Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලෝකයේ බොහෝ සංගීත විධි ප්‍රභවය වූයේ ආගමික පසුතලයක් ඇසුරෙනි. භාරතීය, බටහිර හා චීන සංගීත විධි මෙසේ ප්‍රභවය වූයේය. එහෙත් බුද්ධාගමේ සංගීතයට හිතකර තත්වයක් පෙන්නුම්කර නැත. බෞද්ධ සජ්ජායනය පවා ගායන තත්වයෙන් තොරව ඉදිරිපත් කළ යුතු බවට චූල වග්ගයේ සටහනක් එයි. න භික්ඛවේ ආයතකේන ගීතස්සරේන ධම්මෝ භාෂිතබ්බෝ. මොනම භික්ෂුවක්වත් ධර්මය ගීතස්වරයෙන් ඉදිරිපත් නොකට යුතු බව මින් ගම්‍ය වේ.

මහාවංශය නොයෙකුත් සංගීත උත්සව ගැන විස්තර සපයන නමුත් එක සංගීතඥයෙකුගේ නමක් පවා සඳහන් නොකරයි. මහනුවර යුගයේ කවිකාර මඩුවේ සේවය කළ කවීන්ද්‍රයන්ගේ නමක් පවා සඳහන් නොකරයි. මේ අතර සංගීතයට සවන්දීම හෝ සංගීතයේ නියැලීම තහනම් කර රජවරුන් විසින් කථීකාවත් නිකුත් කර තිබේ. ඒ කුල පුත්‍රයන්ට පමණක් පැනවූ නියෝගයන්ය. සාමාන්‍ය ගිහි ජනයාට එම නීති බලනොපාන නමුත් ගිහි ජනයාට වුවද සංගීතය අවශ්‍ය වින්දන කලාවක් වශයෙන් හෝ වංශ කථා වල නොදැක්වේ. මෙම තත්වය ඇති වීමට හේතු රාශියකි.


ජයදේවගේ ගීත ගෝවින්දය- අත් පිටපත- 1550


භාරතීය ඉතිහාසයේ විශේෂයෙන්ම හින්දු ආගමේ සංගීතය වන්දනා ක්‍රමයකි. හින්දු ආගම භක්ති මාර්ගය පදනම් කරගත් ධර්මයකි. එය බුද්ධාගමට පදනම් වූ ඥාණ මාර්ගයට හෝ වෛදික ආගමට පදනම් වූ කර්ම මාර්ගයට අයත් නොවූවකි. එක් දෙවි කෙනෙකු වෙනුවෙන් ජීවිතය කැප කිරීම, එම දෙවියන් නිතර නිතර වර්ණනා කිරීම, දෙවියන්ගේ සුව පහසුව සඳහා අවශ්‍ය සියළු සේවය කිරීම භක්ති මාර්ගයේ පිළිවෙතයි. එය භාරතීය මෝක්ෂ මාර්ගයේ එක් ධර්මතාවයකි. භක්ති වන්දනය දෙවියන් සමග සහවාසයේ යෙදීම දක්වා පවතින බවට ද මතයක් තිබේ. භක්තිය පදනම් කරගත් භජන සංකල්පය සංගීතයට ඉතා සමීප විය. භජන සංකල්පය භක්ති මාර්ගයේ ප්‍රබල ආධාරකයක් විය.......

දෙවියන් වෙනුවෙන් රචිත භක්ති (භජන් ගී) ගීත දහස් ගණනින් මධ්‍යකාලීන යුගයේ බිහි විය. මේ ගීත සෑම එකකම වාගේ අධික ශෘංගාර රසය පිරී පැවතුණි. දෙවියන් අභියස දී කෝවිල තුළට ගොස් ගැයීමට හැකිවුවද මෙවන් ගීත බෙද්ධ සමාජයේ පිළිකුලට භාජනය වුණි. ජයදේවගේ ගීත ගෝවින්දය රසවත් සංස්කෘත කාව්‍යයක් වුවද සිංහල ගෘහයක එම කාව්‍යය කියවීමට පවා සුදුසු තත්වයක පැවතියේ නැත. භක්ති මාර්ගයෙන් විමුක්තිය කරා යෑමට සංගීතය ද ප්‍රබල ස්ථානයක පිහිටියේය. එය මෝක්ෂ මාර්ගයක් විය.

රසයෙන් අනූන වූ සංගීතය බෞද්ධ යතිවරයන් අතර ගැරහීමට පත්වූයේ මේ හෙයිනි. එකල භාරතයේ ප්‍රධාන ස්වර වාද්‍ය භාණ්ඩය වූයේ වීණාවයි. සමන්තපාසාදිකා විනය අටුවාවේ වීණාව කෙලෙස් පූරණ භාණ්ඩයක් වශයෙන් පරිභවයට ලක්කර තිබේ. භාරතීය සංගීතය ස්වර සංකලනයක් පමණක් නොව සිත රංජකත්වයට පත්කරන, සිත් බැඳගන්නා වූ මාධුර්්‍යයෙන් යුක්තයි. පංචකාම වස්තූන් අතර ශබ්දය (නාදය) කාම වස්තුවකි. ක්ෂය කළ යුතු, ධර්මයන් රැස් කිරීමට බාධකයක් වූ ශබ්දකාමයේ ඇලී සිටීමට බුදු සමයේ මූලික පරමාර්ථ අනුව ඉඩක් නැත.........

ලංකාවේ පැවති පංචතූර්ය භාණ්ඩ වර්ගීකරණයට තත් භාණ්ඩ ඇතුළත් කොට නැත. එහි තුන්වන වර්ගය වූ ආතත විතත (විතතාතත) වර්ගයෙන් තත් භාණ්ඩ අදහස් කෙරෙන බව සමහරු පෙන්වති. කෙසේ හෝ තත්භාණ්ඩ වර්ගයක් පැහැදිලිව දැක්වීමට නොහැකි වූයේ ඇයි ද යනු ප්‍රශ්නයකි.

භාරතීය භක්ති ගීතය සිංහල රාජ සභාව තුළට ද පිවිසියේය. කෝට්ටේ හා මහනුවර යුගයන්හි රාජ සභාවල ගයනු ලැබූ ප්‍රශස්ති හා විරහ ගී වල භක්ති රචනා ලක්ෂණ දක්නට තිබේ. රජතුමා මිහිපිට දෙවියෙක් බව ආරෝපණය කිරීම සඳහා භාරතයේ දේව මන්දිර ඇතුළත පැවති සියළු චාර ධර්ම සිංහල රජ මාළිගය තුළටද පිවිසියේය. නමුත් විරහ ගීතය රජ මාළිගයෙන් බැහැරට ගියේ නැත. එය බෞද්ධ සිංහල සමාජයේ පිළිකුලට භාජනය වූයේය.


ශ්‍රී ලංකාවේ නැටුම් හා ගැයුම් වලට තරමක හෝ ආධාරයක් ලැබුනේ සිංහල දේවාල උත්සව වලිනි. දේවාලය, බෞද්ධ නොවූ, එහෙත් බුද්ධාගමට වැද්දගනු ලැබූ විෂ්නු, ගණපති වැනි දෙවිවරුන් මෙන්ම ප්‍රාදේශීය සිංහල දෙවිවරුන් අදහනු ලබන කුටියකි. දේවාලයේ කපු මහතා හෙවත් පූජකයා සෑම විටම බෞද්ධයෙක් විය. එහෙත් දේවාලයේ එදිනෙදා කටයුතු සඳහා සංස්කෘත භාෂාවෙන් බැඳි ශ්ලෝක ගායනය අවශ්‍ය විය. එය හින්දු ආගමේ මෙන්ම මහායානයේද භාෂාවයි. බුද්ධාගමේ භාෂාව පාලි භාෂාවයි. දේවාල වන්දනා ක්‍රමය ලංකාවේ බෞද්ධයන්ගේ දෙවන ආගමයි. දේවාල වන්දන ක්‍රමයට නටුම් ද පවත්වනු ලැබේ.

-ලංකාවේ සංගීත සම්භවය (1974) කෘතියෙන් උපුටා ගන්නා ලදී.

සී.ද.එස්. කුලතිලක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails