Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"අර මිහිරි සීනු නාදය" ඔබගේ කළින් කෙටිකතා පොත්වලට වෙනස් වෙන්නෙ කොතනින්ද?

මීට කළින් පළ වූ මගේ කෙටිකථා පොත් පහ තුළම තියෙන්නෙ එකිනෙකට වෙනස් ලක්ෂණ. තරමක හෝ සමානත්වයක් තිබුන නම් ඒ මුල් පොත් දෙකේ විතරයි. එකිනෙකට වෙනස් විදිහට කෙටි කථා නිර්මාණය කරන්න මගේ විශේෂ සැලකිල්ල යොමු වුනේ "නන්දන උයන" කියන පොතේ ඉඳන් වෙන්න පුළුවන්. කොහොම වුනත් "මම දැන් නිදමි", සහ "විල සහ මල" වගේ පොත්වලට එනකොට මේ කියන විවිධත්වය තවදුරටත් ඉස්මතු වුණා කියලයි මට හිතෙන්නේ.

ඒ හැම පොතකම වගේ තියෙන නිර්මාණවලින් සමහර ඒවා යථාර්ථවාදී ප‍්‍රතිනිර්මාණ. තවත් සමහර ඒවා කාලාවකාශ සම්ප‍්‍රදායන් බිඳින, යථාර්ථවාදී සීමාවෙන් ඔබ්බට යන කතා. කොහොම වුනත් කෙටිකතා ලියද්දි මම යථාර්ථවාදයෙන් සම්පූර්ණයෙන්ම එළියට ගිහින් නෑ. අර මිහිරි සීනු නාදය තුළත් මේ කියන විවිධත්වය ඒ විදිහටම ආරක්ෂා කරන්න මම කරන්න උත්සාහ ගත්තා. ඒකෙ තියෙන සමහර කතා මුල මැද අග කතා ධාරාවෙන් ලියවිලා තියෙන්නේ. තවත් නිර්මාණ තියෙනවා ඇත්තටම ඒවගේ කතාවක් නෑ. "යතුරු සිදුරක" කියන කෙටි කතාව ඒ වගේ එකක්. ඒකෙ කතාවක් නෑ. තියෙන්නෙ තේමාවක් විතරයි. මොකද ඒක කතාවකට අහුවීම පිළිබඳ කතාවක්. ඒකෙන් කියවෙන්නේ මිනීමැරුම්, ස්ත‍්‍රි දූෂණ වගේ අපරාධ ප‍්‍රති නිර්මාණය කර පෙන්වන රූපවාහිණී වැඩසටහනක්, එය නිර්මාණය කරන මාධ්‍යවේදියා සහ ඒ කතාවට ඇබ්බැහි වූ සමාජය ගැන.

සෙසු කෙටිකතා පොත් සමග බලද්දී පේන්න තියෙන දෙයත් තමයි සඟවා ප‍්‍රකාශ කිරීමට වඩා ඍජුව තේමාව ප‍්‍රකාශවන ආකාරයෙන් කතාව කියන්න අර මිහිරි සීනු නාදයේදී ඔබ වැඩිපුර ඇලූම් කරන බව?

ලංකාවේ දේශපාලනය කියන එක තුළ අද තියෙන්නෙ අති විශාල ඝනත්වයක්නෙ. ඒක තියෙන්නේ සමාජයේ අනික් හැම දෙයක්ම වහගෙන. ක‍්‍රිකට්වල ඉඳන් රූපවාහිණි වැඩසටහන දක්වා හැම දේ තුළම තියෙන්නේ දේශපාලනය. ඉතිං ඒ දේවලින් ඈත ඉඳලා අපේ සමාජය ගැන ලියන්න හරි අමාරුයි. මේ පොත ලියද්දි මං කල්පනා කළ දෙයක් තමයි ඒ කියන එදිනෙදා හැඟීම ඒ අයුරින්ම තියෙද්දි ඒ ඇතුළෙ කිසියම් තේමාත්මක ගවේෂණයක් කරන්න බැරිද කියන එක.

එහෙම වුනා කියලා වක්‍රෝත්තිය කියන එක අර මිහිරි සීනු නාදයේ නෑයි කියන්න බෑ. මේකෙ තියෙන සමහර කතා ගෙතිලා තියෙන්නේ වක්‍රෝත්තිය වටා. "නොනිදන අවදිය" කියන කතාව ඒකට හොඳ උදාහරණයක්. ඒ කතාවෙන් කියවෙන්නේ තරුණයෙක් ගෙවල්වලට පැනලා මිනිස්සුන්ගේ දින චර්යාව වෙනස් කිරීම පිළිබඳව. විශ්වවිද්‍යාලය කියන එක මේ කතාව ඇතුලෙ භාවිත වෙන්නේ විශාල වක්‍රෝත්තියක් විදිහට. ඒක කතාව තුළදි මතුවන්නෙ දෛනිකත්වය නිරූපණය කරන සංකේතයක් හැටියට. විශ්වවිද්‍යාලයක් පාසලයක් වගේ තැනක් දෛනිකත්වයේ සංකේතයක් විදිහට හොඳටම ගැලපෙනවා. මොකද ඒ ඔක්කොම පැවැත්වෙන්නේ නිශ්චිත කාල සටහනකට. දිනචර්යාගත ජීවිතය නිරූපණය කරන්න විශ්වවිද්‍යාලය තෝරගත්තෙ ඒකයි. විශ්වවිද්‍යාලයක සමාසිකයක් පටන්ගන්න නිශ්චිත දවසක් තියෙනවා. ඉවරවෙන්න නිශ්චිත දවසක් තියෙනවා. පැවරුම් බාරදෙන්න ඕනෙ නිශ්චිත කාලයකට. දේශන පැවැත්වෙන්නෙ නිශ්චිත කාලයකට. ඉතින් දින චර්යාගතවීම පිළිබඳ කතාවක් කියන්න විශ්වවිද්‍යාලය ඉතාම හොඳ තෝරාගැනීමක්. සමහරවිට විශ්වවිද්‍යාල පිළිබඳ සමීපව දන්න කෙනෙක්ට මේක සෘජු කතාවක් විදිහට පේන්න පුළුවන්. ඒත් එහෙම නොවන අයට මේක විශාල රූපකයක්.



මේ කියන වර්තමාන දේශපාලන ඝනත්වය ස්පර්ෂ කරන්න වක්‍රෝත්තිය බාධාවක් වෙන්නෙ කොහොමද?

ප‍්‍රියංකර රත්නායකගේ "අද වගේ දවසක ඇන්ටිගනී" බලද්දි මට මතුවුණු එක ප‍්‍රශ්නයක් තිබුණා. ඒ තමයි මේක වර්තමාන දේශපාලන ඝනත්වය නිරූපණය කරන රූපකයක් විදිහට ගන්න බැරිද කියන එක. මොකද මේ නාට්‍යයේ නමට අදවගේ දවසක කියලා දාලාත් තියෙනවානෙ. නමුත් ප‍්‍රශ්නය තියෙන්නේ සම්භාව්‍ය සාහිත්‍ය රූපකය උත්තර ඓතිහාසික එකක් වීම තුළ. ඒ නිසා ඒක නිශ්චිත භාවයෙන් තරමක් ඈත් වෙනවා. නමුත් ප‍්‍රබන්ධ කතාවෙන් කාල හා අවකාශමය නිශ්චිත බව නිරූපණය කරන්න අවශ්‍යයි. ඒ නිසා ඒ කාරණයේදී ඕනෑම තැනකට පාවිච්චි කරන්න පුළුවන් උත්තර රූපකය නැත්නම් සාර්වත‍්‍රික රූපකය භාවිත කරන්න අමාරුයි.

උත්තර ඓතිහාසික සාහිත්‍ය රූපකය තුළ තියෙන තවත් ප‍්‍රධාන ගැටලූවක් තමයි ඒක සාමාන්‍ය පාඨකයාට කොතරම් දුරට අහුවෙයිද කියන එක නිෂ්චය කරන්න බැරි කම. සාහිත්‍යක යථාර්ථවාදය පහලවෙන්නෙම උත්තර ඓතිහාසික තත්ත්වය තුළින් ඈත්වෙන්න. එහෙමත් නැත්නම් එදිනෙදා ඓතිහාසික මොහොත ගැන ලියන්න. ඒක පුරාණෝකිතියෙන්වත් ග‍්‍රීක ශෝකාන්තයෙන්වත් කරන්න බැරි වුණු එකක්. ඒ විතරක් නෙමෙයි කවිය තුළ පවා ගොඩක් වෙලාවට තියෙන්නේ උත්තර ඓතිහාසික ලක්ෂණ. ඒ නිසා කවියෙන් පවා එදිනෙදා තමං ජීවත්වන මොහොත පිළිබඳ ගැටීම යථාර්ථවාදයේදී වගේ පෙන්නන්න අමාරුයි.

ඔබ මුලදි කිව්වා ඔබ ඔබේ නිර්මාණවලදී සම්පූර්ණයෙන් යථාර්ථවාදයෙන් බැහැර වෙන්නේ නෑ කියලා. එසේ නමුත් මේ කියන ඉන්ද්‍රජාලික යථාර්ථවාදය, එසේත් නැතිනම් ඔබ යෝජනා කරන "ඓශ්චර්යාත්මක යථාර්ථවාදය" කියන එකත් යථාර්ථයෙන් බැහැර වුණු දෙයකට වඩා එහිම දිගුවක් නේද?

ඔව්, ඒක ඇත්ත. ඉන්ද්‍රජාලික යථාර්ථවාදය යථාර්ථයෙන් බැහැර දෙයක් කියන වැරැද්ද ගොඩක් වෙලාවට වෙන්නේ හදිසි විචාරකයින් අතින්. ඔවුන් හිතන දේ තමයි ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේදී වෙන්නේ යථාර්ථය අතහැරලා මැජික් ලෝකයකට යන එක කියලා. ඔවුන් කල්පනා කරනවා වෙන්න පුළුවන් ආශ්චර්යාත්මක යථාර්ථවාදී නිර්මාණත් සුරංගනා කථා හරි එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම කාල්පනික ලෝකයක් තියෙන "ලෝඞ් ඔෆ් ද රින්ග්" හරි "හැරී පොටර්" හරි වගෙයි කියලා.

යථාර්ථවාදයයි ආශ්චර්යාත්මක යථාර්ථවාදයයි වැරදියට තේරුම්ගන්න හොඳ නෑ. ආශ්චර්යාත්මක යථාර්ථවාදය කියන්නෙත් එදිනෙදා ඓතිහාසික යථාර්ථවාදයේම අන්තර්දෘෂ්ටිමය දිගුවක්. ඒකට අන්තර්දෘෂ්ටිය සපයන්නෙත් ඒ දිගුවන මොහොත තුළම තමයි. උදාහරණයක් විදිහට සල්මන් රුෂ්ඩිගේ නවකතාව එන සිද්ධියක් ගන්න පුළුවන්. ඒකෙ එක තැනකදී රටේ බැංකු ගිණුම් හිටිගමන් අක‍්‍රිය වෙනවා. ඒත් එක්ක සිද්ධවන්නේ සමහර මිනිස්සුන්ගේ අණ්ඩකෝෂ මිදී ගල්ගැහෙන එක. බැංකු ගිණුම් "ෆ‍්‍රීස්" වෙනවා කියන එක රූපකයක් විදියට එනවා අණ්ඩකෝෂත් "ෆී‍්‍රස්" වීම විදියට. මේක ඇත්තටම වෙනවා. මෙහිදී අපි වටහා ගන්න ඕනෙ එහි රූපකමය අර්ථ.



අර මිහිරි සීනු නාදයේ තියෙන "සුවඳ දුම් දැල" කියන කතාව ඉතාම යථාර්ථවාදී ස්වරූපයෙන් යන එකක්නෙ. නමුත් ඒකෙ එක රූපකයක් තියෙනවා නයි වයිරය කියන සංකල්පය පදනම් වුන. කතාවෙ සමහර අවස්ථාවලදි මේ නයි වයිරය කියන රූපකය භාෂාවෙන් ගැලවිලා යථාර්ථයෙදි නයෙක් බවට පත් වෙන බව එක චරිතයකට පේන්වා. එතනදි වැදගත් වෙන්නේ ඒ නයා පේන්නේ කාටද කියන එක. නයා පේන්නේ වෛරය තියෙන කෙනාට. සාහිත්‍යයික රූපකය ගැන සිංහල කෙටිකතා කලාව තුළ මේ විදිහේ අත්හදාබැලීමක් කළ එක අවස්ථාවක් විදිහට සුවඳ දුම් දැල හඳුන්වන්න පුළුවන්. ඒක කතාව තුළ හරියට වැඩ කරනවාද කියල මම දන්නෙ නෑ.

සාම්ප‍්‍රදායික යථාර්ථවාදයෙන් සම්පූර්ණයෙන්ම ඈත්වෙලා කතාවක් ලිව්වම ඒකෙන් ඉතාමත් සංකීර්ණ දේවල් ගොඩනගන්න පුළුවන් බව ඇත්ත. ප‍්‍රභාත් ජයසිංහගේ 'වයඹදිග වැසියෝ' කියන කෙටිකතා පොත ඒ වගේ එකක්. ඒ පොතේදි ලේඛකයා ඉතාම දක්ෂ විදිහට අධියථාර්ථවාදී රූපක ගොඩනගනවා. ඒත් ඒක කියවද්දි ඇතිවන ප‍්‍රශ්නය තමයි මේ සංකීර්ණ රූපක ඇතිකරන අර්ථ ඒ විදිහටම ලංකාවේ කියවේවිද කියන එක. ඒ නිසා තමයි පාඨකයාට වඩාත් පහසුවෙන් අර්ථ ග‍්‍රහණය කරගතහැකි ඍජු සහ ඒ වගේම තේමාවට එළඹීමට ඇති ප‍්‍රවේශයන් වැඩි කතා නිර්මාණය කිරීම වැදගත් වෙන්නේ.

ඒ උනාට අධියථාර්ථවාදී අත්හදා බැලීම් අත්හැර දැමිය යුතු නෑ. මං මේ පොතේදිවත් එහෙම කල්පනා කළෙත් නෑ. උදාහරණයක් විදිහට කළිං කියූ නොනිදන අවදිය වගේ කථාවක් ගන්න පුළුවන්. ඒකෙ දෙවියන් භූතයන් වගේ අධිමානසික චරිත නැතිබව ඇත්ත. ඒකෙ ඉන්න තරුණයා ගෙවල්වලට පැනලා මිනිස්සුන්ගෙ දෛනික ජීවිත වෙනස් කරන බොහොම යථාර්ථවාදී චරිතයක්. ඒත් ඔහු කරන ඇතැම් වැඩ කවුරුත් කරයි කියලා හිතන්න අමාරු දේවල්.

තේමාවෙන් වියුක්ත හුදු ඇස් බැන්දුමක් වන්නට කතාවේ ආකෘතියට ඉඩ නොදී එය තේමාව විසින් ඉල්ලා සිටින සහ එහි අර්ථ කුලූගන්වන උපකරණයක්් හැටියට පාවිච්චි කරන්නට අර මිහිරි සීනු නාදයේදීත් ඔබ විශාල දැනුවත් පරිශ‍්‍රමයක් ගන්න බව පේනවා. උදාහරණයක් විදිහට "නොනිදන අවදිය" කියන කතාවම ගත්තත්, ඒකාකාරී දෛනික චර්යාව පිළිබඳ මුවට සිනහවක් නංවනින් ගමන්ම පුරුදු කතා ආකෘතියෙන් පිටපනින්න බැරි පාඨකයා තමං තුළම අර්බුදයට යවමින් ආපසු කල්පනා කරන තැනට ඔසවා තබන්නට ඔබගේ ආකෘතිය සමත් වෙනවා?

විශේෂයෙන් පශ්චාත් ව්‍යුහවාදයෙන් පස්සේ එන නූතන සාහිත්‍ය න්‍යාය තුළ අපි ඉගනගන්න දෙයක්නෙ කියන විදිහ, කියන දේ තුළින් වෙන් කරන්න බෑ කියන කාරණය. කියන විදිහ කියන්නේ කියන දෙයහිම කොටසක්. ප‍්‍රබන්ධ කතාවේ අන්තර්ගතය කියලා එකක් තියෙනවා ඒක ඕනෑම ආකාරයකට කියන්න පුළුවන් කියලා කෙනෙක් හිතනවානම් එක වැරදියි. කතාව කියන්න පාවිච්චි කරන මෙවලම් කියන දේ දාන්න පාවිච්චි කරන භාජනයක් නෙමෙයි. ඒ මෙවලම් අර්ථයේම කොටසක්. ඉතින් ඔබ කිව්වා වගේ දින චර්යාව වෙනස් කිරීම වගේ දෙයක් සාම්ප‍්‍රදායික කතාවකින් කියන්න බෑ. ඒක කියන්න ඕනෙ ඒ අර්ථය පෝෂණය කරන ආකාරයේ ක‍්‍රමයකින්.

මම කළිනුත් කිව්වා වගේ කතාවකට අහුවුන පිරිසක් පිළිබඳ කියන්න තියෙන හොඳම විදිහ තවත් කතාවකින් කියනඑක වෙන්න බෑනෙ. ඒ නිසා තමයි ඒ වගේ අර්ථයක් තියෙන "යතුරු සිදුරක" වගේ කතාවක් කතාවකින් නොකියා තේමාවක් විදිහට කියලා තියෙන්නේ.

පාඨකයින් කියන අය පොතක් කියවන්නේ යම් යම් අපේක්ෂා ඇතුව. ඒ අපේක්ෂා පාඨකයා තුළ ගොඩනැගෙන්නේ ඔහු හෝ ඇය එතෙක් දන්නා සම්ප‍්‍රදායන්ගෙන්. ඔහු තුළ තියෙන මේ කියන ව්‍යුමහය අපේක්ෂාවන්ට අභියෝග කරන්න නිර්මාණකාරයාට සමහර වෙලාවට ඕනෑවෙන්න පුළුවන්. මොකද එහෙම අභියෝග කරන්නේ ඇයි කියලා පාඨකයා හිතලා බලන්නේ එතකොට. කෙටි කතාවෙන් පාඨකයා බලාපොරොත්තුවෙන ව්‍යුහමය අංගවලට යම් කතාවක් තුළින් අභියෝග කරන්න පුළුවන්නම් ඒ තුළින් කෙටිකතා කලාව සාර්ථක වෙනවා. අනික තමයි මෙවන් අභියෝගයක් හොඳටම කරන්න පුළුවන් වෙන්නෙත් කෙටිකතාව තුළින් විතරයි. ඒත් එක පොතක් තුළ එක කතාවකින් හරි දෙකකින් හරි විතරයි. මොකද එහෙම නැත්තම් පාඨකයින් පොතත් එක්ක දිගටම ඉන්නේ නැතිව කියවීම අතහැරලා දාන්න පුළුවන් නිසා. නවකතාවක ඒ දේ කරන්න අපහසුත් ඒකයි.

මේ අර්ථයෙන් බලද්දි අද ලංකාවේ කෙටිකතා කලාව ඉතා සාර්ථක මට්ටමකට තියෙනවා කියලා කියන්න පුළුවන්. අජිත් තිලකසේන, එරික් ඉලයප්පආරච්චි, පියල් කාරියවසම්, මංජුල වෙඩිවර්ධන, නිශ්ශංක විජේමාන්න, ජයතිලක කම්මැල්ලවීර, කීර්ති වැලිසරගේ, ප‍්‍රභාත් ජයසිංහ වගේ ලේඛකයින් රාශියක් ඉතා සාර්ථක කතා නිර්මාණය කරමින් ඉන්නවා. එකම ගැටලූවකට තියෙන්නේ කෙටිකතාවක් පරිස්සමට කියවන සියුම් රසිකත්වය තවම ලංකාව තුළ මුහුකුරා ගිහින් නැති එක.



සාහිත්‍ය කියවීම සඳහා කිසියම් පුහුණුවක් තියෙන්න ඕනෙ. බොහෝදෙනා ප‍්‍රබන්ධ කියවද්දි ඒ කෙරේ ඉතාමත් හදිසි වෙනවා. ප‍්‍රබන්ධයක් කියවද්දි ප‍්‍රධාන අංග කිහිපයක්ම බලන්න ඕනෙනෙ. කතාවේ කථකයා කවුද, කතාව කියන්නෙ කාටද, කතාව කියන්නෙ උත්ප‍්‍රාසයෙන්ද උපහාසයෙන්ද එහෙමත් නැතිනම් වාච්‍යාර්ථයෙන්ද. කථාව කියන්න භාවිත කරන යථාර්ථ තලය සිහිනමය එකක්ද නැත්තම් තාර්කික එකක්ද, මොන චරිතයක් හරහාද කතාව නාභිගත කරලා තියෙන්නේ වගේ හැම අංගයක්ම එතනදි එක වගේ වැදගත්.

ලංකාවෙ ගොඩක් විචාරකයින් කරන්නේ එක තැනක ඉඳන් කතාව දිහා බලලා කතාවෙන් කියන්නේ මේකයි කියලා තමන්ගේම සාරාංශයක් හදාගන්න එක. අන්තිමට තමන්ගේම සාරාංශය විචාරය කරන එක. විශේෂයෙන් කෙටිකතාව වගේ සියුම් ප‍්‍රබන්ධයකදී ඒ වගේ දෙයක් කරන එක ලොකුම වරදක්. අන්තිමට බලද්දි විචාරකයා කියලා තියෙන්නේ තමං ගැනමයි. කතාවෙන් ගොඩනගන දේවල් ඔක්කොම එතනදි නැති වෙනවා. අජිත් තිලකසේන වගේ ඉතා සියුම් ලේඛකයින් ලියන දේ මතුපිිටින් බලලා ඒ වගේ සාරාංශයක් කළොත් ඒකෙන් වෙන්නෙ ලොකු අපරාධයක්. ඒ නිසා ඒ වගේ තැන්වලදි කරන්න ඕනෙ ඒ අය ලියලා තියෙන කතාව දිහාම ආය ආය බලන එක. ඒක තමයි තරුණ නවකතාකරුවෙකු වෙත කියන පොතේදි මාරියෝ වර්ගාස් යෝසා කියන්නෙ ප‍්‍රබන්ධ කතාව කොච්චර දක්ෂ විචාරකයකුටවත් සියයට සියයක් විචාරාත්මක ගද්‍යයට පරිවර්තනය කරන්න බෑ කියලා.

ඒ වගේ තත්ත්වයක් ව්‍යුහවාදීය පාඨක කේන්ද්‍රිය සංකල්පයත් එක්ක ගැටෙන්නෙ නැද්ද?

හිතලා බලනවානම් ඇත්තටම ඒක හොඳ ප‍්‍රශ්නයක්. ව්‍යුහවාදයෙන් කියන්නේ කතුවරයා අර්ථයේ මූලාශ‍්‍රය නෙමෙයි කියන එකනෙ. රචකයා අර්ථය හටගන්වනවා විතරයි. එහෙමත් නැත්නම් ඔහු කරන්නේ ඒ පඨිතය කිසියම් ආකාරයකට පෙළගස්වා කියන එක විතරයි. රසිකයාට පුළුවන් වෙන්න ඕනෙ ඒක කියවලා ඒ ගැන ලියන්න. ඒ ලියද්දි ඒ අය දක්ෂ විචාරකයින් වෙන්න ඕනෙ. ලෝසා කියන්නේ ඉතාම දක්ෂ කෙනකුට වුවත් පඨිතය සියයට සියයක් කියවලා ඉවර කරන්න බෑ කියලා. ප‍්‍රබන්ධයේ තියෙන සියලූ, අර්ථ, පැතිමාන, ඇඟවීම් ආදිය ගද්‍යමය භාෂාවට පරිවර්තනය කරන්න අමාරුයි. පොතක් කියවද්දි අපිට දැනෙන හැම දෙයක්ම භාෂාවෙන් ලියන්නත් බෑනෙ. කොච්චර දේවල් කිව්වත් හොඳ කෘතියක් නම් ඒකේ තවත් දේවල් ඉතුරු වෙනවා. සාහිත්‍ය කෘතිය කියවලා ඉවර කරන්න බෑ කියලා ව්‍යුහවාදය කියන්නේ ඒකයි.

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails