Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"පුදුවෛ අරන් ගිය බවට පැහැදිලි සාක්ෂි තියෙනවා. මනුස්සය කලා, සංස්කෘතික අංශෙ නායකයා. අවම වශයෙන් පුදුවෛ ඉන්නවද නැද්ද කියලවත් හෙළිදරව් කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරමු. පුදුවෛ දැවැන්ත කවියෙක්. හැම නිතරම තොරොම්බල් කෙරෙන ශී‍්‍ර ලාංකීය කියන වචනයෙ සංස්කෘතිය කියන කාරණාව කොටින්ම ඔය කියන ශී‍්‍ර ලාංකීය කවිය ගැන පුදුවෛ කියන නම අතෑරල කියවන්න පුළුවන් කමක් නෑ. අවම වශයෙන් කවි ලියන අයවත් පුරෝගාමී වෙලා මේ ලියවිල්ල හදමු. ගැටළුවක් නෑ මුලින්ම, මං අස්සන් කරන්නම්."

මම එළෙස මිත‍්‍ර කවීන් කිහිපදෙනෙකුට ලියා යැව්වෙමි. මා රාවයේ කවි පිටුව කළ සමයේ, මෞනත්තින්කුරල් නමින් එහි වූ දෙමළ කවි පත් ඉරුව වෙනුවෙන් මිත‍්‍ර සාමිනාදන් විමල් විසින් ‘සුළඟ ඇවිත්’ මැයෙන් සිංහලට නඟන ලද්දාවූ වූ පුදුවෛගේ කවිය ද අමුණා යැවුවෙමි. විමුක්ති කොටි සංවිධානයේ නිල කවියා, තමන් උපන් බිමට කොතෙක් ඇලූම් කරන්නේද යන්න මා මිත‍්‍ර කවීන්ට විඳ ගත නොහැකි වී යැයි සිතන්නට මම මැලි වෙමි. එහෙත් ඔවුන් මා ලියමනට පිළිතුරු නො එවීමට තරම් උකටලී වූ හේතුව කිමෙක්ද? පුදුවෛගේ කවිය මෙබඳු ය.

මගේ සොඳුරු රට
එකට එක් කරන මාර්ගයාණෙනි.
නො නැසී ගලා බසින
සරුසාර සම්පත් දෙන ගංගාවෙනි.
ගංගා ඉවුරු බඩට වී
සුන්දර ලෙස හිස වනන
අහස උසට නැඟි
පුවක් රුක් ගොමුවෙනි.
උතුරුකරේ දුම්කොළ යායෙනි.
සංඝමිත්තා ගෙන ආ
බෝධි ශඛාවෙනි.
මඩකලපුවේ වැව්නි.
මාතලේ කඳු වැටියෙනි.
ඔබ අතරේ කිසිදු භේදයක්
නො දුටුවෙමු අපි
අප අතරට පමණක්
කෙළෙස පැමිණියේ ද එය?

පුංචිම පුංචි දූපතක්
රන්වන් රන් දූපතක්.
මොන තරම් පැහැසරව තිබුණි ද
අපේ මේ දූපත.
දුම්රියෙන් යද්දී දිස් වන
ඒ දසුන් පෙළ දුටුවත් ඇති
සා පිපාසා නිවෙයි.
කළු කපා අඳුර, වැටෙන විට ප‍්‍රභාතය
සීතලේ නික්මෙයි කොටුවෙන්
යාල්දේවී දුම්රිය.
එහි ජනෙල් බඩ අසුනක සිට
සෑම තැන පැතිරි පැහැසර විඳ ගනිමු.
රාගම පසු කර දුම්රිය යන විට
මී ගව රංචු දුව පැන නටයි
ගොයම් කැපූ කුඹුරු යායේ
තපස් රකින කොක්කුන්
ආඩම්බරයෙන් ඉගිල යයි
කෙතරම් දිනක් සුව වින්ඳෙමු ද
ඒ සොඳුරු දසුන්.
වේයන්ගොඩ නතර කර
නැවත පිටත් වූ පසු
සුදු පැහැ පුෂ්ප පෙළහරක් ලෙස
පාසල් ළමෝ දැක තුටු වුණෙමු
උකුලට දැරිය නොහැකි
යෞවනයේ බර
දිය රෙදි කඩකින් වසා ගන්නට
උත්සහ කරන
සිංහල තරුණියෝ දිනපතා දුටුවෙමු
පුංචි අත් ඔසවා "ටටා" කියා
සමුගත නොහැකිව දුම්රිය සමඟ
සමාන්තරව දිව එන දරුවෝ ගැන
සිතා අපි නිනව් නැතුව උන්නෙමු.
පොල්ගහවෙල පසු කළ විට
හිස වනයි පොල් ගස්
ඒ අතරින් පෙනෙන කඳු බෑවුම්
කුමන සුන්දරත්වයක්ද ගෙන ඇත්තේ.
නියර දිගේ මාරුවෙන් මාරුවට
දෙපය තබන පුංචි දරුවන් දැක
වශීකෘතව සිටි දවස් කොපමණද?
දුම්රිය පාර දිවෙන ගම්
ඒ ගම් වල නාඳුනන මනුෂ්‍යයෝ
කුඩා වීදි, කුඩා කඩ පෙළවල්
පාසල අහවරව කුඩ යටින් යන "ටීචර්ස්"ලා
හඬ දී ගෙන යන පැරණි බස්
හෝ යැයි හඬ නඟා ගෙන යන
ගංගා වලට ඉහළින් වූ පාලම්
බෝ ගස් යට පන්සල්
හාමුදුරුවරු.....

මේ හැම දසුනක්ම
මියෙන තෙක් රස විඳිය හැකි යැයි
සිතා උන්නෙමු අපි
තවමත් එසේමයි සිත
නමුත්.....

මගේ සොඳුරු රට
එකට එක් කරන මාර්ගයාණෙනි.
නො නැසී ගලා බසින
සරුසාර සම්පත් දෙන ගංගාවෙනි.
කුරුණෑගල "කුරුම්බා" විකුණන එකෙකුටත්
රාගම "රටකජු" විකුණන එකෙකුටත්
බියෙන් ගමන් යන දැන් කාලෙ
මේ දර්ශනයන්ගෙන්
දිස් වෙයිද පැහැසර බවක්?
වළාකුළු විත් වසා ගත් අහස
සුළඟ ඇවිත් පලවා හරින එකයි හොඳ
සුළඟ එසේ නොකර
දෑස් පියා ගෙන ඉන්නේ නම්.

මගේ සොඳුරු රට
එකට එක් කරන මාර්ගයාණෙනි.
නො නැසී ගලා බසින
සරුසාර සම්පත් දෙන ගංගාවෙනි.
අදම නැගිට හඬ අවදි කළ මැනවි
තවත් කල් පමා කිරීම
අයහපතක්..! අයහපතක්ය...!! අයහපතක්මය...!!!


ඉදින් මේ කවිය ලියූ කවියා සිටිනවාද නැද්දැයි අසන්නට අපට අයිතියක් නැද්ද? වෙසක් සඳ ගෙවෙමින් පවතින මැයි 18 වැනිදාට පුදුවෛ අන්තරස්දාන කොට වසර තුනකි. අපි තවමත් වෙසක් සිරි නරඹමින්, වෙසක් කවි තළුමරමින් සිටිමු.

යෝගරත්නම් යෝගී ගේ බිරිඳ ජයවතී උගත් පාඩම් කොමිසමට ලබා දුන් ප‍්‍රකාශයන්හි සඳහන් පරිදි වට්ටුවාහල් හිදී හමුදා අත්අඩංගුවට පත් ප‍්‍රධානීන් අතර පුදුවෛ රත්නතුෙරෙ කවියාද සිටිය බව පැහැදිලි ය.

"එදා 2009 මැයි 18 වැනිදා. මගේ සැමියා යෝගි, පුදුවෛ රත්නතුරෛ, ලෝරන්ස් තිලකර්, බේබි සුබ‍්‍රමනියන් ඇතුළු තවත් විශාල ප‍්‍රමාණයක් බස් රථයක නංවාගෙන රැගෙන ගියා. ඒ අය ගැන, අද තව වනතුරු කිසිම තොරතුරක් නෑ."

මා අවසන්වරට පුදුවෛ දුටු මොහොතේ ඔහු කිසියම් සංස්කෘතික කි‍්‍රයාදාමයක් උදෙසා, සංස්කෘතික ක‍්‍රියාකාරීන් පිරිසකට උපදෙස් දෙමින් සිටියේ ය. එය අවිධිමත් රැස්වීමක් බඳුව පෙනිණ. මම එම කුඩා ශාලාවේ කොණක කණුවකට බරවී පුදුවෛ කවියා දෙස බලා උන්නෙමි. ඔහු තම කතාබහ අතරතුර අහම්බෙන් මා දුටුවේ ය. එකෙනෙහිම මා නම උච්චාරණය කරමින් ඉදිරියට පැමිණි ඔහු මා වැළඳ ගත්තේ ය. ඔහුගේ නිහතමානීකම ඉදිරියේ මම අසරණ වුණෙමි. රාජකාරී කටයුත්ත හමාර වූ පසුව කතාකරමු යැයි මම ඔහුට කීවෙමි. එවිට ඒ මුහුණේ පැන නැඟුණ මන්හාසය තවමත් මා මනස අවුළුවාළයි. එතරම්ම ළෙංගතු, එතරම්ම සංවේදී මිනිසෙකු, එතරම්ම දේශපාලනික වූත් කවියෙකු මූලිකත්වය ගත් කලා, සංස්කෘතික ක‍්‍රියාදාමයක් විමුක්ති ක‍්‍රියාවලියකට කෙතරම්ම පෑහෙන්නේද යන්න පිළිබඳව මා කෙරෙහි නම් පවතින්නේ ගෞරව සම්ප‍්‍රයක්ත හැඟීම් සමුදායයකි. මා, දේශපේ‍්‍රමීන්ගේ ද්වේශයට ලක්ව දේශද්‍රෝහියකු බවට පත්වනුයේ, දේශයට පේ‍්‍රම කළ පුදුවෛ බඳු මිනිසුන්ගේ තථ්‍ය දේශපේ‍්‍රමීත්වය මා අනුදත් දේශපාලනය තුළ කියවීමට ලක්කරනා බැවිනි. "අපි, ලාංකිකයෝ" නො වන්නේ එබැවිනි. මෙකී අසංස්කෘතික ශ‍්‍රී ලාංකිකයන් විසින් පුදුවෛ රත්නතුරෛ නම් සංස්කෘතික මිනිසා අතුරුදහන් කොට තුන් වසරකි. කිසිදු සංස්කෘතික කතිකාවතක පුදුවෛ සළකුණ පෙනෙන්නට නැත්තේ අප කෙරෙහි වන පොදු ගෝත‍්‍රික සුලක්ෂණ නිසාවෙන් මිස අන් කවර කරුණක් නිසා ද?

පුදුවෛ වරක් මෙසේ ලීවේ ය.

"ශ‍්‍රී පාද කඳු මුදුනින් පමණි මා
හිරු උදාව දකින්නට ප‍්‍රිය කරන්නේ
එම අයිතිය මට අහිමි නො කරන්න"


පුදුවෛ රත්තිනතුෙරෙ යනු දකුණේ සමාජය හා ගැටගැහී උන් අචපල මාක්ස්වාදියෙකි. ඔහුගේ දේශපාලන පක්ෂය වූ යේ ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයයි. අනතුරුව හේ, ශන්මුගදාසන් නියමුවා වූ රෝහණ විජේවීර පවා නියෝජනය කළ එහි චීන පිලට ගොනු විය.

"මම බොහෝ කාලයන් ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයෙත්, එහිම චීන පිලෙත් සාමාජිකයෙක්. මම දකුණේ වාමවාදී දේශපාලනයෙන් මිදී උතුර හා ගැටගැහීමට නිශ්චිතම හේතුව වුණේ දෙමළ ජනතාව මත පැටවුණු විශේෂිත පීඩනය කෙරෙහි ඔවුන් දැක්වූ උදාසීන ආකල්පයයි. කොතැනක ජනතාව වධ බන්ධන වලට ලක් වෙනවද, ඒ සෑම තැනකම එයට එරෙහිව මම, මගේ හඬත් නඟනවා. 1971 ජවිපෙ කැරැල්ල ගැන පළමුවෙන්ම දෙමළ කවියක් ලිව්වෙ මම. 1971 ශ‍්‍රී ලංකාවට තීරණාත්මක වර්ෂයක්...... ජනතා විප්ලවයකට තිලකය තැබුවෙ එම වර්ෂයයි..... ඒ කවියේ එළෙස කියැවෙනවා. එය වැරදි විය හැකියි. ඒත් මෙම දේශයේ කම්කරු පංති විප්ලවයක් කළ හැකිය යන ආදර්ශ සිහිනයක් මගේ හිත තුළ තිබුණා. පසුව නැවත නැවතත් අපේ සමාජයේ පවතින පීඩනයට එරෙහිව හඬ නැඟූ පුදුවෛ රත්නතුරෛ යන කවියාට අපේ දේශය තුළම තමන් නියෝජනය කළ ජාතිය, මහා ජාතිය විසින් පීඩාවට පත් කරන විට ඊට එරෙහිව හඬ නැඟීමේ අවශ්‍යතාවක් ඇති වුණා."

ජාතික ප‍්‍රශ්නය පිළිබඳ තවමත් "ඇටිකෙහෙල් - උගුඩු" සරල සමීකරණයහි ගැලෙමින් සිටින රැඩිකල් වාම පාර්ශවයෝ, මර්ධන යන්ත‍්‍රය මත පිරිපහදු කරන ලද මාක්ස්වාදී පිරිත්පැන් ඉසිමින් සිටිති. තවදුරටත් දෙමළ ජනයා පීඩාවෙහිම ගිල්වා තබමින්, ඊනියා ලාංකිකත්වය දිව මතුරක් සේ මන්ත‍්‍රණය කෙරෙන සමාජයට මීට දස වසරකට පෙරාතුව පුදුවෛ ඉහතින් පැවසූ දෙයෙහි ම දිගුව යළි මෙළෙස උපුටනය කරමි.

"මා කොමියුනිස්ට් පක්‍ෂයේ ඉන්න යුගයෙදි මම කීවා මම ශ‍්‍රී ලාංකිකයෙක් කියලා. එතකොට සිංහල මහා ජාතිවාදය කීවා, නෑ උඹ ශ‍්‍රී ලාංකිකයෙක් නෙමෙයි, උඹ දෙමළෙක් කියලා. මම නැවත නැවතත් කීවා, නෑ මම දෙමළෙක් නෙමෙයි, මම ශ‍්‍රී ලාංකිකයෙක් කියලා. නෑ උඹ දෙමළෙක්, ඔවුන් කීවා. පසුව මම කියන්න ගත්තා , 'ඔව් මම දෙමළෙක්' කියලා. එතකොට ඔවුන් කියනවා, නෑ නෑ උඹ දෙමළෙක් නෙමෙයි, උඹ ශ‍්‍රී ලාංකිකයෙක් කියලා. හරිම සතුටුයි. නැවතත් මුලටම ඇවිදින්. මෙතරම් අවිශ්වාස කිරීම් වලින් පසුව, ජාතීන් අතර අවබෝධය සුණු විසුණු වී විසි වසරක් ගෙවී ආයෙමත් ආරම්භක ලක්‍ෂයටම ඇවිත්. දැන් අපි ශ‍්‍රී ලාංකිකයි."

නමුත් ඒ දසවසරකට පෙරාතුව ය. ශී‍්‍ර ලාංකික යැයි කියනා සිංහල සමාජය පුදුවෛගේ කවි සිත අතුරුදහන් කර ඇත. එය ඉවසන නිසාවෙන්දෝ නිහඬතාවයේ ගැලෙමින් ඒ අන්තරස්දානය සාධාරණීකරණය කරමින් සිටිති. ඔහු කවියෙකු වුවත් කොටියෙකි. කොටියෙකු අතුරුදන් කිරීමට එරෙහිව විවෘතව අදහස් ප‍්‍රකාශ කරන්නට යෑම, ඔහු මරා දමා ඇද්දැයි විමසීම, ඔහුට සිදුකරන ලද්දේ කුමක්දැයි ප‍්‍රශ්න කිරීම ජන අරගල කිරීමට වඩා ඇඟට අගුණ ය. අගුණ දේ තෝරා ගැනීමේ දේශපාලනික අසත්පුරුෂභාවය අපගේ භාවිතය වන බැවින් පිටුවහලේ පිටු අතර සැරිසරමි.

පුදුවෛ මට මුලින්ම භෞතිකව මුණ ගැසුණේ 2002 ඔක්තෝබරයේ යාපනයේ වීරසිංහම් ශාලාවේ මනුෂ්‍යත්වයේ දෙමළ හමුව නමින් ගතකළ දින කිහිපය ඇතුළත දී ය. දකුණේ සිට සැළකියයුතු පිරිසක් ඊට ඇරියුම් ලබා තිබිණ. ශී‍්‍ර ලංකාවේ ජාතික ප‍්‍රශ්නයට අදාලව ඉතිහාසය පුරා සාධනීය මැදිහත් වීමක් කර තිබුණු රාවය පුවත්පත වෙනුවෙන් ලද ඇරියුමින් අපි කණ්ඩායමක් ම ඊට සහභාගී වීමු. විමලනාත් වීරරත්න, චාමින්ද නාගොඩවිතාන, තිලක් කෝදාගොඩ, තම්බිරාසා නඩරාසා, සමන් සී. ලියනගේ සහ මා රාවයේ කණ්ඩායම විය. අවසාන දිනයේ පැවති ජනමාධ්‍ය පිළිබඳ සැසියේදී රෝහිත භාෂණ අබේවර්ධන හිරු පත්තරය වෙනුවෙනුත්, මම රාවය වෙනුවෙනුත්, සිංහල ජනමාධ්‍යයේ යථාර්ථය පැහැදිලි කරලමින්, දෙමළ ප‍්‍රජාව අබියස අපගේ වරදකාරී සිංහල හෘදය සාක්ෂිය විග‍්‍රහ කර ගතිමු. ඊට පෙර දිනවල පැවති සිනමාව පිළිබඳ සැසියේදී මහාචාර්ය සුනිල් ආරියරත්නත්, සාහිත්‍ය පිළිබඳ සැසියේදී මඩුළුගිරියේ විජේරත්නත්, දෙමළ ප‍්‍රජාවගේ මනුෂ්‍යත්වය අබියස කරුණු දැක්වූහ. මේ දින කිහිපය පුරාම මට වරින් වර පුදුවෛ මුණ ගැසිණ. මම ඔහුට රාවය සඳහා සංවාදයක් පිණිස ඇරියුම් කළෙමි. ඒ මොහොත මෙනෙහි කරළමින් මා ලියූ සංවාදයේ, පිවිසුම හෙවත් ඉන්ට්‍රෝව මෙබඳු විය.

අපි වෙලාවක් දා ගත්තා. හමුවෙන්න. වෙලාවට අපි ගියා. මමත්, රාවයෙ සෙසු සගයනුත්. පුදුවෛ හිටියා. යාපනයේ වීරසිංහම් ශාලාවෙ කන්තෝරු කාමරේ. ඔහු කතා කළේ හැඟුම්බරව. ඒ හැඟීම අපිට දැනුණා. ඔහුගේ හදවතේ ස්පන්දනීය ස්වරත්, අපේ හදවත් රිද්මයත් එකක් බවට පත් වෙලා තිබුණෙ. සමුගන්න මොහොත උදා වුණා. ඔහුගේ දෑතින්, අපේ දෑත් දැඩිව වැළඳ ගත්තා. ඒ දෑත් උණුහුම්. සමුගනිද්දී ඔහු කිව්වෙ, "මේක සම්මුඛ සාකච්ඡාවක් නෙමෙයි. මේක හදවත් දෙකක හමුවීමක්" කියලා.

මෙකී සංවාදයට මම පිවිසුමක් සොයමින් සිටියෙමි. විමුක්ති කොටි සංවිධානයේ සංස්කෘතික නියමුවාගෙන් දෙමළ ජාතිකත්වය කේන්ද්‍ර කරගනිමින්, සංස්කෘතිය යන කාරණාව විග‍්‍රහ කර ගැනීමට මට අවශ්‍ය විය. මිත‍්‍ර විමලනාතයන් කැමරාව මානාගෙන ඔහු දෙස බලා සිටිද්දී ඔහු සංස්කෘතිය හරහා පියමැන යෑම ඇරඹී ය.

"කිසියම් භූමි වපසරියක් කේන්ද්‍ර කර ගත් මානව සමූහයකගෙ ක‍්‍රියාකාරකම් වල සහ චර්යා රටාවන්ගේ අනන්‍යතාව තමයි සංස්කෘතිය කියන්නෙ. කාලානුරූපීව එහි හැඩතල යම් ප‍්‍රමාණයකට පරිණාමනය වන්න පුළුවන්. අපේ සංස්කෘතිය අවුරුදු දෙදහසකටත් වඩා පැරණියි කියන ඝණීභූත කාරණයන්ගේ දැඩිව එල්බ සිටීමට කිසිවකුටවත් පුළුවන්කමක් නෑ. අවට ලෝකයේ වෙනස්වීම්වලට සමාන්තරව ඇතැම් අංගෝපාංග වෙනස් කරගත යුතුවීමේ විභවයක් සහ උවමනාවක් සෑම ජාතිකයෙකුටම තිබෙනවා. අපේ සංස්කෘතියත් ඒ අනුව වෙනස් වීගෙනයි පවතින්නෙ. නමුත් අප මත බලහත්කාරයෙන් පටවන දේ පිළිගන්න අප සූදානම් නෑ. යුද්ධය ඇති වුණේ එහෙමයි. අපේ සංස්කෘතික අංග, සංස්කෘතික ජීවිතය, කොටින්ම අපේ සමස්ථ ජීවිතයම විනාශ මුඛයට යෑමෙනුයි මේ යුද්ධය ඇරඹුණේ. අපේ ජාතිය, ජාතියක් ලෙස රැකගන්නට නොහැකි වීම නිසයි, අපේ මූලයන් ආරක්‍ෂා කරගැනීමට නොහැකි වීම නිසයි දෙමළ සමාජය තුළින් සන්නද්ධ කි‍්‍රයාදාමයක් මතු වුණේ. මේක අප මත බලහත්කාරයෙන් පටවපු යුද්ධයක් කියලා අප විග‍්‍රහ කරන්නෙ ඒ නිසයි. නමුත් වසර 20ක් පුරාම යුද්ධ කෙරිලත් අපි අපේ සංස්කෘතික අනන්‍යතාව සහ සංස්කෘතික ජීවිතය ආරක්‍ෂා කර ගෙන තියෙනවා. ඒක හොඳ දෙයක් නෙමෙයි ද?"

එය සැබැවින්ම සංවාදයේ ගලායාමට යෝග්‍ය වූ මුවදොරක් විය. ඉදින් මම මා තුළ ඇවිලී යමින්, ඔහුගේ සටන්කාමී හෘදය සාක්ෂිය අවුළුවාලීමට උත්සුක වීමි. මෙළෙසිනි.

"සන්නද්ධ ක‍්‍රියාවලියක් වෙත ගමන් කරන කොට සමාජ සම්බන්ධතා වල ස්වරූපය වෙනස් වෙනවා. ඉතිං කොහොමද ඔබ සංස්කෘතික ජීවිතය ආරක්‍ෂා වෙලයි කියන්නෙ? සංස්කෘතියේ දැවැන්ත විපරිණාමයක් නෙමෙයි ද දෙමළ සමාජය තුළ සිද්ධ වෙලා තියෙන්නෙ?"

"ඇත්ත වශයෙන්ම යුද්ධය තුළ අපේ සංස්කෘතිය හෝ සභ්‍යත්වය ආරක්‍ෂා කර ගැනීම තනිව අපේ සංවිධානයට පමණක් පැවරුණු කටයුත්තක් නෙවෙයි. එය සමස්ත දෙමළ ප‍්‍රජාව මතම පැවරුණ කටයුත්තක්. යුද්ධය සියල්ලම විනාශ කරනවා. යුද්ධයටම විතරයි ප‍්‍රමුඛස්ථානය ලැබෙන්නෙ. එය ජීවිත විනාශ කරනවා. ආගමික සහ අධ්‍යාත්මික ජීවිතය විනාශ කරනවා. අධ්‍යාපනික සහ කලාත්මක ජීවිතය විනාශ කරනවා. කෘෂිකාර්මික සහ වෘත්තිමය ජීවිතය විනාශ කරනවා. සියල්ල විනාශ කරමින් ඉදිරියට ගමන් කරනවා. විශේෂයෙන්ම එය සමස්තයක් හැටියට මුලින්ම විනාශ කරන්නේ ජාතියක සංස්කෘතියයි. හැදියාවයි.

ඒත් අපි යුද්ධය තුළින් අපේ සංස්කෘතිය හා හැදියාව ආරක්‍ෂා කර ගැනීම හැකිතාක් දුරට සිදු කර ගෙන තියෙනවා. ඒක බොහෝ දෙනෙක් පිළිගත් දෙයක්. මං ඔබට එක නිදර්ශනයක් පෙන්වා දෙන්නම්. ජීවිත විනාශ වීමේ අවදානම නිසා අපේ බොහෝ දෙනා අවතැන් වුණා. අවම වශයෙන් 50% ක තරම්වත් ජනතාවක්. යුරෝපයට හෝ කැනඩාව බඳු විදේශ රට වලට ඒ අය සංක‍්‍රමණය වුණා. සමහරු ඉන්දියාවට. සමහරු කොළඹට. සමහරු ත‍්‍රිකුණාමලයට. සමහරු වන්නියට. තවත් සමහරු අනුරාධපුරයට ආදී වශයෙන්. ඒත් අපේ ජනතාව ඒ ඒ තැන් වලදීත් අපේ මුල් සිඳ ගත්තෙ නැහැ. ඒ ගැන මට තිබෙන්නෙ සතුටක්. එයට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ අපේ සංවිධානය බව හිතෙන විට සිතට සියුම් සතුටක් දැනෙනවා."


සටන් සංස්කෘතිය තුළ දෙමළ සමාජය තුළ පැවති සකළවිධ ප‍්‍රතිරෝධයන් අහෝසි කර දැමුණු බව බැහැර කළ නොහෙන යථාර්ථයකි. සමාජ පසුගාමීත්වයේ කැටපතක් බඳුව, දෙමළ සමාජය තුළ පැහැදිලිව දක්නට ලැබුණු කුල පීඩනය ආදිය අතුගා දමන්නට බලහත්කාරී යුද්ධය විසින් දෙමළ සමාජය ඉදිරියේ විවර කරන ලද ඉදිරිගාමී සංස්කෘතික දොරටු පිළිබඳව පුදුවෛගේ දේශපාලන ස්ථාවරය කියවීම වැදගත් ය.

"ඇත්ත වශයෙන් ම දෙමළ සමාජය ඉතාම පැරණි අන්ධ විශ්වාසයයන්, මිථ්‍යාවන් ගහණ සංස්කෘතික අංගයන්ගෙන් පිරුණු එකක්. ඉතාම කෲරතර ලෙස කුල භේදය සමාජය තුළ දක්නට ලැබුණා. ආර්ථිකය කේන්ද්‍ර කර ගත් උසස් පහත්කම් අනුව ඇති වුණ පංති තත්වයන් නිසා බොහෝ කෲරකම්, සංස්කෘතිය යන වේශයෙන් සැඟ වී පැවතුණා. මෙම කුල භේදය අතු ගා දැමීම සඳහා 1965 දී කොමියුනිස්ට් පක්‍ෂය සන්නද්ධ අරගලයක් පවා කළා. ඒත් ඒක විනාශ කරන්න බැරි වුණා. ඒ කාලෙ මමත් ඒ අරගලය තුළ ගොනු වී සිටියා. ඒකට හේතුව වුණේ සමාජය තුළම තවත් සමාජ කණ්ඩායමකට එරෙහිව නැඟුණ අරගලයක් වීම හේතුවෙන් එහි ගැටළු මතු වීම."

"ඒත් මහා ජාතිවාදයෙන් අප පිට පැටවුණු යුද්ධය හේතුවෙන් මේ සියලූ කොටස් එකට එකතු වුණා. මහා ජාතිවාදයට මුහුණ දීමේ එක් පදනමක් වුණා, කුල භේද නො බලා, පංති භේද නො බලා එකතු වීම. මොකද සිංහල හමුදාව පහර දුන්නේ මේ කිසිවක් අවධානයට නො ගෙන. පොදුවේ දෙමළාට. මේ ඉහළ කුල වල අය, මේ ධනවතුන් කියා, හමුදාව බැලූවෙ නෑ. මුළු දෙමළ සමාජයට ම පහර දුන්නා. ඒ හේතුවෙන් යුද්ධය අපේ සමාජයේ සියලූ කොටස් අතර සමඟියක් ඇති කළා. එය අපිට අලූත් ශක්තියක් වුණා. මෙය සිංහල මහා ජාතිවාදය අපිට කළ උදව්වක් බව සඳහන් කරන්න ඕනේ. අද අපේ සංවිධානය ගත්තත් මේ සෑම මට්ටමක ම නියෝජනයක් තියෙනවා. ඒත් ඔවුන්ගේ පංතිය, කුලය කුමක්ද කියා ඒ අය දන්නෑ. ඒක දැන ගෙන වැඩක් නෑ. සිංහල සමාජය තුළත් මෙවැනි අරගලයක් මතු වුවහොත් අතුරු ප‍්‍රශ්න දිය කර දමන්න හැකි බවයි මගේ අදහස."

ඒත් සිංහල සමාජය තුළ එවැනි අරගලයක් පැන නඟින්නේ නැත. අතුරු ප‍්‍රශ්න නැති බැවිනි. සිංහල ධනපති ආණ්ඩුව දෙමළ කැවුත්ත අනුභවයේ ආනුභාවයෙන් සියලූ සිංහල ප‍්‍රතිවිරෝධයන් අහෝසි කර දමා ඇතැයි පවසන්නේ අප වැනි දේශද්‍රෝහීන් පමණකි. දෙමළ සංහාරය සමයේ අලූත් පොතපත කියැවූ, අලූත් අරගලකරුවන් විසින්, අලූතින්ම හොයාගනු ලැබූ 'නව ලිබරල්වාදය' තුළ දේශපේ‍්‍රමී සිංහල ධනපති ආණ්ඩුව, තම නිල හා නොනිල වීරෝදාර හමුදාවන් හරහා කම්කරුවන්ට වෙඩි තියන්නේ නැත. රොෂාන් චානකට වෙඩි වැදී ඇත්තේ ඔහු කටුනායක පැවති සංගීත සංදර්ශනයක් නරඹමින් සිටියදී ය. ධීවරයන්ට වෙඩිතියන්නේ නැත. ඇන්ටනි ෆර්නෑන්ඩෝගේ හිස හිල් වුයේ තියුණු උල් තුඩක් සහිත විසල් මුරල්ලෙකු ඇනීමෙනි. මාධ්‍යවේදීන් මරා දමන්නේ නැත. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කර දමා ඇත්තේ ඔහුගේ පත්තරය කියවා, එහි වන හඩු ඉංගී‍්‍රසිය හේතුවෙන් වියරු වූ ශේක්ෂ්පියර්වාදී ඉංග‍්‍රීසි පාඨකයකු විසිනි. ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර නැත. ඔහු සන්ධ්‍යාට බොරු කියා යුරෝපයේ සංචාරයක නිරතව සිටී. පෝද්දල ජයන්තගේ අතපය කඩා, රැවුල කොණ්ඩය කපා ඔහුටම ගිල්වා, ඔහු බිය කොට ඇමරිකාවට පිටුවහල් කර දමා ඇත්තේ ඥානසිරි කොත්තිගොඩ විසිනි. ඒ වෘත්තීය පත‍්‍රකලාවේදීන්ගේ සංගමයේ සභාපති පුටුව පැහැර ගැනීමට ය. සියල්ල පුද්ගලික හෝ වියුක්ත හෝ පාරභෞතික සිද්ධීන් වේ.

