
බොහෝ කොට පිං ඇති
ඒ සුවිසල් බෝධීන්
බොහෝ දුර ඈත වැඩ සිටි සමයෙක
මේ කාක බෝධිය රැඳී සිටියා
අබලන් බිත්ති කුහරෙක
පැන් පෙවීමට පිංවතුන් නැතිවම
තේවාව කිරිපිඬු පුජා ද නැතිවම
උරාගෙන වැහි දිය බිඳක් යන්තමට
රැක ගත්තා පණ නළ
කාටත් නොදැනෙන්න
ජනේලෙන් වැටෙනා පහන් එළි මිස
දේවතා එළි වැඩියාද මෙතනට
ඒත් ඇහැකි විදිහට බෝ තෙම
ළපටි බෝ පත් සැලුවා හීන් සුළඟට
රන් වැටක් කොයි සීමාව රැකුමට
රජවරුන් කොයි දිවුරා භාර වීමට
ඔහේ උන්නා මිස වැඩ නොසිටි බෝධිය
උගුලුවා දමා ඇත යළිත් මෙහි නොවැවෙන්න
අනුෂ්ක තිලකරත්න



