
කළු ගල් පවුරු කළු ජූලි
කොන්ක්රීට් පදනම් වියලි
ඉදිවුණේ ඉතිරි සුදු බිත්ති
ඉතිරි මාස ද කළු ජූලි
ජූලිය කළු උනත්
සුදු නැත ඉතිරි මාසත්
අඩසිය වසක මනුසත්
සැක මර බියෙන් පිරි හිත්
උතුරු පෙර දිග දසත
අඳුරු සෙවණැලි වැද
අබ පතක් සොයන්නට
ගමක් ගෙදරක් කොහි වෙද
කොටහේන වැල්ල වත්තේ
මට්ටක්කුලිය පැත්තේ
දමිළ වීමෙන් උපන් තත්වේ
ඝණදුරම තව ඇත්තේ
හැටන් මස් කෙළිය
තේ වතු ගෙනෙන එලිය
අඳුරින් පිරුණු කඳුළ
පාපකාරී වීද සදහට දමිළ
කළු ජූලියේ පන්දම
රාවණා අරන් අළුයම
ගිනි තිය තියා ගියහම
සුදු නෑ ඉතිරි වසරම
මරණයක් නොමැති දවසක්
පැහැරගත් නොමැති දවසක්
පහරදුන් නොමැති දවසක්
නැත නිවුස් නැති එකම දවසක්
ගසා කා ගෙන රන්
පෝසත් වීම මනරම්
කප්පම් තවත් අරගන්
ජාතික ගීය ගයපන්
සමරන්නට නොවේ මේ මස
සොයුරු හිත් දෙකඩ කළ මස
සංහිඳික් උනොත් මින් බැස
පන්හිඳක් ආයෙ කුමටද
බලා ඉන්නට බෑ
එන ජූලිය ද පියඹා
අහවරක් කරනු කවදා
මිනිසුන් වෙන්න හැමදා
උදය ආර්. තෙන්නකෝන්



