Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ස්ථානය: ගං වතුරෙන් යටවූ කුඩා ගොඩැල්ලක් වගෙයි.

කාලය: මද්දහනක් වගෙයි.

පේනතෙක් මානයේ අන් කිසිවක් නොපෙනේ, මහා වතුරක් මැද, ඉතාම පටු ගොඩැල්ලක් පෙනෙයි. ගොඩැල්ල අයිනේ ගසක් තිබේ. කොළ දෙකක් පමණක් ඇති අමුතු වර්ගයක ගසකි. එහි එකම අත්තේ අමුතුම විදියක විශාල ගෙඩියකි. ගස් දෙබලේ හිඳිනා සර්පයෙක්, නිශ්චලව හිඳී.

මිනිසෙක් වෙහෙසින් හා සා ගින්නෙන් ගොඩැල්ල මත වැතිරී සිටිනු පෙනේ. වෙලාවකට පසුව, කාලාන්තයකින් මිදෙන්නාක් මෙන්, ඔහු නැගී සිටින්න තැත් කරයි. හිඳ ගනි. ඉතා අමාරුවෙන් සිටගනී. ඈත බලමින් තොල් මතුරයි. අන්තිමේ දී ශබ්ද නගා හිතන්නාක් මෙන් තනියම කථා කරයි.

මිනිසා: ඉවසන්න බැරි බඩගින්නක්, කී දවසක් රෑ වුනාද එලි වුනාද එකයි.... දෙකයි... තුනයි... ගනන් කරලා ඇති පලේ මොකක්ද ? දැන් දවස් කීයක්ද ? කී දවසක් රෑ වුනාද එලි උනාද? ඉවසන්න බැරි බඩගින්නක් - මට හරි තෙහෙට්ටුයි - ආණ්ඩුවේ මහත්තුරු ඔරුවකින් එන්නත් කාලෙ - පේනතෙක් මානයක නෑ ඔරුවේ හෝඩුවාවක් - අර ගෙඩිය එහෙමම තියෙනවා - ගහට නැග ගත්තොත් - කොහොමද බහින්නද ? මං කවදාවත් ගහකට බඩගාලා නෑ - මුල ඉඳලම දෙබල්වත් තිබුන නම් - ටිකක් උත්සාහ ගත්තොත් - කොහොම බඩ ගාන්නද? අර සරපයා තාම එතන උත් හෙල්ලෙන්නේ නැතුව බලා ඉන්නවා - මම ගහට නගින කල් - ඌත් ගංවතුරට බයේ එතෙන්ට වෙලා - මෝඩයා - අඩු ගානේ ඌවත් අර ගෙඩිය කනව නම් මගේ හිතට දුකක් නෑ - මගේ කටේ දැන් කෙළත් ඉවරයි. - කෙළ උනලා - කෙළ ගිලලා - ඌ ඒක කන්නෙත් නෑ - මට කන්ඩ දෙන්නෙත් නෑ - ඒක රැකගෙන ඔහේ ඉන්නවා. - පෙරේතයා - ඒක කුණුවෙලා හරි වැටෙනවා නම්? එත් එක් වතුරට වැටෙයි. (හැඩ බලයි) මේ ගොඩැල්ලට වැටුනොත් - මේ - ගහ තියෙන තාලෙට ඒක වැටුනෙත් වැටෙන්නේ වතුරට - සමහර විට ගොඩැල්ලට වැටෙන්නත් බැරි නෑ - මේ කෙහෙල්මල් ඔරුව පේන තෙක් මානෙක නැ - හැමතැන්වලම මිනිස්සු ගෑනු ගංවතුරට කොටුවෙලා ඇති. ආණ්ඩුවේ ඔරුව ඇවිත් උං ගලවාගෙන් යනවා - මං ගලවාගෙන යන්න වෙලාවක් නෑ - ආණුඩුව තව ඔරු හුඟාක් යොදවයන්ඩ එපෑ මේ වැඩේට -

(යමක් වතුරේ දැක) කවුද ? මොකක්ද ? අතක් කාගෙද අතක්, කවුද පාවෙලා ඇවිල්ලා - වළල්ලක් - ගෑණියෙකුගේ අතක් - ( බිය සංසිඳුන පසු ගොඩැල්ලට ඇද - ගැහැණියට සිහි නැත.) ඈ මුනින් නිදි කරවා පිටට පය තබා තෙරපයි. - ගැහැණිය: කෙමෙන් සිහිය ලබයි. - මුලදී කෙඳිරි ගාමින්, පසුව අමාරුවෙන් වචන කියමින් පණ ලබයි.- ඔහු දිගටම පයින් කොන්ද තෙරපයි.

ගැහැණිය: අමේ - අම්මේ ම්හු - ඔහේ කවුද? මොකද? මොකද මට උනේ මේ මොකක්ද ? කොහෙද ? (කෝපයෙන් කෑ ගාගෙන ඉඳ ගනියි) කවුද යකෝ මගේ කොන්ද පාගන්නේ? කවුද? මොකාද? යකෝ මගේ කොන්ද පෑගුවේ - අම්මේ -

මිනිසා: බලපල්ලකෝ - මේ ගෑණිගේ ජීවිතේ ගලවා ගත්තට ලැබෙන ස්තූතිය

ගැහැණිය: ස්තූතිය ? ජීවිතේ ගලවා ගත්තා - මොකාද? කවුද? කොහද මේ? කොහද? අනේ දෙවියනේ? මොකද මට වුනේ?

මිනිසා: හ්ම් - කටේ සැර මොකද උනේ? මගෙන්ද අහන්නේ ? මොකද උනේ.. මතක නැද්ද? පේන්නේ නැද්ද ? ගංවතුරට යටවෙලා - ගංවතුරට අහුවෙලා සිහි නැතිව - වතුර පෙවිලා මෙතෙන්ට පාවෙලා ඇවිල්ලා.

ගැහැණිය: පාවෙලා ඇවිල්ලා ? කොහෙන්ද ? පාවෙලා ඇවිල්ලා - කොහෙන්ද මගේ දෙවියනේ...

මිනිසා: මේ - බෙරිහන් දෙන්නේ නැතිව ඉන්නවා - මාව අත හරිනවා - නැත්නම් ආයිත් තල්ලූ කරනවා වතුරට

ගැහැණිය: බෙරිහන් දෙනව - තල්ලූ කරනවා - කාවද තල්ලූ කරන්නේ ? හම් තල්ලූ කරපන් බලන්න - (ගහ උඩ නයා දැක - භය වී ඔහුගේම ආරක්ෂාව පතා ඔහුගේ ඇඟේ දැවටෙයි) මගේ අම්මෝ - අර මොකාද ? සරපයෙක් නේද ? නයෙක් - පොළගෙක් - මාපිලෙක් - අම්මෝ ඌ බලා ඉන්න හැටි

මිනිසා: අහකට වෙයන් ගෑණියේ - ඈත්වෙලා හිටපන් - මං මේ රෙදි වේල ගත්තේ කොච්චර අමාරුවෙන්ද ආයිත් තෙමනවා- ඌ කන්නේ නෑ - ඌත් උඹයි මායි වගේම ගංවතුරට අහුවෙලා - අනාථ වෙලා -

ගැහැණිය: (ගෙඩිය දැක) ආ - අර මොකක්ද? ගෙඩියක් නේද ? අම්මෝ - මට කොච්චර බඩගිනිද දෙයියන්පා..

මිනිසා: උඹ ඒක දිහා බලලා කෙළ හලන්න එපා - ඒක වැටෙන කම් තමා මාත් බලා ඉන්නේ.

මිනිසා: ඉතින්.. කවුරු බලා උන්නහම මොකද ? ඒ ගෙඩිය ...

මිනිසා: කෑ ගහන්නේ නැතුව ඉඳින් - ඒක කඩා ගත්තත් - බිම වැටුනත් - මමයි කන්නේ - ඒක ගැන ආසාව අතහැර ගනින් - දැන්මම

ගැහැණිය: ආසාව අත්හැර ගනින්. ? හරි වැඩක් නොවෑ.. මොකද ඔහේ හිටවපු ගහක්ද මේක ඔහේගේ ඉඩමද මේක?

මිනිසා: ඒක මමයි ඉස්සෙලම දැක්කේ -

ගැහැණිය: ඉස්සෙරලම කවුරු දැක්කම මොකද? මටයි බඩගිනි - එක් මටයි අයිති

මිනිසා: මොකද මට බඩගින්නක් නැද්ද ?

ගැහැණිය: මට බඩගිනියි

මිනිසා: මට බඩගිනියි

ගැහැණිය: මටත් බඩගිනියි

මිනිසා: මටත් බඩගිනියි

ගැහැණිය: මටත් බඩගිනියි - මට කතාවලින් වැඩක් නෑ - ඒක මගේ

මිනිසා: (ඉවතට හැරී උදාසීන ස්වරයෙන් ) කාට කන්ඩ උනත් ගෙඩිය බිමට වැටෙන්න එපායෑ - ඉස්සෙල්ලා වැටුනත් වැටෙන්නේ වතුරට

ගැහැණිය: වතුරට? වතුරට වැටෙනකල් ඉන්නෙ මොකටද? කඩා ගන්නවා මිසක්

මිනිසා: පුළුවන්නම් කඩා ගන්නවා බලන්ට

ගැහැණිය: (ගසට නගින්න වගේ හදයි - නොහැකිව) මටද කියන්නේ ? ඔහෙට විළි ලැඡ්ඡා නැද්ද? ගෑණු ගස් යනවද? ඔහේනේ මෙතන පිරිමියා -

මිනිසා: පිරිමියෙක් උනත් - මම කඩාගත්තොත් ගහේම ඉඳගන කාලයි බහින්නේ (ගහට නගින්න නොහැකිව) ඒත මට ගස් යන්ඩ බැහැනේ -

ගැහැණිය: ගස් යන්ඩ බැහැ කියනවනේ විලි ලැඡ්ඡා නැතිව පිරිමියෙක් වෙලා

මිනිසා: මෝඩියෙක් වගේ කතා කරන්න එපා තේරුණාද ? ගස් යන්ඩ පුළුවන් උනත් අර සර්පයා ඉන්දෙද්දි කොහොමද යන්නේ? වතුරට වැටෙන්නේ මගේ මළ කඳ

ගැහැණිය: ඒක ඇත්ත - අපි මොකද කරන්නේ.. නැත්නම් ගෙඩිය කඩාගෙන දෙන්නටම කන්න තිබුණා- ආ - මගේ වළලූ.. මගේ වළලූ ඔක්කොම ගැලවිලා - එක වළල්ලයි ඉතුරු වෙලා තියෙන්නේ.. අනේ දෙයියනේ .. මගේ වළලූ ටික - කිසිම මාත්තුවක් නැති රත්තරන් වළලූ - හොරු ගනියි කියලා අත්වලම දාගෙන මම බුදියගෙන හිටියේ - අයියෝ - දැන් මොකද කරන්නේ ? එක වළල්ලයි ඉතුරු වෙලා තියෙන්නේ

මිනිසා: ඕකත් ගලවලා දානවා වතුරට

ගැහැණිය: වතුරට දාන්න - මගේ මුළු සේසතම වතුරට ගොහිල්ලා - මේක විතරයි ඉතුරු - ඒකත් (වෙනත් කල්පනාවක් ඔස්සේ) හරි පුදුමයි - මම හොඳට යහතින් සැපෙන් සන්තෝෂයෙන් නේද හිටියේ ? හදිසියේ ගංවතුරට ආවා - වෙනදා වගේම , ගේට්ටුව වහලා, බල්ලා ගේ ඉස්සරහා ලිහලා දාලා, දොරවල් අඟුල් දාලා, සල්ලි පෙට්ටිය බලලා, වළලූ දාගෙන වෙනදා වගේම මං බුදියගත්තේ - රෑ ගං වතුර ඇවිත්.

මිනිසා: මේ... ගිය ආත්මේ මතක් කරන්න එපා. ගිය ආත්මේ - පුනරුත්පත්තිය ගැන කතා කරලා වැඩක් නෑ දැන් මේකෙන් ගැලවෙන්ඩ මගක් කල්පනා කරනවා -

ගැහැණිය: ගිය ආත්මේ ? ගැලවෙන්ඩ මඟක්

මිනිසා: ඔව් - ටිකක් ඇස් පිහදාලා බලනවා - ඔරුව ඈත එනවා පේනවද කියලා-

ගැහැණිය: ඔරුව?

මිනිසා: ඔව්

ගැහැණිය: ඔරුව ??

මිනිසා: ඔව් ගෑනියේ - ආණ්ඩුවේ ඔරුව -

ගැහැණිය: ආණ්ඩුවේ ඔරුව ? ?

මිනිසා: ඔව් - ඔව් - ඔව් දෙවියන් වහන්සේලාගේ ඔරුව

ගැහැණිය: ආණ්ඩුවේ ඔරුවක් දාලා තියෙනවා

ගැහැණිය: මොන ආණ්ඩුවේ ද?

මිනිසා: දෙවියන් වහන්සේලා ගේ ආණ්ඩුව

ගැහැණිය: ආණ්ඩුවක් තියෙනව නම් මෙහෙම ගංවතුර ගලා එන්නට දෙනවද? අපි අනාථ කරනවද?

මිනිසා: ඒක මං දන්නේ නෑ - අනාථ උන අය ගලවන්ඩ ආණ්ඩුව ඔරුවක් එවනවා කියන එක විතරයි මම දන්නේ -

ගැහැණිය: ඔරුව එවනවා - අනාථ උන අය ගලවන්ඩ ආණ්ඩුව ඔරුවක් එවනවා ගලවන්න - හරිම තකතීරු ආණ්ඩුවක් නේ - මොන කෙහෙම්මලකටද ආණ්ඩුව ඔහොම තකතීරු වැඩ කරන්නේ ? ගංවතුර ගලනවා - අපේ සේසත විනාශ වෙලා යනවා - මැරිලා යනවා - ඉතුරු උනු එවුන් ගලවන්ඩ ඔරු එවනවා (සිනාසේ)

මිනිසා: මේ - බෙරිහන් දෙන්නේ නැතිව ඉන්නවා - ඔහොම කෑ ගහන කොට , දෙස් දෙවොල් කියනකොට කොහොමද ආණ්ඩුවෙන් උදව් පදව් ලැබෙන්නේ? - බැනලා පුලූවන්ද වැඩක් ගන්න - බැනපුව ඇහුනොත්?

ගැහැණිය: ඇහුනොත් ? මොකාටද ඇහෙන්නේ ? පේන්නේ නැද්ද ? හතර දිබ්බාගෙම පේනතේක් මානෙක ඇහෙන්ඩ
එකෙක් නැති විත්තිය -

මිනිසා: ෂ් .. ඔබ දන්නේ නෑ මෝඩියේ - ලෝක පාලනේ කරන හතරවරම් දෙව්ගොල්ල මේ හැම තැනම ඉන්නවා -

ගැහැණිය: දෙව්ගොල්ලෝ - (සීනාසේ) මොන හතරවරම් ද?

මිනිසා: ගෑණුන්ගේ මොලේ හැඳිමිට දිගට කියලා තියෙන එක බොරුවක්යැ?

ගැහැණිය: හැඳිමිට දිගට ? මේ මොන කථාවක් ද කොහෙද එහෙම කියලා තියෙන්නේ?

මිනිසා: කියලා තියෙන්නේ පොත්වල

ගැහැණිය: පොත්වල ?

මිනිසා: ඔව් පොත්වල , බණ පොත්වල

ගැහැණිය: ඔබ බණ පොත්වලද දෙයියෝ ගැනත් ලියලා තියෙන්නේ ?

මිනිසා: දෙයියෝ නෙමෙයි - දෙවියන් වහන්සේලා - උන් වහන්සේලා තමයි මේ ලෝකේ මැව්වේ - උන් වහන්සේලා තමයි මේ මහ පොළාව - මහ මුහුද - ගංගාවෝ - ගහකොළ - ධන ධාන්ය- - මිනිස්සු - ගැහැණු මැව්වේ - මවලා ආරක්ෂා කරන්නේ -

ගැහැණිය: ආරක්ෂා කරනවා - මේ අපි මවලා ආරක්ෂා කරන හැටිද? මේ ගංවතුරක් මැද්දේ මාව අනාථ කරලා - හිටගෙන ඉන්න ඉඩ මදි මේ ගොඩැල්ල උඩ තනි කරලා

මිනිසා: ඒක මම දන්නේ නෑ - ඒ වුනාට බලපං උඹ වතුරේ ගිලිලා මැරෙන්න නේද හිටියේ - ඒත් උඹ වතුරේ පාවෙලා හරියට මෙතෙන්නට ආවනේ - ගොඩ අරන් සිහිය ගන්ඩ මම මෙතෙන හිටියානේ - දෙවියන් වහන්සේලා නැතිනම් ඔබ මෙතෙන්ට ගේන්නේ නැති බව තේරෙන්නේ නැද්ද ?

ගැහැණිය: උඹේ ගල් මෝඩ කතා මට තේරෙන්නේ නෑ - උඹලා වගේම, උනුත් මෝඩයෝ වෙන්ඩ ඕන - දෙයියෝ කියන එවුනුත් - මාව මෙතෙන්ට ගෙන්නුවා - දෙයියෝ .. යකෝ උන්ට මේකද තියෙන කාරනේ මාව ගංවතුරට අහු කරලා මෙතෙන්ඩ ගෙන්නන්ඩ ? ගලවන ප්ර ශ්නයක් එන්නේ එතකොටනේ? දෙයියෝ ද මොක්කුද කියන උන්ට මේක සෙල්ලමක් ද? උන්ට තියෙන කාරනේ මොකක්ද අපි උන්නු තැනින් අනාථ කරන්න. - තව තැනකට පා කරවන්න.

මිනිසා: ඒ උඹලෙයි මගෙයි කරුමේ - විශේෂයෙන් මගේ කරුමේ- දෙවියන් වහන්සේලා කෝප වෙන්න මොනවා හරි කෙරෙන්න ඇති.

ගැහැණිය: කෝපවෙන්ඩ? දෙයියන්ටත් තරහා යනවා එහෙනම්? එහෙනම් උන්, වහන්සේලා වෙන්නේ කොහොමද? උත්තමයෝ වෙන්නේ කොහොමද? ඔබටයි මටයි වගේම තරහ යන ජාතියක් නම්? අනික උන්ට තරහ යන්ට මං කරලා තියෙන වැරැද්ද මොකක්ද ?

මිනිසා: ඔබත් එක්ක දෙයියන්නාසේලා ගැන වාද කරන්න මට ඕනෑ නෑ ගෑණියේ - නවත්තපන් උඹේ කට පොඩ්ඩකට - බලපන් ඈත ඔරුවක හොඩුවාවක්වත් තියෙනවාද කියලා - වෙන පැත්තකට යන ඔරුවක්වත් දැක්කොත් හූ කියලා ගෙන්නන්ඩ (දෙන්නාම සන්සුන්ව බලා සිටිති)

ගැහැණිය: (ගෙඩිය දෙස බලා සිටියි) මට හරි වසේට බඩගිනියි - දැන් මෙච්චර බඩගිනි නම් හෙට වෙනකොට කොච්චර බඩගිනි ඇති වෙයිද? අර ගෙඩියවත් කඩා ගත්තොත්?

මිනිසා: කඩාගත්තොත් කොච්චර හොඳද ?

ගැහැණිය: ඇත්තමයි - උඹලට බැරියෑ කඩාගන්න ගහට නැගලා

මිනිසා: අපේ බඩගින්න නැතිවෙයි එතකොට

ගැහැණිය: අපිට තවත් දවසක් ජීවත් වෙන්ඩ පුළුවන් එතකොට

මිනිසා: (ගහ වෙත ආශාවෙන් යයි. නයා මතක්ව කෑ ගාගෙන ආපසු එයි) ඒත් අර නයා ඔබට හැම තිස්සෙම අමතක වෙනවා - එතන නයෙක් ඉන්න බව

ගැහැණිය: (බය වී ඔහු අල්ලා ගනී) මොනවට මතක් කරනවද දන්නේ නෑ ඔය නයා - ඕකව පොඩ්ඩක් අමතක කරලා දාන්න බැරිද උඹලට...

මිනිසා: අමතක කරන්න ? මේ ගෑණිට පිස්සු - ඇයි අර ගෙඩිය දිහාබලන කොට ඔබට නයා පෙන්නේ නැද්ද?

ගැහැණිය: (මට ආසයි නයා දිහා නොබලා ගෙඩිය දිහා බලන්න)

මිනිසා: (කෝක දිහා බැලූවත් නයෙක් එතන කට ඇරගෙන ඉන්නවා

මිනිසා: හරි කතාවක්නේ - කොහොමද අමතක කරන්නේ

ගැහැණිය: කොහොම හරි අමතක කරන්න ඕන

ගැහැණිය: නයෙක් බැරි නම් යකෙක් හිටියත් මට කමක් නෑ - ඌව අමතක කරලා දාන්න ඕන - නැත්නම් මෙතන පොඩ්ඩක්වත් සැනසීමක් නෑ - මේ තියෙන කරදර මදිවට ඒ නයා ගැනත් බයෙන් ඉන්න ඕන

මිනිසා: හරි කතාවක්නේ - කොහොමද අමතක කරන්නේ ?

ගැහැණිය: කොහොම හරි අමතක කරන්න ඕන

මිනිසා: අමතක කරන්නේ කොහොමද ගෑනියේ? අමතක කෙරුවත් නැතත් ඌ අතනම ඉන්නවා - කොයි වෙලාවේ ඇඟට පනිද දන්නේ නෑ - අපිට ඌ අමතක වෙලා වෙන දිහාක බලා ඉඳිද්දී ගහෙන් බැහැලා බඩගාගෙනම පහලට ආවොත්?

ගැහැණිය:(තවත් බිය වී) එහෙනම් ඔබ මේ පැත්තෙන් හිටපන් - (ගහ දෙසට මිනිසා: තල්ලූ කරන්නීය) ඌ බැස්සොත් එතකොට උඹ පහුකරලා මා ගවට එන්න ඕන - ඔබ ඔහොම ඉන්නකොට මගේ බය නැති වෙනවා.

මිනිසා: මං මොකටද ඒ පැත්තේ ඉන්නේ? (අනික් පැත්තට පනී) උඹම හිටපන්

ගැහැණිය: හරි කථාවක්නේ - පිරිමියා නේද මේ වගේ වෙලාවක ගෑණියෙක් ආරක්ෂා කරන්ඩ ඕන - කටමැති දොඩවන්නේ නැතිව මේ පැත්තට වෙනවා ( යළිත් අනික් පැත්තට පනී.)

මිනිසා: උඹට ඕන හැටියට මම නටන්ඩ ලෑස්ති නෑ (අනික් පැත්තට පනී)

ගැහැණිය: කවුද නටන්න කීවේ - මෙන්න මේ පැත්තට වෙනවා ( අනික් පැත්තට වෙයි)
(ඔවුන් දැන් සර්පයා සිටින පැත්තේ නොව අනික් පැත්තේ සිටින්නෝ දෑතින් එකිනෙකා බදාගෙන පොරකති)

මිනිසා: ඔන්න ඔහොම ඉඳින් ගෑණියේ - මේකේ දඟලන්න ගියොත් ඉවුරු කැඩිලා මේ ගොඩැල්ල ඔක්කොම කඩා වැටිලා යයි.

ගැහැණිය: ඉවුරු බැරිනම් ඔනෑ එකක් කඩා වැටිච්චාවේ - උඹ මෙහාට වෙයන් (පොර අල්ලති)

මිනිසා: උඹ මෙහාට වෙයන්

ගැහැණිය: උඹ මෙහාට වෙයන්

මිනිසා: උඹ මෙහාට වෙයන්

ගැහැණිය: උඹ මෙහාට වෙයන්
(නොයෙක් බැණුම් ගෝෂා මැද පොර අල්ලති. අන්තිමේදී ඔහු ඈ අල්ලා සර්පයා සිටින පැත්තේ සිටුවා තරයේ අල්ලා ගනී. ඔවුන්ගේ ශරීර ස්පර්ෂය නිසා කය පිබිදෙයි. )

ගැහැණිය: කෑ ගසයි - මාව අතහැරපන් - මාව අතහැරපන් - එහෙත් ඔහු වැරයේ අල්ලා සිටී. ඊලඟට ඈ නිශ්චලව ඔහුගේ මූන දිහා බලා. ආශාවෙන් හා රාගයෙන් ඈ විකසිතව ඇත.

මිනිසා: (ග්‍රහණයෙන් ලිහිල් කොට ඈත්වෙයි. ඈ ඔහු දිහාම බලා සිටීයි. ඔහු වතුර දිහා එබීගෙන සිට සන්සුන්ව කියයි.) එහෙනම් මෙහාට වෙලා හිටපල්ලා - එතකොට බය නැහැනේ.

ගැහැණිය: නෑ කමක් නෑ - උඹල මේ පැත්තෙන් හිටපල්ලා - කමක් නෑ -
(ආයිත් දෙන්නා ඒ පැත්තට මේ පැත්තට මාරු වෙයි.)

මිනිසා: ඇයි මෙච්චර වෙලා පොරකෑවේ මේ පැත්ට එන්න නේද?

ගැහැණිය: (මෘදු හඬකින්) කමක් නෑ - සර්පයා බැහැලා ආවොත් ඔහේට ඉස්සෙල්ලා කෑවත් එකයි. පස්සේ කෑවත් එකයි- සර්පයා ආවොත් අපි දෙන්නම ඉවරයි. - කමන් නෑ මේ පැත්තට වෙයල්ලා

මිනිසා: ඒකට කමක් නෑ - මේ පැත්තට වෙයල්ලා - ඔහු සර්පයා සිටින අත්ත පැත්තට වෙයි. තමා අල්ලා එයා පැත්තට කරන විට ඈ ස්නේහයෙන් ඔහු දිහාම බලා සිටී. උඹලට ඉක්මනට අමතක වෙන්න පුලූවනි ඔතන සර්පයෙක් ඉන්න බව - මට පුළුවනිනේ අපි මෙතන මෙනවා කළත් ඌ දිහාත් ඇහැක් ගහගෙන ප්‍රවේවේශමෙන් ඉන්න - (දෙදෙනාම ක්‍රමයෙන් නිශ්ශබ්ද ව ඈත බලා හිඳිති.) සන්සුන්ව ඔරුව පේනතෙක් මානයේ නෑ )

ගැහැණිය: (ශෝකයෙන් ඈත බලාගෙන) පේනතෙක් මානෙක නෑ - කොයි වෙලාවේ එයිද ඔරුව - අනික මේ අහලක වෙන එක් ගොඩැල්ලක්වත් පේන්නේ නෑ - උහුලන්න බැරි තනියක් පාලූවක් දැනෙනවා - අපි වගේ අනාථ වුනු තව මිනිස්සු ගෑණු ඉන්නවා නම් මෙහෙම තනියක් නෑ නේද ?

මිනිසා: හ්ම්

ගැහැණිය: (ඈත බලමින්) පුළුවන් තරම් ඉක්මනට ඔරුවක් ආවොත් .. ආ ( බලාපොරොත්තු සහගතව) අර මොකක් ද? අර...

මිනිසා: මොකක්ද ? ඔරුවක් ද ? කෝ... කෝ...

ගැහැණිය: ඔව් අර - අර ඔරුවක් නේද ?

[සයිමන් නවගත්තේගමගේ පුස්ලෝඩං නාට්‍යයෙන්]

සයිමන් නවගත්තේගම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails