
බඹරෙ වැල්ලෙ කැරකුන දා ගහපු පිණුම් බැරිවෙනකොට
අඟේ ඉඳන් කන මිරිකා උඹේ හිනා උන් ගත්තට
හතර ගාතෙ අතැ'ර දමා ගේ මැද තනිවුනු මිනියට
මැස්සෙක් වත් නෑ අඬන්න ඹ'ට අඬන්නෙ මං කුලියට
පවුලෙ උන්ගෙ මහන්තත්තෙ බේර ගන්න
බැහැ නුඹෙ ගුණ කඳ අපතෙට සින්න වෙන්න ඉඩ අරින්න
අවමගුලේ අවලස්සන කඳුළින් ලස්සන කරන්න
හිනැහෙනකොට දවසෙ කුලිය කඳුළු වරෙන් ! මට අඬන්න
පොඩිකාලේ ඇතිකළ තලගොයි පැටියා
හතර වටේ පැන කෙළි කෙළිමින් සිටියා
මාර දූත කප්පම වැරදුන සැටියා
මගෙ පණ අරන් නැගිටින් මගෙ හොර කොටියා
කෙස්ස කඩාගෙන- අතපය දරදඬු කරගෙන
දෑස් ඉදිමගෙන- දෙණ ලග ඇන බා ඉඳගෙන
වැලපෙන කොට බෙරිහන් දී මිනිය බදා ගෙන
අඬන්නෙ එන'වුන් උඹ ගැන, ම'දෙස බලා ගෙන
අද හවසට ඔය කුණු කය මහපොලොවට සින්න වෙනව
එතකොට මගෙ පොඩිඋන් රැළ බඩ ගින්දර අත ගානව
මැරෙන තුරාවට ත'වෙකෙක් පාන් පැළට බාර වෙනව
සිහිකර ඒ දුක උඹ ළඟ පෙරලි පෙරලි මං අඬනව
ජයන්ත නිමල් සිරි



