Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජගත් ජේ එදිරිසිංහ ගේ නවතම කෘතිය වන "අදිසි" නවකතාව කියවා හමාර කළ මා සිතට සිතුවිලි ත්‍රිත්වයක් ම ගලා ආවේය.

ඉන් පළමු සිතුවිල්ල නම්, අපේ ලාංකීය සමාජයේ තත්කාලීන අවගමනයට බලපාන තීරණාත්මක සාධකයවන දූෂිත දේශපාලනයේ කසල ගොඩ පිළිබඳව ඇති වූ ජුගුප්සාව, සංවේගය සහ කෝපය සම්මිශ්‍රිත එකකි.

දෙවැනි සිතුවිල්ල වූයේ, කෙතරම් අප්‍රසන්න අන්තර්ගතයක් වූයේ වුවද, ජගත් ජේ එදිරිසිංහ තම "අදිසි" නවකතාව තුලින් ඒ දේශපාලන කසල ගොඩෙන් බිඳක් පිළිබඳව මේ කතාන්දරය අපට ඉදිරිපත් කිරීමේ සමාජමය වැදගත්කම පිළිබඳව ඇතිවූ ප්‍රසාදජනක එකකි.

මා සිතට ගලා ආ තෙවැනි සිතුවිල්ල වූයේ, ජගත් ජේ එදිරිසිංහ මේ නවකතාව කෙතරම් තාත්විකව නිර්මාණය කර තිබේද යන්නත්, එනිසා ම "අදිසි" නවකතාව සඳහා කිසියම් ආකාරයක සාහිත්‍ය සම්මානයක් හිමි විය යුතු නොවේදෝ යි යන්නයි.

ඇතැම් කාලයක, ඇතැම් දේශයක විසුවා යැයි කියනු ලබන අවංක දේශපාලකයෙකු ගැන ඉඳහිට අපට අසන්නට ලැබුණේ වුවද, පක්‍ෂ දේශපාලනය යනු මඩ ගොහොරුවක් ය, කසල පිරි පතහක් ය යන්න සර්වලෝක, සර්වකාලීන සත්‍යයකි.

අදින් අඩ සියවසකටත් වඩා ඉහත කාලයයේ වුවද ලංකාවේ දේශපාලනය වනාහී දූෂිතව තිබූ එකක් බව "හතර අපායට යන්නට අවැසි නම් ලංකාවේ අගමැති කම එක දිනයකට කර බලන්න" යන අරුතින් යුතු කවියක් පූජ්‍ය යක්කඩුවේ ප්‍රඤ්ඤාරාම තමන් විසින් පරිවර්තනය කරන ලද කාව්‍ය ග්‍රන්ථයක ඇතුලත් කිරීමත්, ඒ කරගත්තාවූ පාප කර්මයේ බලයෙන් දෝ එම පුස්තකය රාජ්‍ය මර්ධනයට හසුව තහනම් වීමත් ගැන සිතන විට හොඳින් පෙනේ.

දේශපාලන පලිගැනීම් වනාහී දුෂ්කර පලාතකට කෙරෙන ස්ථාන මාරුවක් වැනි සරල ක්‍රියාවකට සහ දුෂණ යනු කරවල හෝ පරිප්පු රාත්තලකට වැනි සිල්ලර කටයුත්තකට බොහෝ විට සීමා වී තිබුණු ඒ යුගයෙන් ඇරඹුණු අපේ සමාජයේ බිඳ වැටීම 1980 සිට අති ධාවනාකාරී ගමනක යමින් මිනීමැරුම්, අතුරුදහන්කිරීම් සහ මිලියන ගණනින් පිල්ලි යැවීම් තත්වය දක්වා අද වෙනවිට අති මහත් ප්‍රගතියක් ලබා ඇත.

"හක්කේ බුදු රැස්, බොක්කේ දඩමස්" නියමය මනාව අනුගමනය කරන අද දේශපාලකයෝ උදේ වරුවේ සමන්මල් වට්ටි රැගෙන රුවන්වැලි සෑය වන්දනා කිරීමටත් හවස් යාමයේ රා කල හතක් පෙවූ මැරයින් යවා ජේතවනාරාමයට ගල් ගැසීමටත් එක සේ සමත්හු ය.

මිරිසවැටිය අග්ගලාවක් හෝ කොණ්ඩ කැවුමක් ලෙස සලකා අනුභව කිරීම ද ඔවුනට සරල දෙයකි.

දේශපාලන විරුද්ධවාදීන්ට හිමිවන්නේ දඹකොළපටුනට ස්ථාන මාරුවක් නොව කැරකෝප්පුවට කෙටි පාරකි.

අද පරම්පරාවේ දේශපාලකයින් දුෂණයෙන් අයථා ලෙස රැස්කර ගන්නා රන් කහවණු මැනීමට විශාල ප්‍රමාණයේ කුරුණි ඇවැසි වේ.

ජගත් එදිරිසිංහ ගේ "අදිසි" නවකතාවෙන් නිරාවරණය කෙරෙන්නේ පසුගිය දශකයේ මැද භාගයේ ශ්‍රී ලංකාවේ පැවති මැතිවරණයක් හා සමගාමීව දිග හැරෙන කොළඹ නගරාසන්න පෙදෙසක වෙසෙන සුවිශේෂී චරිත කිහිපයක නිරුවතයි.

සුනන්ද නගරබද වත්තක වෙසෙන හිතහොඳ චණ්ඩියෙකි. ඔහු ගේ සහයෝගයෙන් පෙර මැතිවරණයකින් ජයගත් රණසිංහ දේශපාලන ඉණිමගේ ඉහලට නැගීමට වැර දරයි. ඒ ගමනේ ජය තහවුරු කරගැනීම සඳහා අනිවාර්ය තත්කාලීන අවශ්‍යතාවයක්වන විවිධ නීති විරෝධී ක්‍රියාවල නිරතවීමට සුනන්ද ගේ සහය තවදුරටත් නො ලැබෙන හෙයින් රණසිංහ හමුදාවෙන් පැන එන අජිත් තම මැර පිරිසට එකතුකර ගනියි. අජිත් ගේ නැගෙණිය සමදරා සුනන්ද ගේ පෙම්වතිය වන අතර විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි.

දුෂණය සහ භීෂණය මත යැපෙමින් තම මැතිවරණය මෙහෙයවන රණසිංහ ට ඒ සඳහා සහය ලැබෙන්නේ නාගරික ලුම්පන් පන්තියෙන් පමණක් නොවේ. ධනපති පන්තිය හා සභායට යන වාමවාදී නායකයින් නිසා බිම් මට්ටමේ වාමාංශික කේඩරයින් ට ද රණසිංහට කඩේ යමින් පෝස්ටර් අලවන්නටත්, වේදිකා ගොඩ නංවන්නටත් සිදුවේ.

සිය දේශපලාන අරමුණු වෙනුවෙන් පන්සලට පවා බෝම්බ ගසන රණසිංහ, ඒ ආනන්තර්ය පාප කරමය හේතුවෙන් දෝ ඡන්දයෙන් පැරදුණු කළ ඒ අඩුව පුරවන්නට කල්යල් බලා පවතින ක්‍රමයට අනුගතවෙන්නේ සමදරා ය.

මේ ප්‍රභල කතා වස්තුවේ මට ඇති එකම නොගැලපීම නම් ජගත් ජේ එදිරිසිංහ, නවකතාවේ ප්‍රධාන චරිතයක් වෙන සුනන්ද නම් හිත හොඳ චණ්ඩියා ට කරන ශ්වේතවර්ණාලේපයයි. ඒ සමගම ස්ත්‍රී සොඬ රණසිංහ ව හැරදා යන ඔහුගේ තරුණ බිරිඳ සමග මැරවර සුනන්ද අරඹන නීති විරෝධී හෝටල් ව්‍යාපාරය ද, ජගත් ජේ එදිරිසිංහ ගේ සානුකම්පික සුදු බුරුසුවට අසුවේ.

ළමා වියේ පටන් ලේඛක උණ සන්නිපාතයෙන් පීඩා විඳි ජගත් ජේ එදිරිසිංහ මේ වන විට නවකතා පහක් ඇතුළු මුද්‍රිත ග්‍රන්ථ අටක කතුවරයෙකි. ඔහුගේ පුවත්පත් දිවිය ඕස්ට්‍රේලියාව තුල දශකයටක් වඩා දිගු එකකි. එවැනි පලපුරුදු අශ්වාරෝහකයෙකුගෙන් බලාපොරොත්තු විය යුතු ලෙසටම "අදිසි" නවකතාව සඳහා ජගත් උපයෝගී කරගෙන ඇති භාෂා විලාශය ප්‍රභල එකකි. නවකතාවේ අන්තර්ගතය ඉදිරිපත්කර ඇති ආකෘතියද ආකර්ශනීය වේ.

කොටින්ම "අදිසි" කියවන අපට හැඟෙන්නේ මෙය ප්‍රබන්ධයක් කියා නොවේ. එය එතරම්ම තාත්වික ය.

"අදිසි" නවකතාව තුලින් ජගත් ජේ එදිරිසිංහ නොදැනුවත්වම වාගේ අපට උලුප්පා පෙන්වන තවත් පාඩමක් ඇත. එනම්, පීඩිත පන්තිවල සියළු සටන් ඉතිහාසය පුරා නිසැකවම පරාජය වී ඇත්තේ නිරායාසයෙන්ම සිදුවන පාලක පන්තිය හා සභාගයට යැමේ පාවාදීම නිසා බවයි.

ජගත් ජේ එදිරිසිංහ ගේ "අදිසි" නවකතාව කියවන ඔබේ සිතට මා මුලින් සඳහන් කළ සිතුවිලි ත්‍රිත්වයට අමතරව සිව්වැනි සිතුවිල්ලක් ද නැගුණහොත් එය කෙලෙස වේ දැයි මම මදකට සිතුවෙමි.

අද රට වෙලාගත් පිළිලයක් බඳු වූ මේ දේශපාලන ව්‍යවසනයෙන් හෙට රට ගැලවේවා යැයි ප්‍රාර්ථනයක් ඔබ සිතට නැගුණහොත්, එය අපේ ජීවිත කාලයේ ඉටු නොවන නිසරු පැතුමක් වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි බව කණගාටුවෙන් වුවද කිව යුතුව ඇත.

අද රට වෙලාගත් පිළිලයක් බඳු වූ මේ දේශපාලන ව්‍යවසනයෙන් හෙට රට ගලවා ගනිමි යැයි අධිෂ්ඨානයක් ඔබ සිතට නැගුණ හොත් එය අතිශය එඩිතර ගමණක මුලාරම්භය විය හැකි බව කිව හැක. නමුත් මින් වසර කිහිපයකට කලින් ජගත් ජේ එදිරිසිංහ සිය "ගිම්හාන සුළඟ" නවකතාවෙන් අපට කිවු පරිදි එවන් ගමණක අවසානය තත්කාලීන ව්‍යවහාරික භාෂාවෙන් අප "සොරි ඩොට් කොම්" ලෙස හඳුන්වන තත්වය වෙනු ඇත. මක් නිසාද යත්, ඉතිහාසය පුරාම සිංහ සෙයියාවෙන් එවන් ගමන් ආරම්භ කළ වුන් එක්කෝ පවතින දුෂිත ක්‍රමය මගින් ඉවත්කර දමන්නට යෙදුණු අතර එයින් බේරී ඉතිරි වූවෝ ඔවුන් විසින්ම පසු කලෙක තම දිශානතිය උඩුයටිකුරු කරගන්නා ලදුව හිමින් සීරුවේ පවතින ක්‍රමය හා අනුගත වූ බැවිණි.

රසික සූරියආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails