
තම ප්‍රේම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමෙන් කෝප වූ කිරිඇල්ල මැදි විදුහලේ ජයතිලක නම් සිසුවා තවත් සිසුවියකට පිහියෙන් ඇන මරා දමයි. මියගිය දුල්මිණි ඉරෝශිකා කියවමින් සිටි "සඳුන් ගිර ගිනි ගනී" නම් පොත ඇගේ නිහඩ සිරුර අසල වැටී තිබිණි.
-පුවත් පත් වාර්තාවක් [2002]
පැතුම් එකිනෙක අකුරු කළ පොත් ළැමට තුරුළුව හාදු දී
රැළි නැගුණු සුදු ගවුම දග දෙයි සුළං රැල්ලට යා නොදී
කිරි සිනා මුව නැගූ දෝණිය අද කොහේ කොතැනක නිදී
නුඹේ හසරැල් යළි දකින්නට දුවේ අපි කළ පින් මදී
පිපුණු මල මත සරන බමරිඳු නොවී ඉක්මන් රොන් ගනී
බමර කුලයට වරම් දිය යුතු නියම කල් යල් මල දනී
කැකුළු මල් පෙති තලා පොඩි කළ දෙබර තුඩ ළයගේ ඇනී
තක්සලා බිම නුඹ වැටෙද්දී සරසවිය කොහි සැඟවුනී
විස යෙදූ සැඩ මලවි හීසර ළපටි හද පත්ලේ ඇනී
ගැලු ලේ බිඳු අහස විසිරී මියැදුණා මළ හිරු මෙනී
වෙන්ව යනමුත් නොතිර සසරෙන් සුදු දුවේ මගෙ දුල්මිණී
වාවගන්නට කෙළෙස හැකිවෙද සඳුන් ගිර අද ගිනි ගනී
සහන් කසීර වික්‍රමසිංහ
කවි බූන්දි | දුල්මිණි ඉරෝශිකා- කිරිඇල්ලෙන් ඇසෙන දුක් කව - [සහන් කසීර වික්‍රමසිංහ]
Posted by
BoondiOnLine
7.23.2012



