
රක්ත වර්ණ පාළම උඩ ඉඳන් බලමු
සප්ත වර්ණ අරුමෝසම් වෙළඳ පුරය
තිත්ත අබිං කෑව වගේ මොකද මූණ
රික්තකයක් නොවෙයි මැණිකෙ මේක අපේ කොළොම්පුරය
කොටුවෙ ඉඳන් පිටකොටුවට රිංගන්නට මාන බලන
අජානේය තුරඟුන් වන් කාර් බාර්
හති දමමින් සුසුම්ලමින් පසුතැවෙමින්
අර බලන්න දූවිලි පිඹ කෙකරගාන වේදනාව
කඩ වීදිය පිටුපස්සේ පකිස් පෙට්ටි පුරවරයේ
කානු දිගේ ගලා ඇදෙන ඇමෝනියා වතුර වගේ
වීදි දිගේ ඔය ගලන්නෙ සිංහලයේ, ස්වර රටාව
මගෙ මැණිකෙට නුහුරු නිසා සවන් අගුලු ලාගත්තට
කරාම කට මිරික මිරික නගර දනන් වතුර සොයන
සෙම් සොටු කුණු මඩ පල්වුණු පයිප්ප ළඟ වගේ නෙවෙයි
අර බලන්න පාට පාට මල් පිපිලා අපූරුවට
වට රවුමේ වතුර මලේ කවුඩන්ගේ නාන තොටේ
අතොරක් නැති ලෙසින් වැසුණු තාප්ප හා බිත්ති මතුයෙ
නව යුගයක් බිහි වී ඇති නවෝදයයි අර පෙනෙන්නෙ
ඔන්න මැණිකෙ ඔයාගෙ නෙත් කෙවෙණි කඳුළුවලින් පිරිල
මට හිතෙන්නෙ මෙපුර අසිරි දැකගත් සතුටට වෙන්නැති
[ඇස් ලැබීම |1989]
රංජිත් මල්ලියාවඩු



