Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ප්‍රවේශය

පශ්චාත් යටත් විජිත ශ්‍රී ලංකාවේ රාජ්‍ය අධ්‍යාපනය රැක ගැනීමේ පමාවී දැල්වෙන පහනක්‌ සරසවි ඇදුරු සටන ලෙස මේ දිනවල උණුසුම්ව දැල්වේ. එය ඉතාම සවිඥානික ව කල් දැමූ අමතක කළ නොසලකා හැරි අරගලයක සාර්ථක ප්‍රථම පියවරය. වැටුපට ඔබ්බෙන් පුළුල් විය යුතු අප ප්‍රාර්ථනා කළ ව්‍යාප්ත සටන් පාඨ සහිතව මෙවර තැබූ පියවර පිළිබඳව මේ වන විට ලිපි රැසක්‌ ලියෑවී තිබුණ ද විමංසනය පිණිස ඉතිරි වූ ක්ෂේත්‍ර බොහොමයකි. අතහැර දැමූ නිසා ම වල් වැදුණු තේමා රැසක්‌ ප්‍රතිබැහැ දැකීමට අප අබිමුව ශේෂ වී ඇතත් මෙම කෙටි විවරණිකාවෙන් ද අපේක්ෂා කරන්නේ එක්‌ එක්‌ කරුණු ගැඹුරට විනිවිදීමට වඩා අර්බුදය ඔඩුදුවා ඇති අඩවි තේමාවක්‌ව හඳුනා ගැනීමට ය. අවසානයේ කෙසේ හෝ දුෂ්කරම පියවර තැබූ බැවින් පියවර දහසක නිදහස්‌ අධ්‍යාපනයේ - රාජ්‍ය අධ්‍යාපනයේ සුරක්ෂිතතාව පතන චාරිකාව යා යුතුය. නිහඬ බුද්ධිමතුන් සමාජ ව්‍යාපාරයක ප්‍රබුද්ධ කරවූ මේ පහන් දැල්ල ලංකාව වසා ඇති අඳුරක්‌ පලවා හරින පහන් වැටක්‌ තෙක්‌ දිගේලි විය යුතුය. ඒ සඳහා අඳුර හඳුනා ගැනීම සහ ආලෝකය පිළිබඳ විශ්වාසය තැබීම අපේ වගකීම් සහගත මේ මොහොත වී ඇත.

අඳුරෙහි භූමිකාව

ප්‍රදීපයට තරම් බලයක්‌ - දෘෂ්ටියක්‌ අඳුරට ද තිබීම සහ එය ශ්‍රී ලාංකික ජීවන සූත්‍රය වීමට තරම් "යහපත් බවේ සාපය" ජනමූල නායකත්වය විසින් පාරිභෝජන මූල ජීවනාශාවක්‌ අප රට තුළ වපුරා ඇත. තමන් කැමැත්තෙන් තෝරාගත් යථාර්ථයක්‌ නිසා දිනපතා දුක්‌ විඳින අපූරු සත්ව කොට්‌ඨාසයක්‌ මිහිමත සිටිත් නම් ඒ "ලංකා ජනතාව" විය යුතුය. දිගුකලක්‌ අඳුරම රජයන කල ඉරක්‌ පිළිබඳ දෙඩූ එකාගේ ගෙළ අඳුරේම මිරිකන සූත්‍රයක්‌ ලංකාවේ ඇති බව ආරියවංශ රණවීර කිවිඳු ලිවීය. එය සත්‍ය ය. කප්පරක්‌ දොරමඬලා, අපේ ගම් ආදී විද්යුත් මාධ්‍ය උගුල්වල බුද්ධිමය ශ්‍රමය "විද්වතුන්ගෙනි". රූපවාහිනි රියෑලිටි බණ දෙසන්නේ සසර බිය නොදකින පිරිසකි. දළදා මාළිගාවේ එළිපත්ත මතින් ලැම්බො ගිනි රථ රේස්‌ යයි. උසාවි සිරමැදිරියේ සිටින පුතාට ගංජා ගෙනෙන්නේ අම්මාය. රාජ්‍ය සමාගම් 93 ක්‌ විගණනයට බලය නැති විගණකාධිපතිවරයෙක්‌ ලක්‌දිව ඇත. (රාවය- 2012/1/29) හෘද සාක්ෂිය මහින්ද චින්තනයට පාවා දුන් රාජ්‍ය නිලධාරීන් මෙහි සුළබ බව ඡේ. සී. වැලිඅමුණ ලියයි. (එම) ලිංගික අපචාර, ළමා අපචාර දින දින ඉහළ යයි. නීතිය ඉදිරියට කිසි දා ගෙන ආ නොහැකි ඝාතන සංස්‌කෘතියක්‌ මුල් අල්ලා ඇත. ජුලම්පිටියෙ අමරෙ මැතිවරණයකින් ජය ලැබීමට අවකාශ ඇති බව ඩෙස්‌මන්ඩ් මල්ලිකාරච්චි සඳහන් කරයි. සියලු රජයේ පාසල්වල විවිධ පනත් හා සංකල්ප වලින් ආවරණය වී මුදල් අය කරන අධ්‍යාපනයක්‌ අනියමින් ගෙන යයි. විභාග සමත් වී මේ නරා වළෙන් ගොඩ ඒම පිළිබඳ විශ්වාසය පළුදු කර ඇත. හන්තාන අඩවිය පමණක්‌ නොව සිරිලකම අරා හමා ගිය "පවන" වෙනුවට සියලු සරසවි කරා "කවිතා" ගලන්නේ එකම ජනමූලයකිනි. මේ ලක්‌දිව තමෝ තම පරායන (අඳුරෙන් අඳුරට) නිමේෂය යයි.

ස්‌වයං විවේචන භූමිකාව

ශ්‍රී ලංකාව අද්‍යතනයේ පසුවන ව්‍යසනකාරී විපාකය කරා රැගෙන ආවේ මගේ වැඩිහිටියන් ය. මගේ ගුරුවරුන්ය. මා ද ඇතුළු මගේ පරම්පරාව ය. මෙය එක රැයක "අසිරියක්‌" නොවේ. යථාර්ථය දෙස විවේචනශීලීව බලන විට යථාර්ථය තුළ "මම""අපි" ද ගැබ් වේ. රාජ්‍ය අධ්‍යාපනයට සීමා වී අදහස්‌ දැක්‌වීම කළ යුතු හෙයින් අපගේ අධ්‍යාපනය පිළිබඳ යථාර්ථය අඳුරු වූ අයුරු බැලිය හැකි ය. අද මේ උණුසුමින් කරන ප්‍රශ්න කිරීම මැදිහත් වීම අවදි වීම බොහෝ සේ පමා වූ අරගලයකි. ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික අධ්‍යාපන කොමිසම, විශ්වවිද්‍යාලයීය ප්‍රතිපාදන සභාව, උසස්‌ අධ්‍යාපන හා අධ්‍යාපන අමාත්‍යාංශ ආදියේ තීරක තනතුරු දරනු ලැබුවේ විද්වතුන් විසිනි. එසේ නම් විපාකය ව්‍යසනයක්‌ වූයේ කෙසේ ද? නිහඬ ව සිටීම, නිහඬ කරවීම, නුදුටුවා සේ හිඳීම, තනතුරු ලෝභීත්වය නිසා මුව විවර නොකිරීම, ආත්ම වංචනය, දේශපාලනීකරණයේ රුදුරු හස්‌තය, අනෙකාට සවන් නොදීම ආදී හේතු මේ අතර ඇත. ආර්ථික සංවර්ධනය පිළිබඳව ආර්ථික විද්‍යාඥයන් බොරු කියන අතර ජාතිකත්වය, දේශීකත්වය පිළිබඳ ව්‍යාජ මතවාද ජනගත කළේද විද්වතුන් ම විසිනි. නීතියේ ආධිපත්‍යය දිනපතා සංහාරය වෙද්දී අපි නිහඬව නොසිටියෙමු ද? නිදහස්‌ අධ්‍යාපන සහ රාජ්‍ය අධ්‍යාපනය වනසන යාන්ත්‍රණයේ බුද්ධිමත්තු කොපමණ සිටිත් ද? රාජ්‍ය අධ්‍යාපනය ඛේදවාචකය සමස්‌ත විලෝපනයේ අංශුවක්‌ පමණි. ඛේදවාචකයට විරුද්ධ වූ සාධනීය බලවේග තීව්‍රව මර්දනය කිරීමට අනියමින් හෝ දායක වූවන් අතර "මම" "අපි" නැති ද?

සරසවි ඇදුරු භූමිකාව

වරදකාරී හැඟීමක උණුසුම අන් කවරදාකට හෝ අධිකව දැනෙන නිසා දෝ මෙවර සරසවි ඇදුරු අරගලය උණුසුමින් හා කැපවීමෙන් පිරී ඇත. පෙරමුණෙහි සිටින සියල්ලෝ ලක්‌දිව දැනුම් නිෂ්පාදනයේ ද ඉදිරියෙන්ම සිටින්නෝය. මෙය වැටුපට ඌනනය කර ජනතා මතය මුලා කිරීමට රා.සේ.පී. වාහිනීවලට හෝ "විමසුම්" රචකයන්ට නොහැකි වනු ඇත. සියලු සුඛ විහරණ හා නිද්‍රාව බිඳිමින් වීදි බට ඇදුරෝ රාජ්‍ය අධ්‍යාපන රැක ගනිමින් තවත් බොහෝ ව්‍යසන මැඩීමට නායකත්වය දිය යුතුය. පංතිකාමරය, දේශන ශාලාව ඉක්‌මවා අධ්‍යාපන නාශනය ඔඩු දුවා ඇති බැවින් විෂය මාලා, ප්‍රතිපත්ති සම්පාදනය, මේ ඉසව් පිළිකුල් ලෙස දේශපාලනීකරණයෙන් ගලවා ගැනීම, තනතුරු ලෝභීත්වයට යට නොවෙන පුද්ගල පෞරුෂ ආදිය තෙක්‌ වර්ධනය කරගත යුතු ය.

විද්‍යා, කලා, වාණිජ ආදී ක්ෂේත්‍රවල පර්යේෂණ කරන, පත්‍රිකා ලියන, නව නිර්මාණ කරණ, පේටන්ට්‌ ලබන, ශාස්‌ත්‍රීය තනතුරු දරන නිහඬ බුද්ධිමය කඳවුර සාමාන්‍ය මහජන අවකාශයක ජනප්‍රිය නොවුණ ද ඔවුහු කළ යුත්ත කරති. එම ක්ෂේත්‍රයේ ආවේණික ලක්ෂණය ද එය මය. එහෙත් සරසවි ඇදුරු භූමිකාවේ සිටිමින් ජාතියේ කොඳු නාරටිය සිඳින, රාජ්‍ය ගැති, තමාගේ අධ්‍යාපන වසන්තය ලද මාවත ම නසන, ඊට අනුබල දෙන, බුද්ධිය වගුරන, අදූරදර්ශී පිරිස හෙළි නොකරන්නේ මන්ද? මේ සියලු පිරිස එක්‌වීමට දැනුදු පමාවක්‌ නැත. සිය දරුවාගේ අනාගතය ගැන පමණක්‌ නොසිතා සංවිධිත ලෙස මෙවර මහමගට බට සොයුරු ඇදුරු උණුසුම රාණවත්ය. වෛද්‍ය පීඨ පවා පෙරමුණ ගෙන ඇත. රටම අඳුරු කරන සාවද්‍ය ජනමාධ්‍ය දෘෂ්ටිවාද, රූපවාහිනි සංවිද, ව්‍යාජ සිමියුලේෂණ තුරන් කිරීමට රටක සරසවි ඇදුරනට සුවිසල් විභවතාවක්‌ ඇත.



සරසවි සිසු භූමිකාව

ලෝකයේ මෙන්ම ලංකාවේ ද ඉතිහාසයන්හි සරසවි සිසුවාට නිශ්චිත භූමිකාවක්‌ ලියෑවී ඇත. එය අභිමානවත් හා කැපවුණු එකකි. ස්‌ටීව් බීකෝ මෙන්ම වීරසූරිය ද තමාට හිමි තැන විඳිති. එහෙත් ශිෂ්‍ය සංගම් තහනම් කළ අමාත්‍යවරයාගෙන් ම ක්‍රීඩාවට අදාළ වර්ණ ලබන තැනකට සිසුන් ගමන් කළේ කෙසේද? ඇතැම් සරසවිවල උපකුලපතිවරුන් සමඟ කවි බණ කියන, බෝධිපූජා තබන, වෙසක්‌ කූඩු හා තොරණ සැරසිලි හදා භක්‌ති ගීත ගයන සිසුහු බොහෝය. මේ උතුම් චර්යා නොවේ දැයි ඔබ අසනු ඇත. යහපතට සැරසිලි නුවමනාය. සරසවි සිසුවාගේ විචක්ෂණශීලීත්වය, ප්‍රඥාව, විප්ලවීය ගුණය, කැපවීම ආදී කේන්ද්‍රීය ගුණාංගවලින් වියෝ වී ප්‍රදර්ශනකාමීත්වයට, ව්‍යාපෘතිවාදයනට, සරලමතිකත්වයට යටවී ශිෂ්‍ය ඉතිහාසය විකෘති නොකළ මනාය. එහෙත් මෙවර ඇදුරු අරගලය සමඟ නිදි මැරීමට සිසු කැළ ඉදිරිපත්ව ඇති බව නොවලහා කිව යුතුය. බුද්ධිය නිෂ්පාදනයට සුදානම් වීමට අමතරව නිදහස්‌ අධ්‍යාපනය සුරැකීම උරමත ගත්තෝ ශිෂ්‍යයෝ වෙති. පටු දේශපාලනය මේ විභවය ගසා නොකන්නේ ද? "කවිතා" වැනි ආකර්ෂණීය ව්‍යාපෘතිවල, ඇස්‌ ගිණිකණ වැටෙන සේවය, මෙහෙය තාරකා ගුණය ඇතුළත සරසවි සිසුවාගේ විමසුම් ඇස රැකගත යුතුය. ඒවා අප ආදරය කරන මිනිසුන්ද පිරිවරා හොඳ - නරක අතර සීමා ඉර බොඳ වුණු සංකීර්ණ වේෂයකින් ආශිර්වාදයකට මුවා වී පැමිණ සිසු සවිය ගසා කනු ඇත. අද දවසේ දේශණ අහිමි වීමකින් වන පාඩුව විඳගැනීම අනාගත ආයෝජනයකි. ජංගම දුරකථන හා කෙටි පණිවුඩ අතර වියෑකී යන ලාංකික යෞවනයට සරසවි සිසුවා පරමාදර්ශය විය හැක්‌කේ මෙවැනි ආලංකාරික වාක්‍ය මගින් නොවේ. එය භෞතික ක්‍රියාවලියකි.

සරසවි පරිපාලන අනධ්‍යයන භූමිකාව

විශ්වවිද්‍යාලයන් දේශපාලනීකරණය වීමේ දී පිළිකුල්සහගත ලෙස ව්‍යසනයට ගමන් කරන ශීර්ෂය මෙය වේ. උපකුලපති තනතුර සෘජු දේශපාලනයට අවනත පත්වීමකි. එහි ස්‌වාධීනතාව උදෙසා සටන් වැදුණු, නිර්ලෝභී, පෞරුෂවත්, දේශපාලන අධිකාරියට ද දෘෂ්ටිය සැපයිය හැකි විද්වත් උපකුලපතිවරු සිටිත් ද? ලේඛකාධිකාරී මූල්‍යාධිකාරී පුස්‌තකාලයාධිපති හා එකී තනතුරුවල සහකාර තනතුරු සහ ඉංජිනේරු යනු සරසවියක නිරවුල් පරිපාලනයේ බලකණු වෙයි. එහෙත් මේවායේ තත්ත්වය අද ඛේදනීය ය. බොහෝ තනතුරු හිස්‌ ව හෝ වැඩබලන තත්ත්වයේ පවතින්නේද එම වෘත්තියේ පරිහානිය බාහිර ලෝකයට ද සන්නිවේදන වී ඇති බැවිනි වංචා දූෂණ අනාවරණය කර විගණන පරීක්ෂණ පවත්වා රටේ ව්‍යවස්ථාවට වගකීමට ඉදිරිපත් වූ අතළොස්‌සක්‌ හෝ අදීන නිලධාරීහු ද මේ අතර වෙති. එහෙත් ක්ෂේත්‍රය කෙතරම් කෙලෙසී ඇද්ද යත් මේ අඩවියේ නියුතු වූවෝ පැවැත්ම පිණිස ඉක්‌මනින්ම "නිවට වීම" හෝ "නිහඬ වීම" තෝරා ගනිති. සරසවියක සාමාන්‍ය පරිපාලනය පවත්වා ගැනීම උසස්‌ හා දුෂ්කර ක්‍රියාවකි. ලිපිකරුවා, රියදුරා, කම්කරුවා ඇතුළු අනධ්‍යයන තනතුරු රැසකි. සිසුවාගේ ගුණාත්මක උපාධිය මේ සියල්ලේ අවසන් ඵලය වේ. එහෙත් දේශපාලන පත්වීම්, අතපෙවීම්, සුදුසුකම් සපුරා නොතිබීම්, ආදී හේතු මේ ඉසව්ව අගාධයටම ගෙන ගොස්‌ ඇත. ශිෂ්‍යයා, ගුරුවරයා ඇතුළු සැමට දෛනිකව බලපවත්වන සරසවි පරිපාලන ව්‍යුහය ප්‍රතිසංවිධානය නිදහස්‌ අධ්‍යාපනයේම ආණුෂාංගික අංගයකි. ශිෂ්‍යාධාර, නේවාසික පහසුකම්, සුබසාධන සේවා, ණය ව්‍යාපෘති, ගිවිසුම් සම්බන්ධ කටයුතු, මූල්‍ය සේවා, නඩත්තු සේවා, සෞඛ්‍යය, විභාග, උත්සව ඇතුළු නෙකවිධ ව්‍යුහහයන් නිදහස්‌ අධ්‍යාපනයේ පණනල සමඟ සරසවියේ දී බැඳී පවතී. එය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය ය.



බාහිර උපාධි භූමිකාව

ශ්‍රී ලංකාවේ බාහිර උපාධි යනු ඛේදයක්‌ ය. එය අතිශයෝක්‌තියක්‌ නොවේ. විමර්ශන සටහන් නැතිව එසේ කිව හැකි දැයි ඔබ අසනු ඇත. මේ ලිපියේ ස්‌වභාවය තුළ සංඛ්‍යා දත්ත නිදර්ශනවලට මම ඉදිරිපත් නොවූයෙමි. අපගේ පත්‍රිකා, ලිපි, මහජන සම්මන්ත්‍රණවල මේ දත්ත අනවරතව ඉදිරිපත් කොට ඇත. බාහිර උපාධි පාඨමාලා විෂය නිර්දේශ සැකසීමේ සිට ආනුභවික අද්දැකීම් ඇති මම මේ කරුණු වගකීමෙන් පරිහරණය කරමි. ජාතික විශ්වවිද්‍යාලයන්ට ඇතුළු වීමේ වියවුලෙන් පසු සිසුහු බාහිර උපාධිය සරණ යති. මේ පිරිසිදු ප්‍රඥා පිපාසය නොවන බව අප ද ඔවුහු ද දනිති. එහි ඉලක්‌කය වෘත්තියකි. එහෙත් බාහිර උපාධිය වෘත්තීය පුහුණුවක්‌ ලැබෙන සේ නිම වූවක්‌ නොවේ. එය ද ශාස්‌ත්‍රීය අධ්‍යාපනයකි. සිසුන්ගේ පිළිතුරු පත්‍ර බරපතළ ලෙස දුර්වලය. ඒවා සරසවිවල කඳු ගැසෙයි. වව්චර් පිරවේ. සරසවි මුදල් ඉපයුවද රටට උරුම වන්නේ බරකි. රටට ජනිත වන්නේ ටියුෂන් විභවයකි. මේ අසීමිත හා ගුණහීන බාහිර උපාධිය නියාමනය නොකිරීම මේ රටෙහි මිනිසුනට ආදරය කරන රාජ්‍යයක්‌ නොතිබි බවට සාධයකයකි. 1977 න් පසු රජයන් සමඟ එක්‌ වී සරසවි මුදල් ඉපයීමට ගොස්‌ මේ ක්ෂේත්‍රය ව්‍යසනයක්‌ කර ඇත. මේ විභවයේ ප්‍රතිපත්තිවල සිටම නිරවද්‍ය විය යුතුය. මෙය පිළිසකර කිරීමට රාජ්‍යයට කිසිදා අවශ්‍ය නොවනු ඇත. මක්‌නිසාද මේ හරහා බොහෝ භාව විරේචන, රැවටීම්, අසහනය දුරු කිරීම්, වෙළෙඳ අවකාශ පැතිරීම්, ජනතා ආතතිය මැඩලීම් ලියවී ඇති බැවිනි. එහෙත් මේ සම්බන්ධ සියලු ආවරණය අතැඹුලක්‌ සේ දන්නා සරසවි ඇදුරු සටන සංවේදී විය යුතු පාඨයක්‌ ලෙස බාහිර උපාධිය විඥපනය කළ මනාය. එම අවබෝධය හරහා මැදිහත්වීම වැටී ඇත.

පාසල් අධ්‍යාපනයේ භූමිකාව

ලාංකික පාසල් අධ්‍යාපනය අඳුරු අගාධයක්‌ බව කීමට බිය විය යුත්තේ ඇයි? ඇදුරු අරගලය පාසල් පද්ධතිය හා එහි අධ්‍යාපන ඛේදවාචකය පිළිබඳ සවිඥනික විය යුතුය. සරත් විඡේසූරිය මේ පිළිබඳ සක්‍රියව සටන් කරන්නේ කාලයක සිටය. සියලුම රජයේ පාසල්වල පාහේ ඉතාම නරක ලෙස විවිධ තේමා යටතේ මව්පියන්ගෙන් මුදල් අය කරයි. ඒ ඒ පංතිවලින් දිය යුතු මුදල නියම කර ඇත. මගේ දරුවා වෙනුවෙන් වාර ගණනාවක්‌ මම මේ මුදල් ගෙවා ඇත්තෙමි. විදුහල්වල පරිපාලනය, අතළොස්‌සක්‌ මව්පියන් සමඟ සියලුම දෙනාට බලපාන තීරණ ගනියි. පාසල දියුණු කිරීම, ඇපකැප වීම ආදී අලංකාර අතර මව්පියෝ රවටති. සිසුන්ගේ හා ගුරුභවතුන්ගේ ඥනය, රසඥතාව තදින් පිරිහීමට නිදසුන් බහුලය. මේ සියලුම දෙනා මව් කුලකයේ රූපවාහිනී සංස්‌කෘතියේ සාමාජිකයෝ වෙති. විදුහල්පති සේවා දේශපාලනයේ ගොදුරු බිම්ය. පහළ පංතිවල ගුරුභවතකු විඳින ඛේදය ඉමහති. අවිවේකය, පංතියක අධික සිසු තදබදය, අවම පහසුකම්, වාර තුනෙහි ක්‍රීඩා හා උත්සව මේලා, සැණකෙළි, මැතිවරණ ආදියෙන් උපදින පීඩනය, ගුරු අත් පොත්, මෙවලම්, පෙළ පොත් හිඟය මේ අය පෙළන කරුණු කිහිපයකි. සිංහල බඳු විෂයක උ/පෙළ නිර්දිෂ්ට ග්‍රන්ථ යනු අවරසිකත්වය පැළ කෙරෙන නිරර්ථක ගොදුරකි. එම කෘති නියම කෙරෙන ව්‍යාපෘති කුප්‍රකටය. තාක්ෂණික ලෝකයක භාෂා ශාස්‌ත්‍ර රැක ගැනීම කෙතරම් උපක්‍රමශීලීව හා බුද්ධිමත්ව කල යුතුද? පාසල් විභාග, පිළිතුරු පත්‍ර ඇගයීම, ලකුණු පටිපාටි ඇතුළු විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ ක්‍රියාදාමය ඇසුරින් දශකයක්‌ පුරාම අද්දැකීම් ලෙස ලදුයේ වෙහෙස හා පිළිකුල පමණි. විභාග ප්‍රතිඵල සම්බන්ධව විනිවිද භාවය බිඳ දමා දරුවන්ට ආදර නොකරන රජයක්‌ මෙරට ඇති බව මේ වන විට ඔප්පු කර ඇත. නෑසූ කණින් සිටින දරදඬු ඇමතිවරුන් මැද මව්පියන් ඇස්‌ ඇරිය යුතුය. දරුවන් හා ගුරුභවතුන් ගොඩනැගිය යුතුව ඇත. එය ශිෂ්ටාචාරයක්‌ තරම් පෘථුල වුවද සරසවි ඇදුරන්ට ඊට නායකත්වය දිය නොහැකිද?

පුරවැසි භුමිකාව

මෙරට වාසය කරන ජනතාවට පුරවැසි නාමය භාවිත කළ හැකි ද යන පැනය අබිමුව වෛරී නොවී සාවධාන වීමට කාලය පැමිණ ඇත. පුරවැසියන් ක්‍රමිකව යටත් වැසියන් සහ පාරිභෝගික රැළක්‌ බවට පත් කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ පමණක්‌ නොවේ. මෙය ධනවාදයේ පාරිභෝගික කාර්තුවක - ඉතිහාසයේ කිසිදු කලෙක නොතිබි ලෙස ජනතාව නිද්‍රාශීලී කර ව්‍යසනයට අනුමැතිය ගන්නා අධික පාරිභෝජනයක ගිල්වා දමා ඇති යුගයකි. ජනමාධ්‍ය මෙහෙයුම්වල ගොදුරු වන ජනතාව තමන්ගේ අදේශපාලනික ශරීර සුඛ විහරණය පතා දිය කර හරිති. අප මෙතෙක්‌ සාකච්ඡා කළ විභවයන් දරා සිටින්නේ මෙකී ජනතාවය. ජනතාවගේ විනාශය පවා ආශිර්වාදයක්‌ ලෙස තිළිණ කිරීමට මේ ධනේශ්වරය දනියි. ඒ සඳහා ජනමත නිර්මාණය කරන කුලීකාර කලාකරුවන් සහ ව්‍යාජ බුද්ධිමතුන් වහා අනාවරණය කළ යුතුය. එය ඉතාම දුෂ්කර වුවද කළ යුතු කාර්යකි. දේශපාලනය කළ හැක්‌කේ පුරවැසියන් සමඟ විනා පාරිභෝගිකයන් සමඟ නොවේ. සරසවි ඇදුරු මඬුලු වීදි බටුයේ මේ බවද අප ජනතාවට කියා දීමට විය යුතුය. ප්‍රබල මතයක්‌ නොදරන මේ පුරවැසියා බියට පත්කර මැතිවරණ දිනූ ඉතිහාසය වෙනස්‌ කිරීම තුළ මිස අන්මගක විසඳුම් නැත. නෙළුම් පොකුණ හදා, කුමාරස්‌වාමි උදුරා, අහිංසකයන්ගේ ආරාමය ඩෝසර් කර ඊට ජන අනුමැතිය ලබන්නේ විදුලි වේගයෙනි. එහෙත් එය සත්‍ය අනුමැතිය නොවේ. අනුමැතියක්‌ සේ ඇඟවෙන්නකි. සත්‍යය දැන ගැනීමට, මනුෂ්‍යයෙකු සේ දිවි ගෙවීමට මනුෂ්‍යයා තුළ ඇති උනන්දුව මගින් ලක්‌වැසියා දුෂ්කරව වුවද අවදි කළ මනාය. අප 6% පිරිවැයක්‌ අධ්‍යාපනයට ඉල්ලා සිටින්නේ මේ පුරවැසියන්ගේ දූ දරුවන්ට ය. ඒ පිළිබඳ සාවධාන වීම ද පුරවැසියාගේ වගකීම නොවන්නේ ද?



විශ්වාසයේ භූමිකාව

විශ්වාසය පිහිටුවාලීම යනු දුෂ්කර ම ප්‍රයත්නය යි. ඊට හේතුව නම් පූර්වගාමීන් විසින් රැවටීම උපරිම කොට ජනතාව විඩාවට පත්කර අවසාන වීමයි. ඇදුරු සටන දුර්වල කිරීමට රජයක්‌ සතුව ඇත්තේ ඔවුනට ආවේණික අපි නොව ධනවාදයට ආවේණික අපිය. ඇතැම් විට සත්‍යග්‍රණහය පිණිස ඉඳ ගන්නා සරසවි සිසුවා පැය දෙකක මුරය ගෙවන්නේ ජංගම දුරකථනයේ ගැලීගෙනය. ඛේදවාදකය එය නොවේද? ලංකාවේ තිබෙන ධනවාදය මවක්‌ පියෙක්‌ නැති අවජාතක එකක්‌ යෑයි කී ඩෙස්‌මන්ඩ් මල්ලිකාරච්චි "මිනිස්‌සුන්ට කඳුළු එන්න ඕන, අද මිනිස්‌සුන්ට කඳුළු නැහැ. අසූචියි මුත්‍රයි විතරක්‌ තියෙන මිනිසුන් ගොඩනැගෙන පසුබිම අන්තිම බරපතළයි." (රාවය- 2011/11/20) යනුවෙන් ද ලියයි. සරසවි ගුරු, සිසු, පුරවැසි සැම තුළ කඳුළු නැති දෑසක්‌, නිර්මාණය වීමේ වාසිය ගසා කන්නේ රජය ය. එහෙත් මෙය පිළිසකර කර ගැනීම මිස මඟක්‌ ද නැත. සරසවි ඇදුරන් වීදියට බැස ගෙන් ගෙට යන්නේ ද විශ්වාසයේ භූමිකාව ආයාචනා කරමිනි. සියලුම රාජ්‍ය සරසවි පාහේ මේ වන විට උණුසුම් ව එක්‌ වී සිටියි. එසේම අඛණ්‌ඩ වර්ජනය අවසන් වී සරසවි ක්‍රියාකාරී වුවද මෙතරම් පමා වී දැල්වූ ප්‍රදීපය රැක ගැනීමේ වගකීම ද අප සතුය සිරිලක "දැනුම් කේන්ද්‍රයක්‌" කිරීමේ විශ්වාසය ඒ තුළ ඇත. ආණ්‌ඩුවේ ව්‍යාජ, රැවටිලිසහගත වදනක රැඳෙනවාට වඩා "දැනුම් කේන්ද්‍රය" යනු අප ද පැතූ ඉලක්‌කය නොවේ ද? රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අපට පිරිනැමූ අධ්‍යාපනය, දෘෂ්ටිය හා ධෛර්යය අපගේ දරුවන් උදෙසා එය සුරැකීමට ද දෘෂ්ටිය සපයනු ඇත. විශ්වාසය හා ධෛර්ය එතැනදී අප හැර නොයනු ඇත.

වෘත්තීය සංගම් භූමිකාව

විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මේ සටනට සපයා ඇත්තේ වානේ වන් නායකත්වයකි. එහි ඉතිහාසය තුළ ගැබ් වන අද්දැකීම් සියල්ල වෘත්තීය සටන් ලෙස සුන්දර ඒවා ද නොවේ. පාවා දීම්, රැවටීම් ද දරන එහි, අප දකින පුනර් ජන්මයෙන් පසු වැටුප් ඉල්ලීම්වලට ලඝූ නොවූ මේ ව්‍යාප්ත සටන මෙලවෙනු පෙනෙයි. වැටුප යනු මෙහි ප්‍රධාන අංගයක්‌ වීම වැලැක්‌වීමට ද නොහැක. මක්‌නිසාද මේ බුද්ධිමත් පිරිස සිය දැනුම තරගකාරී සහ ජාත්‍යන්තර අගයක රඳවන බැවිනි. රාජ්‍ය විශ්වවිද්‍යාලයන් වෙත දළ ජාතික නිමවුමෙන් 06% ක වෙන් කිරීමක්‌ ඉල්ලා සිටින ප්‍රධාන සටන් පාඨය තුළ ගුරු - සිසු අනධ්‍යයන හා පරිපාලන යන ක්ෂේත්‍ර සියල්ල ප්‍රශස්‌ත සහ ආකර්ෂණීය කරගැනීමේ උත්සාහය ද රැඳී ඇත. එසේම අනාගතය පිණිස සරසවි පද්ධතියේ සිටින උපදේශකවරුන් සහ විශ්වවිද්‍යාලයීය ප්‍රතිපාදන කොමිසම මඟින් පාලනය නොවන බෞද්ධ හා පාලි බඳු සරසවිවල ආචාර්යවරුන්ගේ ශක්‌තියද මීට අවශ්‍ය වේ. ඒ හුදු සත්‍යග්‍රහ හෝ වර්ජන සඳහා නොවේ. මේ සටන අනාගතයේ දිනෙක කුමන රජයක වුවද දෛනික වගකීම බවට පත්විය යුතු බැවිනි. එහි සියලු සාමාජිකත්වය එක ධජයක විසීම අත්‍යවශ්‍ය වේ. නිදහස්‌ අධ්‍යාපනය වැනසීම වත්මන් රජයේ කේවල ප්‍රාර්ථනයක්‌ ලෙස නොව ලිබරල් ධනවාදයේ තාර්කික අභියෝගය ලෙස වටහා ගත යුතුව ඇත. එම සැබෑ සතුරා සමඟ කළ යුතු සටන උපක්‍රමශීලි, ශක්‌තිමත් මෙන්ම දුෂ්කර අභ්‍යාසයක්‌ ද වනු ඇත.

සමාලෝචනය

ගැල් තවලමක අවසන් ඔටුවාට පැවරෙන්නේ සරල සුගම කටයුත්තක්‌ නොවේ. ඉදිරියෙන් ගිය ආටෝපවත්, ජනප්‍රිය හා කෝමළ බොහෝ දෙනා - බොහෝ දේ මග දමා ගොස්‌ ඇති බැවිනි. අපේ වැඩිහිටි පරපුර ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධව දැරූ මතය හා කළ කී දේ අද්‍යතනයෙහි ගිලෙන නැවක්‌ අපට දායාද කර ඇත. අධ්‍යාපනය පමණක්‌ නොව ජීවත් වන හැම තත්ත්පරයක්‌ම අද ශ්‍රී ලාංකිකයාට බරකි. සැඟ වූ ගිනි පුපුරකි. මේ අසහනයන් නිසි කල පිපිරී යන විට ගෙවීමට සිදුවන වන්දිය තිස්‌ අවුරුදු යුද්ධයට ද සම නොවනු ඇත. අසහනයෙන් සහ කෝපයෙන් සිටීම වැදගත් නොවන අතර විරෝධය කළමනාකරණය කළ හැකි පදනමක්‌ අත්‍යවශ්‍ය වී ඇත. රාජ්‍ය අධ්‍යාපනය රැක ගැනීම උදෙසා නැගී සිටි සරසවි ඇදුරු සංහතිය ඒ සඳහා ප්‍රශස්‌තම සංරචකය වේ. මේ පරපුරට අධ්‍යාපනය සුරැකීම පැවරෙන්නේ තවත් අගාධගත ජනතා විභවයන් රැසක්‌ ද සංස්‌ලේශී වූ සංකීර්ණ සමාජ ව්‍යාපාරයක රුවගුණ හා බර ද සමගය. ලුවී අල්කූසර් නම් විශිෂ්ටයා වරෙක මෙසේ ලිවීය. ඉගෙනීම සම්බන්ධයෙන් ඉතිහාසය විසින් තමාට ශේෂ කරදී ඇති ඉතා ස්‌වල්ප වූ අවි කිහිපය, තමා ගොදුරු කර ඇති දෘෂ්ටිවාදය - පද්ධතිය හා ප්‍රායෝගික ක්‍රියාවට එරෙහිව අතිශය දුෂ්කර වූ කොන්දේසි මත වුව ද පිහිටා පාවිච්චි කිරීමට උත්සුක වන්නා වූ ගුරුවරයා එක්‌ ආකාරයක වීරයෙක්‌ ද වන්නේය. සරසවි ඇදුරු සටනේ ඉදිරිය වැටී ඇත්තේ දුෂ්කර වූද අපගේ දේශය සම්බන්ධ අනුරාගී වූද මාවතකය.

-හිනිදුම සුනිල් සෙනෙවි
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
සබරගමුව විශ්වවිද්‍යාලය.


හිනිදුම සුනිල් සෙනෙවි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails