Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සයිමන් නවගත්තේගම යනු සිංහල සාහිත්‍යයේ මනෝවිශ්ලේෂණාත්මක සලකුණ සනිටුහන් කල ලේඛකයා කිවහොත් නිවැරදි බව සිතේ. ඔහු නිර්මාණකරණයේ දී මනෝවිශ්ලේෂණාත්මක සංකේත බහුලව යොදා ගත්තේය. සයිමන්ගේ 'සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා' කෘතිය මුළුමනින්ම පිරි තිබෙන්නේ මනෝවිශ්ලේෂණාත්මක සංකේත වලිනි. මනෝවිශ්ලේෂණාත්මක සංකේත යොදා ගනිමින් සයිමන් නවගත්තේගම දඩයක්කාරයාගේ ප්‍රයාණය විස්තර කරයි. මේ සා ගැඹුරු මනෝවිශ්ලේෂණාත්මක ප්‍රවේශයකින් සිංහල නවකතාවක් ලියන ලද ප්‍රථම ලේඛකයා සයිමන් නවගත්තේගම ශුරින් විය යුතුය.

මුලින්ම මනෝවිශ්ලේෂණාත්මක ප්‍රවේශයකින් නවකතාවක් පළ වන්නේ 1923 වසරේ Ettore Schmitz විසින් ලියන ලද Confessions of Zeno නවකතාව සමගය. නමුත් මනෝවිශ්ලේෂණවාදය බොහෝ කාලයක් යන තෙක් ලාංකික ගත්කරුවන් ගැඹුරින් යොදා නොගත් බව පෙනී යයි. මාර්ටින් වික්‍රමසිංහගේ 'විරාගය' , ගුණදාස අමරසේකරගේ 'කරුමක්කාරයෝ' වැනි කෘතීන් යම්තාක් දුරකට මිනිස් මනසේ අවිඥානික ගැටුම් හෙළි කෙරුවද සයිමන් නවගත්තේගම තරම් ගැඹුරු මනෝවිශ්ලේෂණාත්මක මුහුණුවරකින් නවකතාවක් ලියු වෙන කිසිදු ලේඛකයෙකු ගැන සිතා ගැනීමටවත් නොහැක.

සයිමන් නවගත්තේගම විසින් භාවිතා කරන ලද මනෝවිශ්ලේෂණාත්මක සංකේත පිලිබඳ ලිපියක් මම වසර කීපයකට ඉහතදී ලියුවෙමි. ( මෙම ලිපිය ලංකා ඩේලි නිවුස් පුවත් පතේ පළ විය) 'Psychoanalytic symbols used by Simon Nawagaththegama' යන එම ලිපියේ ඔහු විසින් භාවිතා කරන ලද සංකේත ගැන මෙසේ සඳහන් වේ.

"Simon used symbols in his novels hiding the conventional meanings. Deconstructive reading would reveal the actual meanings which he gives in his novels especially Dadayakarayage Kathawa. Simon gives broader interpretation of a carried meaning. According to the Psychoanalytic notion symbols are not the creations of mind, but rather are distinct capacities within the mind to hold a distinct piece of information. Simon’s novel is full of elements of unconscious and repressions that struggle in our minds beyond the cultural and religious barriers. Created by collective unconscious archetypes these symbols carry an important socio cultural meaning."

සයිමන් ගේ පුතු සනී සනී නවගත්තේගම මගේ සමකාලින පාසල් මිතුරෙකි. ඔහු අධ්‍යාපනය ලැබුවේ ආනන්ද මහා විද්‍යාලයේය. අප දෙදෙනා උසස් පෙළ සත්ව විද්‍යා උපකාරක පන්ති වලදී බොහෝ විට වාඩි වුයේ එකටය. ඇතැම් විට මම සනී සමග එක්වී ඔටුවා කේන්ති ගැස්සුවෙමු. අප ඔටුවා ලෙස හැඳින්වුයේ සිදත් ප්‍රනාන්දුය. බෙල්ල දිග සිදත් නිතර වාඩි වුයේ නාලක ගුණවර්ධන සමගය. සනී පසුපස සිට පුද්ගලික බස් කොන්දොස්තරවරයෙකුගේ ස්වරයෙන් ඔටුව පිටකොටුව කියයි. එවිට මම සනී තවත් උනන්දු කරවමින් සිනාසෙමි. අපගේ විහිළුව නිසා කෝප ගන්නා සිදත් පසුපස හැරී රවා බලයි. ඒ කාලයේදී පන්ති වලදී අප විසින් ළමුන්ට කල විහිළු ගැන ඇතැම් විට දැන් දුකක් සිතේ. නමුත් කොළු කාලයේ මේවා ගැන හැඟීමක් අපට නොවිය. නාලක දැන් ප්‍රවීණ විද්‍යා ලේඛකයෙකි. ඔටුවා ගැන තොරතුරක් නැත. ඔහු මට යලි මුණ ගැසුනොත් සනී සමග එක්වී විහිළු කලාට සමාව ඉල්ලා සිටීමට ඉටාගෙන සිටිමි.

සනී වෛද්‍ය විද්‍යාව හැදෑරුවේය. දැන් ඔහු කැල්ගරි හි ජිවත් වේ. ඒ කාලයේ මට නිතර සනී මුණගැසුනද ඔහුගේ පියා මට මුණ ගැසීමට අවස්ථාවක් නොවිය. සයිමන් නවගත්තේගම ශුරින් මට මුණ ගැසී ඇත්තේ එකම එක වරකි. 1999 වසරේදී වරක් මට ඔහුව මරදානේදී හමු විය. කැප් තොප්පියක් ලා ගත් මේ මහා ගත් කතුවරයා දුටු විගසම මම ඔහුව හඳුනා ගත්තෙමි.

" මම සනීගේ යාළුවෙක් " මම මා පිලිබඳ කෙටි හැඳින්වීමක් කලෙමි.

"ආ එහෙමද ?" ඔහු ඉතා ලෙන්ගතුව මා සමග විනාඩි විස්සක් පමණ කතා කළේය. ඒ අප හමු වූ ප්‍රථම සහ අවසන් වතාවයි.

2008 වසරේදී පමණ මා පුත්තලම දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය සම්බන්ධිකරණ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල කාලයේ වරක් නවගත්තේගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට රාජකාරියක් උදෙසා ගියෙමි. නවගත්තේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා මිත්‍රශීලි අයෙකි. අවාසනාවකට මෙන් මට ඔහුගේ නම දැන් අමතකවී තිබේ. රාජකාරිය අවසන් කිරීමෙන් පසුව සයිමන් නවගත්තේගම ජිවත් වූ නිවස බැලීමට යාමට මට ආශාවක් ඇති විය. මෙම වෛද්‍ය නිලධාරියා මට සයිමන් නවගත්තේගම ජිවත් වූ නිවෙස පෙන්වීමට පැමිණියේය. දැන් එම නිවස වනජීවී දෙපාර්තමේන්තුවේ කාර්යාලය බවට පත් කොට තිබේ.

සයිමන් නවගත්තේගම යනු ශ්‍රේෂ්ඨ ලේඛකයෙකි. ඔහුගේ කෘතීන් අන්තර් ජාතික ප්‍රජාවට පරිශීලනය කිරීමට අවස්ථාව ලබා දිය යුතුය. මෙම සාහිත්‍යධරයාගේ 'සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා' කෘතිය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වුවහොත් එයට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළ වනු ඇත . එසේම එය විශ්ව සාහිත්‍යයට ගිය ප්‍රථම ජනප්‍රිය සිංහල නවකතාව වනු නියතය.

රුවන් එම්. ජයතුංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails