Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඔබේ උකුලත මා නොවේ මගෙ පුතු පමණි සුරතල් වුණේ
ඔබේ දෙතනේ එරන් කිරි මගෙ හිමිට පමණයි හිමි වුණේ
එහෙත් ඔබ මගෙ දිවිය සරසන මලක් මෙනි නැන්දණියනේ

ඔවා දී නෙක
පෙමා වඩවා
සෙනෙහසේ සිහිලෙන් තෙමා
මගේ යුග දිවි
අරණ සරසන
උදා හිරු කැන් ඔබ වුණා

සදා දී නිති
පැතූ සෙනෙහස
දුවක මෙන් මා සලකළා
මගේ දිවියෙහි
දෙ වැනි මව වී
දෙ වැනි වර මා බිහිකළා


පද- ශමිලා වීරතුංග ජයලත්
සංගීතය- සුනිල් දයානන්ද කෝනාර
නන්දා මාලනීගේ අරලිය ලන්දට ගීත එකතුවෙනි.

[ගීතය අහන්න මෙතනින් යන්න.]

පන්ති සමාජගත න්‍යෂ්ටික පවුල් ඒකකය තුළ නැන්දනියක හා ලේලියක අතර පවතින සබැඳියාව මේ ගීතයට වස්තු විෂය වෙයි.

ධනේශ්වර විප්ලවය තව මත් හරිහැටි සමුපූර්න නො වූ මේ පසුගැමියාව තුළ නැන්දනියක හා ලේලියක අතර පවතින දූ දරු සබඳතාව නම් සුවිශේෂයෙහි, සාමාන්‍යය මෙ බඳු වේ ද?

සැබෑව නම් එහි ප්‍රතිපක්ෂය යි.

මේ පසුගාමී ධනේශ්වර සමාජයෙහි වසන වැඩිහිටි පරම්පරාව (නැන්දනියෝ) වනාහි අඩක් වැඩවසම් අගතීන් ද අඩක් උපන්ගෙයි ම ජරාජීර්ණ වූ ධනේශ්වර ක්‍රමයට ආවේනික දුර්ගුණයන් ද හිසින් හදින් ගත්තෝ ය. සංස්ථාපිත විවාහය නම් නිර්ලජ්ජී ආර්ථීක ගනුදෙනුව අරබයා මෙන් ම න්‍යෂ්ටික පවුල් ඒකකය තුළ ද තම දූදරුවන්ගේ සාපේක්ෂ ස්වාධීනත්වයට එරෙහිව යට කී සමස්ත පසුගාමී දෘෂ්ටිවාදාත්මක අවි ගබඩාවෙන් ම සන්නද්ධ ව පෙරට ඒමට උහු කිසි විටකත් පසුබට නො වෙති.

දූදරුවන්ගේ පරම්පරාව ද මීට නො දෙවෙනි ය. මුදල් ඉඩකඩම් ආදී ද්‍රව්‍යමය ලාභ සිත් සේ ඩැහැ ගත් කල්හි උහු වියපත් දෙමව්පියන් නො තකා හරිති. මහලු මඩම් වලට තල්ලු කර දමති. එපමනකුදු නො ව ඔවුන්ගේ මළගමෙහි දී පවා කේවල් කරමින් කර හැර පලා යති. මෙවන් තතු තුළ එනම්, වත්මන් ධනේශ්වර සමාජ ජිවිතය තුළ දෙමව්පියන් (නැන්දනියන්) හා දරුවන් (ලේලීන්) අතර සැබැවින් ම පවතිනුයේ රචිකාව පවසන ආකාරයේ සුසංවාදී මානුෂික සබඳතා නො ව නිරන්තර විසංවාද ම ය; ඒ ඇසුරින් උපදින දුක්ඛ දෝමනස්ස ය; ශෝක පරිදේව ය.

කලාවට විෂය විය හැක්කේ හුදෙක් සුවිශේෂය නො ව ඒ සුවිශේෂය හරහා ම මතු වන පොදු දෑ හෙවත් සාමාන්‍යය යි. එනමුදු පද රචිකා ශමිලා වීරතුංග ජයලත් යට කී පොදු දෑ හෙවත් සමාන්‍යය කෙරෙහි අසංවේදී ය.

පවත්නා ද්‍රව්‍යමය සබඳතාවලින් නිර්ණය වන සාමාන්‍ය තතු හෙවත් සබෑ ජීවිතයෙහි රිද්මය තත් වූ පරිද්දෙන් ගවේෂණය නො කරන කලාව වඳ ය.

විජය නන්දන පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails