
ජූනි 26 (අඟහරුවාදා) හැන්දෑවේ ලන්ඩනයේ තේම්ස් නදියේ දකුණු ඉවුරට බෝම්බ වර්ෂාවක් අහසින් හෙලන්නට නියමිතව තිබුණා. කිසිවෙකු රිදවන අටියෙන් නම් නොවේ! 'මානුෂික මෙහෙයුමකුත්' නොවෙයි! බෝම්බ කිවුවාට ඒවා බෝම්බ වලටත් වඩා දරුණුයි. කවි....! ඔව්... කවි වැස්සක්....! හෙලිකොප්ටරයකින් ඉගිලී ඇවිත් ලන්ඩන් නගරයට කවි බෝම්බ වර්ෂාවක් වස්සවන්නට සැලසුම් කළේ චිලී රටෙන් පැමිණි කලා සාමූහිකයක් වන "Casagrande" කණ්ඩායමේ සහෘදයෝ.
බරින් ටොන් බාගයකට ආසන්න බුක් මාර්ක් හැඩයේ පත්‍රිකාවල ලියන ලද මේ "බෝම්බ" තොගයට ලෝ පුරා රටවල් 204ක ජීවමානව සිටින කවි කිවිඳියන් 300කගේ කවි (පිටපත්) මිලියනයකට ආසන්න ප්‍රමාණයක් අන්තර්ගතයි.
අතීතයේ දිනවල අහසේ සිට බෝම්බ වැහි වැටුණු මේ නගර වල, ඒ අහසින්ම එන කවි වැස්සක සිත්තමක් මවන්නටයි, ඔවුන්ට අවශ්‍යව ඇත්තේ. මේ බෝම්බ හිස් මතට වහින්නේ අර බෝම්බ වැහැපු විදිහෙන් සම්පූර්ණයෙන්ම වෙනස් සන්දර්භයක. බර්ලිනය, වෝර්සෝව, ගුවර්නිකාව, සන්තියාගෝව බඳු නගර වලට කවි බෝම්බ දැමීමේ අත්දැකීම් සමගයි ඔවුන් මෙවර ලන්ඩනයට එන්නේ.
"කවි බෝම්බ වල අයිතිකරුවන් බොහොමයක් වයස 40ට අඩු අයයි. අනාගතය දෙස බැලීමයි ඉන් අදහස් වෙන්නේ... විවිධ සංස්කෘතීන්ට අයත් වෙනස් සන්දර්භයන්ගෙන් පැමිණෙන වැඩිහිටි සහ තරුණ පරම්පරා දෙකක් ඉහළ අහසේ දී එකට මුහු වෙනවා.... !" Casagrande සාමූහිකයේ Cristóbal Bianchi පවසනවා.
සිය ගණන් කවි සහෘදයන් පොළව මත කවි වැස්සට තෙමෙන්නට දෑස් දල්වා බලා සිටිනවා. "අපි කවි වැස්සවූ කිසිම වතාවක කවි වැස්සෙන් පසු පොළව මත කිසිදු කවි පත්‍රිකාවක් ඉතිරි වූයේ නැහැ. මිනිස්සු ඒ හැම කවියක්ම අහසේදීම අල්ලා ගත්තා... පොළවෙන් අහුලා ගත්තා..."
Casagrandeවේ ඔවුන් මුල්ම වරට කවි බෝම්බ දැම්මේ ඔවුන්ගේ රටේ ඒකාධිපතියා, පිනෝචේ සිර ගත කළ සතුටට... අති මහත් කැපවීම් වලින් උදා කර ගත් නිදහස සමරන්නටයි.

සුරත්
සූකිරි කරන්ට්ස් | ලන්ඩන් නගරයට අහසින් බෝම්බ වර්ෂාවක්.....! - [සුරත්]
Posted by
BoondiOnLine
6.26.2012



