Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ෆෙරීත් ඔර්හාන් පාමුක් [Ferit Orhan Pamuk] 1952 ජූනි 07 දින තුර්කියේ ඉස්තාන්බුල් හි උපත ලැබීය. ඔහු තුර්කිය තුල මහත් ආන්දෝලනාත්මක මෙන්ම කැපීපෙනන නවකතාකරුවන් අතරින් කෙනෙකි. භාෂා 60 කට ආසන්න සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇති ඔහු ගේ පොත් මිලියන ගණනාවක් මේ වන විට ලොව පුරා අලෙවි වී ඇත. ඔහු නවකතාකරුවෙකි. තිරරචකයෙකි. විද්වතෙකි. මේ වන විට අමෙරිකාවේ කොලුම්බියා විශ්වවිද්‍යාලයේ තුලනාත්මක සාහිත්‍යය පිළිබඳ මහාචාර්ය වරයෙකු ලෙස කටයුතු කරන පාමුක්, 2006 වසරේදි නොබෙල් ත්‍යාගය හිමිකරගත් ප්‍රථම තුර්කි ජාතිකයා වීමේ ගෞරවය හිමිකරගත්තේය. මේ වන විට නවකතා 07 කට ආසන්න ප්‍රමාණයක් ලියා පලකොට ඇති පාමුක් අන්තර්ජාතික වශයෙන් සම්මාන ගණනාවකට හිමිකම් කියමින් ලොව වටා ඇගයීමටත්, සම්භාවනාවටත් පාත්‍ර වුයේය. 'ද වයිට් කාස්ල්', 'ද බ්ලැක් බුක්', 'ද නිව් ලයිෆ්', ' මයි නේම් ඉස් රෙඩ්' සහ 'ස්නෝ' ඔහු ලියූ නවකතා වේ. ආමේනියානු ජන සංහාරය සහ ඔටෝමන් අධිරාජ්‍යය තුල කුර්දි ජාතිකයන් සමූල ඝාතනය කිරීම පිළිබඳ ඔහු විසින් මාධ්‍ය වෙත නිකුත් කල හෙළිදරව්ව හේතුවන් පාමුක්ට එරෙහිව තුර්කිය තුල නඩුපවරන ලදී. පාමුක්ට අනුව ඔහුගේ කාර්යය වන්නේ, ඔහු උපන් බිමෙහි කතා කිරීමේ අයිතිය පිලිබඳ උද්ගත වී ඇති ගැටළුකාරී තත්වය අවධානයට ලක් කරමින් කටයුතු කිරීමයි. මතභේද ගණනාවකට හේතු වූ ඔහුගේ ප්‍රකාශයට එරෙහි මහජන රැලි සිය විරෝධය පල කළේ ඔහු විසින් ලියූ පොත් දහස් ගණනක් මහමග දමා ඒවාට ගිනි තැබීමෙනි.

අතිදුෂ්කර 'කර්' (Kar) නම් නගරය පාදක කරගනිමින් 2002 වසරේදී ඔර්හාන් පාමුක් විසින් ලියා පල කරන ලද 'හිම' (Snow) නවකතාව වත්මන් තුර්කි රාජ්‍යය තුල සිදුවන සදාතනික ඉස්ලාම්වාදි සහ බටහිරවාදී ගැටුම් පිළිබඳ ගවේෂණාත්මක පිළිබිඹුවකි.

සමාජයෙන් නෙරපන ලද කවියකු වූ 'කරීම් අලකුසෝග්ලු' හිමෙන් වැසුණු 'කර්' නගරයේ සැරි සරමින් සිටිනා අතර තුර, විරුද්ධ මත දැරීම හේතු වෙන්, ඉස්ලාම්වාදීන්, දේවාධිරාජ්‍ය වාදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන්, අධිනීතිඥයන්, වෙනත් කල්ලිවාදීන් ගනණාවක් සහ ඵෙහිකවාදීන් විසින් සැලසුම් සහගතව ඇති කළ පටලැවිල්ලකට අසු වීමෙන් මිය යන, ඝාතනයට ලක් වන පුවත මෙහි අන්තර්ගතය වේ. නිව්යෝර්ක් ටයිම්ස් සඟරාවට අනුව 'හිම' 2004 වර්ෂයේ පළවු හොඳම නවකතා 10ය අතුරින් එකකි. මේ ඒ පිළිබඳ නිව්යෝර්ක් ටයිම්ස් සඟරාවේ ප්‍රධාන කර්තෘ ඇලෙක්සැන්ඩර් ස්ටාර් 2004 අගෝස්තු 04 වන දින ඔර්හාන් පාමුක් හා කළ සම්මුඛ සාකච්ඡාව යි.

ස්ටාර්- ඔබේ නවකතාවට අනුව තුර්කිය කියන්නෙ තරමක් අධිතාත්වික රටක්. ඵෙහිකවාදීන් සහ දේවාධිරාජ්‍යවාදීන් එකිනෙකා හා තරඟ කරන, පෙනෙන විදියට එක ලෙස අස්ථිර වූත් සැකසහිත වූත් මතයන් හා අදහස් පනවමින් පොදු ජනයාට නිදහස ලබන්නේ කෙසේ දැයි බලකෙරෙන රාජ්‍යයක්. ඔබ දන්නා තුර්කිය එබන්දක්ද?


ඔර්හාන් පාමුක්- මගේ චරිත වල අති සවිඥානික බව සහ රටේ කාව්‍යාත්මක යතාර්ථය අතර ඇති හිදැස තමයි සමහර විට මගේ නවකතාවට අත්‍යවශ්‍ය ආතතිය සපයන්නේ. මට ඕනෑ වුණේ මේ ලෝක දෙකේම සැරිසරන්න, ගවේෂණය කරන්න, ඒවා ඇති සැටියෙන් ලියන්න. බටහිරකරණය වූ බුද්ධිමතුන්ගේ ලෝක දෘෂ්ඨිය මතුවෙන්නේ රටේ දරිද්‍රතාවයේ ගැලුණු, අනෙක් අය විසින් බොහෝ සෙයින් අමතක කළ, එහෙමත් නැතිනම් බොහෝ සෙයින් සැලකිල්ලට බඳුන් නොවූ පාර්ශ්වයන්ගෙන්. ඒක තමයි ද්වේෂසහගතම දේ වෙන්නෙත්.

ස්ටාර්- 'හිම' නමැති මෙම කෘතියේ ඔබ මූලික ලෙස සැළකිල්ලට බඳුන් කරලා තියෙන්නේ බොහොමයක් මුස්ලිම් කාන්තාවන් පාසලට හිස් ආවරණ පැලඳීමට ඇති අයිතිය ඉල්ලා සිටීම කියන කාරණය. එම සිදුවීම, ආගමික දැරීම් සහ ආගමික පැනවීම් අතර කොතැනද මේ රේඛාව ඔබ සලකුණු කරන්නෙ කියන එක ගැන සියුම්ව ප්‍රශ්ණ කරන කරුණක්. මතභේදාත්මක ලෙස වත්මන් තුර්කි පාලනය විසින් ආගමික අධ්‍යනායතන මගින් උපාධි ලැබූ උපාධිධාරීන්ට ආධාර ලබාදීමට වෑයම් කොට තිබෙනවා. එය ඔවුන්ට තර්කානූකුල වූත් යුක්තියුක්ත වූත් සාධකයක් ලෙස ඔබට හැඟෙනවද?

පාමුක්- මේ බලන්න, මම ලේඛකයෙක්. මම මෙවැනි ගැටළු දෙස බලන්නේ සාමාන්‍ය වැසියෙකුගේ දෘෂ්ටි කෝණයෙන් නෙමෙයි. අනෙකාගේ වේදනාව, විඳවීම පිළිබඳ අවබෝධකරගන්නට උත්සහ දරන කෙනෙකුගේ දෘෂ්ටි කෝණයෙන්. මේ ප්‍රශ්න විසඳිය හැකි කිසිම විදියක පෙර සැකසූ සූත්‍රයක් ඇතැයි මම හිතන්නේ නෑ. මෙවැනි ප්‍රශ්නයකට ඉතාම සරල විසඳුමක් ඇති බව කෙනෙක් කියන්නේ නම් ඔහු තරම් මෝඩයෙකු තවත් නෑ. එහෙම කෙනෙක් නවතින්නෙම නැවතත් එම ප්‍රශ්නයේම එක් කොටසක් වීමන් පමණයි. සාහිත්‍යය හරහා පුළුවන් මෙවැනි ගැටළු වෙත පහසුවෙන් ළඟාවෙන්න. ඒ කිසිවෙක් නිවැරදි නොවන, කිසිවක් නිවැරදියයි කීමට කිසිවෙකුට අයිතියක් නැති බොහෝ සෙවණ සහිත තැන් කරා ඔබට ගමන් කරන්නට හැකි නිසා. ඒ නිසයි නවකතා ලිවීම මේ තරම් මනබඳනාසුළු දෙයක් වෙන්නේ. අද වන විට ඒ නිසාමයි දේශපාලනික නවකතා ප්‍රබන්ධනය අවධානයට ලක් වෙන්නේ.

ස්ටාර්- එහෙත් තවමත් ඔබේ නවකතා තුල විද්‍යමාන වන්නේ, නුහුරු ආගන්තුක සිදුවීම් තුල ජීවත් වෙන මිනිසුන්ගේ එම ඛේදනීය තත්වය සහ නින්දිත ස්වභාවය සම්පූර්ණයෙන්ම අවබෝධකරගත හැකිද යන්න පිලිබඳ බොහෝ වූ කාංසා තත්වයන්.

පාමුක්- ආධ්‍යාත්මිකවත් සදාචාරාත්මකවත්, මෙහි කේන්ද්‍රීය චරිතයට මා බොහෝ සෙයින් සමීපයි. ඔහු ඉතා දුගී ජන කොටස් වෙතට සමීප වීමත් සමගම ඔහු ඔවුන් නියෝජනය කිරීම නම් උගුලට හසු වෙනවා. කොටින්ම අන්තිම දුප්පත් කෙනාට පවා අනෙකා නම කියා ආමන්ත්‍රණය කිරීම. ඔහුට අවබෝධ වෙනවා එම ප්‍රශ්න තුල ඇති අර්බුදකාරි බව. ඇත්තෙන්ම විටෙක ඔවුන් සියල්ල වංකභාවයෙන් අවසන් කරන්නට පුළුවන්. සාහිත්‍යය තුල පවා නිසිලෙස නියෝජනය නොවූ දිළිඳු භාවය නියෝජනය කිරීමේ ගැටළුව අවංකවම සැකසහිතයි. මේ දේශපාලනික නවකතාවේ මගේ දායකත්වයේ එවැනි යමක් තිබේ නම්, මා ඒ පිළිබඳව නිහතමානි වෙනවා, නියෝජනය කිරීමේ අර්බුදය ප්‍රබන්ධයේම කොටසක් කිරීම සහ එය මඳක් කණපිට ගැසීම ගැන.

ස්ටාර්- ඔබ මෙවැනි දේශපාලනික නවකතාවක් ලිවීමට පෙළඹුණේ කොහොමද?

පාමුක්- මං මීට වසර 20 කට පෙර ලිවීම අරඹන කාලයේ කිසිම අයුරක දේශපාලනික පුද්ගලයෙක් නොවෙයි. මගේ පෙර පරම්පරාවේ ලේඛකයෝ බොහොමයක් දැඩි ලෙස දේශපාලනික වූ අයයි. සදාචාරාත්මක වශයෙන් පවා බොහෝ සෙයින් ඊට සම්බන්ධ වූ අයයි. ඔවුන් එදා අත්‍යවශ්‍යයෙන්ම ලියමින් සිටියේ නොබොකොව් කියූ පරිදි සමාජ විවරණයන්. මම හැමදාම විශ්වාස කළා, ඒ වගේම අදටත් විශ්වාස කරන දෙයක් තමයි, එවැනි දේශපාලනයකින් වෙන්නෙ නවකතාවේ කලාවට හානිවෙන එක විතරයි කියන එක. හෙන්රි ජේම්ස් නවකතාවේ උත්කෘශ්ට කලාව යැයි කියූ දේ ගැන විතරක් අවුරුදු 20 කට 25 කට කලින් මට රැඩිකල් මතයක් තිබුණා. එහෙත් පසුව තුර්කිය තුල සහ තුර්කියෙන් බාහිර ලෝකය දැන අඳුනාගැනීමත් එක්කම, මිනිසුන් මගෙන් දේශපාලනික ප්‍රශ්න අසන්නට පටන් ගත්තා. දේශපාලනික විවරණයක් ඉල්ලා සිටියා. ඒ අනුව, තුර්කි රාජ්‍යය විසින් ප්‍රජාතන්ත්‍රවාදයටත්, මානව අයිතිවාසිකම් වලටත්, එම රාජ්‍යයටත් හානි කරන බව මට අවංකව ප්‍රත්‍යක්ෂ වීමත් සමගම මම ඒ දෙ ඉටුකළා. ඒ අනුව මගේ පොත් වලින් එහාට යමක් මම ඉටුකළා.

ස්ටාර්- කොයි ආකාරයෙන්ද?

පාමුක්- පෙත්සම් ඉදිරිපත් කළා. දේශපාලන රැස්වීම් සඳහා සහභාගි වුණා. අත්‍යවශ්‍යයෙන්ම මගේ පොත් වලින් පරිබාහිරව දේශපාලනික විවරණයන් ඉදිරිපත් කළා. ඒ නිසා මා තරමක් අපකීර්තිමත් චරිතයක් බවට පත් වුණා. මීට වසර 10 ක පෙර ජාතිවාදීන්ට පක්ෂපාති වූ තුර්කි රජයට සහ එහි සමාජ කණ්ඩායම් වලට විරෝධී දේශපාලනික යුද්ධයකට සහභාගි වුනා. කොහොම නමුත් මං මටම කියාගත්ත දෙයක් තමයි 'එක් වතාවක් වත් මම දේශපාලනික නවකතාවක් ලියලා මේ හැමදේම හිතින් අහක්කර නොගන්නේ' ඇයි කියන එක.

ස්ටාර්- ඔබට 'හිම' නවකතාව තුර්කිය තුල ප්‍රකාශයට පත් කිරීමේ ගැටළුවක් තිබුණා ද? ඉස්ලාම්වාදීන් සහ අනෙක් පිරිස් විසින් මෙය පිලිගනු ලැබුවේ කෙසේද?

පාමුක්- පොත ප්‍රකාශයට පත් කරන්නට පෙර මම මගේ ප්‍රකාශකයාටත් යහළුවන්ටත් කියා සිටියා, මා සෘජු දේශපාලනික නවකතාවක් ලියා අවසන් කරමින් සිටින බව. එය නීතීඥයන් වෙත යොමු කළ යුතුදැයි මා ඔවුන්ගෙන් විමසා සිටියා. තුර්කිය යුරෝපය සමග සබඳතා ගොඩ නගමින් සිටින නිසාත්, ජාතික සහ අන්තර්ජාතික වශයෙන් මා කීර්තිමක් ලේඛයකුව සිටි නිසාත් එය අනවශ්‍ය බව ඔවුන් කියා සිටියා. ඉන් ටික කාලෙකට පස්සෙ මම මගේ ප්‍රකාශයාට පොත භාර දුන්නා. ඉන් හරියටම සතිකයට පස්සෙ මා ඇමතු ප්‍රකාශකයා කියා සිටියේ ඔවුන් අත්පිටපත් කියවූ බවත්, ඒ පිළිබඳ ඔවුන් මහත් සේ සතුටු වන බවත්. එය එසේ වුවත් එය නීතිවේදියෙකු වෙත යොමු කිරීම පිණිස මගේ අවසරය ඔවුන්ට ඕනෑ වී තිබුණා. මොකද ඔවුන් ඉතාමත් කණගාටු වුණා යම් හෙයකින් පොත් ප්‍රකාශයට පත් වීමට පෙර තහනමට ලක්වෙයි කියලා. එහෙමත් නැතිනම්, රජයේ නීතිඥයන් ඊට එරෙහිව නඩු පවරයි කියලා.

පළමු මුද්‍රණය ලෙස පොත් 100,000 පිට වුණා. ඒ වගේම ප්‍රකාශයා තැති ගැන් වූ අනෙක් කාරණ වුණේ ආර්ථීක වශයෙන් ඔවුන්ට සිදුවන්නට යන දේ ගැන. උදාහරණයක් විදියට ඔවුන්ට සිදුවුණා පොත මුල්ලක සඟවලා තියන්නට. මොකද කිසියම් විදියකින් ඒවා රාජ සන්තක කළේ නම් ඔවුන් සඳහා පොත් යම් ප්‍රමාණයක් හෝ ඉතිරි කර ගැනම ඔවුන්ගේ බලාපොරොත්තුව වුණ නිසා. එහෙත් අප සිතු තරම් සර්ව අශුභවාදී කිසිවක් සිදු වූයේ නෑ. ඇත්තෙන්ම රට තුල ඒ පිළිබඳ පැහැදිලි කතිකාවක් ගොඩ නැගුණා. ඒ වෙනුවට සිදුවුණේ දේශපාලනික ඉස්ලාම් භක්තිකයන් සහ ඔවුන්ට සහයෝගය දක්වන පිරිස් හමුදා සමග එක්ව මා වෙත ප්‍රහාරයක් එල්ල කිරීමයි. එහෙත් මම අනතුරින් ගැලවුනා. කිසිවක් සිදුවුණේ නෑ. ඇත්තෙන්ම සිදුවනු ඇතැයි මම බලාපොරොත්තු වූ අයුරින්ම එය ක්‍රියාත්මක වී තිබුණා. සමහරක් රැඩිකල් ඉස්ලාම්වාදීන් ඉතාම නොවැදගත් අදහස් පල කරමින් පොත විවේචනය කරන්නට පටන් ගත්තා. නවකතාවෙහි එන එක් සිදුවීමක් අලලා, ඔවුන් කියා සිටියේ, මා ඉස්ලාමිකත්වය විස්තර කිරිමට උත්සහ දරා ඇති නමුත් කිසිම ඉස්ලාම් භක්තිකයෙකු ගැහැණියක හා විවාහයට පෙර කිසිම අයුරක ලිංගික සබඳතාවන් නොපවත්වන බව මා නොදන්නා බවයි. එබැවින් එය මා විසින් දැනගත යුතු බවත් කියා සිටියා. තවත් අතෙකින් ලිබරල් ඉස්ලාම්වාදින් ප්‍රකාශ කර සිටියේ තුර්කි හමුදාවන් විසින් ඔවුන් හිංසනයට පත් කරන ලද බව පිළිබඳ තතු හෙළි කිරීම ඔවුන්ගේ ප්‍රසාදයට ලක් වූ බවයි.

ස්ටාර්- නොබෝදා පැවති නේටෝ සමුළුව සඳහා ඉස්තාන්බුල් වෙත පැමිණි ජෝජ් බුෂ් ඔබව හඳුන්වා සිටියේ පෙරදිග සහ බටහිර බෙදුම අතර පාලම් තනන ශ්‍රේෂ්ඨ ලේඛකයා ලෙසයි. ලොව කොතැනත් මිනිසුන් මිනිසුන්ම යැයි ඔබ ලියූ වැකියක් උපුටා දක්වමින් ඔහු කළේ මැද පෙරදිග ජනතාවට 'නිදහසේ විසීමට ඇති ජන්ම අයිතිය' පිළිබඳ ඔවුන්ට සහයෝගය දැක්වීම පිණිස වූ අමෙරිකානු උත්සහයන් ආරක්ෂා කිරීමයි. ඔබ හිතනවද ඇත්තටම ඔබ කියූ දේ ඔහු වටහාගෙන ඇති බව?

පාමුක්- මේ යුද්ධයත් සමගම ජෝජ් බුෂ් බටහිර සහ පෙරදිග අතර විශාල දුරස්ථභාවක් ඇති කලා කියලයි මට හිතෙන්නේ. ඔහු කළේ අනවශ්‍ය ලෙස සමස්ත ඉස්ලාම් ප්‍රජාවම ඇමරිකාවට සහ බටහිරට එරෙහි සතුරන් බවටපත් කරගැනීමයි. එය බොහෝ මිනිසුන්ට සංත්‍රාසයන්, දරුණු පරාජයන් සහ අනවශ්‍ය විඳවීම් සහ පීඩා අත්කර දිය හැකි මාර්ගයක් වේවි. එමගින් පෙරදිග සහ බටහිර අතර වූ ආතතිය තව තවත් ඉහළ යාවි. මේ දේවල් කිසිවක් කිසිම අයුරකින් සිදුවනු ඇතැයි බලාපොරොත්තු නොවූ දේවල්. මං ලියූ හැම පොතක් හරහාම මට ඕනෑ වුණේ ඔය කියන පෙරදිග සහ බටහිර අතර සාමය වෙනුවෙන් යමක් කරන්න. කෙටියෙන් කියතොත්, වසර ගණනාවක් තිස්සේ මං පොත් වල ලියූ සියළු දේ වැරදියට උපුටා දැක්වීමක් සිදු කරල ඔවුන් කළ සියළු දේට එය සමාව අයදීමක් ලෙස භාවිතා කලා. එය ඉතාම සාහසික ක්‍රියාවක්.

ස්ටාර්- නවකතාව කිසියම් ආකෘතියක් ලෙස මැද පෙරදිග හෝ, බටහිර නොවූ ලෝකය තුල වඩා පුළුල් ලෙස සක්‍රීය වන යමක් ද? එහෙමත් නැතිනම් ඔබ තරමක් අසාමාන්‍ය යමක් කරන්නේ යැයි ඔබ සිතනවාද?


පාමුක්- නෑ. නවකතා කලාව ඉතාම හොඳ එකක්. එය පවතින්නක්. එය ප්‍රථ්‍යස්තතාවෙන් අනූනයි. බටහිරත්, අමෙරිකාවෙත් යුරෝපයේත් එය එසේ වන බව මට විශ්වාසයි. නමුත් එය මධ්‍යම පාන්තිකයන්ගේ පෙර නොවූ විරූ නැගිටීමක් ඇති ඉන්දියාව, චීනය වැනි රටවල් තුල අමුතු එහෙත් අලුත් අනාගතයකට හිමිකම් කියාවි. මේ නව මධ්‍යම පාන්තිකයන්ගේ බලය නීත්‍යානූකූල කිරීමත් සමගම ඉන්දියාවෙත් චීනයෙත් අනන්‍යතාව පිළිබඳ අර්බූද නිර්මාණය වෙන්නට පටන් ගන්නවා. බටහිර සහ යුරෝපයේ අසමාන අනන්‍යතා හමුවේ ඔවුන්ගේ ජාතිකවාදයත්, පහල පාන්තිකයන්ගේ විරෝධය හමුවේ ඔවුන්ගේ බටහිරවාදයත් අවුළුවනවා. මම හිතන්නේ පෙරදිගින් බිහිවන නූතන නවකතාව, මෙම පෙරපර දෙදිග නූතනත්වය සහ ඉතා සීරුවෙන් හා ප්‍රවේසමෙන් හැසිරවිය යුතු චීන- ඉන්දීය මධ්‍යම පාන්තික නැගිටීම විසින් නැවත වතාවක් මේ ආතතීන් ඉහළ නැංවේවි. ඇත්තෙන්ම තුර්කියෙත් ඔය ටිකම තමයි.

ස්ටාර්- 'හිම' නවකතාව තුල, එක් අවස්ථාවක දී රැඩිකල් ඉස්ලාම්වාදියෙක් වන 'බ්ලූ' කියා සිටින්නේ අමෙරිකාවෙන් ලෝකෙට දායාද කළ වඩා හොඳම දේ නම් 'රෙඩ් මල්බොරෝ' බව. ඒ ගැන ඔබ එකඟ වෙනවද?

පාමුක්- මං තරුණ කාලේ හුඟක් ඔය කියන වර්ගයේ සිගරට් බොන්න පුරුදු වෙලා හිටියා. හැමවිටම අපේ පෞද්ගලික අභිමතයන් ඒ ඒ චරිත තුලට අපි ඔබ්බවනවා. ප්‍රබන්ධකරණයෙන් ලැබෙන එක සතුටක් ඒක.
පරිවර්තනය - හිමේන්ද්‍රි කරුණාරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails