
මේ ගිනියම් කාලයයි
රබර් කොළ ගිනිගන්න
එදා ගිම්හානයමයි
පොසොන් සඳ මුවා වී ගෙන
තිත්තම තිත්ත කළුවරට
ඇඳිරි වැටෙන හදවත අස්සෙන්
ගැස්සි ගැස්සී ඉස්සි ඉස්සී
සිහිල් පිනි පොද පස්සෙන්
පාන්දර ජාමේ එබිකම් කරන
එදා ගිම්හානයමයි
උඹව උදුරා ගෙන ගිය
පිනිබර යාමය ඉරා දාපු
කඳුළුබර ඇස් ගෙඩි රතු වෙච්චි
ඒ ඉපල් වුණු රාත්රියමයි....
මේ අසාපන් දියෝනිස්
පරඬලා පත් වගේ
අපේ හිත් පා වුණා සත්තමයි
රබර් ගස් හේඩාවෙ
ගල් පොත්ත මත උන්නු
රෑහි රංචුවම තනි රැක්කා ඇත්තමයි
අඬ හඳත් අඬන කොට
සුසුම් පොදි පෑහුණා ආකහේට
රෑ බදුලු ජෝඩුවක් හරි හෙමින් ඉකිබින්ඳා.
රත්තරං පාටට ඇතිරිච්ච
තරු කැට බිම කඩා හැළුණා
දියෝනිස්! ඇහුණද අයියේ
කියාපන් අදවත්
මහමෙරක් තරම් උහුලාපු
ලියද්දක ඉන්නක් වගේ හිටවාපු
උඹේ දිය වෙච්චි ඇස් පතුලෙ
හොරොව්ව කඩා ගෙන උතුරන්න දඟලාපු
දුක් කන්දරාව
ඇයි එල්ලුවේ
ගල්පොත්ත ළඟ මහ ගහේ?
රබර් ඇට පුපුරන තරමට
මමත් ගැස්සෙනවා තමයි
දවාලට අපිට අපි පේන්නෑ හැබැයි
කළුවරේ ඇහැරෙන ඇස් තියෙන්නෙ
උඹටයි මටයි
උදැල්ලටම දියාරු වෙච්චි අත්තල
පිත්තල වගේ දිලිහුණත්
මඩටම එරිච්ච ජීවිත අපෙයි
බබානිස් ගෙනාවට අරලියා මල් පොකුරු
සුවඳ නෑ එව්වා
උඹේ උරපත තරම්
තහනම් ගහ මැව්වෙ මේ රබර් වත්තෙමයි
ආදම් උඹයි ඒවා මමයි
වෙලේ ගෙදර අක්කා ඈතින් ඇදෙයි
මන්දාරම් අඳුරත් උණුහුම්
මේ ගිම්හානෙ හින්දයි
පිච්චෙන්නෙ පිනි පිරිච්ච තණපත් පොකුරුයි
වස්සානෙ එන්නැති රබර් වත්තම පාළුයි
දළුලන්නෙ පෑවිල්ල විතරයි
හීනෙන් පවා ජේමිසා යන එන මඟ රකිනවා
බෝල බාස් ළිඳ ළඟ ගහේ තව ලගිනවා
හැට්ටෙ අස්සෙන් ඉරා හදවත
ගම්මු සිල්පද කඩනවා
උන්ගෙ අඹුදරු රවනවා
දියෝනිස් අයියේ! උඹ මහ ගල් ඉබ්බෙක්
ඇහැ ඇරලා බලාපන්
මං උඹේ සෙදෝනා
මං උඹේ සෙදෝනා!
(ඊවා රණවීර නම ට.)
තුෂාරි ප්රියංගිකා
කවි බූන්දි | මාගල දිගෑරීම හෙවත් සෙදෝනාගේ අතීතය - [තුෂාරි ප්රියංගිකා]
Posted by
BoondiOnLine
7.02.2012



