
අඳුරු කාමරේ දොර හැර
ඔහු ඇතුල් වුණා
එපමණයි
ඇයි ඔය හැටි හඬා වැටෙන්නේ
ගිරිය පුප්පවා ඇස් ගෙඩි ලොකු කර
පෙරළි පෙරළි ඇයි ළතෝනි දෙන්නේ,
උපන්දා සිට ඔබත් මමත්
පුටුව කෙළවරේ ඉඳගෙන ඉන්නේ
කවුදෝ ඇවිදින් කතා කරන කල්,
අඳුරු කාමරේ දොර ඇරගෙන
ඔහු මෙන්
ඇතුල්වෙන්න කියලා කියනා තෙක්,
බලන්න මොහොතක් හැරී ඔබ අවට
පුටු පිරිලා ඉඳගෙන නොයෙක් නොයෙක් අය
ලොකු අය පොඩි අය, ළඟ අය දුර අය
කැමති කැමති අය, නපුරු නරක අය
ඔක්කොම එක ළඟ ඉඳගෙන
එන්න කියන තෙක්
කෙනෙක් ඇවිත් ඔබ අතින් ගන්න තුරු
පාලු හිතේ දහසක් ඡායා පැතිරී යනවා
රූප මැවෙනවා, විදුලි කොටනවා
රුව බැබළෙනවා, යළි නැතිවී යනවා
මතකද ඇය එක් හැන්දෑ ජාමෙක
ඈ දිගු වරල සුළඟේ නටමින්
වැල්ල දිගේ ආදරයෙන් දුවපු හැටි
ඔබ අල්ලන්නට
ඈ මුහුණ පේනවා
වාරකං අහසේ විදුලිය වාගේ
එළිය වැටෙනවා
ආයිත් කළුවට දිය වී යනවා
ඈ නළලේ දිගු රතු තිලකය මතකද
ඝන නීල දෙනුවන් මැදින රැඳුණ
ඈත සාගරේ නීල දියඹ මත එල්ලෙන
ලෝහිත හිරු රුව වාගේ
ඈ සීත සිනිඳු රතු පුල්ලි සාරියේ පොටක්
වැල්ලේ සුළඟට අසුවී විහිදී පැතිර ගියා
රිදී සීනු ඇගේ හිනාව වාගේ
දුහුල් සළුව සුළඟේ පාවෙන හැඩයට
ඡායාවක් ඇවිදින් පාවී යනවා
සිහින මැවෙනවා, නැතිවී යනවා
ඒ හින්දා මට කතා කරන කොට
අඳුරු කාමරේ ඇතුළට එන්නට
වැළපෙන්න එපා ඔබ බිම පෙරළීගෙන
එල්ලීගෙන වැළපෙන්න එපා
පාලු හිතේ පායා මැකිලා යන
දහසක් තරුවැල් මැකී යාවි මට
මොළයේ කැරකී කැරකී තෙරපෙන
ඡායා මැකිලා හාවෙයි කළුවට
ආයිත් නෑ විදුලි ලෙළ -දෙන්නේ
ආයිත් නෑ සැඩ ගිගිරුම් සද්දේ
ආයිත් නෑ හද සිහින මැවෙන්නේ
ආයිත් නෑ මා ගත වෙව්ලන්නේ
ඔබ බෙරිහන් දීගෙන වැළපෙන්නේ නැතිව
ඇයට ගොස් කියන්න හෙමිහිට
ආදරයෙන් ඈ අත අල්ලා,
මම අඳුරු කාමරේ දොර හැර
ඇතුළට ගිය බව.
[හද තුළ ආසා - 1963 ]
සරත් අමුණුගම



