Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මේ ලිපිය පසුගියදා මකරන්ද ලේඛක- රසික හවුල මගින් සංවිධානය කළ බොල්ගොඩ ජලාශයේ දූපතක පැවැත්වුණු කවිය මුල් කර ගත් උත්සවය නිමිත්තෙනි. එම කාව්‍යමය වැඩසටහන ගැන ඉසුරු ප‍්‍රසංග මව්බිම ඉරිදා(2012-08-04) "සඳහස" සාහිත්‍ය අතිරේකයට "වරෙව් පරාගණයට රොද බැඳ හනික" යන හිසින් එකී උළෙලෙහි දීර්ඝ සාරාංශයක් සටහන් කරයි. මෙම සටහන එම ලිපියට පිළිතුරක් නොවන නමුත් එම ලිපියේ ඇති කරුණුමය සාරංශයට යටින් දිවෙන අධිපති දෘෂ්ටිවාදී සේවනයට එරෙහි විවේචනයක්ද වෙයි.2012-08-04 රාවය මකරන්ද පිටුව වෙන් වන්නේද එදා උත්සවයේ කැටපත් පවුරෙහි ලියැවුණු කවි කිහිපයක් සාමාන්‍ය පාඨකයාට බෙදා දීමටය. මෙසේ මතක සැමරුම් යළි සිහි කිරීම අවශ්‍ය විය හැකි වුවත් මේ කිසිවෙකුට මෙවර මකරන්ද උළෙල පිළිබඳව ස්වයං- විවේචනාත්මකව බලන්නට අවශ්‍යතාවක් ඇති බවක් නොපෙනේ. එදා බොල්ගොඩින් පිටව ගිය එකදු සහෘදයෙකු හෝ කවියෙකු මෙම අත්දැකීම ගැන තෘප්තිමත්ව කතා නොකළා පමණක් නොව ඒ කෙරෙහි තද විවේචනයකින් පසු වුවද තවමත් ඒ ගැන ලියන්නට කිසිවෙකුත් මැදිහත් වී නොමැත. මා මෙහි සටහන් කරන්නේ ඒ සම්බන්ධ මා සතු අවංක විවේචනයයි. ඒ එම උත්සවය කවිය පිළිබඳව ගැඹුරු සංවාදයක බලාපොරොත්තුව කඩකරමින් ජනප‍්‍රිය සංස්කෘතික ප‍්‍රසංගයක තර්කනය දක්වා පල්ලම් බැසීමෙන් ඇති වූ කලකිරීමට හේතු දැක්වීමකි. නමුත් මෙහිදී එය නිශේධනීයව විවේචනය කිරීමට වඩා ලාංකීය නූතන කවිය සම්බන්ධ කතිකාවට මකරන්දයේ මැදිහත්වීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කිහිපයක් සටහන් කිරීමට අපේක්ෂා කෙරේ.

මකරන්ද උත්සවයේ සංවිධාන කටයුතු වෙනුවෙන් එහි සංවිධායක තරුණ පිරිස දින කිහිපයකට පෙර සිට ඒ වෙනුවෙන් වෙහෙසුණි. මකරන්ද ලේඛක රසික හවුලෙහි සාමාජිකයෙකු නොවන මමද මෙයට සහභාගි වූයේ පෞද්ගලික මිතුරුකම් මෙන්ම කවිය කෙරෙහි මා උණකින්ද පෙලෙන නිසාය. සාමාන්‍යයෙන් ලංකාවේ සාහිත්‍ය කලාව වෙත වර්තමාන තරුණ පරපුර උනන්දු නොවන බව දිනෙන් දින මෝරන සමාජ මතයකි. නැගෙන මැසිවිල්ලකි. එහෙත් දින ගණනක් තිස්සේ කෑමක් බීමක් නැතිව නින්දක් නැතිව විවිධ සැරසිලි කටයුතු හා සංවිධානාත්මක කටයුතු වෙනුවෙන් තම තමන්ගේ පෞද්ගලික ජීවිතයේ බොහෝ අවස්ථා කැප කරමින් කවිය වෙනුවෙන් කායික ශ‍්‍රමය වගුරන මගේ පරපුරේ තරුණයන්(කැම්පස්වල, මළ ගෙවල් මගුල් ගෙවල්වලදී හෝ දාන ගෙදරකදී හැරෙන්නට තවම අපිට මෙවැනි වැඩ වලදී රෑට තරුණියන් සහභාගී කරගැනීමට තරම් සංස්කෘතික නිදහසක් නැති නිසා තරුණයන් කීම සාධාරණ යැයි සිතේ) වන මහන්සිය දකින විට මා සිතුවේ සිංහල කවියේ - සාහිත්‍යයේ වසන්තය ඒ තරම් ඈතක නොවන බවයි.

බොල්ගොඩ ජලාශය වැනි සුන්දර පරිසරයක පිහිටි දූපතක සංවිධානය කර තිබුණු උළෙල කවිය පිළිබඳව නිදහසේ සංවාදයේ යෙදෙන්නට අපූරු තෝතැන්නක් බව පෙනුණි. මෙවර මකරන්දයෙහි විශේෂත්වය වූයේ විදෙස් කවි කිවිඳියන් සමග ලංකාවේ ප‍්‍රවීණ ආධුනික කවි කිවිඳියන්ට කවිය ගැන එකට එකතු වී සාකච්ඡා කරන්නට නිර්මාණය වී තිබුණූ අවකාශයයි. සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වුවත් ඔහු පැමිණියේ නැත. ටී. බී. නාවත් මෙම කවි සැණකෙළිය වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීමේ ප‍්‍රමාණය ඉතාම ඉහළ බව සනාථ කරන සාධක ගණනාවක් තිබේ. විදෙස් කවි කිවිඳියන්ගේ ගමන් බලපත‍්‍ර, සංස්කෘතික අමාත්‍යාංයේ සවුන්ඞ් සිස්ටම්ස්, රාජ්‍ය උඩරට- පහතරට නැටුම් කණ්ඩායම් සඳහා ගිය වියදම් ඇතුලූව උත්සවයේ වියදම් පාර්ශවයෙන් සෘජු රාජ්‍ය මැදිහත්වීමත් පෞද්ගලිකව දේශපාලඥයන්ගේ මූල්‍යමය මැදිහත්වීම් ආදියත් රහසක් නොවේ. (තවත් මූල්‍යමය ආධාර සැපයූ අය සිටිති.) මෙවැනි විශාල වියදමක් දරන්නට සිදු වන සංස්කෘතික කටයුත්තක් සඳහා රාජ්‍ය මැදිහත්වීම සාධනීය දෙයකි. දේශපාලකයින්ගේ වියදම්ද සාහිත්‍යයේ සැබෑ උන්නතිය වෙනුවෙන් නම් එය බෙහෙවින් ප‍්‍රශංසනීය වනු ඇත. එහෙත් මකරන්ද සම්බන්ධයෙන් මෙම මැදිහත්වීම ගැන නැවත නැවතත් කල්පනා කළ යුතුය. න්‍යායාත්මකව පවා සෘජු දේශපාලනය කලාවට සම්බන්ධවීම පිළිබඳව ගැටලූ තිබේ. රාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන් සාහිත්‍ය මගින් රාජ්‍ය අධිපති දෘෂ්ටිවාදයන් පෝෂණය කිරීම කවිය ඇතුලූ අනෙකුත් විකල්ප කලාවන් මගින් ප‍්‍රශ්න කිරීම කවරදාටත් වඩා අවශ්‍ය වන මොහොතක කලාව ආණ්ඩුව වෙනුවෙන් එළිපිට දෘෂ්ටිමය අනුමැති නිෂ්පාදනයට තරම් දිරිමත් වූ මෙවන් සංස්කෘතික උත්සව මගින් පොදුවේ කලාවටත් සමස්ත සමාජයටත් සිදු කරන හානිය සුළුපටු නොවේ. කුමන බාධක මැද හෝ සිනමාව වැනි අනෙකුත් කලාංගයන්ට සාපේක්ෂව කවිය වැනි සාහිත්‍යාංග මේ තරම් කාලයක් පවත්වා ගත් ස්වාධිනත්වය තිඹිරියාගම බණ්ඩාර- මස්ඉඹුල පෙරටු කොට ගත් මකරන්දය විසින් සෑහෙන අර්බුදයකට ගෙනාවේය. මේ දෙස බලා නිකම්ම අත පිසදමාගෙන කවිය ඔවුන්ගේ (දේශපාලන අධිකාරයන්ගේ සෙවනැලි වල සිට ඒ අදහස් පෝෂණය කරන අය) අවියක්- අතකොලූවක් කර ගන්නට තව දුරටත් ඉඩ දෙනවාද යන්න ප‍්‍රගතිශීලි සියලූ රසිකයින්- සාහිත්‍යකරුවන් නැවත කල්පනා කර බැලීම වටී.

රණවීර, රත්න ශී‍්‍ර විජේසිංහ හා තායිලන්තයේ කිවියෙකු වන මහාචාර්ය පෝන්පෙන් හන්ට‍්‍රකූල් සහ ඉන්දීය කිවිඳියක වන ආචාර්ය මම්තා ජී. සාගර් උත්සවයේ මූලික දේශන සිදු කළහ. රත්න ශී‍්‍ර සිංහල කවියෙහි සමුද්‍රගෝස විරිත මුල් කරගෙන සිදු කළ දේශනය මගින් කිසිදු අලූත් දැනුමක් නිෂ්පාදනයකට ප‍්‍රවේශයක් නොසැපයිණි. (දශක ගණනාවක් තිස්සේ සිංහල කවියෙහි අඛණ්ඩව සැරිසරන වැඩිහිටියෙකු හැටියටත් ඔහුගේ මුල් කාලීන නිර්මාණ කෙරෙහිත් විශාල ගෞරවයක් අපේ හදවත් වල තිබේ.) ආරියවංශ රණවීර වැනි විශිෂ්ට කවියෙකුගෙන් මෙම වැඩ සටහන තුළ ඉටු කරගත් කාර්යයන් කවියෙහි ප‍්‍රගමනයට උරදෙන ඒවා නම් නොවේ. මෙවැනි වැඩසටහනකදී කවිය වෙනුවෙන් ගැඹුරු කතිකාවකට අවශ්‍ය දැනුම- පරිනතභාවය හා කැපවීමත් ඔහු සතුව තිබේ. ආචාර්ය මම්තා ජී. සාගර්ගේ දේශනය මගින් සෑහෙන පළල් සංවාදයකට අවශ්‍ය මූලික ප‍්‍රවේශය ලබා දුන්නද ලංකාවේ සිංහල අපි එයින් ප‍්‍රයොජන ගත්තේ නැත. ඇගේ අදහස් එදා මකරන්දයේදී වර්ණනාවට පාත‍්‍රවූ ලංකාවේ කවීන්ට නැවත නැවත කල්පනා කරන්නට බොහෝදේ ඉතිරි කළත් ඔවුන්ට එසේ කල්පනා කරන්නට අවශ්‍යතාවක් ඇති බවක් නොපෙනේ. කවිය, විශේෂයෙන්ම කාලය හා එහි අභියෝගයන් සමග පැටලූම් ඇතිකරගන්නා බව අවධාරණය කරමින් සමකාලීනත්වය හා කවියේ සම්බන්ධය පිළිබඳව ඇගේ එළඹුම ප‍්‍රශංසනීයය. සියලූ වර්ගවල පීඩනයන්ට එරෙහිව හඬ නගමින් ආදරය උත්කර්ෂයට නැංවීමේ කවියේ භූමිකාව විස්තර කරමින් කුලය, පන්තිය, ලිංගිකත්වය, වාර්ගිකත්වය මත පදනම් වූ ධූරාවලි පිළිබඳ ගැටලූව විසඳා ගැනීමේ යෙදී සිටින ඉන්දියානු කවිය ගැන කළ ඇගේ කතාව මේ උත්සවයේ බහුමානයට පාත‍්‍ර වූ මකරන්ද කල්ලිය විසින් එදින උත්කර්ෂයට නැංවූ ජාතිකවාදී සිංහල සංස්කෘතිය සමග කිසිදු අයුරකින් සමපාත වන්නේ නැත. මෙම දේශන වලින් පසුව දවසේ වැඩි හරියක් ගත වුණේ මකරන්දයෙහි බල කණු ඉස්මතු කරන්නටය. උත්කර්ෂයට නංවන්නටය. දවසට නියමිත වැඩ කටයුතු එකින් එක ලිහී යද්දී සිංහල කවිය හා සාහිත්‍යයත් නූතන දේශපාල සංදර්භයත් පිළිබඳව ප‍්‍රගතීලිව කල්පනා කරන බහුතරයක් තරුණයන්ට සිදු වූයේ කවිය පිළිබඳ සංවාදය පැත්තක තබා අධික කපුටු ගහනයකින් යුක්ත දූපතේ තැන තැන රස්තියාදු වෙමින් සිගරට් බිබී දිවා ආහාරය තෙක් රස්තියාදු වන්නටය.

හොඳ හෝටල් කෑම වේලක රස සමහනයෙන් පසු එළඹුණේ උත්සවයේ එකම සාධනීය අංගය ලෙස බලාපොරොත්තු තබා ගෙන සිටි අවස්ථාවටයි. ඒ "මගේ නිර්මාණ ජීවිතය හා සාහිත්‍ය මැයෙන්" කවිය හා කවියෙන් පරිබාහිර අනෙකුත් කලා ක්ෂේත‍්‍රයන්හි නියුතු ප‍්‍රාමාණිකයින් කිහිප දෙනෙකු සමග නියමිතව තිබූ සංවාදයයි. මෙතෙක් වෙලා අපතේ ගිය දවසින් වැඩක් ගන්නට තිබූ එකම අවස්ථාව අශෝක හඳගම, චන්ද්‍රගුප්ත තේනුවර, ලියනගේ අමරකීර්ති, නීල් විජේරත්න වැන්නන්ගේ නොපැමිණීම නිසා අපතේ ගියේය. කුමන හේතුවක් නිසා ඔවුන් නොපැමිණියත් මේ හරසුන් කවි සැණකෙළිය කිසියම් හැරවුමක් කරා මෙහෙයවන්නට තිබුණු අවකාශය ගිලිහී යාම මේ කවි අලකලංචිය තව තවත් අවුල් කරන්නට හේතු විය. මහාචාර්ය සමන්ත හේරත් සංවිධායකයින් වර්ණනයට තමාගේ කතාවේ මුලූ වෙලාවෙන් සෑහෙන කාලයකුත් කවිය ගැන ඉතාම සාම්ප‍්‍රදායික කරුණු ටිකක් කියන්නට විනාඩි දෙකකටත් වඩා වැය නොකළ අතර බුද්ධදාස ගලප්පත්ති මහතාටත් මකරන්ද කර්තෘන් වණන්නට බොහෝ වේලා අවශ්‍ය වූ නිසා කවිය ගැන ටිකක් වැඩිපුර කතා කරන්නට තරම් කාලයක් ඉතිරි නොවිණි. මේ සංවාදයේ හොඳම කතාව කළේ ජයන්ත චන්ද්‍රසිරිය. ! ඉසුරු තම ලිපියෙහිදීත් කියන්නේ කැපී පෙනෙන කතාව එය බවයි. ඔහු කතා කළේ දැඩි උද්යෝගයෙනි. ඒ කවිය අනෙක් සියලූ කලාංයන්ට වඩා උසස් බව කියන්නට හඬ උස් පහත් කිරීම නිසා ඇති වූ තාක්ෂණික උද්යෝගයක් බව මගේ හැඟීමයි. තමා අනුදකින සිනමාවටත් වඩා අති ප‍්‍රබල කලා මාධ්‍යයක් හැටියට හේතු නැතිව ඒකමානී ඇගයුමක් කළ ඔහු සිංහල- ජාතික ලේ උණු කරමින් සභාව උණුසුම් කර වහා බෝට්ටුවට නැගී දූපතින් පිටව ගියේය. විපුලි නිරෝෂිනීටත් අනෝමා රාජකරුණාටත් සිදු වූවේ කාලය මදිකමින් තමාගේ කතාවට ලබා දුන් විනාඩි දෙකත් මේ වරප‍්‍රසාදලාභී- සාහිත්‍ය උන්නතිකාමීන්ට? ස්ත‍්‍රීවාදයෙන් හීන් ටොක්කක් දෙකක් අනින්නට පමණි. උඩරට නැටුම්, පහත රට තෙල්මේ, ජන ගායනා, තරුණ කවීන්ගේ කවි නවරත්න ගමගේ ඇතුලූ කණ්ඩායම මගින් ප‍්‍රාසාංගිකව ඉදිරිපත් කිරීම් ආදිය මගින් හවස් වන විට මෙම උත්සවය ජනප‍්‍රිය සංස්කෘතික උත්සව බිමක් බවට රූපාන්තරණය විය. කවිය ගැන ගැඹුරු සංවාදයක් බලාපොරොත්තුවෙන් දූපතෙහි කාක වසුරු ඉවසූ තරුණ තරුණියන්ටත් වැඩිහිටියන්ටත් අවසානයේදී සිදු වූයේ බොල්ගොඩ ජලාශයේ බෝට්ටුවක එහා මෙහා යෑමේ ප‍්‍රීතියත් සාහිත්‍ය කුවේර මහැදුරු සුනිල් ආරියරත්නගේ නිවස අහබඩින් යෑමේ හා 'වෝටර්' ෆිල්ම් එකත් ෂූටිං කළ ජලාශයේ කවිකාර හමුවෙහි අභිමානයත් ගැන හිත හිතා ගෙදර යන්නටය.

පේරාදෙණිය, කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල වැනි අගනුවරින් සෑහෙන දුර බැහැර සිට අප වැනි තරුණයින් සියලූ වැඩ පසෙක තබා කාගෙන් හෝ ගමන් ගාස්තුත් ඉල්ලාගෙන 'බොල්ගොඩ පෙන්ත්හවුස්' වැනි හෝටලයකට එන්නේ බුෆේ එකෙන් හොඳට කන්නට හෝ කේක් කකා තේ බොන්නටවත් සිගරට් බිබී අල්ලාප සල්ලාපයෙන් කාලය කන්නටවත් එක එක නැටුම් බලා සතුටු වන්නටවත් නොවේ. කවිය- සාහිත්‍යය ගැන මේ මොහොතේ ඇති කරගත යුතු සංවාදයට හවුල් වන්නටය. එහෙත් මේ හත්වැනි මකරන්දයට පැමිණි මැදහත් නිරීක්ෂණයක් කරන කිසිවකුට මේ දවස ගැන කිනම් අයුරකින් හෝ සෑහිමකට පත් වන්නට නම් බැරිය.

මෙවැනි ඉසුරුමත් ප‍්‍රසංග සංවිධානය කරගෙන සාද පවත්වන්නට- සතුටු වන්නට ඔවුන්ට ඇති නිදහසට අපි බාධා නොකරමු. එය ඔවුන්ගේ අයිතියක් විය හැකිය. නමුත් කවියට මකරන්දය ගෙනෙනවා යැයි කියමින් රටේ විසිරී සිටින ආධුනික- ප‍්‍රවීන කලාකරුවන් රැසකගේ කාලයත්- ශ‍්‍රමයත්- මුදලූත් මේ අයුරින් නිස්කාරණේ නාස්ති කිරීමත් රාජ්‍ය අනුග‍්‍රහය ලබමින් අධිපති දෘෂ්ටිවාද වලට මුක්කු ගසමින් තමන්ගේ සාහිත්‍ය කරණම් පෙන්නමින් නොගැඹුරු සෙල්ලම් දාන්නටත් මෙවැනි අවකාශයක් පාවිච්චි කිරීම වෙනුවෙන් අප සමාව දිය යුතු නැත. අනුකම්පාවෙන් ඉවසිය යුතු නැත. එසේ සමාව නොදිය යුත්තේ ඔවුන් පැමිණි බහුතරයේ කාලය- ශ‍්‍රමය නාස්ති කළ නිසා පමණක්ම නොවේ. මේ එක දවසක් වෙනුවෙන් කළ වියදම හා ඒවායින් ලංකාවේ කවියට- සාහිත්‍යයට සිදු වුණු සේවය කුමක්දැයි සැළකිල්ලට ගැනීමෙනි. අනෙකුත් වියදම් සියල්ල පසෙක තබා 'පෙන්ත්හවුස් හෝටලය' හා ඒ අවට සරසන්නට ගිය වියදම වුව අප පුදුමයට පත් කරයි. ප‍්‍රවීනයෙකුගේ හෝ සහෝදර ආධුනික කවියෙකුගේ කවි පොතක් ගන්නට සල්ලි නැතැයි කියමින් කවි නොකියවීමට හේතු දක්වමින් මැසිවිලි නගන තරුණ කවීන් සිටිනා රටෙක කවිය පිළිබඳ වැඩසටහනකදී කවි අහසට යැවීමට පාවිච්චි කරන බැලූම් බෝල සඳහා පමණක් රුපියල් දස දහසක් වියදම් කිරීම පාධකයින්- රසිකයින් විදිහට අප තේරුම් ගන්නේ කෙසේද? ඩිජිටල් කවි පෝස්ටර් ගසමින් තොරණ් ගසමින් නැටුම් පෙන්නමින් කවි- සිංදු කියමින් කවි සැණකෙළියක් සංවිධානය කිරීමට බෙහෙවින් උර දුන් මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල නමැති රාජ්‍ය සම්මානලාභී කවියා එතෙර කවි සම්මේලනයකදී ලබා ගත් උත්තේජනයෙන් කුල්මත් වී ලංකාවේ කවිය ඔසවා තබන්නට යැයි කියාගත් උත්සාහය, ලංකාව වැනි රටකට ගැළපෙන- ප‍්‍රයෝජනවත්- අත්‍යාවශ්‍ය පිබිදීමක් වෙනුවෙන් කැප කරනවා වෙනුවට කිසියම් කවි කල්ලියක් උලූප්පන මෙවන් පෙළඹීම් විග‍්‍රහ කරගන්නේ කෙසේද? විවිධ කලා කටයුතු වෙනුවෙන් කණ්ඩායම් ලෙස එකතු වී වැඩ කිරීම කලාවේ උන්නතියට බෙහෙවින්ම වැදගත් වන නමුත් කාලාන්තරයක් තිස්සේ ගුරු කුල ඇති කර ගැනීම සාහිත්‍යය වැනි කලාංගයක් වෙනුවෙන් බෙහෙවින්ම භයානකය. විශේෂයෙන්ම කාලයක් තිස්සේ මකරන්ද නමින් සැදුණු කණ්ඩායමේ නූතන කවියන් කිහිපදෙනෙකුගේ හැරෙන්නට සමස්තයක් ලෙස ඔවුන්ගේ කවි භාවිතාව යම් සමානතාවත් දිස්වෙයි. සේකර- රත්න ශී‍්‍ර ඔවුන්ගේ නිර්මාණ වල සංකේතීය ආදර්ශය ලෙස ඉස්මතු වේ. මේ ගුරුවරුන්ගේ අලූත්ම පුරුක මස්ඉඹුල වීමට ඉඩ කඩ බොහෝය. කවිකම අතින් මස්ඉඹුල, ශක්තික- යනූෂා- නඳුන් වැනි කවීන්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටියද දැක්ම අතින් වෙනස් වන්නේ නැත. මස්ඉඹුලගේ කවි මේ මකරන්ද හවුලේ කවීන් එකතුවේම බලපෑම් සහගත ලෙස වැජඹෙමින් සිටියි. සමාජයේ දුප්පත්කම, දුක, අහිමි ගැමි සුන්දරත්වය, පේ‍්‍රමය, අම්මා- අප්පච්චීගේ ආදරය ආදී වස්තු විෂයන් ගැන දුක හිතෙන විදිහට මස්ඉඹුල ඇතුලූ මේ කවියෝ කියන්නට උත්සාහ කරති. මානවවාදය ඉස්මතු කරති. මස්ඉඹුල ඒ අතින් සාර්ථකය. නමුත් කවියකින් සිදු විය යුත්තේ දුක හිතෙන දේවල් දුක හිතෙන විදිහට කියා මිනිසුන් කම්පනය කිරීමෙන් නතරවීම නොවේ. මේ සමාජ නිරූපණයට අමතරව රසිකයාගේ පරිකල්පනයේ පොහොසත්භාවය ඇවිලවීම කවියක විශිෂ්ට කාර්යයකි. වඩාත් හොඳ- ආචාර ධාර්මිකව යහපත් සමාජයක් ගැන අපේක්ෂාවෙන් පවතින තත්ත්වයන්- සම්මතයන් පිළිබඳව විචාරශීලි- ගැඹුරු විවේචනයක් මේ කවි භාවිතාව තුළ හමු නොවේ. මස්ඉඹුල ඇතුලූ මේ බොහෝ කවීන්ගේ ගැටලූව මතු වන්නේ එතැනිනි. කවියෙකුද නොවන කවිය ගැන ශාස්ත‍්‍රීය පරිචයක්ද නැති මා වැන්නකුගේ මේ නිරීක්ෂණය බෙහෙවින් ඒකමානී බව පෙනී යා හැකි නමුදු ඒ ගැන ශාස්තී‍්‍රය පර්යේෂණයකට ඉදිරිපත් වන්නෙකු සිටිතැයි සිතීම දුෂ්කරය.

මහින්ද කවියෙකු හැටියටත් මෙවැනි උළෙලවල් ඔස්සේ කවිය ජනගත කිරීමට උත්සාහ දරන්නෙකු හැටියටත් සැබෑ වටිනාකමින් යුතු පුද්ගලයෙකු වන්නේ රාජ්‍ය සම්මානයත් ලබා හිමිකර ගත් ජනප‍්‍රියත්වයත් වියට්නාමයේදී ඔහු ලැබූ අත්දැකීමුත් ආශ‍්‍රයෙන් නූතනම සිංහල කවියට බුද්ධිමය ගැඹුරක් ඇති කරන්නට අවංකවම කැප වන්නේ නම් පමණි. මකරන්ද සංස්කාරක ලෙස තිඹිරියාගම බණ්ඩාර මහතා අපේක්ෂා කළ විවෘත කතා බහ, සාහිත්‍ය නිර්මාණයක පසුබිම මෙන්ම ගැටලූ, සාහිත්‍ය ප‍්‍රවනතා හා ජීවන දහම පිළිබඳව (මෙවර මකරන්ද කවි සරණියෙහිදීත් සටහන් කරන) අපූරු කතිකාවක් මේ තරම් මහන්සියක්- වියදමක් දැරූ පසුවත් ඇති කරගත හැකි නොහැකි විය. විචාරශීලි කතිකාවකට ප‍්‍රවේශයක් හෝ තබනවා වෙනුවට නූතන කවීන්ටත් අනාගත පරපුරටත් නරක පූර්වාදර්ශයක් සැපයූ රාජ්‍ය අනුග‍්‍රයද වරප‍්‍රසාද ද ලබමින් කාලය- මුදල්- විශාල සාහිත්‍යකරුවන්ගේ හමුවීමේ අවකාශය නාස්ති කළ නොගැඹුරු සීමාන්තික ජාතික සංස්කෘතිකත්වය උලූප්පන මෙවැනි කතිකාවකට එරෙහිව අපේ අවංක විරෝධය සටහන් කර තැබිය යුතුය. අවසාන වශයෙන් මේ ලියවිල්ල සාම්ප‍්‍රදායික ගුණ දොස් විවේචනයක් හෝ ලංකාවේ ඕනෑම හොඳ වැඩක් කරනවිට ලැබෙන ගැරහුමක් ලෙස නොසළකා එවැනි උත්සව ගැනත් - එමගින් සමාජය තුළ ගොඩනැගෙන මත වාද ගැනත් - අපේ කතිකාමය දුප්ත්කම ගැනත් විචාරශීලිව ප‍්‍රශ්න කරන්නට කරන ආරාධනයක් - නැවත සිතා බැලීමක් ලෙසත් වටහා ගත යුතුය.

මේ සටහන නිමාකරන්නට මත්තෙන් ඉරිදා මව්බිමට ඉසුරු ප‍්‍රසංග සංස්කරණය කරන 'සඳහස' සාහිත්‍ය අතිරේකයේ එන දොන් ගබ්රියෙල්ගේ වෙත් සන්දර්භයක එන විචාර ප‍්‍රවාදයක් මෙහි ඒ අයුරින්ම උපුටා දක්වමි. "මෙවැනි බොහෝ උත්සව ලෝකයේ තිබී ඇත. අදත් ඇත. හෙටත් පවතිනු ඇත. එහෙත් උත්සව පැවැත්වූ පමණින් ලෝකය වෙනස් නොවන බවත්, ලෝකය වෙනස් නොවූ පමණින් වෙනස් කිරීමේ උත්සවවල කිසිදු අඩුවක් නොවන බවත් වටහාගැනීමට තරම් සරළ මොළයක් ඇති අය මේ අතර වේ නම් ඔවුන් දැන්වත් තමන්ගේ කතාවට අවංකව තමන්ගේ ක‍්‍රියාවන් ගැන කල්පනා කළ යුතුය. ලෝකයට කිසියම් හෝ යහපත් වෙනසක් සිදු වන්නේ මෙවන් සාම්ප‍්‍රදායික උත්සව ඔස්සේ නොව එවන් අසම්ප‍්‍රදායික කල්පනා ඔස්සේ වන නිසාය. (2012-08-04 මව්බිම)"

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails