
ඇසළ සඳ එළියේ
නාගයකු සේ
ඇවිදගෙන එනවා
තවත් ජූලි මාසයක්
රාමසාමි රඝුනාදන්
සඳ එළිය යට වුණත්
මට බයයි
රාමසාමි හිටියේ අපි
එකම පන්තියේ
තිබුණේ නෑ කටු වැටක්වත්
අපට වෙන්වෙන්න ඒ කාලයේ
සිංහයා ඇවිදගෙන ඇවිත්
අපෙ පන්තියට
උල් නිය පඳුරින් පහුරු ගා
නුඹව හපකොට දමා ගියේ
මේ වගේ ජූලි මාසයකයි
මේ අහපන් රාමසාමි
උන්ට හිමි කෙසර ලකුණු
සැබෑ සිංහලයා නෙවෙයි
සිංහ ධජයේ තිරිසනා පමණයි
එදා ඔබ අහිමි කළේ
තිරිසනා බිමට බැස ඇවිද ගිය
ඒ ජූලි මාසයයි
මේ ජූලියෙත් මට බයයි
සිංහයා මග දිගේ ඇවිදිනවා
අපි දෙන්නම සොයාගෙන
ඉතින් නුඹ
උන් බැඳපු කම්බි වැට ළඟට වී
ළතැවුලෙන්
මේ ඇසළ සඳ වගේ
කම්බි වැට පැනගෙන
අපි අපේ පන්තියට එකතු වෙමු
ජාතියකට අයත් නැති
පන්තියක් අපි ගොඩනගමු
අපි අදත් සැඟවුණොත්
කඳුළකට මුවා වී
අපට අපි නැතිවේවි
සිංහයා බිමට බැස
අප සොයා පැමිණේවි
පිච්ච මල් පොකුරු
ලේ වලින් නැහැවේවි
ඉතින් අපි, ජූලියට බිය නොවෙමු
මේ ඇසළ සඳ යටම
අපි අපේ පන්තියට එකතු වෙමු
සුනන්ද ගාර්දියවසම්



