Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සිදාදියට එන්නට මට
බුද්ධිය උඹ තමයි එදා
පාර කියා දුන්නෙ
ගමෙන් උරුම වු වස්තුව පොදියක් බැඳ කර තියාන
නුඹේ බහට රැවටීලයි සිදාදියට මං අවේ....

ඒ එනකොට ගෙන ආ දෙය
විය පැහැදම් කළා මිසක
මෙහි දී අලුතෙන් ඉපයු කිසිම දෙයක් නැත්තේ
ඉස බරකළ පුහු නම්බුව විතරයි මට ඇත්තේ....

සිදාදියෙන් ආපහු මගෙ
ගමට යන්න ආසයි මට
ඒත් ගමට යන්නට දැන්
පාර මතක නැත්තේ....

පැලේ පිළේ ඉපදුණු මට
රජවාසල හුරු කොයින්ද
රජුන් ඇමතියන් නළවන
මිහිරි මුසා බස් කොයින්ද...

ඉතිරිව ඇති සුළු වස්තුව
රැකගෙන ආපසු එන්නට
ඈත ඉදන් අත වනලා
අම්මේ මට ගමට එන්න
පාර කියපන්නේ....

-මහගමසේකර


ගමරට මතකයි
ගමෙන් පිටට යන්නට මට
බුද්ධිය උඹ තමයි එදා
පාර කියා දුන්නේ

රටෙන් පිටට යන්නට මට
යුද්ධය උඹ තමයි එදා
පාර කියා දුන්නේ

රටෙන් උරුම වූ වස්තුව
හිත අස්සේ හංගාගෙන
උඹේ බහට රැවටීලයි
තවමත් මම ඉන්නේ

ඒ එනකොට ගෙන ආ දෙය
එහෙම්ම මය
පොලියත් තව
එකතු වෙලා ඇත්තේ

ඉරිසියාව කුඩුකේඩුව
මහන්තත්ත තක්කඩිකම
මුග්ධ කමින් හිස ඉදිමුන
රට ජාතිය ආඩම්බර

අංචි ඇදල සතුටු වෙන්න
කොටවාලා වෙන්කරන්න
කටුස්සො කිඹුලන් කරන්න
හොඳට දනී රඟපාන්න

මෙහෙන් උගත් දේ අරගෙන
කාලා මළ පහ කළාට
ගෙනාව මල්ලට කිසිවක්
වද්දගන්නෙ නැත්තේ

අධිරදවද විරෝධයයි
කැපිටලිසම් වවන ටිකයි
දෑකැති මිටි ගිල්ල බඩයි
විතරයි මට ඇත්තේ

නැමෙන්න බැරි
හැරෙන්න බැරි
පත්තු බැඳපු තුවාලයක්
යටින් ඇදුම් කන්නේ

යුරෝපයෙන් ආපහු මගෙ
රටට යන්න ආසයි මට
ඒත් රටට යන්නට දැන්
වීසා එක නැත්තේ

එහෙම උනත් හිත හදාන
මුහුද සොයා ගියෙ පසු දින
බැඳපු මල්ල ගෙන ලෙහාන
වීසි කළෙමි ගියෙ ගසාන

ඉරිසියාව
කුඩුකේඩුව
මහන්තත්ත
තක්කඩිකම
මුග්ධ කමින්
හිස ඉදිමුන
ගෝත්‍ර වූ
ම්ලේච්ඡකම

වමාරලා එලියට ගෙන
හිරවුණු දෑ කැති මිටියම
හෝදා මල්ලට දැම්මම
මාක්ස් සතුටු වී හිනැහින

ගෙනාව දේ ඒ අතරම
විසි නොකළෙමි මනුස්සකම
මතක් උනේ මගෙ ඒ ගම
කඳුළක් සයුරට එක්වුණ

රැල්ලක් ඇවිදින් අරගෙන
ඈතින් ඈතට ගහගෙන
කඳුළින් සයුරම තැවරුන
මගෙ ලෝකය විශාල විණ

පැලේ පිලේ ඉපදුන මට
හිරේ බෝඩිමේ ලැගි මට
යුරෝපය ද ලොකු නැත මට
මිනිස්සු නැතිනම් විසුමට

කවදාහරි යලි යනකොට
හැකිනම් දෙන්නට මෙහි සිට
රටට ගමට හිමි කර නැති
බොහෝ වස්තු ඇත්තේ

නිදහස සාමය ප්‍රේමය
මිනිසට ඇති අගනා දෙය
දිග දුර විහිදෙන ඥානය
ජාතින් මුසුවණු වර්ණය

අම්මේ නුඹ හට නැති දෙය
දෙන්නේ කොහොමද ඒ දෙය
මතක් වෙද්දි යුරෝපයම
අමතක වෙනවා විගසම

උදය ආර්. තෙන්නකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails