Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"කාව්‍යයක්‌ විවේචනය කරන්නා කවියාගේ ප්‍රතිභාව කාව්‍යයෙහි ගැබ් වී තිබෙන හැටි සොයා බැලිය යුතුය. කවියාගේ ප්‍රතිභාව, කවියාගේ සිතුම් පැතුම් ආදිය ඇතුළත් කොට ගත්තකි. එහෙයින්, ඔහුගේ ප්‍රතිභාවෙහි සැටි සොයා බැලීම ඔහුගේ සිතුම් පැතුම් ආදියෙහි හෙවත් පෞද්ගලිකත්වයෙහි සැටි සොයා බැලීමකි. කවියා නුමුහු කළ නුවණ ඇත්තෙක්‌ නම් ඔහුගේ නුමුහු කළ නුවණ එහි දැක්‌ක හැකිය."
(ජී. බී. සේනානායක - විචාර ප්‍රවේශය)

කිසියම් වූ දේශයකට හෝ කිසියම් කාලයකට අයත් රසවත් භාවයෙන් සහ ආකෘතිකමය වටිනාකමින් යුත් වාච්‍යාර්ථයන් සේම ව්‍යංගාර්ථයන්ගෙන්ද පෝෂණය ලත් ලේඛන සමූහය, 'සාහිත්‍යය' ගණයෙහිලා ගිණිය හැකිය. සාහිත්‍ය ලකුණු සහිතව නිර්මිත වූ සාහිත්‍යයක නිර්මාණ අර්ථ දැක්‌වීම - විමර්ශනය කිරීම - විනිශ්චය කිරීම - විමසීම සාහිත්‍ය විචාරය ලෙස හඳුනාගත හැකිය. පවත්නා සාමාන්‍ය දැනීම විනිවිද යාමක්‌ අපේක්ෂා කළ හැකි මෙහිදී ඵෙතිහාසික, දේශපාලනික, සාමාජයීය නිර්මිත ඉක්‌මවා ගිය පොහොසත් නව දැනුමක විතැන් වීම සිදුවිය යුතුය. නිර්මාණකරුවාගේ පරමාර්ථ මැනවින් වටහා ගැනීම තුළින් නිර්මාණය සමඟ සහාත්මගත වීමෙන් අර්ථසාර විචාරයක්‌ දුට හැකි අතර, එහි සැඟව පවත්නා යථාර්ථ ඉස්‌මතු කොට පතයෙන් (Text යන අර්ථ ඇති මෙයින් කවිය, කෙටි කතාව, නව කතාව, ගීතය ආදී සියලු සාහිත්‍යමය නිර්මාණ අර්ථ ගැන්වේ) ගම්‍යමාන වන මතවාදමය ගැඹුර විවරණය කිරීම විචාරයේදී සිදු විය යුත්තකි. මෙලෙස යම් පතයක්‌ පිළිබඳ තාර්කික වූත්, විශ්ලේෂණාත්මක වූත්, තුලනාත්මක වූත් රසාවේශයක්‌ ඉදිරිපත් කරන්නා, විචාරකයාය. එහි රසය සොයමින් නිර්මාණය රස විඳින්නා, රසිකයාය. කලාත්මක අන්තර් ඥානය, රස වින්දන ශක්‌තිය හා වගා කරගත් රුචියක්‌ සහිත රසික පර්ෂදයක්‌ නොමැතිව කිසි විටෙක පතයක රුව ගුණ විමසීම කළ නොහැකිය. නිර්මාණය, විචාරකයා, විචාරය සහ රසිකයා විෂයෙහි උත්තර ප්‍රතිභාවයකින් හෙබි විචාර කලාවක මතුවීම නිතැතින්ම සිදු වන්නක්‌ වන හෙයිනි.

"සාහිත්‍ය විචාරය, සාහිත්‍ය කලාව නංවන සුහද මඟ පෙන්වන්නකි. සාහිත්‍ය කලාව බිහි කරගත් මිනිසා එය සිය විනීත ආස්‌වාදය පිණිස පවත්වා ගෙන යා යුතුය. ආස්‌වාදය මානසික ක්‍රියාකාරිත්වයකි. එම මානසික ක්‍රියාකාරිත්වය විග්‍රහ කිරීම විචාරය වේ...."
(ජේ. ජයනෙත්ති. මාර්ටින් වික්‍රමසිංහගේ විචාර මාර්ගය, 2003, 10 පිටුව)

විචාරයක්‌ හෝ විචාර මතවාදයක්‌ බිහිවන්නේ යම්කිසි කෘතියක්‌ පදනම් කරගෙනය. එසේ නොවන්නට කිසියම් විචාර ධර්මතාවක්‌ මත බිහිවන සාහිත්‍ය සම්ප්‍රදායක්‌ නොමැත. සාර්ථක විචාරකයා නිරතුරුවම සමාජයෙහි සිදුවන සමාජ - දේශපාලන සිදුවීම් දෙස සිය විචාරාත්මක නෙත නතු කරගෙන සිටිය යුතුය. ඔහු නිරන්තර සමාජ ගවේශකයකු විය යුතුය. සාහිත්‍ය කෘතියක බිහිවීම අහඹුවක්‌ නොවන හෙයිනි. නිර්මාණය බිහිවන සමාජ පරිසරයෙහි බලපෑම නොතිත්ව පතයෙහි අන්තර්ගත වේ. ගවේෂණශීලී විචාරකයා එකී සකල ප්‍රවේශයන් මැනවින් දත යුතු හෙයින් සාර්ථක විචාරයක්‌ සිදුකිරීම ඔහුට අසීරු නොවේ.

සාහිත්‍ය විචාරකයා විචාරකයකු වීමට මත්තෙන් හොඳ රසිකයකු විය යුතුය. කාව්‍යයක්‌ කියවා රස විඳීමේ හැකියාව ඔහුට තිබිය යුතුය. ගීතයක්‌ අසා රස විඳීමට හැකි විය යුතුය. සංගීත ඛණ්‌ඩයක රසය වින්දනය කිරීමට හැකි විය යුතුය. ඔහු නව කතා හෝ කෙටි කතා කියවන හොඳ පාඨකයකු විය යුතුය. ඔහු සිනමා ලෝලියකු විය යුතුය. ඔහුට කලාගාරයට ගොස්‌ සිතුවමක රැඳි රසය උකහා ගැන්මට වාසනාව තිබිය යුතුය. මෙනයින් ප්‍රමුඛ වශයෙන්ම විචාරකයා මේ කවරාකාර කලා කෘතියක්‌ වුව පරිපූර්ණ වශයෙන් රස විඳිය හැකි සංවේදී සහෘදයකු විය මනාය. සිය අසීමාන්තික අත්දැකීම් ගොන්නට එකතු වූ කවියක්‌ හෝ වේවා සිනමා පටයක්‌ හෝ වේවා එකී නිර්මාණ සමස්‌තය මුළුමනින්ම විචාරයට නතු කරගත යුතු වේ. එනම්, විචාරකයා පතයෙහි හාත්පස විශ්ලේෂණය කර එහි තුලනාත්මක අධ්‍යයනයක නිරත වී තම මතවාදය පළ කළ යුතු බවයි. පතයෙහි කොටසක්‌ පමණක්‌ විචාරයට ලක්‌වීමෙන් නිර්මාපකයාගේ පරමාර්ථ නිවැරැදිව හඳුනාගත නොහැකිව එකී නිර්මාණය මෙතෙක්‌ ඇති කරගෙන තිබුණු ප්‍රතිරූපය පවා පළුදු විය හැකිය. එය විචාරක කාර්යයට පටහැනි වූවකි. නිර්මාණකරුවාගේ අරමුණු වටහා ගැනීම තුළින් විචාරය විකාශනය කළ යුතුය.

"... කෘතියට ලියූ සංඥාපනයක්‌ මඟින් හෝ කළ යම් ප්‍රකාශනයක්‌ මඟින් තම අරමුණු ප්‍රකට කොට ඇත්නම්, විචාරකයාගේ පළමු කාර්යය විය යුත්තේ කලා විෂයෙහිලා එම අරමුණුවල වටිනාකමක්‌ ඇද්ද කියා විමර්ශනය කිරීමයි. නිර්මාපකයාගේ හිතේ තිබුණු දේ නිම කළ කෘතියට බද්ධ නොවූ බාහිරාංගයක්‌ වෙන්නත් පුළුවන. විචාරකයාට වැදගත් විය යුත්තේ නිම කළ කෘතියයි."
(ඒ. ඩී. රන්ජිත් කුමාර. අනුභූතිය හා නිර්මාණය, 1999, 165 පිටුව)

විචාරය යනු නිර්මාණ රචනය සේම සියුම්ව කළ යුත්තක්‌ය. නිර්මාණයෙන් රසික සිත්හි ඇති වන රසාවේශය විචාරය කියවීමෙන්ද ඇතිවිය යුතු හෙයිනි. රටක සාහිත්‍යයෙහි යහ පැවැත්ම වෙනුවෙන් නිර්මාණය මෙන්ම සාහිත්‍ය විචාරයද එකසේ වැදගත් වන්නේ එහෙයිනි.

"විචාරයක්‌ කියන්නේ යම් කලා නිර්මාණයක්‌ පිළිබඳව සවිඥානක තත්වයක සිට කරන ප්‍රකාශනයක්‌. නිර්මාණයත්, සමාජයත් අතර පාලම හදන එකයි විචාරයකින් කළ යුත්තේ. විචාරකයා නිර්මාණයට වඩා නිර්මාණයක්‌ කළ යුතු නැහැ...
(කමණී ජයසේකර, නිර්මාණ ආවේශය, (මහාචාර්ය ආරියරත්න ඇතුගල) 2008, 119 පිටුව)

නිර්මාණයත් සමාජයත් අතර පාලම හදන මෙම විචාරකයා නිර්මාණ ක්‌ෂේත්‍රයෙහි එක්‌ පෙරටුගාමි නිර්මාපකයෙකි. අන් අයකුගේ නිර්මාණයක්‌ දෙස වුව විචක්ෂණයෙන් බලා, එය විමර්ශනය කොට තමාගේ මතවාදයක්‌ ඇසුරේ ගැඹුරු අරුත් ඉස්‌මතු කිරීම ඔහුගේ වෑයම වන හෙයිනි. එනම්, සැමවිටම යම්කිසි කලා නිර්මාණයක විශේෂඥ අර්ථකථනයක්‌ විචාරකයා අතින් නිම්හිම් වේ. එය හුදෙක්‌ රසිකයා පෝෂණය කිරීමෙහිලා නිපදවන්නකි. පරිණත බුද්ධියක්‌ හෝ වර්ධනය කළ දැනුමක්‌ හෝ නොලත් සාමාන්‍ය දැනුමැති මිනිසා යම් කිසිවක මතුපිට පෙනෙන දෙය මිස නොපෙනෙන යථාර්ථයක්‌ නොසොයයි. සාමාන්‍ය මිනිසා අතරින් විචාරකයා වෙසෙස්‌ කොට සැලකිය හැක්‌කේ, ඔහු එකී සැඟව පවත්නා යථාර්ථය ගවේෂණය කරන්නකු වන නිසාය. සාමාන්‍ය ඇසට ගෝචර නොවන, සාමාන්‍ය හදවතට සමීප නොවන අත්දැකීමක්‌ විචාර ඇසට මැනවින් ගෝචර වන හෙයිනි. මෙනයින් යම්කිසි කලා පතයක සැබෑ සියුම් රසය සාමාන්‍ය රසිකයා වෙත යා කිරීමේ මහඟු කාර්ය විචාරකයාට පැවරේ.

සුලලිත රිද්මයකට අනුව ගැයෙන ගීතයක රසය සොයන රසිකයාට එම ගීතයෙහි සංවේදී අරුත් උත්පාදනය කරදෙමින් රසය තීව්‍ර කිරීමෙහිලා විචාරකයා පැමිණේ. කවියක පද අතර රසයක්‌ සොයන සහෘදයාට එකී රසය මැනවින් අහුලා දෙනු වස්‌ විචාරකයා පැමිණේ. සැරිසරන නේක රූප අතර අතරමංව සිනමා පටයෙහි කතාවක්‌ සොයන සිනමාලෝලියෙකුට රසවත් කතාවක චරිත රැගෙන විචාරකයා පැමිණේ. රේඛා හා වර්ණ අතර නවතින්නට තැනක්‌ සොයන රසිකයාට කලාත්මක සිත්තමක්‌ මවා දීමට විචාරකයා පැමිණේ. මෙසේ නිර්මාණය හා රසිකයා අතර ගොඩනැගෙන රික්‌තකය අවම කිරීමෙහිලා රසිකයා අසල නිරන්තරයෙන් විචාරකයා සැරිසරන බැව් පෙනෙන්නට තිබේ.

"... විචාරකයා කියන්නේ රචකයාත්, පාඨකයාත් අතරට පැමිණෙන තවත් අතරමැදියෙක්‌ පමණයි. ... විචාරය තිබිය යුත්තේ කෘතිය හොඳද නරකද කියන එක හොයාගන්න නෙවෙයි. පණිවිඩය ජනතාව අතරට ගෙන යාමටයි."
(නිර්මාණ ආවේශය, (මහාචාර්ය නලින්ද සිල්වා) 2008, 148 පිටුව)

පණිවිඩය ජනතාව අතරට ගෙන යාමට උත්සාහ දරන විචාරකයා රස වාදය, වනි වාදය, අලංකාර වාදය, නූතන වාදය, පශ්චාත් නූතන වාදය, මාක්‌ස්‌ වාදය, ව්‍යුහ වාදය, ආකෘති වාදය, ස්‌ත්‍රී වාදය ආදී වූ විවිධ පෙර'පර දෙදිග විචාර ක්‍රමවේදයන් ඒ ඒ නිර්මාණයන්ට යෝග්‍ය පරිදි භාවිතයට ගනී. අපූර්ව නිර්මාණයක රැඳි අපූර්වයෙහි චමත්කාරය රසික ජනතාවට ආස්‌වාදය කිරීමෙහිලා මෙකී කෙඳු විචාර ක්‍රමයකට වුව අනුගත වීමට අප විචාරකයාට නිදහස පවතී. මූලික වශයෙන්ම නිර්මාණකරුවාගේ පරමාර්ථය තේරුම්ගන්නා විචාරකයා, නිර්මාණය සමඟ සහානුභූතගතවී, නිර්මාපකයාගේ එම අදහස රසිකයා වෙත සාධනීය අයුරින් යා කිරීමට තමා තෝරාගත් විචාර මාර්ගය මෙහෙයවයි. විචාරයට නතු වන එම නිර්මාණයෙන් නිර්මාණකරුවා මෙතෙක්‌ නොවිඳි රසයක්‌ වුව මෙහිදී විචාරකයාට වින්දනය කිරීමට ඉඩ ලැබේ. එමඟින් රසිකයාටද නිර්මාණයෙන් පෙර නොවූ විරූ රසයක්‌ උකහා ගැන්මට අවකාශ සැලසේ.

"තමා විඳින වේදිතයන් අන්‍යයන්ට දැනවීමට සැලැස්‌වීමේදී රසයක්‌ ජනිත වේ. නමුත් කවියේ නිර්මාණකරුවාට එම රසය විඳීමට වාසනාව නැත. කාව්‍යය විචාරය කරන්නා එහි රසය වින්දනය කරයි. එම නිසා කවියා අභාග්‍යසම්පන්නය."

යනුවෙන් විද්වත් විචාරක මත ගොඩනැගුණේද නිර්මාපකයාට නොලැබෙන, විචාරකයාට සහ රසිකයාට පමණක්‌ ලැබෙන එම භාග්‍යය පිළිබඳවය. එදා මෙදා තුර ලාංකේය සාහිත්‍ය ක්‌ෂේත්‍රය වටා රොක්‌ වුණු නිර්මාණ විෂයෙහි පෘථුල විචාර මතවාදයන් බිහි විය. එමතුද නොව 'විචාර සාහිත්‍යය' ක නැගීම පවා අප සාහිත්‍ය විමර්ශනයේදී පැහැදිලිව දක්‌නා ලැබේ. එමගින් නිර්මාණයෙහි රසය වඩාත් සමහන්ව රසිකයාට සමීප කරවීමට විචාරකයාට හැකි වන අතර කවිය, ගීතය, සිනමාව හෝ නාට්‍යය හෝ මෙම කවර නිර්මාණයක්‌ සමඟ හෝ රසික බැඳීම වඩ වඩාත් තහවුරු වීම සිදුවේ. නිර්මාණයෙහි උද්දීප්ත රසෝද්දීපණය මැනවින් හදවතට ආමන්ත්‍රණය කරගනිමින් නිර්මාණය සමඟ අනන්‍යවීමට විචාරය තුළින් සමස්‌ත රසික පර්ෂදයට අවකාශ සැලසේ.

'ජැක්‌සන් ඇන්තනී'ගේ 'අබා', 'ප්‍රසන්න ජයකොඩි'ගේ 'සංකාරා', 'අශෝක හඳගමගේ 'තනි තටුවෙන් පියාඹන්න' වැනි සිනමා නිර්මාණ විෂයෙහි ගොඩනැගුණු විචාර මතවාද රාශියකි. 1947 'කඩවුණු පොරොන්දුව' පටන් 2011 'ගාමණී', 2012 'කුස පබා' දක්‌වා දිව ආ සිංහල සිනමාවෙහි සාරපූර්ණ ඉතිහාසගත රසමුසු තැන් එක්‌තැන් කළ ලක්‌ෂයක්‌ ලෙස 'අබා' සැලකිය හැකිය. ලාංකේය රාජ්‍යත්වයේ උත්පත්ති කතාවේ ඓතිහාසික රසය වින්දනය කිරීම පසෙකලා, ඉතිහාසයේ විකෘති වීමකැයි නැගුණු කතිතාවත් සමඟ ප්‍රේක්ෂක සිත්හි පෙර නොවූ විරූ අවධානයක්‌ 'අබා' සිනමා සිත්තම කෙරෙහි ගොඩනැගිණි. මෙලෙස ලංකාව මතු නොව ජාත්‍යන්තර සිනමාව පවා අතික්‍රමණය කරමින් රසික ආකර්ෂණය දිනා ගැන්මට දසතින් නැගී ආ විචාර මතවාද හේතු නොවූවයි කිව නොහැකිය. මහා භාරතය, රාමායණය, අශෝක්‌, ක්‍රිෂ් වැනි සිනමා කෘතිවලින් අපට සංවේදී නොවූ වීරයන් දෙස බලා මෙතෙක්‌ ඉච්ජාභංගත්වයන් සඟවා ගෙන සිටි ලාංකේය රසිකයාට, 'අබා' යනු අපේම වීරයකු බැව් ඒත්තු ගැන්වීමෙහිලා විචාරකයා, සිනමා කෘතිය හා රසිකයා අතරට පැමිණි හෙයිනි.

අධිතාත්වික වාදය ප්‍රායෝගයෝගිකත්වයට නංවමින් 'අශෝක හඳගම' භාවිත කළ සිනමා රීතිය 'තනි තටුවෙන් පියාඹන්න' තුළින් රසිකයා කුළුගැන්වීය. අධිතාත්වික වාදය සාමාන්‍ය රසිකයාට නොතේරෙන සහ තේරුම්ගත නොහැකි දෙයකි. සමාජ යථාර්ථයට ඔබ්බෙහි නිර්මාණය වන යම් ප්‍රස්තුතයක්‌ කියවා වටහා ගැනීම සාමාන්ය රසිකයාට නුහුරු හෙයිනි. විචාරකයාට මෙහිදී සිදු කිරීමට කාර්යයක්‌ තිබිණ. සිනමාවේ සියුම් රසාවේශ මැනවින් කියවා අර්ථ මතුපිටට ගෙන රසිකයාට දැනෙන්නට සැලැස්‌මය. එහෙත් කිසිවිටෙක විචාරක කාර්ය නිසා රසික වින්දනයට බාධා නොවිය යුතුය. විචාරය රසිකයාට මඟ පෙන්වන්නක්‌ පමණක්‌ වන හෙයිනි.

"සොඬින් නෙළුම් මල් ගෙනියන
වතින් කඟ පතින් දිදුලන ඇතින්නියේ
යදම් අමතක ද පා බැඳි විලංගුවේ
..........

වටින් මහ සෙනඟ ඇවිදින්
සාදු කියා වැන්දයි
නෙළුම් මලට නොවේ නුඹට
නුඹ අම්මා හින්දයි


රිද්මයානුකූල ගේයතා ලකුණින් සැදි සොඳුරු පද මාලාවක්‌ ගීතයක්‌ ලෙසින් රස විඳීමට සෑම රසිකයකුටම හැකියාව ඇත. තාලය සහ භාෂාවේ සරල සුගමත්වය නිසා එහි රස වින්දනයට බාධාවක්‌ සිදු නොවන හෙයිනි. එහෙත් සෑම නිර්මාණයක්‌ සඳහාම නිර්මාපකයාට යම්කිසි අත්දැකීමක්‌ විෂය වේ. ගීතයක්‌ රස විඳීමට නිර්මාපක අත්දැකීම අවැසි නොවුණත් එය දැන ගැනීමෙන් ගීතයෙහි පරිපූර්ණ රසිකයකු විය හැකිය. ඒ සඳහා විචාරක කාර්ය ඉමහත්ය. මතුපිටින් පෙනෙන වාච්‍යාර්ථ ඉක්‌මවන විචාරකයා, ව්‍යංගාර්ථ දනවමින් ගීතයේ රසඥතාව වර්ධනය කිරීමට රුකුල් දෙන හෙයිනි. 'ඇතින්න' යනු මාතෘත්වයේ සංකේතයයි. එක්‌ ඇතින්නකට පැටවකු ලැබුණු කල ඇත් පන්තියේ සියලු අම්මාවරුන්ට කිරි එරෙනුයේ එකී මාතෘත්වය තව තවත් අරුත් ගන්වමිනි. උත්තරීතර මාතෘත්වයෙන් දරුවාගේ සුඛ විහරණය ප්‍රාර්ථනා කළ අතීත අම්මාවරුන්ගේ නූතන ඛේදවාචකය හැඟවීමට ගේය පද රචකයා මෙහිදී උත්සාහ ගෙන ඇත. සොඬින් නෙළුම් නමැති ධනය උපයන්නට දරුවන් අමතක කර දමා දේශ දේශාන්තරයන්හි රැකියාවට යන අම්මාවරුන්ට වුව සමාජය ගරු කරයි. එහෙත් ඒ නෙළුම් මල නිසා නොව, ඇය මාතෘත්වය නමැති ගෞරවනීය පදවියට පත් වූවක වන නිසාය. ගීතයේ පද අතර සැඟවුණු මෙකී දර්ශනය පහදා දෙන්නේ විචාරකයාය. එයින් නිර්මාණය වෙත පෙර පැවති රසඥතාව තීව්‍ර කරමින් නිර්මාණය හා රසිකයා වඩ වඩාත් සමීප වේ.

"පිරුවානා පොත් වහන්සේ
කනප්පුවෙහි පෙරළී ඇත
මිදුල පුරා වියළුණ කොළ
ඒ මේ අත විසිර තිබේ
මිදුලෙ පහන් පැලේ නිතර
සැලුණු දැල්ල නිවී ගොස්‌ය
ඉඳහිට ගේ පිළිකන්නේ
බල්ලෙකු උඩු බුරනු ඇසේ"


(විමල් දිසානායක. නව කවි සරණිය, 1973, 115 පිටුව)


මෙවන් සංකේත බාහුල්‍යයකින් සපිරි කාව්‍ය නිර්මාණයකින් ඇඟවෙන ප්‍රස්‌තුතය වටහා ගැන්ම සාමාන්‍ය රසිකයාට උගහටය. පිරුවානා පොත් වහන්සේ කනප්පුවෙහි පෙරළී තිබීමත්, වියළුණ කොළ මිදුල පුරා විසිරී තිබීමත්, බල්ලෙකුගේ බිරුම් හඬත් සාමාන්‍ය සිද්ධීන් වන හෙයිනි. එහෙත් උවැසියකගේ මරණය ඉඟි කරන සංකල්ප රූප රැසක්‌ම විමල් දිසානායකයන් මෙම කාව්‍යයේ අන්තර්ගත කොට ඇත. කාව්‍යය කියවත්ම මියගිය උවැසියගේ රූපය හදවතේ ළැගුම් ගන්වන පරිද්දෙනි. පළමුව මේ හා මැනවින් සහෘදගත වන විචාරකයා දෙවනුව, තම සාර පූර්ණ විචාරය රසිකයා හමුවේ තබයි.

නිර්මාණය සහ රසිකයා අතර පවත්නා පරතරය අවම කරමින් රසිකයා නිර්මාණය වෙතට සමීප කරවීම විචාරකයා සතු ප්‍රමුඛ කාර්යක්‌ බැව් නිගමනය කළ හැකිය. මීට අතිරේකව නිර්මාණ විචාරය කිරීම තුළින් නිර්මාණකරුවා තව තවත් නිර්මාණ වෙත යොමු කරවීමත්, ඔවුන්ගේ අඩුපාඩු වටහා දීමත් විචාරක කාර්ය වනු ඇත. විචාරකයා හෝ රසිකයා නිර්මාණ කෘතියෙන් ග්‍රහණය කරගත් අදහස, නිර්මාණකරුවා කීමට උත්සාහ කළ අදහසම විය යුතු යෑයි සැලකුව නොමැනවි. නිර්මාණයක්‌ රසවිඳීමෙහිලා විචාරකයාට හෝ රසිකයාට හෝ සහෘදයාට කිසිම විටෙක සීමා පැනවිය නොහැකි හෙයිනි.

සමාජයේ පවත්නා යථාර්ථ මැනවින් ග්‍රහණය කරගනිමින් නිර්මාණයක්‌ විචාරය කරන්නේ නම් එය සාර්ථක විචාරයකි. එසේ නොවන්නට යථාර්ථය හා බද්ධ නොවී නිර්මාණය එකලාව ගෙන විචාර මතවාද පළ කිරීමෙන් විචාරය අතරමං වන ලකුණු පෙනේ. සමස්‌ත කලාවද, කලා භාවිතයද මතින් නැඟෙන අර්ථසාර විචාර මතවාද හේතුවෙන් නිර්මාණය සහ රසිකයා අතර ඇතිවන බැඳීම ශක්‌තිමත් වනු ඇත. එමඟින් එතෙක්‌ මෙතෙක්‌ අප සාහිත නිර්මාණ වෙත ලැබුණු රසික ආකර්ෂණය ඉමහත්ය. සුභාවිත, සුගම, නිර්ව්‍යාජ විචාර කලාවක්‌ නිර්මාණ ක්‌ෂේත්‍රයේ ස්‌ථාපිත වීම තුළ නිර්මාපකයාගේ නිර්මාණාවේශය රසිකයා වෙත මැනවින් යා කිරීමට විචාරකයාට නිර්මාණශීලී නිදහසක්‌ හිමි වේ.

උදේෂිණි කුමාරි දයාරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails