
යාන්තම් හයහතර තේරෙනකොටම මට
අකීකරු වීදි රේඛා කඩාවැදීගෙන ගෙට
කලා සමතලා මහගෙදර මූන කට
වහා පිරියම් කොට පණනල සුරැකිමුත්
හායි ගා කට ඇරිනි මහ දොර මහපාරටම
නොමැතිව ඉස්තෝප්පු හිනා කට
බුකුම්බාගෙන හිටගති මහගෙදර මහපාර අද්දර
මාත් හිටියේ නොරිස්සුමෙනි මහගෙදර ගැන
තඩි බිත්ති මැද තෙත අඳුරු උනුසුම ගැන
ඔක්කොටොම වැඩිය
තිස්සෙම ඉහලින් හිද බලා හිදි සද්දයෙක් උනු එක ගැන
බාල කල ගෙවී තටු ලැබුනු විට මට
වහා පියඹා ගොස් නගරයට ලොල් උනි
අරුමෝසම් නූතන ගොඩනැගිලි අඟනුන් මැද
පැතලි විනිවිදිනසුලු වෛවර්ණ
වහා වෙස් මාරුකරන මායාකාර
නගරයකි එය වල්මත්වන
වහා සොයා ආවෙමි මහ ගෙදර උරුමය මම
වීදී රේඛා එවර අසමජ්ජාති ලෙස
මැදමිදුල් දාරයට තෙක් කඩා ගොඩගසා තිබිනි
මහත් අසරණ ගෙවල් බාගයකි දැන් එය
ඉතිරි අඩමත තාම දිවිගෙවන මාමා උදාරම් ලෙස
කටකොනින් සිනා සී මගේ විස්සොප මුහුන දැක
පෙන්නුවා හද මතක රොන් මඩ යටින් ගෙන
සැබෑ මහගෙදර සැලසුම් පිටපත මට
ඉස්තෝප්පු මැදමිදුල් ආලින්ද -හට්ටි පෙට්ටි පෙට්ටගම් කනප්පු
වාර්නිශ් සුවද දොර පලු අතර රේන්ද තිර ලෙළදෙන
අත්තා කුඩප්පල පුන්චම්මල සෙනේ රැහැනෙන් සබැඳුනු
මහගෙදර නොමැරෙන සැබෑ සැලසුම
පිටපත් කරගතිමි හද මත මම එම දින
විදී රේඛාවනි තොප පැමිණ අතවර නොකරන්න මෙලෙස මේ ලෙස
කිසිම කිසි දිනක නොලබනු ඇත සැබෑ මහගෙදර උරුමය මම
සුසන්ත මූණමල්පේ



