
-උසස් අධ්‍යාපන අර්බුදයේ අයිටියෙන්නෙක හංගන ඇත්ත පැත්ත එලිකරන ගමනෙදි විශ්වවිද්‍යාල ආචාර්යවරු කීපදෙනෙක් අනුරාධපුර පැත්තෙ ඈත ගමක විශවවිද්යාලෙ ශිෂ්‍යයෙකුගෙ ගෙදරටත් ගොඩ උනා. ගෙදර හිටියෙ හන්දිපත් රුදාව හැදිල දවල්ටත් බුදියන පුතාලගෙ අම්ම විතරයි. පුතාලගෙ තාත්තටම කරුණු කාරණා තේරුම්බේරුම් කිරීමේ වැදගත්කම හිතේ අමුනගත්තු ඇදුරො ගං කෙරවලේ කැරකොපුවත් පාස්කරල ටැට්ටර්- අලි අඩි පාර දිගේ හේනටම ගියා ගිනි ගහන අව්වෙ ගිනි කකා. ගිනිකන වැටීගෙන වැටීගෙන එනකොට හේනක් කිව්වට පොලුත් පීදුනු තෙත කොල පාට හේන් පොඩ්ඩට යා ගත්ත. මේ අදිසි මහත්තුරු දැකපු ලූණුවලට වතුර ගගහ හිටපු පුතාලගෙ තාත්ත කැහැපොට ගහපු සරමෙ උඩපොට ලිහල අත් පිහගන්ඩ කලිං වක්කඩක් බැන්දා නියර තරං උසටම. ඇදුරන්ට හීල්ලුනා අවුව සැරට.-
මාර පෑවිල්ලක් නේ.. ?
ඇසළ පෝය ගෙවුනු ගමං
මෙහෙම තමයි සර්..
සර්ලා...
අපි පේරාදෙණියෙ.
පුතාගෙ විශ්වවිද්‍යාලෙ
උගන්නන අය..
මේ පාර සර්ගග
මේ දහබඹේ විතරයි
වැහිගමය නැති අගෝස්තුවෙ
ගොඩබ්බෝග බෑ
ළිඳටත්
හීං දාඩිය දානවා විතරයි.
රාම්පූර් රෙඩ්- රෝස්
පූන- නාසික්- හයිබිට්
ඔය කෝකටත් දැන්
හිත් මානන්නෑ කවුරුත්
ලංකබීජ දැම්මොත්නං ගොඩ ඉතිං
මේ පාර මාත්
බැංකු ණයට පිංසෙණ්ඩුව
උකස් තියල කුඹුර ඇපට
වතුර මැසිමකුත් අරගෙන
ලංකබීජම දැම්මෙ..
පුතාටත් හරි වියදං
ලාම්පුතෙල් ගිනි ගනං
තෙල් පොහොර නං
කෝක වෙතත්
වතුරවත් එපැයි සර්
පේනවනෙ අව්වෙ උනත් සැර විතරක්
උදේ පයිං හැරෙව්වැකි
ලියදි කෑලි දෙක තුනකට
රෑ තිස්සෙට උනන වතුර.
ඕං අයෙත් හැරෙව්වැහැකි
තවත් ලියදි දෙක තුනකට
හවස් කොරේ වෙනකොට ළිඳ
වදන වතුර.
උනන උනන වතුර ගගහ
හේනේමයි වැඩේ
දවස් හයක් ඕනෑමයි
තෙමාගන්ඩ එකමුරයක් දහබඹේ
ප්රවුත්තිවත් බලන්ඩ නෑ
බරපතලයි වතුර වැඩේ
අරමුණ වටේ කැරකෙන ඇදුරන්ට
හොරගල් ඇහිලිල්ල ඇරෙන්නට
පැලැස්තර නෑ අලවන්ඩ
මෙහේ ආවෙ අපරාදේ
කාලේ කන වැඩක් වගේ
....................
මේ බලන්ඩ සර්
ලොකූ යන්ඩ කලිං
කපල දීපු වලවල්ලොල
දැන් පොල් මල්..
උදව් ඕන්නෑ කියමුකො
හිතේ දොලටවත් දැන්නං
අපේ එකා පලාතෙවත්
එන්නෙම නැති තරං
කොහොමහරි අගෝස්තු රස්නෙ කාගෙන කාරණේට බහින්ඩ කුරුමානං අල්ලපු ඇදුරන්ට ඩීමෝ බට්ටා එකක සද්දෙ පාගාගෙන ටැට්ටර- අලි අඩි පාර දිගේ ඇදීගෙන ආපු යකඩ කටක් කන්වොල හැප්පෙන්ඩ ගත්තු හින්දා තමන්ගෙ උක්ත අරමුණ තවත් හෝන්දුමාන්දු උනා. මේ දවස් වල අනුරාධපුරේ අගෝස්තු අව් රස්නෙට සැත්තැම්බර් ඡන්ද ඌෂ්නෙත් කලවං වෙලා. කැලණියෙන් පුරාවිද්‍යා ගෞරව උපාධියක් අරගෙන දැන් ඒකෙම පශ්චාත් උපාධිය හදාරන අර යකඩ ගෑනියක් තරං එඩිතර මේ ප්‍රදේශෙ අවුරුදු ගානක් තිස්සෙ පුරාවිද්‍යා කලාප භාර නිලධාරිනීලු කියන නායිකා සරීරයක් වාඩිය පැත්තට එමිං එමිං ඉන්නකොට ආචාර්යවරු දෙන්නා පුතාලගෙ තාත්තට ආයෙමත් හිනා බුලතක් දීල සමුදුන්නා.
*රාම්පූර් රෙඩ් සහ රාම්පූර් රෝස් මෙන්ම පූනා යනුද ලොකු ලූනු වර්ගයකි. හයිබිට් යන හයිබ්‍රිඩ්- දෙමුහුං ලූනු වර්ගයකට ගැමි ව්‍යවහාරය යි.
සුදර්ශන සමරවීර
කවි කරන්ට්ස් | අගෝස්තුවේ උච්ච ස්වරය හෙවත් සැර තැනක් මෙතනත් - [සුදර්ශන සමරවීර]
Posted by
BoondiOnLine
8.29.2012



