
වැස්ස දිය බිඳු නියෙන් කොනහත්ම මරදාන
රේල් පාරට එබී හිඳිමු පාලම අසළ
දුම්රියක දුම ඉගිල එන තෙක්ම අප වෙතට
අඳුර ඇසකට නොගෙන තෙමෙමු අපි පෙර විලස
කළු අහස සුදු වැස්ස නන කැඩුණු කුඩ පුංච
හස දෙමුව නොවසමින තෙමුණු මම තෙමුණු ඔබ
ඈත ගහ කොළ තෙමී -තෙමී ඇත කඩ පිල් ද
තෙමී නැත ආදරය උණුහුම්ය පෙර ලෙසම
කිංසි පාරේ කොණෙහි එකල ඔබ නවාතැන
සිනා වෙයි අදත් මා ළඟින් යන විට හැඳින
ඉතින් කෙල්ලේ තුටින් ගෙවී යන්නෙද දිවිය
පුරුද්දට මෙන් අදත් දෑතැඟිලි පටලමුද
කොටුවෙ සිට පයින් විත් මරදානෙ රඟහළට
බැලු - නොබැලු සළ රූ ද සිතඟ දැවටෙයි විටෙක
අමතකව පෙමක වත දැවී ගිය මුත් දිනක
අළු සුඹුලු එකතු වී හැඩය මතු වෙයි නැවත
පුස්තකාලයේ උඩු මහලෙ මුණ ගැසෙන තැන
තවම ඇත - එහි තවත් අය ද ඇත අප මෙන්ම
කාලයේ නෙක් තිළිණ සිත් රසිත හිල් කරන
පෙර මෙන්ය - දිවමන්ය ඔබ කෙරෙහි පැහැදි සිත
ලක්ශාන්ත අතුකෝරල