සමාජය ඥානනය උදෙසා කලාව හා සාහිත්‍යය සතු විභවය සමස්ත විප්ලවීය ඉතිහාසයෙහි දක්නට ලැබෙන බවත්, දෙමළ විමුක්ති අරගලය තුළ සාහිත්‍යය, කලා භූමිකාව කෙබඳුද යන්නත් මම පුදුවෛගෙන් විමසීමි? ඒ දස වසරකට පෙර ය. පුදුවෛ අතුරුදන් කර දැමීමට සත් වසරකට පෙර ය. ඒ ඔහු නියෝජනය කළ දෙමළ සමාජය තුළ ඇත්ත භෞතික පීඩනයක් තිබු බැවිනි. ඔහුගේ සාමකාමී දෑසෙහි දක්නට වූයේ නිවහල්වීමේ අපේක්ෂාවේ කාව්‍ය නිමිති ය.

"කලාව හා සාහිත්‍යය ඒ ඒ යුග වල කැඩපත. යුද්ධය සඳහා සාහිත්‍යයක්, කලාවක් කියා දෙයක් කිසිවිටෙකත් නෑ. ඒ ඒ යුග වල සංවේදීත්වය කුමක්ද, සහෘදයන් සමඟ සංවාද කරන්නේ කෙළෙසද, ඒවා තේමා කරගත් නිර්මාණ බිහි වීමයි සිදු වන්නේ. යුද්ධය අපට බල කළොත් යුද්ධයට මුහුණ දීමට ඒ ආශ‍්‍රිත නිර්මාණ බිහිවීම වළක්වන්න බැහැ. ඒකයි නිර්මාණකරණයේ ස්වරූපය. දෙමළ ඉතිහාසය තුළ සෝල, පල්ලව කියා කාලවකවාණු තිබුණා. සෝල යුගයේ යුද්ධය ආශ‍්‍රිත දේ බිහි වුණා. පල්ලව යුගයේ බැතිය දනවන නිර්මාණයි බිහි වුණේ."

"එක් කාලයක ශ‍්‍රී ලංකාව අපේ රට කියා කවි ලීවා. ඒ කාලයේ යුද්ධය ගැන ලියවුණේ නෑ. පස්සෙ කාලෙක ලංකාව දෙ කඩ විය යුතු නැතැයි ලිව්වා. ඒ අයිතිය අපට අහිමි කරලා යුද්ධයට අපව කැඳවූවා. ඊට පස්සෙ අපි අතින් ලියවුණේ යුද්ධය පිළිබඳ තේමාවන්. දැන් සාමය පිළිබඳ ඉඟියක් ලැබිලා තියෙනවා. මේ නිශ්චිත මොහොතෙ අපි තුළින් මතු වෙන්නෙ සාමය සඳහා වන තේමාවන් රැගත් නිර්මාණ. කාලය අපිට කුමක් කළ යුතු දැයි බල කරන විට අපි ලියන්නෙ ඒ ගැන. රුසියානු විප්ලවය සිදු නො වුණා නම් රුසියාවෙ විප්ලවීය සාහිත්‍යයක් නෑ. චීන විප්ලවය සිදු නො වුණා නම් චීනය තුළ ද විප්ලවීය සාහිත්‍යයක් නෑ. සිදුවන දෙයට සමාන්තරවයි සාහිත්‍යයක් බිහි වෙන්නෙ. ඒක තේරුම් ගැනීම ඉතාම වැදගත්."

ඔහුගේ තියුණු උස් කටහඩෙහි වූ විප්ලවීය ජීවය විසින් මා නිශ්චිත ප‍්‍රශ්නයක් වෙත යොමු කෙරෙනු ලද්දේ ය.

"ඔබ තවමත් මාක්ස්වාදියෙක් ද?" මම, මහා සම්මත සිංහලයේ පරිකල්පිත අංක එකේ ත‍්‍රස්තවාදී කවියාගෙන් විමසූයෙමි. ඔහුගේ මුහුණින් කළඑළිගැන්වුණු සිනහව දස වසරකට පසුවත් ජීවයෙන් ආඪ්‍ය ය. උත්තරය පැහැදිලි ය. නිශ්චිත ය.

"ඔව්, මම තවමත් මාක්ස්වාදියෙක්. ඒකෙ කිසිම ගැටළුවක් නෑ."

ත‍්‍රස්තවාදියකු සමඟ මාක්ස්වාදය පිළිබඳ සංවාද කිරීම නරුමවාදීන්ට ආශ්වාදී වියහැකි බැවින් මම, යළි ප‍්‍රස්තුත විෂය වෙත පිවිසුණෙමි. විසි වසරක් පුරා විසිරුණු යුද්ධය තුළ ජීවත් වුණු මිනිසුන් හැටියට, කලාව හා සෞන්දර්යය ස්ථාපිත කරන්න ඔබ සංවිධානයට තිබුණෙ කෙබඳු වැඩ පිළිවෙලක් ද? ඔහුගේ පිළිතුරෙහි පිවිසුම ජාතික ගීතයට ශුද්ධ සිංහලයම ඉල්ලන ඇමරිකානු පුරවැසියන් කියවිය යුතුම ය.

"විසි වසරකට පෙරත් මෙහි දෙමළ ජනතාවට කලාව, සාහිත්‍යය තිබුණා. ඉන්දියාවේ තමිල්නාඩුවට මඟ පෙන්වන්න තරමට එහි ප‍්‍රමිතියක් තිබුණා. අපේ නිර්මාණකරුවන්ව තමිල්නාඩුවෙ ගෞරවයට පාත‍්‍ර වුණා.

1948 දී ශ‍්‍රී ලංකාවට නිදහස ලැබෙන විට ඊට සුබ පතා පළමු කවිය ලීවේ දෙමළ කවියෙකු වූ සුප‍්‍රකට නල්ලතම්බි කවියා. මුලින්ම ජාතික ගීයක් ලීවෙත් ඔහු. කාගෙවත් ඉල්ලීමකට නෙමෙයි, ඔහුටම හිතිලා. දැනිලා. සිංහල ජාතික ගීය ලියවුණේ ඊටත් පස්සෙ.

1956 දී සිංහල - දෙමළ ජාතික ප‍්‍රශ්නය ඍජුවම තනි සිංහලය යන පනතත් සමඟ මුහුණට මුහුණ ලා, මුණ ගැසුණා. එදා සිට අපේ කවියන්, ලේඛකයන් යුද්ධය දක්වා වූ අදියර ගණනාවක් හරහා පැමිණියවුන්. 1985 - 90 කාල පරිච්ඡේදය අපට තීරණාත්මක වුණා. රටවල් දෙකක හමුදාවන් සමඟ යුද කළ යුතු වුණා. ශ‍්‍රී ලංකා හමුදාවත් සමඟ යුද්ධ කරන විට අපේ ජීවිත මුළුමනින්ම විනාශ නොවුණත්, ඉන්දීය හමුදාව හා යුද වැදුණු වසර දෙකහමාරක කාලය තුළ අපේ සියලූ දේවල් අපට අහිමි වුණා. ඒත් එම කාලවකවානු වලත් අපි 100 කට වැඩි සාහිත්‍ය කෘති බිහි කළා. ඒවා පිටතට පෙණුනෙ නෑ. අපි සී.ඞී. ගීත තැටි නිර්මාණය කළා. වේදිකා නාට්‍යය නිර්මාණය කළා. 'මව්බිමේ සිහිනය', 'නොනිදන නෙත්', 'දේශයේ මාරුතය' බඳු අවධානයට බඳුන් වූ චිත‍්‍රපට ගණනාවක් කළා. යුද්ධය අපට බොහෝ යහපත් දේවල් ද අත්පත් කර දී තිබෙනවා. මේ මොහොත වන විට අපි සංස්කෘතික අංශයේ විශාල වැඩ කොටසක් කරනවා. ලොව පුරා රටවල් විශාල සංඛ්‍යාවක අපේ සංස්කෘතික අංශයේ ශාඛා තියෙනවා."


නව ලිබරල්වාදයක් ලංකාව තුළ ක‍්‍රියත්මක වෙතැයි සොයාගත් නව විප්ලවවාදීන් පුදුවෛ වසර දහයකට පෙර මේ පැවසූ දෙය කියවා බැලීම, ඔවුන් ගොඩ නගන්නට වළිකන නව දේශපාලන සංස්කෘතියට අවශ්‍ය හෝ අදාල නොවනු ඇත. එහෙත් එය විප්ලවවාදී පහන් සංවේගය පිණිස හේතු වාසනා වන්නට පිළිවන.


"ආර්ථිකමය වශයෙන් කේන්ද්‍රීය රටවල් පර්යායීය රටවල් සූරා කන්න දියත් කර ඇති ක‍්‍රියාවලිය තමයි මේ. ගෝලීයකරණය අලූත් විදිහකින්, අලූත් වටයකින් මුළු ලෝකයම වෙනස් කරන්න උත්සාහ කරනවා. එය අපි වගේ තුන්වැනි ලෝකයේ රටවලට ඉතාම භයානකයි. අනතුරුදායකයි. අපේ වගේ රට වල අපිට තැනක් නැතුව යනවා. ඒත් මෙම අනතුරට එරෙහිව පුළුල් හඬක් නඟන්න කිසිම සංවිධානාත්මක බැම්මක් අපි ඇති කර ගෙන නෑ. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු ඇමරිකාව ප‍්‍රමුඛ කඳවුරට එරෙහිව ප‍්‍රබල ශක්තියක් නිර්මාණය වී නෑ. සමාජවාදය වැඩෙමින් පවතින බොහෝ රටවල එයට එරෙහිව හඬක් නැඟීම වළකාලන පරිදි ඒ ඒ රට වල අභ්‍යන්තර ප‍්‍රශ්න ඉස්මතු වෙමින් පවතිනවා. අපේ රට තුළත් ඇති අභ්‍යන්තර ගැටළු හේතුවෙන් එයට එරෙහිව එකා මෙන් හඬ නැඟිය නොහැකි තත්ත්වයකට අප පත් වී තිබෙනවා. තවත් ආකාරයකට කියනවා නම්, සංවර්ධනය වෙමින් පවතින ඉන්දු සමුද්‍ර ප‍්‍රාන්තය බරපතල අනතුරකට මුහුණ දෙමිනුයි සිටින්නෙ."

පුදුවෛ, අවසාන වශයෙන් කියූයේ ඔවුන්ගේ ජීවන භාවිතයේ අරමුණ කුමක්ද යන්නයි?

"පහුගිය කාලය පුරාම විමුක්ති කොටින්ගෙ ඉතිහාසය මකා දමන්නට බොහෝ පිරිස් සිහින මැව්වා. ඒත් එය කළ නො හැකි දෙයක් වුණා. එය රඳා පැවතුණේ අපේ ශක්තිය මත. යුද්ධය, අප මත පැටවූ දෙයක් මිස අපි ඉල්ලා අරගත් දෙයක් නොවෙයි. සෑම මහවිරු දින වාර්තාවක් වෙතම වෙන වෙනම අවධානය යොමු කරනවා නම්, අපේ නායකයින්ගේ කතා වලින් වටහා ගත හැකියි, ඔහු සාමය සඳහා වන සියළු දොරවල් හැර දමා තිබූ බව. ඒත් බොහෝ අය කිව්වෙ, ප‍්‍රභාකරන් එහෙම කතා කළාට, එයාට තියෙන්නෙ යුද පිපාසයක් කියලා. මේ කිසිවෙක් ඔවුන් වටහා ගත්තෙ නෑ. දැන් සාමය සඳහා හොඳ ඉඟියක් ලැබී තිබෙනවා. මේ අවස්ථාවේ අපේ හැඟීම සිංහල ජනතාවටත්, ලෝකයටත් පවසන්න අපි ආස කරනවා. සංස්කෘතික අංශයෙ භාවිතය තුළ තියෙන්නෙත් මේ උවමනාව. මෙහි බොරුවක් හෝ වංචාවක් නෑ. අපි හද පත්ලෙන්ම සාමය ප‍්‍රාර්ථනා කරනවා. එය අපේ නිර්මාණ හරහා දනවන්න උත්සාහ කරනවා. ඇත්තෙන්ම සිංහල ජනතාවට අපේ හිත් වල පිරී තිබෙන හැඟීම් පහදා දෙන්නයි අපිට ඕනේ. එයින් අප දෙ ජාතිය අතර සැබෑ සහෝදරත්වයක්, සැබෑ අවබෝධයක් ඇති වේ යැයි අපි විශ්වාස කරනවා. මෙය දේශපාලනය ඉක්මවා ගිය දෙයක්. කලාකරුවන්, සාහිත්‍යකරුවන්, මාධ්‍යවේදීන් තමයි මේ කටයුත්තෙ ප‍්‍රමුඛ කාර්යභාරයක් කළ යුත්තෙ. අද දකුණෙ එබඳු පිරිසක් සිටීම සතුටට කාරණයක්.

අවසාන වශයෙන් මම පවසන්නෙ මේකයි. අපි, අපි අතරම යුද්ධ කරලා විනාශ වුණා. අපිට හිමි විය යුතු දේවල් සිංහල දේශපාලනය විසින් දෙන්නට අකමැති වූ නිසා අපිට ආයුධ වෙත ළං වෙන්න සිදු වුණා. අපේ දෙජාතියේ යුද්ධය ප‍්‍රයෝජනයට අර ගෙන අපේ අභ්‍යන්තර ප‍්‍රශ්නෙට ඉන්දියාව අත පෙව්වා. ඔවුන් මෙහි ආවේ විමුක්ති කොටි විනාශ කරන්න නෙමෙයි. ශ‍්‍රී ලංකාව ආක‍්‍රමණය කරන්න. මෙම සිද්ධියේ දී සිංහල ජනතාව මත කිසිම බරක් නොපටවා උතුරු නැගෙනහිර ප‍්‍රදේශ තුළම සටන් කර ඉන්දීය හමුදාව අපි ආපහු යැව්වා. පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ ඉල්ලීමට ඔවුන් පිටව ගියේ නෑ. එයින් පසුව ඇති වූ අරගලයේදියි ඔවුන් පිට ගියේ. පොදුවේ ගත් විට ශ‍්‍රී ලංකාවම මුහුණ දිය යුතුව තිබුණු අනතුර වළකාලූයේ අපියි. නැවතත් යුද්ධය ඇති වුවහොත් ශ‍්‍රී ලංකාවට මහා අනතුරක් වෙන්න ඉඩ තියෙනවා. බොහෝ දෙනෙක් ශ‍්‍රී ලංකාවට අත පෙවීමට මාන බලමින් සිටිනවා. අපි දෙගොල්ලන්ටම එම බලවේග වලට එරෙහිව අරගල කිරීමට අවස්ථාවක් උදා විය හැකියි. ඒ සඳහා මෙම අවස්ථාවේදීවත් මෙම යුද්ධය නවතා දමා අපි සමඟි විය යුතුයි. ඒ සඳහා අපිට වැඩියෙන් කිසිවක් එපා. දකුණේ සිංහල ජනතාවට හිමි අයිතීන් පමණක් අපටත් දෙන්න."


හද පත්ලෙන්ම පැන නැඟුණ නිර්ව්‍යාජ අදහස්, මෙතරම් පැහැදිලිව දකුණේ සමාජය වෙත මුදා හැරි පුදුවෛ රත්නතුරෛ කවියා අතුරුදන් කර වසර තුනක් ඉක්ම යමින් පවතී. දකුණේ අපි, ම්ලේච්ඡත්වයේ කූඨප‍්‍රාප්තියේ තුන්වන වසර සමරමින් සිටිමු.

මම ඔහු මෙනෙහි කරමි. අතීතය ගොනු කරමි. විටින් විට කවි ලියමි. එත් මට මගේ වරදකාරී සිංහල හෘදය සාක්ෂියෙන් මිදෙනු නො හැකි ය. කවියෙක් යනු කවරෙක්දැයි එදා මා ඇසූ පැනයට පිළිතුරු දීමට ප‍්‍රථම ඔහුගේ දෙතොලතර නැඟුණු සෝපාසයික මඳහස තවමත් මා සිත වේදනාවෙන් කළඔවාල යි. ඒ වේදනාවේ සිතුවිලි අතරින් ඔහුගේ නිරවුල් කටහඬ නිනද වේ.

"මේ ඉතිහාසය තුළ පුදුවෛ රත්නතුරෛ කියන කවියත් ජීවත් වුණා. එපමණයි. කවියෙකුට කියා උසස් ස්ථානයක් නෑ. ඔහුට කියා සිංහාසනයක් නෑ. ඔහු මේ සමාජයේ කොටසක්. එහෙත් ඔහු, මේ සමාජයේ, ජීවත් වන යුගයේ හඬ. ඒ හැර කවියෙකු ලෙස කිසිවකුට රැඳී සිටින්න බෑ. එහෙම නම් ඔහු මානසික ව්‍යධියකින් පෙළෙන්නකු විය යුතුයි."

මම මේ ලියවිල්ලෙහි අවසන යළි ඇරඹුමට පිවිසෙමි. ඒ, මිත‍්‍ර කවිකිවිඳියන්ගේ හෘදය සන්තානයේ පුබුදින අලූත් සිතිවිල්ලට ඇසක් වනු පිණිසය.

පුදුවෛ අරන් ගිය බවට පැහැදිලි සාක්ෂි තියෙනවා. මනුස්සය කලා, සංස්කෘතික අංශෙ නායකයා. අවම වශයෙන් පුදුවෛ ඉන්නවද නැද්ද කියලවත් හෙළිදරව් කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරමු. පුදුවෛ දැවැන්ත කවියෙක්. හැම නිතරම තොරොම්බල් කෙරෙන ශී‍්‍ර ලාංකීය වචනයෙ සංස්කෘතිය කියන කාරණාව, කොටින්ම ඔය කියන ශී‍්‍ර ලාංකීය කවිය ගැන පුදුවෛ කියන නම අතෑරල කියවන්න පුළුවන්කමක් නෑ. අවම වශයෙන් කවි ලියන අය පුරෝගාමී වෙලා මේ ලියවිල්ල හදමු. ගැටළුවක් නෑ මුලින්ම, මං අස්සන් කරන්නම්.

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails