
නිරතුරුව පිටුපිසින් මරු බලා සිටියාද
නිල් අහස අඳුරු වී වහින්නට හැදුවාද
නිරපරාදේ කියා මරුවට ද තේරුනිද
නිමලරූබන් මැරුව ඒ මරුව කවුරුන්ද
මිනීකන යක්ෂයා අරක්ගත් දේශයක
හුදී ජන කම් පියා නිදා ගත් කාලයක
අරගල ද මරණය ද විකුණනා සාදයක
නුඔ ද තවකෙක් පමණි යල් පනින මාසයක
අවලංගු මිනිස්කම් කරලියෙහි හැමතැනම
විලංගුව මියැදෙන්න නුඹ නැගූ කෙඳිරිය
ඇහෙන්නට දෙවියන් ද පලාගිය රාත්රිය
ලියන්නට බැරි දුකකි මේ රුදුරු ශාපය
හඬක් නැති රටක් නැති බිඳුණු සිත් තලාවක
වැඩක් නැති හුදෙකලා සටන් සිර කුටියක
මරු කටක වුව නොමැති අයිතියක් මරණයක
අරන් සකි නුඹ ගියේ උරුම නැති මළ ගමක
නිමල සිත් තිබුණාට සසල වූ කාලයක
විකල වූ නීතියට හෙට ද ඇත ගොදුරක
නිසල කළ නුඹේ පණ වල් වැදුනු යුක්තියක
නිමල රූ පිළිමයකි නුඹ නුදුරු නිදහසක
උදය ආර්. තෙන්නකෝන්



