Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඒ ජනවාරියේදී
උදෑසන රන්වන් හිරු සමග මුසු වී
කඳු වළල්ලෙන් පහළටම
මීදුම
පාවී පාවී ආවේය

ඒ සුන්දර කඳුකර නගරය
නොවිණි නම්
අප කිසි දිනෙක
එකිනෙකා මුණ ගැසෙන්නේ නැත

පෙබරවාරියේදී අපි
උද්‍යානය කෙළවර
ඉපැරණි කොටු පවුර මත
වාඩි වී සිටියෙමු
මගේ මිතුරන්
සිය පෙම්වතියන් ගැන දොඩමින් උන්හ
ඇගේ දාහත් වැනි උපන් දිනය සඳහා
සුබ පැතුම් පතක්
මගේ පොත් අතර විය

කඳුළු ගෑස් සහ වෙඩි උණ්ඩ විසින්
අප විසිරවනු නොලැබිණි නම්
ඇතැම් විට අප තවමත් එතැනය

මාර්තුවේදී නගරය
මරණයේ භීතියෙන් වෙළී තිබිණි
අපි ඝාතකයන්ට එරෙහිව
සටන් වදින්නන්ට එක් වූයෙමු

හිටි හැටියේ කඩා වදින
සෙබළ රංචු මිසෙක
ඒ අප්‍රේලය අපේ නගරයට
වසන්තය රැගෙන ආවේ නැත

පුරන් අප්පු ස්මාරකය අසලදී
අපේ සගයන් එකිනෙකා
මරා පුළුස්සා දැමිණි
මැයි මල් අන් හැමදාටම වඩා රතු විය

දෙවන පාසල් වාරය නිමාවේදී
අර්ධ අවසාන සංහාරය
පාසල් බිමේ කඳවුරු බැන්දේය
තුන්වන පාසල් වාරය
කිසි දිනෙක උදා නොවිණි

අඳුරු නොවැම්බර් අහස යට
නගරයේ වීදී
මළ කඳන් වලින් පිරී පැවතිණ

දෙසැම්බරයේදී
කිසිවෙකු විසින් හෝ
ඒවා ඉවත් නොකෙරිණි නම්
ඒ මහා මිනීකඳු තාමත්
නගරයේ වීදීවලය

මගේ මිතුරන් සහ මිතුරියන්
මිනී කඳු යට සැඟව
සදාකාලික යෞවනය තුළ
අතුරුදන් විය
කිසිවෙකු විසින් හෝ
මරා නොදැමුණා නම්
ඔවුහු තාමත් අප අතරය

ඉතිහාසයේ බුල්ඩෝසරය
හැමදාමත් ඇදී ගියේ
අපගේ මල් පාත්තී මතිනි

දැන් ඇය නොමැතිවම
ඇයගේ විසි දෙවැනි උපන් දිනයද
ගෙවී යයි
සුබ පතන්නේ කා හටද

මේ ජනවාරීයේදීත්
කඳු වලළ්ලෙන් පහළට
ඇද හැළෙන රන්වන් හිරු රැස්
හෝ සුදූ මීදූම දකින්නට
ඔවුන් ශේෂ වූවා නම්
මා කිසි දිනෙක
කවි ලියන්නේ නැත

නිම්තෙර (හිරු-1994 ඔක්තෝබර් 02)

අජිත් සී හේරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails