Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



යුද්ධය අවසන් වීම යනු සත්‍ය වශයෙන්ම ශ‍්‍රී ලංකා රජයේ හමුදා සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (L.T.T.E.) අතර සිදුවූ හමුදාමය ගැටුම් සඳහා මූලික වූ තත්වයන් අවසාන වීම නොවේ. මෙම ගැටුම විවිධාකර ස්වරූපවලින් යුත් අතර සන්නද්ධ පරිච්ඡේදය ඉන් එකක් පමණි. ගැටුමේ පාර්ශවකරුවන් විසින් ගැටුමේ ඉතිහාසයට අදාලව කරන ලද නිර්වචනයන් මෙම ගැටුමෙහි මූලික කාරණයක් බව ඉතා පැහැදිලිය.[1] යුධමය අභිමුඛ වීම ගැටුමේ අධිපති ස්වරූපය බවට පත් වන විට එහි අනෙකුත් ආකාරයන් වලට ඇති වැදගත්කම හීන වේ. සන්නද්ධ පරිච්ඡේදය සම්පූර්ණයෙන් අවසන් වන විට ගැටුමට අදාල සන්නද්ධමය නොවන ස්වරූපයන් නැවත කරලියට පැමිණෙමින් පවතී. මෙම සන්දර්භය තුළ ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුමට අදාල ඉතිහාසයේ නව කාර්යභාරය සාකච්ඡා කළ යුතුව තිබේ.

"සිංහල- බෞද්ධ දකුණෙහි" සාමූහික පරිකල්පනය තුළ "දමිළ උතුර" සුවිශේෂී ස්ථානයක් අත්පත් කරගෙන ඇත. කෙටියෙන් කිවහොත්, එය අත්පත් කරගත යුතු ප‍්‍රදේශයකි. සිංහල- බෞද්ධ මනසට උතුර යනු සිංහල- බෞද්ධ භූමියේ අනිවාර්ය කොටසකි. මෙම භූමිය දීර්ඝ කාලයක් තිස්සේ ද්‍රවිඩයින් විසින් අයුක්තිසහගත ලෙස අත්පත් කරගෙන සිටී. එනම් ඔවුනට අනුව ප‍්‍රභූ පැලැන්තිය සහ යුරෝපීය යටත් විජිත පාලකයින් විසින් උපක‍්‍රමිකව ආදී සිංහලයින් විසූ ප‍්‍රදේශ ද්‍රවිඩකරණය කරන ලදි. නලින් ද සිල්වා සහ සූරිය ගුණසේකර වැනි සිංහල ජාතිකවාදී ප‍්‍රචාරකවාදීන් මෙම මතයේ නියමුවන් වේ.[2] කෙසේවුවත් මෙම අදහස ඔවුන්ගේ සාහිත්‍ය/ලියවිලි පරිහරණය කරන සීමිත කණ්ඩායමකට සීමා වුවත් උතුරේ සිංහල-බෞද්ධ උරුමය පිළිබඳ සිංහල-බෞද්ධ සාමාන්‍ය ජනයා අතර ද අදහසක් පවතී.

දමිළ උතුර කෙරෙහි මෙම සිංහල-බෞද්ධ සංජානනය, පශ්චාත් යටත් විජිත ශී‍්‍ර ලාංකීය රාජ්‍ය දෘෂ්ටිවාදයෙහි මූලික අංගයකි. මෙම දෘෂ්ටිවාදයේදී රාජ්‍යයේ භෞමික අඛණ්ඩතාවය ඉතා විශේෂ ආකාරයකින් වර නගනු ලැබේ. සිංහල-බෞද්ධ මනසෙහි "ලංකාවේ ඒකීය භාවය" යන්න නූතන රාජ්‍ය සංකල්පය හෝ ආණ්ඩුක‍්‍රමය නිසා ඇති වූ මතයක් නොව ඓතිහාසිකව ගොඩනංවන ලද මතයක්ය යන්න සිංහල-බෞද්ධ ව්‍යවහාරයේ භාවිතා වන "දෙදහස් පන්සිය වසරක් තිස්සේ පැවති ඒකීය රාජ්‍යය" යන්න මගින් පැහැදිලි වේ.

"දිවයින" යන සංකල්පය ඇති වූයේ අනුරාධපුර රාජධානියේ පාලක දෘෂ්ටිවාදයෙහි කොටසක් ලෙස, අඩුම තරමින් මහාවංශය සංග‍්‍රහ කරන ලද කි‍්‍ර.ව. හයවන සියවසේදී ය. පැහැදිලිවම මෙම ද්වීපමය දෘෂ්ටිවාදයට මූලයන් දෙකක් විය. ඉන් එකක් නම් පිටස්තරයාගේ සංජානනයයි. එනම් භූගෝලීයමය ඒකකයක් සමාජ ඒකකයක් ලෙස හඳුනා ගැනීමය. පැහැදිලි නොමැති හේතු කිහිපයක් නිසා අනුරාධපුර යුගයේ සිටි, පාලක ප‍්‍රභූ කණ්ඩායමක් නිර්මාණය කළ බලවත් ජන කණ්ඩායමක් "සිංහල" නමින් ප‍්‍රසිද්ධ වූ අතර පිටස්තරයින් විසින් "සිංහලයින්ගේ දිවයින" (සිංහලදීප හෝ අරාබිජාතිකයින් ‘සෙරන්ඩිබ්’) ලෙස නම් කරන ලදී. මෙම දෘෂ්ටිවාදයේ අනෙක් මූලය නම් දිවයිනේ පූර්ව නූතන ඓතිහාසික වර්ධන කෙරේ තීරණාත්මක සමාජ කණ්ඩායමක් වූ ‘භික්‍ෂුව’ගේ ‘ලෝක දැක්මය’. එනම් පාලක ප්‍රභූ පන්තියට සමීපව සිටි භික්‍ෂු සමාජයේ බලවත් පාර්ශවයේ ලෝක දැක්ම විසින් ගොඩ නගන ලද අදහසක් වූයේ ලංකාව වසර පන්දහසක් නිර්මල බුදු දහම ආරක්‍ෂා කිරීමට භාර වූ ‘දිවයින’ බවයි. ධම්මදීප නමැති අදහස මගින් මෙම ලෝක දැක්ම පූර්ණ ලෙස ආවරණය කරන ලදී. මෙම ලෝක දැක්ම ජීවමාන බුදුන් වහන්සේගේ ම ප‍්‍රාර්ථනයක් බැව් හුවා දැක්වීමට උන්වහන්සේ දිවයිනට තෙවරක්ම වැඩම කිරීම සහ විජය සහ පිරිවර ආරක්‍ෂා කරන ලෙස ශක‍්‍ර දෙවියන්ට පැවසීම වැනි මිථ්‍යාමය සම්ප‍්‍රදායන් හරහා උත්සාහ ගෙන ඇත.[3]


මෙම දෘෂ්ටිවාදී උච්චාරණය කිරීම් හරහා පශ්චාත් යටත් විජිත ප‍්‍රභූ පාලක පන්තිය රාජ්‍යයේ පවතින භූ සීමාවන් පාරිශුද්ධකරණය කරයි. මෙම ශුද්ධ වූ සාම්ප‍්‍රදාය උත්කර්ෂයට නංවන ලද භූගෝලීය තත්ත්වය ද්‍රවිඩ ජනතාව විසින් විකල්ප දෘෂ්ටිවාදයක් මගින් පමණක් නොව සන්නද්ධ දේශපාලන මිලිටරිමය වශයෙන් අඛණ්ඩව ප‍්‍රශ්නකරනු ලැබීම සුවිශේෂී ලෙස හඳුනා ගත හැකිය.

L.T.T.E.යට එරෙහි සන්නද්ධ ජයග‍්‍රහණය මහා පරිමාණයෙන් සැමරීම සහ දමිළ උතුර සම්පූර්ණයෙන්ම ජයග‍්‍රහණය කළ ආකාරයෙන් සිංහල- බෞද්ධ ජනයා එයට ප‍්‍රතිචාර දැක්වුවත් ඒ සමගම මෙහෙයුම සම්පූර්ණ නොවූ බවට ද පුළුල් පිළිගැනීමක් ඇත.[4] ඒ සඳහා පෙරමුණු ගණනාවකින් සටන් කළ යුතුව තිබේ. දමිළ දේශපාලනය මෙල්ල කිරීම සහ නිර්ජාතිකවාදීකරණය කිරීම, දෙමළ ඩයස්පෝරාව පරාජය කිරීම, උතුරේ ජනසංයුතිය වෙනස් කිරීම මේ අතර ප‍්‍රධාන වේ. මෙයට අමතරව "ඓතිහාසික" සිංහල-බෞද්ධ උතුර (සහ නැගෙනහිර) නැවත ප‍්‍රතිෂ්ඨාපනය කිරීම ද මූලික කාර්යයක් ලෙස හඳුනා ගැනේ.

උතුරට අදාල පශ්චාත්- යුධ දේශපාලන- දෘෂ්ටිවාදාත්මක මැදිහත්වීම සිත්ගන්නාසුළු සහ තරමක් සුවිශේෂී වේ. අනවරත සන්නද්ධ ක‍්‍රියාදාමයන් සහ රාජ්‍යය විසින් අර්ථ දක්වන ලද නව ලිබරල්වාදයට අනුරූප සංවර්ධන ක‍්‍රියාවලීන් වලට අමතරව වෙනත් දෘෂ්ටිවාදාත්මක මැදිහත්වීම් දක්නට ලැබේ. වන්දනාකරුවන් එවන් සංසිද්ධියකි. සමූහ වශයෙන් යාපන අර්ධද්වීපයට ගමන් කරන සිංහල-බෞද්ධ වන්දනාකරුවන් ආගමික ක‍්‍රියාවලියකට වඩා දේශපාලන දෘෂ්ටිවාදාත්මක ක‍්‍රියාවකට සම්බන්ධ වන බව මම තර්ක කරමි. උතුරේ සහ දකුණේ මිනිසුන් එකිනෙකාට අභිමුඛ වීම මගින් ජනවාර්ගික සංහිඳියාවක් ඇති කෙරෙන බව කියැවෙන නිල අලංකාරෝක්තියට යටින් මෙම වන්දනාකරුවන් විසින් සිංහල සහ දමිළ ජාතික අනන්‍යතා දේශපාලනය අතර ගැටුම්කාරී අභිලාශ පෝෂණය කරයි. වන්දනාකරුවන් විසින් උතුරට අත්‍යාවශ්‍ය ආර්ථික ප‍්‍රතිලාභ ළඟා කර දෙනමුත්, ඒ හා සමගාමීව ඔවුන් විසින් දේශපාලනික සහ දෘෂ්ටිවාදාත්මක වශයෙන් සවිඥාණික ද්‍රවිඩයන් අතර තැවුල්සහගත ස්වභාවයක් ද නිර්මාණය කරනු ලැබේ.

මෙම සිංහල බෞද්ධ වන්දනාකරුවන්ගේ මූලික දෘෂ්ටිවාදාත්මක උත්පේ‍්‍රරණය වන්නේ "උතුරු සහ නැගෙනහිර සිංහල-බෞද්ධ උරුමය" පිළිබඳ කතිකාවයි. රාජ්‍යයේ සදාචාරමය ආයතනික, භෞතික සහ දේශපාලනික සහයෝගය සහ නොනිල හමුදාමය සහයෝගය සහිත මෙම දෘෂ්ටිවාදයේ වඩාත් ප‍්‍රබල ප‍්‍රචාරකයින් පශ්චාත් යුධ සන්දර්භය තුළ වඩ වඩාත් සක‍්‍රීය වී තිබේ. ඔවුන්ගේ දෘෂ්ටිකෝණයට අනුව උතුරේ (සහ නැගෙනහිර) පශ්චාත් යුධ සන්ධර්භයේ වඩාත් වැදගත් කාර්යය වන්නේ මෙම භූමියේ සිංහල-බෞද්ධයාගේ ඓතිහාසික අයිතීන් නැවත ස්ථාපිත කිරීමයි.

උතුරු ප‍්‍රදේශයේ ස්ථීර වැසියන් සිංහල- බෞද්ධ දෘෂ්ටිවාදයට ග‍්‍රහණය කරගැනීමට නොහැකි වූ විට සිංහල- බෞද්ධ දෘෂ්ටිවාදයේ ප‍්‍රචාරකයන් විසින් උපක‍්‍රමයක් ලෙස දැන් භාවිත කරන්නේ එම ද්‍රවිඩ සමාජය සමඟ තරගකාරී විකල්ප සහ සමාන්තර සමාජ අවකාශයක් නිර්මාණය කිරීමයි. ඉන්දියාවේ බෞද්ධ ප‍්‍රදේශ සම්බන්ධයෙන් සිංහල-බෞද්ධයන් අනුගමනය කරන උපක‍්‍රමය සමග මෙය සංසන්දනය කර බැලිය හැකිය.


උතුරු ඉන්දියාවේ බෞද්ධ ප‍්‍රදේශ සඳහා සිංහල- බෞද්ධයින් භාවිතා කරන ‘දඹදිව’ යන නාමය පරිකල්පිත සිංහල-බෞද්ධ භූ ප‍්‍රදේශයක කොටසක් ලෙස සැලකිය හැකිය. සිංහල- බෞද්ධ පරිකල්පනය තුළ ‘දඹදිව’ යනු දකුණු ආසියාතික භූගෝලීය කලාපයේ ස්ථානයක් නොවේ. එබැවින් දඹදිව වන්දනාව යනු පරිකල්පිත සිංහල-බෞද්ධ රාජ්‍යයේ කොටසකට යන වන්දනා ගමනකි. තවදුරටත් මෙය විදේශීය රටකට යන ගමනක්ද නොවේ. සාමාන්‍යයෙන් භාවිතා වන "රට යනවා" යන්න මෙම චාරිකාවට භාවිතා නොවේ. එය ඉතා සරලවම දඹදිව යනවා (අඩුම තරමින් ඉන්දියාවට යනවාවත් නොවේ) ලෙස හඳුනා ගැනේ.

සිංහල-බෞද්ධ රාජ්‍යත්වය තුළ දඹදිව සම්බන්ධයෙන් අවසන් වටහා ගැනීම වන්දනාවක් නම්, උතුර හා බැඳුණු වන්දනාව ඉන් වෙනස් වේ. ඉහත සඳහන් කළ පරිදි දඹදිව මෙන් නොව උතුර සිංහල- බෞද්ධ මනසේ ස්ථානගත වන්නේ යටත් කරගත යුතු සහ අත්පත් කර ගත යුතු ස්ථානයක් ලෙසය. වන්දනාවේ ගමනාන්තයක් ලෙස ඔවුන් ඉන්දියාවේ බෞද්ධ ප‍්‍රදේශ වැඳ පුදා ගනිමින් ‘දඹදිව’ සම්බන්ධයෙන් තෘප්තිමත් වුවත් උතුරේදී ඊට වඩා වැඩි යමක් අත් කරගත යුතුවේ. සාමාන්‍ය බැතිමතුන්ගේ ආගමික ක‍්‍රියාවක් ලෙස උතුරට යන වන්දනා ගමන එහිම ඵලයක් ලෙසින් අවසන් වේ. නමුත්, දේශපාලනික හා දෘෂ්ටිවාදාත්මක මානසිකත්වයකින් යුත් වන්දනාකරුවන්ට එය ඊට වැඩි යමක් වේ. ඔවුන් ඔවුන්ගේ චාරිකාවේ පුළුල් වැදගත්කම පිළිබඳ ඉතා සවිඥාණික වේ. දිවයිනේ නූතන සිංහල-බෞද්ධත්වය, පූර්ව බෞද්ධ ක‍්‍රියාකාරකම් සමග සම්බන්ධ කරන ඓතිහාසික පිළිවෙල, උතුරේදී බෞද්ධහරණය සහ සිංහල හරණය මගින් බිඳ වැටී ඇති බවත් එහි සිංහල-බෞද්ධ උරුමය නැවත ස්ථාපිත කළ යුතු බවත් ඔවුන් අතර පවතින දැක්ම වේ.[5]

උතුර පිළිබඳ පශ්චාත් යුධ සිංහල-බෞද්ධ පරිකල්පනයෙහි තීරණාත්මක ලක්‍ෂණය වන්නේ එය සිංහල-බෞද්ධයන්ගේ ඓතිහාසික සවිඥාණිකත්වය මත රඳා පවතින බවත් එය දෙමළ ජාතිකවාදීන්ට සහ පශ්චාත් යුධමය උතුර පිළිබඳ දකුණේ නිර්-ජාතික දේශපාලන පරිකල්පනයන්ට සම්පූර්ණයෙන්ම එරෙහිව ක‍්‍රියාත්මක වන බවත්ය. විශේෂයෙන්ම එය ද්‍රවිඩ ඓතිහාසික සවිඥාණිකත්වයෙහි දේශපාලනික හරය වන සම්ප‍්‍රදායික නිජබිම් සංකල්පයට එරෙහිව ක‍්‍රියාත්මක වේ.

සිංහල- බෞද්ධ ඓතිහාසික සවිඥාණිකත්වයට අතිරේක වශයෙන් වාසියක් ලඟා කර දෙන වැදගත් සාධකයක් පවතී. සිංහල-බෞද්ධ ඓතිහාසික සවිඥාණිකත්වයට සම්බන්ධ වන ඓතිහාසික වෘතාන්තය, ශ‍්‍රී ලංකාවේ නූතන ඉතිහාසකරනයේ අධිපති සුසමාදර්ශය සමග හොඳින් සමරූපී වේ. සිංහල- බෞද්ධ සවිඥාණිකත්වයට සහ සිංහල- බෞද්ධ පාලක ප‍්‍රභූ පාන්තිකයන් දේශපාලනික අවශ්‍යතාවයන්ට සහයෝගය දක්වන අධිපති ඉතිහාසකරණයේ දෘෂ්ටිවාදීමය හා මිථ්‍යාමය පදනම ප‍්‍රශ්ණ නොකර, සාම්ප‍්‍රදායික දෙමළ නිජබිම් සංකල්පයේ මිථ්‍යාමය ස්වභාවය සහ දෙමළ ජාතිකවාදයේ දේශපාලනික අවශ්‍යතාවයන් වටා එය ස්ථානගත වී ඇති ආකාරය ප‍්‍රශ්න කිරීමට කේ.එම්. ද සිල්වා වැනි ප‍්‍රමුඛ ශ‍්‍රී ලාංකික ඓතිහාසික ශාස්ත‍්‍රඥයන්ට හැකි වී ඇත්තේ ඉහත හේතුව නිසාය.


නිගමනය-

පශ්චාත් යුධ සහජීවන සඳහා උතුරු- නැගෙනහිර දෙමළ ජනතාවගේ සාධාරණ ඉල්ලීම් අන්තර්ගත කරගත යුතුය යන දැක්මෙන් නව පශ්චාත් යුධ දේශපාලනික සිතීමක සහ ජාතිකවාදී පරිකල්පනයේ ක්‍ෂතිජයන් ඉක්මවිය හැකි සිතීමක නියැලෙන අයවලුන්ට ඉතිහාසය වාර්ගික දේශපාලන ගැටුමෙහි පශ්චාත් යුධ තත්ත්වය තුළ අත්කරගෙන ඇති නව වැදගත්කම, අභියෝගයක් වනු ඇත. සිංහල-බෞද්ධ ජාතිකවාදය දැඩි ලෙස ශක්තිමත් වූ සහ මතවාදීමය වශයෙන් ප‍්‍රචණ්ඩ වූ සහ දෙමළ ජනයා බැහැර කරනු ලබන දේශපාලන ක‍්‍රමයකට මතවාදීමය වශයෙන් සහාය දක්වන තත්ත්වයක් තුළ, ඉතිහාසය පිළිබඳ විකල්ප කතිකාව ශක්තිමත් කිරීම නියාළු ශාස්ත‍්‍රීය ප‍්‍රයත්නයකට වඩා දෙයක් වීම මූලික තැනක් දිය යුතු ගැඹුරු දේශපාලන සහ මතවාදීමය කර්තව්‍යයකි.

[1] ගැටුම තුළ ඉතිහාසයේ කාර්යභාරය විශ්ලේෂණය සදහා බලන්න, Gunawardana, RALH, Historiography in a Time of Ethnic Conflict: Construction of the Past in Contemporary Sri Lanka, (Social Scientists’ Association: Colombo)1995. also see, Coomaraswamy, Radhika, ‘Myths without Conscience: Tamil & Sinhalese Nationalist Writings of the 1980s’ in Abeysekera, C. and Gunasinghe, N. (eds.) Facets of Ethnicity in Sri Lanka (Social Scientists Association: Colombo) 1987.

[2] මෙම රචකයන් දෙදෙනාම සිංහල භාෂාවෙන් ලියැවීම් කරයි. මහාචාර්ය නලින් ද සිල්වාගේ ලියැවීම් අන්තර්ජාලයේ ඇත. [www.kalaya.org] ආචාර්ය සූරිය ගුණසේකරගේ මේ සම්බන්ධ ලියැවීම් දිවයින පත‍්‍රයේ පළවේ. වැඩිදුර කියවීම් සදහා බලන්න නලින් ද සිල්වාගේ, ජයසුමන, චන්න සුදත්, දෙමළ ජනතාවගේ සංක්ෂිප්ත ඉතිහාසය, විසදුනු ප්‍රකාශකයෝ, බොරලැස්ගමුව, 2009.

[3] දිවයින ජීවමාන බුදුන් සමග සම්බන්ධ කරන මිත්‍යාමය සම්ප්‍රධාය පිළිබද විශ්ලේෂණයක් සදහා බලන්න Gunawardana, RALH, ‘Kinsmen of the Buddha: Myth as a political charter in the ancient and early medieval kingdoms of Sri Lanka’, in Sri Lanka Journal of Humanities vol. 2 No. 1, pp.53-62, 1976

[4] මහාචාර්ය නලින් ද සිල්වා සහ තවත් බොහෝ ආණ්ඩුවට සහයෝගය දක්වන්නන් විසින් මෙම මතය සකසයි. මහාචාර්ය ද සිල්වාට අනුව දමිළ ප්‍රශ්නය විසදිය හැක්කේ දෙමළ ජනතාව භූමියේ ඉතිහාසය පිළිගතහොත් සහ සිංහල-බෞද්ධ ජනතාව භූමියේ නියම උරුමකරුවන් ලෙස පිළිගතහොත් පමණි. බලන්න: ද සිල්වා, නලින් අපේ ප්‍රවාද 3, විසදුනු ප්‍රකාශකයෝ, බොරලැස්ගමුව, 2009.

[5] ජාතික හෙළ උරුම පක්ෂයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය එල්ලාවල මේධානන්දගේ කටයුතු මේ සම්බන්ධයෙන් අතිශයින් වැදගත් වේ. ඔහු උතුරේ සහ නැගෙනහිර පුරාණ ඉතිහාසයට සම්බන්ධ අභිලේඛන ලේඛන එකතු කිරීමේ කාර්යයේ කැපවීමෙන් යුතුව නියැලී සිටී ඔහු උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල නාමයන් සිංහලකරණය කිරීම සම්බන්ධවද ප්‍රමුඛව සම්බන්ධ වේ. උදාහරණයක් ලෙස දෙමළ මුලතිව් සිංහල ‘මූලදීප‘ බවට ද කන්දරොඩෙයි ‘කදුරුගොඩ‘ ලෙස යෙදීම.

නිර්මාල් රංජිත් දේවසිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails