Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ස්ත‍්‍රීවාදී කතිකාව කරුණු කිහිපයක් නිසා පශ්චාත් යටත්විජිතවාදී සාහිත්‍ය සංකල්ප සමග සමරූපීතාවක් දක්වයි. අන්‍යෝන්‍ය වශයෙන් මෙම සංකල්ප ද්වයෙහි ප‍්‍රතිබද්ධතාව ප‍්‍රශංසා කටයුතුය. ස්ත‍්‍රීවාදය සම්බන්ධයෙන් ඇති බහුවිධ කතිකා අතිශයින්ම දේශපාලන මුහුණුවරක් සහිත රැඩිකල් ස්වරූපයක් ගනියි. නැතහොත් දේශපාලනමය අවශ්‍යතා මත ස්ත‍්‍රී කාරකත්වය තීරණය කරන සාධකයක් බවට පත්වෙයි. කෙසේ වුවද පීතෘමූලිකත්වය තුළ සුදු හම හා ස්ත‍්‍රීත්වය සම්බන්ධයෙන් සංස්ථාපිත මූලික කාරණා බලවත් ලෙස පුරුෂරූපීභාව හා අධිපතීත්වය මත දෝලනය කරයි.

පීතෘමූලික හෙජමනික සංකල්ප ස්ත‍්‍රී බාහිර ස්වරූපයෙහි කාරකත්වය පාලනය කරයි. අධිරාජ්‍යවාදය හෝ පීතෘමූලිකවාදය එහි ද්‍රව්‍යාත්මක සාධක පවත්වා ගෙන යාමට අධි ශ්‍රේෂ්ඨ යයි සම්මත දෘෂ්ටිවාද නිෂ්පාදනය කර ගන්නට විය. හැම විටම පශ්චාත් නූතනවාදී සමාජය තුළ ප‍්‍රතිනිෂ්පාදනය වන දෘෂ්ටිවාද පීඞීත කාන්තාව මෙවැනි තත්ත්වයකට ඈඳයි. විශේෂයෙන්ම ස්ත‍්‍රීවාදයෙහි බහු ප‍්‍රකාශන පුරුෂ මූලිකවාදයෙහි දේශපාලනික හා ආර්ථික දෘෂ්ටිවාද නිෂ්පාදනය විතැන් කරන අතර ලිංගික සාධක මත ස්ත‍්‍රිය පහත් තලයකට ඇද දැමීමේ නිර්වචන ඉදිරිපත් කරන න්‍යායිකයින් ද ප‍්‍රතික්ෂේප කරයි. ඇයගේ කාරකත්වය මත සමරූපී තැනැක් ඇයට ලබාදිය යුතු ආකාරය ප‍්‍රශ්න කරයි.

බොහෝ විට ස්ත‍්‍රිය ආගන්තුක පුරුෂාධි බලය විසින් අසාධාරණ ලෙස නිර්වචනය කරයි. ස්ත‍්‍රියගේ ස්වාභාවික හම සහ කාරකත්වය මත තීරණය වන මෙය යටත්විජිතවාදය හා පීතෘමූලික සමාජය තුළද සිදු වූවකි. ස්ත‍්‍රී කන්‍යාභාවය, වේශ්‍යත්වය, මිලේච්ඡත්වය හා අශිෂ්ටත්වය යන සාධක මුඛ්‍ය කොට ඇය හඳුනා ගැනීමට බහුවිධ පුරුෂයන් උනන්දු වන්නට විය. ස්ත‍්‍රීවාදී සාහිත්යික පඨිත සහ න්‍යාය මගින් මෙම මතය කතිකවාදී වීමංසනයකට යොමු කරයි. ස්ත‍්‍රීපුරුෂ සමාජභාවය හා ස්ත‍්‍රිත්වය දෙස නව්‍ය ඇසක් යොමු කරයි.

ලිංගිකත්වය හෝ පුරුෂමූලිකවාදී පරපීඩනය මත නව්‍ය දේශපාලන ආකල්ප ස්ත‍්‍රිය වටා කේන්ද්‍රගත වන්නට විය. මෙම තත්ත්ය තුළ ස්ත‍්‍රිය ස්වාභාවික කාරකත්වය ඉක්මවා දේශපාලනක, ආර්ථික, ලිංගික භාණ්ඩයක්, වහලියක් වශයෙන් වෙන්දේසි වෙයි. නිදසුනක් වශයෙන් දක්වන විට යටත්විජිතවාදී සමාජය තුළ ස්ත‍්‍රිය මූලිකව යටත්විජිතකරණ පුරුෂාධිපති බලයටත් යටත් විජිත වැසි පුරුෂාධිපත්‍යයටත් දෙබෙදුමකට ලක් වෙයි. සෑම අවස්ථාවකම අඩු වැඩි වශයෙන් මෙම දෙබෙදුම තුළ ඇය මානසිකව හා බාහිරව පීඩනයට පත් විය.

ඓතිහාසිකව ගත් විටද පුරුෂ මූලික පරපීඩනය ස්ත‍්‍රීන්ගේ ජීවිතයට ප‍්‍රබලව බල පෑ බව පැහැදිලිවම පෙනේ. ආර්ථිකව හා සාමාජීයව මෙම තත්ත්වය දැක ගත හැකි වූ අතර ස්ත‍්‍රිය සම්බන්ධයෙන් අධ්‍යයනය මෙම තත්ත්වය ප‍්‍රබල ලෙස ප‍්‍රශ්න කරයි. මෑතකාලීනව ස්ත‍්‍රීවාදය සම්බන්ධයෙන් බහුවිධ සංකල්ප සංකථනයට පත් වූ අතර ආර්ථික හා ජනවාර්ගික ධූරාවලි නොමැති සාමූහික කණ්ඩායමක් ලෙස ඇය නිර්වචනය විය. ස්ත‍්‍රිය පිළිබඳව සෞන්දර්යමය අගය මැනීම ද මේ හා සමග ඇති වෙයි.


බෙහෝ ස්ත‍්‍රීවාදී ශාස්ත‍්‍රීය රචනා මගින් ස්ත‍්‍රි කාරකත්වය පිළිබඳව අදහස් දක්වා ඇත. ස්ත‍්‍රිය තනිපුද්ගල වශයෙන් හා කණ්ඩායම්ගතව විසදෘශ්‍යතාවකට පත්කරන ආකාරය ප‍්‍රශ්න කරයි. එකඟත්වය හා උපායශීලීත්වය මත බාහිර අධිපතිවාදයන්ට ඇය විරුද්ධ වන ආකාරය දක්වයි. ස්ත‍්‍රීවාදී කතිකාව නූතන අවකාශය තුළද අනතුරට භාජනය විය හැකි ස්ත‍්‍රී ශරීරය නැවත නැවත විමර්ශනය කරයි. ස්ත‍්‍රියගේ සෞන්දර්ය හැකියාව හා කාරකත්ව න්‍යෂ්ඨිය මැනිය යුත්තේ මෙවැනි වටිනාකම් ඇය සතු වන නිසාය.

පුරාතන හා නූතන සමාජය තුළ ස්ත‍්‍රිය සුවිශේෂී වශයෙන් සමාජ පැවැත්මට දායකත්වයත් සපයමින් සිටියි. ගෘහීය කටයුතු, මාතෘත්වය හා කෘෂිකර්මාන්තයේදී ඇය නැවත නිෂ්පාදනය කළ හැකි පුනර්සූත‍්‍රකරණයට දායක වෙයි. ඒ සඳහා ඇය සතුව ජීවවිද්‍යාත්මක, සංස්කෘතිකමය හා සාමාජීය හැඩයක් පවතී. බහුසංස්කෘතික බහුආගමික හා බහුවාර්ගිකව ඇය අසාහය කටයුත්තක් සිදු කරයි. මෙම කාරකත්වය විශ්වීය වටිනාකමකින් යුක්ත වූවකි.

සමස්ත ලෝකය තුළම ස්ත‍්‍රිය කෘෂිකර්මාන්තය හා බෙදාහැරීමේ කටයුත්තට සහභාගී වෙයි. යටත්විජිතවාදය තුළ මෙන්ම නූතන අවධිය තුළද අප‍්‍රිකානු කාන්තාව කරන කාර්යවලිය මෙයට නිදසුනක් වශයෙන් දැක්විය හැකිය. ඇය බහුකාර්ය සමාජ සංවර්ධනයට දායක වෙයි. යටත්විජිතකරණයත් සමග ස්ත‍්‍රියට ස්වාභාවිකවම සමාජයෙන් හා සංස්කෘතියෙන් උරුම වූ වටිනාකම හා වගකීම වෙනසකට පත් වේ. බහුආර්ථික ක‍්‍රියාදාමයකට ඇයගේ වටිනාකම හා ශ‍්‍රමය වැයකිරීමට ඇයට සිදු වූ අතර එනිසාම ස්ත‍්‍රිත්වය යන වචනයද ගැටුමකට හසු වේ. එසේම දෛනිකව සංස්කෘතියෙන් හා සමාජයෙන් ඇයට උරුම වූ වගකීම හා කාරකත්වයද සපුරාම යටත්විජිතවාදය විසින් ශ‍්‍රමය හා ලිංගිකත්වය මත යැපෙන ධූරාවලියක් මත ස්ථානගත කරයි. ස්ත‍්‍රී වටිනාකම හා ශ‍්‍රමය වෙනත් දිශානතියකට ඈඳීම මෙයින් සිදු වූ බව කිව හැකිය. එසේම මාතෘත්වය හමුවේදී ඇය යළි නිෂ්පාදනය කිරීමේ සශ‍්‍රීකත්වයට සහභාගී වේ. මේ කාර්යන් ද්වයම ඇයගේ සෞන්දර්ය වටිනාකම හා අසාහය කාරකත්වය ඉස්මතු කරයි.

මෙම ද්විතීයීක කාර්යන් තුළ ඇයගේ සෞන්දර්යමය අගය මැනිය යුත්තේ ශ‍්‍රමය පදනම් කරගෙන ඇයගේ කාරකත්වය ද්විගුණාකාරයට පත් වීම මතය. මාතෘත්වය අභිමුව ලෝකයෙහි පැවැත්මට ආවශ්‍යයික පදනම වගා කිරීමේ වටිනාකම ඇයට ලබා දෙන්නකි. ස්ත‍්‍රිය අප දකින ආකාරයට කිසි වටිනාකමක් නොමැති තැනැත්තියක් නම් ලෝකයක පැවැත්මට අවශ්‍යය පදනම දැමීමේ පුනර්සූත‍්‍රකරණයට ඇය සම්බන්ධ වන්නේ කෙසේද?
මෙවැනි සංකල්ප දෙස අවධානය යොමු කිරීමෙන් ස්ත‍්‍රිය පිළිබඳව අපගේ චින්තනය පෘථුල කරගත හැකිය. ස්ත‍්‍රීවාදී අධ්‍යයන හා කතිකා තුළින් ඇයට සමතැනක් ලබාදීමට ප‍්‍රයත්න දැරිය යුත්තේ කාරකත්වය පදනම් කරගෙන විනා හුදෙක් අසාධාරණයට ලක්වීම මත පමණක්ම නොවේ.

සෞන්දර්යමය වස්තුවක් විලසින් ඇය නිර්වචනය කරන්නේ කෙසේද යන කාරණය කෙරෙහි පෘථුල අවධාරණයක් දීමේන් ඇයගේ කාරකත්වය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිය. මූලිකව රෝමාන්තිකවාදී සාහිත්යික රචනා තුළ ආදරයට, ශෘංගාරයට, වීරත්වයට මුල් තැනැක් ලබා දෙයි. එනිසා රෝමාන්තිකවාදී සාහිත්යික පඨිත තුළද ස්ත‍්‍රිය සෞන්දර්ය වස්තුවක් ආකාරයෙන් නිරූපණය වෙයි.

ස්ත‍්‍රිය කෝමළත්වයෙන්, සියුමැලිභාවයෙන් හා ලළනා ස්වරූපයෙන් මූර්තිමත් විය. අතිශයින්ම නූතනවාදී හා පශ්චාත් නූතනවාදී ඇතැම් රචනාවලද මෙය පැනෙයි. සාහිත්‍යයෙහි හා කලාවෙහි ස්ත‍්‍රිය පිළිබඳව මෙම අවධාරණය ඇයගේ කාරකත්වය පාලනය කරයි. ලාංකේය සමභාව්‍ය සාහිත්‍යයෙහිද මෙය පැහැදිලිවම දක්නට ලැබේ. සැළලිහිනි සන්දේශ කතුවරයා "සිසිවන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින" වශයෙන් ස්ත‍්‍රියට ආමන්ත‍්‍රණය කරයි. සීගිරි ගීවලින්ද බෙහෝ විට තත්කාලීන සමාජ සන්දර්භයෙහි පුරුෂයා ස්ත‍්‍රිය පිළිබඳව දැරූ ආකල්පය අවබෝධ වෙයි. ස්ත‍්‍රියගේ ළලනා ස්වරූපය මෙන්ම ඇයගේ චපලත්වය ඇතැම් අවස්ථාවලදී සම්භාව්‍ය සාහිත්‍යයෙන් නිරූපණය විය. එහෙත් කපටි, මිලේච්ඡ, අවස්ථාන්විත නුවණ යැයි සම්මත ඇගේ හැකියාව පුරුෂ මූලික සංකල්පවලින් බේරීමට දරූ අසාහය කාරකත්වයක් වශයෙන් ඇගයීමට අපහසු වන්නේ මන්ද?

මෙය කාරණා ද්වයක් වටා කේන්ද්‍රණය වෙයි. ස්ත‍්‍රිය ලස්සන, කෝමළ නිසා පරිසරයෙහි සියුමැලි උපමා, රූපකයන්ගෙන් ඇය වර්ණිත කළ යුතුය. පුරුෂයා ශක්තිමත් නිසා හිරු, කඳු ශිඛරවලින් ඔහු වර්ණනයට ලක් වෙයි. ස්ත‍්‍රිය පිළිබඳව සෞන්දර්ය විනිශ්චය කළ යුත්තේ ඇයගේ ශරීර ස්වරූපයෙහි පවතින සුන්දරත්වය පාදක කරගෙන නොව කාරකත්වය හා බුද්ධි මට්ටම නිසා යැයි කීම සාධාරණය. එසේ වුවා නම් දිට්ඨ මංගලිකා පුරාණෝක්තියෙන් වර්ණිත නූතන ස්ත‍්‍රියට "නිල් මහනෙල් මලත් බරයි කියා ගෙලේ නොබැන්ද" වැනි රූපකමය අර්ථ ජනනයටත් වඩා වටිනාකමක් ලැබෙනු ඇත.

ස්ත‍්‍රි කෝමළත්වය පදනම් කරගෙන ඇය වර්ණනාවට ලක්කරනවාට වඩා හැකියාව මත ඇය හඳුනා ගන්නේ නම් සුන්දරත්වය මත පමණක් ඇය මැනීමේ දුස්සන්ධානය අවබෝධ වනු ඇත. ඇත්තටම සුන්දරත්වය ඕලාරිකය. දුටු පමණින් මනස්කාන්ත නිසා අපි සුන්දරත්වයට ඇදී යන්නෙමු. ස්ත‍්‍රිය මෙම මිම්මෙන් මනින නිසාම ඇය සරාගී, ලිංගික භාණ්ඩයක් වශයෙන් මනියි. එහෙත් ස්ත‍්‍රියගේ ජීවවිද්‍යාත්මක සුන්දරත්වය පදනම් කරගෙන ලිංගික සූරාකෑමට ලක්කිරීම සාධාරණද? එකී සුන්දරත්වය පදනම් කරගෙන ඇය ආභ්‍යාන්තරික ශක්තිය කිසිදු සියුමැලි උපමාවකින් මැනිය නොහැක. පුංචි සිදුරකින් දරුවකු ප‍්‍රසූත කිරීමට කොතරම් කාරක ශක්තියක් ඇයට අවශ්‍යයද? මෘතෘත්වය අභිමුව ලේ කිරි කර පෙවීමට කෙතරම් ශක්තියක් ඇයට අවශ්‍යයද?

ස්ත‍්‍රියගේ දරීමේ හැකියාව හා එහි න්‍යෂ්ඨිය හා එය විඳීමේ ප‍්‍රබල නිදසුනක් යටත්විජිතවාදී සමාජයෙන් අවබෝධ කරගත හැකිය. ප‍්‍රාග් යටත්විජිතවාදී සමාජය කාන්තාව අකර්මණ්‍ය, පහත් තැනැත්තියක් ලෙස සංකල්පගත කරන්නට බලවත්ව උපකාරී විය. මෙහි ප‍්‍රතිපලයක් වශයෙන් බොහෝ ස්වදේශී ස්ත‍්‍රීන්ගේ පෙනුම සරාගීභවයක් ඇති කිරීමේ මිථ්‍යාවක් බවට බටහිර සාහිත්‍යය තුළ හා කලාව තුළ සමෝධානයට ලක් වෙයි. අප‍්‍රිකානු කාන්තාව ස්වකීය ශරීරයෙහි ඇතැම් කොටස් කෘතිමාකාරයෙන් වෙනසකට පත් කර ගැනීම සහ බටහිර අධිරාජ්‍යවාදී ලිංගික ඇසෙන් බේරීමට තැතනූ උපක‍්‍රමය මෙයට හේතුවක් විය. සුන්දරත්වය පදනම් කරගෙන පුරුෂයගේ අතවරයන්ට ගොදුරු වීම නිසා ස්ව ජීවවිද්‍යාත්මක ශරීර ප‍්‍රතිරූපය වෙනස් කරගැනීමට දැරීම අතිශයින්ම බුද්ධිවාදාත්මකය.

පවතින සුන්දරත්වයෙන් හානියක්, විනාශයක් ගෙන දෙන්නේ නම් සෞන්දර්යමය ඥානයෙන් ස්වකීය ශරීර ප‍්‍රතිරූපය වෙනස් කොට සමාජ, ලිංගික ආරක්ෂණයක් ලබා ගැනීම ඇයගේ කාරකත්ව පරිකල්පනයෙහි න්‍යෂ්ඨිය අවබෝධ වෙයි. එසේම අධිරාජ්‍යවාදී පුරුෂයාගෙන් බේරීමේ උපක‍්‍රමයක් ලෙස බෙහෝ අප‍්‍රිකානු කාන්තාවෝ විකෘති යයි සම්මත ශරීර වෙනස්කම් සිදුකර ගත්තෝය. එනිසා නූතනය තුළ පවා ඇතැම් අවස්ථාවක ඇය විකටමය උපහාසයකට ලක්වෙයි. එහෙත් ස්ත‍්‍රි චින්තනය හා පරිකල්පනය පිළිබඳව සෞන්දර්ය ඇසකින් විමර්ශනය කරන විට එහි තථ්‍ය අපට අවබෝධ වෙයි.

යටත්විජිතවාදය තුළ ස්ත‍්‍රිය පරපීඩනයට හා ලිංගිකත්වයට ගොදුරු වීම මත ස්වකීය ශරීර ඉන්ද්‍රියන් පවා වෙනස් කරගනිමින් ලිංගික ආරක්ෂාවක් ලැබීමට ඇය සමත් වූවාය. එසේම යටත්විජිතකරණයත් සමග අප‍්‍රිකානු කාන්තාවගේ දෛනික ජීවිතයෙහි කාරකත්වය වෙනස් දීශාවකට ඈඳෙයි. සිය ස්වාමියා යටත්විජිත පාලකයා පැවරූ වගකීම ඉටු කිරීමට නගරය හා සංනාගරිකය තුළ ස්ථානගත වූ අතර නැවත ස්වකීය පවුල් සංස්ථාව වෙත පැමිණියේ නැත. මෙහි ප‍්‍රතිපලයක් ලෙස ගෝත‍්‍රික සමාජය තුළ මෙතෙක් පැවති ආදරය, සෙනෙහස හා රැකවරණය දෙබෙදුමකට පත් විය. ගෝත‍්‍රික දරුවන් සිය පියා නොහඳුනන තත්ත්වයට පත් විය. එසේම ස්ත‍්‍රිය කුටුම්භයේ නියම අයිතිකාරයා බවට පත් විය. සංනාගරිකය හා අර්ධ නාගරිකය තුළ පදිංචි වූ පිරිමියා අවට සිටි ස්ත‍්‍රීන් සමග ලිංගිකව එක් වෙමින් සිය පවුල් සංස්ථාව අමතක කරන්නට විය.

මෙම පදනම තුළ ස්ත‍්‍රී කාරකත්වය මානසිකව හා කායිකව ද්විගුණාකාරයට පත් වන ආකරයක් පෙනේ. පසුව පළමු, දෙවන හා තෙවන රැල්ලේ ස්ත‍්‍රීවාදී උද්ඝෝෂණ හා සංකථන ආරම්භ වන්නේ මෙම නිසාය. ස්ත‍්‍රීවාදය වැදගත් සංකල්පයක් වශයෙන් පශ්චාත් නූතන සමාජය තුළ ආරම්භ වන්නේ කාරකත්වය පදනම් කරගෙන ස්ත‍්‍රිය වැදගත් මෙහෙයක් ඉටු කළ නිසාය. ඒ අනුව ඓතිහාසිකව සමාජ පැවැත්මට සංස්කෘතික පැවැත්මට අවශ්‍ය කාරකත්ව ශක්‍යතාවක් හා හැකියාවක් ස්ත‍්‍රිය සතුව පැවති බව කිව හැකිය. එනිසා නූතන සමාජය තුළ ස්ත‍්‍රිය දෙස ද අපගේ පරිකල්පනය යොමු විය යුත්තේ කාරකත්වය පදනම් කරගෙන ඇයගේ හැකියාව නිසාය.

එහෙත් නූතන සමාජය තුළ නිෂ්පාදනය වන දෘෂ්ටිවාද හා ස්වාභාවිකරණය වන බහුවිධ සංකල්ප ස්ත‍්‍රිය සම්බන්ධයෙන් ප‍්‍රතිනිෂ්පාදනය වෙමින් පවතී.

පුරුෂයා → දෘෂ්ටිවාද නිෂ්පාදනය → ස්වාභාවිකකරණය → ස්ත‍්‍රිය පාලනය → ප‍්‍රතිනිෂ්පාදනය → අන්තරීකරණය → නැවත ස්ත‍්‍රිය පාලනය → ස්ත‍්‍රී කාරකත්වය ස්වාභාවික ලෙස පාලනය.


ලාංකේය සමාජය තුළ ව්‍යවස්ථාපිත බහුවිධ, බහුමානීය සංකල්ප සංස්කෘතික මුහුණුවරකින් යුක්තව ස්ත‍්‍රී කාරකත්වය පාලනය කරන ආකාරයක් පෙනේ. හවස හතට පෙර ස්ත‍්‍රිය නිවසට ආ යුතුය. ඔසප් රුධිරය කිල්ලට හසුවන නිසා ඇය එම දිනවල නිවසෙහි මුල්ලකයට කොටුවීමේ භූමිකාවක් ඉටු කළ යුතුය. වැනි සංකල්පවල සිට හිට්ලර්, ඉඞී අමීන් වැනි ඒකාධිපති පාලනය දක්වා පැනෙන ස්ත‍්‍රිය පිළිබඳව දෘෂ්ටිවාද ස්වාභාවිකරණය වීම ඇයගේ කාරකත්වය පාලනයට හේතු වන්නකි. සමහර සංකල්ප ස්වාභාවිකකරණ වීමේහි වරදක් නැත.

පන්සිල් පද පහ ආරක්ෂා කිරීම ස්වාභාවිකකරණය වීම සමාජයෙහි පැවැත්මට හේතු වෙයි. දත් මැදීම, නියමිත වේලාවට නෑම, පොත් කියවීම, යහපත් කටයුතු කිරීම වැනි තත්ත්ව ස්වාභාවිකකරණය වීම සමාජ පැවැත්මට හේතු වේ. එහෙත් එවැනි තත්ත්ව පරයා ස්ත‍්‍රිය සම්බන්ධයෙන් ඇති ස්වාභාවිකකරණ සාධක දෂ්ටිවාද බවට පෙරළී ඇයගේ කාරකත්වය පාලනය කරයි. එය ඇත්තටම සාධරණ නැත. සමාජයෙහි ඇයගේ කාරකත්වය පාලනය කොට පුරුෂ භූමිකාව අධිපති තත්ත්වයට පත් වීම නූතනවාදී හා පශ්චාත් නූතනවාදී සමාජ රාමුව තුළද සිදුවීම කොතරම් සාධරණද යන්න විමසා බැලිය යුතුය. එනිසා ජීවවිද්‍යාත්මක, සංස්කෘතික හෝ ආගමික වශයෙන් වූ බහුවිධ සංකල්ප තුළ පැනෙන වැරදි මත හා දෘෂ්ටිවාද විතැන් කොට කාරකත්වය පදනම් කරගෙන ඇය නිර්වචනය කරන්නේ නම් ස්ත‍්‍රිය යන වචනයට අලූත් අර්ථයක් ලැබෙනු ඇත.

එල්.ඒ. සුනිල් වික‍්‍රමසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails