
තහනම් දෙතොල් තහනම් කළ හාදුවක
ගින්දර විඳිමි තහනම් නැත පිච්චෙන්න
ආදර ආල නුරාව පෑ දෑස යට
තෙමුණත් හදෙහි කිහිරඟුරුය නිම් නොවන
මල්පෙති දුටිමි පෙරදා නුඹ සිත පිපුණ
මුදු බව දනිමි හැඳිනිමි දැන කළ පවට
අබියස විසල් පවුරක් තිබුණාට උස
නුඹ අත වැනුව දා සිට මම උමතුය තවම
වැහි පොද වැටෙයි මන්දාරම කළුවරය
අවසර කොහිද දුකටත් තනියම විඳින
නුඹටත් මටත් ඇයටත් මුදුවකි රිදෙන
ළංවෙන ලිහෙන සිරවෙන වරපට අතර
[හද සෛල සහ ඩයිනමයිට් - 2012]
විකුම් ජිතේන්ද්‍ර



