
සැහැල්ලුවෙන් මා ඔසවා නැග ගුවන
පුළුන් පොදක් සේ තබමින් පියපතර
දැනේ මා රැගෙන යනු පවනක් මතින
පෙනේ පෙර දුටුව පියසක් මන නඳන
මේ දැන් පිපුණු වනමල්වල මුදු සුවඳ
හඬා බසින සිලිලාරෙක හීන් හඬ
අඳුරු නෙරළු සෙවණළු යට ඇති සිසිල
දැනේ දැනේ මා එහි ගෙන යන අරුම
පිපී රතුපුලින් ආ ඉඳුවර විලස
නොගොස් වියපත් ව පෙර දැරිය ම ලෙසින
මෙ ඔබ නොවෙද මා එන තුරු මග බලන
මියුරු බසින් මදහස කුසුමින් පුදන
නළුවක රඟහලක සළරූ මියැසියක
නෙක රසවතුන් හමුවන දෙසුමක් අසන
අත ගෙන ඇවිද ගිය සක්මන්මළු උයන
තවමත් මල් මුවින් වගුරයි මකරන්ද
මහරු කිවි දුමේ මල් විකසිත වෙමින
සොඳුරු පද අරුත් විමසන දැවටෙමින
නොයෙක් කුරිරුකම් මා දොස නොතකමින
දෙදෙන එක ම සිතුමක නිති පැටලෙමින
කෙනෙකුට වඩා සිතමින අනෙකා වෙසෙසා
වරදස කා අතද දොස් කිසිවක් නොතබා
සතර නෙතක් එක නිම්නෙක වෙත රඳවා
නිහඬ ලොවක දොඩමළු වී ලෙස පෙර දා
සරත දිවි කතර සරතැස විඳ නොමදා
සිඳිත බිඳිත හඬවත ලෝ දහම් ලෙසා
රිඳුණු බිඳුණු සිත ගල්වා ඔසු නොමදා
එලොව රැගෙන ගොස් මෙහි ගෙන එනු සොඳිනා
පාලිත අරවින්ද වීරක්කොඩි



