Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලංකාවේ වර්තමාන විශ්වවිද්‍යාල නේවාසිකාගාර තුළ සාමාන්‍යයෙන් නිතර සාහිත්‍ය පොත පත කියවන - සංවාද කරන සංස්කෘතියක් නැත. එහෙත් මේ දිනවල දී පොත් දෙකක් සම්බන්ධයෙන් කලාතුරකින් ඇතිවන සැළකිය යුතු අවධානයක් යොමු විය. එම කෘති දෙක දින කිහිපයක් තිස්සේ සිසුන්ගේ කියවීමටත් සාකච්ඡාවටත් බඳුන් විය. ලියනගේ අමරකීර්තිගේ අලුත් කෙටිකතා පොත "අර මිහිරි සීනු නාදය" ඉන් එකකි. අඩුම තරමින් එහි "නොනිදන අවදිය" හිසින් එන කෙටිකතාවවත් බොහෝ දෙනෙක් කියවූහ. එය ඒ තරම්ම සිත් ගත් බව පෙනිණ. කතාව මගින් රූපකාත්මකමව මතු කරන්නට උත්සාහ කරන දිනචරියාම කුසීතකමේ තමනුත් පංගුකාරයින් හැටියට විචාරශීලී දුරස්ථභාවයක් තබා ගනිමින් කියවන්නට අපොහොසත් වුවත් එවැනි කතා මගින් යළි සිතන්නට කරන පෙළඹුම නොසළකාහැරිය හැකි නොවේ. බොහෝ දෙනෙකටු ප‍්‍රබන්ධයේ හමුවන කතානායකයා අනුව කටයුතු කරන්නට තරම් සිත් වූ බව සාක්ච්ඡාවන්හිදී එලි විය. එනම් පරිකල්පනීය පොඩි පොඩි විදර්ශනලා පැටව් ගසන්නට වූ බවයි. (මෙම ලිපියෙන් මතු කිරීමට අපේක්ෂිත කේන්ද‍්‍රීය අදහස සමග මෙම අත්දැකීම වක‍්‍ර- සමානකමක් දක්වයි. එනම් සාහිත්‍ය කෘති මගින් තමාද අයත් අසංතෘප්ත ව්‍යුහවල ඇති අවුල පෙන්නද්දීත් එම ව්‍යූහයෙන් තමන් නොපෙනී ගොස් ව්‍යුහය අනේකත්වයට නැංවීමේ අවාසනාවයි.) මෙසේ අවධානයට යොමු වූ දෙවැන්න "ඇම්ඩන්- නූතන ජන කතා" නමැති අසංක සායක්කාරගේ කෘතියයි. මේ ලියුම මගින් උත්සාහ කරන්නේ ඉන් දෙවැනියට කියූ කෘතිය වර්තමාන සිංහල සමාජ- සංස්කෘතික විචාරය වෙත කරන බලපෑම අවධාරණය කිරීමයි.

මේ සටහන ලිවීමට ආවේශය සැපයූ අනියම් කාරණයක්ද තිබේ. ඒ ඉරිදා ලංකාදීපයේ පළවූ දේශපාලනඥයෙකු තමා ලිංගිකව හැසිරුන ස්ත‍්‍රීන් ගණන සියයක් වීමේ ප‍්‍රීතිය නිමිති කොටගෙන පැවැත් වූ සාදය පිළිබඳ පුවතයි. අපේ ජාතියේ සංකල්පීය පියවරුන්ගේ හැටි!.. මේ දිනවල පුවත්පත්- රූපවාහිනී පුවත් මගින් කියන්නේ තවදුරටත් ඇම්ඩා යනු නූතන ජනප‍්‍රවාදයක් පමණක් නොවන බවයි.

ඇම්ඩා, ඇම්ඩන් වීම තෙක් පසුබිම් කතාව

ඇම්ඩා යනු කවුදැයි යන්න හඳුන්වා දීමට අමුතුවෙන් වචන වියදම් කළ යුතු නැත. පාසලේදීත්, විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේදීත්, විනෝද චාරිකා ආදියේදීත්, ගමේ කොල්ලෝ හවසට සෙට්වෙන වෙලාවලදීත්, නගරයේ කොල්ලෝ දවල්ටත්, හමුදා කඳවුරු- නේවාසිකාගාර, සිර කඳවුරු සහ එදිනෙදා සංස්කෘතික ජීවිතයේ හමුවන අවස්ථාවන් ආදී තරුණ, වැඩිහිටි කණ්ඩායම් ගැවසෙන බොහෝ තැන්වලදී ඇම්ඩා වටා ගෙතුණු කතා වින්දනය කිරීම සඳහා අවකාශය සැළසෙයි. මෙය බොහෝවිට සිංහල භාෂක සමාජයේ පිරිමි, සිනහවෙන් විනෝදයෙන් කාලය ගත කිරීම සඳහා පාවිච්චි කරන එක් භාෂාමය නිර්මිතයකි. සිංහල බෞද්ධ සංස්කෘතියේ සීමාන්තික ආගමික හා සදාචාරාත්මක මෙල්ල කිරීම තුළ විශේෂයෙන්ම පිරිමි විසින් කාලාන්තරයක් තිස්සේ යටපත් කරන ලද ආශාවන් අවිඥානගතව තිබී ඒවා උත්කර්ෂණයට නැංවෙන එක් මාදිලියක් හැටියට ඇම්ඩා නමැති චරිතය මුල් කොටගත් ජනකතා හඳුනාගැනීමට පූලූවන. මෙය පුරුෂාධිපත්‍යයේ ප‍්‍රකාශනයකි. අසංක සායක්කාර නමැති තරුණ නිර්මාණකරුවා විසින් මෙම ජනකතා ඇම්ඩාගේ උපතේ සිට මරණය දක්වා චරිත කතාවක් ලෙස පෙළගස්වා ලේඛනයට ගෙන එයි. ව්‍යවහාරයේදී ඇම්ඩා නමැති චරිතය, සායක්කාරගේ කෘතිය වෙත එන විට ඇම්ඩන් බවට උසස්වීමක් ලබයි.

සාමාන්‍යයෙන් ජන සමාජයේ දෛනික ජීවන රිද්මයෙහි හඬ අනෙකුත් නිර්මාණ සාහිත්‍යයට වඩා ජනකතා තුළ ප‍්‍රතිනිර්මාණය වෙයි. එදිනෙදා ජීවිතයේ අවස්ථාවන් - සිද්ධි ජනකතා මඟින් සෘජුව හා වක‍්‍රව නිරූපණය වේ. එය නිරූපණය මෙන්ම ප‍්‍රති- නිර්මාණයක්ද විය හැකිය. කෙසේ හෝ ජනශ‍්‍රැති සංස්කෘතික අමාත්‍යංශයේ හෝ වෙනත් ආධිපත්‍යයක වාරණයට ලක් නොවේ. ජන කතාවලට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් ද නැත. ඒ එම සාහිත්‍ය කෘතිවලට නිශ්චිත අයිතිකරුවෙක් නොමැති බැවිනි. ඒ අර්ථයෙන් ජනකතා යනු බෙහෙවින්ම අවංක නිර්මාණ වෙයි. මේ අයිතිකරුවෙකු නොමැතිවීම යනු පළල් අර්ථයෙන් ගත් විට එම අදාළ ජන සමාජයම එහි අයිතිකරුවන් බවයි. සාහිත්යික කලාත්මකත්වයෙන් උසස් ප‍්‍රබන්ධ කතා කියවීමට/ අර්ථකථනය කිරීමට හුරුකරනු ලැබූ පාඨකත්වයක්- රසිකත්වයක් අවශ්‍ය වුව ද ජනකතා කියැවීමත් ඒවා මඟින් සැපයෙන අන්තර්දෘෂ්ටි වටහාගැනීමටත් ඉතාම සාමාන්‍ය රසිකයකුට වුවද පුලූවන. විශේෂයෙන් ඕනෑම පුද්ගලයෙකුට තේරෙන ඇම්ඩාගේ කතා වැනි ජන ශ‍්‍රැති නැවත කියවමින් සංවාදයට යොදාගන්නේ නම් විශිෂ්ට යැයි කියන සාහිත්‍ය කෘතිවලට වඩා සමාජ ප‍්‍රතිසංස්කරණ කාර්යය අතින් ඒවා දෙවැනි වන්නේ නැත. තුලනාත්මක සාහිත්‍ය අධ්‍යයන වලදීත් කිසියම් සංස්කෘතියක් ගැඹුරින් වටහාගැනීමේදී මේ වාචික සාහිත්‍යයේ(orature) පවතින කෘති වෙත සෑහෙන වැදගත්කමක් දෙනු ලැබේ.

ඇම්ඩාගේ කතා තුළ එන ඔහුගේ ක‍්‍රියාකාරකම් බොහෝවිට පදනම් වන්නේ ලිංගික කාරණා මතය. කතාවල එන හාස්‍යය උපදින්නේද බොහෝ විට ඔහු සම්මත ලිංගික සංස්කෘතියට එරෙහි වීම සහ ඔහු පාවිච්චි කරන අශිෂ්ට යැයි සම්මත වචන මඟිනි. ව්‍යවහාරය තුළ නිරන්තරයෙන් උත්කර්ෂයට නැෙඟන්නේ මේ නූතන ජනකතා වල මතුපිට හාස්‍යයම පමණක් වුවද ඔහුට මුහුණ දෙන්නට සිදුවන එක් එක් අවස්ථා වලට ඔහු මුහුණ දෙන ආකාරය- ඒ ආශ‍්‍රිත ක‍්‍රියාකාරකම් හුදු ලිංගිකත්වය පදනම් කරගත් ඒවා පමණක්ම නොවේ. වර්තමාන සමාජය තුළ පවතින ජරාජීර්ණත්වය- කුහකත්වය- රැවටීම- බොරුව මේ ජනකතා මඟින් ප‍්‍රතිනිර්මාණය කරයි. වර්තමාන ක‍්‍රමයේ ඇති පාදඩකම ගැන මේ කතා මඟින් අපට බොහෝ දේ උගන්වයි. ව්‍යවහාරයේ පවතින ඇම්ඩාගේ ජනකතාවලට වඩා සායක්කාරගේ ඇම්ඩන් පිළිබඳ නිර්මාණ සිංහල සංස්කෘතිය කියවීමට බොහෝ ඉඟි- පෙළඹුම් සපයයි. මෙය ව්‍යවහාරයේ පවතින කතාවලට සාපේක්ෂව සායක්කාරගේ කෘතියේ ඇති ශක්‍යතාවකි. සමහර විට මෙම කතුවරයාට අවංකවම අවශ්‍ය වූයේ මේ කතා හුදු ලේඛනාරූඪ කිරීම පමණක් වුවද කිසි ලෙසකින්වත් මේවා ඇම්ඩාගේ ජනකතා නොවේ. ඒවා ජනකතා පදනම් කොටගෙන නිර්මාණය කරන ලද ස්වාධීන ප‍්‍රබන්ධයන්ය. ඒ අර්ථයෙන් සායක්කාර ඇම්ඩා, ඇම්ඩන් කිරීම සාධාරණීකරණය කළ හැකි වුවද මේවා නූතන ජනකතා ලෙස නම් කිරීම වරදකි.

වැඩි කීකරුකම, අකීකරුවීමේ ම ප‍්‍රකාශනයක් ලෙස

මෙහිදී කීකරුවීම යනුවෙන් අදහස් වන්නේ භාෂාමය කීකරුවීමයි. එනම් මෙම කෘතියේ කතුවරයා අසම්මත භාෂා නිර්මිතයන් සම්මත භාෂාවේ රිද්මය තුළට ගාල් කිරීමයි. ඇම්ඩාගේ කතාවල ප‍්‍රබලව හාස්‍යය මතුවන්නේ ඇම්ඩා නිතරම පාවිච්චි කරන අශිෂ්ට වචන මඟිනි. නමුත් සායක්කාර අල්ලාගන්නේ ඔහු මුහුණ දෙන සිදුවීම්වල එන උත්ප‍්‍රාසය පමණි. නිතර ඇම්ඩා වහරන සම්මත- අශිෂ්ට වචන වෙනුවට සායක්කාර භාවිතා කරන්නේ වර්තමානයේ සාමාන්‍ය ලේඛනවල පවා පාවිච්චි නොකරන සාම්ප‍්‍රදායික සාහිත්‍යයට අයත් වන භාෂා ශෛලියකි. යම් ජන සමාජයක පවත්නා ජනශ‍්‍රැති එම භාෂා රිද්මයෙන් බැහැරව රචනා කරන විට එහි පවතින ජීවය නැතිව යයි. විශේෂයෙන්ම ඇම්ඩාගේ කතාවලට මෙය බෙහෙවින්ම බලපායි. එවිට ඉතිරිවන්නේ මියගිය ජනශ‍්‍රැතියෙහි මතක- ඡායාවක් පමණකි. එක අතකින් පවතින සංස්කෘතික ව්‍යුහය කඩා කුඩුපට්ටම් කර දමන ඇම්ඩා පාදක කොටගත් කතාම මේ ආකාරයේ ව්‍යුහමය ආධිපත්‍ය දරන සම්මත භාෂා සංස්කෘතියට අවනත වීම උත්ප‍්‍රාසයකි. සායක්කාරගේ කතා සංධානය විශිෂ්ට වන නමුත් ජනශ‍්‍රැතියේ එන වචනම පාවිච්චි කළේ නම් ඔහු කරන අභියෝගය මීට වඩා රැඩිකල් වන්නට ඉඩ තිබුණි.

එසේ වුවත් සායක්කාරගේ අපට පෙනෙනෙ මේ කීකරුකම ආශ‍්‍රයෙන් අපට ප‍්‍රශ්න කිහිපයක් අසන්නට පුලුවනි. ඉන් එකක් නම් ජනශ‍්‍රැතියේ එන භාෂාව මෙහි කතුවරයා තමන්ගේ කෘතිය තුළ ඇත්තටම පාවිච්චි නොකළේ ඇයිද යන්නයි. එයට පිළිතුර භාෂාමය සංස්කෘතික වහන්තරාව විය හැකිය. කුණුහරුප/ අසභ්‍ය/ අශිෂ්ට යන නාමකරණයෙන් පවතින භාෂාත්මක කොටසක් ලේඛනය තුළට ගෙන ඒමේදී ඇතිවන සංස්කෘතික බිය ඔහුට ඇති වූවා විය හැකිය. නමුත් මේ අශිෂ්ට යැයි කියන වචන සිංහල භාෂක සමාජයට දුරස්ථ වූ ඒවා නොවේ. දෛනික ජීවිතයේ නිරන්තරයෙන් ව්‍යවහාර කරන වචනය. එවිට මෙම කෘතියේදි එම නිවැරදිම වචන පාවිච්චි නොකිරීම නමැති තත්වය භාෂා ව්‍යුහයේ ආධිපත්‍යය ප‍්‍රශ්න කරන කතිකාවට අපව කැඳවන හොඳ නිමිත්තකි.

අනෙක් අතට මේ අශිෂ්ට භාෂා ව්‍යවහාරය, ජන සම්මත භාෂා සංසකෘතියේ සාම්ප‍්‍රදායික භාෂා රිද්මය බවට රූපාන්තරණය කිරීම උත්ප‍්‍රාසවත්ය. ඔහු ඇම්ඩා ගැන පටන්ගන්නේම ඔහුට ඇම්ඩනයාණෝ යනුවෙන් ගෞරවාර්ථයෙන් අමතමිනි. මුල සිටම සම්මත සංස්කෘතික තර්කනයෙන් ගැලවී යන අශිෂ්ට යැයි සැලකෙන හැම අවස්ථාවක්ම කතුවරයා ප‍්‍රතිනිර්මාණය කරන්නේ ගෞරවය දනවන ගාම්භීර භාෂා ශෛලියකිනි. ඇම්ඩා වැනි කුණහරුපකාරයකු වෙනුවෙන් මෙවැනි සම්මත- ව්‍යක්ත- උසස්- ගෞරවාර්ථ දනවන භාෂාවක් පාවිච්චි කිරීම ම එම භාෂා සංස්කෘතියේ අධිපතීත්වයට ගසන පහරකි. සායක්කාරගේ භාෂාමය කීකරුකම, අකීකරුවීමේ ප‍්‍රකාශනයක් වන්නේ ඒ අර්ථයෙනි.

ශ‍්‍රැතියෙන් පිට පනින ඇම්ඩන්ගේ කතා

එක් අර්ථයකින් ශ‍්‍රැතියෙන් පිට පැනීම යනු මෙම කෘතියේ නිර්මාණකරුවා ජනශ‍්‍රැතිය වරද්දා ලිවීම ද වන නමුත් මෙහි දී වඩාත් අවධාරණය කරන්නේ ඇම්ඩා නමැති චරිතය සම්මුතිගත සංස්කෘතික තර්කනය නම් වන ශ‍්‍රැතියෙන් පිටපැනීමයි. කෘතියේ එන මේ දඩබ්බර කතා එකින් එක වෙන වෙනම කියවිය හැකි වුවද මේ ලේඛනය මඟින් අරමුණු කරන්නේ සමස්තයක් ලෙස ඇම්ඩා නමැති සංකේත රූපය/ සංඥාව මඟින් වර්තමාන සිංහල සංස්කෘතිය වෙත අවශ්‍යයෙන්ම ඇති කරගත යුතු යැයි සිතෙන සංවාදයට කිසියම් වූ ප‍්‍රවේශයක් ගැනීමයි.

මේ ඇම්ඩාගේ කතා සාමාන්‍ය ජනකතා ලෙස ව්‍යවහාරයේ පවතින විට ඒවා පිළිබඳ හාස්‍යයෙන් ඔබ්බට ගොස් අර්ථකතනය නොකළද ජනකතා විදිහටම පවතින විට පවා ඒවා සිංහල භාෂක සමාජය තුළ ආගමික- සදාචාරමය ව්‍යුහයන් මඟින් අවිඥානයේ යටපත් කරන ලද මැඩපවත්වන ලද මිනිස් ආශාවන්ගේ උත්කර්ෂණයක් ලෙස කියවිය හැකිය. විශේෂයෙන්ම ලාංකික බෞද්ධ සමාජය විසින් යටපත්කරන ලද - හංගන ලද ලිංගිකත්වය කෙරෙහි ප‍්‍රතිවිරෝධාත්මක නැඟීසිටීමකි මේ කතා. මේ කතා මඟින් විනෝදවන්නේ බහුල වශයෙන් පිරිමින් වන අතර ඇම්ඩා යනු ලාංකීය බෞද්ධ පිරිමි අවිඥානය තුළ වීරයෙකි. නමුත් ඇම්ඩා නමැති ඒ සංකේතය එළිමහන් සංස්කෘතිය තුළ එනම් සාමාන්‍ය ජන විඥානය තුළ ප‍්‍රතිවීරයා හෙවත් දුෂ්ටයා දක්වා පසුබසියි. කෙසේ වෙතත් ඇම්ඩාගේ කතා අසමින් සාමාන්‍ය ජීවිතය තුළදී බෙහෙවින් සිනාසෙන අපි ඉන් ඔබ්බට නොයන්නෙමු. විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේදී ඇම්ඩන් ගේ කතා පොත බහුතරයක් කියෙව්වේත් ඒවා නැවත සායක්කාරගේ භාෂාවෙන් එකිනෙකාට නැවත කියමින් විනෝද වුණේත් එම නිර්මාණ බරපතල ලෙස අප අයත් වන සමාජ සංදර්භයම සිනහවට ලක්කරන බව දැනුවත්ව නොවේ. එම කතා මඟින් උපදින හුදු හාස්‍යය ළඟ පමණක් නතර වෙමිනි. පත්තර හා රූපවාහිනී පුවත් තුළත් දෛනික යථාර්ථයේදීත් මුහුණටම හමුවන ඇම්ඩන් වර්ගයේ මිනිසුන්ගේ නොසන්ඩාලකම් සිනහවෙන් නොඉවසන අපි ඇම්ඩා හා හුදු සිනහවෙන් පමණක් නතරවීමේ දෙබෙදුම ගැටලුවකි. කුහකකමකි. කෙසේවෙතත් ජනප‍්‍රවාදයේ එන කතාවලටත් වඩා අප සමාජය ගැන ගැඹුරු විග‍්‍රහයක යෙදෙන සායක්කාරගේ කෘතිය අප විසින් නැවත කියවීම මේ මොහොතේ දී බෙහෙවින්ම වැදගත්ය.

ඇම්ඩා අපේ සමාජයේ මතු උපදින්නට පස් මහ බැලුම් බලන කාලය සායක්කාර ප‍්‍රතිනිර්මාණය කරන්නේ මෙසේය.

"තවද එක් භීම සමයක් උදා විය. එසඳ අං ඇති ගැරඬීහු ගොදුරු සොයමින් තැන තැන සරන්නාහ. දලූ ලූ මෝල් ගස් මුදුනෙහි කැදලි තනාගත් ධවල කපුටෝ නිති නින්දටම හැරුනාහ. පිහාටු ලද ඉබ්බෝ පියාසර කිරීමෙන් ලද තෙහෙට්ටුව සංසිඳුණු රිසියෙන් මෝල් ගස් සෙවනෙහි ගිමන් හැරියාය.........

මෙලොව බිහිවන්නට අකනිටා බඹ ලොවට වි නිමිති බැලූ ඇම්ඩනයාණෝ මේ සිය අභිනව භවයට අභිමත කාලය යැයි සිතූහ...

ශක‍්‍ර දේවයිනි, අභිනව භවයට මා සොයමින් සිටි සියල්ල දැන් සැපිරී තිබේ. එසේ හෙයින් තවත් නම් පමාවීම අකැප වන්නේය."


සායක්කාර ඇම්ඩනියානු සංස්කෘතික ලක්ෂණ නුතන සමාජය උත්තරාරෝපණය වීම වටා ඇති නූතන සමාජ- දේශපාලනික පරිසරය මුලදීම තම කෘතියට හසුකර ගනියි. ඇම්ඩා දෙව් ලොවින් චුත වන්නේ ඊෂ්වර දෙවියන් සමග ආරවුලක් ද ඇතිකර ගනිමිනි. ඊෂ්වර දෙවියන් හින්දු ආගමික සංකේතයක් වුවත් එය සිංහල සමාජය තුළ කාලාන්තරයක් තිස්සේ ස්ථානගත වන්නේ - ඔහු සම්බන්ධව පවතින විවිධ විශ්වාස අන්‍යයෙකුට වඩා අපේම සංස්කෘතික දෘෂ්ටිමය බල ව්‍යුහයේ එක් බලවත් සංකේතයක් ලෙසය. එවිට ඇම්ඩා නමැති අශිෂ්ටයා තමන්ගේ වැඩ පටන්ගත්නේම අපේ සමාජ ව්‍යුහයේ එක් බලවතෙකුට පහර ගසමිනි. තමාගේ තෙවන ඇස ඇරියහොත් ඊෂ්වරයාගේ බිරිය වුව ගැබ්බර විය හැකි බව පවසමින් ඇම්ඩා කරන ප‍්‍රකාශය මගින් ඉඟි කරන්නේ ඇම්ඩාගේ තෙවන ඇස නම් වන පුරුෂ ලිංගයට ඊෂ්වරයාගේ තෙවන ඇසට වුව අභියෝග කරන්නට පුලුවන් බවයි. එක්තරා ආකාරයකට මෙය අපේ සංස්කෘතික බලාධිකාරයන්ට එරෙහිව සංකේතීය කැරලි ගැසීමකි. ඊෂ්වරයාගේ තෙවන ඇසත් සමච්චලයට ලක් කරමින් ඇම්ඩා අපේ සමාජයට එන්නේ මිහිපිට ඇති ලොකුම පුරුෂ ලිංගයත් අරගෙනය. යට කී විදිහටම මෙය එක් අර්ථයකින් පුරුෂෝත්තම සමාජයේම අධිපති ප‍්‍රකාශනයක්. වීර කාව්‍යයක්. නමුත් මෙම ප‍්‍රකාශනය හිමිකමක් නොව අහිමිකමක් නිසා උත්කර්ෂණයට නැංවෙන්නක්. සිංහල බෞද්ධ පරිසරය මගින් අපේ පිරිමින්ගේ මානසික අවශ්‍යතාවන් අහිමි කිරීම නිසා මතුවන අහිංසක විවේචනයක්. (ඇතැම් විට ස්ත‍්‍රීයගේ මානසික ලිංගික අහිමිය ගැන ද සුළුවෙන් වුවත් ඇම්ඩන්ගේ කතා මඟින් හෙළි කරයි.) ඇම්ඩන්ගේ උපත සිදුවන්නට පෙර පවා ඇම්ඩාගේ පීතෘ භූමිකාවට හිමිකම් කියන සිරිපාල පුරංගනාවන් සමඟ අනියම් ලිංගික සේවනයේ යෙදෙයි. සංස්කෘතිය මඟින් වසංගන ලද සැබෑ ප‍්‍රතිරූපය එයයි. නිරුවත එයයි. කෘතිය තුළ ඇමිඩාගේ උපතේ සිට මරණය දක්වාම ගෙතෙන කතා රූපකාත්මකව අපේ සමාජ සංදර්භය හා බෙහෙවින්ම සමීප වෙයි.

මව්- පුතු, පිය- පුතු, සීයා- මුණුබුරු, ආච්චි- මුණුබුරු, ගුරු- සිසු, පූජක- ශ‍්‍රාවක, නිළධාරී- සිවිල් ජනයා ඇතුළුවන සදාචාර ලෝකය (ධූරාවලිගත ව්‍යුහය) තුළට පැමිණෙන ඇම්ඩන් නමැති අශිෂ්ටයා මේ ව්‍යුහය තුළ සම්මත සදාචාර පද්ධතිය අභියෝගයට ලක්කරන්නේ ඒවා කඩා කුඩුපට්ටම් කොට දැමීමෙනි. ඒ අර්ථයෙන් ඇම්ඩා යනු ප‍්‍රති- සංස්කෘතික කැරළිකාරයෙකි. ව්‍යුහ කඩන්නෙකි. මේ පිළිබඳව අපි යළි සිතා බැලිය යුත්තේ ඇම්ඩා යනු හුදු කුණුහරුපකාරයකු ලෙස ආන්තිකව කියවමින් ඔහුව අප සිනාගන්වන විහිළුකාරයෙකු බවට ඌනනය කරමින් නොවේ. ඊට වඩා ගැඹුරින් සිතන්නට ඇම්ඩා නමැති රූපකය පාවිච්චි කළ යුතුය. ඒ සඳහා විදග්ධ රසිකත්වයක් උවමනා නොවේ. මෙම කතා පොත එම කතිකාවට අවශ්‍ය ආවේශය සපයන සාමාන්‍ය ජනයා එයට සම්බන්ධ කරගැනීමේ විභවතාව ඇති රචනා සමූහයකි.

ලාංකික පුරුෂෝත්තම සමාජයේ ඇම්ඩා අප කා තුළත් සැඟවී සිටියි. ඒ ඇම්ඩාට ප‍්‍රසිද්ධියේ සිනාසෙන අපි රහසේම ඇලූම් කරමු. එබැවිනි අපේ සමාජයේ දෛනික ජීවිතය තුළ බොහෝ මිනිසුන් "ඌ නං මාර ඇම්ඩෙක්" යැයි උපහාස- වීරත්වයට නංවන්නේ. මේ රචනාව අනවශ්‍ය ලෙස දැනටමත් දික්ව ඇති නිසා ලාංකේය සමාජය ඇම්ඩා විසින් ස්පර්ෂ කරන ආකාරය ගැන එන බොහෝ කතා මෙහිදී මඟහැර යන්නට සිදුවෙයි. කතා පොතේ අවසානයට කිට්ටු වන විට ඇම්ඩා එක්තරා අවස්ථාවක දී සියලූ දේව පිළිම- ප‍්‍රතිරූප කඩා බිඳ දමනවා ඊෂ්වරයත් ඇතුලුව. නමුත් අවාසනාවකට මෙන් මෙතනදිත් අවිඥානිකව වුව අපි විසින් කඩා බිඳ දමන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළට ආත්මීයකරණය කරගත් අන්‍යයෙකු වන ඊෂ්වරයා ඇතුලු දේව පිළිමයන් පමණක් වීම ද උත්ප‍්‍රාසවත්ය. මේ පරෙස්සම ද වෙනත් ප‍්‍රවේශයකින් කතිකාවට බඳුන් කළ හැක්කකි. කෘතියේ එන වෙසක් පෝයට අදාළ සිද්ධියේ දී පවා මේ ස්ව- සංස්කෘතික ප‍්‍රතිරූපවලට හානි නොකරන්නට ඇම්ඩා පරිස්සම් වෙයි. ව්‍යුහ කඩන්නාට වුව තමාගේ රැඩිකල් බව පිළිබඳව නැවත සිතා බලන්නට කරන ඇරයුමක් ලෙස මෙය වටහා ගත යුතුය. අවසානයට ඇම්ඩා මරණයට පත් කරන්නේ ද ඊෂ්වරයා නමැති බලාධිකාරිය විසින්මය. එමඟින් සපයන අන්තර් දෘෂ්ටි මොනවාද යන්න ගැන ද අප සිතා බැලිය යුතුය.

අවසාන වශයෙන් තඩි ලිංගික උපකරණයක් ඇති මේ පුරුෂයා මඟින් අප මත ඇතිකරන හාස්‍ය "හාස්‍යය" තුළ අඩංගු සමාජ කාර්යයන්ගෙන් ද වෙන් කරන්නට හැකියාවක් නැත. හාස්‍යය මඟින් පීඩිත මනස සුවපත් කරයි. තව අර්ථයකින් හාස්‍යය පෑම විරෝධය පාන එක ක‍්‍රමයක් ද වෙයි. එනම් පවතින සමාජ සම්මතයට එරෙමිව යාමේ කාරකත්වය හාස්‍යයට ද තිබේ. හාස්‍යය මඟින් ව්‍යුහ කඩන්නට දෙන දායකත්වය ගෙන දෙන්නේ අහිංසක සතුටක් වුව එහි සමාජ කාර්යය බරපතල එකකි.

මේ කෘතිය මගින් ගොඩනගන රූපකය කුළුගන්වන්නට එහි පිට කවරය පවා සමත් වෙයි. තද කළු පසුබිමක පසුපසට හැරී වාඩි වී සිටින්නේ කොණ්ඩයද බූ ගා ගත් තරුණයෙකි. ඔහු ඇඳ සිටින්නේ ඩෙනිමක් වන අතර උඩු කය නිරුවත්ය. යට කලිසමෙන්ද කොටසක් නිරාවරණය වී පෙනේ. පිට සම්පූර්ණයෙන්ම පච්චයකින් වැසී තිබේ. බැලූ බැල්මට එය පිට හම විනිවිද පෙනෙන මිනිස් ඉන්ද‍්‍රිය පද්ධතියේ කොටසක් ලෙස හැඟී යයි. පච්ච ඇම්ඩා එබි බලන්නේ ඒ දෘශ්‍ය- ඉන්ද‍්‍රිය පද්ධතියේ සිටයි. මෙය අප නොදන්නවා උනත් ඇම්ඩා ඉන්නේ අප ඇතුලේම යනුවෙන් බවට කරන යෝජනාවකි. මේ රූප සංඥාව කතාවේ අන්තර්ගතය මගින් ගොඩනගන රූපකයේම දිගුවකි.

මේ දිනවල ලංකාවේ දෛනික යථාර්ථය දෙස සවිඥානිකව බලන්නෙකුට බෙහෙවින් ඉහළ යන ස්ත‍්‍රී දූෂණ හා ළමා අපචාර- කාන්තා හිංසන ආදිය මඟ හැර යා හැකි නොවේ. පවුලේ පියවරුද, ජාතියේ සංකල්පීය පියවරුද(දේශපාලන බල ස්ථරයේ ඉහළ සිටින අය) , වැඩිහිටියන් ද, ඥාතීන්ද, දේශපාලක හෙවනේ වැජඹෙන මහැදුරෝද, රාජ්‍ය සේවකයෝ ද මැරයෝ ද මෙම ව්‍යසනයේ කේන්ද්‍රයේ සිටිති. එවිට කේන්ද‍්‍රය යනු මධ්‍ය ලක්ෂ්‍යය හෝ පරිධියෙහි ඇති තනි තිතක් නොවේ. "පිරිමින් වීම" ඔවුන්ගේ නිදහස රැකදීමේ දෘෂ්ටිවාදාත්මක අධිපතිත්වයයි. එක අතකින් ආර්ථික උවමනාකම් පසු පස ලූහු බඳින නව ධනේශ්වරය තුළ මිනිස් සබඳතා දියකර හැරීම ක‍්‍රමයේම දෘෂ්ටිමය උවමනාවක් ලෙසත්, අතිකාල සේවා වැනි දේ මඟින් සංස්කෘතිකවත් ජීවිතයක් ගත කිරීමට ඇති අතිරික්ත කාලය ද අහිමි කිරීමේ ප‍්‍රතිපලයක් ලෙසත්, පුද්ගල ඉව්ඡාභංගත්වය හා සීමාන්තික ආගමික- සදාචාර දෘෂ්ටිවාදයන් මඟින් ඒ මතම ඇති කරන තෙරපුමක් ලෙසත් අර සිදුවීම් මතුවිම වටහාගන්නට පුලූවනි. එනම් "ඇම්ඩා" ජනශ‍්‍රැතියෙන් පිට පැන තථ්‍ය ජීවිත තුළට- දෛනික යථාර්ථය තුළට රිංගා ගැනීමයි. එබැවින් මේ ඇම්ඩා ගැන ගොඩ නැඟිය යුතු සංවාදය අදට බෙහෙවින්ම ගැළපෙන්නකි. අවසාන වශයෙන් ජනශ‍්‍රැතිය ඒ අයුරින්ම ලේඛනගත කිරීමේ උවමනාව පිරිමහන්නට ගොස් ඓතිහාසික වැරුද්දකට හසු වන සායක්කාරගේ නූතන ජනකතා පොත මේ මොහොතේ අප විසින් ඇතිකර ගත යුතු බරපතල සංවාදයට සපයන ආලෝකය හේතුවෙන් වැරැද්දෙහි සැර බාල කර ගනියි. එසේ සැර බාල වන්නට නම් මේ කතා විසින් ඇති කරන මතුපිට හාස්‍යයේ යටි පෙළ පිළිබඳ ගැඹුරු කියවිමක් දක්වා අපේ කතිකාව පළල් විය යුතුය.

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails