Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



එවලෙ මගෙ අත් තිබුනෙ උණු වතුර බේසමේ. ඒ වෙනකොට මං පේෂල් තුනකුයි, ක්ලීන් අප් පහකුයි, ත්‍රෙඩින් හත අටකුයි කරලා හිටියෙ. තව කලින් බාර ගත්තු ක්ලීන් අප් එකකුත් එන්න නියමිතව තිබුණා. ඔක්කොම වැඩ අත් දෙකෙන් නිසා හවස් වෙනකොට ඇඟිලි පුරුක් කැක්කුම් අල්ලනවා. ඒ වෙලාවට අයිස් වතුර එකකයි, මද රස්නෙ වතුර එකකයි අත් දෙක මාරුවෙන් මාරුවට දැම්මම කැක්කුම අඩු වෙනවා කියලා මං ඉගෙන ගත්තෙ මේනු අක්කගෙන්. ඒත් රෑ නින්දට ගියාම ආයෙ කැක්කුම් අල්ලනවා.

ඒ මූණ දැක්කම මාව ගැස්සුනා. කළු තිලකා. නෑ තිලකා නෙමේ. මෙයා තිලකට වැඩිය චුට්ටක් මිටියි. ඒ පාට, ඒ මූණුවර. මීට අවුරුදු අටකට නමයකට කලින් හිටපු තිලකා සැළුන් එකේ දොර ගාව. නිලූ ඉස්සරහට ගියා. මම නිලූගෙ අත අල්ල ගත්තා.

" එයා මට….",

" උඹට ක්ලීන් අප් එකක් තියනවනෙ හයහමාරට?... "

" ඒක උඹ කරපන් නිලූ, මේක මට ... "

නිලූ ඇස් හීන් කරලා උවමනාවෙන් මගෙ දිහා බැලුවා. මම අහක බලා ගත්තා. මේ තිලකා ඇඳලා හිටියෙ එයාගෙ හමේ පාටට මොනම විදියකින්වත් ගැලපෙන්නෙ නැති තද දම් පාට ටිකක් බුරුල් ගවුමක්. ඒ මූණෙ තිබුණෙ අතරමං වෙච්චි බැල්මක්. ඇස් දෙක එක තැනක තිබුණෙ නෑ වටේම දිවුවා. අපි ඒ මූණූ අඳුරනවා.

"වාඩි වෙන්න මැඩම්..."

මම හරියටම දැනං හිටියා මොකක්ද කෙරෙන්න ඕනෙ කියලා. ඒ ඇස් වල බැල්ම මට අමතක නෑ. මේ ඇස් වලත් ඒ බැල්ම එහෙම්මම නැතත් ලාවට තැවරිලා.

"මොකක්ද මැඩම් වෙන්න ඕනෙ?.. පේෂල්.. , ක්ලීන් අප්, හෙයා කට්, මෙනිකියු, පෙඩිකියු.. ?... මේ මාසෙ අපේ ස්පෙෂල් ඩිස්කවුන්ට් තියනවා හර්බල් පේෂල් වලට....."

අලුත් තිලකා උත්තර දුන්නෙ නෑ. ඒ ඇස් නතර වෙලා තිබුනෙ බිත්තියෙ අලවලා තිබුනු ජෙසිකා ඇල්බගෙ ගෙයි අයිෂ්වර්යාගෙයි පිංතූර වල.. එයාට මාව ඇහුනෙ නෑ වගේ. ඊළඟට ඒ ඇස් ගියෙ එයා ඉස්සරහා තිබුණු කන්නාඩියට. ඒකෙන් එයාවයි මාවයි දෙන්නවම පේනවා. අපි දෙන්නගෙම ඇස් එක තැන. මාව පිච්චිලා ගියා. කිසිම දවසක තිලකාගෙ ඇස් දිහා බලන්න උවමනාවක්වත් වෙලාවක්වත් මට තිබුනෙ නැහැ. ඒ උවමනාව මතු වෙනකොට තිලකාගෙන් මම සෑහෙන්න දුර ඇවිත්.

"මැඩම් පේෂල් එකක්ද, ක්ලීන් අප් එකක්ද?..."

මම එයාව අතින් අල්ලලා වාඩි කෙරෙව්වම ඒ මූණට ලා හිනාවක් ආවා. මම ඒ කොණ්ඩෙ ඇඟිලි වලින් හිමීට අතගෑවා. වැඩ කරන අතරෙත් මේනු අක්කගෙයි නිලූගෙයි ඇස් මගෙ ගාව කියලා මට නොදැනුනා නෙමේ. මේ කොණ්ඩෙ වේලිලා. කවදාවත් මං තිලකාගෙ කොණ්ඩෙ අතගාපු බවක් මට මතක නෑ. ඒත් තිලකා ඕනෙ තරං මගෙ කොණ්ඩෙ අවුල් කඩලා දීලා තියනවා.

" පේෂල් ගණංද?.." මේ එයාගෙ පළවෙනි පාර සැකයක් නැතුවම.

"මෙහෙමයි මැඩම්, අපි ගාව පැකේජ්ස් ගොඩක් තියනවා... ඉන්ඩියන් ප්‍රඩක්ට්ස් වලින් නං දාහයි, අපේ ස්පෙෂල් ඉන්ඩියන් හර්බල් එක එක්දාස් පන්සීයයි, යූ කේ ප්‍රඩක්ට්ස් වලින් දෙදාහයි.. ඒක ගොඩක් හොඳ එකක්... අපේ ගොඩක් කස්ටමස්ලා කරගන්නෙ ඒක තමා... වෙඩින් එකක් වගේ නං ගෝල්ඩ් පේෂල් එක තියනවා.. ඒක නං ටිකක් ගණං වැඩියි.. තුන්දාස් පන්සීයයි, හැබැයි මූණට පුදුම එළියක් එන්නෙ... වෙඩින් එකක් වගේනං හොඳම ඒක..." අපි හැමෝටම කටපාඩම් වාක්ය් මම කිව්වා. ඒ ඇස් ටිකක් ලොකු වුනා.

" හැබැයි හයසීයෙ ඉඳලා ක්ලීන් අප් තියනවා මැඩම්.... "

ඒ ඇස් මගෙ ඇස් එක්ක ඉස්සරහා කණ්නාඩිය හරහා පැටලුනා. තිලකාගෙ ඇස්මයි. කෙට්ටු දිගැටි කළු මූණ. දිලෙසෙන හීන් ඇස්. පාරෙ බැල්ලියො වදපුවම උංගෙ ඇස් වල තියන බැල්ම වගේ එකක් ඒක. අසරණයි. ඒත් සැරයි. අවිස්වාසයි.

" මැඩම්ට තියෙන්නෙ වියලි හමක් මේකට හරියන නියම ඉන්ඩියන් ප්‍රඩක්ට්ස් අපි ගාව තියනවා.. කරමුද.. ?... මූණෙ තියන අවපාට ඒකට ඇරෙනවා.. හැබැයි මාසෙකට සැරයක්වත් කර ගන්න ඕනෙ... ඉන්ඩියන් ප්‍රඩක්ට්ස් වලින් කරමුද මැඩම්.. ? දාහයි... "

"හා..."

සීට් එක පාත් කලත් මේ තිලකා පාත් උනේ නෑ. ඒ ඇස් මගෙ ඇස් වලම පැටලි පැටලි තිබුනා. මේනු අක්කා ඩ්‍රයර් එක අතේ තියන්ම ඇහැක් පුංචි කරලා හිනා වුණා. මං උරිස්සෙන් අල්ලලා එයාව පාත් කලා. නිලූ බෝතල් ටිකයි ආම්පන්න ටිකයි ගේනකං මම එයාගෙ කොණ්ඩෙ අතගෑවා. කිසි සාත්තුවක් නොවිඳපු කොණ්ඩයක්. අගවල් පැලිලා, තෙත ගතියක් නෑ. ඉස්සොරි ඇවිත්. මට මේ තිලකත් එක්ක කතා කරන්න ලොකුවට ඕනෙ කම තිබ්බත් මේනු අක්කා ඉස්සරහා ඒ දේවල් බෑ. "කස්ටමස්ලා කියන දේවල් අහන් ඉන්න පුලුවන්, ඒත් අපි කතා කරන්නෙ ට්රීට්මට්ස් ගැන විතරයි. එයාලගෙ කතාවලට හූමිටි තියන එක වෙනම වැඩක් එත් අපිට බෑ ප්‍රශ්න අහන්න, එහෙම නැතුව මේ රස්සාව කරන්න බෑ" මේනු අක්ක කියලා තිබුනෙ එහෙමයි.

"මැඩ්ම්ගෙ කොණ්ඩෙ මෙහෙම නාස්ති වෙන්න දෙන්න එපා, වෙලාවක අපි ඒකටත් සාත්තුවක් දෙමු, විටමින් ඊ ට්‍රීට්මන්ට් එක හොඳයි... හැම දෙයක්ම තමා ලස්සන කියන්නෙ, මූණ විතරක්ම නෙමේ.."

තිලකා මොකවත් කිව්වෙ නෑ. වෙන අය වගේ මෙයා කතා නෑ. තිලකා වගේමයි. පෙලක් අය සැළුන් එන්නෙම කතා කරන්න. අඬන්න. දුක කියන්න. ෂවර් කැප් එක දාලා මූණෙ ක්ලෙන්සින් මිල්ක් ගානකොට තිලකා ඇකිලුනා. හීතලට වෙන්න ඇති. ඒ මූණ පුරා මගෙ ඇඟිලි දිව්වෙ හුරුවට පුරුද්දට නෙමේ.. මම ඒ හැම ඉරියව්වක් දිහාම බලාගෙනයි හිටියෙ. ඒ තිලකා.. මට ආයෙ මුණනොගැහෙන තිලකා.. හැමදාම මෙහාට එක එක විදියෙ තිලකලා එනවා. ඒත් මේ හූරිගස්සෑවෙ කළු තිලකා. කවි ලියපු, සමිතියෙ සිංදු කියපු, මගෙ කොණ්ඩෙ අවුල් කඩපු,... මගෙන් පලියක් පිරිමහන්ඩ ආපු කළු තිලකා.

තිලකා මට වඩා අවුරුද්දක් වැඩිමල් වුනාට ඉස්සෙල්ලා ලොකු ළමයෙක් උනේ මං. නෑව්ව දවසෙ මං ඇන්ඳෙ ඕගන්දි රෙද්දෙන් මහපු රෝස පාට තට්ටු ගවුමක්. ඒක අම්මා තඹුත්තේගමින් මස්සං ආවෙ. මට හොඳට මතකයි දවාලෙ මං කකා ඉද්දි තිලකා ඇවිත් ගවුම අතගානවා.

"එපා... කිළුටුවෙයි... "

කියලා මං තිලකාව එලෙව්වා. එදා තිලකා ගියාද හවස් වෙනකං හිටියද කියන්න මට මතක නෑ. ඊට වඩා මතක හිටින දේවල් කොච්චරක් නං එදා උනාද? පොඩි පංති වලදි තිලකා කියන්නෙ කොහොමටවත් එහෙම මතක හිටපු ළමයෙක් නෙමේ. නිකං ගහක් ගලක් වාගෙ අපි දිහා බලං උන්නු ලකයක් නැති කෙල්ලෙක්. අපි විමලලා, සුරංගිලා, මල්ලිකාලා, පද්මිණීලා එකට ඉස්කෝලෙ ගිය කෙල්ලො ඔක්කොමලා පොකුරෙ මල් පිපෙනවා වගේ එක එකා ලොකු ළමයි වෙද්දිත් අපිට වැඩිය වැඩිමල් කළු තිලකා රිටක් හේ එහෙම්මම හිටියා. අපි අපිට කතා වෙන්ඬ කොච්චර ජාති තිබුනද? අපි පපු එකට තියලා ලොකු පපුව තේරුවා. එක එක්කෙනාට වෙන වෙනම ලස්සනවල් තිබ්බා. පද්මිණීගෙ දත් වල පැල්ලං තිබ්බට පපුව ලොකුයි. සුරංගියි මායි අනිත් සේරොටම වඩා පාටයි. මල්ලිකා මහත උනාට හිනා වෙනකොට මූණෙ සුලි ගැහෙනවා. විමලට තිබ්බෙ බළල් ඇස්. අපි මේවා බලන කතා කරන අතරෙ කළු තිලකා කොහෙ හිටියද කියලා මට මතක් කර ගන්න බෑ .

අම්මෝ ඒ කාලෙ අපි කෙල්ලො ටික කරපු වැඩ. තාත්තත් එක්ක කසිප්පු පෙරපු මහතුං අයියා කුඹුක් ගහකට මුවාවෙලා අපි නාන දිහා හොරෙන් බලන බව දැන දැනත් ඒ පැත්තටම හරෝලා දිය රෙද්ද අස්සෙ අත දදා අපි සබන් ගෑවෙ පස්සෙ කතා කර කර හිනා වෙන්ඩම නෙමේ. ඒකෙ වෙන මොකක්දෝ හීන් රහක් තිබුනා. තේක්ක දල්ලක් පොඩි කරලා ඉස්කෝලෙ යනකොට ලාවට තොල් වල ගා ගත්තෙ අමුතු රතක් තොල් වලට එන හින්දා. පොල් තෙල් බෝතලේ අඩිය හූරලා හරි කොණ්ඩෙට දාලා තනි කරලට හිටින්න ගොතලා පොත් ටික පපුවට තුරුල් කරගෙන ඉස්කෝලෙ ගියෙ ඉගෙනගන්ඩම නෙමේ. අපි හැමෝ ගාවම චූටි කණ්නඩි කෑලි, පනා තිබුනා. නාන්ඩ ගියත් අපි වරුවකට ආවෙ නෑ . කකුල් ගල් වල උලලා උලලා යටි පතුල් ලේ පාට වැටෙනකං මැද්දෙ නිකම්ම නෙමේ. රෑට චූටි චූටි කොණ්ඩ මහ හුඟක් ගොතලා නිදා ගත්තම උදේට එවා ලෙහෙපු ගමන් කොණ්ඩෙ පිම්බිලා පේනවා. කෙස් ගස් කීකරුයි . එතකොට මහතට ලස්සනට තනි කරල ගොතන්න පුලුවන්. ඒ ඒ දේවල් අපි හැමෝම කලේ ආසාවෙන්. එවයෙ තේරුමක් තියන බව අපිටම දැනිලා තිබුනා. ලොකු පංතිවල කොල්ලො අපි යනකන් ඉඳලා උරුවම්බානකොට, බයිසිකල් ඇඟට කපනකොට බොරුවට තරහා මූණක් පෙන්නලා ගැස්සුවට අපි ඒවට කැමති වුනා.

ඉස්සෙල්ලම මට ලියුමක් දුන්නෙ අපිට වඩා පංති දෙකක් උඩින් හිටපු නිහාල් අයියා. ඒකෙ රතුපෑනෙන් ලොකුවට බෝ කොළයක් ඇඳලා ඒක ඇතුලෙ පරෙයි ජෝඩුවක් ඇඳලා හිටියා. ඒ ලියුම මට දුන්නෙ ඉන්ටවල් එකට ලිඳෙන් වතුර බොන්න ගියාම. අම්මෝ මම ඒ ලියුම සිය පාරකට වඩා කියවන්න ඇති. ඒත් මං කැමතියි කියන්න ගියෙ නෑ ඈතින් දැක්කම හිනා වෙනවා මිසක්. ඒවා වෙනකොට තිලකා කොහෙ හිටියද මට මතක් නෑ. එයා කොයි කාලෙ ලොකු ළමයෙක් වුනාද කියන එකවත් මට මතක නෑ. කසිප්පු බූලි අහුවෙලා සැරින් සැරේ තාත්තව රිමන් කලාම තිලකලෑ අම්මා අපිට තනි රකින්න ආවා. ඒත් තිලකා ආව බවක් මට මතක නෑ. තිලකාගෙ අම්මත් තිලකා වගේම කළු දෑවක්. තිලකලෑ තාත්තා ලී ඉරපු බවයි, හවසට කසිප්පු බොන්න අපේ ගෙවල් පැත්තෙ ආපු බවත් මට මතකයි. හවසට කසිප්පු විකුණන පැත්ත පලාතක යන්න අම්මා මට ඉඩ දුන්නෙ නෑ. "මට වැරදිච්චි තැන, උඹ වරද්ද ගන්න ඒපා" කියලා අම්මා මන්තරයක් වගේ මැතිරුවා. අපේ ගමේ හිටපු ගොඩක් අම්මලා ඔය මන්තරේ මතුරන බවත් මම දැනං හිටියා. ඒක එක්කෙනෙකුට දෙන්නෙකුට වෙච්චි වැරදිල්ලක් නෙමේ. ඒත් හවසට කරෝල බදින්න, මංඤ්ඤොක්කා තම්බන්න අම්මා මාව හවුල් කර ගත්තා. ලී මෝලෙ කොල්ලො බොන්න ආවම කුස්සියෙ ජනේලෙන් එබෙන එක අම්මා නොදැක්කා නෙමේ මට රැව්වට.

අපේ අයියා කියලා තිබුනෙ කොල්ලො එක්ක කතාවට ගිහින් අහුවෙන්න එපා තෝව පෙති ගහනවා කියලා. ඒත් එයා අපේ පංතියෙ හිටපු විමලා එක්ක චිත්‍රපටි බලන්න අනුරාධපුරේ ගියා. හවසට හවසට විමලව බයිසිකලේ තියන් එහෙ මෙහෙ ගියා. විමලම මට පෙන්නලා තියනවා අයියා එයාට ගෙනත් දීපු ලේන්සු, බූල් බෑන්ඩ්, සෙරෙප්පු එහෙම. දවසක් මට ඉහිලුං නැති වුනා විමලා ඉස්කෝලෙ දාගෙන ආපු කළු පටි සෙරෙප්පු දෙක දැකලා. ඒක හොඳ හම් සෙරෙප්පු දෙකක්. බැලින්නම් අපේ අයියා අරන්දීලා තිබුනෙ. මං ඒක අම්මට කිව්වට ඒ ගැන අයියගෙන් අහන්ඩ අම්මගෙ දිව පණ තිබ්බෙ නෑ.

" ඔහෙ ඕනෙ එකක් බං, උං පිරිමි, අපි ගෑනු .."

අම්මා එහෙමයි කිව්වෙ. අයියා එක්ක චිත්‍රපටි බලන්න ගිය, ටිකට් කෑලි පොත් අස්සෙ දාගෙන ඇවිත් විමලා අපිට පෙන්නුවාම අනිත් කෙල්ලො හිකි හිකි ගගා හිනා උනාට මට හිනා වෙන්න බැරි ගතියක් දැනුනා.

ඒ කාලෙ තමා මට ආයෙ තිලකාව පෙනුනෙ. පෙනුනට වඩා ඇහුනා. දවසක් තිලකා සමිතියෙදි සිංදුවක් කිව්වා. මට හොඳට මතකයි තිලකා කිව්වෙ " කුරුටු ගෑ ගී පොතේ, කුරුටු ගී කෑ ගසා .... " සිංදුව. ඒක මහ පුදුම කටහඬක්. කළු කැහැටු තිලකා අතකින් තාලෙ අල්ල අල්ල, පපු කූඩුව පුම්බ පුම්බ ඒක කිව්වෙ අපි දිහා බලාගෙන නෙමේ අපිව පහු කරන් කොහෙද ඈතක් බලාගෙන. ඉස්කෝලෙ ළමයි සේරම මීක් නැතුව අහන් හිටියා. ඒ පපුව හූරං යන දුක කටහඬක්. ඒක නිකම්ම සිංදුවක් නෙමේ. නොතේරෙන තව මොකක්දෝ වේගයක් ඒකෙ තිබුණා. ඉන්පස්සෙ තිලකා දිගටම සමිති වල සිංදු කිව්වා. අපිට තිලකාව පෙනුනා. ඒත් එයා හිටියෙ වෙන කොහේදෝ තැනක. එයා පේන කෙනෙක් නෙමේ ඇහෙන කෙනෙක්. පත්මිණී එක්ක වගේ විහිලු කතාවක් කියලා එයා එක්ක හිනා වෙන්න බැරි ගතියක් තිබුනා. ඒක කැත දුක හිතෙන මූණක්.

"බලන්න මැඩම් මූණෙ තියන කුණු, මේ හමේ තියන පුංචි පුංචි සිදුරු වල තැන්පත් වෙච්ච කුණු දූවිලි, ඒකයි මූණෙ අවපාට ගතිය........."

මේ තිලකා වතුර බේසමට එබිලා මගෙ මූණ දිහා බලලා හිනා වුනා. ඒ මූණෙ කලින් තිබ්බ බය වෙච්චි ගතිය වෙනුවට වෙන මොකක්දෝ එළියක් ඇවිත්. කුණු දුවිලි වලට විතරමද කළු වෙන්නෙ? ඒ දවස්වල තිලකයි මමයි කොච්චර වෙනස්ද?

" හීනියට මූණ හීරෙනවා වගේ දැනෙයි.. ඇස් අරින්න එපා.. දැවිල්ල නම් කියන්න... "

ස්ක්‍රබ් එක මගෙ ඇඟිලි වලින් තිලකගෙ මූණෙ තැවරුනේ නොරිදෙන විදියට. එයාගෙ එක ඇහැකින් කබ එනවා. එයා ඇස් පියාගෙන් මොනවා හිතනවා ඇද්ද? සමහරු මෙතනට එන්නෙ ලස්සසන වෙන්නම නෙමේ. කතා කරන්න. නැත්තන් ඇස් පියාගෙන හිත කොහේ හරි ඈතකට පා කරවන්න. එහෙම එන අයට වැඩිපුර නළල දෙපැත්තෙ මසාජ් කරන්න කියලයි මේනු අක්කා කියලා දීලා තියෙන්නෙ. මේ තිලකගෙ හිත මොන මොන තැන් වලට පා වෙලා යනවා ඇද්ද?

මං සිංදු කියන තිලකත් එක්ක ඉන්ටවල් එකේ වතුර බොන්න ගියාම හිනා වුනා. තිලකා, විමලල මල්ලිකාල වගේ නෙමේ, එයා කන්ඩ දුන්නම නැට්ට වනාගෙන පස්සෙන් එන බැල්ලියක් වගේ මගෙත් එක්ක යාළු වුනා. එයාට වෙන යාළුවො හිටියෙ නෑ. උදේට අපේ ගෙදර ඇවිත් මගෙ කොණ්ඩෙ ගෙතුවා. එකට ඉස්කෝලෙ ගියා. හවසට අපිත් එක්ක නාන්න ආවා. අනිත් කෙල්ලන්ට තිලකව එච්චර දිරෙව්වෙ නෑ. එයා කැතයි. ආයෙ වෙන වචන ඕනෙ නෑ , එයා කැතයි. තිලකා එක්ක මං විමලගෙ නුගුණ කිව්වා. තිලකා මට එයා ලියපු කවි පෙන්නුවා. එයාගෙ පෙලක් කවි සිළුමිණේ හිට ගිහින් තිබුනා. හුරිගස්වැව තිලකා චන්ද්රකකාන්ති. මං දන්න අඳුරන කාගෙවත් නමක් එහෙම අච්චු අකුරෙන් පත්තරේක වැටිලා තිබිලා නෑ තිලකගෙ ඇර. එයා කලා ඔය ගැන, උදෑසන ගැන, ආදරේ ගැන කවි ලියලා තිබුනා. ඒ කවි මට එච්චරම තේරුනේ නෑ. ආදරෙ ගැන කවි ලිව්වට කවුරුවත් තිලකට ආදරෙයි කියල හරි, අඩුම තරෙමෙ අතින් අල්ලල හරි නැතුව ඇති කියලයි මට හිතුනෙ. මගෙ නම් අතින් අල්ලලලා නෙමේ මහතුං අයියා හත් අට ගමන පස්සත් මිරිකලා තිබුනා ඒ වෙනකොට. මල්ලිකා එහෙමනං කරගන්න ඕනෙ ඔක්කොම දේවල් ඒ වෙනකොට කරගෙන තිබුනෙ. අපිට තිලකට වගේ කවි ලිය ලිය ඉන්න වෙලා තිබුනෙ නෑ. අපිට හිතන්න ජාති ඕනෙ තරං තිබුනා. කරන්න වැඩත් පුරෝලා තිබුනා.

ස්ක්‍රබ් එක අයින් කරලා මම ස්ටීමර් එක සෙට් කරද්දි මේ තිලකා කණ්නාඩිය හරහා මගෙ ඇස් අල්ල ගන්න උත්සහා කලා. ඒ ඇස් උඩින් තෙත පුළුං කෑලි තියලා මම වැහුවා. "එන හුමාලෙ සැර වැඩිනම් කියන්න...."

තිලකව වැඩියෙන් මතක හිටපු දවසක් තියනවා. ඒ දවස මට කවමදාවත් අමතක වෙන්නෙ නෑ. සිරිසේන මාමලා යලේට කුඹුරු කලේ නෑ. ලියැදි වල බී ලූණු දැම්මා ඒ දවස් වල. ලූණු ගලෝන කාලෙට අපි යනවා ලූණු කපන්න. පස් ගසලා ටිකක් උඩින් කොළ ටිකයි යට මුල් ටිකයි කපන්නයි අපිට තිබුණෙ. ගෙව්වෙ කිලෝ ගානට. තිලකත් ආවා මගෙත් එක්ක ලූණු කපන්න. හවස ආමි නිස්සංක අයියා ට්‍රේල් බයික් එකේආවා අපි ලූණු කපන තැනට. ආමි නිස්සංක අයියා හැඩයි. අත් වල මස් ගොබ වැවිලා. ඇස් වල වුනත් ගෑනු හිත් හොල්ලන මොකක්දෝ අමුතු බැල්මක් තිබුනා. නිවාඩුවට ආවම අතේ සල්ලිත් යහමින් තිබුනා. ඒ කාලෙ ගමේ කොල්ලො කීයෙන් කී දෙනාටද මෝටර් සයිකල් තිබුනෙ.. මට නිස්සංක අයියගෙ ඇස් දිහා බැලෙන්නෙ ඉබේටම. ඒ ඇස් තිබුණෙ මගෙ ගවුම එහෙ මෙහෙ වෙච්චි තැනක. මං ගවුම හදන්න ගියෙ නෑ, හිනා වුනා. තිලකා හිටියෙ නැත්තං කියලා මට හිතුනා. තිලකා කොලොම්බු කොටේ උඩ තියලා ලූණු කොළ කපාගෙන කපාගෙන ගියා. මට එයාගෙ කකුල් පෙනුනා. ඒවා කොරළ හැදිච්ච කෙට්ටු කකුල්.

නිස්සංක අයියගෙ බැල්ම ගෑනු හිතකට උහුලන්න අමාරුයි. එයා අපි ඉස්සරහා ඇන තියං තුත්තිරි නැට්ටකින් දත් හාරන්න ගත්තා. ඒ ඇස් තිබුණෙ මගෙ කකුල් දෙකේ. මොනා කියන්නද කියලා මට තේරුනේ නෑ. මට ඕනෙ වුනේ තිලකව එතනින් පන්න ගන්න. එක පාරටම තිලකා එයාගෙ ගවුම කලවා හිට පේන විදියට එහෙ මෙහෙ කලා. නිස්සංක අයියා බය වෙලා වගේ නැගිට්ටා. මට තේරුණේ නෑ මොකක්ද වෙන්න කියලා. එක පාරටම තිලකා කැත්තත් උස්සං සොහොං කාලි වගේ නැගිට්ටා.

"වනචර පාහර බල්ලා....."

ඒකිගෙ කෑ ගැහිල්ලට නිස්සංක අයියා පස්සට විසි වුනා. ඈතින් ලූණු කප කප හිටපු කාන්ති අක්කලත් ඉස්සිලා බලනවා පෙනුනා. නිස්සංක අයියා ට්‍රේල ඉස්ටාට් කලාට ඒක් එකපාරටම ඉස්ටාට් වුනෙත් නෑ.

" රෑට රෑට දෙවටවල් ගානෙ හොල්මං කරන කටු බැල්ලි, අපි බලාගමු........"

කියාගෙන දූවිලි පිඹගෙන නිස්සංක අයියා ගියා. තිලකා කැත්ත අතෑරලා වැනි වැනි නියර දිගේ ඈතට ඈතට ගියා. මං හිතුවෙ දුවගෙන අපි ඉන්න තැනට එන කාන්ති අක්කට මොනවා කියන්නද කියලා.

පහුවදා මගෙ කොණ්ඩෙ අවුල කඩන්න තිලකා ආවෙ නෑ. ඒත් ඉන්ටවල් එකේදි ලිඳ ළඟදි මට තිලකව මුණ ගැහුනා. "වේසි..." තිලකා කිව්වෙ එච්චරයි. ආයෙ කවමදාවත් තිලකා මගෙ එක්ක කතා කලේවත් මට මූණ දෙන්න ආවෙවත් නෑ. ආයෙ එයා සමිතියෙ සිංදු කිව්වා කියලත් මට මතකයක් නෑ. සිළුමිණට කවි ලිව්වද නම් දන්නෙ නෑ.

මේ තිලකගෙ මූණෙ පුදුම විදියට බැලැක් හෙඩ්ස්. මං ලූප් එකෙන් තද කර කර පුළුං කෑල්ලට ඒවා ගනිද්දි ඒ ඇස් වල තිබුණෙ පුදුමයක්.

"චුට්ටක් රිදෙනවා නේද? ගනං ගන්න එපා... ලේසියෙන් ලස්සන වෙන්න බෑ...." එයා ලාවට හිනා වුනා.

දේවල් වෙන්න ගත්තෙ හදිස්සියෙම. ඒක මහ කන්නෙට වහින්න ගත්තා වගේ. එක දිගට, එකක්ට පස්සෙ එකක් එකකට පස්සෙ එකක් සිද්දි සිද්දි වෙන්න ගත්තා. හුරිගස්වැව අවුරුදු උත්සවේ ස්ටේජ් එකට මම නැග්ගෙ පත්මිණිත් නැග්ග නිසා. අයියා එපාම කිව්වා. පත්මිණී විමලා ලව්වා අයියට කියෝලා කොහොම හරි කැමැත්ත අරන් දුන්නා. තාත්තා බොන්න එන හැමෝත් එක්කම කිව්වෙ අහල ගං හතකවත් මං වගේ හැඩ එකියක් නෑ කියලා. මටත් ස්ටේජ් එකට නගින්ඩ ලොකු ආසාවක් තිබ්බා. ඒක පාරෙ යනකොට කොල්ලො විසිල් කලාම දැනෙන ආඩම්බරේ ලොකුවට විඳින්න තිබ්බ ආසාවක්. ඉස්කෝලෙන් ඒ වැඩේට එච්චර කැමැත්තක් තිබ්බෙ නෑ. ගුණවතී ටීච කිව්වෙ පද හදා ගන්න එපා ළමයො කියලා. ඒත් මට තිබ්බෙ ආසාවක්. ඒක නතර කරන්න පුලුවන් එකක් නෙමේ. මං ඇන්දෙ රෝස පාට හැට්ටෙයි, රෝසයි කොළයි මල් වැටිච්ච කළු චීත්තෙයි. කොණ්ඩෙට ලොකු ප්ලාස්ටික් රෝස මලකුත් ගැහුවා. ස්ටේජ් එකට නැග්ගම කසිප්පු බොන්න එන කොල්ලො ඔක්කොම වැඩියෙන්ම විසිල් කලේ මට. මං අවුරුදු කුමාරි වුනා. උණු වතුර බෝතලේකුයි ලස්සන සාරි දෙකකුයි තෑග්ගට හම්බවුනා. එතකොට මට දාසයයි. ආයෙ මං ඉස්කෝලෙ ගියෙ නෑ. අවුරුදු කුමාරියෙකුට ඉස්කෝලෙ යන්න බැරි බව මට දැනුනා. කවුරුවත් මට බල කලෙත් නෑ. ඒක හැමෝම දැනං ඉන්න ඇති. තව දුරටත් මං ඉස්සර හිටපු කෙල්ල වුනේ නෑ. මල්ලිකාලා, සුරංගිලා වුනත් මට ටිකක් ඈතින් හිටියෙ. ඒ ගමන මට යන්න තිබුනෙ තනියම. ඒ ළඟ අවුරුද්දෙ මං තඹුත්තේගම අවුරුදු උත්සවේ ස්ටේජ් එකට නැග්ගා. ඒක හුරිගස්වැව අවුරුදු උත්සවේ වගේ දහයක් ඇති. ඒකෙත් මමයි අවුරුදු කුමාරි වුනේ. ඒකෙන් මට සිංගර් මැසිමකුයි, අතට දෙදාස් පන්සීයකුයි හම්බවුනා. සල්ලි තාත්තා ගත්තා. මං ලස්සනයි. ඒක මට හරියට දැනුනෙ එදා.

මං ෆේස් පැක් එක තවරද්දි එයා අමාරුවෙන් ඇස් ඇර ඇර කණ්නඩියෙන් මූණ බලන්න හදනවා.... "දඟලන්න එපා ළමයො... මේක ඉවර වුනාම ඇති වෙන්න බලන්න.... ඇස් වල ගෑවුනොත් දැවිල්ල ගනී.... එක දවසින් ලස්සන වෙන්නෙ නෑ... එත් බලන්න මේක ඉවර වුනාම එක දවසින් වෙන වෙනස..... " තිලකට හිනා ගියා. මෙයා අර තිලකා තරං රිදිලා තැලිලා නැතුව ඇති කියලා මට හිතුනා. ඒත් මේත් තිලකා කෙනෙක්. මමත් තිලකා කෙනෙක්. තිලකලා. තිලකලා. තිලකලා.

ස්ටේජ් වලින් පස්සෙ මට මුලින්ම නගින්න වුනේ තඹුත්තේගම මහ කඩේ මුදලාලිගෙ පුතාගෙ ඇඳට. සාලිය මහත්තයා මාව බලෙන් නෙමේ ඇඳට ගත්තෙ. මං දැනං උන්නා මට යන්න තියන ගමන. අපිත් අනුරධපුරේ ගිහින් විජේන්ද්‍රා එකේ චිත්‍රපටි බැලුවා. ආලංකුලමෙන් රයිස් කෑවා. මට බයක් නොතිබුනා නෙමේ. ඒත් මගෙ පපුව පුරෝලා හීන තිබුනා. සාලිය මහත්තයා එක්ක නුවර එළි ගිහින් ආවට පස්සෙයි මට පරාණ බය දැනුනෙ. අයියා කඩුව අරන් මයෙ පස්සෙ පැන්නුවා. ඇලේ මාළු කොටන කඩුවෙන් මට කොටන්න බැරි නෑ කියලා මට ඒ වෙනකන් හිතිලා තිබුනෙ නෑ. " තෝ මැරුං නොකා කොහෙ හරි පලයං කෙල්ලෙ..." අම්මා රෑ බත් ගිලගන්න බැරුව ඇඬුවා. සාලිය මහත්තයා දුන්නෙ දාහෙ කොළ පහයි. වෙන මොකවත් කිව්වෙ නෑ. මං රෙදි ටිකයි, උණු වතුර බෝතලෙයි මල්ලක් දාන් කොළඹ ආවා. සිංගර් මැසිම ගෙනාවෙ නෑ. ඊට පස්සෙ ඇඳන්, පැදුරු කීයක් පහු වුනාද? දෙපාරක් බඩ හෝද ගත්තට පස්සෙයි මං දැන ගත්තෙ පරිස්සං වෙන හැටි දැන ගත්තෙ..

මේනු අක්කා ගාවට එනකොට දුව ඉපදිලා. මොහොමඩ් කුඩු අහුවෙලා හිරේ ගිහින්. ඒත් දුවට උප්පැන්නෙකුයි, මට කසාද සහතිකේකුයි තිබුනා. මං හැමදේම ඉක්මනට ඉගෙන ගත්තා. එතනදියි ඉස්සෙල්ලම මං දැක්කෙ මගෙ ඇහි බැම ගොරෝසු වැඩි බව, අත් වලයි කකුල් වලයි ඕනෙවට වඩා මයිල් තියන බව, කොණ්ඩෙ ඉස්සොරි තියන බව, මං මහත වැඩි බව, කොළඹ ලස්සනයි, හුරිගස්වැව ලස්සනයි දෙකක් බව, කොටින්ම, වැල්ලවත්තෙ ලස්සනයි, බම්බලපිටියෙ ලස්සනයි දෙකක් බව.... ලස්සන කියන්නෙ.. ලස්සනම නෙමේ බව...
මේනු අක්කා නිකට උස්සලා චුට්ටක්වත් අත වෙව්ලවන්නෙ නැතුව තනි ඉරට අයි බ්රෝම පැන්සලෙන් අඳින හැටි, මස්කාරා ගාන හැටි, ලිප් ලයින් එක ඇඳලා චුට්ටක්වත් එලියට නොයන්න ලිප්ස්ටික් ගාන හැටි මං බලන් හිටියා. ඉස්සෙල්ලා මේනු අක්කා මට දුන්නෙ අතුගාන්න. පස්සෙ මං ආම්පන්න අතට පයට ගෙනාවා. ඊටත් පස්සෙයි මේනු අක්කා මට සාස්තරේ දුන්නෙ. මුලින්ම අත වෙව්ලන්නෙ නැතුව අයි බ්රෝප ඇඳලා, ලිප්ස්ටික් ගාලා චුට්ටක් නිකට උස්සලා මං කණ්නඩියෙන් බලපු දවසෙ සෙල්ලං සද්දෙං මටම "වේසි" කියා ගත්තා. තිලකගෙ වචන.

පැක් එක වතුරෙන් පො‍ඟෝපු ස්පොන්ජ් වලින් අයින් කරද්දි තිලකගෙ මූණ මැලවිලා. ඒ මූණ මං හිතපු තරංවත් පාට වෙලා නෑ. ටෝනර් කරලා ලෝෂන් එක ගාද්දි මගෙ ඇඟිලි කැක්කුමයි කියලා මට ආයෙ දැනුනා. මං මොකවත් නොකියා එයාගෙ ඇහි බැම ත්‍රෙඩිං කරන්න ගත්තා. මේනු අක්කා බලා ඉන්නවා මං නොදැක්කා නෙමේ. තිලකා රිදෙන් හින්දා ඇස් හීන් කලා. මස්කාරා ගාලා. තොල් දෙකේ ටිකක් තද රතට ලිප්ස්ටික් ගෑවා. පේෂල් කරපු ගමන් නිසා ෆවුන්ඩේෂන් ක්‍රීම් ගෑවෙ නෑ. කොණ්ඩෙ පස්සට පීරුවා. තිලකට ටිකක් වෙනස් පෙනුමක් ඇවිත්.

"මැඩම් ආයෙ එන්න, මේ වගේ මාස දෙක තුනක් කරනකොට ලොකු වෙනසක් වෙයි.... අනික මැඩම්ට මෙහෙම ගොඩක් බුරුල් ඇඳුම් ගැලපෙන්නෙ නෑ..."

තිලකා හිනා උනා. ඒ හිනාවෙ වෙනමම මොකක්දෝ ලස්සනක් තිබුනා.

" පේෂල් එකට දාහයි... මේකප් එක මගෙ ගානෙ....."

තිලකා මොකවත් කිව්වෙ නෑ. එයාගෙ ඇස් මගෙ ඇස් එක්ක කණ්නඩියෙන් හිනා වුනා.

"ආයෙ එනවද? මං ඇහුවා.

"ඔව් ලබන මාසෙ..."

එයා ගියා. ඒත් එයා ආයෙ එනවා.

"මේකප් එකේ ගාන මගෙන් කපා ගන්න...."

මං මේනු අක්කට කිව්වා. මං නොකිව්වත් එයා ඒ වැඩේ කරනවා.

ඉසුරු චාමර සෝමවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails