Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කවියකු, කෙටිකතාකරුවකු නවකතාකරුවකු සේම මාධ්‍යවේදියකු ද වන මංජුල වෙඩිවර්ධන සිය පස්වන කාව්‍ය සංග්‍රහය ‘ඇහැළ ඇමතුමකට ඇහැරෙමි’ නමින් රසික දෝතට පත්කර ඇත. ඒ සමගම පළවූ අනෙක් කෘතිය වන්නේ කෙටි කතා හයකින් පමණ සමන්විත වූ ‘ශුද්ධ වූ ජුදාස්’ නමින් පළ කළ කෙටිකතා සංග්‍රහයයි. මෙවර තඹරවිලට මංජුල සම්බන්ධකර ගත්තේ මේ සියලු කරුණු පදනම් කර ගනිමිනි.

ඔබේ අලුත්ම කෘති දෙක ගැන කෙරෙන හැඳින්වීමකින් අපි පටන් ගනිමු

පළමු කෘතිය තමයි ‘ඇහැළ ඇමතුමකට ඇහැරෙමි’ එය මගේ පස්වැනි කාව්‍ය සංග්‍රහය. එහි එන සියලුම ආත්මීය ප්‍රකාශනයන් මගේ තුන් වසරක පිටුවහල් ජීවිත‍යේ අවියෝජනීය වර්ණ සහ හැඩතල. පෙර වසරේ මා ප්‍රකාශයට පත් කළ ‘මාතෘකාවක් නැති මාතෘ භූමිය හෙවත් දෙමළ කවි’ කෘතියෙහි එන සමස්ත කාව්‍යාවලියම පීඩාවට පත් දෙමළ ජනතාව‍ වෙනුවෙන්ම පෙළගැස්වුණු මා තුළම ගොඩනැංවුණු කම්පනයයි. එහි එන නිර්මාණ සමස්තයන් මගේ පිටුවහල් ජීවිතය පුරා ලියැවුණු නිර්මාණ.

මගේ අනෙක් කෘතිය තමයි ‘ශුද්ධ වූ ජුදාස්’. එය කෙටිකතා හයකින් සමන්විතයි. මගේ ගද්‍ය රචනා තුළ වුණත් මා රඳවා ගැනීමට උත්සහ කරන්නේ කාව්‍යමය ස්වරූපයක්. කෙසේ වුවත් මා සමාජගත කරන මගේ සාහිත්‍යයික හදවත බොහෝ විට සහෘද හදවත් සමග එක්ව ස්ඵන්දනය වීමට පටන් ගන්නා බවට මා තුල විශ්වාසයක් පවතිනවා. මා කියන දේ යථාර්ථයක් බවට පත්ව ඇද්දැයි නිගමනය කළ යුත්තේ සහෘදයන්ගෙන් කෙරෙන විමසීමෙන්.

ඇයි මෙබඳු මතභේදාත්මක කෘති ම ලියන්න හිතන්නේ?

මම නිර්මාණකරණයේදී කරන්නේ මා අවට ලෝකයේ හෘදය සාක්ෂි කලාත්මකව ග්‍රහණය කිරීම මෙන්ම එම සමාජ චලනයන් තුළ මගේ හෘදය සාක්ෂිය නිරාවරණය කර ගැනීමක්. මගේ සාහිත්‍යයික කියවීම තුළ තමයි මගේ සාහිත්‍යයික පෞරුෂය ගොඩ නැගෙන්නේ. එය බොහෝ විට බහුතරයේ මතවාද හා එකඟ නොවන එක අතිශයින් සාමාන්‍යයි. මම දේශපාලනිකවත් සුළුතර අයිතීන් පිළිගන්නා පුද්ගලයකු නිසා මගේ නිර්මාණ කියවද්දී අධිපතිවාදී විචාරකයන්ගේ කටවල් වෙව්ලන්නෙත් පූට්ටු වෙන්නෙත් ඒ නිසා වෙන්න පුළුවන්.

මේ පොත් පාඨකයන් වැළඳගනීවි ද?

මෙහෙමයි, ඔය ප්‍රශ්නයට මේ විදිහට උත්තර දෙන්නම්. මගේ ලියවිලි ගැන අවධාරණයෙන් ඉන්න, මගේ නිහඬතාවන් අභියස කෑ කෝ ගහන බොහෝ ස‍හෘදයන්ගේ ආදරණීය තර්ජන නිසා ලියන්නෙක් වීමේ අතිශයින් වේදනාබර උගුලේ මට ගැලවෙන්න බැරි විදිහට මං හිරවෙලා.


ඔබ කවියෙක්ද නවකතාකාරයෙක්ද?

ඔබට නිදහස තියෙනවා කැමති විදිහට මා හඳුන්වා ගන්න. මගේ ප්‍රකාශන ක්‍රමවේදය තමයි මා බාහිරව හා අභ්‍යන්තරිකව අත්දකින දේට ප්‍රතිචාර දැක්වීම. කෘතියේ හැඩතල තීන්දු වෙන්නේ අත්දැකීමට සමාන්තරව රාමුගත කෙරෙන ම‍ගේ මානසික වපසරියට අනුවයි. පාරට බැහැලා උද්ඝෝෂණය කරන්න ඕනේ මොහොතක මම කවි ලිය ලියා ඉන්නේ නෑ. මිනිස්සුත් එක්ක පාරට බහිනවා. පාරට බැහැලා කෑ ගහන මිනිස්සුන්ට ඕනේ සටන් පාඨ මිසක් කවි හෝ නවකතා නෙමෙයි. මම මහ පාරේ සටන් සඳහා කෙත‍රම් සටන් පාඨ ලියා ඇද්දැයි මගේ මිතුරන් දන්නවා.

සිංහල කවියේ වර්තමාන නැඹුරුව ඔබ දකින්නේ කොහොමද?

ගුණාත්මකව ගත්තම සිංහල කවිය තුළ ජාත්‍යන්තර ලක්ෂණ ඇති බව හඳුනාගන්න පුළුවන්. එහෙත් එය පවතින්නේ දාර්ශනික යැයි හැඳින්වෙන අනුකාරකවාදී ගුරුකුලය තුළ නොවේ. දාර්ශනිකයන් වීමට වෙර දරමින් තමුනුත් කවියත් එකවර අභ්‍යාවකාශගත කරන මෙම කවීන්ට සංසාරයේ සැරිසරනවා හැරෙන්නට සමාජය ඥානනය කරන්නට බෑ. සැබෑ දාර්ශනිකයන් ඉන්නේ විසඳීමට තියෙන ප්‍රශ්නත් එක්ක. ඔහු ඊට ප්‍රවිෂ්ට වීමේදීම අධියථාර්ථයික ස්වරූපයක් කවිය වෙතට ගලා එනවා. මොකද සමාජය තුළ පවතින ස්වරූපයම අධියථාර්ථයෙන් පිරී පවතින්නක් නිසා. සිංහල කවියට සාපේක්ෂපව දෙමළ කවිය වඩා ඉදිරිගාමී ස්වරූපයක් දක්නට ලැබෙනවා. ඊට හේතුව වන්නේ ඔවුන් තමන්ගේ අත්දැකීම් වලට අනන්‍යව සිටීමයි. සිංහල කවිය නැඹුරු විය යුත්තේ මා මේ කියන ලක්ෂණවලින් පිරුණු කවි ලියන අජිත් සී. හේරත්ගේ කාව්‍ය මාර්ගය ඔස්සේයි. ඔහුගේ ‘සප්ත සිහින’ කියන කවිය විතරක්ම ගත්තත් ඇති මා මේ නගන තර්කය විග්‍රහ කරගන්න. මා සිංහලෙන් කියවපු විශිෂ්ටතම කවිය එය බවත් ඔහු සිංහලෙන් කවි ලියන විශිෂ්ටතම කවියා බවත් නොපැකිළිව කියන්න ඒ කවියම වුණත් ඇති. එහෙත් ඔහු තවමත් එකම කෘතියක්වත් පළ කර නෑ. කවි කෘති ලෙස එළිදක්වන අප වැනි පෘථග්ජනයන්ට ඔහු හිනාවෙන හඬ ඔ‍හුගේ ඇතැම් කවි තුළින් ඇහෙනවා.

කවියාටත් නවකතාකරුවාටත් අත්හැරුණු අත්දැකීම් සම්භාරයක් තියෙද්දිත් බොහෝ නිර්මාණ ඒකාකාරී තේමවන්ට කොටුවෙලා තියෙනවා?

ඉතිහාසය පුරා වන ලෝක සාහිත්‍යය දෙස බැලුවත් ඊට සාධනීයව මැදහත් වෙලා තියන ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. අපේ සාහිත්‍යය වුණත් ඒ යථාර්ථයෙන් බැහැර කරන්න බෑ. පොතක් පළවෙන හැම විටකම කවියෙක් හෝ නවකතාකරුවෙක් බිහිවන්නේ නෑ. එහෙත් තමන් කරන දේ වගකීමෙන් සහ ප්‍රමිතියක් සහිතව කරන සාහිත්‍යකරුවන් කිහිප දෙනෙක් හෝ අපට ඉන්නවා. හැමෝටම සයිමන් වගේ හිතන්න හෝ තිලකසේන වගේ ලියන්න බෑ. එහෙම තමයි දේවල් සිද්ධ වෙන්නේ.

උතුරේ අරගලය සහ දකුණේ අරගලය නිර්මාණාත්මකව නිර්මාණය නොවුණේ ඇයි?

උතුරේ අරගලය අයිති දෙමළ ජනතාවට. ඔවුන් ඒ ගැන කතා කරලා තියෙන විදිහ ගැන නොවිමසා අපට මේ ගැන කතා කරන්න බෑ. ඒ ගැන තියෙන්නේ සිංහල අර්ථකථන මිසක් කලාව හෝ සාහිත්‍යය නෙවෙයි. මට හඳගමගේ 'ඉනිඅවන්' බලන්න ලැබුණේ නෑ. එහෙත් බලපු මිත්‍රයෙක් ඒ ගැන කරපු නොපළ විචාරයට යොදපු මාතෘකාවට යොදාගෙන තිබුණේ ගහෙන් වැටුණු දෙමළ මනුස්සයට හඳගම කරපු දේ ගැන. හඳගමගෙනුත් එහෙම වෙනවා නම් උතුරේ අරගලයට නිවැරදි කලාත්මක අර්ථකතනයක් දීම ගැන කතාකරන එක වෙනම කරමු.

දකුණේ අරගලයම සිංහල බෞද්ධ අධිපතිවාදය තුල ගිලී ගිය භූමි වපසරියක නිර්මාණයක් වුණත් මතුවෙන්නේ ඊට‍ යටත්ව. ඉන් පරිබාහිරව නිර්මාණය වුණු නිර්මාණ විතරයි ඊට ආලෝක දහරාවක් එල්ල කරන්නේ. නිදසුනක් ලෙස අජිත් තිලකසේනගේ බොහෝ නිර්මාණ ලඟින් ඇසුරු කරන විට පෙනෙනවා, ඔහු ඉතා සියුම්ව සහ නිර්මාණාත්මකව දකුණේ සන්නද්ධ අරගලය සහ එහි පසුබිම ස්පර්ශ කර තියෙන බව.


රටක් ලෙස භෞමිකව ඉතා කුඩා වුවත් උතුරේ නිර්මාණ ස්පර්ශය අපට තවම ආගන්තුකයි?

ඒක අන්තිම සාමාන්‍යයිනේ. ඒකට එක්කෝ අපිට දෙමළ උගන්වන්න ඕනේ. නැත්නම් අවම වශයෙන් ඉංග්‍රීසි උගන්නලා ඒ කෘති ඉංග්‍රීසියට පරිවර්තනය කරලා දෙන්න ඕන. මේ දෙකම සිද්ධ නොකරන රටක ඔය ගැන කතා කරන්නේ මොන පදනමෙන්ද? හැම දෙමළම ත්‍රස්තවාදියෙක් කියලා හඟවන සිංහල පසුබිමක මේවා සිද්ධ වෙන දේවල් නෙවෙයි. එහෙත් දෙමළට විරුද්ධව සිංහලයව උසිගන්න සිංහල මහත්තුරුන්ට හරියට සිංහලවත් බෑ. කට ඇරියොත් මතුවෙන්නේ එක්කෝ වෛරී බසක් නැත්නම් හඩු බසක්.

විශ්ව සාහිත්‍ය කෘති ‍හඹා යන අපට අපේ සමාජයේම සාහිත්‍ය කෘති පිළිබඳ නිසි ඇගයීමක් තියෙනවද?

ඇගයීමක් ලබන්න නම් එක්කෝ කුඩු බිස්නස් කරන්න ඕනේ. නැත්නම් පතරංග මැරයෙක් වෙන්න ඕනේ. අද සාහිත්‍ය විචාරකයෝ ඉන්නේ ලියනගේ අමරෙ ගැන ලියන්න නෙමෙයි ජුලම්පිටියේ අමරෙ ගැන ලියන්න.

පිම්බෙන සහ පුම්බන ගුරුකුළ අතරේ විකල්ප ධාරාවේ නිර්මාණකරුවන්ගේ ඉරණම කවරාකාරද?

පිම්බෙන දේවල් පුපුරනවා. ඒවා පපඩම් හෝ බැලුම් බෝල වගේ. උපත් පාලන කොපුවල තියෙන්නේ වෙන වටිනාකමක්. එහෙත් කැමති කෙනෙකුට පුළුවනි පුම්බන්න. ඒවා සිද්ධ වෙන්නේ තම තමන්ගේ විනෝදය අනුව. එහෙත් විකල්ප නිර්මාණකරුවෝ කියන්නේ ඉරණම මායිම් කරන අය නෙවෙයි. ඒකයි ඒ අයට විකල්ප නිර්මාණකරුවෝ කියන්නේ.

නූතන තාක්ෂණ හා සන්නිවේදන දියුණුව තුළ කවිය තවදුරටත් කවියක්ද? නවකතාව තවදුරටත් නවකතාවක්ද?

තාක්ෂණය දියුණු වුණා කියලා කාටවත් ‍කො‍හේවත් ෆැක්ටරි දාන්න පුළුවන් කමක් නෑ. සන්නිවේදනය දියුණු වුණා කියලා කවියට හෝ නවකතාවට ගැටලුවක් නොවෙන්නේ ඒවා පණිවුඩ යැවීමේ හෝ පණිවුඩ කීමේ මාධ්‍ය නොවන නිසා. පණිවුඩයක් කියන්න ඕනේ කෙනෙක් ලිපියක් ලියනවා මිසක් කවියක් ලියන්නේ නෑ. ඔබ කියන මේ දියුණුව තුළ ප්‍රවණතාවන් ඇති වෙන්න පුළුවන්. එච්චරයි.

ලක්බිම-2012 ජූලි 26

මධුරංග සී. නුවන්ප්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails