඩි නැති අහස
දුම් ගඳ නැති පවන
බාධක නැති ගමන
තුන් බිය නැති උතුර

වරෝවර සකියනි
සහපිරිවර කැටුව
යන්ට යාපා පටුනට
විනෝදෙට සති අග

දරා අත සිහ ධජ
නගා සිහියට
වල්ලිපුරම් රන් පත

යුද ලකුනු බලන්ට
සොහොන් පිටි ගනින්ට
මුදා ගත් පෙදෙස්වල සරන්ට
තිස් වසක හපන්කම් නරඹන්ට

අලිමංකඩ පනින්ට
කලපු සිරි විඳින්ට
නාගදීපය වඳින්ට
බුදුන් වැඩි බිම සිඹින්ට
විරුවන් දිවි පුදා රැකි
උරුමය දකින්ට

කටුක සරතස නිවන්ට
ආඬි ලිඳකින් නාන්ට
ඩෙල්ෆ්ට් දූවට වැද
වල් අශ්වයන් හඹන්ට
විජිත නටබුන් බලන්ට

හමුදා රැකවල මැද
දෙමල ගෙදරක
නාඩු බත ඉදවන්ට
රෑට පැදුරක් ලබන්ට

එන ගමන්
නල්ලූර් කෝවිලට ගොඩ වෙන්ට
පොලයකුත් ගසන්ට
තල් හකුරු-
කොට්ට කිලංගු කන්ට
මිදි පොකුරු ලාබෙට ගන්ට

ඒකීය රටේ ඇවිදින්ට
දැන් ඉතින් මොන තහනම ද?"

*****

"ආවත් ඔබ
නිරුදක වැලිකතරට
විලුම්පිත උතුරුකරයට

නැති ඉහට සෙවනක්
ගිනිබත් නොවූ පියෙසක්
වෙඩි නොවැදුනු ගසක්
නොතැලුනු කුසුමක්

සැරිසැරුවත්
නොදැවුනු සුන්බුන් අතර
ලේ වැකි පුදබිම්-
වැනසුනු ගොවිබිම් මැදින
බාගෙට පිලිස්සුනු
මස් වැදලි-
ඇට කැබලි මතින

කියෙව්වත් පුවරු
සිංහලෙන් ලොකුවට ලියපු
අසිංහල ගම්වලට
සිංහල නම් තැබුනු

පිදුවත් පඬුරු
පුල්ලෙයාර් අබියස
තැබුවත් නලලත තිරුනීරු-
සන්දන පොට්ටු
කන් දුන්නත් නාදස්වරමට-
මර්ලම් හඬට

කෑවත් පිනාටු
තොල ගෑවත් පදනීරු-
පනං කල්ලු
පෑවත් කෑදර ඉඟි
තංගච්චිලා හට
විපරම් කලත් හාත්පස
ඕලන්ද පවුරට නැග

නොගියේ ද ඇස
දා ගිය පොත්ගුල දෙස
දෙපලු වූ ශිව ලිඟු-
පතුරු ගිය සෙල් ලිපි වෙත
නොලැබී ද හෝඩුවාවක්
වැලලුනු උරුමයක් ගැන

හමු නොවිනි ද
තැති ගත් කිරි දෙනුන්
තටු සිඳුනු විහඟුන්
සී සී කඩ ගිය පැටවුන්
ලැබුනා ද අබැටක්
කිසිවෙකු නොමල ගෙයකින්

නොතැබී ද පය
අවතැන් දන ගාල් කල
තෙතබරි කඳවුරු වෙත
බලු මැක්කන්-
නිල මැස්සන් ගහන
ඉහඳ පනුවන් නලියන
අතීසාරය පැතිරෙන

එබී නොබැලී ද
රැඳවුම් කුටි තුලට
නොපෙනිනි ද
ගෙඩි ගැසුනු ඔලු-
බිඳුනු පිටකොඳු හෙම
නෑසිනි ද හීන් කෙඳිරිලි
හද සසල කරවන

අහෝ!
සුන්දර ද එතරම්

තල් අරඹ යට
මුකවාඩම් ලූ උවන්
තල් වැටෙන් පිටට නෑසෙන
ජාතියකගේ සුසුම්?"

(පුල්ලෙයාර්- ගන දෙවි, තිරුනීරු-"ශුද්ධ වූ අලු", සන්දන පොට්ටු- පිරිමි තබන කසාවන් තිලක, නාදස්වරම්- දිගු නලාව, මර්ලම්- දමිල බෙරය, පිනාටු- රසකැවිල්ලක්, පදනීරු- තෙලිජ්ජ, පනං කල්ලු- තල් රා)

දර්ශන මේදිස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails