
ඈත් වූ පසු 'ආදරය'
ඇරඹුවෙමි මම - 'සිහිවටන' ඉවත් කෙරුමට
පිබිදෙන විටම ඇස ගැටුනු
කාලයක් තදින් සිපගත්
සේයාරුව
නොඅරින ලාච්චුවක සිරගත කළෙමි
දවසකට දෙතුන් වර කියැවූ
ඊ පණිවිඩත් - කෙටි පණිවිඩත්
නොසිතා තව වරක් - කියවා අවසන් වරටත්
අනේ මෙතරම් බොළඳ වැකි යැයි
තනිවම හිනැහෙමින්
මකා දැමුවෙමි තිරයෙන්
මහත් සෙනෙහසින් ඇඟ ලූ
තිලිණ ලද නෙක වර
පළඳනා රැගෙන - ඇඟිලි තුඩගින්
එකතු කර කුණු බඳුනට
සේදුවෙමි දෙඅත් මැනවින්
ශපථ කරමින් 'ඉරහඳ'
නෙත් පියෙන තෙක් තබා ගන්නට
ඇඟිලි වට ලූ දිලිසෙන රන් 'රවුම'
ඉවත් කර අසීරුවෙන්
නැවත යවන්නට මංජුසාවක බහාලූවෙමි
සියල්ල මැනවින් ඉටු විනැයි සිතමින්
සොම්නසින් සයනයට ඇදුනත්
අනුරාගයෙන් කැලඹුණු - හෝරා ගණන්
තැවරුණු ගතත්
පෙර මතකයන් දැවටෙන - තව බොහෝ දේ
ලියවුනු සිතත්
විසල් ස්මාරකයන් සේ නැගෙන කල
එයින් ගැලවෙන මඟ නොදත්තෙමි.
ඒ හෙයින් තැවෙන්නෙමි
උද්යෝගී පලිහක්කාර



