Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"අපි කරගෙන යන සංවර්ධන වැඩපිළිවෙල ගැන සුභවාදී ඇහැකින් බලන්න දැන් කාලය ඇවිල්ලා"
-ජනාධිපති මහින්ද රාජපක්ෂ [2012.07.14]

ජනාධිපතිතුමා ඇතුළු එතුමාගේ බලකාය සිටිනුයේ තවත් මැතිවරණ විජයග්‍රහණයක පෙරනිමිති දකිමින්ය. ජනාධිපතිතුමා සුභවාදී ඇහැකින් බලන්න කියා අමුතුවෙන් මතක් කෙරුවාට, මිලියන 20කට වඩා වැඩි ජහමනයාගෙන් බහුම බහුතරයක් තමන් දිහා සර්ව සුභවාදීව බලන බව එතුමාණන් සක්සුදක් සේ දන්නේය. ඒ බවට අවිශ්වාස නම් එළඹෙන පළාත් සභා‍ මැතිවරණයේ දී තව දුරටත් විශ්වාසය තහවුරු කරගත හැකිය. දේශද්‍රෝහී අතළොස්සක් (තවමත් හරි හැටි අඳුනා ගන්නට නොහැකි වුන සතුරෙකුට) රට පාවාදෙන්නට උත්සාහ කරමින් ඉන්න බව ඇත්තය! එහෙත් අනේ මේ රත්නද්වීපයේ පිනට උපන් නායකයා හා ආණ්ඩුවේ සකල සත් සිරිත් පිළිවෙත් පිළිබඳ මනා අවබෝධයක් ඇති මෙරට වැසියයෝ කිසි කලෙකවත් කුමන්ත්‍රණ වලින් නොමග නම් නොයන්නෝය.

බලව! ඒ තුමා මහාකරුණාවෙන් යුතුව "සුභවාදීව" බලන්නැයි කියා කුමන්ත්‍රණකාරී සුළු පිරිසෙන් පවා මේ ඉල්ලා සිටි‍න්නේ, වාද බේද සුන් කොට එක මවකගෙ දරු කැල මෙන් පෙරටම යන්නට නොවේද?

මේ රටේ නිකං දෙනවා වැඩිය. බාලාංශේ සිට උසස් පෙළ විතරක් නොව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද නොමිල‍යේම ලබා දෙති. රටට ඇති ලොකුම හෙණේ අන් කිසිවක් නොව මේ පිනට දෙන ආයතන ටික ය. මේ සරා සොඳුරු ආණ්ඩුවට හැමදාමත් ගේම ඉල්ලන්නේ විශ්ව විද්‍යාලවල කොල්ලෝ ය. කෙල්ලෝ ය. ඒ මදිවට ආචාරියෝ ය. උන්ට නිකං හම්බවෙන දේ අරං සිතිජයෙන් එහා ලෝකයට යන්නට පින නැත.

සමහරුන්ට හැමදේම ඇදේට පෙනුනට අපිටනම් එහෙම නැත. ලෝකේ රට ඇතුලේ වරායක් ඉදිකරපු එකම රට විදිහට අපි ආඩම්බර විය යුතුය. මේ පුංචි රට එහෙම කරන එක ආශ්චර්යයක් නෙවෙයි ද? දැන් තවත් පැත්තක මුහුද ගොඩකරන්නට යන්නේය. රට ඇතුලේ වරාය හදන්න ගියා වගේ කීප ගුණයක් වියදමක් ඒකට යනවා කියන එක අහන්නත් දෙයක්ද? මේවා හැදුවම කාටද ආඩම්බර? පෑලියගොඩ කුලුණ හැදුවම ලංකාවේ ඉඳන්ම ඉන්දියාව බලාගන්න පුළුවන් වේවි. සාධූ සාධූ! දඹදිව යන්ඩ සල්ලි නෑති ඈයොන් ට ඔන්න චෑන්ස්!

රට සංවර්ධනය වෙනවය කියන එක ඕනැම අන්ධයෙකුට පේනවා. චීනෙයි, ඉන්දියාවයි තරගෙට ලංකාවට සල්ලි දෙනවා. ණය ආපහු ගෙවන්න උනාට චීනෙයි, ඉන්දියාවයි අපිට අහුවෙලා තියෙන්නේ. අනික දේශද්‍රෝහී සුද්දන්ගෙන් සල්ලි ගන්නවට වඩා දේශප්‍රේමී චීනෙන් සල්ලි ගන්න එකම කොච්චර දෙයක්ද? දැන් ලෝක බැංකුවට, ආසියානු සංවර්ධන බැංකුවට, අයි.එම්.එෆ්. එකට ඕන ඕන විදිහට අපිව නටවන්න හම්බවෙන්නේ ද නැත.

අපි වගේ රටක් හැදෙනවට සුද්දෝ කැමතිම නැත. උන් හදන්නේ අපිට මොකක් හෝ මගඩියක් අටවන්නටය. ලංකාවේ සිද්ධ වෙන ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, වැරදියි කියා කෑගසා කියන්නේ සුද්දෝ සහ උන්ගෙන් යැපෙන එවුන්ය. මේ කුමන්ත්‍රණකරුවන් රට පුරා ගොස් සියළු ජඩ වැඩ සිදුකර ඒවා ලංකාව පිටින් යවති. නැතිනම් බුදුන් වැඩි මේ බිමේ ‍මෙච්චර අපරාධ, දූෂණ වැඩිවීමට ඉඩක් නැත.

පොඩිකාලේ හැංගිමුත්තං කරලා පුරුද්දට, ලංකාවේ අපි වැඩිහිටි වෙලත් මේ සෙල්ලම් කරනවා කියා පරදේශක්කාරයෝ දන්නේ නැත. ලංකාවේ අතුරුදන්වෙන ඒවා ගැන අහන එවුන්ට මුලින්ම කියා දිය යුත්තේ "හැංගිමුත්තං" සෙල්ලමය. ආණ්ඩුව දැනගෙන මිනිස්සු අතුරුදන් කරනවා කියන්නේ අමූලික බොරුය. හිරකරුවෝ මරනවා, අතුරුදන් කරනවා කියන්නේ ඊටත් වඩා බොරුය. කේ.පී. හරි කරුණා හරි දැන් ගතකරන ආතල් ජීවිතය දුටු කෙනෙකු මෙසේ චෝදනා එල්ල කිරීමට කොහොමටවත් පෙළඹෙන්නේ නැත.

ලෝක තෙල් මිල හැමදාම ඉහළ යයි. මේ නිසා හැමදාම බඩුමිල වැඩිවෙන එක ගැන කරන්නට දෙයක් නැත. අපි ඒ දේවල් දරාගත යුතුය. ඇඟ මහන්සි වෙලා වැඩ කරොත් කොච්චර දියුණු වෙන්න පුළුවන්ද කියන එකට ලංකාවෙන්ම අවශ්‍ය තරම් ජීවමාන උදාහරණ සොයාගත හැකිය. ලලිත් කොතලාවල ලා, මනිලාල් ප්‍රනාන්දු ලා, සිමල් නිරිපාල ලා ගේ ඇඟ දුටු ගමන් ඔවුන් කොතරම් මහන්සි වී වැඩ කරනවා ද යන්න හිතාගන්නට පුළුවන. හැම එකක්ම ආණ්ඩුවටම කළ නොහැක. ආණ්ඩුව කොරාපු එකම දේ යුද්ධය ඉවර කිරීම ම විතරක් වුනත් ඇයි මදිද යකෝ කියා මගේ මිත්‍රයෙක් දවසක් පපුවට ගසා ගත්තේය. මං ඔහුට කිවුවේ ඔහොම හයියෙන් පපුවට ගහ ගන්න එපා ලෙඩ වුනොත් ආණ්ඩුවෙ ඉස්පිරිතාලවල බෙහෙත් නෑ කියා ය.

පන් ගෙඩියට වඩා මවු පොළොව වැදගත් බවත් භූමිතෙල් ටිකට වඩා භූමිය බේරා ගත් සිරිමත් මැතිඳා වැදගත් බවත් කිය කියා ස්ටේජ් ගානේ බෙරිහන් දෙන්නට අපේ චී-චී-ග්වාරා ට ඉඩ තබන්නට එපා ය. ග්වාරා පවු ය. එනිසා මෙවර පළාත් සභා ඡන්දය දා උදෙන් ම පොල් කටු අඟුරු වලින් දත මැද ගෙන ගොස් රට සුරැකීම වෙනුවෙන් ඔබේ වටිනා කතිරය බුලත් කොළය ඉදිරිපිට ලකුණු කරන්න. කළ ගුණ සැලකීම විනා අන් යමක් ගැන හීනෙකින්වත් නො හිතන ලෙස අප ඔබට තරයේ ම අවවාද කරමු.

ඔබට කෙහෙ-ළිය සරණයි!

සුමුදු තිවංක ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails